RSS

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප)

  1. හැඳින්විම

“දේවෝ වස්සතු කාලේන

සස්සසම්පත්ති හෝතුච

පිතෝ භවතු ලෝකෝච

රාජා භවතු ධම්මිකෝ “

බෞද්ධ දේශපාලන සංකල්ප හැඩගැසුනේ ධම්ම සංකල්පය මුල් කර ගෙනය. උක්ත ගාථාවේ අවසන් පදයෙන් අරුත් ගැන්වෙන පරිදි,  රජු ධාර්මික විය යුතු යැයි පැවති පසුබිමට සම්මත වු හේතුවද එයයි. යම් සමාජයක සංවිධිත ව්‍යූහය ගොඩනැගෙනුයේ එකී සමාජයේ පාලන කේන්ද්‍රස්ථානය පදනම් කර ගනිමිනි. රජු පත්කර ගනු ලබන්නේ මහජනයා විසින් වන අතර එහෙයින් රජු, මහාසම්මත වු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. තවද එහෙයින් ඔහු දිව්‍යමය බලයකින් සැම අතින්ම තොර වු, මනුෂ්‍යයන් අතරම පහළ වූ, මනුෂ්‍යයන් අතරින් තෝරා ගනු ලැබූ හුදු මහජන නියෝජිතයෙක් පමණක්ම විය. බෞද්ධ දේශපාලන දර්ශනයේ මුලික හරය ප්‍රජාතන්ත්‍රවාදය බව මෙහි ඉදිරියට සඳහන් කරන කරුණු අනුව ගම්‍ය වනු ඇත. නුතන දේෂපාලන දර්ශනයේත් වැදගත් සංකල්පයක් සේ පිළිගැනෙන දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා ලෙස පුරවැසියා සැලකිම බෞද්ධ දේශපාලන දර්ශනයෙන්ද සනාධ වේ. ජනතාව කේන්ද්‍ර කොට ගත් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය පිළිබඳ සංකල්පය, අද්‍යතන දේශපාලන මතවාද සමග ජනතාව අතරට ප්‍රවිශ්ට විමට සියවස් ගණනකට පෙර ක්‍රි. පූ. 6 නව සියවසේ දී බුදුරපාණන් වහන්සේ විසින් දේශිත බවත්, එය බෞද්ධ සමාජයට ආගන්තුක වුවක් නොවන බවත් මෙහිදි විද්‍යමාන වේ. ග්‍රණපාල මලලසේකර මහකා මේ පිළිබඳ දක්වන අදහස සැලකිල්ලට ගැනිමේදීද උක්ත කරුණු සනාථ වේ. සිතිමේ සහ නිදහසේ තීරණ ගැනිමේ අයිතිය අගය කළ බුදුසමය හඳුන්වා දෙන ලොව පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය ලෙස සංඝ සංවිධානය හඳුනා ගන්න බව (www.sannasa.org ; 2010/02/02) ඔහුගේ අදහසයි.

බෞද්ධ සම්ප්‍රදාය තුළ පාලකයාගේ එනම්, රජුගේ ධාර්මිකත්වය ආවශ්‍යයික අංගයක් ලෙස අපේක්ෂා කරන ලදී. උක්ත ගාථාවෙන් සුවිෂද වන කරුණු අවධානයට ගැනිමේදී රාජ්‍යෙය් පැවැත්ම ස්ථාවර විමටත්, සතුරු උවදුරු වලින් සුරක්ෂිත විමටත්, මුඛ්‍ය හේතුව ලෙස පිළිගැනුනේ රජුගේ ධාර්මික පැවැත්මයි. නමුත් වැදගත්ම සාධකය වන්නේ බෞද්ධ භික්ෂූන්ට කිසිදු විටෙක දේශපාලනය හෝ රාජ්‍ය පාලනය පිළිබඳ ඍජුව මැදිහත්විමට අවස්ථාව නොතිබීමයි. එසේ වුවද බෞද්ධ ඉගැන්වීම් අවධානයට ගැනීමේදී

  • ධාර්මික රජු කවරාකාර විය යුතුද?

  • රජු විසින් අනුගමනය කළ යුතු යම් යමු ප්‍රතිපත්ති කවරේද?

  • ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය කෙබඳුද?

  • ක්‍රියාවට නැගිය යුත්තේ කෙසේද?

  • රාජ්‍ය පාලනයේදි අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙහෙයවිය යුත්තේ කවර අයුරින්ද?

යනාදි අවස්ථා පිළිබඳ සාධක විද්‍යමාන වන ආකාරය හඳුනා ගැනීමේ හැකතියාව ලැබේ. එපමණක්ද නොව, අධාර්මික රජු උදෙසා පාලිත පක්ෂය හැසිරිය යුතු ස්වරූපය ගම්‍ය වන අවස්ථාද බෞද්ධ ඉතිහාසය විමර්ශනයේදී මැනවින් නිරූපණය වේ. බුද්ධ භාශිතය අවධාරණය කිරීමේදී නිදර්ශන රුසක් සහිතව උක්ත සාධකය විශ්ලේෂණය කළි හැකිය.

  • ජාතක කථා

  • ධම්මපදය

  • සූත්‍ර

  • බුද්ධ කාලින සිදුවිම්

  • පශ්චාත් බෞද්ධ යුගයේ සිදුවිම්

ආදි සාධක පදනම් කොට ගනිමින් බෞද්ධ දර්ශනයේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප හඳුනා ගැනිමටත්, සමාජයේ එය ක්‍රියාත්මක විමේ ප්‍රාමාණික ස්වරූපය හඳුනා ගැනිමටත් එමගින් හැකියාව ලැබේ. ඇතැම් දේශපාලනික අර්බුදමය අවස්ථාවන්හිදී රාජ්‍ය පාලකයින් උපදෙස් පතා බුදුන් වහන්සේ සමිපයට පැමිණි සිදුවිම් පිළිබඳවත්, රාජ්‍යන් අතර පැවති ගැටුම් සමනය කරනු වස් බුදුන් වහන්සේගේ මැදිහත්විම පිළිබඳවත්, පශ්චාත්කාලීනව බෞද්ධ දර්ශනයේ අනුගාමිකත්වය යටතේ දේශපාලනික සන්ධර්භය උදෙසා ලද පිටිවහලත් මෙම ප්‍රස්තුතය යටතේ විමර්ශනයට ලක්වේ. නමුත් සදහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ බුදුරදුන් සිය බුද්ධ පුත්‍රයන් වහන්සේලා හට රාජ කථා සාකච්ඡා කිරීම තහනම් තහනම් කර තිබීමයි. එය එසේ වුවද ධර්ම කරුණු විමර්ශනයේදී පෙනි යන්නේ රාජ්‍ය පාලනයට අදාල සිද්ධාන්ත රැසක් බුද්ධ දේශනා තුළ අන්තර්ගත වන බවත්, එකී මගපෙන්විම් රාජ්‍ය තන්ත්‍රයේ පැවැත්මට උපනිශ්‍රිත වු බවත්ය. යම් හෙයකින් ධාර්මික සමාජයේ තිරසාර පැවැත්ම උදෙසා සංවිධිත පාලන ක්‍රමයක් ධාර්මිශ්ට රජෙකුගේ සහ විශ්වාසනිය පරිපාලන ඒකකයක් යටතේ බෞද්ධ සමාජය අපේක්ෂා කළ හෙයින් රාජ්‍යෙය් සාමකාමී පැවැත්ම උදෙසා බෞද්ධ දාර්ශනික චින්තාව බෙහෙවින් උපයුක්ත වන්නට ඇත.

එසේ වුවද අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වන්නේ භික්ෂූන්ට රාජකථා සාකච්ඡා කිරිම තහනම් යැයි දැක්වුවද, පශ්චාත්කාලිනව රජුගේ අනුශාසක ධූරය හෙබවිමට පවා භික්ෂූ මැදිහත්විම පිළිබඳ පැහැදිලි, විශ්වාසනිය, මූලාශ්‍රයගත සාධක ලැබීම මත සමාජ සම්මතයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණිද? නන් විධ ආයතනිකමය පරිනාමයන් පාදක කොට ගෙන එහි විෂමතා සිදු වුණිද? යන්න පිළිබඳවයි. කෙසේ වෙතත් අන් බොහෝ අවස්ථාවන්හි සේමමෙහිදිද මුලික ඉගැන්විමෙන් සහ නියමයන්ගෙන් බැහැර වී සමාජ අවශ්‍යතාවන්ට මුල් තැන දි ඒ ඒ සමාජයීය පස්බිම් යටතේ හැඩ ගැසුණු බව උක්ත සාධක මගින් සුවිශධ වේ. එකී ලක්ෂණ විමර්ශනාත්මක විශ්ලේෂණයකට බඳුන් කිරිම තුළින් බෞද්ධ සම්ප්‍රදායේ දැක්වෙන දේශපාලන න්‍යායන් සහ සංකල්ප අධ්‍යයනය කිරිම මෙහි ඉදිරියට අරමුණු කෙරේ.

(බෞද්ධ දේශපාලනික චින්තාව කෙරෙහි ලද බ්‍රාහ්මණික බලපැම ඉදිරි ලිපියෙන් —–මෙතැනින් ගන්න—-)

 

එකිනෙකාට විවෘත නොවුණු යුවලකගේ ලිංගික හැගුම් විවරණය කෙරෙන අපූර්ව නවනතාවකි— “The Key” (Junichichiro Tanizaki)

කතාව ගලා යන්නේ දිනපොතක් ලෙසිනි. එය එක් දිනපොතක් නොව දෙකකි. වසර විස්සක් පුරා එකට ජීවත් වුවද, තම බිරිදට විවෘත නොවන සැමියකුගේත්, තම සැමියාට විවෘත නොවන බිරිදකගේත් ලිංගික ජීවිතය වටා ගෙතුණු කතා පුවතක් මෙමගින් විග්‍රහ වේ.

අසිමිත ආශාවන්ගෙන් පිරුණු සැමියා සිය අවශ්‍යතා බිරිද ලවා ඉටු කරවා ගැනීමට අපොහොසත් වන්නේ ඈ සතු පිරුණු කුලෑටි ගතියත්, සාමිප්‍රදායික නියම ස්ත්‍රී ලක්ෂණයැයි ඇය සිතන රාමුවෙන් පිට පැනිමට ඇය සතු නොකැමැත්තත් නිසාය. නමුත් කතාවේ ගලා යාම තුළ ඇය සැමියා කෙරෙහි දැක්වු පිළිකුල මත ඇගේ ප්‍රතික්‍රියාවන් තිරණය වූ ආකාරය පිළිබිඹු වේ. තමන් අකමැත්තෙන් බැදුණු විවාහ බන්ධනය මත සාම්ප්‍රදායික ජපන් බිරිදක් විසින් නොපිරිහෙලා ඉටු කළ යුතු යුතුකම් සමුදායෙන් ඈ බැදී සිටීමත්, නියම සාම්ප්‍රදායික ස්ත්‍රියක සතු විය යුතුයැයි ඇය සිතා සිටි ගුණාංග ඉක්මවන යොජනා සැමියා තමාට ගෙන ආ කල්හි ඔහුට විකෘති ආශාවන් ඇතැයි යන අරමුණින් වඩ වඩාත් ඔහු කෙරෙහි තිබූ පිළිකුල වර්ධනය විමත් ඈ තුළ සිදුවේ. නමුත් ඈ ඔහු පිළිකුල් කළ තරමටම ඔහුට ආදරය කළ බව ඈ පවසන්නිය. හුදෙක් මෙය ඈ කොටු වි සිටි සාම්ප්‍රදායික රාමුව තුළ නියම ජපන් බිරිදකගේ යුතුකම් සපුරාලීමේ ප්‍රධානතම අංශයක් වන හෙයින් සම්ප්‍රදාය විසින් හිමි කළ බන්ධනය මත සිටි ඇය ස්වාමියාගේ තත්වයෙහි ලා ඔහු කෙරෙහි ආදරයක් තිබුණේ යැයි සිතා සිටියා විය හැකිය. නමුත් සැබැවින්ම දර්ශනය වන්නේ සිය යුතුකම් වගකීම් සියල්ල ඉටු කළ ඈ එය ආදරයයැයි සිතා සිටි බවකි.

කිමුර කෙරෙහි බැදෙන ඇගේ සිතිවිලි වලට ඇය පාදක කර ගන්නේ එමගින් සිය සැමියා උත්තේජනයක් ලබන්නේය යන කාරණය වන අතර සත්‍ය වශයෙන්ම ස්වාමියාගේ තෘප්තිය වඩා වර්ධනය වන්නේද ඇය සහ කිමුර අතර පවතින සම්බන්ධතාවය මතයි. සිය හැගිම් නංවාලීමට ඔහු සාධකයක් ලෙස භාවිත කරන්නේ ඇය සහ කිමුර අතර ඇතැයි ඔහු සිතන බැදීම මත පුබුදුවන ඔවුන්ගේ සිතිවිලි වේ. ලිංගික කාර්යයේදි සිය බිරිද තෘප්තිමත් කිරිමට සැමදා අපොහොසත් වූ ඔහු එම තත්වයෙන් මිදින්නේ ඔවුන් දෙදෙනා අතරට පිටස්තරයෙක් ආදේශ කර ගැනිමෙනි.

දෙදෙනාගේම අපේක්ෂාවන් සාක්ෂාත් කරගනුවස් අතරමැදියකු වශයෙන් කටයුතු කරන්නේ ඔවුන්ගේ දියණියයි. දැන හෝ නොදැන සිදුවන ‍සිදුවීම් තුළ කේන්ද්‍රීය සාධකයක් වන්නේ දියණිය කිමුර කෙරෙහි දක්වන බැදීමත් සිය පියා කෙරෙහි දක්වන වෛරයත්ය. මවගේ සහ කිමුරගේ එක්විම දිරිමත් කිරිමට ටොෂිකො හෝ කිමුර යොදවන උපක්‍රමයන්ගේ තවත් සැගවුණු අපේක්ෂාවක සෙවනැල්ලක් සටහන් වන්නේ එලෙසිනි.

සාම්ප්‍රදායික ජපන් බිරිදකගේ යුතුකමක් ලෙස තම සැමියා සතුටු කරනු වස් ඔහුගේ අභිමතය පරිදි වෙනකෙකු හා බැදුණු බව කියමින් ඉකුකෝ තමා සාධාරණීකරණය කර ගත්තද ඇය තුළ කිමුරා කෙරෙහි වර්ධනය වු බැදීම ඈ සිය සැමියාත් කිමුරත් සන්නස්දනය කිරීමේදී මැනවින් දිස්වේ. එහෙයින් මෙය දෙදෙනාගේම අභිමතාර්ථයන්, ආශාවන් මුදුන්පත් වීමකි. සැමියා අසනීපයෙන් සිටින විටද දෙදෙනාගේ සිදුවන නිරන්තර රහස් හමුවන් තුළින් ගම්‍ය වන්නේ හුදෙක් මෙය යුතුකම් සැපිරිමක් පමණක් නොවන බව නොවේද?

සිහියෙන් සිටින විට ඇය කිරිමට ඇසිමට පෙන්විමට අකමැති වූ සියල්ල සැමියා මුදුන්පත්කරවා ගන්නේ බිමත්ව සිහිසන් වු ඇයගෙනි. පිටස්තරයෙකුගේ මැදිහත්විම මත ලබන උත්තේජනය ඔහුව සාර්ථකත්වයට පත් කරවයි. පෙර සිය නොහැකියාව මත බිරිදට වරද පැටවූ ඔහු මෙමගින් තමා සාර්ථකය යන ආකල්පයෙන් පිරී යයි.

දෙදෙනාටම සිමා වූ ලෝක දෙකක හුදෙකලා වු ඔවුන් තමන්ගේ දිනපොත් දෙදෙනාටම පෙන්විම යටි අරමුණ කර ගත්තද කිසිවකුත් අවසානය දක්වා ඒ සදහා ඉදිරිපත් නොවේ. නමුත් අනෙකා කුමක් ලියන්නේදැයි යන්න දැන ගැනිමේ ප්‍රබල කුතුහලයක් දෙදෙනා තුළම වේ.

කතාව මුලුල්ලේ ඉතාමත්ම ඒකාකාරී බවක් දිස්වේ. සිදුවන්නේ එකම දෙය එකම පරිද්දෙනි. නමුත් එයද සංකේතාර්ථයකි. ලිංගික ජීවිතයට පමණක් සිමා වඅ ඔවුන්ගේ යුග දිවිය තුළ ඒකාකාරීත්වය මත, නොගැලපිම් මත පැන නගින නිහඩ අරගල තුළ දෙදෙනාම ගිලි සිටී. මෙය උද්දීපනය වන්නේ කථාව ගලා යන ඒකාකාරී රාමුව තුළ නිරූපිත සිද්ධීන් තුළිනි. කථාවේ මෙම ඒකාකාරීත්වය, කිසියම් හෝ විවිධත්වයක ඡායාවක් වුව නොවැටෙන ඔවුන්ගේ දිවිය අපූරු ලෙස සංකේතවත් කරවයි.

අවසානය…. එහි අපට යමක් සිතිමට ඉඩ කඩ තබා කතුවරයා නිහඩ වෙයි…

“කිමුරගෙ සැලැස්මෙ හැටියට එයා ටොෂිකොව බදිනවා, අපේ සම්ප්‍රදායික ශෝක විමේ කාල සිමාවෙන් පස්සෙ. ටොෂිකො පෙනී සිටීමක් විතරක් කරල විශාල කැප කිරිමක් කරන්න ලෑස්තියි. ඊට පස්සෙ අපි තුන් දෙනාම මෙහෙ එකට ජීවත් වෙනවා. එහෙම තමයි එයානම් කිව්වෙ.”

******************************************************************************

හද දොර යතුරු ලෙස සිංහලයට පරිවර්තනය වූ මෙය විදර්ශන ප්‍රකාශකයන්ගෙන් ලබා ගත හැකිය.
අයිවන් මොරිස් තනිසාකිගේ විශිෂ්ටත්වය පිළිබදව මෙසේ පවසා ඇත.
“මීළග වසර කිහිපය තුළදී යම් ජපන් ලේඛකයෙක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ නම් ඒ අන් කිසිවෙකුත් නොව තනිසාකිය.”
“Odd Obession” චිත්‍රපටය මෙම නවකතාව ඇසුරෙන් නිශ්පාදනය වුවකි.

 

පූර්ව බ්‍රාහ්මි ලේඛන කියවමු…

මෑතකාලීනව නිධන් සෑරීම යනු විනෝදාංශයක් මෙන් මහා පරිමාණව සිදුකරගෙන යන්නකි. මේ සදහා බොහෝ විට පැරණි ශිලා ලිපි සහිත ස්ථාන අවධානයව ලක්වේ.

**************************************************************************
මේ ඇරයුම,
නිධන් ඇති තැන් සොයා යාම උදෙසා පූර්විකාවක් වශයෙන් නොව,
තතු මනාව වටහා ගැන්මට
සහ
ඉතිහාසය ප්‍රායෝගිකව කියැවීමට හුරු විම පිණිස
එක් වන මෙන් සිදු කරන්නකි
***************************************************************************

අභිලේඛන යනු යම් මතුපිටක් මත සටහන් වූ දෑය. මෙකී සටහන්හි ඉතිහාසය සොයා යාමේදී ලොව ප්‍රථම නගරායනය හදුනා ගන්නට ලැබෙන ශිෂ්ටාචාර අවධීන්හිදී ලේණකගත සාධක රැසක් දක්නට ලැබේ. මෙසපොතේමියානු, චීන, ඊජිප්තු, ඉන්දුනිම්න ආදී ලෙස ගත් කල්හි මෙකී ශිෂ්ටාචාරයන්හි ප්‍රමුඛ වශයෙන් අක්ෂර හදුනාගත හැකිය.

අක්ෂර යනු සන්නිවේදන මාධ්‍යයකි. සංකේතානුසාරයෙන් දැක්වෙන මේවා ශබ්ද පදනම් කරගෙන හෝ වස්තූන්, සන්සිද්ධි ආදිය පදනම් කරගෙන රූපණය වී තිබේ. අප මෙහිදි අධ්‍යයනය කරනු ලබන්නා වූ ලංකාවේ නූතන අක්ෂර බිහි වීමේ පදනම සැකසූ බ්‍රාහ්මි අක්ෂර, ශබ්ද පදනම් කරගෙන පිහි වු අක්ෂර ක්‍රමයකි. නමුත් චීන අක්ෂර වෙත අවධානය යොමු තළහොත් ඒවා චින් සපුරා වෙනස් මගක් ගන්නා බව පෙනි යයි.

අක්ෂර වල අවැසිතාවය ලොව හමුවේ පැනනගිනුයේ සමාජ පරිණාමයත් සමගිනි. මිනිසා ක්‍රම ක්‍රමයෙන් තම දැණුම අනුසාරයෙන් අත්කරගත් පරිකල්පනයේ ක්‍රමික දියුණුවත් සමග, භාෂා ව්‍යවහාරයෙන් පරිබාහිර වූ සංකේතානුසාරයෙන් සිදුකළ අදහස් ප්‍රකාශනයේ කලාවක් ලෙස අක්ෂර හදුනාගත හැකිය. දැනට හමුවන පැරණිතම සාධක මේ දක්වාත් ආරක්ෂා වි ඇත්තේ ඒවා සටහන් වු භෞතික තලයන්හි තිබු කල් පැවැත්මේ ගුණාංග හේතුවෙනි.

උදාහරණ ලෙස ලංකාව ගත් කල්හි පැරණිතම සංකේත සාධක හමුවන්නේ ප්‍රොටෝ ඓතිහාසික යුගයෙහි ලා ගැනෙන සුසාන පියන්ගල් මතයි. අක්ෂර සහ සංකේත වූ කල්හි යම් අදහස් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ඉහතදිද සදහන් කළෙමි. මෙකී පියන්ගල් සංකේත සලකා බැලු කල්හි මේවායේ ඇති සටහන් බොහොමයක් පශ්චාත් කාලින පූර්ව ශිලා ලිපි අතර පරුමක වරු පිළිබද දැක්වෙන ලිපි සමග හමු වන බැවින් පූර්ව බ්‍රාහ්මි ලිපි සදහා, ඒවා ශිලා මත ලියැවුණු යුගයට පූර්වයේ සමාජ තත්වයන්ද ආදේශ වී ඇති බව විද්වතුන්ගේ පිළිගැනිමයි.

කෙසේ වෙතත් පූර්ව බ්‍රාහ්මි ලිපි පිළිබද අවධානය යොමු කිරීමේදී, වංශකථා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍රයන් පිළිබදව පශ්චාත්කාලිනව හෙළි කරන සමාජ ව්‍යූහයක දළ සැකැස්ම මෙකී ලේඛන අනුසාරයෙන් ගොඩනගා ගත හැකි බව කිව හැකිය. මෙහිදි අවධාරණය කළ යුත්තේ වංශකථා ලියැවෙන්නේ අදාල සිදුවිම් සිදුවි වසර සිය ගණනක් ගිය කල්හි වන අතර, ඒ තාක් කටවහරේ පැවත ආ ඉතිහාසයට එම සංක්‍රමණ අවධියේදී නොයෙක් නොයෙක් සමාජ අන්වර්තයන් එක්වි තිබෙන්නට බෙහෙවින් ඉඩ ඇති හෙයිනි. තවද, නිදර්ශනයක් ලෙස නූතන ඉතිහාසය හෝ දේශපාලන පසුබිම ගනිමු. දේශපාලන මැදිහත්විම් යටතේ ඇත්ත ඇතිසැටියෙන් ඉදිරියට පවත්වාගෙන යාම ඉතා අසීරු බව ප්‍රායෝගික දැනුමෙන් ඔබට වැටහි යනු ඇත. එසේ නම් විවිධ කාල පරාසයන්හි ශාසන සහ දේශපාලන ඉතිහාසය සටහන් තැබිමේදී මේ සදහා නොයෙකුත් බාහිර බලපෑම් එල්ල වන්නට ඇත. (රජුට විරුද්ධව යමින් නියම ඉතිහාසය එනම්, ඇත්ත ඇතිසැටියෙන් දැක්වු චීන ඉතිහාසාඥයාට තම අංග අහිමිවුවාක් වැනි දෙයක් ලංකාවේ සිදුවූයේ නැත.) මහාවංශය පරිශීලනයේදී වුවද බොහෝ විට පරස්පරතා හමු වන ආකාරය දක්නට ලැබේ. එහෙයින්, තත්කාලින සිදුවිම් වඩා මැනවින් අධ්‍යයනයට පාදක කරගත හැකි අගනා මූලාශ්‍ර ලෙස ශිලා ලිපි අත්කරගනුයේ අද්විතීය ස්ථානයකි.

නමුත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි පරිහරණයේදි සහ ඒවා අර්ථ ගැන්වීමේදී අප බෙහෙවින් සුපරික්ෂාකාරි විය යුතුය. මන්ද අප අර්ථ සපයන්නේ අප ගතකරන සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික වටපිටාවකට හැමඅතින්ම විෂම වූ අප නොදන්නා, නොහදුනන, ආයතනික පසුබිමක් තිබූ, අදින් වසර දහස් ගණනක එපිට ඇති ඉතිහාසයක් කෙරෙහි විම හේතුවෙනි. මෙකි සමාජයේ තතු නියමාකාරයෙන් සාහිත්‍ය මූලාශ්‍රයන් තුළින් ගෙන එන්නේද නැත. මන්ද සමාජයක පැවැත්මේදි එහි වර්ධනය සහ විකසනය නිරායාසයෙන් සිදු වන්නක් වන අතර පවත්තා සමාජ තත්වයේ සිට අතීතය ඒ ආකාරමයැයි සිතා සාපේක්ෂ වශයෙන් මෙන්ම තත්වාකාරයෙන් බැලිය නොහැකි බැවිණි.

සාහිත්‍යකරණයේදී හුදෙක් අලංකාරෝක්ති භාවිතය නිරායාසයෙන් සිදු වන්නකි. තවද යමෙක්, යමක් කෙරෙහි දක්වන ගෞරවනිය ආකල්පය සහ යමෙක්, යමක් කෙහෙරි පවතින අප්‍රසන්නතාවය මෙන්ම ගැරහිමද ලේඛනයේදී විවිධාකාරයෙන් හදුනාගත හැක්කේ භාෂා විලාසය හසුරුවා ඇති ආකාරයෙන් හා අදහස් ප්‍රකාශනයන් අනුවය. ලාංකේය සාහිත්‍ය මූලාශ්‍ර අධ්‍යයනයේදී මෙකි සාධක මැනවින් විද්‍යමාන වේ.

මෙම ‍ලිපියෙහි මෙකි තොරතුරු අන්තර්ගත කිරිමට ප්‍රධානතම සාධකය වූයේ, අභිලේඛන යනු කවරක්දැයි දළ වශයෙන් හෝ වටහා ගැනිමට සැලැස්විමයි. උක්ත සාධක අනුව, යම් සිද්ධියක් සිදුවූ කාලයටම අයත් වන අභිලේඛන ගනයෙහි ලා ගැනෙන, නිවැරදි තොරතුරු යම් තාක් දුරට විස්තර සහිතව ඉදිරිපත් කරන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපි පිළිබද දළ ආකල්පයක් ලබා ගත හැකි වන්නට ඇතැයි සිතමි. දෙවනුව පුර්ව බ්‍රාහ්මී යනු කවරක්දැයි විමසා බලමු.

මෙය භාෂාවක් නොව අක්ෂර මාලාවක් පමණි. පෙර කී ලෙස, ශබ්ද මුලික කොට බිහිවූ මුල්කාලීනව හදුනා ගන්නට ලැබෙන, ශිෂ්ටාචාරගත සංනිවේදන ක්‍රමයක් වන්නේ මෙයයි. මෙකී අක්ෂර සැලකු කල්හි උත්තර සහ දක්ෂින ඉන්දීයාව තුළ මෙන්ම ලංකාවේද දක්නට ලැබෙන සමානතා බෙහෙවින් පවතී. අසමාන වන්නේ අක්ෂර එකක් දෙකක් පමණි. මෙකී තත්වය මත තත්කාලීන සමාජ ව්‍යූහය තුළ පැවති සංදතා පැහැදිලිව හදුනාගැනීමේ හැකියාව ලැබේ. ආරම්භය පැහැදිලිව කිව නොහැකි වුවත්, ක්‍රි.පූ. පළමු සියවස දක්වා පූර්ව බ්‍රාහ්මී අක්ෂර භාවිත විණි. ආරම්භය තිර ලෙසම කිව නොහැකි වන්නේ ලේඛන සටහන් වූ මාධ්‍ය අතුරින් අද වන විට ශේෂ වි පවතින්නේ මැටි බදුන්, ශිලා පෘශ්ට ආදී ජීර්ණය අවම සීඝ්‍රතාවක පවතින මාධ්‍ය පමණක් වන බැවිනි. තවද සැම දෙයකම පාහේ මෙන්ම අක්ෂරද ක්‍රි.පූ. තුන් වන සියවසේ හිටි අවියේ පහළ වූයේ යැයි කිසි විටෙකත් නිගමනය කළ නොහැක. ඒවාටද ප්‍රාථමික මට්ටමේ ආරම්භයක් වර්ළධනයක් විකසනයක් පැවතීම ස්වභාවික සංසිද්ධියකි. සමාජයේ සිදුවන ඔනෑම වර්ධනීය තත්වයක් සේම, අක්ෂරවල උපයුක්තතාවයත් සමග අක්ෂර කලාවද වරධනය වු ආකාරය මෙකී ශිලා ලිපි කාලයත් සමග දක්වන අනුවර්තන ඇසුරෙන් විද්‍යමාන වේ. පූර්ව බ්‍රාහ්මී, අපර බ්‍රාහ්මී ආදී ලෙස බ්‍රාහ්මී අක්ෂර මාලාව තුළ යුගකරණයක් හදුනා ගන්නේ එහෙයිනි.

ලේඛනගත වන මාධ්‍යයේ පෘශ්ටීය ස්වභාවය අනුව, ඒ ඒ අක්ෂර සටහන් කළ ශිල්පියාගේ පැවති සාක්ෂරතාව මත, ප්‍රදේශානුබද්ධව දක්වන සුවිශේෂීතා මත සහ ශිල්පීය දක්ෂතාවය මත මෙකී අක්ෂර සටහන් යම් යම් ආකාරයේ විෂමතා විවිධතා දක්වයි. නූතන සමාජයට කිසිසේත් සම කළ නොහැකි වූ, නූතනයේ මෙන් ක්ෂණික මානව සම්බන්ධතා ඇති කර ගැනීමට අපහසු වූ සාකච්ඡාවට ලක් වන අවධියේ සමාජ ව්‍යූහයට හැකිතාක් හෝ සමවැදී මෙකී කරුණු විමසා බලන්නේනම්, හම වකවානුවේ සෑම පුද්ගලයාම සාක්ෂරතාව සහිත වූයේදැයි සිතා බැලිය හැකිය. මේ බව විමසීමට සාධක වන්නේ මෙම පූර්ව බ්‍රාහ්මී ලිපි අතර උඩ යට මෙන්ම වම දකුණද මාරු වූ අක්ෂර සටහන් ඇතැම් අවස්ථාවන්හි දක්නට ලැබීමයි.
අප දැන් පුර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාවේ දළ සැකැස්මත් විමසා බලමු. මෙහි පහත දැක්වෙන්නේ එකී අක්ෂරයන්හි මූලික හැඩ කිහිපයක් පමණි.

(ඡායා රූ හොදින් නැරඹීමට, අදාල ඡායාරුව මත ක්ලික් කරන්න)

උක්ත නිදර්ශන තුළින් යම් තාක් දුරට පූර්ව බ්‍රාහ්මී අක්ෂර කවරාකාරද යන්න පෙනී යන්නට ඇතැයි සිතමි. තෙවනුව ලංකාවේ හමුවන පුර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සහ ඒවායෙහි අන්තර්ගතයන් විමසා බලමු.

මේවායෙහි බොහෝ විට සදහන් වන්නේ ලෙන් පුජා, වැව් පූජා ආදිය පිළිබදවයි. එසේම බොහෝ විට අයිතිය හගවන ප්‍රකාශයන්ද හමුවේ. මෙකී ලිපි තුළින් හෙළිවන සමාජ ව්‍යූහය ඉතා ආකර්ශනීය වූවකි. බොහොමයක් නාම විශේෂණයන් තුළින් හැගවෙන නියම අර්ථය විවාදිත මට්ටමේ පැවතුණද, ලංකාවේ පැවති සංවිිත මට්මමේ සමාජ ව්‍යූහයක් පිළීබදව සාධක මෙම ලිපි තුළින් අනාවරණය කරයි. මෙහිදී මා එය විග්‍රහ කරනුයේ දළ වශයෙනි. මන්ද ශිලා ලිපි යනු ඉතා පුළුල් ක්ෂේත්‍රයක විහිදී යන සංකීර්ණ මාතෘකාවක් වන බැවිනි. එය ‍උඩින් පල්ලෙන් අතගෑ නොහැකි ක්ෂේත්‍රයක් වනවා මෙන්ම වගකිවයුතු මට්ටමෙන් අර්ථ සැපයිය යුත්තකි. නමුත් අවාසනාවට කරුණ වන්නේ නුතනයේ පදනම් විරහිත ප්‍රකාශයන් ගෙනයන ඇත්තන් තම වාසිය තකා ශිලා ලේඛන දඩමීමා කරගෙන තිබීමයි. මෙහිදී ලිපි තුළින් හෙළි වන අර්ථ විකෘති කරමින් විවිධාකාරයේ මන:කල්පිත අදහස් ගෙනහැරපෑමේ ව්‍යාපාර අද වන විට ව්‍යාප්ත වි පවතී. නමුත් මොවුනට වැරදී ඇති තැන් බොහෝය. මා මේ ලිපියේ මුලින් සදහන් කළ පරිදිත්, මෙම අඩවිය සදහා පෙර දිනෙක පලකළ ලිපියක අන්තර්ගතයේ පරිදිත් මූලාශ්‍ර එකක් මත පිහිටා එයම විනිශ්චය වශයෙන් ගෙන අර්ථ ස්ථිර කළ නොහැක. ඉතිහාසය එදත් අදත් හෙටත් පවතින්නේ නිරීක්ෂණ සහ උපකල්පන මත පමණි. එකී සාධක ස්ථිර කළ නොහැක්කේ දිනෙන් දින දියුණු වන නව තාක්ෂණය හම්වේ, පෙර නොදත් කරුණු නිතර අළුත් වෙමින් පවතින බැවිනි. ඉතිහාසයේ නොවෙනස්වන ස්වභාවය මෙම වෙනස් වීමයි.

පෙර සාකච්ඡා කළ සමාජ ක්‍රමය පිළිබද උදාහරණ ලෙස ලක්දිව හමුවන පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සැලකු කල්හි වැව් හිමියන්, දේපල හිමි භික්ෂූන්, විවිධ කර්මාන්තයන්හි නියුතු වූවන්, රජවරුන්ගේ සිට විවිධ දේශපාලනික සහ සමාජයීය මට්ටම් හෙබවූවන් පිළිබද සාධක මෙම ලිපි ඇසුරෙන් අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව ශිලා ලිපි කියැවිමේදී මෙකී පුද්ගල පිරිස් මෙම ලිපි හරහා සමාජ සංසිද්ධීන් කෙරෙහි බද්ධ වූ ආකාරය විමර්ශනය කළ හැකිය.

මෙම ලිපිය ලිවිමේ තවත් එක් පරමාර්ථයක් වූයේ, අධ්‍යතනයේ මෙම ලිපි සහිත ස්ථාන නිධන් හෑරීමේ අසහනයෙන් පෙළෙන්නන්ගේ නිරීක්ෂණයට සහ අවධානයට ලක්වී තිබිමත්, ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු මෙකී ලිපි සහිත ස්ථානයන්ගෙන් නොලැබෙන බව ප්‍රකාශ කිරීමත්ය. මන්ද මේවායෙහි බොහෝ දුරට ඇත්තේ භික්ෂූන් උදෙසා මෙම ලෙන් පදනම් කර ගනිමින් ආරාම සාදා දුන් බවයි. එසේ නැතහොත් ශිලා මතුපිට සටහන් කෙරුණු ලිපි මගින් කියැවෙනුයේ බොහෝ විට වැවක් වේවා, ආරාමයක් වේවා, කුඹුරක් වේවා මේ ආදී වූ විවිධ පූජාවන් පිළිබදවයි. මෙකී අවබෝධය පාසල් මට්ටමේ සිට සිසුනට ලබා දෙන්නේ නම්, විරත්වය පෙන්විමට හෝ, වස්තුව ලබා ගැනීමට හෝ, කුතුහලය සංසිදවා ගැනිමට හෝ වේවා ඓතිහාසික වශයෙන් මිල කළ නොහැකි වැදගත්කමක් පවතින ස්ථාන කිසිවකු අතින් විනාශ නොවනු ඇත. නමුත් අභාග්‍ය වන්නේ බලලෝභීත්වය සහ වන්දිබට්ට මානසිකත්වය යටතේ වගකිව යුත්තන් පවා මෙකී අංශ වෙතින් කර හැර සිටිමයි.

ක්ෂේත්‍රයකින් හමුවන එක මැටි පබලුවක පවා ඇති අමිල උරුමය අපි දනිමු. එහෙත් මහා පරිමාණ වශයෙන් අද සිදුවන විනාශයන් තුළින් නැතිවී යන, නැවත කිසිවිටෙක, කිසිලෙසකින් ලබා ගත නොහැකි සම්පත් දෙස බැලූ කල්හි ඇතිවන හිත් පීඩාව වචනයෙන් කියා විස්තර කළ නොහැක. එහෙයින් බ්‍රාහ්මි අක්ෂර යනු කුමක්ද යන්නත්, එතුළින් ගෙන එන්නේ කවරාකාර පනිවිඩයක්ද යන්නත්, මෙම ලිපි තුළ නිධන් පිළිබදව හෝ වෙනයම් වස්තූන් මන්ත්‍ර පිළීබදව හෝ ලංකාවේ විසූ බුදුවරයෙකු සහ බුද්ධකාලීන අනුගාමිකයන් පිළිබදව හෝ සටහන් නොවන බව යම් තරමකින් හෝ අවබෝධ කර ගැනිමට උක්ත විස්තර ප්‍රමාණවත් යැයි සිතමි.

සිවුවනුව මෙකී ශිලා ලේඛන සදහා අර්ථ සපයන ආකාරය කෙටියෙන් විමසා බලමු. මේවායේ භාෂාව නූතන සිංහලයට සපුරා වෙනස්කම් දරයි. එය ඉතා සරල මෙන්ම ඉතාමත්ම කෙටියෙන් අවශ්‍ය පණිවිඩය පමණක් සදහන් කර ලියා දැක්වු ඒවාය. දීර්ඝ විස්තරකථන නොමැති වීමට හේතුව වන්නට ඇත්තේ මෙම ලේඛන බහුලව හමු වන්නේ ශිලා මාධ්‍ය මත වීමත්, එකී මාධ්‍ය පහසුවෙන් හැසිරවීමට ඇති අපහසුතාවයත් විය හැකිය. එහෙයින් ඉතා කෙටි වචන කිහිපයකට මෙම ලිපිවල අර්ථයන් සීමා වී ඇත.

ලිපි තුළ ඇතුළත් වචන කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු. “ශගශ, සගස, ශගස” ලෙස මෙම ලේඛනයන්හි බහුලව හමු වන වචනයක් වේ. ඉන් අදහස් වන්නේ සමූහය නැතිනම් ඝනය යන්නයි. බොහෝ විට මින් බෞද්ධ භික්ෂූන් අදහස් කළා විය හැකිය. මන්ද තත්කාලිනව බෙහෙවින් ලෙන් විහාර පූජා කෙරුණේ බෞද්ධ භික්ෂූන් උදෙසා වීමයි. මිහින්තලේ පුජාකෙරුණු අටසැට ලෙන් අධ්‍යයනයේදීද, සිතුල්පවුව, වෙස්සගිරිය ලෙස වත්මන ව්‍යවහාර කරනා ඉස්සරමණ ලෙන් අධ්‍යයනයෙන්ද, ලංකාව පුරා විසිරි පැතිරී ඇති සෙසු සියලුම ලෙන් ලිපි අතුරින් මෙකි වචනය සහිත ලිපි අධ්‍යයනයෙන්ද මේ පිළිබද වැටහෙනු ඇත. බොහෝ විට මෙම අවස්ථාවන්හි “ශගශ දිනෙ” / “අගත අනගත චතුදිශ ශගශ” / “ශගශ” ආදී වූ ලෙස ආකාර කිහිපයකින් සටහන් වි ඇති ආකාරය දක්නට ලැබේ. මින් අරුත් ගැන්වෙන්නේ සතර දිගින් පැමිණි නොපැමිණි සියලු සංඝයාට මෙම ගෙන් පුජා කළ බවයි. මෙහිදී පෙර අවස්ථාවක දැක්වු පරිදි ඉතා කෙටියෙන් “ශගශ” යන්න පමණක් ඇතැම් තැන්හි දක්වා තීබීමට හේතුව ලෙස පිළිගැනෙන්නේ කළුගල් මාධ්‍ය හැසිරවීමේ අපහසුවත්, මෙම යුගයේ තම අරමුණ පැහැදිලිව ඉතා කෙටියෙන් දැක්වි‍මෙහි ලා තිබු නැඹුරුවත් බව පැවසේ.

මීට අමතරව මෙකී ලිපි ඇසුරෙන් උපශික, පරුමක, අය, අබි, රජ, මහරජ, බත, තෙර, ගමණි, දෙවනපිය, මත, වණිජ…. ආදිවූ නාමයන් රැසක් හදුනාගැනීමට අවස්ථාව ලැබේ. මින් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ පිරිස් මෙන්ම විවිධ නිල නාම, වෙළද ප්‍රවාහයන්, සමාජ සංස්කෘතික මට්ටම්, පරම්පරා නිල නාම, තනතුරු නාම ආදිය අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා සේම, ඒ ඒ පිරිස් සතුව තිබූ දේපල අයිතිය, ප්‍රමුඛ වශයෙන් කාන්තාවන්ට තත්කාලින සමාජය තුළ තිබූ දේපල හිමිකම්, විවිධ පූජා, සමාජ මෙහෙවර ආදිය පිළිබද සංකල්ප ලබා ගැනිමේ හැකියාව පවතී. නමුත් අවධාරණය කළ යුතු වැදගත් කරුණ වන්නේ මෙකි ලිපි උපනිශ්‍රයෙන් අර්ථ සැපයිමේදී වෙනත් මූලාශ්‍රයන්ද අනිවාර්යයෙන් පාදක කොටගත යුතු බවයි. එසේම තත්කාලින සමාජය පිළිබද ගෙනහැර දැක්වෙන වෙනත් මූලාශ්‍රයන්හි සාධක සත්‍යමදැයි දැන ගැනීමට, මෙකී ශිලා ලිපි තුළින් ලැබෙන පන්නරය අති මහත්ය. එම නිසා මෙකි මූලාශ්‍ර සියල්ල එකිනෙක මත පෝෂණය වන ආකාරය මෙහිදි හදුනා ගැනිමට ලැබේ.

මෙම ලිපියේ අරමුණ වූයේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි යනු කවරක්දැයි යම් තරමකින් හෝ සරලව හදුන්වා දීමයි. නමුත් මෙකි ලිපි උපයුක්ත කොටගෙන නිවැරදි අධ්‍යයනයකට යන්නේ නම්, ඒ ඒ ප්‍රදේශ වල පැවති බෙදිම්, පාලන ඒකක, පාලකයන්, සමාජ පිරිස් ආදී වූ සාධක රැසක් අනාවරණය කරගත හැකි අතර අදටත් විවිධ අයුරින් මේ පිළීබද අධ්‍යයන සිදු වෙමින් පවතින බව කිව යුතුය. තවද, නිධන් ඇතැයි සිතා ලිපි හෝ අක්ෂර හෝ සංකේත හෝ සටහන් වි ඇති ස්ථාන කෙරෙහි වැරදි ආකල්පයෙන් බැලීම යම් තරමක් හෝ නවතිනු ඇතැයි මෙමගින් අපේක්ෂා කරමි. තවද, ශිලා ලිපි පාදක කොටගනිමින් අද වන විට අන්තවාදී කල්ලි විසින් ගෙන යනු ලබන අර්ථ හින ප්‍රකාශයන් සහ, පූර්ව බ්‍රාහ්මි ලිපි ඇමට ගෙන මවා පානා ලද ක්‍රි.පූ. හය වන සියවසේ සමාජයක් පිළිබද ආකල්පය ව්‍යාජයක් බවත්, දැනට හදුනාගෙන ඇති මෙකී ලිපි අනිවාර්යයෙන් අයත් වන්නේ ඉන් සියවස් තුනක් හෝ හතරක් මෙපිට ඉතිහාසයට වන බවත් මෙමගින් පැහැදිලි වනු ඇතැයි සිතමි.

මෙහි දැක්වු දළ සටහන් යම් තරමකින් හෝ පාදක කොට ගෙන මෙම මුල් මට්ටමේ පවතින ලිපි යම් තරමක් හෝ කියැවීමට ඔබ උත්සහ දරන්නේ නම්, ඔබටද මෙම මුල් කාලීන ලිපි වල අන්තර්ගතයන් දළ වශයෙන් හෝ වටහා ගැනිම අසීරු නොවෙතැයි සිතමි.

(සැලකිය යුතුයිපෙර සදහන් කළ පරිදිම මාධ්‍ය භාවිතයේදි, ප්‍රදේශ විවිධතා අනුව, සහ ශිල්පියා මත, අක්ෂරවල යම් යම් විශමතා පවතින හෙයින් ඔබේ ඇස මෙකී ලිපි වෙත වඩාත් හොදින් හුරු කිරීමක් කළ යුතුය. ඒ සදහා අවැසි වන්නේ නිදහස් නිරවුල් මනසකින් ලිපි දෙස බලා සිටීමෙන් ප්‍රගුණ කරන ලද ඔබේ ඇසත්, ප්‍රගුණ කරන ලද ඔබේ මනසත්, ප්‍රගුණ කරන ලද ඔබේ දැණුමත්ය..)

 

ප්‍රේමනීය චිත්‍රපටයක් — Monsoon Wedding —

Monsoon Wedding මෙය ඉන්දීය චිත්‍රපටයකි. කථාව තේමා වි ඇත්තේ නවින පංජාබ සංස්කෘතියේ විවාහ උත්සවයක් වටායි. දින කිහිපයක පමණක් තතු ඇතුළත් වන මෙම චිත්‍රපටයේ දින කිහිපයකින් එළඹෙන විවාහ උත්සවය යන සංකල්පය තුළ ගැබ් වූ කලබලකාරිත්වය මැනවින් විදහා දැක්වේ. රුපරාමු හසුරුවා ඇති විලාසය, වරිතවල දෙබස් හසුරුවා ඇති ස්වභාවය, පරිසරයේ විවිධතා, නිවසේ පිරිසගේ හැසිරිම් රටා ශිල්පියා ඉතා සාර්ථක ලෙස මේ උදෙසා උපයුක්ත කර ගෙන තිබේ.

This slideshow requires JavaScript.

මානාලියගේ පියා වන Lalithසිය දියණියගේ විවාහය අරබයා සූදානම් වන කලබලකාරී විලාසය, යම් යම් අඩුපාඩු, අතපසුවිමි ඇතිවන කල්හි ඔහු ගේ චංචල ස්වරූපය තුළින් චිත්‍රපටයේ තේමාව වඩ වඩාත් ඔප්නංවාලයි. බොහෝ විට යම් යම් සුළු කරුණු අරබයා ඔහු මෝඩයා යැයි කියමින් සිය ඥාති පුත්‍රයා වන Rahulහට බැන වැදිම තුළ, විවාහ උත්සවය උදෙසා අධික ලෙස වෙහෙස වන Rahulකෙරෙහි අනුකම්පාවක් ප්‍රේක්ෂක මනසේ ජනිත වේ. උසස් සමාජයක පුහු ආටෝපය මෙම පවුල තුළද නැත්තේ නොවේ. ඉන් ගම්‍ය වන්නේ සංස්කෘතික වෙනසකට ලක් වීම මත මේ සමාජය වැළදගත් යම් යම් පරිබාහිර විපරිත සංස්කෘතිකාංගයන්ය. මෙයද චිත්‍රපටයේ තේමාව ඉස්මතුකිරිමෙහිලා ශිල්පියා දායක කරගත් වැදගත් සාධක බව නිරික්ෂණය කළ හැකිය.

ආරම්භයේ සිට ඉතා කලබලකාරී පරිසරයක් වටා කේන්ද්‍රගත වන චිත්‍රපටය මොහොතකට එම කලබලකාරීත්වයෙන් මිදෙන්නේ නිවසේ සේවිකාව වන Alisගේ සහ විවාහ මංගල්‍යයේ සැරසිලි කටයුතු සදහා පැමිණි Dubeyනම් පුද්ගලයාගේ හමුවිම් සිදුවු අවස්ථාවන්හි පමණි. මොවුන් හමුවන අවස්ථාවන්හි නිර්මාණ ශිල්පියා “දහස්පෙතියා මල” සංකේතාර්ථයක් සේ යොදා ගනී. ඉන්දියානු සංස්කෘතිය තුළ විවාහයකදි මෙකි පුෂපයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. චිත්‍රපටය සදහා ප්‍රධාන තේමාව සපයන විවාහක යුවළ අයත් නූතනත්වය සහ මුදල් බලයෙන් පිරි සම්මිශ්‍රිත සමාජ පසුබිමට වඩා සපුරා වෙනස් වන, මෙම සේවිකාව සහ අත්උදවුකරු අයත් සාමාන්‍ය සමාජය මෙකි දහස්පෙතියා මලෙන් තව තවත් සංකේතවත් වන බව හැගි යයි.

නුහුරු නුපුරුදු ප්‍රේමණීය ලෙන්ගතුකමක් සමග එක්වන සිතුවිලි හේතුවෙන් Dubeyගේ සිතේ ඇති කැළඹීම නිරුපණය කිරීමේදී චිත්‍රපටයේ අපූරු උපක්‍රමයක් යොදා ඇත. එනම්, කැමරාව නිශ්චිත ස්ථානයක ඒකීයව නොතියා නිදහසේ හසුරුවා තිබිමයි. Dubeyඇවිදිමේදී ඔහුගේ අඩිතැබිමේ රටාවත් සමග චලනය වන වටාපිටාව තුළින් මෙලෙස ඔහුගේ හිතේ කැළඹීම නිරුපණයට කටයුතු යොදා තිබේ.

ලඟලඟම පැමිණෙන විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් නිවසේ පරිසරයේ කෙතරම් කලබලකාරීත්වයක් පැවතුණද, සිය හිටපු පෙම්වතා පිළිබද සිහියෙන් තැවෙන මනාලියගේ චිත්ත ස්වභාවය තුළින් ප්‍රේක්ෂක සිතෙහි කුහුල දැනවිමට නිර්මාණ ශිල්පියා උත්සහ දරා ඇත. එහෙයින් අවසානය තෙක් කුතුහලය අප සිත් සතන්හි රැන්දවිමට මෙකී සංසිද්ධිය මනා සේ ඉවහල් වී ඇති බව කිව හැකිය.

Lalithගේ මස්සිනා වන පවුලේ නොමද පිළිගැනිමට සහ ගෞරවාදරයට පත් බලවත් පුද්ගලයා දුටු විගස Ria එනම්, මනාලියගේ අවිවාහක ඥාති සොයුරියගේ හිතේ ඇතිවන කැළඹීම ශිල්පියා ඉස්මතු කර දක්වා ඇත්තේ කලබලකාරී නිවසේ පරිසරය තුළ එහා මෙහා වන සෙනගගේ අතරින් පතරිනි. එයද චිත්‍රපටයේ නිර්මාණාත්මක බව ඉස්මතු කරන්නාවූ උපක්‍රමයක් සේම ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන්නක් ලෙස පෙනී යයි. මේ බව වඩ වඩාත් තහවුරු කෙරෙන්නේ එම පවුලේ කුඩා දැරියක් තනි කොට ගෙන ඉවත ගෙන යාමට පෙර කි පුද්ගලයා උත්සහ දැරූ අවස්ථාවේ, සිය නිහඩතා පසෙක ලා Riaඔහුට විරුද්ධව තම අතීතයේ ඔහු නිසා සිදුවූ අප්‍රසන්න මතකයක් සියල්ලන් හමුවේ පැවසිමත් සමගිනි.

තම පවුලේ අද්විතීය ස්ථානයක වැජඹුණු සිය මස්සිනා වන බලවත් පුද්ගලයාත්, පියා නොමැති හේතුවෙන් ආදරයෙන් රැක බලා ගන්නා තම ඥාති දියණිය වන Riaගේ හෙළිදරවුවෙන් බිදී ගිය ආත්මාභිමානයත්, දුහිතෲ ප්‍රේමයත් අතර දෝලනය වන Lalithගේ චිත්ත ස්වභාවය ඉස්මතු කිරිමේදී නිවසේ පෙර පැවති ස්වභාවය මෙකි අවස්ථාවට උචිත පරිදි මැනවින් හසුරුවා ගැනිමට මෙහිදී හැකියාව ලැබි ඇත. කලබලකාරි විවාහ මංගල්‍යයට ශෝකය, අවමානය, අතීරණය එක් වන්නේ මෙකී සිදුවිමත් සමගිනි.

මෙතෙක් කි සහ මෙතෙක් නොකී සාර්ථකත්වයන් සමගින් රූපණය වන, මෝසම් සමයේ ‍විවාහය… මෙකී නිර්මාණ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණව ප්‍රේක්ෂක සිතෙහි ඉතා වින්දනිය හෝරා යුග්මයක් තිළින කිරීමට සමත් නිර්මාණයක් ලෙස ඇගයිය හැකිය.

වැස්ස හේතුවෙන් ඇතිවන අපහසුතාවත් – නමුත් වැස්සෙන් ලබන අනුපමේය වින්දනයත්, විවාහ මංගල්‍යය හේතුවෙන් ඇතිවන කලබලකාරීත්වයත් – නමුත් ඒ විවාහය උදෙසාම සැම දෙනා ලබන තෘප්තියත් මෙකි චිත්‍රපටය මනා ලෙස අප හමුවේ දර්ශනය කරවයි.

 
2 Comments

Posted by on June 25, 2012 in films

 

මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ‍ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)

මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න මාව පොළඹවපු කාරනාව ගැන. ඒ මම මිට කාලෙකට කලින් ලියපු බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයැයි කිම සාවද්‍යයි කියන ලිපිය නිසා. ඒ ලිපියට “මෙතනින්” යන්න. ලියල කාලයක් ගියත් දැන් ඒකට හෝ ගාල කමෙන්ට්ස් එනව මාව විවේචනය කරල. මගේ ජාතකේත් මතක් කරලා. හා කමක් නෑ. දෙවෙනියටත් දෙයක් කියන්න තියනව. කෙනෙක් අදහස් දක්වලා තියනව මම ලියන සිංහල එයාට තේරෙන් නෑලු. සිංහල තියා මම දක්වපු තර්කවත් තේරුම් නොගත්ත එයා මම ඉතිහාසය ගැන මොකුත්ම නෙදන්න මෝඩයෙක් ගානට දාල කතා කරලා. හා කමක් නැ කියමුකො. ඉතිං මේ ලිපිය ලියනව මූලාශ්‍ර පරිහරණය ගැන දන්නෙ නැති අයට දැනුවත් වෙන්නත්, සාමාන්‍යපෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට උදව්වක් විදිහටත්… මේ ලියන භාෂා ශෛලියනම් මට හුරු නෑ, මොකද නිතරම මම ලියන්නෙ විධිමත් භාෂා ශෛලියකින් නිසා. කමක් නෑ.. කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් සරල කරල ලියන්න උත්සහ කරන්නම්.

මොකද්ද අපි මේ ඉතිහාසයේදි පුරාවිද්‍යාවෙදි භාවිත කරන මූලාශ්‍ර කියන වචනෙ තේරුම? ඒ කියන්නෙ අපි යම් කරුණක් විග්‍රහ කරද්දි ඒ කරුණු ගොඩනගන්න උපකාර කරගන්න දත්ත වගටයි අපි මූලාශ්‍ර කියන්නෙ.

සාහිත්‍ය, පුරාවිද්‍යාත්මක කියල මූලාශ්‍ර වර්ග කෙරෙන බව ඔයාල දන්නවනෙ. ඒවත් තවත් උප කොටස් යටතේ වෙන් කෙරෙනවා. සාහිත්‍ය මූලාශ්‍රනම් වංශකථා, සන්නස්, තුඩපත්, සංදේශ, විදේශීය වාර්තා වගේ දේවල් යටතේත්, පුරාවිද්‍යාත්මක මුලාශ්‍රනම් නාණක එනම් කාසි, අභිලේඛන නම් යම් මතුපිටක් මත ලියවුණු ලේඛන, විවිධ නටඹුන්, පොළොවේ වැලලුණු විවිධ පුරා වස්තු සහ ඒ අවට සන්ධර්භය මේකට අයිති වෙනවා.

ඒත් අද කාලෙ ඉතිහාස අධ්‍යයනය ගැන හරි දැණුමක් නැති අය මේ මූලාශ්‍ර එකක් දෙකක් පමණක් භාවිත කරල මහා ලොකු කතන්දර මවාගෙන යනවා. විශ්වවිද්‍යාල මට්ටමට එද්දි මේව නිවැරදිව හසුරුවන්න ඉගෙන ගත්තත් හැමෝම ඉතිහාසය පුරාවිද්‍යාව කරන්නෙතු තැති නිසා, හැමෝටම විශ්වවිද්‍යාල වලට එන්න අවස්ථාවක් නැති නිසාත් නිවැරදිව දැණුම හසුරුවන අය සමාජයේ හරිම අල්පයි. ඒත් සහෝදර සහෝදරියනි ඔයාල උත්සහ කරනවනම්, විමසල බලලා දිවාර බුද්ධියෙන් දැණුම මෙහෙයවලා තීරණ ගන්න, ඒ වගේම එක දේකට පමණක් සීමා නොවී, තමන්ගේ කම විතරක් ඉස්මතු කරගැනිමේ පරම අධිශ්ටානයට පමණක් ගැති නොවී යථාර්ථය අවබෝධකර ගන්න…, අන්න එතකොට ඔබ තුළින් නියම බුද්ධිමතෙක් බිහි වේවි. මේක ඉතිහාසයට විතරක් නෙවෙයි, අනිත් කොයි පාඩමටත් අදාල කාරණයක්. ඇයි අපි අපේ මනස එක දේකට සීමා කරගන්නෙ? ඇයි අපි අපිට ලැබුණු බුද්ධිය මෙහෙයවලා, පටු සිමාවකට කොටු නොවී, අපේම කියල නිදහස් චින්තනයක් ඇතිකර ගන්නෙ නැත්තෙ?

මූලාශ්‍ර පරිහරණයත් එහෙමයි. අපි අපේ අධ්‍යයනයන්ට ගන්න මූලාශ්‍ර සමහර විට ඇත්ත දේම නෙවෙයි කියන්නෙ. සරලම මට්ටමේ උදාහරණයක් ගනිමුකො. නිශ්ශංකමල්ල රජ්ජුරුවො තමන් කරවපු දේවල් කියල යන යන තැන ශිලා ලිපි කෙටෙවුවට, අනිත් මූලාශ්‍රත් එක්ක සංසන්දනයේදි අපිට පැහැදිලි වෙනවා පැරණි ලංකාවෙ රාජ්‍යත්ව සංකල්පයත් එක්ක, විදේශිකයෙකු වුණ ඒ රජුට ගැටෙන්න තිබුණු විප්ලවියත්වය හේතුවෙන් මේ ශිලා ලිපි පිහිටවපු බව.

ලංකාවෙ අක්ෂර ආරම්භය ක්‍රි.පූ. 3වන සියවස කියල සදහන් කරනවා ලෙන් ලිපි හේතුවෙන්. ඒත් අනුරාධපුර ඇතුල්නුවර නවතම සාධක නිසා මේ මතය ආයෙමත් පර්යේෂණ මට්ටමට යොමු වුණා. කොහොම වුණත්, ලිපි ගලේ කෙටුව නිසානෙ අදටත් ආරක්ෂා වෙලා තියෙන්නෙ. ඉතිං ගල් වගේ ස්ථායී මාධ්‍යයක ලිපි සටහන් වෙන්න කලින් ඒ තරම් කල් නොපවතින මාධ්‍යවලත් අක්ෂර සටහන් කරන්න ඇතිනෙ.

ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. අද ගොඩක් අය තරක කරනව රාමායනය, මහාවංශය වගේ පොත් වල තියන කරුණු ගැන. මේව ලියවෙන්නෙ අදාල සිදුවීම් වෙලා අවුරුදු පන්සියයක් දාහක් වගේ විශාල කාලයක් ගෙවුණට පස්සෙ. ඉතිං ඒ අතරතුර කාලයේදි මේ ග්‍රන්ථවල අන්තර්ගත කරුණු කටපාඩමෙන් තමයි ගෙනඑන්නෙ. ඒ කටපාඩමෙන් කියවෙන විට නොයෙක් නොයෙක් නව කාරණා මේවට එකතු වෙන එක සාමාන්‍ය වගේම අනිවාර්ය සිද්ධියක්. අපි බලමු ඇයි ධර්ම සංඝායනාවක් කරන්න ඔන වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස ත්‍රනකට පස්සෙ කියලා… ඒකටත් ගොඩක් දුරට බලපාන්නෙ කලින් කියපු හේතුවමයි. ව්‍යවහාරයේදි යම් යම් නවතාවයන් එකතු වෙනවා. ඉතිහාසයේ වෙලා තියෙන්නෙත් ඒක.

තවත් උදාහරණයක් විදිහට රංචාමඩම කැණීම්වලින් හෙළිවුණා ආසියාවෙ මුලින්ම යකඩ භාවිත කළේ අපේ රටේය කියන උපකල්පනය. නමුත් මේව තහවුරු කරන්න තව පර්යේෂණ කෙරෙනව. සංසන්දනාත්මක අධ්‍යයනයන් සහ විද්‍යාත්මක අධ්‍යයනයන්. එහෙමයි විද්‍යාත්මක විදිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඒත් අද අපේ රටේ හරිම කනගාටුදායක තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. සුළු දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා ඉතිහාසය විකෘති වීමකට ලක්කෙරිගෙන යනවා. උදාහරණයක් තමයි, කිහිපදෙනෙක්ට ලොකු උවමනාවක් තියනව බුදුදහම ඇතිවි පැතිරි වර්ධනය වුනේ ලංකාවේය කියල කියන්න. අනේ ඒත් ඒක ඒ විදිහට නිරපේක්ෂව ඉදිරිපත්කරන්න පුළුවන් සාධක තියාගෙනනම් කමක් නෑ. ඒත් මෙහෙම කියන උදවියගේ හිතේ ඉන්දියාව ගැන පවතින්නෙ කෝපයක්. ඒ වගේම සිංහල බෞද්ධ සංකල්පය ගැනත් හරිම අන්තවාදි හැගීමක් තියෙන්නෙ. මේවට විරුද්ධව කතා කරන්න යද්දි අපිව හංවඩු ගහනව අපිට ජාතකයක් නෑ කියලා. සිංහල කමත් බෞද්ධ කමත් සැලකුවාම මම අපේ සංස්කෘතියෙ දකිය විශේෂම ලක්ෂණයක් වෙන්නේ ආගම් ජාති භේදයකින් තොරව සමානාත්මතාවය දැන්විම. ඒත් බෞද්ධයැයි කියා ගන්නා අන්තවාදී පිරිස් නිසා සමාජය දැන් දූශනය වෙනවා.

දැන් ආයෙමත් මුලාශ්‍ර පරිහරණය මේ කියන සංකල්පයට ආදේශ කරනවනම්, කාලානුරූපව පිළිගත් දිනවකවානු සහිතව ගැටලුවක් නැතිව පිළිගන්න පුළුවන් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි ඇමට අරගෙන ඒවායින් සුරංගනා කථා කීමේ තත්වයක් අද ඇතිවෙලා තියනවා. අක්ෂර වල හැඩය, භාෂා විලාසය අනුව අපිට අක්ෂර කාලනීර්ණය කරන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර වල එන තොරතුරු ශිලා ලිපි වල එන තොරතුරු සමග සංසන්දනාත්මක අධ්‍යයනයකට ලක් කළාම බොහෝ දුරට අපිට නිවැරදිව ඉතිහාසය ගොඩනංවගන්න පුළුවන්. එහෙම නැතිව මහාවංශය විතරක් අධ්‍යයනය කරල නිවැරදි ඉතිහාසයක් ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒක හරියට අන්ධයාට සුදු පාට පෙන්නනව වගේ වැඩක්. අන්තිමේ සිද්ධවෙනව සුදු පාට කොකාට තියන නිසා කොකාගෙ හැඩේට අත හදල අන්ධයාට පෙන්වන්න. ඉතිං අන්ධයා හිතනව සුදු කියන්නෙ අත වගේ කියලා. තනි මුලාශ්‍රයක් භාවිතයෙන් අවුරුදු දහස්ගණනක යටගියාවක් ප්‍රතිනිර්මාණය කරන්න යන එකත් ඒ වගේ අර්ථ හීන ක්‍රියාවක්.

ඉතිහාසයට, උරුමයට ආදරේ කරන ඔයාල වෙනුවෙන් අන්තිමේ එක දෙයක් කියන්නම්. මේ විෂය ගැන බලන්න ඕන තමන් ස්වාධීනව. ඒ කියන්නෙ, ජාතියටත්, ආගමටත්, කුලයටත්, තමන් ඉන්න ප්‍රදේශයටත්, තමන්ගෙ රටටත් ගැති නොවී නිදහස් චින්තනයෙන්. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ නිවැරදි විහිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම මූලාශ්‍ර භාවිතයේදීත් පක්ෂග්‍රාහී නොවී නිවැරදි අධ්‍යයන ක්‍රමවේදයකට යන්න ඕන. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ සමාජයට සත්‍ය දැණුම ප්‍රචාරකයන් විදිහට අපේ කටයුතු කරගෙන යන්න.

(රට ජාතිය ආගම වෙනුවෙන් සත්‍ය වසං කරල තමන්ගේකම විතරක් වපුරන සාවද්‍ය ප්‍රචාර ගෙනියනවයි කියන්නෙ මනුෂ්‍යත්වය කෙළසා දැමීමක්)

 

නට්සි ජර්මනියේ ඔත්තුකරුවකුගේ කථාන්තරය.. “රෑ මාතා” (Mother Night)

Mother Night
By – Kurt Vonnegut
කනිෂ්ඪ හොවාර්ඩ් ඩබ්ලිව් කැම්බල්ගේ පාපෝච්චාරණ ලෙස ලියවි ඇති මෙම කථාව ඉතා අපුර්ව වූවකි. ජර්මනියේ විප්ලවිය සමයේ ගුවන් විදුලි නිවේදකයෙකු වශයෙන් කටයුතු කරන කනිෂ්ඪ හොවාර්ඩ් ඩබ්ලිව් කැම්බල්, දිනක් උද්‍යානයේ දී මුනගැසෙන පුද්ගලයෙකු සමග කරන සාකච්චාවකින් පසු ඔහුගේ ජීවිතයේ පැවැත්ම විශාල පෙරළීයකට ලක් කෙරේ. ඒ එතැන් සිට ඔහු ජර්මනියේ රහස් තොරතුරු, ගුවන්විදුලිය හරහා ප්‍රචාරය කරන ඔත්තුකරුවෙකු ලෙස සිය කටයුතු ඇරඹීම හේතුවෙනි. නමුත් ඔහු දුන් ඔත්තු කවරේද යන්නත්, ඒවායෙහි වැදගත්කමවත් ඔහු නොදනී. අඩු තරමේ සිය ආදරණීය බිරිදගේ මරණයේ ආරංචිය පවා මෙසේ සිය මුවින්ම ගුවන්විදුලිය හරහා ඔහු ප්‍රචාරය කළද ඒ වන විටත්, ඉන් වසර ගණනක් ගත වන තුරුත් ඔහු සිය බිරිදගේ මරණයේ ආරංචිය තම මුවින් ඔත්තු සේවා වෙත ලබා දුන් බව නොදැන සිටියේය. ඔහු ශ්‍රේෂට ඔත්තුකරුවෙකු ලෙස සිය මෙහෙවර කළ බව, ඔහුව ඇමරිකානු රහස් ඔත්තු ඒජන්තයෙකු ලෙස බදවාගත් හැරල්ඩ් ජේ. ස්පැරෝ සිය අවසන් ලිපියේ සහතිකකොට දක්වා තිබේ. නමුත් ඔහුගේ මෙහෙවර දැන සිටියේ මුළු ලෝකයෙන්ම තුන් දෙනෙකු පමණි. සිය දෙමාපියන් පවා තමා පිළිබද අමිහිරි මතකයෙන් යුතුව මිය යාමට සැලසුනේ, මේ තිදෙනා හැර වෙනත් කිසිවෙක් ඔහුගෙන් වූ සේවාව නොදැන සිටි හෙයිනි. ඇමරිකානු රජයට වයසක යුවලකගේ හිතේ සැනසිමට වටා සිය කර්තව්‍යයන් වැදගත් බව ෆ්‍රෑන්ක් පවසන්නේ එහෙයිනි.

තමා ‍ඉතා දරුණු රැවටිමකට හසු වූ බවත්, තම ආදරණීය බිරිදයැයි සිතා ඔහු යහන්ගත වූයේ බිරිදගේ බාල සොයුරිය සමග බවත්, හෙල්ගා උදෙසා ගොඩනගා තිබුණු ආදරණීය කල්පිතයන් සහ අනුස්මරණයන් රෙසිගේ සම්ප්‍රාප්තියත් ඇගේ ආදරයත් හමුවේ මරණයට කැප වු බවත් හෙළි වීමෙන් ලද පසුතැවුල හමුවේ අසරණ වන්නටත් විටෙකදි ඔහුට සිදුවේ. එසේම ආදරය හා කල්‍යාණ මිත්‍රත්වයේ තිරකඩට එපිටින් තමා දඩයම් කිරිමට නට්සි විරෝධීන් සහ යුදුධයේ මතකයන් තුළ හිදිමින්, පුපුරු ගැහෙන ක්‍රෝධයෙන් වලිකන්නන් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයටද මැදි විමට ඔහුට සිදුවේ. 

කැම්බල් පවසන පරිදි යුද්ධයෙන් පසු සිය බෙල්ල රැකී තිබීමේ ප්‍රධාන සාධකය වන්නේ මෙසේ තමා ඔත්තුකරුවෙකු විමයි. නමුත් ඔහු ඔත්තු සේවාව වෙත යොදවාගත්, තම නීල සුරගන මංඥා ලෙස හදුන්වන ෆ්‍රෑන්ක් විර්ටනන් යනු කවරෙක්ද යන්න ඔප්පු කරන්නේ නම් ඔහුගේ දිවි රැකෙනු ඇත. ජීවිතයේ ගැලවුම් මාර්ග රැසක් තිබියදීත් සිය සේවාවන්හි සාර්ථකත්වය වින්දනය කරමින්, ඒවා අනුස්මරණය තුළින් ලද තෘප්තියෙන් මුසපත් වු ඔහු සිය නිදහස අවසන් ගැලවුම් මොහොතේදීත් නොසලකා හරින්නේ සිය කරතව්‍යයන් තුළින් අප්‍රමාණ රසයක් වින්දනය කරන්නෙකුගේ ස්වභාවය අප හමුවේ තබමිනි.


යුදෙව්වන් තුරන් කිරිමේත්, පිරිසිදු ආර්ය ලේ ඇත්තන් ස්ථාපිත කිරීමේත් මෙහෙවරට සමිමාදම් වි ගුවන් විදුලි නිවේදකයෙකු වශයෙන් කටයුතු කළ ඔහුගේ පැතුම වූයේ කලාවයි. තම කර්තව්‍යයන් සැමෙකකින්ම පාහේ ඔහු දුටුවේ කලාවයි. ප්‍රසිද්ධ නාට්‍යවේදියෙකු වූ ඔහු සිය බිරිද වේදිකාවේ රාජිනියක කරනු වස් ඈ උදෙසා නිර්මාණ බිහි කළේය. ඔහුගේ අනේකවිධ නිර්මාණයන්ගේ සාරය ගලා ආවේ තමාත් තම බිරිදත් පමණක් වූ ඔවුන්ගේම සොදුරු ලෝවේ සතුට සැනසුම උපරිමයෙන් වින්දනය කිරීමේ අතුරු ප්‍රතිපලයක් වශයෙනි. නොමැතිනමි තම පුද්ගලික කැදැල්ලේ ප්‍රීතිය ඉහවහායැවිය හැකි උත්තේජකයක් වශයෙනි. සෑම සිදුවිමක්ම කලාකරුවෙකු වශයෙන් ඔහු වින්දේ එලෙසයි. ජර්මානු නට්සි ආණ්ඩුව සහ එහි පැවැත්ම පිළිබද ලියැවුණු වෙනත් කථාවල මෙන්ම මෙහිදී, තමාට පැවරුණු කාර්යය එලෙසින් කිරීමේ සාපල්‍යය පමණක් අපේක්ෂිත පුද්ගලයෙක් විටින් විට එළි බැස්සද, ඒ තුළ සැගවුණු කලාකාමී මනසත්, කිසිවකට ඇල්මක් නොමැනිව තමා කරනා දෙයින් තමා රසවින්දනයට පත්ව තෘප්තිමත් වන්නාවූ අපුර්ව මිනිසෙකුත් හදුනා ගැනීමේ හැකියාව ලැබේ.

තම නිදහස සංකේතවත් කරන, තමා එතෙක් අපේක්ෂාවෙන් සිටි ප්‍රධාන සාධකය නමා අතට පත් වුවත් තමා විනාශ කරන්නට, මිහිමතින් අතුගා දමන්නට ආශාකළවුන්ගේ නොනිම් පැතුම් සදහා ඉඩ දෙමින් තෘප්තිමත් වීමට ඔහු තීරණය කරයි.

එප්ස්ටයින් දොස්තරගේ මව ඔහුගේ කනට කොට යමක් මිමිනුවාය. ඔහු ස්ව කැමැත්තෙන් ඊශ්‍රායලයේ සිරගතවීමට ඉදිරිලත්වී සිටියදී, ඇය ඕෂ්විට්ස් මරු කදවුරේ, ජර්මානුවන්ගේ විශෘලතම, උපරිම වශයෙන් හතලිස් ලක්ෂයකටවත් මරණය අත්කර දුන් මරු කදවුරේ ඇය නිතර ඇසූ ගීත කණ්ඩය මිමිනුවාය…

 

“ලෙයිෂෙන්ට්‍රාජෙර් සූ වාෂ්”

“මළමිනී උස්සන් යන අය මුරපොලට වාර්තා කරන්න”

 

“වරප්‍රසාද ලත් ගණිකාව” හෙවත් ගේෂාව MEMOIRS OF A GEISHA චිත්‍රපටය

අද ඔබ වෙත ගෙන එන්නේ නවමු ආකාරයේ චිත්‍රපටයකි. ගේෂාව… නැතිනම් අවසරපත් ලද ගණිකාව… පිළිබද ආකාර්ෂනිය කතාන්දරයකි. MEMOIRS OF A GEISHA 

දරිද්‍රතාවයට පිළියම් වශයෙන් ඇය සහ සොයුරිය එනම් Chiyo සහ Satsu සිය පියා විසින් විකුණනු ලැබේ. මහ වැස්සක තෙමි තෙමී කරත්තයෙන් බලහත්කාරයෙන් ඔවුන් දෙදෙනා සිය නිවසින් පිට කෙරේ.

ඔවුන් ගෙන එන්නේ ගේෂාවන්ගේ වීදිටටයි. සොයුරියෝ එකිනෙකාගෙන් වෙන් වන්නේ Chiyo පමණක් එම ගණිකා නිවාසයකින් තෝරා ගනු ලැබු බැවිනි. ජලය විනිවිද දෙවන ඇගේ නෙත් හේතුවෙන් ඇය එහි සේවිකාවක ලෙස ගනු ලැබේ. ඇය එහිම විසූ තවත් ඇය වැනිම කෙල්ලක වන Pumkinයටතට පත්වේ. මෙහිදි ඔවුන් ගේෂා පාසලකට යොමු කෙරේ. නර්තනය, ගායනය ආදිවූ ගේෂාවක දැන සිටිය යුතු ඇවතුම් පැවතුම් පිළිබද මෙහිදී හදාරනු ලැබේ. ඒ Chiyo වයස අවුරුදු නවයක දැරියක්ව සිටියදිය.

Mother හෙවත් Oka-san යනු මෙම ගේෂා නිවසේ පාලිකාවයි. ඇය යටතේ ප්‍රධාන ගේෂාවක් මෙහි වාසය කරයි. මුල සිටම Chiyo මුහුණදෙන අර්බුද කේන්ද්‍රගතවි ඇත්තේ ඇය පසුබිම් කරගෙනයි. වහලියක ලෙස මෙහි ගත කළ කාලය තුළ ප්‍රධාන ගේෂාවගේ තාඩනයන්ට ලක් වන Chiyo ඇයගේ අනියම් සම්බන්ධය Oka-san හමුවේ හෙළිදරවු කළ පසු දෙදෙනා අතර ඔඩුදුවන විරසකය, ගේෂාවන් ලෙස පසුකාලිනව එකිනෙකා හඹායාමේ තරඟයට පදනම් වන මුඛ්‍ය කාරණයකි.

දිනෙන් දින සිදුවන වෙනස්විම් මත Pumkinද ගේෂාවක බවට පත්වේ. Chiyo සිටි තැනම, වහලියක් ලෙස සිය කටයුතු අතර හැදි වැඩේ. සිය ජීවිතයේ අප්‍රමාණ බලාපොරොත්තු ඈ තුළ ගේඩනංවන පුද්ගලයා ඇයම මුණ ගැසෙන්නේ මේ අතරතුරදීය. සිය රසවින්දනාත්මක මතකයන් අතරට එක්වන ඒ හමුවෙන් ඇය ලද ලේන්සුව තමා සමීපයේ සුරැකිව තපා ඔහුගෙන් ලද කාසි කිහිපය පන්සලට පුදා ඇය ප්‍රාර්ථනා කරනුයේ එකම එක දෙයකි. එනම් ඒ ආකර්ශනිය පුද්ගලයා සිය ජීවිතයේ නැවත වරකදි ඇයට මුණගස්වන ලෙසයි. Chiyo ගේෂාවක බවට පත්වීමට මහත් බලාපොරොත්තු ගොඩනංවා ගන්නේ මෙම අවස්ථාවේදීය. ඇයගේ ජීවිතේ හැරවුම් ලක්ෂය එයයි.

One-san ඇය සදහා විශාල මිලක් සදහන් කරනා තෙක් ගෙවූ ඇයගේ වහල් දිවිය උඩුයටිකුරු වන්නේ ඇය පිළිගත් ගේෂාවක බවට පත්විමෙනුත් Pumkin සේවිකාවකගේ තත්වයට පත් විමෙනුත්ය. මෙම සුවිශේෂී සමාජය තුළ හදුනාගැන්මට ලැබෙන තවත් එක් වෛශේෂික ලක්ෂණයක් වන්නේ මෙයයි. ‍

One-san යටතේ ඇය ගේෂාවක ප්‍රගුණ කළ යුතු ගුණාංග කලාංග සියල්ල පරිපූර්ණ කරයි. ගේෂාවෝ යනු බිරින්දැවරුන් නොවන පිරිසක් බවත්, සුන්දරත්වයෙන් පිරුණු රහසිගත ලොවක් නිර්මාණය කරන්නන් බවත් ඇය මෙහිදි අවබෝධ කොට ගනී. ගේෂාවන්ගේ සුකුමාල ලාලිත්‍යවත් ශෛලිය ඇය අන්තර්ග්‍රහණය කරන්නීය. ඇයගේ පැතුම වන්නේ ශ්‍රේෂ්ටතම ගේෂාව බවට‍පෙත් විමයි.

ගේෂාවක ලෙස නැවත ඇය නම් කරනු ලැබේ. ඒ Sayuri නමිනි.

ගේෂාවක ලෙස ඇය නැරඹු ඇගේ පළමු sumo තරගය ඇයට සුවිශේෂී වුවකි. ඒ ඇය‍ කුඩා කල පන්සලේදි කළ ප්‍රාර්ථකාව මෙහිදි සථල වීමයි. නමුත් වැඩිම ලාභය මත කෙරෙන ගේෂා තරගයේදී ඇයට බල කෙරෙනු ලබන්නේ වෙනකෙකුගේ ආකර්ෂණය දිනා ගැනිමටයි.

ඇයගේ පළමු රංගය…. ජවය, ආවේගය, පෙළඹවිම මුසු වූ සරාගී රංගනය… මින් ඇය ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරවන්නීය.

බලකාමියෙකුගේ රුදුරු දෑතට මැදිව, ගේෂාවක් ලෙස ගෙවන ඇගේ දිවියේ පළමු ජවනිකාව කෙළවර වන්නේ බලහත්කාරයකිනි. යෙන් 15000කව ඇයගේ මිල නියම වු අවස්ථාවේ ගේෂා නිවසේ පෙර සිටි ප්‍රෂාන ගේෂාවගේ ක්‍රෝධය, ඊර්ෂාව නැවත ඇය වටා රොද බැදෙනු දක්නට ලැබේ. මෙකී අවස්ථාවන්හි Chiyo හෙවත් Sayuri ඒවාට මුහුණදෙන මැදිගත් ස්වරූපය මත අපට ගෙන එන්නේ ඈ පිළිබද සුබවාදී ආකල්පයකි.

සම්මත අරිදි ඇය පළමු වරට ගේෂාවක ලෙස සිය පාරිභෝගියකා වෙත සේවය සපයා පැමිණි පසු Oka-san ඇයව වැළද ගන්නේ හද පිරි සතුටින් යුතුව “You are full Geisha now” කියමිනි. ළමා කල සිට Chiyoගේ එකම පැතුම එයම වුවද මෙකී අවස්ථාවේදී රූපරාමු තුළ චිත්‍රණය වන ඇයගේ මුහුණ ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ කැළඹුණු, අපේක්ෂාභංගත්වයට පත් වුණු ඇයගේ යථා චිත්ත ස්වභාවයයි.

This slideshow requires JavaScript.


යුද්ධයෙන් පසු එළඹුණු දිර්ඝ කාලය පුරා ඇය අපේක්ෂා කරන්නේ සිය සිත් ගත් පුදුගලයා නැවත දැකීමේ පැතුම සමගිනි. ජපන් සංස්කාතියේ ආගන්තුක සත්කාරයේ තරම ඇමරිකානුවන් හට පෙන්විම සදහා ඔහුගෙන් ලද ආරාධනය මත ඇය නැවත ගේෂාවක ලෙස සිය සේවය සැපයිම පිණිස පිටත්වේ. ඇය නැවත ගේෂාවක බවට පත් වන්නේද තම සිත් ගත් තැනැත්තා නැවත දැකීමට ඇති එකම අවස්ථාව එය වන හෙයිනි. මින් ඉස්මතු වන්නේ ධනය, ප්‍රසිද්ධිය, ආකර්ෂණය මත පළමුව ගේෂාවක විමට තිබු ඇයගේ කැමැත්ත දෙවන අවස්ථාව වන විට ආදරය පදනම් කරගත් කැපවිමකට විකසනය වන බවයි. ගේෂාවන්ගේ සගවාගත් ආදරයේ අදුරු ප්‍රතිඵලයක් ලෙස Pumkin විසින් ඇය පාවා දෙනු ලබන්නේ මේ කාලයෙහිදිය.

සුළගේ යවනු ලබන ඔහුගේ ලේන්සුව සමග නිරූපණය වන්නේ අතීත ස්මරණයක සිතිවිලි ඇය සිතින් පා කර හරින ආකාරයයි.

 

ඇය නැවන නැවතත් සිතයි….
…. ගේෂාවන් යනු කලාකාරිණියන්,
…. ඇය නටයි,
…. ඇය ගයයි,
…. අන් අය වින්දනයට පත් කරයි…

නැවත සිය ගේෂා ජීවිතයේ තිරණාත්මක අවස්ථාවකට පත් කෙරෙන ඇය දක්වන රූපරාමු අතර නෙත ගැටෙන වයස අවුරුදු හතක පමණ කුඩා දැරිය බලහත්කාරයෙන් Chiyo මෙම නිවෙස වෙත ගෙන ආ මුල් යුගය සිහි ගන්වාලයි.

ඇයගේ පැතුම… පන්සලේදි ඇය කළ එකම පැතුම යථාර්ථයක් කරමින් අවසානයේ ඇයගේ සිහිනය සැබැවින්ම ඇය නෙත් ඉදිරියේ දර්ශනය වේ…

 

“වරප්‍රසාද ලත් ගණිකාව” හෙවත් ගේෂාව පිළිබදව මෙම චිත්‍රපටය අප හමුවේ ඉතා අපුරු ලෝකයක් මවාලයි…

 
5 Comments

Posted by on June 22, 2012 in films

 
 
%d bloggers like this: