RSS

Category Archives: Uncategorized

සාම්ප්‍රදායික පැදුරු නිශ්පාදනයේ නියුතු කාර්මිකයන්ගේ නිශ්පාදන හා බැඳි නස්පර්ශනිය උරුමය

ඓතිහාසික සන්ධර්භය

Mat Weavers - Ceylon (Sri Lanka) c1880

සම්ප්‍රදායික කර්මාන්ත ලෙසින් හඳුන්වනු ලබන්නේ අනාදිමත් කලක සිට පැවතෙන පරම්පරානුගතව පවත්වාගනු ලැබූ ගෘහ කර්මාන්තයි. මේවා හුදෙක් පදනම් වූයේ මිනිසා ගමන් වාසය කළ පරිසරයෙන් පහසුවෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිත කරමින් තම දෛනික අවශ්‍යතා සපුරාගනු වස් තමන් විසින්ම කළ නිර්මාණයන් මතයි. අප අද මේවා “නිර්මාණ” ලෙස නම් කළද අනිත ගැමි ප්‍රජාවට ඒවා තම දෛනික දිවියේ එක් අංගයක් පමණක් විය. “පැදුර” සැලකූ කල සරල ගැමි දිවියේ ඒවා ආවශ්‍යයික අංගයක් පමණක් වූ බව පෙනේ. මෙය විශේෂයෙන්ම ජන පරිභෝජනයට එක් වන්නට ඇත්තේ කෘෂික දිවියක් ඇරඹීමෙන් පසු මිනිසාගේ පෙර පැවති සරල අවශ්‍යතා ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ වන්නට පටන්ගත් පසු විය හැකිය.

වගා බිමෙන් නෙළා ගත් ධාන්‍ය වියලීම නිදා ගැනිම, වැනි කාර්යයන් සඳහා මුල් සමයේ සත්ව සම් භාවිතයට ගන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. නමුත් දඩයම මුල් කරගත් ජීවන රටාවෙන් දුරස් වන තරමට කෘෂිකාර්මික බිම් පුළුල් කරමින් වඩාත් කාර්යක්ෂම කෘෂිකාර්මික පසුබිමක් සකසා ගන්නට වන් යුගයක පුළුල් වූ අවශ්‍යතා රැසකට විසඳුමක් ලෙස ඇසිරීමේ කටයුතු සඳහා සත්ව සම් වලට වඩා උපයෝගීතාවයෙන් වැඩි යමක් ඔවුනට අවශ්‍ය වන්නට ඇත. නිදර්ශනයක් ලෙස මැටි භාණ්ඩ නිශ්පාදනයේ මූලිකම අවස්ථdවේ හමුවන සාධක වලදි විද්‍යමාන වන, ශාකමය අවශේෂ භාවිතයෙන් සකස් කළ කූඩයක ආධdරයෙන් මැටි බඳුන් නිශ්පාදනය සැලකිය හැක. එසේනම් ශාකමය ද්‍රව්‍ය භාවිතයෙන් වියමන් වලින් යුත් නිශ්පාදන කිරීමේ ක්‍රියාවලියේ ඉතිහාසය ඒ දක්වා අතිතයකට අයත් බව උපකල්පනය කළ හැක. මෙහිදී නිදර්ශන ලෙස මෙසපොතේමියාවෙන් වසර 4000-5000 පමණ කාලයකට පෙර තෘණ පැදුරු භාවිත කළ බවට ලැබෙන සාධක පෙන්වා දිය හැකිය (නාගොඩවිතාන, 2010, 254) Read the rest of this entry »

 
9 Comments

Posted by on February 6, 2014 in Uncategorized

 

“…දුයිෂෙන්…”

සිහිනෙනුත් පෙනේ
අර පොප්ලර් ගස් දෙක
මතකයන් සඟවා
ගීතනය වන
කැඩුණු කාන්දමක්
එක්කරන විට මෙන්
ඔබ වෙතින් මා
ඉවතට වීසි කළ
දුම්රියේ වේගයට
පසුපසට ඇදී ගිය
කන්ද මුදුනේ
පොප්ලර් නිඹුල්ලු
දුයිෂෙන්….
අල්තිනායි වන මම
ඔබේ අල්තාරය අබියස
හඬා වැටෙමි
සඟවා ගත්
දහසකුත් අභියාචනා
නොකියාම ගුලිකර…
සිතිවිලි ගල් කළ
සිතල මකන්නට
විප්ලවය ඇරඹූ
දුයිෂෙන්…
තමන් දත්
අංශුවක දෙය හෝ
අයිලයට දෙන්නට කැපවූ
දුයිෂෙන්..
කාමාතුර දෑතට විකිනුණු
අල්තීනායි
මුදවා ගත්
දුයිෂෙන්…
විල්ලුද පුටුව
ඔබට පුදන්නට
අල්තිනායි බලා සිටී
දුයිෂෙන්…
සැබෑම ගුරුවරයා ඔබයි
“…දුයිෂෙන්…”

 
 

Tags: , , ,

කොළ හැළුණු ගහ

මතකද අර
කොළ හැළුණු ගහ
අපි පැය ගණන්

වචනයක්වත් නොදොඩ
බලාගත් අත බලන් කල් මරපු
කොළ හැළුණු ගහ

ඔයා….
අතන මෙතන හැම තැනකම

වසන්තයක් පෙන්නපු
මට නොපෙනුණු වසන්තය අහුරගත්තු
කොළ හැළුණු ගහ

පාළු මූසල
පිට්ටනියෙ කෙළවර

කැහැටු අතු
අහසට දික් කරන් උන්නු

කොළ හැළුණු ගහ

ඔයා…
මහ මෙරක් මිහිරක් ලබපු

ඇතින් ඈතට බලන්
තනියම හිනාවුණු
කොළ හැළුණු ගහ

වැහැරුණු සෙම ලෙඩෙක්ගෙ
පපුවෙන් එන ගොර සද්දෙ වගේ
මගේ පපුවෙ සද්දෙ 
මගේ කන් ඇතුළෙම

දෝංකාර නංවපු…
අසිමිත ආශා

නැගි නැගී බිදි බිදී
මගේ දෙපතුල් ළග 
වේළිච්ච කොළ වගේ වට්ටපු

කොළ හැළුණු ගහ

අපි….
වචනයක්වත් නොදොඩ
බලාගත් අත බලන් උන්නු
මතකද ඒ
කොළ හැළුණු ගහ

 
2 Comments

Posted by on June 12, 2012 in Uncategorized

 

ගැහැණිය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මම…. මගේ කුමාරයා එනකන් බලන් හිටියා……..

ඉස්සර වගේම මහ රෑ මගේ කාමරේ ජනේලෙන් පෙනෙන පොල් අත්ත අස්සෙන්… හද පායගෙන එනකන් රෑ දෙගොඩහරියේ නිදි නැතිව මම අද වෙනතුරුත් බලන් හිටියා. අන්දකාර අහසට හද වගේ මගේ වස්තුව, මගේ කාමරේ එළිය කරන්න වඩිනකන්….. ඒ කාලෙ මම කොයි තරම් පිස්සියක් උනාද? මම හදෙන් දැක්කෙ ඔයාවමයි. ඒකයි මම රෑ දෙක තුන වෙනකන් වුණත් හද මගේ ජනේලෙට පිටින් පායනකන් බලන් හිටියෙ…. හැම කවි කාරයම, හැම නවකතා කාරයම, හැම කෙටිකතා කාරයම වගේ මමත් ඔයාව පුරුද්දට හදට උපමා කරනව නෙවෙයි. හදට කටක් තියනවනම් ඇත්තම කියාවි. මේ ඇද උඩ ඒ මේ අතට කැරකි කැරකි මේ දක්වා කාලයක් මගේ ඇස්දෙක හදේ නැවතුණ හැටි හැම රෑකම.
තත්පරෙන් තත්පරේ ගෙවිලා ඒ තත්පර ගණන කෝටි ගණනකින් වැඩි වෙලා… ලස්සනට තිබුණු මගේ තොල් තෙත් කරපු එයාගෙ ඒ තෙත්බර උණුහුම ආයෙමත් මගේ තොල් වලට දැනෙන දවසක් එනකන් මම කොයි තරම්නම් හූල්ල හූල්ල හිටියද? ඒ ඇගිලි මාව කිතිකවාගෙන, මා පුරාම… හැමතැනම දුවවද්දි දැණුනු හිරිය ආයෙමත් දැනෙන දවසක් එනකන්….
පංතියට නොයා අර කැළෑ පාරවල්වල කළුවර අහුමුළුවල අපිම හොයාගත්තු අපේ තාවකාලික දිව්‍ය විමාන ඔයාට මතකද? කෑඩැල්ලො තෙල්කූඹි… අපේ ආදරේට වේදනාවෙ මිහිරි රහක් එක් කරද්දි අපි දෙන්න අපේ සිරුරු දෙක එකක් කරගත්තු තහනම් විරාමයන්….
ඔයා මගේ ජීවිතේට එක්කරපු ඒ නොමැකෙන මිහිර, ඔයා මගෙන් දුරස් වුණාට පස්සෙත් මම හොයන්න උත්සහ කළා කීවොත් මගේ වස්තුව කරහ වෙන්නෙ නැතිවෙයි නේද? එකින් එක මට ලං වුණු හැම පිරිමියෙකුගෙන්ම… ඒත් නොවැරදීම මම ඔයා මගෙ ජනේලෙට පිටින් පායගෙන එනකන් බලන් හිටියා. ඔයා දන්නවද….. ඔයා නාව දවසට මම පිස්සියක් වගේ… ඒ තරමටම මට මාව පාලනය කර ගන්න බැරි මොහොතක් තවත් නෑ. කවුරු මට පණ දෙන්න ආවත්, ආදරේ කළත්, ඒ අයගෙ අවශ්‍යතාවයට විතරක්ම ළං වුණත්… ඔයා දුන්නු ඒ ආදරේ මට කවදාවත් තව කෙනෙකුගෙන් ලැබුණෙ නෑ. බිදවැටුණු අපේක්ෂා ගොඩක් පුරවගත්තු මගේ පපුවට උඩින්, රත් වුණු දාඩිය පුළුටු ගදකුත්, කවුරුහරි මිනිහෙක්ගෙ මහ බරකුත් තියාගෙන සිගරට් දුම අතරින් ඇස් යව යව මම හෙව්වෙ ඔයාවමයි. මට උඩින් ඉන්න ඒ මිනිහගෙ රස්නෙට වඩා මාව පිච්චුවේ මගේ පපුවෙ අහුමුළු සේරම අවුස්ස අවුස්ස දැල්වුණු ඔයා අවුලුවපු ඒ ගින්න කියල මම තත්පරයක් පාසා වඩා හොදින් අවබෝධ කර ගත්තා.
සමාජ මට්ටම, උගත් බව, නම්බුව, කීර්තිය, ප්‍රසිද්ධිය… මගේ වටේ කැරකෙන්න පටන් ගත්තු මගේ ජීවිතේ මුල්ම කාලෙම මාව කාලකන්නි ගෑණියෙක් කළා, ඒ හැම දෙයක්ම එකට එතිල මගේ අම්මලාගෙ ඔළුවෙ යක්ෂයා අරක්ගත්ත නිසා. ඒ ඔයාව මගෙන් උදුරගත්තු මගේ ආත්මය මට තැතිවුණු දවසෙ. මම මැරුණු ගෑණියෙක් වුණු දවසෙ.
අද ජනේලෙට පිටින් හදත් පායලා. පොල් ගහ දැන් ලොකු නිසා කරදරයක් නැතිව හද රවුමට බලාගන්න පුළුවනි. ඔයා… මගෙ වස්තුව මා ගාව ඉන්නව, එදා වගේම දිස්නයක් නැතත් ඒ ඇස් දෙකේ පතුලෙ මගේ රැළි වැටුණු හමේ වේලිච්ච ප්‍රතිබිම්බයක් ඇදගෙන… අද මට කට ඇරල වචනයක් කියා ගන්නත් කොච්චර වෙලා යනවද? කොයි තරම් මහන්සියක්ද….? ඒත්.. ඒත් අවුරුදු ගානක් මගෙ හිතේ ඔයා වෙනුනවන්ම ගෙතුණු, ඒත් හිත ඇතුළෙම පල් වෙවී තිබුණු කතා සේරම මම ඔයාට කොහොමහරි කියන්න ඕන. මගේ ඉස්සරහ සැලුණු ඔයාගෙ එත ඇහි පිල්ලමක් ගානෙ ම‍ගේ හිතේ ඔයා වෙනුවෙන් ඇති වුණු ආදරය මම කියන්න ඔන… මට තව කාලයක් නෑ… මම හුගක් වයසයි ඔයා වගේම දැන්.
ඔයා ඔහොම මගේ දිහා බලන්න එපා. මට තේරෙනව… ඔයාටවත් මටවත් අපේ පුංචි කාලෙට ආය යන්න බැරි බව… ඇයි ඔහොම අහක බලා ගන්නේ…?
මගේ වස්තුව… එක දෙයක් කරනවද… මම හිතන්නෙ අපට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එච්චරයි…
ඔයා ‍ආයෙමත් එනකන් කියල, බොහොම අමාරුවෙන් දෙයියන්ගෙන් ණයට අරන් තියා ගත්තු මගේ මේ අන්තිම හුස්ම පොදවත් ඔයාගෙ පපුවට වැටෙනකම් මාව තුරුල් කරගෙන ඉන්නවද…?

 
 

වැහැපන් වැස්ස

වැහැපන් වැස්ස

දවස් තුනක් තිස්සෙ එක දිගටම අහස පොළවට කඩා වැටිල යන්තම් නතර වුණා විතරයි. කැරකෝප්පුවේ අතරින්පතර හිටගෙන ඉන්න කෙනෙක්දෙන්නෙක් ඉහළගත්තු කුඩයක කවාකාර නැම්ම දිගේ රූටගෙන එන වතුර බිංදු නන අගින් බේරිලා මඩ වුණු පොළවට වැටෙනවා. අඳුරු කොළ පාට අතු වැහි වතුරෙන් බර කරගත්ත ෆයිනස් ගස් ගොන්න පරද්දගෙන අහසට නැගුණු ආදාහනාගාරෙ උස කුළුනෙන් පිටවෙන අළු පාට දුම් වළළු ඕනෑවට එපාවට වගේ අහසෙ එහෙ මෙහෙ ගිහින් මැකිලා යනවා.

“නිමන්තිට හොඳයි, නංගියෙක්වත් හිටපු නිසා. නැත්තං ආතක්පාතක් නැතිවනෙ මැරිල යන්න වෙන්නෙ දෙයියනේ.”

 “හ්ම්…. යමු නේද වැස්සට කලින්. ආයෙමත් වැහිඅන්දකාරෙ.”

“ඔව් ඔව්. පාරවල් ගැන විස්වාසෙකුත් නෑ මේ දවස්වල හැටියට. මඩ නිසා වාහනේ ගන්න අමාරුයි. එද්දිත් දැක්කෙ නැතෑ…”

“ඉන්ඩකො එහෙනම්, මම ගිහින් කට්ටියට කියල එන්නම් බස් එකට යන්ඩ කියලා.”

එක්කෙනා දෙන්න කනත්තෙ අශ්වලාඩමක් වගේ තියන ලොකු වංගුව පහු කරගෙන පාරට ආවා. ආදාහනාගාරෙ ලඟ රජකරපු නිශ්ශබ්දතාවයත් මුනුමුනුවත් වෙනුවට කනත්තෙ ලොකු කළුපාට ගේට්ටුව පහුකරපු කාගෙත් කටවල්වලට අලුත් පණක් ඇවිත්. එහෙම ආපු කෙනෙක් පාරට පය තිබ්බ ගමන් ලොකු හුස්මකුත් ගත්තෙ බලෙන්ම මළවුන් අතරට ඇදගෙන ගිහින් ආයෙත් පියවි ලෝකෙට ගෙනත් අතහැරියම ලැබෙන සතුට සමරන්න වගේ. පාර දෙපැත්ත බැලුවා හෝ නොබැලුවායින් පාර පැනගත්ත අය බස් රථයට ගොඩවුනේ ගමට යනකන් ඉඳගෙන යන්න තැනක් අල්ලගන්න හදිස්සියෙන්.

නිමන්ති…, පායගෙන එන මහ වරුසාවක වගක් නොදැන මේ දැන් ආදාහනාගාරෙ ඇතුළෙ උණුසුම්වෙන, නැත්නම් ගිනි රස්නෙට කර වෙන නිමන්ති…

පුංචි කාලෙ, එතකොට නිමන්තිට අවුරුදු තුනක් විතර ඇති. අම්ම සාලෙ පුටුවකට වෙලා කුල්ලත් තියාගෙන පෙනෙල වැල් එකින් එක අරගෙන කොළ කඩනවා. නිමන්ති පෙනෙල ගෙඩි පුංචි ඇඟිලි තුඩු අතරට තියලා මිරිකද්දි ඒව කැඩෙන සතුටට හයියෙන් කෑ ගහනවා. අම්මත් නිමන්තිගෙ සතුටු කෑගැහිල්ලට එකතු වෙලා ‘ආ මැණික තව පෙනෙල ගෙඩියක්’ කියල කීවත්, ටකරන් වහලෙට මහ හඬින් වැටෙන වැස්ස නිසා නිමන්තිට අම්ම කියන දේ ඇහෙන්නෙ නෑ. අම්ම අත දික්කරන නිසයි නිමන්ති වටහගන්නෙ, එයාට තව වතාවක් හයියෙන් හිනාවෙන්න පුළුවන් වෙන්න අම්ම තව පුපුරන ගෙඩියක් එයාට දෙන බව. නිමන්තිට ඕන හයියෙන් කතා කරන්න, වහළ දෙදරවන වැස්සෙ මහ ගෝසාව පරද්දලා අම්මට ඇහෙන්න හයියෙන් කෑ ගහන්න. මොනවද කියල එයාවත් හරියට නොදන්න වචන ‍ගොඩක් එකතු කරල කිය කියා නිමන්ති එදා ගොඩක් සතුටු වුණා.

තදින්ම වහින දවසට නිමන්තිගෙ ගෙඅර මිදුලෙ වතුර පිරෙනවා. ඒ, ගෙදර තිබුණෙ තුන් පැත්තකින්ම ඇල්ලෙන් වටවුණු වළක් වගේ තැනක නිසා. තුන් පැත්තකින් ගලාගෙන එන වතුර පාර මිදුලෙ පිල මට්ටමටම වගේ පිරෙනවා. පුංචි නිමන්ති හරි ආසයි ඒ වෙලාවට බෝට්ටු හදල වතුරෙ යවන්න. උඩහ වතු දිගේ පාරට කඩාගෙන එන වතුර පාර කෙලින්ම බෑවුම දිගේ එන්නෙ නිමන්තිලාගෙ මිදුලට. ඒ වෙලාවට නිමන්ති අම්ම එක්ක එකතු වෙලා පරණ පොත්වල පිටු නවල පුංචි බෝට්ටු හදනව. ඉස්සරහ දොර ගාවින් මඩ වතුරට එකතුවෙන බෝට්ටු වතුර පාරෙ කැරකි කැරකි යනවා. එහෙම නැත්නම්, පීලි නොදාපු වහළෙන් වැටෙන වතුර බෝට්ටු ඇතුළෙ පිරුණොත් පෙරළිලා යනවා. ඒත් ටික කාලෙකින් අම්ම නංගියෙක් ගෙනාවට පස්සෙ නිමන්ති තනියම බෝට්ටු හැදුවා. ඒ වෙද්දි තනියම ඒව හදන්න පුළුවන් තරම් බෝට්ටු හදන්න පුරුදු වෙලයි හිටියෙ. තාත්ත නගරසභාවට ලියලා, කියලා කොහොමහරි වත්ත උඩින් බෝක්කුවක් දාගත්තට පස්සෙ කොයි තරම් වැස්සත්, නිමන්ති කොයි තරම් බලාගෙන හිටියත් කවදාවත්ම එදායින් පස්සෙ මිදුල වතුරෙන්නම් පිරුණෙ නෑ.

දන්න දවසේ ඉඳලම නිමන්ති වැස්සට ආසයි. කොයි තරම් තදින් වැස්සත් ඕනම වැස්සක එළියට බැහැල යන්න කවදාවත් එයා කම්මැලි වුණේ නෑ. මේ වෙද්දි නිමන්ති ඉස්කෝලෙ නවයෙ පංතියේ. එදත් තදින් වැස්ස දවසක්. කුඩේ තිබුණත් හුළං වැස්සට තෙමෙන එක වලක්වන්න කුඩේට බැරිවුණා. නිමන්තිලාගෙ ඉස්කෝලෙට යන්න තවත් පිරිමි ළමයින්ගෙ ඉස්කෝලයක් පහු කරන්න ඕන. ඉස්කෝලෙ පටන්ගන්න වෙලාව නිසා පාර දිගටම පිරිමි ළමයි. කුඩයක් ඉහලන් හිටියත් කුඩයක් නැතිව ගිය ගානටම තෙමුණු නිමන්තිගෙ සුදු ගවුම ඇඟටම ඇලිලා. පුංචියට මතු වෙලා එන පපුව වහගන්න පුළුවන් විදිහක් ගැන හිතලා පොත්මල්ල එල්ලගෙන හිටපු එක උරහිසක් නිදහස් කරල පොත්මල්ල ඉස්සරහට අරන් පපුව වහගත්තා. එහෙම කරලා එක අතකින් පොත් මල්ල පපුවට තුරුල් කරන්, අනික් අතින් මූන වැහෙනකන් පහත් කරගත්ත කුඩේ අල්ලගෙන ඉස්කෝලෙට යනකන් දිව්වා. ගේට්ටුවෙන් ඇතුල වුණාට පස්සෙ එයාට කිසිම ආගන්තුක හැඟීමක් ආවෙ නෑ. හේතුව එයා එළියෙ අමුතු ලෝකෙන් මිදිල එයා වගේම ගෑණු ළමයි ගොඩක් අතරටයි ආවෙ. පිරිමි ළමයින්ගෙ ඉස්කෝලෙ පාරෙ එද්දි ඇහෙන විහිළු කතා, හැමදාම ඒ පාරෙ යද්දි එද්දි ඇහෙන නිමන්තිට පටබැඳපු නම්, මේ ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ ඇහුණෙ නැති නිසා නිමන්තිට දැනුණෙ ලොකු ආරක්ෂාකාරී හැඟීමක්. එදා නිමන්ති හිටියෙ වැවක බස්සලා පොඟවලා ගත්තා වගේ. පංතියේ එයා ඉඳගෙන හිටපු පුටුව දිගේ බේරිලා තිබුණෙ මහ වැස්ස නිමන්තිගෙ ඇඟේ ඉතිරි කරල ගිය වතුර. ඉන ගාවට එනකන් ගොතල අගිස්ස නවල සුදු රිබන් පටියෙන් බෝ එක ගැටගහල තිබුණු කොණ්ඩ කරල් දෙක මිරිකලා වතුර එකතුකරගන්න පුළුවන් තරම් වැස්සකටයි නිමන්ති අහුවෙලා තිබුණෙ. ලස්සනට පිළිවෙළට සුදු ගවුම් ඇඳල කාර් එකකින් හරි වෑන් එකකින් හරි ඇවිත් ඉස්කෝලෙ ගේට්ටුව ගාවින්ම බැහැල පංතියට ආපු අනිත් කෙල්ලො, කිකිළියක් වගේ තෙමිල හිටපු නිමන්තිට හිනා වුණාට නිමන්ති ඒක ගණන් ගත්තෙ නෑ. සපත්තු ඇතුළෙ වතුර පිරිල ගොජ ගොජ ගාපු නිසා නිමන්ති සපත්තු ගැලෙව්වා. ඊළඟට වෙන වෙනම හෙමිහිට මේස් දෙකත් ගැලෙව්වා. මහපටඟිල්ල ගාවින් ලොකු හිලක් හදාගෙන එළියට පැනපු ඇඟිල්ල පේන මේස් දෙක දාගෙන ඉන්නවට වඩා ඒකත් ගලවලාම ඉන්න එක හොඳ බව එයාට ඒ වෙද්දිත් දැනිලයි තිබුණෙ. නඩුකාර පැටව්, දොස්තර පැටව්, ඉන්ජිනේරු පැටව්, විනිසුරු පැටව්… මෙකී නොකී පැටව් ඔනවට වඩා හිනස්සවන විහිළුකාරියක් වෙන්න කොහොමටවත් නිමන්තිට ඔනකමක් තිබුණෙ නෑ. කොහොම වුණත් මේක එයාගෙ ජීවිතේ එයාට අමතක නොවුණු දවස්වලින් එක දවසක්.

තවත් දවසක්…. ඒකත් වැහි බීරම තිබුණු දවසක්. ඒ, නිමන්ති එයාගෙ මුල්ම පෙම්වතා, නිමන්තිත් කුළුඳුලේම පෙම්වතී වෙලා හිටපු කාලෙ මුණගැසුණු සම්පූර්ණ දවස් විසි හතරෙන්ම මතක තියන ලස්සනම දවසක්. එයාගෙ විදිහට කියනවනම් එයා එයාගෙ මුල්ම පෙම්වතාගෙ ඇඟ විනිවිදගෙන ගිහින් ‘ඇය ඔහුම’ වුණු දවසක්.

ඉස්කෝලෙ ඇරිලා ළමයි විසිරිලා යනකන් නිමන්ති කල් බලබලා ඉඳලයි කලින් කතා වෙලා හිටපු තැනට ගියේ. ඒ දෙන්න මුනගැහුණෙ ගැහැණු පාසලත් පිරිමි පාසලත් අතර පාරෙ තිබුණු තුන්මංහංදියක් ගාවදි. ටිකින් ටික පටන්ගත්ත වැස්ස එන්න එන්නම තද වුණා. එයා… ඒ කීවෙ නිමන්තිගෙ මුල්ම පෙම්වතා, ගිහාන්.. තමත් අල්ලාගෙන හිටපු නිමන්තිගෙ අතින් තමන්ගෙ අත මුදවලා දෑතින්ම නිමන්තිව තුරුල් කරගත්තා. වැස්සත් එක්ක දැනෙන සීතලට වඩා මුළු ඇඟම අමුතු හිරියකින් ගැස්සෙද්දි නිමන්ති ගිහාන්ගෙ අත් අතරෙ හැංගුණා. ඒ තුංමංහන්දියේ දිසාපති නිළ නිවසට හැරෙන තැත. මොහොතින් මොහොත තද වෙන වැස්සත් එක්කම ගිහාන්ගෙ ග්‍රහණයත් තද වුණා. අලුතින් වැටෙන හැම වතුර බිංදුවක් බිංදුවක් ගානෙම හිරිගඩු පිපුණ නිමන්තිගෙ අතපය උණු කරගෙන, නැවුම් කිතියක් එක්කම ගිහාන්ගෙ උණුසුම නිමන්තිගෙ නහර වැල් දිගේ ඇදුණා. තව තවත් ඒ උණුහුමට නිමන්ති ඇදිල යද්දි කිටි කිටියෙ ගිහාන්ට තදවුණු, දැන් ඉස්සරට වඩා සුදු ගවුමෙන් උඩට මතුවෙලා තියෙන නිමන්තිගෙ පපුවට, ගිහාන්ගෙ පපුව වේගෙන් ගැහෙන ගැස්ම දනුණා. ගිහාන්ගෙ ඒ ඩග් ඩග් සද්දේ හැමදාම නිමන්තිගෙ පපුව ඇතුළෙ තියාගෙන ඉන්න මුල්ම වතාවට නිමන්තිට ලෝබ කමක් ඇතිවුණේ එදායි. අඩුගානෙ එදා ගෙදරට යනකන්වන් ගිහාන්ගෙ උණුහුම ඒ පපුව ඇතුලෙ තියාගන්න ඕන නිසා නිමන්ති දෑතම එක්කරල පපුව ගාවට තියල තද කරගෙනයි ගියේ. ගිහාන් ගාවදි ඉහළුනේ නැති කුඩෙත් ගෙදර යද්දි ඉහළගත්තෙ තවත් ආරක්ෂාවට. සීතලෙන් ගිහාන්ගෙ උණුහුම ආරක්ෂා කරගන්න. ඒත් නිමන්ති ඒ කාලෙ වෙද්දි හිටපු එකොළහේ පංතියෙන් දොළහට මාරු වෙද්දි ඒ සිතිවිල්ල එකොළහේ පංතියේම දාල යන්න සිද්ද වුණේ, ඒ වෙනකොටත් කාටත් නොකියම ගිහාන් අතුරුදහන් වෙලා තිබුණු නිසා.

ඒ කොහේද, කින්ද, මන්ද නොදන්න ආරංචියත් එක්කම නිමන්ති කාටත් නොදැනිම හුදෙකලා වෙන්න ගත්තා. මහ හයියෙන් රෑට ටකරං වහළට වැස්ස වැටෙද්දි ඒ වැහිකෝඩෙට මුවා වෙළා නිමන්ති හයියෙන් අඬන හඬ, කඳුළුවලින් පෙඟුණු කොට්ටෙ ඇතුළෙ අතුරුදහන් වුණා. ගිහාන් ඇයි ගියේ කියල නිමන්ති නොදන්නව වගේම උදේට උදේට නිමන්තිගෙ ඇස් රතු වෙන්නෙ ඇයි කියලත් කිසිකෙනෙක් දැනගත්තෙ නෑ. ඉන් පස්සෙ හැම වැහි දවසකම උදයක් දවාලක් රැයක් නැතිව කාමරේ ඇඳේ හුදෙකලා වෙන්න පටන් ගත්ත නිමන්ති ආයෙමත් ඒ වැහි දවසෙ එකම වතාවක් විතරක් ලබපු උණුහුම හොයාගෙන කොට්ටෙට තුරුල් වෙන්න පුරුදු වුණා.

මහ පාරෙදි, කැම්පස් එකේදි වැස්සෙ තුරුලුවෙලා කුඩයක් යටින් යන ආදරවන්තයො දකිද්දි නිමන්තිගෙ හිත කෑගැහුවා. හිතට දිවක් තිබුණනම් නිමන්තිගෙ ඒ සිතිවිලි වචනයට නගාවි,

‘තොපි දන්නවද යක්කුනේ…, ඔය හැම දෙයක්ම බොරු මනස්ගාත විතරයි. ඉන්නකන් සුරංගනා ලෝකෙ හිටපල්ලා. ආසාව ඉවරවුණාම තොපිත් මිරිකලා දාපු පොල්කුඩු. එතකන් සුරංගනා ලෝකෙ හිටපියව්’

ඒ වගේ කාලෙක නිමන්තිගෙ දෙවෙනි පෙම්වතා එයාගෙ ලෝකෙට ආවා. අනාගතේ මවන්න හිතාගෙන ඉන්න දිව්‍ය විමානෙක අරුමෙ කියාගෙනනම් නෙවෙයි, තත්පරයක් තත්පරයක් ගානෙ දුක් මහන්සිවෙලා හම්බකරගෙන මහන්සියෙන් ගොඩනගාගන්න ඕන ලෝකෙකට පාර පෙන්නගෙනයි එයා ආවෙ. ගිහාන්ගෙ සිතූ පැතූ සම්පත් දෙන කප්රුකට වඩා, කැනල කැනල මතුකරගෙන, වතුර ඇදගෙන බොන්න තියන නිර්මාල්ගෙ ළිඳ හොඳයි කියල ඒ වෙද්දිත් නිමන්තිට හිතිල තිබුණු නිසා නිර්මාල් නිමන්තිගෙ නීත්‍යානුකූල දෙවෙනි පෙම්වතා වුණා. කළුම කළුපාට අහස හඬා වැටෙන වැහි දවසක රෑ, ඒ වැහි කඳුළු වලට හේදිලා වැටුණු රොබරෝසියා මල් අල්ලන්න සරච්චන්ද්‍ර වලේ උඩ පැනපැන හිටපු නිමන්ති නිර්මාල්ගෙ හුස්මෙ උණුහුම හඳුනගත්තා. අමතක වීගෙන ගිය අතීතයක, කොට්ටයක් තුරුල් කරගෙන හොයාගන්න දඟලපු, ඒත් අතරමග හැලිල ගිය ආගන්තුක නොවුණු උණුහුමක්, ආගන්තුක ශරීරෙකින් විඳගන්න මුලින්ම ඉස්සර වුණේ නිමන්තියි. ඒ උණුහුම කඩා හැලෙන වැස්සෙන් සේදිලා ගියත් ගිහාන්ගෙ උණුහුම වගේ පපුව ඇතුලෙ රඳවගන්නනම් නිමන්තිට මේ වෙද්දි වැඩි ඕනකමක් තිබුණෙ නෑ. ඒකට හේතු ගොඩක් තිබුණා.

නිර්මාල් අරන්දුන්නු පුළුං පුරෝපු ලොකු වලහ තුරුල් කරගෙන, පැය විසිහතරම වුණත් කතා කරන්න පුළුවන් ෆෝන් එකත් ළඟට ගත්තම නිමන්තිට අමුතු උණුහුමක් අරන් තියාගෙන පරිස්සම් කරගෙන ඉන්න ඕනකමක් තිබුණෙ නෑ. ඒත් විශ්වවිද්‍යාලෙ ඒ අවුරුදු හතර ඉවර වුණාම නිමන්තිගෙ කේන්දරෙන් නිර්මාල්ට අපල ගෙනාවා. වැන්දඹු වෙනවට නිර්මාල් හිත යටින් බය වුණු නිසාත්, ගෙදරට විරුද්ධ වෙලා නිමන්තිව ගෙදර ගෙනියන්න නිර්මාල්ට හයියක් නොතිබුණු නිසාත්, නිමන්ති තව කෙනෙක් අතින් අත් හැරුණු මුල්ම හා එකම වතාව මේක නොවෙන නිසාත් නිමන්ති නිර්මාල්ට යන්න දුන්නා.

රස්සාවක් නැතිව ගෙදරට වෙලා හිටපු කාලෙ දිගටම වගේ අම්මයි නිමන්තියි අතර රණ්ඩු ඇති වුණා. ඒවට ගොඩක්ම මුල් වුණේ නිමන්තිගෙම හැසිරීම. තමන්ගෙ වැරදි අඩුපාඩු හදාගත යුතුයි කියල නිමන්ති මොහොතකටවත් හිතුවෙ නෑ. විවාහ වෙන්න නිමන්තිට තිබුණු නොවුවමනාව ඒ ගැටුම් වැඩි කළා.

“තොට මේ ගෙදරින් ආයෙ කෑම නෑ. මේකි මගේ කරුමෙට උපන් එකියක්”

කියල අම්ම කියපු තුන්වෙනි දවසෙ මහ රෑ වැස්සවත් බලන් නැතිව නිමන්ති ගෙදරින් පිටවුණා. රත්තරන් කරාබු කුට්ටන් දෙකකුත්, රුපියල් තුන්සීයක් තිබුණු බැංකු පොතකුත්, ඉතුරු කරගෙන තිබුණු සීයෙ කොළේකුත්, සහතික මිටියකුත් ඇඳුම් මල්ලකුත් අරන් පිටවෙද්දි වෙලාව හවස හත වුණා විතරයි.

“ගියාවෙ ඕකි. උද්දච්චකම ගිහින් පස්ස බිම ඇනුණු දාක තේරේවි මේ අම්මගෙ වටිනාකම”

ගෙදරින් පලයන් කියලත්, පස්සෙ නිමන්ති යන ගමන වලක්වන්න හදලත් බැරිවුණු තැන අම්ම කීවා. එදා නිමන්ති යක්ස වේසෙන් අම්මගෙ ඇඟට කඩා පැනල තිබුණු දවසක්. නංගි ඇඬුවා. අම්ම නෑඬුවා නෙවෙයි. ඇඬුවා. ඒ උපන්දා ඉඳල ලොකු කෙල්ල නිසා තමන් විඳවපු දුක් කන්දරාවයි අවමානයි නිමන්තිගෙ නොදැමුණුකමයි වෙනුවෙන් අඬපු ඇඬිල්ලක්. නංගිගෙ සැමියා කීවෙ ‘මේ හදිස්සියේ නොගිහින් දවාලක යන එක නේද හොඳ..’ කියලයි. කොහොම වුණත් අම්මගෙ ඒ වටිනාකම නිමන්තිට තේරුණා. ඒ හැමදාමත්… හැමදාමත්… හැමදාමත්… අම්ම ගැන හිත හිත අඬපු, ජීවිතේ වේදනාව හිත ඇතුලෙම හිරකරගෙන විඳවපු, ජීවත්වුණු මුළු කාලයෙන් තුනෙන් දෙකකට අඩු වෙච්ච ඉතුරු මුළු ජීවිත කාලෙම. හරියටම කියනවනම් ගෙදරින් ගිහින් පැයක් වුණු මොහොතෙ ඉඳලම.

එදා ඒ රෑ වැස්සට ගෙනියන්න ගත්ත මලු තෙමෙද්දි නිමන්ති ඇවිදගෙන ගියා පයින්ම. යන්න තවත්වලා තිබුණු වැඩිම දුරක් යන බස් එකට නැංගා. පාර පුරා ගලාගෙන යන වතුර පාර දකිද්දි නිමන්තිට මතක් වුණා පුංචි කාලෙ අම්ම හදල දුන්නු බෝට්ටු. නිමන්ති ඒ එක බෝට්ටුවක් පැදගෙන ආවා. පාර දිගේ ගහගෙන ආව බෝට්ටුව පාරෙ කැඩුණු මුල්ලකින් මහ කාණුවට වැටුණා. ඇතුලෙ හිටපු නිමන්ති කැරකිලා ගියා එතන තිබුණු සුළියට අහුවෙලා. බස් එක දහදොළොස් වතානක් ගැස්සිලා ගස්සලා පාරට දැම්මා.

නිමන්තිගෙ දෙවෙනි රස්සාව, ඒ කියන්නෙ එයාට ස්ථිර විදිහටම විශ්‍රාම යනකන් කරපු රස්සාව ලැබුණෙ වගකිවයුතු පුද්ගල වේශයකුත් එක්ක. ඒ විදිහට නිමන්ති ගුරුවරියක් වුණා. අවුරුදු තිස්පහේදි නිමන්ති අනුරාධපුරේ. නිමන්තිගෙ නවාතැන වුණේ කොහොඹගස්හන්දිය ලඟ ගෙදරක්. ඒ ජීවිතේ තීරණාත්මක වෙනස්වීමකට මුලපිරූ කාලයක්.

හැමදාමත් පහුකරගෙන යන ජේතවනේ චෛත්‍ය ලඟ පොකුණ ගාව හිටපු ගිහාන්ව නිමන්ති දැක්කෙ අහම්බෙන්ද දෛවෝපගතවද කියන්න නිමන්ති දැනන් හිටියෙ නෑ. ලැබුණු අවස්ථාව අත්හරින්නවත් අතයටින් ලිස්සලා හරින්නවත් නිමන්තිට වුවමනාවක්, කැමැත්තක්, පෙළඹීමක් තිබුණෙ නෑ. අවුරුදු දහනවයක අතීතයක ලස්සන දවසක් නිමන්තිට මතක් වුණා. මහ වැස්සට අහුවෙලා දියවුණු ගිහාන්ගෙ ශරීරෙ අංශුවක් අංශුවක් ගානෙ නිමන්ති තුළට ඇදිලගිය දවස. ඊට පස්සෙ අවුරුදු හතරක් යනතුරුත් කොට්ටයක් ඇතුලෙන් ගිහාන්ගෙ උණුසුම හොයන්න දඟලපු හැටි, ඒ නොලැබෙද්දි කොට්ටෙට මූණ ඔබාගෙන අඬලා අඬලම තෙත්වුණු කොට්ටෙන්, උණුසුමෙන් තොරවෙච්ච ගිහාන් කෙනෙකුගෙ සීතලකට මුවාවෙලා නිදි නැතිව එළි කරපු රැයවල් ගණන…

“හැමදාමත් මම ඔයාව හෙව්වා”

නිමන්ති ගිහාන් ලඟට ගිහින් කීවෙ නොදැක හිටි මුළු වසර ගානම හොඳ හිතවත්කමකින් හිටිය වගේ. දුරස් බවකින් තොරව ගිහාන්ව ලං කර ගන්න ඒ හිනාවට, වචන වලට, හැසිරීමට පුළුවන්කම ලැබුණා. ඒත් එක්කම ගිහාන්ගෙ ඇස් ගියේ නිමන්තිගෙ වම් අත දිහාවට බව ගිහාන්ගෙ මූණෙන් ඇස්  ඉවතට නොගත්ත නිමන්ති දැක්කා.

“ඔයාව හොයන්න මම පහුගියකාලෙ නොගත්ත උත්සහයක් නෑ. ඉස්සර ඔයා හිටියයි කියපු ගෙවල් දිහාවටත් ගිහින් බැලුවා. හරියටම මම තැන දැනන් හිටියෙ නෑ. දවසකට හරි දකින්නයි මට ඔන වුනේ”

කුළියට ගත්ත හෝටල් කාමරේ එක බිත්තියක දැල්වෙන රතු එළියෙන් මුවා වෙන්න අතක් ඇස් මතට ගන්න ගමන් නිමන්ති කීවත් ගිහාන් ඉදිරියේ තමන්ගෙ යටගියාවෙ පාපෝච්චාරනයක් කිරීමේ උවමනාවක් නිමන්තිට තිබුණෙ නෑ. උඩුඅතට වැතිරිලා හිටිය නිමන්තිට උඩින් එකම රවුමෙ විදුලිපංකාව කැරකුණා. රතු ලයිට් එළිය උරාගෙන තඹ පාටකට හැරුණු නිමන්තිව ගිහාන්ගෙ ඇඟේ අඳුරු හෙවනැල්ලෙන් ගිලෙද්දි නිමන්ති තමන්ගෙන්ම ඇහුවා ‘ඇත්තටම මම ගිහාන්ට ආදරෙයිද’ කියලා. ජනේලෙට එපිටින් හැබෑ ලෝකෙ බක් මහේ අසනි වරුසාව පොළවත් කඩාගෙන පල්ලම් බහින්න තරම් වේගෙන් දුවන හඬ රතු එළිය පුරෝගත්තු කාමරේටත් නෑහුණා නෙවෙයි. ඒත් ඒ හඬේ ගිලිලා කිමිදිලා පාවෙද්දි නිමන්ති හිතුව දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කැණල කැණල පාදගෙනත් වතුර ඇදගෙන බොන්න වෙන නිර්මාල්ගෙ නොපෑදුණු ළිඳට වඩා හිටිහැටියෙ පාත් වෙලා සිතූපැතූ සම්පත් දෙන ගිහාන්ගෙ කප්රුක හොඳයි කියලා.

පිටින් තියන ලෝකෙ ආරංචි අරන් උදේ ජනෙල් පියන් අතරින් එන එළිය තීරු ඇකිළුණු ඇඳ රෙද්දෙ අතින් අල්ලගන්න බැරි රටා මවද්දිත් ගිහාන් ඇඳපැළඳගෙනයි හිටියෙ.

“එදා… අර මුලින්ම පාර මැද්දෙ වැස්සෙ තෙමිතෙමී අපි හිටපු දා…. ඒ දවසට මම ගොඩක් ආදරෙයි… ගිහාන්…”

නිමන්ති කීවෙ ගිහාන් සපත්තු දාන්න නිමන්ති නිදාගෙන හිටපු තැනින් ඇඳේ ඉඳගනිද්දියි.

“නැගිටලා ලෑස්තිවෙන්න”

සපත්තු දාගෙන නැගිටිද්දි කකුලක් බිමට තද කරල බලන ගමන් ගිහාන් කීවා.

ගමෙන් කැරකෝප්පුවට ගිය බස්එක ගමට ආයෙම එද්දි යාන්තමට කළුවර වැටිලා. වැහි මන්දාරම අහසෙ තිබුණත් ආයෙ වහින බවක් පේන්න තිබුණෙ නෑ. අලවපු දා ඉඳලම වැටුණු වැහි වතුරට පෙඟුණත් ඒ වෙද්දිත් ලයිට් කණුවක ‘සී. නිමන්ති කරුණාරත්න උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා !’ කියන සුදු කොළේ ඇලවිලා තිබුණා. මැරෙන්න මොහොතකට කලින් ජනේලෙට පිටින් හඬා වැටුණු මහ වැස්ස දිහා බලාගෙන නිමන්ති අන්තිමට ඉඳගෙන හිටපු පුටුවත්, කෝපි මණ්ඩි තිබුණු කෝප්පෙත්, පොත් මේසෙත් අයින් වෙලා, ඒ වෙද්දිත් නිමන්ති අන්තිම කාලෙ හිටපු නංගිලාගෙ ගෙදර කාමරේට කවුරු හෝ නව පෙණුමක් දීලයි තිබුණෙ.

 
5 Comments

Posted by on December 24, 2011 in Uncategorized

 

Tags:

හිරිකඩ

 හිරිකඩහීන් හිරිකඩ ජනේල් පියනට වදින්නෙ ඊතල වැස්සක් වගේ. සේරම ඊතල එන්නෙ මගේ දිහාවටමයි. තිරගතවෙන චිත්‍රපටයක දුශ්ටයා හරියට මම වගෙයි ඊතල හිරිකඩ මගේ දිහාවටම එල්ල වෙන්නෙ. උදේ මීදුම වැදිල බොඳ වෙලා තිබුණු ජනේලෙන් පිටත කම්මැලිකමෙන් ඇහැරෙන ගම් එකින්එක පහුවෙන බව පෙනෙන්න පටන්ගත්තෙත් හිරිකඩ නිසයි. අනික ලයිට් ඕෆ් කරපු නිසයි. ඒත් මේ පුංචි පුංචි වතුර බිංදු වලට පුළුවන්ද එකපාරටම බස් එකෙන් පිටත ලෝකෙට අදෘශ්‍යමාන දොරටුවක් වෙන්න. පිනි බිංදුත් මීදුමත් එකට මිශ්‍ර වෙලා.. ඒකටම, ඉස්සරහට වේගෙන් ඇදීගෙන යන බස් එකත් එකතු වුණාම ඉස්කෝලෙ කාලෙ ඉගෙනගත්තු චිත්‍ර ශිල්පියෙක්ගෙ චිත්‍ර මතක් වෙනවා. ශිල්පියා කවුද කියල මතක් කලත් මේ වෙලේ මතකෙට එන්නෙ නෑ. එක අතකින් ඒකත් හොඳයි. අතීතය අමතක කරන්න පුළුවන්නම්… නෑ අතීතය ඉබේම අමතක වෙලා යනවනම් කොච්චර දෙයක්ද? ඒත් මට පුළුවන්ද ඒක කරන්න? මම කොහොමද එයාව අමතක කරන්නෙ.. අවුරුදු තුනක් පුරා මගේම වෙලා හිටපු, මමම වෙලා හිටපු නිම්සරණි… මගේ නිම්මිව මම කොහොමද අමතක කරන්නෙ? Read the rest of this entry »

 
8 Comments

Posted by on December 21, 2011 in Uncategorized

 

අපේ සරසවි

This slideshow requires JavaScript.

රාක්ක ගනන් පිරුණු

පොත් පේළි අතර

මුණු මුණුවෙන් රස ගැන්වුණු

සිව් වසක මිහිරියාව

‘ෂූ……..’ හඬින් නොනැවතුණු

අපෙ රහස් කිචිබිචිය

දැන් දැන් ඇයිද මේ

සෝ සුසුම් රැළි සමග……

නෙත් දෑල බොඳ කරන

පුංචි උණු කඳුලු කැට

සෝදා හරින්නේ අපේ

ඒ සොඳුරු සිව් වසද……

 
2 Comments

Posted by on December 17, 2011 in Uncategorized

 
 
%d bloggers like this: