RSS

Category Archives: history / ඉතිහාසය

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02

02. බෞද්ධ දේශපාලන සංස්ධාව ලද බ්‍රාහ්මණික බලපෑම.

 (පූර්ව ලිපිය මෙතැනින්)

සිදුහත් කුමරා ජන්ම ලාභය ලැබූයේ ක්ෂත්‍රිය කුලයේයි. තවද තත්කාලින සමාජ සම්ප්‍රදායට අනුව ඔහු ලද අධ්‍යාපනයේ පදනම දැමුණේ මතු රාජ්‍යත්වය අපේක්ෂිත රජ කුමරෙකුට උචිත අයුරින් බව පශ්චාත්කාලින සාහිත්‍ය විමර්ශනයෙන් උපකල්පනය කළ හැකිය. තවද එම ක්‍රි. පු. හය වන සියවස යනු බ්‍රාහ්මණික බල වර්ධනයේ උච්චතම අවස්ථාවක් බව පිළිගැනෙන සාධකයකි. බුද්ධත්වය හෝ බුද්ධ භාෂිතය පිළිබඳ ප්‍රචලිතතාවක් නොතිබුණු උක්ත යුගයේ,

  • රාජ්‍ය අනුශාසක ධූරය

  • අධ්‍යාපනික කාර්යය භාරය

  • ආගමික අංශය

ආදී වූ කාර්යයාංශ රැසක්ම පැවතුණේ බ්‍රාහ්මණයන් යටතේ බන පෙනි යයි. එසේ හෙයින් සිදුහත් කුමරු ලද මුලික අධ්‍යාපනය සැලකූ කල්හි එය තත්කාලිනව පැවති සාම්ප්‍රදායික රටාවට අනුකූල වන්නට ඇති බව සිතිය හැකිය. බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය. ශ්‍රාස්ත්‍ර මෙන්ම, ශිල්ප යටතේ හැඩගැසුන එකී අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රාවබෝධයෙන් පුළුල් වූද ධනු ශිල්පය, දුණු ශිල්පය ආදී කාය ශක්තිය පිළිබිඹු කරන අධ්‍යාපන ක්‍රමයක පුර්ණ අවබෝධයකින් යුක්ත වූද අධ්‍යාපනයකින් ක්ෂත්‍රියයන් සුසංයුක්ත කිරිම අනිවාර්ය අංගයක් වු බව පෙනේ. සිදුහත් කුමරා පැවිදි පදවියට ඇතුළත්විම වලක්වනු වස් ක්ෂත්‍රිය කුමරෙකුට ඖචිත්‍ය වූ අධ්‍යාපනයක් ඔහුට ලබා දිමට සුද්දෝධන රජු අනුගමනය කළ ක්‍රියා කලාපය පිළිබඳ බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍රයන්හි සාධක පරිශීලනයේදී කුමරු ලද අධ්‍යාපනය මුළුමනින්ම රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබඳ වූවක් බව උපකල්පනය කළ හැකිය. ඒ අනුව සිදුහත් කුමරු තත්කාලීනව පැවති බ්‍රාහ්මණික දේශපාලන සංකල්පය පිළිබ පූර්ණ අවබෝධයකින් යුක්ත වන්නට ඇති අතර ඒ කෙරෙහි වූ මනා පරිකල්පනයකින්ද සමන්විත වන්නට ඇත. මෙකී සාධක පදනම් කර ගනිමින් උක්ත බ්‍රාහ්මණික දේශපාලන සංකල්ප,

  • බුද්ධත්වයෙන් පසු තම භාශිතයන් තුළට අන්තර්ගත කළේද?

  • එය පුර්ණ වශයෙන් එතුමන් තම දේශනාවන්ට ඇතුළත් කරන ලද්දේද?

  • නැතිනම් ඒ කවර ප්‍රමාණයකින්ද?

  • එසේත් නොමැතිනම් කිසිදු ලෙසකින් බ්‍රාහ්මණික ඉගැන්වීම් තම දර්ශනය උදෙසා පාදක කොට නොගත්තේද?

යන්න මෙහිදී අධ්‍යයනය කළ යුතුය.

 

බී. ආර්. අම්බෙඩ්කාර් සිය ‘පැරණි ඉන්දියාවේ විප්ලවය සහ ප්‍රති විප්ලවය‘ නම් කාතියෙන් විවරණය කරනුයේ ඉන්දියාවේ ඉතිහාසය යනු බුදුදහම සහ බමුණු දහම අතර පැවතියා වූ බලවත් විසංවාදයක් බවයි. (www.lakehouse.lk/budusarana/2008/12/12 ). බ්‍රාහ්මණික සාහිත්‍යෙය් සැම අවස්ථාවකම පාහේ සඳහන් වන්නේ පරමෝදාර රාජ්‍ය පාලකයෙකුගේ භූමිකාව වර්ණාශ්‍රම ධර්ම ආරක්ෂා කිරිම වන බවයි. නමුත් වර්ණාශ්‍රම ධර්ම මත පිහිටා කටයුතු නොකරන බෞද්ධ සම්ප්‍රදාය මෙහිදී විවරණය කිරිම වැදගත් වේ. බ්‍රාහ්මණ දේශපාලන චින්තනයට අනුව රාජ්‍ය පාලනයේ උපයුක්ත වූ ‘දණ්ඩ‘ සංකල්පය වෙනුවට බෞද්ධ ච්න්තනයේ ‘ධම්ම‘ සංකල්පයට ප්‍රමුඛස්ථානයක් හිමි විය (ධම්මතිලක 2003; 61). එමගින් ගම්‍ය වන්නේ බෞද්ධ චින්තනයට අනුව රටවැසියා රජුට අවනත වුයේ දණ්ඩනයට බියෙන් නොව සාධාරණත්වය, යුක්තිය, සාමය අපේක්ෂාවෙන් වන බවයි. බුදු දහමට අනුව ‘රජ‘ යනු චක්‍රවර්ති පාලකයෙකි. බෞද්ධ සංකල්පයට අනුවරජ තෙමේ තමා සදාචාරසම්පන්න විය යුතු වූ අතර එය චක්කවත්ති සිහනාද සූත්‍රයේ මැනවින් විස්තර කර දක්වයි. තවද දත්ෂිණ ඉන්දිය ද්‍රවිඩ සාහිත්‍යෙය් එන සිලප්පදිකාරම් මහා කාව්‍ය ලියා ඇත්තේ බෞද්ධ සහ ජෛන බලපැම යටතේ වන අතර එහිදී මධුරාපුරය ගින්නෙන් විනාශ විමටත්, රජු සිය පණ හානි කර ගැනිමටත් හේතුව රජුගේ අධාර්මිශ්ටත්වය බව අවධාරණය කර ඇත. රාජ්‍යය සදාචාර සම්පන්න පාලනයෙන් මිදිමේ ප්‍රතිඵලය මත හය අස්ථාවර ත්තවයකට නැඹුරු විමේ සම්භාවිතාව වැඩි බව බුද්ධ දේශනාවේ දැක්වේ. ඒ අනුව ගම්‍ය වන්නේ බ්‍රාහ්මණික වර්ණාශ්‍රම ධර්ම අභිබවා ගිය ගැඹුරු දර්ශනයක් මත පදනම්ව බෞද්ධ දේශපාලන න්‍යාය සකස් වූ බවයි.

 

තවද බෞද්ධ දේශපාලන න්‍යායේදී මුලික වැදගත්කමක් දක්වන ධම්ම සංකල්පය අර්ථ දැක්විමේදී එය ආගමික චාරිත්‍ර වාරිත්‍ර, ධර්මිෂ්ඨ බව, යුක්තිය, නිතියට අනුගත වීම, සමාජ නියාමයන්ට කිකරු විම ආදිය එයට අන්තර්ගත වන බව පැවසිය හැකිය. ඍග් වේදයේ සඳහන් ‘ඍත‘ සංකල්පයේ පශ්චාත්කාලීන වෙනස් විමක් ලෙස බෞද්ධ දර්ෂනය තුළ ”ධම්ම” සංකල්පය හඳුනා ගත හැකි බව මතයකි (එම, 02). එමතුද නොව, මෙකි ධම්ම සංකල්පය සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික යනාදී චතුර්විධ ආයතනයන් උදෙසාම පොදු වු සාධකයක් බව වැඩිදුරටත් සදහන් කිරීමේ හැකියාව ලැබේ.

 

කෙසේ වෙතත් බුදුරදුන්ගේ ඉගැන්විම් පශ්චාත්කාලීන වන විට සමාජයට අචිත පරිදි, සමාජඅවශ්‍යතාවයන්ට සුදුසු පරිදි හැඩගැන්වුණු බව සඳහන් කළ හැකි අතර එකී සාධකය ගම්‍ය වන නිදර්ශනයක් වන්නේ බෞද්ධ අධ්‍යාපන ආයතනයන්හි වර්ධනයට සමගාමිව අධ්‍යාපනික ක්ෂේත්‍ර තුළ ‘ව්‍යවහාර’ එනම්, නිතිය විෂයක් ලෙස හැදෑරීමේ අවකාශය ලැබුණු සාධක ලැබිමයි. හුදෙක් මෙය නාලන්දාවේ ‘ලෞකික විෂය අධ්‍යයන විෂය ධාරාව’ යටතේ හදාරනු ලැබු බව දැක්වේ (www.dahamsayura.org). නමුත් මෙහිදී අවධානය යොමු කළ යුත්තේ එකී විෂය අධ්‍යයනය විවෘත වූයේ ගිහි හෝ පැවිදි ශිෂ්‍ය පිරිස් දෙකොට්ඨාසයටමද එසේ නොමැති නම් ගිහි ශිෂ්‍යයන් හට පමණක්ද යන්න පිළිබදවයි.

 

මේ පිළිබඳව තව දුරටත් විග්‍රහ කරන්නේ නම්, බෞද්ධ විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබූ පසු කාලීන යුගය වන විට දේශපාලන ක්ෂේත්‍රය උදෙසා බෞද්ධ භික්ෂූ මැදිහත්වීම පැහැදිලිව දක්නට ලැබෙන හෙයින් උක්ත විෂය, විශ්වවිද්‍යාලයීය සිසුන් පොදුවේ හදාරන්නට ඇති බවද උපකල්පනය කළ හැකිය. එමතුද නොව, එකම භූගෝලිය ප්‍රදේශයක සමකාලිනව පැවති විශම සංස්කෘතීන් අතර ස්වභාවිකව සිදුවන සංස්කෘතික විසරණ ක්‍රියාවලිය (කරුණාරත්න, ACL 303; 2010) හේතුවෙන් බ්‍රාහ්මණ පුජකයින් සේම බෞද්ධ භික්ෂූන්ද රාජ්‍ය පාලන තන්ත්‍රෙය්දී අනුශාසකත්වය මගින් පරිපාලන අංශයට යම් ආකාරයක දායකත්වයක් දැක්වු බවට සාධක ලැබෙන හෙයින් ව්‍යවහාර විද්‍යාව පිළිබඳව ඔවුන්ද යම් පරිචයක් ලද යුතු වු බව පෙනි යයි. මෙම උපකල්පිත ධාරිතාව පදනම් කර ගනිමින් උක්ත විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ භික්ෂූන්ද නිතිය හදාරන්නට ඇතැයි කිව හැකි වුවද, මෙය නිවැරදි යැයි නිත්‍ය ලෙසම දැක්විය නොහැක. මන්ද යත් ඒ පිළිබඳ මුලාශ්‍රගත සාධක නොලැබෙන හෙයිනි.

 

එසේම ලංකාව උදාහරණයට ගැනීමේදී අද දක්වාත් පාලකයා ඇතැම් අවස්ථාවන්හිදී සංඝයා වහන්සේ හමුවී රාජ්‍ය කටයුත් පිළිබඳව සාකච්ඡා කරනු දක්නට ලැබේ. මෙකි වාතාවරණය අධ්‍යතන සමාජයට වඩා ප්‍රබලව අතිතයේදී පැවති බව වංශකථා සාධක පදනම් කරගනිමින් පැවසිමේ හැකියාව ඇත. ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ මුල්ම විකාශන අවස්ථාව දෙස අවධානය යොමු කිරිමේදී දේවානම්පියතිස්ස රජුගේ දෙවන අභිශේකයේදිත්, පසුව සිදුවු රාජ්‍ය පාලන කටයුතු වලදිත් මූලිකත්වය ගනු ලැබුයේ මිහිදු මහ රහතන් වහන්සේ විසින් වන බවට සාධක ලැබේ. බ්‍රාහ්මණ ධර්මයන් අනුව රාජ්‍ය පාලනයේදී අර්ධයෙන් ධර්මයෙන් රජුට උපදෙස් දෙමින් බ්‍රාහ්මණික පුජකයන්ගෙන් වූ මෙහෙය බෞද්ධ පසුබිම තුළ ඉටු කෙරුණේ බෞද්ධ භික්ෂුවගේ මැදිහත්විමෙන් වන බවට මේ අනුව විද්‍යමාන වේ.  භික්ෂුව, රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානය වෙත මෙසේ සමිපස්ථ වුයේ මන්ද යන කරුණ අධ්‍යයනයේදී එළඹිය හැකි නිගමනය වන්නේ සමාජ පාලනයේ ප්‍රධාන කේන්ද්‍රය වන්නේ රජු වීමත්, පාලකයාගේ දැහැමි බව තුළින් සමාජයේ ධාර්මිකත්වය ආරක්ෂා කිරීම මෙහිදී මුඛ්‍ය පරමාර්ථය වන්නට ඇති බවත්ය.

 

(ඉදිරි ලිපියෙන්, රාජ්‍ය පාලනය උදෙසා රජවරු ලද බෞද්ධාගමික බලපෑම බලාපොරොත්තු වන්න)

Advertisements
 

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප)

  1. හැඳින්විම

“දේවෝ වස්සතු කාලේන

සස්සසම්පත්ති හෝතුච

පිතෝ භවතු ලෝකෝච

රාජා භවතු ධම්මිකෝ “

බෞද්ධ දේශපාලන සංකල්ප හැඩගැසුනේ ධම්ම සංකල්පය මුල් කර ගෙනය. උක්ත ගාථාවේ අවසන් පදයෙන් අරුත් ගැන්වෙන පරිදි,  රජු ධාර්මික විය යුතු යැයි පැවති පසුබිමට සම්මත වු හේතුවද එයයි. යම් සමාජයක සංවිධිත ව්‍යූහය ගොඩනැගෙනුයේ එකී සමාජයේ පාලන කේන්ද්‍රස්ථානය පදනම් කර ගනිමිනි. රජු පත්කර ගනු ලබන්නේ මහජනයා විසින් වන අතර එහෙයින් රජු, මහාසම්මත වු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. තවද එහෙයින් ඔහු දිව්‍යමය බලයකින් සැම අතින්ම තොර වු, මනුෂ්‍යයන් අතරම පහළ වූ, මනුෂ්‍යයන් අතරින් තෝරා ගනු ලැබූ හුදු මහජන නියෝජිතයෙක් පමණක්ම විය. බෞද්ධ දේශපාලන දර්ශනයේ මුලික හරය ප්‍රජාතන්ත්‍රවාදය බව මෙහි ඉදිරියට සඳහන් කරන කරුණු අනුව ගම්‍ය වනු ඇත. නුතන දේෂපාලන දර්ශනයේත් වැදගත් සංකල්පයක් සේ පිළිගැනෙන දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා ලෙස පුරවැසියා සැලකිම බෞද්ධ දේශපාලන දර්ශනයෙන්ද සනාධ වේ. ජනතාව කේන්ද්‍ර කොට ගත් ප්‍රජාතන්ත්‍රවාදි පාලන ක්‍රමය පිළිබඳ සංකල්පය, අද්‍යතන දේශපාලන මතවාද සමග ජනතාව අතරට ප්‍රවිශ්ට විමට සියවස් ගණනකට පෙර ක්‍රි. පූ. 6 නව සියවසේ දී බුදුරපාණන් වහන්සේ විසින් දේශිත බවත්, එය බෞද්ධ සමාජයට ආගන්තුක වුවක් නොවන බවත් මෙහිදි විද්‍යමාන වේ. ග්‍රණපාල මලලසේකර මහකා මේ පිළිබඳ දක්වන අදහස සැලකිල්ලට ගැනිමේදීද උක්ත කරුණු සනාථ වේ. සිතිමේ සහ නිදහසේ තීරණ ගැනිමේ අයිතිය අගය කළ බුදුසමය හඳුන්වා දෙන ලොව පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය ලෙස සංඝ සංවිධානය හඳුනා ගන්න බව (www.sannasa.org ; 2010/02/02) ඔහුගේ අදහසයි.

බෞද්ධ සම්ප්‍රදාය තුළ පාලකයාගේ එනම්, රජුගේ ධාර්මිකත්වය ආවශ්‍යයික අංගයක් ලෙස අපේක්ෂා කරන ලදී. උක්ත ගාථාවෙන් සුවිෂද වන කරුණු අවධානයට ගැනිමේදී රාජ්‍යෙය් පැවැත්ම ස්ථාවර විමටත්, සතුරු උවදුරු වලින් සුරක්ෂිත විමටත්, මුඛ්‍ය හේතුව ලෙස පිළිගැනුනේ රජුගේ ධාර්මික පැවැත්මයි. නමුත් වැදගත්ම සාධකය වන්නේ බෞද්ධ භික්ෂූන්ට කිසිදු විටෙක දේශපාලනය හෝ රාජ්‍ය පාලනය පිළිබඳ ඍජුව මැදිහත්විමට අවස්ථාව නොතිබීමයි. එසේ වුවද බෞද්ධ ඉගැන්වීම් අවධානයට ගැනීමේදී

  • ධාර්මික රජු කවරාකාර විය යුතුද?

  • රජු විසින් අනුගමනය කළ යුතු යම් යමු ප්‍රතිපත්ති කවරේද?

  • ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය කෙබඳුද?

  • ක්‍රියාවට නැගිය යුත්තේ කෙසේද?

  • රාජ්‍ය පාලනයේදි අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙහෙයවිය යුත්තේ කවර අයුරින්ද?

යනාදි අවස්ථා පිළිබඳ සාධක විද්‍යමාන වන ආකාරය හඳුනා ගැනීමේ හැකතියාව ලැබේ. එපමණක්ද නොව, අධාර්මික රජු උදෙසා පාලිත පක්ෂය හැසිරිය යුතු ස්වරූපය ගම්‍ය වන අවස්ථාද බෞද්ධ ඉතිහාසය විමර්ශනයේදී මැනවින් නිරූපණය වේ. බුද්ධ භාශිතය අවධාරණය කිරීමේදී නිදර්ශන රුසක් සහිතව උක්ත සාධකය විශ්ලේෂණය කළි හැකිය.

  • ජාතක කථා

  • ධම්මපදය

  • සූත්‍ර

  • බුද්ධ කාලින සිදුවිම්

  • පශ්චාත් බෞද්ධ යුගයේ සිදුවිම්

ආදි සාධක පදනම් කොට ගනිමින් බෞද්ධ දර්ශනයේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප හඳුනා ගැනිමටත්, සමාජයේ එය ක්‍රියාත්මක විමේ ප්‍රාමාණික ස්වරූපය හඳුනා ගැනිමටත් එමගින් හැකියාව ලැබේ. ඇතැම් දේශපාලනික අර්බුදමය අවස්ථාවන්හිදී රාජ්‍ය පාලකයින් උපදෙස් පතා බුදුන් වහන්සේ සමිපයට පැමිණි සිදුවිම් පිළිබඳවත්, රාජ්‍යන් අතර පැවති ගැටුම් සමනය කරනු වස් බුදුන් වහන්සේගේ මැදිහත්විම පිළිබඳවත්, පශ්චාත්කාලීනව බෞද්ධ දර්ශනයේ අනුගාමිකත්වය යටතේ දේශපාලනික සන්ධර්භය උදෙසා ලද පිටිවහලත් මෙම ප්‍රස්තුතය යටතේ විමර්ශනයට ලක්වේ. නමුත් සදහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ බුදුරදුන් සිය බුද්ධ පුත්‍රයන් වහන්සේලා හට රාජ කථා සාකච්ඡා කිරීම තහනම් තහනම් කර තිබීමයි. එය එසේ වුවද ධර්ම කරුණු විමර්ශනයේදී පෙනි යන්නේ රාජ්‍ය පාලනයට අදාල සිද්ධාන්ත රැසක් බුද්ධ දේශනා තුළ අන්තර්ගත වන බවත්, එකී මගපෙන්විම් රාජ්‍ය තන්ත්‍රයේ පැවැත්මට උපනිශ්‍රිත වු බවත්ය. යම් හෙයකින් ධාර්මික සමාජයේ තිරසාර පැවැත්ම උදෙසා සංවිධිත පාලන ක්‍රමයක් ධාර්මිශ්ට රජෙකුගේ සහ විශ්වාසනිය පරිපාලන ඒකකයක් යටතේ බෞද්ධ සමාජය අපේක්ෂා කළ හෙයින් රාජ්‍යෙය් සාමකාමී පැවැත්ම උදෙසා බෞද්ධ දාර්ශනික චින්තාව බෙහෙවින් උපයුක්ත වන්නට ඇත.

එසේ වුවද අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වන්නේ භික්ෂූන්ට රාජකථා සාකච්ඡා කිරිම තහනම් යැයි දැක්වුවද, පශ්චාත්කාලිනව රජුගේ අනුශාසක ධූරය හෙබවිමට පවා භික්ෂූ මැදිහත්විම පිළිබඳ පැහැදිලි, විශ්වාසනිය, මූලාශ්‍රයගත සාධක ලැබීම මත සමාජ සම්මතයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණිද? නන් විධ ආයතනිකමය පරිනාමයන් පාදක කොට ගෙන එහි විෂමතා සිදු වුණිද? යන්න පිළිබඳවයි. කෙසේ වෙතත් අන් බොහෝ අවස්ථාවන්හි සේමමෙහිදිද මුලික ඉගැන්විමෙන් සහ නියමයන්ගෙන් බැහැර වී සමාජ අවශ්‍යතාවන්ට මුල් තැන දි ඒ ඒ සමාජයීය පස්බිම් යටතේ හැඩ ගැසුණු බව උක්ත සාධක මගින් සුවිශධ වේ. එකී ලක්ෂණ විමර්ශනාත්මක විශ්ලේෂණයකට බඳුන් කිරිම තුළින් බෞද්ධ සම්ප්‍රදායේ දැක්වෙන දේශපාලන න්‍යායන් සහ සංකල්ප අධ්‍යයනය කිරිම මෙහි ඉදිරියට අරමුණු කෙරේ.

(බෞද්ධ දේශපාලනික චින්තාව කෙරෙහි ලද බ්‍රාහ්මණික බලපැම ඉදිරි ලිපියෙන් —–මෙතැනින් ගන්න—-)

 

පූර්ව බ්‍රාහ්මි ලේඛන කියවමු…

මෑතකාලීනව නිධන් සෑරීම යනු විනෝදාංශයක් මෙන් මහා පරිමාණව සිදුකරගෙන යන්නකි. මේ සදහා බොහෝ විට පැරණි ශිලා ලිපි සහිත ස්ථාන අවධානයව ලක්වේ.

**************************************************************************
මේ ඇරයුම,
නිධන් ඇති තැන් සොයා යාම උදෙසා පූර්විකාවක් වශයෙන් නොව,
තතු මනාව වටහා ගැන්මට
සහ
ඉතිහාසය ප්‍රායෝගිකව කියැවීමට හුරු විම පිණිස
එක් වන මෙන් සිදු කරන්නකි
***************************************************************************

අභිලේඛන යනු යම් මතුපිටක් මත සටහන් වූ දෑය. මෙකී සටහන්හි ඉතිහාසය සොයා යාමේදී ලොව ප්‍රථම නගරායනය හදුනා ගන්නට ලැබෙන ශිෂ්ටාචාර අවධීන්හිදී ලේණකගත සාධක රැසක් දක්නට ලැබේ. මෙසපොතේමියානු, චීන, ඊජිප්තු, ඉන්දුනිම්න ආදී ලෙස ගත් කල්හි මෙකී ශිෂ්ටාචාරයන්හි ප්‍රමුඛ වශයෙන් අක්ෂර හදුනාගත හැකිය.

අක්ෂර යනු සන්නිවේදන මාධ්‍යයකි. සංකේතානුසාරයෙන් දැක්වෙන මේවා ශබ්ද පදනම් කරගෙන හෝ වස්තූන්, සන්සිද්ධි ආදිය පදනම් කරගෙන රූපණය වී තිබේ. අප මෙහිදි අධ්‍යයනය කරනු ලබන්නා වූ ලංකාවේ නූතන අක්ෂර බිහි වීමේ පදනම සැකසූ බ්‍රාහ්මි අක්ෂර, ශබ්ද පදනම් කරගෙන පිහි වු අක්ෂර ක්‍රමයකි. නමුත් චීන අක්ෂර වෙත අවධානය යොමු තළහොත් ඒවා චින් සපුරා වෙනස් මගක් ගන්නා බව පෙනි යයි.

අක්ෂර වල අවැසිතාවය ලොව හමුවේ පැනනගිනුයේ සමාජ පරිණාමයත් සමගිනි. මිනිසා ක්‍රම ක්‍රමයෙන් තම දැණුම අනුසාරයෙන් අත්කරගත් පරිකල්පනයේ ක්‍රමික දියුණුවත් සමග, භාෂා ව්‍යවහාරයෙන් පරිබාහිර වූ සංකේතානුසාරයෙන් සිදුකළ අදහස් ප්‍රකාශනයේ කලාවක් ලෙස අක්ෂර හදුනාගත හැකිය. දැනට හමුවන පැරණිතම සාධක මේ දක්වාත් ආරක්ෂා වි ඇත්තේ ඒවා සටහන් වු භෞතික තලයන්හි තිබු කල් පැවැත්මේ ගුණාංග හේතුවෙනි.

උදාහරණ ලෙස ලංකාව ගත් කල්හි පැරණිතම සංකේත සාධක හමුවන්නේ ප්‍රොටෝ ඓතිහාසික යුගයෙහි ලා ගැනෙන සුසාන පියන්ගල් මතයි. අක්ෂර සහ සංකේත වූ කල්හි යම් අදහස් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ඉහතදිද සදහන් කළෙමි. මෙකී පියන්ගල් සංකේත සලකා බැලු කල්හි මේවායේ ඇති සටහන් බොහොමයක් පශ්චාත් කාලින පූර්ව ශිලා ලිපි අතර පරුමක වරු පිළිබද දැක්වෙන ලිපි සමග හමු වන බැවින් පූර්ව බ්‍රාහ්මි ලිපි සදහා, ඒවා ශිලා මත ලියැවුණු යුගයට පූර්වයේ සමාජ තත්වයන්ද ආදේශ වී ඇති බව විද්වතුන්ගේ පිළිගැනිමයි.

කෙසේ වෙතත් පූර්ව බ්‍රාහ්මි ලිපි පිළිබද අවධානය යොමු කිරීමේදී, වංශකථා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍රයන් පිළිබදව පශ්චාත්කාලිනව හෙළි කරන සමාජ ව්‍යූහයක දළ සැකැස්ම මෙකී ලේඛන අනුසාරයෙන් ගොඩනගා ගත හැකි බව කිව හැකිය. මෙහිදි අවධාරණය කළ යුත්තේ වංශකථා ලියැවෙන්නේ අදාල සිදුවිම් සිදුවි වසර සිය ගණනක් ගිය කල්හි වන අතර, ඒ තාක් කටවහරේ පැවත ආ ඉතිහාසයට එම සංක්‍රමණ අවධියේදී නොයෙක් නොයෙක් සමාජ අන්වර්තයන් එක්වි තිබෙන්නට බෙහෙවින් ඉඩ ඇති හෙයිනි. තවද, නිදර්ශනයක් ලෙස නූතන ඉතිහාසය හෝ දේශපාලන පසුබිම ගනිමු. දේශපාලන මැදිහත්විම් යටතේ ඇත්ත ඇතිසැටියෙන් ඉදිරියට පවත්වාගෙන යාම ඉතා අසීරු බව ප්‍රායෝගික දැනුමෙන් ඔබට වැටහි යනු ඇත. එසේ නම් විවිධ කාල පරාසයන්හි ශාසන සහ දේශපාලන ඉතිහාසය සටහන් තැබිමේදී මේ සදහා නොයෙකුත් බාහිර බලපෑම් එල්ල වන්නට ඇත. (රජුට විරුද්ධව යමින් නියම ඉතිහාසය එනම්, ඇත්ත ඇතිසැටියෙන් දැක්වු චීන ඉතිහාසාඥයාට තම අංග අහිමිවුවාක් වැනි දෙයක් ලංකාවේ සිදුවූයේ නැත.) මහාවංශය පරිශීලනයේදී වුවද බොහෝ විට පරස්පරතා හමු වන ආකාරය දක්නට ලැබේ. එහෙයින්, තත්කාලින සිදුවිම් වඩා මැනවින් අධ්‍යයනයට පාදක කරගත හැකි අගනා මූලාශ්‍ර ලෙස ශිලා ලිපි අත්කරගනුයේ අද්විතීය ස්ථානයකි.

නමුත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි පරිහරණයේදි සහ ඒවා අර්ථ ගැන්වීමේදී අප බෙහෙවින් සුපරික්ෂාකාරි විය යුතුය. මන්ද අප අර්ථ සපයන්නේ අප ගතකරන සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික වටපිටාවකට හැමඅතින්ම විෂම වූ අප නොදන්නා, නොහදුනන, ආයතනික පසුබිමක් තිබූ, අදින් වසර දහස් ගණනක එපිට ඇති ඉතිහාසයක් කෙරෙහි විම හේතුවෙනි. මෙකි සමාජයේ තතු නියමාකාරයෙන් සාහිත්‍ය මූලාශ්‍රයන් තුළින් ගෙන එන්නේද නැත. මන්ද සමාජයක පැවැත්මේදි එහි වර්ධනය සහ විකසනය නිරායාසයෙන් සිදු වන්නක් වන අතර පවත්තා සමාජ තත්වයේ සිට අතීතය ඒ ආකාරමයැයි සිතා සාපේක්ෂ වශයෙන් මෙන්ම තත්වාකාරයෙන් බැලිය නොහැකි බැවිණි.

සාහිත්‍යකරණයේදී හුදෙක් අලංකාරෝක්ති භාවිතය නිරායාසයෙන් සිදු වන්නකි. තවද යමෙක්, යමක් කෙරෙහි දක්වන ගෞරවනිය ආකල්පය සහ යමෙක්, යමක් කෙහෙරි පවතින අප්‍රසන්නතාවය මෙන්ම ගැරහිමද ලේඛනයේදී විවිධාකාරයෙන් හදුනාගත හැක්කේ භාෂා විලාසය හසුරුවා ඇති ආකාරයෙන් හා අදහස් ප්‍රකාශනයන් අනුවය. ලාංකේය සාහිත්‍ය මූලාශ්‍ර අධ්‍යයනයේදී මෙකි සාධක මැනවින් විද්‍යමාන වේ.

මෙම ‍ලිපියෙහි මෙකි තොරතුරු අන්තර්ගත කිරිමට ප්‍රධානතම සාධකය වූයේ, අභිලේඛන යනු කවරක්දැයි දළ වශයෙන් හෝ වටහා ගැනිමට සැලැස්විමයි. උක්ත සාධක අනුව, යම් සිද්ධියක් සිදුවූ කාලයටම අයත් වන අභිලේඛන ගනයෙහි ලා ගැනෙන, නිවැරදි තොරතුරු යම් තාක් දුරට විස්තර සහිතව ඉදිරිපත් කරන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපි පිළිබද දළ ආකල්පයක් ලබා ගත හැකි වන්නට ඇතැයි සිතමි. දෙවනුව පුර්ව බ්‍රාහ්මී යනු කවරක්දැයි විමසා බලමු.

මෙය භාෂාවක් නොව අක්ෂර මාලාවක් පමණි. පෙර කී ලෙස, ශබ්ද මුලික කොට බිහිවූ මුල්කාලීනව හදුනා ගන්නට ලැබෙන, ශිෂ්ටාචාරගත සංනිවේදන ක්‍රමයක් වන්නේ මෙයයි. මෙකී අක්ෂර සැලකු කල්හි උත්තර සහ දක්ෂින ඉන්දීයාව තුළ මෙන්ම ලංකාවේද දක්නට ලැබෙන සමානතා බෙහෙවින් පවතී. අසමාන වන්නේ අක්ෂර එකක් දෙකක් පමණි. මෙකී තත්වය මත තත්කාලීන සමාජ ව්‍යූහය තුළ පැවති සංදතා පැහැදිලිව හදුනාගැනීමේ හැකියාව ලැබේ. ආරම්භය පැහැදිලිව කිව නොහැකි වුවත්, ක්‍රි.පූ. පළමු සියවස දක්වා පූර්ව බ්‍රාහ්මී අක්ෂර භාවිත විණි. ආරම්භය තිර ලෙසම කිව නොහැකි වන්නේ ලේඛන සටහන් වූ මාධ්‍ය අතුරින් අද වන විට ශේෂ වි පවතින්නේ මැටි බදුන්, ශිලා පෘශ්ට ආදී ජීර්ණය අවම සීඝ්‍රතාවක පවතින මාධ්‍ය පමණක් වන බැවිනි. තවද සැම දෙයකම පාහේ මෙන්ම අක්ෂරද ක්‍රි.පූ. තුන් වන සියවසේ හිටි අවියේ පහළ වූයේ යැයි කිසි විටෙකත් නිගමනය කළ නොහැක. ඒවාටද ප්‍රාථමික මට්ටමේ ආරම්භයක් වර්ළධනයක් විකසනයක් පැවතීම ස්වභාවික සංසිද්ධියකි. සමාජයේ සිදුවන ඔනෑම වර්ධනීය තත්වයක් සේම, අක්ෂරවල උපයුක්තතාවයත් සමග අක්ෂර කලාවද වරධනය වු ආකාරය මෙකී ශිලා ලිපි කාලයත් සමග දක්වන අනුවර්තන ඇසුරෙන් විද්‍යමාන වේ. පූර්ව බ්‍රාහ්මී, අපර බ්‍රාහ්මී ආදී ලෙස බ්‍රාහ්මී අක්ෂර මාලාව තුළ යුගකරණයක් හදුනා ගන්නේ එහෙයිනි.

ලේඛනගත වන මාධ්‍යයේ පෘශ්ටීය ස්වභාවය අනුව, ඒ ඒ අක්ෂර සටහන් කළ ශිල්පියාගේ පැවති සාක්ෂරතාව මත, ප්‍රදේශානුබද්ධව දක්වන සුවිශේෂීතා මත සහ ශිල්පීය දක්ෂතාවය මත මෙකී අක්ෂර සටහන් යම් යම් ආකාරයේ විෂමතා විවිධතා දක්වයි. නූතන සමාජයට කිසිසේත් සම කළ නොහැකි වූ, නූතනයේ මෙන් ක්ෂණික මානව සම්බන්ධතා ඇති කර ගැනීමට අපහසු වූ සාකච්ඡාවට ලක් වන අවධියේ සමාජ ව්‍යූහයට හැකිතාක් හෝ සමවැදී මෙකී කරුණු විමසා බලන්නේනම්, හම වකවානුවේ සෑම පුද්ගලයාම සාක්ෂරතාව සහිත වූයේදැයි සිතා බැලිය හැකිය. මේ බව විමසීමට සාධක වන්නේ මෙම පූර්ව බ්‍රාහ්මී ලිපි අතර උඩ යට මෙන්ම වම දකුණද මාරු වූ අක්ෂර සටහන් ඇතැම් අවස්ථාවන්හි දක්නට ලැබීමයි.
අප දැන් පුර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාවේ දළ සැකැස්මත් විමසා බලමු. මෙහි පහත දැක්වෙන්නේ එකී අක්ෂරයන්හි මූලික හැඩ කිහිපයක් පමණි.

(ඡායා රූ හොදින් නැරඹීමට, අදාල ඡායාරුව මත ක්ලික් කරන්න)

උක්ත නිදර්ශන තුළින් යම් තාක් දුරට පූර්ව බ්‍රාහ්මී අක්ෂර කවරාකාරද යන්න පෙනී යන්නට ඇතැයි සිතමි. තෙවනුව ලංකාවේ හමුවන පුර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සහ ඒවායෙහි අන්තර්ගතයන් විමසා බලමු.

මේවායෙහි බොහෝ විට සදහන් වන්නේ ලෙන් පුජා, වැව් පූජා ආදිය පිළිබදවයි. එසේම බොහෝ විට අයිතිය හගවන ප්‍රකාශයන්ද හමුවේ. මෙකී ලිපි තුළින් හෙළිවන සමාජ ව්‍යූහය ඉතා ආකර්ශනීය වූවකි. බොහොමයක් නාම විශේෂණයන් තුළින් හැගවෙන නියම අර්ථය විවාදිත මට්ටමේ පැවතුණද, ලංකාවේ පැවති සංවිිත මට්මමේ සමාජ ව්‍යූහයක් පිළීබදව සාධක මෙම ලිපි තුළින් අනාවරණය කරයි. මෙහිදී මා එය විග්‍රහ කරනුයේ දළ වශයෙනි. මන්ද ශිලා ලිපි යනු ඉතා පුළුල් ක්ෂේත්‍රයක විහිදී යන සංකීර්ණ මාතෘකාවක් වන බැවිනි. එය ‍උඩින් පල්ලෙන් අතගෑ නොහැකි ක්ෂේත්‍රයක් වනවා මෙන්ම වගකිවයුතු මට්ටමෙන් අර්ථ සැපයිය යුත්තකි. නමුත් අවාසනාවට කරුණ වන්නේ නුතනයේ පදනම් විරහිත ප්‍රකාශයන් ගෙනයන ඇත්තන් තම වාසිය තකා ශිලා ලේඛන දඩමීමා කරගෙන තිබීමයි. මෙහිදී ලිපි තුළින් හෙළි වන අර්ථ විකෘති කරමින් විවිධාකාරයේ මන:කල්පිත අදහස් ගෙනහැරපෑමේ ව්‍යාපාර අද වන විට ව්‍යාප්ත වි පවතී. නමුත් මොවුනට වැරදී ඇති තැන් බොහෝය. මා මේ ලිපියේ මුලින් සදහන් කළ පරිදිත්, මෙම අඩවිය සදහා පෙර දිනෙක පලකළ ලිපියක අන්තර්ගතයේ පරිදිත් මූලාශ්‍ර එකක් මත පිහිටා එයම විනිශ්චය වශයෙන් ගෙන අර්ථ ස්ථිර කළ නොහැක. ඉතිහාසය එදත් අදත් හෙටත් පවතින්නේ නිරීක්ෂණ සහ උපකල්පන මත පමණි. එකී සාධක ස්ථිර කළ නොහැක්කේ දිනෙන් දින දියුණු වන නව තාක්ෂණය හම්වේ, පෙර නොදත් කරුණු නිතර අළුත් වෙමින් පවතින බැවිනි. ඉතිහාසයේ නොවෙනස්වන ස්වභාවය මෙම වෙනස් වීමයි.

පෙර සාකච්ඡා කළ සමාජ ක්‍රමය පිළිබද උදාහරණ ලෙස ලක්දිව හමුවන පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සැලකු කල්හි වැව් හිමියන්, දේපල හිමි භික්ෂූන්, විවිධ කර්මාන්තයන්හි නියුතු වූවන්, රජවරුන්ගේ සිට විවිධ දේශපාලනික සහ සමාජයීය මට්ටම් හෙබවූවන් පිළිබද සාධක මෙම ලිපි ඇසුරෙන් අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව ශිලා ලිපි කියැවිමේදී මෙකී පුද්ගල පිරිස් මෙම ලිපි හරහා සමාජ සංසිද්ධීන් කෙරෙහි බද්ධ වූ ආකාරය විමර්ශනය කළ හැකිය.

මෙම ලිපිය ලිවිමේ තවත් එක් පරමාර්ථයක් වූයේ, අධ්‍යතනයේ මෙම ලිපි සහිත ස්ථාන නිධන් හෑරීමේ අසහනයෙන් පෙළෙන්නන්ගේ නිරීක්ෂණයට සහ අවධානයට ලක්වී තිබිමත්, ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු මෙකී ලිපි සහිත ස්ථානයන්ගෙන් නොලැබෙන බව ප්‍රකාශ කිරීමත්ය. මන්ද මේවායෙහි බොහෝ දුරට ඇත්තේ භික්ෂූන් උදෙසා මෙම ලෙන් පදනම් කර ගනිමින් ආරාම සාදා දුන් බවයි. එසේ නැතහොත් ශිලා මතුපිට සටහන් කෙරුණු ලිපි මගින් කියැවෙනුයේ බොහෝ විට වැවක් වේවා, ආරාමයක් වේවා, කුඹුරක් වේවා මේ ආදී වූ විවිධ පූජාවන් පිළිබදවයි. මෙකී අවබෝධය පාසල් මට්ටමේ සිට සිසුනට ලබා දෙන්නේ නම්, විරත්වය පෙන්විමට හෝ, වස්තුව ලබා ගැනීමට හෝ, කුතුහලය සංසිදවා ගැනිමට හෝ වේවා ඓතිහාසික වශයෙන් මිල කළ නොහැකි වැදගත්කමක් පවතින ස්ථාන කිසිවකු අතින් විනාශ නොවනු ඇත. නමුත් අභාග්‍ය වන්නේ බලලෝභීත්වය සහ වන්දිබට්ට මානසිකත්වය යටතේ වගකිව යුත්තන් පවා මෙකී අංශ වෙතින් කර හැර සිටිමයි.

ක්ෂේත්‍රයකින් හමුවන එක මැටි පබලුවක පවා ඇති අමිල උරුමය අපි දනිමු. එහෙත් මහා පරිමාණ වශයෙන් අද සිදුවන විනාශයන් තුළින් නැතිවී යන, නැවත කිසිවිටෙක, කිසිලෙසකින් ලබා ගත නොහැකි සම්පත් දෙස බැලූ කල්හි ඇතිවන හිත් පීඩාව වචනයෙන් කියා විස්තර කළ නොහැක. එහෙයින් බ්‍රාහ්මි අක්ෂර යනු කුමක්ද යන්නත්, එතුළින් ගෙන එන්නේ කවරාකාර පනිවිඩයක්ද යන්නත්, මෙම ලිපි තුළ නිධන් පිළිබදව හෝ වෙනයම් වස්තූන් මන්ත්‍ර පිළීබදව හෝ ලංකාවේ විසූ බුදුවරයෙකු සහ බුද්ධකාලීන අනුගාමිකයන් පිළිබදව හෝ සටහන් නොවන බව යම් තරමකින් හෝ අවබෝධ කර ගැනිමට උක්ත විස්තර ප්‍රමාණවත් යැයි සිතමි.

සිවුවනුව මෙකී ශිලා ලේඛන සදහා අර්ථ සපයන ආකාරය කෙටියෙන් විමසා බලමු. මේවායේ භාෂාව නූතන සිංහලයට සපුරා වෙනස්කම් දරයි. එය ඉතා සරල මෙන්ම ඉතාමත්ම කෙටියෙන් අවශ්‍ය පණිවිඩය පමණක් සදහන් කර ලියා දැක්වු ඒවාය. දීර්ඝ විස්තරකථන නොමැති වීමට හේතුව වන්නට ඇත්තේ මෙම ලේඛන බහුලව හමු වන්නේ ශිලා මාධ්‍ය මත වීමත්, එකී මාධ්‍ය පහසුවෙන් හැසිරවීමට ඇති අපහසුතාවයත් විය හැකිය. එහෙයින් ඉතා කෙටි වචන කිහිපයකට මෙම ලිපිවල අර්ථයන් සීමා වී ඇත.

ලිපි තුළ ඇතුළත් වචන කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු. “ශගශ, සගස, ශගස” ලෙස මෙම ලේඛනයන්හි බහුලව හමු වන වචනයක් වේ. ඉන් අදහස් වන්නේ සමූහය නැතිනම් ඝනය යන්නයි. බොහෝ විට මින් බෞද්ධ භික්ෂූන් අදහස් කළා විය හැකිය. මන්ද තත්කාලිනව බෙහෙවින් ලෙන් විහාර පූජා කෙරුණේ බෞද්ධ භික්ෂූන් උදෙසා වීමයි. මිහින්තලේ පුජාකෙරුණු අටසැට ලෙන් අධ්‍යයනයේදීද, සිතුල්පවුව, වෙස්සගිරිය ලෙස වත්මන ව්‍යවහාර කරනා ඉස්සරමණ ලෙන් අධ්‍යයනයෙන්ද, ලංකාව පුරා විසිරි පැතිරී ඇති සෙසු සියලුම ලෙන් ලිපි අතුරින් මෙකි වචනය සහිත ලිපි අධ්‍යයනයෙන්ද මේ පිළිබද වැටහෙනු ඇත. බොහෝ විට මෙම අවස්ථාවන්හි “ශගශ දිනෙ” / “අගත අනගත චතුදිශ ශගශ” / “ශගශ” ආදී වූ ලෙස ආකාර කිහිපයකින් සටහන් වි ඇති ආකාරය දක්නට ලැබේ. මින් අරුත් ගැන්වෙන්නේ සතර දිගින් පැමිණි නොපැමිණි සියලු සංඝයාට මෙම ගෙන් පුජා කළ බවයි. මෙහිදී පෙර අවස්ථාවක දැක්වු පරිදි ඉතා කෙටියෙන් “ශගශ” යන්න පමණක් ඇතැම් තැන්හි දක්වා තීබීමට හේතුව ලෙස පිළිගැනෙන්නේ කළුගල් මාධ්‍ය හැසිරවීමේ අපහසුවත්, මෙම යුගයේ තම අරමුණ පැහැදිලිව ඉතා කෙටියෙන් දැක්වි‍මෙහි ලා තිබු නැඹුරුවත් බව පැවසේ.

මීට අමතරව මෙකී ලිපි ඇසුරෙන් උපශික, පරුමක, අය, අබි, රජ, මහරජ, බත, තෙර, ගමණි, දෙවනපිය, මත, වණිජ…. ආදිවූ නාමයන් රැසක් හදුනාගැනීමට අවස්ථාව ලැබේ. මින් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ පිරිස් මෙන්ම විවිධ නිල නාම, වෙළද ප්‍රවාහයන්, සමාජ සංස්කෘතික මට්ටම්, පරම්පරා නිල නාම, තනතුරු නාම ආදිය අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා සේම, ඒ ඒ පිරිස් සතුව තිබූ දේපල අයිතිය, ප්‍රමුඛ වශයෙන් කාන්තාවන්ට තත්කාලින සමාජය තුළ තිබූ දේපල හිමිකම්, විවිධ පූජා, සමාජ මෙහෙවර ආදිය පිළිබද සංකල්ප ලබා ගැනිමේ හැකියාව පවතී. නමුත් අවධාරණය කළ යුතු වැදගත් කරුණ වන්නේ මෙකි ලිපි උපනිශ්‍රයෙන් අර්ථ සැපයිමේදී වෙනත් මූලාශ්‍රයන්ද අනිවාර්යයෙන් පාදක කොටගත යුතු බවයි. එසේම තත්කාලින සමාජය පිළිබද ගෙනහැර දැක්වෙන වෙනත් මූලාශ්‍රයන්හි සාධක සත්‍යමදැයි දැන ගැනීමට, මෙකී ශිලා ලිපි තුළින් ලැබෙන පන්නරය අති මහත්ය. එම නිසා මෙකි මූලාශ්‍ර සියල්ල එකිනෙක මත පෝෂණය වන ආකාරය මෙහිදි හදුනා ගැනිමට ලැබේ.

මෙම ලිපියේ අරමුණ වූයේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි යනු කවරක්දැයි යම් තරමකින් හෝ සරලව හදුන්වා දීමයි. නමුත් මෙකි ලිපි උපයුක්ත කොටගෙන නිවැරදි අධ්‍යයනයකට යන්නේ නම්, ඒ ඒ ප්‍රදේශ වල පැවති බෙදිම්, පාලන ඒකක, පාලකයන්, සමාජ පිරිස් ආදී වූ සාධක රැසක් අනාවරණය කරගත හැකි අතර අදටත් විවිධ අයුරින් මේ පිළීබද අධ්‍යයන සිදු වෙමින් පවතින බව කිව යුතුය. තවද, නිධන් ඇතැයි සිතා ලිපි හෝ අක්ෂර හෝ සංකේත හෝ සටහන් වි ඇති ස්ථාන කෙරෙහි වැරදි ආකල්පයෙන් බැලීම යම් තරමක් හෝ නවතිනු ඇතැයි මෙමගින් අපේක්ෂා කරමි. තවද, ශිලා ලිපි පාදක කොටගනිමින් අද වන විට අන්තවාදී කල්ලි විසින් ගෙන යනු ලබන අර්ථ හින ප්‍රකාශයන් සහ, පූර්ව බ්‍රාහ්මි ලිපි ඇමට ගෙන මවා පානා ලද ක්‍රි.පූ. හය වන සියවසේ සමාජයක් පිළිබද ආකල්පය ව්‍යාජයක් බවත්, දැනට හදුනාගෙන ඇති මෙකී ලිපි අනිවාර්යයෙන් අයත් වන්නේ ඉන් සියවස් තුනක් හෝ හතරක් මෙපිට ඉතිහාසයට වන බවත් මෙමගින් පැහැදිලි වනු ඇතැයි සිතමි.

මෙහි දැක්වු දළ සටහන් යම් තරමකින් හෝ පාදක කොට ගෙන මෙම මුල් මට්ටමේ පවතින ලිපි යම් තරමක් හෝ කියැවීමට ඔබ උත්සහ දරන්නේ නම්, ඔබටද මෙම මුල් කාලීන ලිපි වල අන්තර්ගතයන් දළ වශයෙන් හෝ වටහා ගැනිම අසීරු නොවෙතැයි සිතමි.

(සැලකිය යුතුයිපෙර සදහන් කළ පරිදිම මාධ්‍ය භාවිතයේදි, ප්‍රදේශ විවිධතා අනුව, සහ ශිල්පියා මත, අක්ෂරවල යම් යම් විශමතා පවතින හෙයින් ඔබේ ඇස මෙකී ලිපි වෙත වඩාත් හොදින් හුරු කිරීමක් කළ යුතුය. ඒ සදහා අවැසි වන්නේ නිදහස් නිරවුල් මනසකින් ලිපි දෙස බලා සිටීමෙන් ප්‍රගුණ කරන ලද ඔබේ ඇසත්, ප්‍රගුණ කරන ලද ඔබේ මනසත්, ප්‍රගුණ කරන ලද ඔබේ දැණුමත්ය..)

 

මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ‍ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)

මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න මාව පොළඹවපු කාරනාව ගැන. ඒ මම මිට කාලෙකට කලින් ලියපු බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයැයි කිම සාවද්‍යයි කියන ලිපිය නිසා. ඒ ලිපියට “මෙතනින්” යන්න. ලියල කාලයක් ගියත් දැන් ඒකට හෝ ගාල කමෙන්ට්ස් එනව මාව විවේචනය කරල. මගේ ජාතකේත් මතක් කරලා. හා කමක් නෑ. දෙවෙනියටත් දෙයක් කියන්න තියනව. කෙනෙක් අදහස් දක්වලා තියනව මම ලියන සිංහල එයාට තේරෙන් නෑලු. සිංහල තියා මම දක්වපු තර්කවත් තේරුම් නොගත්ත එයා මම ඉතිහාසය ගැන මොකුත්ම නෙදන්න මෝඩයෙක් ගානට දාල කතා කරලා. හා කමක් නැ කියමුකො. ඉතිං මේ ලිපිය ලියනව මූලාශ්‍ර පරිහරණය ගැන දන්නෙ නැති අයට දැනුවත් වෙන්නත්, සාමාන්‍යපෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට උදව්වක් විදිහටත්… මේ ලියන භාෂා ශෛලියනම් මට හුරු නෑ, මොකද නිතරම මම ලියන්නෙ විධිමත් භාෂා ශෛලියකින් නිසා. කමක් නෑ.. කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් සරල කරල ලියන්න උත්සහ කරන්නම්.

මොකද්ද අපි මේ ඉතිහාසයේදි පුරාවිද්‍යාවෙදි භාවිත කරන මූලාශ්‍ර කියන වචනෙ තේරුම? ඒ කියන්නෙ අපි යම් කරුණක් විග්‍රහ කරද්දි ඒ කරුණු ගොඩනගන්න උපකාර කරගන්න දත්ත වගටයි අපි මූලාශ්‍ර කියන්නෙ.

සාහිත්‍ය, පුරාවිද්‍යාත්මක කියල මූලාශ්‍ර වර්ග කෙරෙන බව ඔයාල දන්නවනෙ. ඒවත් තවත් උප කොටස් යටතේ වෙන් කෙරෙනවා. සාහිත්‍ය මූලාශ්‍රනම් වංශකථා, සන්නස්, තුඩපත්, සංදේශ, විදේශීය වාර්තා වගේ දේවල් යටතේත්, පුරාවිද්‍යාත්මක මුලාශ්‍රනම් නාණක එනම් කාසි, අභිලේඛන නම් යම් මතුපිටක් මත ලියවුණු ලේඛන, විවිධ නටඹුන්, පොළොවේ වැලලුණු විවිධ පුරා වස්තු සහ ඒ අවට සන්ධර්භය මේකට අයිති වෙනවා.

ඒත් අද කාලෙ ඉතිහාස අධ්‍යයනය ගැන හරි දැණුමක් නැති අය මේ මූලාශ්‍ර එකක් දෙකක් පමණක් භාවිත කරල මහා ලොකු කතන්දර මවාගෙන යනවා. විශ්වවිද්‍යාල මට්ටමට එද්දි මේව නිවැරදිව හසුරුවන්න ඉගෙන ගත්තත් හැමෝම ඉතිහාසය පුරාවිද්‍යාව කරන්නෙතු තැති නිසා, හැමෝටම විශ්වවිද්‍යාල වලට එන්න අවස්ථාවක් නැති නිසාත් නිවැරදිව දැණුම හසුරුවන අය සමාජයේ හරිම අල්පයි. ඒත් සහෝදර සහෝදරියනි ඔයාල උත්සහ කරනවනම්, විමසල බලලා දිවාර බුද්ධියෙන් දැණුම මෙහෙයවලා තීරණ ගන්න, ඒ වගේම එක දේකට පමණක් සීමා නොවී, තමන්ගේ කම විතරක් ඉස්මතු කරගැනිමේ පරම අධිශ්ටානයට පමණක් ගැති නොවී යථාර්ථය අවබෝධකර ගන්න…, අන්න එතකොට ඔබ තුළින් නියම බුද්ධිමතෙක් බිහි වේවි. මේක ඉතිහාසයට විතරක් නෙවෙයි, අනිත් කොයි පාඩමටත් අදාල කාරණයක්. ඇයි අපි අපේ මනස එක දේකට සීමා කරගන්නෙ? ඇයි අපි අපිට ලැබුණු බුද්ධිය මෙහෙයවලා, පටු සිමාවකට කොටු නොවී, අපේම කියල නිදහස් චින්තනයක් ඇතිකර ගන්නෙ නැත්තෙ?

මූලාශ්‍ර පරිහරණයත් එහෙමයි. අපි අපේ අධ්‍යයනයන්ට ගන්න මූලාශ්‍ර සමහර විට ඇත්ත දේම නෙවෙයි කියන්නෙ. සරලම මට්ටමේ උදාහරණයක් ගනිමුකො. නිශ්ශංකමල්ල රජ්ජුරුවො තමන් කරවපු දේවල් කියල යන යන තැන ශිලා ලිපි කෙටෙවුවට, අනිත් මූලාශ්‍රත් එක්ක සංසන්දනයේදි අපිට පැහැදිලි වෙනවා පැරණි ලංකාවෙ රාජ්‍යත්ව සංකල්පයත් එක්ක, විදේශිකයෙකු වුණ ඒ රජුට ගැටෙන්න තිබුණු විප්ලවියත්වය හේතුවෙන් මේ ශිලා ලිපි පිහිටවපු බව.

ලංකාවෙ අක්ෂර ආරම්භය ක්‍රි.පූ. 3වන සියවස කියල සදහන් කරනවා ලෙන් ලිපි හේතුවෙන්. ඒත් අනුරාධපුර ඇතුල්නුවර නවතම සාධක නිසා මේ මතය ආයෙමත් පර්යේෂණ මට්ටමට යොමු වුණා. කොහොම වුණත්, ලිපි ගලේ කෙටුව නිසානෙ අදටත් ආරක්ෂා වෙලා තියෙන්නෙ. ඉතිං ගල් වගේ ස්ථායී මාධ්‍යයක ලිපි සටහන් වෙන්න කලින් ඒ තරම් කල් නොපවතින මාධ්‍යවලත් අක්ෂර සටහන් කරන්න ඇතිනෙ.

ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. අද ගොඩක් අය තරක කරනව රාමායනය, මහාවංශය වගේ පොත් වල තියන කරුණු ගැන. මේව ලියවෙන්නෙ අදාල සිදුවීම් වෙලා අවුරුදු පන්සියයක් දාහක් වගේ විශාල කාලයක් ගෙවුණට පස්සෙ. ඉතිං ඒ අතරතුර කාලයේදි මේ ග්‍රන්ථවල අන්තර්ගත කරුණු කටපාඩමෙන් තමයි ගෙනඑන්නෙ. ඒ කටපාඩමෙන් කියවෙන විට නොයෙක් නොයෙක් නව කාරණා මේවට එකතු වෙන එක සාමාන්‍ය වගේම අනිවාර්ය සිද්ධියක්. අපි බලමු ඇයි ධර්ම සංඝායනාවක් කරන්න ඔන වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස ත්‍රනකට පස්සෙ කියලා… ඒකටත් ගොඩක් දුරට බලපාන්නෙ කලින් කියපු හේතුවමයි. ව්‍යවහාරයේදි යම් යම් නවතාවයන් එකතු වෙනවා. ඉතිහාසයේ වෙලා තියෙන්නෙත් ඒක.

තවත් උදාහරණයක් විදිහට රංචාමඩම කැණීම්වලින් හෙළිවුණා ආසියාවෙ මුලින්ම යකඩ භාවිත කළේ අපේ රටේය කියන උපකල්පනය. නමුත් මේව තහවුරු කරන්න තව පර්යේෂණ කෙරෙනව. සංසන්දනාත්මක අධ්‍යයනයන් සහ විද්‍යාත්මක අධ්‍යයනයන්. එහෙමයි විද්‍යාත්මක විදිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඒත් අද අපේ රටේ හරිම කනගාටුදායක තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. සුළු දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා ඉතිහාසය විකෘති වීමකට ලක්කෙරිගෙන යනවා. උදාහරණයක් තමයි, කිහිපදෙනෙක්ට ලොකු උවමනාවක් තියනව බුදුදහම ඇතිවි පැතිරි වර්ධනය වුනේ ලංකාවේය කියල කියන්න. අනේ ඒත් ඒක ඒ විදිහට නිරපේක්ෂව ඉදිරිපත්කරන්න පුළුවන් සාධක තියාගෙනනම් කමක් නෑ. ඒත් මෙහෙම කියන උදවියගේ හිතේ ඉන්දියාව ගැන පවතින්නෙ කෝපයක්. ඒ වගේම සිංහල බෞද්ධ සංකල්පය ගැනත් හරිම අන්තවාදි හැගීමක් තියෙන්නෙ. මේවට විරුද්ධව කතා කරන්න යද්දි අපිව හංවඩු ගහනව අපිට ජාතකයක් නෑ කියලා. සිංහල කමත් බෞද්ධ කමත් සැලකුවාම මම අපේ සංස්කෘතියෙ දකිය විශේෂම ලක්ෂණයක් වෙන්නේ ආගම් ජාති භේදයකින් තොරව සමානාත්මතාවය දැන්විම. ඒත් බෞද්ධයැයි කියා ගන්නා අන්තවාදී පිරිස් නිසා සමාජය දැන් දූශනය වෙනවා.

දැන් ආයෙමත් මුලාශ්‍ර පරිහරණය මේ කියන සංකල්පයට ආදේශ කරනවනම්, කාලානුරූපව පිළිගත් දිනවකවානු සහිතව ගැටලුවක් නැතිව පිළිගන්න පුළුවන් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි ඇමට අරගෙන ඒවායින් සුරංගනා කථා කීමේ තත්වයක් අද ඇතිවෙලා තියනවා. අක්ෂර වල හැඩය, භාෂා විලාසය අනුව අපිට අක්ෂර කාලනීර්ණය කරන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර වල එන තොරතුරු ශිලා ලිපි වල එන තොරතුරු සමග සංසන්දනාත්මක අධ්‍යයනයකට ලක් කළාම බොහෝ දුරට අපිට නිවැරදිව ඉතිහාසය ගොඩනංවගන්න පුළුවන්. එහෙම නැතිව මහාවංශය විතරක් අධ්‍යයනය කරල නිවැරදි ඉතිහාසයක් ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒක හරියට අන්ධයාට සුදු පාට පෙන්නනව වගේ වැඩක්. අන්තිමේ සිද්ධවෙනව සුදු පාට කොකාට තියන නිසා කොකාගෙ හැඩේට අත හදල අන්ධයාට පෙන්වන්න. ඉතිං අන්ධයා හිතනව සුදු කියන්නෙ අත වගේ කියලා. තනි මුලාශ්‍රයක් භාවිතයෙන් අවුරුදු දහස්ගණනක යටගියාවක් ප්‍රතිනිර්මාණය කරන්න යන එකත් ඒ වගේ අර්ථ හීන ක්‍රියාවක්.

ඉතිහාසයට, උරුමයට ආදරේ කරන ඔයාල වෙනුවෙන් අන්තිමේ එක දෙයක් කියන්නම්. මේ විෂය ගැන බලන්න ඕන තමන් ස්වාධීනව. ඒ කියන්නෙ, ජාතියටත්, ආගමටත්, කුලයටත්, තමන් ඉන්න ප්‍රදේශයටත්, තමන්ගෙ රටටත් ගැති නොවී නිදහස් චින්තනයෙන්. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ නිවැරදි විහිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම මූලාශ්‍ර භාවිතයේදීත් පක්ෂග්‍රාහී නොවී නිවැරදි අධ්‍යයන ක්‍රමවේදයකට යන්න ඕන. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ සමාජයට සත්‍ය දැණුම ප්‍රචාරකයන් විදිහට අපේ කටයුතු කරගෙන යන්න.

(රට ජාතිය ආගම වෙනුවෙන් සත්‍ය වසං කරල තමන්ගේකම විතරක් වපුරන සාවද්‍ය ප්‍රචාර ගෙනියනවයි කියන්නෙ මනුෂ්‍යත්වය කෙළසා දැමීමක්)

 

ක්‍රි.ව. 17-18 සියවස්වල යුරෝපියයන්ගේ ඉන්දියානු වාණිජ කටයුතු (2 කොටස)

‘ඉන්දියා කොදෙව්වල වෙළදාම් කරන ලන්ඩන් වෙළදුන්ගේ සමාගම හා එහි අධිකාරය’ නම් වූ වාණිජ මණ්ඩලය සදහා වෙළද අයිතීන් දෙනු ලැබුයේ 1600දීය. පෙරදිග ඉන්දියා සමාගම ලෙසද හැදින් වූ මෙහි පළමු සහ දෙවන මුහුදු ගමන් සදහා මූලිකත්වය ගෙන ඇත්තේ ‘ජේම්ස් ලැ‍න්කෙස්ටර්’ නම් තැනැත්තායි. තෙවැනි ගමනේ මූලිකත්වය ගත් ‘විලියම් හොකින්ස්’ 1606-1611 දක්වා කාලය තුළ මොගල් රජ මාළිගයේ වාසය සදහා අවසර ලබා ඇත. මින් විද්‍යමාන වන එක් කරුණක් වන්නේ තානාපති සබදතා පාදක කොට ගෙන පෙරදිග වෙළද ඒකාධිකාරය ලබා ගැන්මට ඉංග්‍රීසීන් දැරූ ප්‍රයත්නයයි. නමුත් මොගල් රාජ සභාවේ මෙසමයේ බල පැවැත්වූ පෘතුගිසි ආධිපත්‍ය හේතුවෙන් 1612දී ‘තෝමස් බෙස්ට්’ යට‍තේ පැමිණි නැවු මගින් පෘතුගිසි බලය බිදින තුරු ඉංග්‍රීසිනට සිය ආධිපත්‍ය පතුරුවාලීම අසීරු වී ඇත. මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස 1613දී බ්‍රිතාන්‍ය වාණිජිගාරයක් බිහි කිරිමට හැකි විය. මොගල් රාජ සභාවේ වසර තුනක් සේවය කළ ‘සර් තෝමස් රෝ’ ගේ මූලිකත්වයෙන් ගුජරාටයේ වාණිජ අයිතිවාසිකම් ලබා ගැනීමට ඉංග්‍රීසින්ට හැකි විය. එපමණක් නොව අග්‍රා, අහමදාබාද් සහ බ්‍රෝච් නම් ස්ථානයන්හි වාණිජාගාර ඉදි කරම්න් ඉන්දියාව තුළ වෙළද කටයුතු නගාසිටුවාලීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය.
මෙහි තවත් ප්‍රතිඵලයක් වූයේ 1622දි  ඔර්මුස් අල්ලා ගැනීමයි. මෙතෙක් පෘතුගීසින් සතු වූ වෙළද බලය බිද වැට්ටීමට මෙයද එක් හේතුවක් විය. ඒ අනුව ක්‍රමයෙන් මසුලි පට්ටනම්, දර්මැගන් ආදී ස්ථානයන්හිද වාණිජාගාර පිහිටුවාලමින් ඉන්ග්‍රීසීන් පෙරදිග වෙළද අධිකාරය සියතට ගැනීමට කටයුතු කළ අයුරු දක්නට ලැබේ. මෙහිදී ඔවුනට නාවික බලය මතු නොව යුධමය හැකියාවද බෙහෙවින් ඉවහල් වන්නට ඇත.
ලන්දේසින් සහ ඉංග්‍රීසින් අතර කිසිදු ලෙසකින් සාමදානයක් නොපැවතුණද 1642දි පෘතුගීසි ඉංග්‍රීසි ජාතිකයින් අතර ඇතිවූ තාවකාලික සුහදතාවයේ ප්‍රතිථලයක් ලෙස මදුරාසියේ ශාන්ත තෝම්ගේ පෘතුගීසි බලකොටුව අසළ ශාන්ත ජෝජ් නම් ඉංග්‍රීසි බලකොටුව ඉදි විය. මසුලිපටුන මුල් කරගෙන පවත්වා ගෙන යනු ලැබූ පෙරදිග ඉන්දියා සමාගමේ නව මධ්‍යස්ථානය මෙය බවට පත් කරන ලදි. ඉංග්‍රීසීන් සිය අරමුණ ක්‍රමක්‍රමයෙන් සාක්ෂාත් කර ගනිමින් ලුණු, සීනි සහ වෙඩි ලුණු ආදීවූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සදහාද ඉන්දියාව තුළ

  • මහානදි ඩෙල්ටාව
  • හරිහර පුරය
  • හුග්ලි
  • පැට්නා
  • කොසිම් බසාර්
  • බෙංගාලය

ආදි වු ස්ථානයන්හි වාණිජ මධ්‍යස්ථාන පිහිටුවන ලදී. එතරම් වාණිජාගාර ප්‍රමාණයක් පාලනය සදහා අවශ්‍ය යුධමය බලය මෙන්ම, වෙළදාම සහ හමුදාව නඩත්තුව උදෙසා අවශ්‍ය කළ ආර්ථික සමෘද්ධියද ඉන්ග්‍රීසින් සතු විය.
ක්‍රි.ව. 1630-1631 අතර කාලයේ ඇතිවූ පාරිසරික වෙනස් වීම් මත කපු නිශ්පාදනය ගුජරාටයේ සිට මදුරාසියට වෙනස් වූ අතර ප්‍රධාන වෙළද ද්‍රව්‍යක් වු ‘නිල් අවරිය’ වාණිජ බෝග අතුරෙන් ඉවත් විය. මේ හේතුව මත යුරෝපිය වෙළද කටයුතු නැගෙනහිර ඉන්දියාවේ ස්ථාපිත කීරිමට කටයුතු සැලසිණි. පෙරදිග ඉන්දියා සමාගම කේදවාචකයකට මුහුණ දෙනු ලැබුයේ 1698දී ‘නැගෙනහිර ඉන්දියා කොදෙව්වල වෙළදාම් කරන ඉංග්‍රීසි සමාගම’ වෙත වෙළද ඒකාධිකාරය පැණවීමත් සමගිණි. මෙම සමාගම් දෙක අතර ඇතිවු ගැටළු සදහා පිළියමක් වශයෙන් 1702 දි ‘නැගෙනහිර ඉන්දියා කොදෙව් වල වෙළදාම් කරන ඉංග්‍රීසි වෙළදුන්ගේ එක්සත් සමාගම’ ලෙස මෙම සමාගම් දෙක ඒකාබද්ධ කෙරුණි. එසේම වැදගත්ම කරුණ වූයේ සමාගම යටතේ සේවය කරන සැම නියොජිතයෙකුටම සිය පෞද්ගලික වෙළදාම සිදු කරගෙන යාමේ අයිතිය ලබා දීම සහ ඔවුනට වේතනයක් පිරිනැමිමයි. මෙම වෙළදුන් ඉන්දීය වෙළදුන් ලෙස පෙනී සිට සිය කටයුතු සිදු කළ හැකි වූ හෙයින් සුරාත්, මදුරාසි සහ හුග්ලි යන වාණිජාගාර පමණක් පවත්වා ගනිමින් ඉන්දියාව සහ එංගලන්තය අතර කෙළින්ම වෙළදාම් සිදු කරන ලදහ.
ඉන්දිය කර්මාන්ත අතුරෙන් මුල් තැන ගත්තේ රෙදි පිළි කර්මාන්තයයි. 1757න් පසු විදේශ වෙළදාමේ ස්ථිරසාර වර්ධනය හේතුවෙන් ඉන්දිය ධනය යුරෝපය කරා ගියා පමණක් නොව එහි නව කර්මාන්තයන් ඇරඹීමටද පසුබිම සැලසුණි. අපනයනික වෙළදාමේදී මෙන්ම රට තුළ වෙළදාමේදීද බ්‍රිතාන්‍යයන් ගෙන ගිය අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ඉන්දීය ස්වදේශීය කර්මාන්ත බිද වැටුණි. 1700 සහ 1720 පාර්ලිමේන්තු පණත් මගින් ඉන්දීය පට පිළි සහ කපු රෙදි ඇදීම එංගලන්තයේ තහනම් කිරීමත්, ප්‍රංශ විප්ලව හේතුවෙන් වෙනත් විදේශ වෙළද ප්‍රවාහ ඇහිරි යාමත් ඉන්දිය ස්වදේශීය නිශ්පාදනයන්ට තර්ජනයක් වූ අතර වෙළද සමාගමේ ඒකාධිකාරය මේ උදෙසා ක්‍රියා කළ බැවු පෙනී යයි. තවද 1798 වර්ෂයෙන් පසු කල්කටාවේ නැව් නිශ්පාදන කර්මාන්තයද ව්‍යර්ථ වී ගොස් ඇත.
ඉහත දැක්වූ සියලු සාධක අවධානයට ගැනීමේදි ක්‍රි.ව. 17-18 සියවස් අතර කාලය සලකා බලන කල්හි යුරෝපීය ජාතින් පෙරදිග රටවල සිය දේශපාලන සහ වාණිජ ආධිපත්‍ය පතුරුවාලීමට කටයුතු කළ සියවස්ද්වයක් ලෙස උක්ත කාල සිමාව වඩා වැදගත්කමක් දරන බව විද්‍යමාන වේ.

 

ක්‍රි.ව. 17-18 සියවස්වල යුරෝපියයන්ගේ ඉන්දියානු වාණිජ කටයුතු (1 කොටස)

බටහිර ජාතිකයො පෙරදිගට පැමිණීමේ ප්‍රධානතම අරමුණක් වුයේ ඔවුන්ගේ වාණිජ කටයුතුයි. ඒ සදහා අවශ්‍ය පසුබිම, විශේෂයෙන් වෙළද ද්‍රව්‍ය ආසියාතික රටවල සුලභ විය. එහෙයින් ඉන්දියන් සාගරයේ වෙළද ඒකාධිකාරය ලබා ගැනීම උදෙසා බටහිර ජාතීන් අතර දැඩි තරගයක් විය. පෘතුගිසීන් සතු වූ වෙළද ඒකාධිකාරය ක්‍රි.ව. 1595දි ලන්දේසීන් විසින් පැහැර ගැනීමෙන් පසුව ඉන්දිය ප්‍රදේශ තුළ වෙළදාමේ ප්‍රමුඛත්වයට පත් වීමට විවිධ යුරෝපිය ජාතීන් දැරූ ප්‍රයත්නය 17-18 සියවස් අතර සිදුවු සුවිශේෂී සිදුවීම් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. පෙරදිග ඉන්දිය වෙළද සමාගම සදහා යුරෝපීයන් තුළ තිබූ මෙම දැඩි තරගකාරිත්වයට ප්‍රධානම හේතුව වූයේ මෙම රටවල උපදින ගම්මිරිස් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය කුළුබඩු වර්ගයි. මේ හේතුව මත උක්ත කාල පරාසය තුළදී ලත්දේසි, ප්‍රංශ, ඩෙනිශ්, බ්‍රිතාන්‍ය ආදි ජාතීහු ඉන්දීය පාලකයන් වෙත තානාපතීන් එවා සබදතා ගොඩනගා ගැනීම මගිනුත්, ප්‍රදේශ යටත් කර ගැනීම මගිනුත්, වාණිජාගාර පිහිටුවා ගැනීම මගිනුත් ඉන්දියාව තුළ තම ඒකාධිකාරය ගොඩනගා ගැනීමට දැරු ප්‍රයත්නයන් වාර්තා වේ.

පෘතුගිසින් සතු වූ පෙරදිග වෙළද ඒකාධිකාරය ලන්දේසින් විසින් පැහැරගනු ලැබු පසු ක්‍රි.ව. 1602 දි නෙදර්ලන්ත එක්සත් පෙරදිග ඉන්දියා සමාගම අරඹන ලදී. වෙළද ඒකාධිකාරය සදහා මෙම එකිනෙක රටවල් අතර බල අරගලයක්ද විය. එමි ප්‍රතිඵලයක් ලෙස පළමුව සිදුවූයේ පෘතුගීසීන් යටතේ තිබූ මොලුක්කා දිවයින මොවුන් විසින් පැහැර ගනු ලැබිමයි. ඒ අනුව 1641 වර්ෂයේ දී මලක්කාවද ලන්දේසි ප්‍රහණයට නතු විය. තත්කාලිනව ජනප්‍රිය වාණිජ බෝග වැවුණු ශ්‍රී ලංකාවද 1638-1658 කාල පරාසය තුළදී ඔවුනට නතු විය. ලන්දේසි වාණිජ කටයුතු වඩා වර්ධනය කිරිමෙහි ලා දායක වූ පුද්ගලයින් අතුරෙන් බතාවියාව පිහිටවූ කෝආන් නම් අද්මිරාල් වරයාට සුවිශේෂීත්වයක් හිමිවේ. ඔහුගේ මුලිකත්වයෙන් නැගෙනහිර ඉන්දියා කොදෙව් වලින් බ්‍රිතාන්‍යයන් එලවා දැමුවද, ඒ වෙනුවට ඉංග්‍රීසීන්ගේ අවධානය වැඩි වාණිජ වටිනාකමක් සහිත බෝග උපදවන අග්නිදිග ආසියාතික රටවලට යොමු විම ලන්දේසින් ලද පරාජයක් විය.
ලන්දේසින් ලබා ගත් බෝග සදහා මුදලින් ගෙවීම ඔවුන්ට අසීරු වු නිසාත්, මලයානු ප්‍රදේශ වල කපු සදහා ඉල්ලුමක් තිබුණු නිසාත් ඉන්දිය හා අරාබි වෙළදුන්ගෙන් කපු වෙළදාම පැහැරගත් ලන්දේසිහු බෝග සදහා මුදලින් නොව, කපු වලින් ගෙවිම ආරම්භ කළහ. මේ අතර ක්විලොන්, කැඤ්ඤනොර්, කොචින් යන ප්‍රදේශ අල්ලා ගනිමින් පෘතුගිසින් පලවා හැරීමටද කටයුතු කළහ. මෙහිදී නාග පටුන ඉන්දියාවේ ලන්දේසි මධ්‍යස්ථානය බවට පත් තිරිමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ වෑන් ගෝආන්ස් බව කියැවේ. ලන්දේසි නාවික ශක්තිය, ඔවුන්ගේ වාණිජ අධිකාරයේ නැගිමට බෙහෙවින් ඉවහල් වූ බව පෙනි යයි. විශේෂයෙන්ම අන්තර් ජාතික වෙළදාමේදී ලාභ ලැබීමට, ප්‍රදේශ ව්‍යාප්තියට දක්ෂ නාවික බලයක් වමන්ම හමුදා ශක්නියක්ද අත්‍යාවශ්‍ය විය. නමුත් මෙකි බලය 18 වන සියවසේදි ලන්දේසීන් අතින් ගිලිහි යාම නිසා 1759 දී ඔවුන් පරාජයට පත් විය. 1781දි ලන්දේසින් හා ඉන්ග්‍රීසින් අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස නාග පටුන සහ ත්‍රිකුණාමල වරායද ඔවුනට අහිමි විය. 18 වන සියවසේ අග භාගය පිළිබද අවධානය යොමු කරන කල්හි, බ්‍රිතාන්‍යයන් අතට යොමු වෙමින් පැවති පෙරදිග ඉන්දීය වෙළද සමාගම නැවත සියතට ගැනිමට ලන්දේසීන්ට නොහැකි වූ බව පෙනී යයි.
ප්‍රංශ ජාතිකයින් 1664 දි ලා කොම්පඤ්ඤ ඩෙස් ඉන්ද් නම් සිය සමාගම පිහිටුවන අවධිය වන විට ඩෙනිශ් වරු මෙන්ම බ්‍රිතාන්‍යයන්ද ඉන්දියාව තුළ තම වෙළද ජනපද පිහිටුවා තිබුණි. එසේම මොවුන්ට උක්ත ජාතින් තරමටම තම බලය ඉන්දියාව තුළ ව්‍යාපුත කිරීමේ හැකියාවද නොපැවතිණි. ප්‍රංශවරු තුළ තිබූ මන්දෝත්සාහි ගතියද මෙයට භාදකයක් විය. කොල්බෙයර් හා ප්‍රොන්සුවා මාර්ටින් යන දෙදෙනා ඉන්දිය වෙළද ඒකාධිකාරය ගොඩනැංවිමට කටයුතු කළ ප්‍රංශ ජාතිකයින්ය. 1673දී ඉන්දියාව තුළ ප්‍රංශ ජනපද වල කේන්ද්‍රස්ථානය ලෙස පොන්ඩිචෙරි නගරය ඉදි කිරීම උදෙසා කැපවී ක්‍රියා කිරීමේ ගෞරවය හිමි වන්නේ ප්‍රොන්සුවාටයි. සුරාත්, මසුලිපටුන, කැලිකට්, මාතේ, කාරිකාල් හා චන්දාර් යන නගරයන්හි ප්‍රංශ වාණිජාගාර ඉදි විය.
ඩෙනිෂ්වරුන්ද සිය වෙළද අධිකාරය ඉන්දියාව තුළ පතුරුවමින් කටයුතු කළද ප්‍රංශයින් මෙන්ම සැලකිය යුතු තරම් වාණිජ මැදිහත්වීමක් ඔවුන්ගෙන්ද සිදු නොවූ බවට සාධක ලැබේ. ක්‍රි.ව. 1616දී ඩෙනිශ් පෙරදිග ඉන්දීය වෙළද සමාගම පිහිටුවනු ලැබිය. ට්‍රැන්ක්විබාර් හා සොරාම්පුර් යන ස්ථානයන්හි 1620 දි හා 1755 දී ඔවුන් සිය වාණීජාගාර ඉදි කළද ඉන්දියාව තුළ වෙළද කටයුතු වල සාර්ථකත්වයක් අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මේ අතර 18 වන සියවස තුළදි ඇතැම් අවස්ථාවන්හි ඔස්ත්‍රියානු පෙරදිග ඉන්දිය සමාගම් දෙකක් හා ස්විඩිෂ් පෙරදිග ඉන්දියා සමාගමක් පිහිටුවීම උදෙසා බලපත්‍ර නිකුත් කෙරුණද මේ සැමෙකක්ම ඉතා ඉක්මනින් ව්‍යර්ථ වි යන ලදී.

ඉතිරිය දෙවන කොටසින් බලාපොරොත්තු වන්න……

 
 
%d bloggers like this: