RSS

Category Archives: පුරාවිද්‍යාව / Archaeology

මානවවංශ පුරාවිද්‍යාව හා සත්ව පාලනය පිළිබඳ විමර්ශනයක්

සැකසුම :- තිලිනි නදිකා ෂැල්වින්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පුරාවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව
2013-1014
මානවවංශ පුරාවිද්‍යාව යනු
කාලය හා අවකාශය අතර මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවූ ගනුදෙණුවේදී මානව පරිණාමය හා බැඳි මානවයාගේ ක්‍රියාකාරකම්හි වර්ධනීය පියවර සියුම්ව අවධානය යොමු කළ යුතු වූ විෂය පථයකි. මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා කාර්යයභාරය වූ මානවවංශ පුරාවිද්‍යාව සැලකිල්ලට ගැනීමේදී නොදන්නා යුගයක, නොදන්නා සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාව මේ ඔස්සේ ලැබෙන බව අවිවාදිතය. කැණීම් බිම් වලින් හමු වන්නා වූ මිනිසා විසින් උපයුක්ත කරගනු ලැබූ ද්‍රව්‍යාත්මක සාධක තුළින් අතිත මානවයාගේ චර්යා රටා සහ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරගනු ලබන්නේ යම් සේද, වත්මන් ප්‍රාථමික සමාජ අධ්‍යයනයට ගැනීමේදී ලැබෙන සාධකද මේ කෙරෙහි වඩාත් වැදගත් තොරතුරු අනාවරණය කරයි. සංස්කෘතිකමය වෙනස්විම් වලට නැඹූරු නොවී සිය සාම්ප්‍රායික සිරිත් විරිත් අනන්‍යතාවන් තවමත් පෙර මෙන්ම හැකිතාක් ආරක්ෂා කරගනිමින් ස්වභාවික පරිසරය මත සිය යැපීම් පවත්වා ගනිමින් ජීවත් වන ඇතැම් ප්‍රාථමික ජන කණ්ඩායම් අදටත් බොහෝ රටවල්හි වාසය කරන අතර මානවවංශවිද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මෙකී ජීවමාන ජන කණ්ඩායම් උපයුක්ත කර ගනී.
සත්ව පාලනය ඇරඹීමට පූර්වයේ සමාජය
ලැස්කෝ ඇල්ටමීරා කෝගූල් වැනි ගුහාවන්හි හමුවන හස්ථි (මැමත්) රූප, අශ්ව රූප, ගව රූප, මුව රූප ප්‍රාග් ‍ඓතිහාසික සමයට අයත් වන නමුත් ඉන් ගෘහාශ්‍රිතකරණය කළ බවට සාධක හමු නොවේ. නමුත් මෙහිදි අවධානය යොමු කළ යුතු වැදගත්ම සාධක කිහිපයක් වේ.
උක්ත සමාජයේ පිරිස් සිය ආහාර අවශ්‍යතා සඳහා සමූහ වශයෙන් එක්වී දඩයමේ ගිය බවට සිතුවම් තුළින් ලැබෙන සාධක
  • ·       දෛනික සංචාරක දිවියේ අවස්ථා
  • ·       යැපුම් අර්ථක්‍රමය කෙරෙහි බලපෑ අභිචාර හා විශ්වාස
  • ·       දඩයම් තාක්ෂණය පිළිබඳ ලැබෙන සාධක
ඒ අනුව වනගත සතුන්ගෙන් ලබාගත් මාංශමය ආහාර වෙනුවට සිය අහාර පරිභෝජන රටාවේ සීමා ඉක්මවා යමින් කිරි, බිත්තර ආදිය පහසුවෙන් ලබා ගැනිමටත් නවශිලා විප්ලවයෙන් පසු ඇරඹි කෘෂිකාර්මික දිවියේ තාක්ෂණික අංශය වඩා වර්ධනය කරගනිමින් වගාව සඳහා සතුන් උපයෝගී කර ගැනිමටත්, අර්ධ සංචාරක දිවියේ පරිවහන අවශ්‍යතා උදෙසා සතුන් දායක කර ගැනිමටත් මිනිසාට හැකි විය. Read the rest of this entry »
Advertisements
 

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02

02. බෞද්ධ දේශපාලන සංස්ධාව ලද බ්‍රාහ්මණික බලපෑම.

 (පූර්ව ලිපිය මෙතැනින්)

සිදුහත් කුමරා ජන්ම ලාභය ලැබූයේ ක්ෂත්‍රිය කුලයේයි. තවද තත්කාලින සමාජ සම්ප්‍රදායට අනුව ඔහු ලද අධ්‍යාපනයේ පදනම දැමුණේ මතු රාජ්‍යත්වය අපේක්ෂිත රජ කුමරෙකුට උචිත අයුරින් බව පශ්චාත්කාලින සාහිත්‍ය විමර්ශනයෙන් උපකල්පනය කළ හැකිය. තවද එම ක්‍රි. පු. හය වන සියවස යනු බ්‍රාහ්මණික බල වර්ධනයේ උච්චතම අවස්ථාවක් බව පිළිගැනෙන සාධකයකි. බුද්ධත්වය හෝ බුද්ධ භාෂිතය පිළිබඳ ප්‍රචලිතතාවක් නොතිබුණු උක්ත යුගයේ,

  • රාජ්‍ය අනුශාසක ධූරය

  • අධ්‍යාපනික කාර්යය භාරය

  • ආගමික අංශය

ආදී වූ කාර්යයාංශ රැසක්ම පැවතුණේ බ්‍රාහ්මණයන් යටතේ බන පෙනි යයි. එසේ හෙයින් සිදුහත් කුමරු ලද මුලික අධ්‍යාපනය සැලකූ කල්හි එය තත්කාලිනව පැවති සාම්ප්‍රදායික රටාවට අනුකූල වන්නට ඇති බව සිතිය හැකිය. බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය. ශ්‍රාස්ත්‍ර මෙන්ම, ශිල්ප යටතේ හැඩගැසුන එකී අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රාවබෝධයෙන් පුළුල් වූද ධනු ශිල්පය, දුණු ශිල්පය ආදී කාය ශක්තිය පිළිබිඹු කරන අධ්‍යාපන ක්‍රමයක පුර්ණ අවබෝධයකින් යුක්ත වූද අධ්‍යාපනයකින් ක්ෂත්‍රියයන් සුසංයුක්ත කිරිම අනිවාර්ය අංගයක් වු බව පෙනේ. සිදුහත් කුමරා පැවිදි පදවියට ඇතුළත්විම වලක්වනු වස් ක්ෂත්‍රිය කුමරෙකුට ඖචිත්‍ය වූ අධ්‍යාපනයක් ඔහුට ලබා දිමට සුද්දෝධන රජු අනුගමනය කළ ක්‍රියා කලාපය පිළිබඳ බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍රයන්හි සාධක පරිශීලනයේදී කුමරු ලද අධ්‍යාපනය මුළුමනින්ම රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබඳ වූවක් බව උපකල්පනය කළ හැකිය. ඒ අනුව සිදුහත් කුමරු තත්කාලීනව පැවති බ්‍රාහ්මණික දේශපාලන සංකල්පය පිළිබ පූර්ණ අවබෝධයකින් යුක්ත වන්නට ඇති අතර ඒ කෙරෙහි වූ මනා පරිකල්පනයකින්ද සමන්විත වන්නට ඇත. මෙකී සාධක පදනම් කර ගනිමින් උක්ත බ්‍රාහ්මණික දේශපාලන සංකල්ප,

  • බුද්ධත්වයෙන් පසු තම භාශිතයන් තුළට අන්තර්ගත කළේද?

  • එය පුර්ණ වශයෙන් එතුමන් තම දේශනාවන්ට ඇතුළත් කරන ලද්දේද?

  • නැතිනම් ඒ කවර ප්‍රමාණයකින්ද?

  • එසේත් නොමැතිනම් කිසිදු ලෙසකින් බ්‍රාහ්මණික ඉගැන්වීම් තම දර්ශනය උදෙසා පාදක කොට නොගත්තේද?

යන්න මෙහිදී අධ්‍යයනය කළ යුතුය.

 

බී. ආර්. අම්බෙඩ්කාර් සිය ‘පැරණි ඉන්දියාවේ විප්ලවය සහ ප්‍රති විප්ලවය‘ නම් කාතියෙන් විවරණය කරනුයේ ඉන්දියාවේ ඉතිහාසය යනු බුදුදහම සහ බමුණු දහම අතර පැවතියා වූ බලවත් විසංවාදයක් බවයි. (www.lakehouse.lk/budusarana/2008/12/12 ). බ්‍රාහ්මණික සාහිත්‍යෙය් සැම අවස්ථාවකම පාහේ සඳහන් වන්නේ පරමෝදාර රාජ්‍ය පාලකයෙකුගේ භූමිකාව වර්ණාශ්‍රම ධර්ම ආරක්ෂා කිරිම වන බවයි. නමුත් වර්ණාශ්‍රම ධර්ම මත පිහිටා කටයුතු නොකරන බෞද්ධ සම්ප්‍රදාය මෙහිදී විවරණය කිරිම වැදගත් වේ. බ්‍රාහ්මණ දේශපාලන චින්තනයට අනුව රාජ්‍ය පාලනයේ උපයුක්ත වූ ‘දණ්ඩ‘ සංකල්පය වෙනුවට බෞද්ධ ච්න්තනයේ ‘ධම්ම‘ සංකල්පයට ප්‍රමුඛස්ථානයක් හිමි විය (ධම්මතිලක 2003; 61). එමගින් ගම්‍ය වන්නේ බෞද්ධ චින්තනයට අනුව රටවැසියා රජුට අවනත වුයේ දණ්ඩනයට බියෙන් නොව සාධාරණත්වය, යුක්තිය, සාමය අපේක්ෂාවෙන් වන බවයි. බුදු දහමට අනුව ‘රජ‘ යනු චක්‍රවර්ති පාලකයෙකි. බෞද්ධ සංකල්පයට අනුවරජ තෙමේ තමා සදාචාරසම්පන්න විය යුතු වූ අතර එය චක්කවත්ති සිහනාද සූත්‍රයේ මැනවින් විස්තර කර දක්වයි. තවද දත්ෂිණ ඉන්දිය ද්‍රවිඩ සාහිත්‍යෙය් එන සිලප්පදිකාරම් මහා කාව්‍ය ලියා ඇත්තේ බෞද්ධ සහ ජෛන බලපැම යටතේ වන අතර එහිදී මධුරාපුරය ගින්නෙන් විනාශ විමටත්, රජු සිය පණ හානි කර ගැනිමටත් හේතුව රජුගේ අධාර්මිශ්ටත්වය බව අවධාරණය කර ඇත. රාජ්‍යය සදාචාර සම්පන්න පාලනයෙන් මිදිමේ ප්‍රතිඵලය මත හය අස්ථාවර ත්තවයකට නැඹුරු විමේ සම්භාවිතාව වැඩි බව බුද්ධ දේශනාවේ දැක්වේ. ඒ අනුව ගම්‍ය වන්නේ බ්‍රාහ්මණික වර්ණාශ්‍රම ධර්ම අභිබවා ගිය ගැඹුරු දර්ශනයක් මත පදනම්ව බෞද්ධ දේශපාලන න්‍යාය සකස් වූ බවයි.

 

තවද බෞද්ධ දේශපාලන න්‍යායේදී මුලික වැදගත්කමක් දක්වන ධම්ම සංකල්පය අර්ථ දැක්විමේදී එය ආගමික චාරිත්‍ර වාරිත්‍ර, ධර්මිෂ්ඨ බව, යුක්තිය, නිතියට අනුගත වීම, සමාජ නියාමයන්ට කිකරු විම ආදිය එයට අන්තර්ගත වන බව පැවසිය හැකිය. ඍග් වේදයේ සඳහන් ‘ඍත‘ සංකල්පයේ පශ්චාත්කාලීන වෙනස් විමක් ලෙස බෞද්ධ දර්ෂනය තුළ ”ධම්ම” සංකල්පය හඳුනා ගත හැකි බව මතයකි (එම, 02). එමතුද නොව, මෙකි ධම්ම සංකල්පය සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික යනාදී චතුර්විධ ආයතනයන් උදෙසාම පොදු වු සාධකයක් බව වැඩිදුරටත් සදහන් කිරීමේ හැකියාව ලැබේ.

 

කෙසේ වෙතත් බුදුරදුන්ගේ ඉගැන්විම් පශ්චාත්කාලීන වන විට සමාජයට අචිත පරිදි, සමාජඅවශ්‍යතාවයන්ට සුදුසු පරිදි හැඩගැන්වුණු බව සඳහන් කළ හැකි අතර එකී සාධකය ගම්‍ය වන නිදර්ශනයක් වන්නේ බෞද්ධ අධ්‍යාපන ආයතනයන්හි වර්ධනයට සමගාමිව අධ්‍යාපනික ක්ෂේත්‍ර තුළ ‘ව්‍යවහාර’ එනම්, නිතිය විෂයක් ලෙස හැදෑරීමේ අවකාශය ලැබුණු සාධක ලැබිමයි. හුදෙක් මෙය නාලන්දාවේ ‘ලෞකික විෂය අධ්‍යයන විෂය ධාරාව’ යටතේ හදාරනු ලැබු බව දැක්වේ (www.dahamsayura.org). නමුත් මෙහිදී අවධානය යොමු කළ යුත්තේ එකී විෂය අධ්‍යයනය විවෘත වූයේ ගිහි හෝ පැවිදි ශිෂ්‍ය පිරිස් දෙකොට්ඨාසයටමද එසේ නොමැති නම් ගිහි ශිෂ්‍යයන් හට පමණක්ද යන්න පිළිබදවයි.

 

මේ පිළිබඳව තව දුරටත් විග්‍රහ කරන්නේ නම්, බෞද්ධ විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබූ පසු කාලීන යුගය වන විට දේශපාලන ක්ෂේත්‍රය උදෙසා බෞද්ධ භික්ෂූ මැදිහත්වීම පැහැදිලිව දක්නට ලැබෙන හෙයින් උක්ත විෂය, විශ්වවිද්‍යාලයීය සිසුන් පොදුවේ හදාරන්නට ඇති බවද උපකල්පනය කළ හැකිය. එමතුද නොව, එකම භූගෝලිය ප්‍රදේශයක සමකාලිනව පැවති විශම සංස්කෘතීන් අතර ස්වභාවිකව සිදුවන සංස්කෘතික විසරණ ක්‍රියාවලිය (කරුණාරත්න, ACL 303; 2010) හේතුවෙන් බ්‍රාහ්මණ පුජකයින් සේම බෞද්ධ භික්ෂූන්ද රාජ්‍ය පාලන තන්ත්‍රෙය්දී අනුශාසකත්වය මගින් පරිපාලන අංශයට යම් ආකාරයක දායකත්වයක් දැක්වු බවට සාධක ලැබෙන හෙයින් ව්‍යවහාර විද්‍යාව පිළිබඳව ඔවුන්ද යම් පරිචයක් ලද යුතු වු බව පෙනි යයි. මෙම උපකල්පිත ධාරිතාව පදනම් කර ගනිමින් උක්ත විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ භික්ෂූන්ද නිතිය හදාරන්නට ඇතැයි කිව හැකි වුවද, මෙය නිවැරදි යැයි නිත්‍ය ලෙසම දැක්විය නොහැක. මන්ද යත් ඒ පිළිබඳ මුලාශ්‍රගත සාධක නොලැබෙන හෙයිනි.

 

එසේම ලංකාව උදාහරණයට ගැනීමේදී අද දක්වාත් පාලකයා ඇතැම් අවස්ථාවන්හිදී සංඝයා වහන්සේ හමුවී රාජ්‍ය කටයුත් පිළිබඳව සාකච්ඡා කරනු දක්නට ලැබේ. මෙකි වාතාවරණය අධ්‍යතන සමාජයට වඩා ප්‍රබලව අතිතයේදී පැවති බව වංශකථා සාධක පදනම් කරගනිමින් පැවසිමේ හැකියාව ඇත. ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ මුල්ම විකාශන අවස්ථාව දෙස අවධානය යොමු කිරිමේදී දේවානම්පියතිස්ස රජුගේ දෙවන අභිශේකයේදිත්, පසුව සිදුවු රාජ්‍ය පාලන කටයුතු වලදිත් මූලිකත්වය ගනු ලැබුයේ මිහිදු මහ රහතන් වහන්සේ විසින් වන බවට සාධක ලැබේ. බ්‍රාහ්මණ ධර්මයන් අනුව රාජ්‍ය පාලනයේදී අර්ධයෙන් ධර්මයෙන් රජුට උපදෙස් දෙමින් බ්‍රාහ්මණික පුජකයන්ගෙන් වූ මෙහෙය බෞද්ධ පසුබිම තුළ ඉටු කෙරුණේ බෞද්ධ භික්ෂුවගේ මැදිහත්විමෙන් වන බවට මේ අනුව විද්‍යමාන වේ.  භික්ෂුව, රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානය වෙත මෙසේ සමිපස්ථ වුයේ මන්ද යන කරුණ අධ්‍යයනයේදී එළඹිය හැකි නිගමනය වන්නේ සමාජ පාලනයේ ප්‍රධාන කේන්ද්‍රය වන්නේ රජු වීමත්, පාලකයාගේ දැහැමි බව තුළින් සමාජයේ ධාර්මිකත්වය ආරක්ෂා කිරීම මෙහිදී මුඛ්‍ය පරමාර්ථය වන්නට ඇති බවත්ය.

 

(ඉදිරි ලිපියෙන්, රාජ්‍ය පාලනය උදෙසා රජවරු ලද බෞද්ධාගමික බලපෑම බලාපොරොත්තු වන්න)

 

පූර්ව බ්‍රාහ්මි ලේඛන කියවමු…

මෑතකාලීනව නිධන් සෑරීම යනු විනෝදාංශයක් මෙන් මහා පරිමාණව සිදුකරගෙන යන්නකි. මේ සදහා බොහෝ විට පැරණි ශිලා ලිපි සහිත ස්ථාන අවධානයව ලක්වේ.

**************************************************************************
මේ ඇරයුම,
නිධන් ඇති තැන් සොයා යාම උදෙසා පූර්විකාවක් වශයෙන් නොව,
තතු මනාව වටහා ගැන්මට
සහ
ඉතිහාසය ප්‍රායෝගිකව කියැවීමට හුරු විම පිණිස
එක් වන මෙන් සිදු කරන්නකි
***************************************************************************

අභිලේඛන යනු යම් මතුපිටක් මත සටහන් වූ දෑය. මෙකී සටහන්හි ඉතිහාසය සොයා යාමේදී ලොව ප්‍රථම නගරායනය හදුනා ගන්නට ලැබෙන ශිෂ්ටාචාර අවධීන්හිදී ලේණකගත සාධක රැසක් දක්නට ලැබේ. මෙසපොතේමියානු, චීන, ඊජිප්තු, ඉන්දුනිම්න ආදී ලෙස ගත් කල්හි මෙකී ශිෂ්ටාචාරයන්හි ප්‍රමුඛ වශයෙන් අක්ෂර හදුනාගත හැකිය.

අක්ෂර යනු සන්නිවේදන මාධ්‍යයකි. සංකේතානුසාරයෙන් දැක්වෙන මේවා ශබ්ද පදනම් කරගෙන හෝ වස්තූන්, සන්සිද්ධි ආදිය පදනම් කරගෙන රූපණය වී තිබේ. අප මෙහිදි අධ්‍යයනය කරනු ලබන්නා වූ ලංකාවේ නූතන අක්ෂර බිහි වීමේ පදනම සැකසූ බ්‍රාහ්මි අක්ෂර, ශබ්ද පදනම් කරගෙන පිහි වු අක්ෂර ක්‍රමයකි. නමුත් චීන අක්ෂර වෙත අවධානය යොමු තළහොත් ඒවා චින් සපුරා වෙනස් මගක් ගන්නා බව පෙනි යයි.

අක්ෂර වල අවැසිතාවය ලොව හමුවේ පැනනගිනුයේ සමාජ පරිණාමයත් සමගිනි. මිනිසා ක්‍රම ක්‍රමයෙන් තම දැණුම අනුසාරයෙන් අත්කරගත් පරිකල්පනයේ ක්‍රමික දියුණුවත් සමග, භාෂා ව්‍යවහාරයෙන් පරිබාහිර වූ සංකේතානුසාරයෙන් සිදුකළ අදහස් ප්‍රකාශනයේ කලාවක් ලෙස අක්ෂර හදුනාගත හැකිය. දැනට හමුවන පැරණිතම සාධක මේ දක්වාත් ආරක්ෂා වි ඇත්තේ ඒවා සටහන් වු භෞතික තලයන්හි තිබු කල් පැවැත්මේ ගුණාංග හේතුවෙනි.

උදාහරණ ලෙස ලංකාව ගත් කල්හි පැරණිතම සංකේත සාධක හමුවන්නේ ප්‍රොටෝ ඓතිහාසික යුගයෙහි ලා ගැනෙන සුසාන පියන්ගල් මතයි. අක්ෂර සහ සංකේත වූ කල්හි යම් අදහස් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ඉහතදිද සදහන් කළෙමි. මෙකී පියන්ගල් සංකේත සලකා බැලු කල්හි මේවායේ ඇති සටහන් බොහොමයක් පශ්චාත් කාලින පූර්ව ශිලා ලිපි අතර පරුමක වරු පිළිබද දැක්වෙන ලිපි සමග හමු වන බැවින් පූර්ව බ්‍රාහ්මි ලිපි සදහා, ඒවා ශිලා මත ලියැවුණු යුගයට පූර්වයේ සමාජ තත්වයන්ද ආදේශ වී ඇති බව විද්වතුන්ගේ පිළිගැනිමයි.

කෙසේ වෙතත් පූර්ව බ්‍රාහ්මි ලිපි පිළිබද අවධානය යොමු කිරීමේදී, වංශකථා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍රයන් පිළිබදව පශ්චාත්කාලිනව හෙළි කරන සමාජ ව්‍යූහයක දළ සැකැස්ම මෙකී ලේඛන අනුසාරයෙන් ගොඩනගා ගත හැකි බව කිව හැකිය. මෙහිදි අවධාරණය කළ යුත්තේ වංශකථා ලියැවෙන්නේ අදාල සිදුවිම් සිදුවි වසර සිය ගණනක් ගිය කල්හි වන අතර, ඒ තාක් කටවහරේ පැවත ආ ඉතිහාසයට එම සංක්‍රමණ අවධියේදී නොයෙක් නොයෙක් සමාජ අන්වර්තයන් එක්වි තිබෙන්නට බෙහෙවින් ඉඩ ඇති හෙයිනි. තවද, නිදර්ශනයක් ලෙස නූතන ඉතිහාසය හෝ දේශපාලන පසුබිම ගනිමු. දේශපාලන මැදිහත්විම් යටතේ ඇත්ත ඇතිසැටියෙන් ඉදිරියට පවත්වාගෙන යාම ඉතා අසීරු බව ප්‍රායෝගික දැනුමෙන් ඔබට වැටහි යනු ඇත. එසේ නම් විවිධ කාල පරාසයන්හි ශාසන සහ දේශපාලන ඉතිහාසය සටහන් තැබිමේදී මේ සදහා නොයෙකුත් බාහිර බලපෑම් එල්ල වන්නට ඇත. (රජුට විරුද්ධව යමින් නියම ඉතිහාසය එනම්, ඇත්ත ඇතිසැටියෙන් දැක්වු චීන ඉතිහාසාඥයාට තම අංග අහිමිවුවාක් වැනි දෙයක් ලංකාවේ සිදුවූයේ නැත.) මහාවංශය පරිශීලනයේදී වුවද බොහෝ විට පරස්පරතා හමු වන ආකාරය දක්නට ලැබේ. එහෙයින්, තත්කාලින සිදුවිම් වඩා මැනවින් අධ්‍යයනයට පාදක කරගත හැකි අගනා මූලාශ්‍ර ලෙස ශිලා ලිපි අත්කරගනුයේ අද්විතීය ස්ථානයකි.

නමුත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි පරිහරණයේදි සහ ඒවා අර්ථ ගැන්වීමේදී අප බෙහෙවින් සුපරික්ෂාකාරි විය යුතුය. මන්ද අප අර්ථ සපයන්නේ අප ගතකරන සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික වටපිටාවකට හැමඅතින්ම විෂම වූ අප නොදන්නා, නොහදුනන, ආයතනික පසුබිමක් තිබූ, අදින් වසර දහස් ගණනක එපිට ඇති ඉතිහාසයක් කෙරෙහි විම හේතුවෙනි. මෙකි සමාජයේ තතු නියමාකාරයෙන් සාහිත්‍ය මූලාශ්‍රයන් තුළින් ගෙන එන්නේද නැත. මන්ද සමාජයක පැවැත්මේදි එහි වර්ධනය සහ විකසනය නිරායාසයෙන් සිදු වන්නක් වන අතර පවත්තා සමාජ තත්වයේ සිට අතීතය ඒ ආකාරමයැයි සිතා සාපේක්ෂ වශයෙන් මෙන්ම තත්වාකාරයෙන් බැලිය නොහැකි බැවිණි.

සාහිත්‍යකරණයේදී හුදෙක් අලංකාරෝක්ති භාවිතය නිරායාසයෙන් සිදු වන්නකි. තවද යමෙක්, යමක් කෙරෙහි දක්වන ගෞරවනිය ආකල්පය සහ යමෙක්, යමක් කෙහෙරි පවතින අප්‍රසන්නතාවය මෙන්ම ගැරහිමද ලේඛනයේදී විවිධාකාරයෙන් හදුනාගත හැක්කේ භාෂා විලාසය හසුරුවා ඇති ආකාරයෙන් හා අදහස් ප්‍රකාශනයන් අනුවය. ලාංකේය සාහිත්‍ය මූලාශ්‍ර අධ්‍යයනයේදී මෙකි සාධක මැනවින් විද්‍යමාන වේ.

මෙම ‍ලිපියෙහි මෙකි තොරතුරු අන්තර්ගත කිරිමට ප්‍රධානතම සාධකය වූයේ, අභිලේඛන යනු කවරක්දැයි දළ වශයෙන් හෝ වටහා ගැනිමට සැලැස්විමයි. උක්ත සාධක අනුව, යම් සිද්ධියක් සිදුවූ කාලයටම අයත් වන අභිලේඛන ගනයෙහි ලා ගැනෙන, නිවැරදි තොරතුරු යම් තාක් දුරට විස්තර සහිතව ඉදිරිපත් කරන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපි පිළිබද දළ ආකල්පයක් ලබා ගත හැකි වන්නට ඇතැයි සිතමි. දෙවනුව පුර්ව බ්‍රාහ්මී යනු කවරක්දැයි විමසා බලමු.

මෙය භාෂාවක් නොව අක්ෂර මාලාවක් පමණි. පෙර කී ලෙස, ශබ්ද මුලික කොට බිහිවූ මුල්කාලීනව හදුනා ගන්නට ලැබෙන, ශිෂ්ටාචාරගත සංනිවේදන ක්‍රමයක් වන්නේ මෙයයි. මෙකී අක්ෂර සැලකු කල්හි උත්තර සහ දක්ෂින ඉන්දීයාව තුළ මෙන්ම ලංකාවේද දක්නට ලැබෙන සමානතා බෙහෙවින් පවතී. අසමාන වන්නේ අක්ෂර එකක් දෙකක් පමණි. මෙකී තත්වය මත තත්කාලීන සමාජ ව්‍යූහය තුළ පැවති සංදතා පැහැදිලිව හදුනාගැනීමේ හැකියාව ලැබේ. ආරම්භය පැහැදිලිව කිව නොහැකි වුවත්, ක්‍රි.පූ. පළමු සියවස දක්වා පූර්ව බ්‍රාහ්මී අක්ෂර භාවිත විණි. ආරම්භය තිර ලෙසම කිව නොහැකි වන්නේ ලේඛන සටහන් වූ මාධ්‍ය අතුරින් අද වන විට ශේෂ වි පවතින්නේ මැටි බදුන්, ශිලා පෘශ්ට ආදී ජීර්ණය අවම සීඝ්‍රතාවක පවතින මාධ්‍ය පමණක් වන බැවිනි. තවද සැම දෙයකම පාහේ මෙන්ම අක්ෂරද ක්‍රි.පූ. තුන් වන සියවසේ හිටි අවියේ පහළ වූයේ යැයි කිසි විටෙකත් නිගමනය කළ නොහැක. ඒවාටද ප්‍රාථමික මට්ටමේ ආරම්භයක් වර්ළධනයක් විකසනයක් පැවතීම ස්වභාවික සංසිද්ධියකි. සමාජයේ සිදුවන ඔනෑම වර්ධනීය තත්වයක් සේම, අක්ෂරවල උපයුක්තතාවයත් සමග අක්ෂර කලාවද වරධනය වු ආකාරය මෙකී ශිලා ලිපි කාලයත් සමග දක්වන අනුවර්තන ඇසුරෙන් විද්‍යමාන වේ. පූර්ව බ්‍රාහ්මී, අපර බ්‍රාහ්මී ආදී ලෙස බ්‍රාහ්මී අක්ෂර මාලාව තුළ යුගකරණයක් හදුනා ගන්නේ එහෙයිනි.

ලේඛනගත වන මාධ්‍යයේ පෘශ්ටීය ස්වභාවය අනුව, ඒ ඒ අක්ෂර සටහන් කළ ශිල්පියාගේ පැවති සාක්ෂරතාව මත, ප්‍රදේශානුබද්ධව දක්වන සුවිශේෂීතා මත සහ ශිල්පීය දක්ෂතාවය මත මෙකී අක්ෂර සටහන් යම් යම් ආකාරයේ විෂමතා විවිධතා දක්වයි. නූතන සමාජයට කිසිසේත් සම කළ නොහැකි වූ, නූතනයේ මෙන් ක්ෂණික මානව සම්බන්ධතා ඇති කර ගැනීමට අපහසු වූ සාකච්ඡාවට ලක් වන අවධියේ සමාජ ව්‍යූහයට හැකිතාක් හෝ සමවැදී මෙකී කරුණු විමසා බලන්නේනම්, හම වකවානුවේ සෑම පුද්ගලයාම සාක්ෂරතාව සහිත වූයේදැයි සිතා බැලිය හැකිය. මේ බව විමසීමට සාධක වන්නේ මෙම පූර්ව බ්‍රාහ්මී ලිපි අතර උඩ යට මෙන්ම වම දකුණද මාරු වූ අක්ෂර සටහන් ඇතැම් අවස්ථාවන්හි දක්නට ලැබීමයි.
අප දැන් පුර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාවේ දළ සැකැස්මත් විමසා බලමු. මෙහි පහත දැක්වෙන්නේ එකී අක්ෂරයන්හි මූලික හැඩ කිහිපයක් පමණි.

(ඡායා රූ හොදින් නැරඹීමට, අදාල ඡායාරුව මත ක්ලික් කරන්න)

උක්ත නිදර්ශන තුළින් යම් තාක් දුරට පූර්ව බ්‍රාහ්මී අක්ෂර කවරාකාරද යන්න පෙනී යන්නට ඇතැයි සිතමි. තෙවනුව ලංකාවේ හමුවන පුර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සහ ඒවායෙහි අන්තර්ගතයන් විමසා බලමු.

මේවායෙහි බොහෝ විට සදහන් වන්නේ ලෙන් පුජා, වැව් පූජා ආදිය පිළිබදවයි. එසේම බොහෝ විට අයිතිය හගවන ප්‍රකාශයන්ද හමුවේ. මෙකී ලිපි තුළින් හෙළිවන සමාජ ව්‍යූහය ඉතා ආකර්ශනීය වූවකි. බොහොමයක් නාම විශේෂණයන් තුළින් හැගවෙන නියම අර්ථය විවාදිත මට්ටමේ පැවතුණද, ලංකාවේ පැවති සංවිිත මට්මමේ සමාජ ව්‍යූහයක් පිළීබදව සාධක මෙම ලිපි තුළින් අනාවරණය කරයි. මෙහිදී මා එය විග්‍රහ කරනුයේ දළ වශයෙනි. මන්ද ශිලා ලිපි යනු ඉතා පුළුල් ක්ෂේත්‍රයක විහිදී යන සංකීර්ණ මාතෘකාවක් වන බැවිනි. එය ‍උඩින් පල්ලෙන් අතගෑ නොහැකි ක්ෂේත්‍රයක් වනවා මෙන්ම වගකිවයුතු මට්ටමෙන් අර්ථ සැපයිය යුත්තකි. නමුත් අවාසනාවට කරුණ වන්නේ නුතනයේ පදනම් විරහිත ප්‍රකාශයන් ගෙනයන ඇත්තන් තම වාසිය තකා ශිලා ලේඛන දඩමීමා කරගෙන තිබීමයි. මෙහිදී ලිපි තුළින් හෙළි වන අර්ථ විකෘති කරමින් විවිධාකාරයේ මන:කල්පිත අදහස් ගෙනහැරපෑමේ ව්‍යාපාර අද වන විට ව්‍යාප්ත වි පවතී. නමුත් මොවුනට වැරදී ඇති තැන් බොහෝය. මා මේ ලිපියේ මුලින් සදහන් කළ පරිදිත්, මෙම අඩවිය සදහා පෙර දිනෙක පලකළ ලිපියක අන්තර්ගතයේ පරිදිත් මූලාශ්‍ර එකක් මත පිහිටා එයම විනිශ්චය වශයෙන් ගෙන අර්ථ ස්ථිර කළ නොහැක. ඉතිහාසය එදත් අදත් හෙටත් පවතින්නේ නිරීක්ෂණ සහ උපකල්පන මත පමණි. එකී සාධක ස්ථිර කළ නොහැක්කේ දිනෙන් දින දියුණු වන නව තාක්ෂණය හම්වේ, පෙර නොදත් කරුණු නිතර අළුත් වෙමින් පවතින බැවිනි. ඉතිහාසයේ නොවෙනස්වන ස්වභාවය මෙම වෙනස් වීමයි.

පෙර සාකච්ඡා කළ සමාජ ක්‍රමය පිළිබද උදාහරණ ලෙස ලක්දිව හමුවන පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සැලකු කල්හි වැව් හිමියන්, දේපල හිමි භික්ෂූන්, විවිධ කර්මාන්තයන්හි නියුතු වූවන්, රජවරුන්ගේ සිට විවිධ දේශපාලනික සහ සමාජයීය මට්ටම් හෙබවූවන් පිළිබද සාධක මෙම ලිපි ඇසුරෙන් අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව ශිලා ලිපි කියැවිමේදී මෙකී පුද්ගල පිරිස් මෙම ලිපි හරහා සමාජ සංසිද්ධීන් කෙරෙහි බද්ධ වූ ආකාරය විමර්ශනය කළ හැකිය.

මෙම ලිපිය ලිවිමේ තවත් එක් පරමාර්ථයක් වූයේ, අධ්‍යතනයේ මෙම ලිපි සහිත ස්ථාන නිධන් හෑරීමේ අසහනයෙන් පෙළෙන්නන්ගේ නිරීක්ෂණයට සහ අවධානයට ලක්වී තිබිමත්, ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු මෙකී ලිපි සහිත ස්ථානයන්ගෙන් නොලැබෙන බව ප්‍රකාශ කිරීමත්ය. මන්ද මේවායෙහි බොහෝ දුරට ඇත්තේ භික්ෂූන් උදෙසා මෙම ලෙන් පදනම් කර ගනිමින් ආරාම සාදා දුන් බවයි. එසේ නැතහොත් ශිලා මතුපිට සටහන් කෙරුණු ලිපි මගින් කියැවෙනුයේ බොහෝ විට වැවක් වේවා, ආරාමයක් වේවා, කුඹුරක් වේවා මේ ආදී වූ විවිධ පූජාවන් පිළිබදවයි. මෙකී අවබෝධය පාසල් මට්ටමේ සිට සිසුනට ලබා දෙන්නේ නම්, විරත්වය පෙන්විමට හෝ, වස්තුව ලබා ගැනීමට හෝ, කුතුහලය සංසිදවා ගැනිමට හෝ වේවා ඓතිහාසික වශයෙන් මිල කළ නොහැකි වැදගත්කමක් පවතින ස්ථාන කිසිවකු අතින් විනාශ නොවනු ඇත. නමුත් අභාග්‍ය වන්නේ බලලෝභීත්වය සහ වන්දිබට්ට මානසිකත්වය යටතේ වගකිව යුත්තන් පවා මෙකී අංශ වෙතින් කර හැර සිටිමයි.

ක්ෂේත්‍රයකින් හමුවන එක මැටි පබලුවක පවා ඇති අමිල උරුමය අපි දනිමු. එහෙත් මහා පරිමාණ වශයෙන් අද සිදුවන විනාශයන් තුළින් නැතිවී යන, නැවත කිසිවිටෙක, කිසිලෙසකින් ලබා ගත නොහැකි සම්පත් දෙස බැලූ කල්හි ඇතිවන හිත් පීඩාව වචනයෙන් කියා විස්තර කළ නොහැක. එහෙයින් බ්‍රාහ්මි අක්ෂර යනු කුමක්ද යන්නත්, එතුළින් ගෙන එන්නේ කවරාකාර පනිවිඩයක්ද යන්නත්, මෙම ලිපි තුළ නිධන් පිළිබදව හෝ වෙනයම් වස්තූන් මන්ත්‍ර පිළීබදව හෝ ලංකාවේ විසූ බුදුවරයෙකු සහ බුද්ධකාලීන අනුගාමිකයන් පිළිබදව හෝ සටහන් නොවන බව යම් තරමකින් හෝ අවබෝධ කර ගැනිමට උක්ත විස්තර ප්‍රමාණවත් යැයි සිතමි.

සිවුවනුව මෙකී ශිලා ලේඛන සදහා අර්ථ සපයන ආකාරය කෙටියෙන් විමසා බලමු. මේවායේ භාෂාව නූතන සිංහලයට සපුරා වෙනස්කම් දරයි. එය ඉතා සරල මෙන්ම ඉතාමත්ම කෙටියෙන් අවශ්‍ය පණිවිඩය පමණක් සදහන් කර ලියා දැක්වු ඒවාය. දීර්ඝ විස්තරකථන නොමැති වීමට හේතුව වන්නට ඇත්තේ මෙම ලේඛන බහුලව හමු වන්නේ ශිලා මාධ්‍ය මත වීමත්, එකී මාධ්‍ය පහසුවෙන් හැසිරවීමට ඇති අපහසුතාවයත් විය හැකිය. එහෙයින් ඉතා කෙටි වචන කිහිපයකට මෙම ලිපිවල අර්ථයන් සීමා වී ඇත.

ලිපි තුළ ඇතුළත් වචන කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු. “ශගශ, සගස, ශගස” ලෙස මෙම ලේඛනයන්හි බහුලව හමු වන වචනයක් වේ. ඉන් අදහස් වන්නේ සමූහය නැතිනම් ඝනය යන්නයි. බොහෝ විට මින් බෞද්ධ භික්ෂූන් අදහස් කළා විය හැකිය. මන්ද තත්කාලිනව බෙහෙවින් ලෙන් විහාර පූජා කෙරුණේ බෞද්ධ භික්ෂූන් උදෙසා වීමයි. මිහින්තලේ පුජාකෙරුණු අටසැට ලෙන් අධ්‍යයනයේදීද, සිතුල්පවුව, වෙස්සගිරිය ලෙස වත්මන ව්‍යවහාර කරනා ඉස්සරමණ ලෙන් අධ්‍යයනයෙන්ද, ලංකාව පුරා විසිරි පැතිරී ඇති සෙසු සියලුම ලෙන් ලිපි අතුරින් මෙකි වචනය සහිත ලිපි අධ්‍යයනයෙන්ද මේ පිළිබද වැටහෙනු ඇත. බොහෝ විට මෙම අවස්ථාවන්හි “ශගශ දිනෙ” / “අගත අනගත චතුදිශ ශගශ” / “ශගශ” ආදී වූ ලෙස ආකාර කිහිපයකින් සටහන් වි ඇති ආකාරය දක්නට ලැබේ. මින් අරුත් ගැන්වෙන්නේ සතර දිගින් පැමිණි නොපැමිණි සියලු සංඝයාට මෙම ගෙන් පුජා කළ බවයි. මෙහිදී පෙර අවස්ථාවක දැක්වු පරිදි ඉතා කෙටියෙන් “ශගශ” යන්න පමණක් ඇතැම් තැන්හි දක්වා තීබීමට හේතුව ලෙස පිළිගැනෙන්නේ කළුගල් මාධ්‍ය හැසිරවීමේ අපහසුවත්, මෙම යුගයේ තම අරමුණ පැහැදිලිව ඉතා කෙටියෙන් දැක්වි‍මෙහි ලා තිබු නැඹුරුවත් බව පැවසේ.

මීට අමතරව මෙකී ලිපි ඇසුරෙන් උපශික, පරුමක, අය, අබි, රජ, මහරජ, බත, තෙර, ගමණි, දෙවනපිය, මත, වණිජ…. ආදිවූ නාමයන් රැසක් හදුනාගැනීමට අවස්ථාව ලැබේ. මින් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ පිරිස් මෙන්ම විවිධ නිල නාම, වෙළද ප්‍රවාහයන්, සමාජ සංස්කෘතික මට්ටම්, පරම්පරා නිල නාම, තනතුරු නාම ආදිය අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා සේම, ඒ ඒ පිරිස් සතුව තිබූ දේපල අයිතිය, ප්‍රමුඛ වශයෙන් කාන්තාවන්ට තත්කාලින සමාජය තුළ තිබූ දේපල හිමිකම්, විවිධ පූජා, සමාජ මෙහෙවර ආදිය පිළිබද සංකල්ප ලබා ගැනිමේ හැකියාව පවතී. නමුත් අවධාරණය කළ යුතු වැදගත් කරුණ වන්නේ මෙකි ලිපි උපනිශ්‍රයෙන් අර්ථ සැපයිමේදී වෙනත් මූලාශ්‍රයන්ද අනිවාර්යයෙන් පාදක කොටගත යුතු බවයි. එසේම තත්කාලින සමාජය පිළිබද ගෙනහැර දැක්වෙන වෙනත් මූලාශ්‍රයන්හි සාධක සත්‍යමදැයි දැන ගැනීමට, මෙකී ශිලා ලිපි තුළින් ලැබෙන පන්නරය අති මහත්ය. එම නිසා මෙකි මූලාශ්‍ර සියල්ල එකිනෙක මත පෝෂණය වන ආකාරය මෙහිදි හදුනා ගැනිමට ලැබේ.

මෙම ලිපියේ අරමුණ වූයේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි යනු කවරක්දැයි යම් තරමකින් හෝ සරලව හදුන්වා දීමයි. නමුත් මෙකි ලිපි උපයුක්ත කොටගෙන නිවැරදි අධ්‍යයනයකට යන්නේ නම්, ඒ ඒ ප්‍රදේශ වල පැවති බෙදිම්, පාලන ඒකක, පාලකයන්, සමාජ පිරිස් ආදී වූ සාධක රැසක් අනාවරණය කරගත හැකි අතර අදටත් විවිධ අයුරින් මේ පිළීබද අධ්‍යයන සිදු වෙමින් පවතින බව කිව යුතුය. තවද, නිධන් ඇතැයි සිතා ලිපි හෝ අක්ෂර හෝ සංකේත හෝ සටහන් වි ඇති ස්ථාන කෙරෙහි වැරදි ආකල්පයෙන් බැලීම යම් තරමක් හෝ නවතිනු ඇතැයි මෙමගින් අපේක්ෂා කරමි. තවද, ශිලා ලිපි පාදක කොටගනිමින් අද වන විට අන්තවාදී කල්ලි විසින් ගෙන යනු ලබන අර්ථ හින ප්‍රකාශයන් සහ, පූර්ව බ්‍රාහ්මි ලිපි ඇමට ගෙන මවා පානා ලද ක්‍රි.පූ. හය වන සියවසේ සමාජයක් පිළිබද ආකල්පය ව්‍යාජයක් බවත්, දැනට හදුනාගෙන ඇති මෙකී ලිපි අනිවාර්යයෙන් අයත් වන්නේ ඉන් සියවස් තුනක් හෝ හතරක් මෙපිට ඉතිහාසයට වන බවත් මෙමගින් පැහැදිලි වනු ඇතැයි සිතමි.

මෙහි දැක්වු දළ සටහන් යම් තරමකින් හෝ පාදක කොට ගෙන මෙම මුල් මට්ටමේ පවතින ලිපි යම් තරමක් හෝ කියැවීමට ඔබ උත්සහ දරන්නේ නම්, ඔබටද මෙම මුල් කාලීන ලිපි වල අන්තර්ගතයන් දළ වශයෙන් හෝ වටහා ගැනිම අසීරු නොවෙතැයි සිතමි.

(සැලකිය යුතුයිපෙර සදහන් කළ පරිදිම මාධ්‍ය භාවිතයේදි, ප්‍රදේශ විවිධතා අනුව, සහ ශිල්පියා මත, අක්ෂරවල යම් යම් විශමතා පවතින හෙයින් ඔබේ ඇස මෙකී ලිපි වෙත වඩාත් හොදින් හුරු කිරීමක් කළ යුතුය. ඒ සදහා අවැසි වන්නේ නිදහස් නිරවුල් මනසකින් ලිපි දෙස බලා සිටීමෙන් ප්‍රගුණ කරන ලද ඔබේ ඇසත්, ප්‍රගුණ කරන ලද ඔබේ මනසත්, ප්‍රගුණ කරන ලද ඔබේ දැණුමත්ය..)

 

මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ‍ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)

මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න මාව පොළඹවපු කාරනාව ගැන. ඒ මම මිට කාලෙකට කලින් ලියපු බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයැයි කිම සාවද්‍යයි කියන ලිපිය නිසා. ඒ ලිපියට “මෙතනින්” යන්න. ලියල කාලයක් ගියත් දැන් ඒකට හෝ ගාල කමෙන්ට්ස් එනව මාව විවේචනය කරල. මගේ ජාතකේත් මතක් කරලා. හා කමක් නෑ. දෙවෙනියටත් දෙයක් කියන්න තියනව. කෙනෙක් අදහස් දක්වලා තියනව මම ලියන සිංහල එයාට තේරෙන් නෑලු. සිංහල තියා මම දක්වපු තර්කවත් තේරුම් නොගත්ත එයා මම ඉතිහාසය ගැන මොකුත්ම නෙදන්න මෝඩයෙක් ගානට දාල කතා කරලා. හා කමක් නැ කියමුකො. ඉතිං මේ ලිපිය ලියනව මූලාශ්‍ර පරිහරණය ගැන දන්නෙ නැති අයට දැනුවත් වෙන්නත්, සාමාන්‍යපෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට උදව්වක් විදිහටත්… මේ ලියන භාෂා ශෛලියනම් මට හුරු නෑ, මොකද නිතරම මම ලියන්නෙ විධිමත් භාෂා ශෛලියකින් නිසා. කමක් නෑ.. කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් සරල කරල ලියන්න උත්සහ කරන්නම්.

මොකද්ද අපි මේ ඉතිහාසයේදි පුරාවිද්‍යාවෙදි භාවිත කරන මූලාශ්‍ර කියන වචනෙ තේරුම? ඒ කියන්නෙ අපි යම් කරුණක් විග්‍රහ කරද්දි ඒ කරුණු ගොඩනගන්න උපකාර කරගන්න දත්ත වගටයි අපි මූලාශ්‍ර කියන්නෙ.

සාහිත්‍ය, පුරාවිද්‍යාත්මක කියල මූලාශ්‍ර වර්ග කෙරෙන බව ඔයාල දන්නවනෙ. ඒවත් තවත් උප කොටස් යටතේ වෙන් කෙරෙනවා. සාහිත්‍ය මූලාශ්‍රනම් වංශකථා, සන්නස්, තුඩපත්, සංදේශ, විදේශීය වාර්තා වගේ දේවල් යටතේත්, පුරාවිද්‍යාත්මක මුලාශ්‍රනම් නාණක එනම් කාසි, අභිලේඛන නම් යම් මතුපිටක් මත ලියවුණු ලේඛන, විවිධ නටඹුන්, පොළොවේ වැලලුණු විවිධ පුරා වස්තු සහ ඒ අවට සන්ධර්භය මේකට අයිති වෙනවා.

ඒත් අද කාලෙ ඉතිහාස අධ්‍යයනය ගැන හරි දැණුමක් නැති අය මේ මූලාශ්‍ර එකක් දෙකක් පමණක් භාවිත කරල මහා ලොකු කතන්දර මවාගෙන යනවා. විශ්වවිද්‍යාල මට්ටමට එද්දි මේව නිවැරදිව හසුරුවන්න ඉගෙන ගත්තත් හැමෝම ඉතිහාසය පුරාවිද්‍යාව කරන්නෙතු තැති නිසා, හැමෝටම විශ්වවිද්‍යාල වලට එන්න අවස්ථාවක් නැති නිසාත් නිවැරදිව දැණුම හසුරුවන අය සමාජයේ හරිම අල්පයි. ඒත් සහෝදර සහෝදරියනි ඔයාල උත්සහ කරනවනම්, විමසල බලලා දිවාර බුද්ධියෙන් දැණුම මෙහෙයවලා තීරණ ගන්න, ඒ වගේම එක දේකට පමණක් සීමා නොවී, තමන්ගේ කම විතරක් ඉස්මතු කරගැනිමේ පරම අධිශ්ටානයට පමණක් ගැති නොවී යථාර්ථය අවබෝධකර ගන්න…, අන්න එතකොට ඔබ තුළින් නියම බුද්ධිමතෙක් බිහි වේවි. මේක ඉතිහාසයට විතරක් නෙවෙයි, අනිත් කොයි පාඩමටත් අදාල කාරණයක්. ඇයි අපි අපේ මනස එක දේකට සීමා කරගන්නෙ? ඇයි අපි අපිට ලැබුණු බුද්ධිය මෙහෙයවලා, පටු සිමාවකට කොටු නොවී, අපේම කියල නිදහස් චින්තනයක් ඇතිකර ගන්නෙ නැත්තෙ?

මූලාශ්‍ර පරිහරණයත් එහෙමයි. අපි අපේ අධ්‍යයනයන්ට ගන්න මූලාශ්‍ර සමහර විට ඇත්ත දේම නෙවෙයි කියන්නෙ. සරලම මට්ටමේ උදාහරණයක් ගනිමුකො. නිශ්ශංකමල්ල රජ්ජුරුවො තමන් කරවපු දේවල් කියල යන යන තැන ශිලා ලිපි කෙටෙවුවට, අනිත් මූලාශ්‍රත් එක්ක සංසන්දනයේදි අපිට පැහැදිලි වෙනවා පැරණි ලංකාවෙ රාජ්‍යත්ව සංකල්පයත් එක්ක, විදේශිකයෙකු වුණ ඒ රජුට ගැටෙන්න තිබුණු විප්ලවියත්වය හේතුවෙන් මේ ශිලා ලිපි පිහිටවපු බව.

ලංකාවෙ අක්ෂර ආරම්භය ක්‍රි.පූ. 3වන සියවස කියල සදහන් කරනවා ලෙන් ලිපි හේතුවෙන්. ඒත් අනුරාධපුර ඇතුල්නුවර නවතම සාධක නිසා මේ මතය ආයෙමත් පර්යේෂණ මට්ටමට යොමු වුණා. කොහොම වුණත්, ලිපි ගලේ කෙටුව නිසානෙ අදටත් ආරක්ෂා වෙලා තියෙන්නෙ. ඉතිං ගල් වගේ ස්ථායී මාධ්‍යයක ලිපි සටහන් වෙන්න කලින් ඒ තරම් කල් නොපවතින මාධ්‍යවලත් අක්ෂර සටහන් කරන්න ඇතිනෙ.

ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. අද ගොඩක් අය තරක කරනව රාමායනය, මහාවංශය වගේ පොත් වල තියන කරුණු ගැන. මේව ලියවෙන්නෙ අදාල සිදුවීම් වෙලා අවුරුදු පන්සියයක් දාහක් වගේ විශාල කාලයක් ගෙවුණට පස්සෙ. ඉතිං ඒ අතරතුර කාලයේදි මේ ග්‍රන්ථවල අන්තර්ගත කරුණු කටපාඩමෙන් තමයි ගෙනඑන්නෙ. ඒ කටපාඩමෙන් කියවෙන විට නොයෙක් නොයෙක් නව කාරණා මේවට එකතු වෙන එක සාමාන්‍ය වගේම අනිවාර්ය සිද්ධියක්. අපි බලමු ඇයි ධර්ම සංඝායනාවක් කරන්න ඔන වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස ත්‍රනකට පස්සෙ කියලා… ඒකටත් ගොඩක් දුරට බලපාන්නෙ කලින් කියපු හේතුවමයි. ව්‍යවහාරයේදි යම් යම් නවතාවයන් එකතු වෙනවා. ඉතිහාසයේ වෙලා තියෙන්නෙත් ඒක.

තවත් උදාහරණයක් විදිහට රංචාමඩම කැණීම්වලින් හෙළිවුණා ආසියාවෙ මුලින්ම යකඩ භාවිත කළේ අපේ රටේය කියන උපකල්පනය. නමුත් මේව තහවුරු කරන්න තව පර්යේෂණ කෙරෙනව. සංසන්දනාත්මක අධ්‍යයනයන් සහ විද්‍යාත්මක අධ්‍යයනයන්. එහෙමයි විද්‍යාත්මක විදිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඒත් අද අපේ රටේ හරිම කනගාටුදායක තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. සුළු දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා ඉතිහාසය විකෘති වීමකට ලක්කෙරිගෙන යනවා. උදාහරණයක් තමයි, කිහිපදෙනෙක්ට ලොකු උවමනාවක් තියනව බුදුදහම ඇතිවි පැතිරි වර්ධනය වුනේ ලංකාවේය කියල කියන්න. අනේ ඒත් ඒක ඒ විදිහට නිරපේක්ෂව ඉදිරිපත්කරන්න පුළුවන් සාධක තියාගෙනනම් කමක් නෑ. ඒත් මෙහෙම කියන උදවියගේ හිතේ ඉන්දියාව ගැන පවතින්නෙ කෝපයක්. ඒ වගේම සිංහල බෞද්ධ සංකල්පය ගැනත් හරිම අන්තවාදි හැගීමක් තියෙන්නෙ. මේවට විරුද්ධව කතා කරන්න යද්දි අපිව හංවඩු ගහනව අපිට ජාතකයක් නෑ කියලා. සිංහල කමත් බෞද්ධ කමත් සැලකුවාම මම අපේ සංස්කෘතියෙ දකිය විශේෂම ලක්ෂණයක් වෙන්නේ ආගම් ජාති භේදයකින් තොරව සමානාත්මතාවය දැන්විම. ඒත් බෞද්ධයැයි කියා ගන්නා අන්තවාදී පිරිස් නිසා සමාජය දැන් දූශනය වෙනවා.

දැන් ආයෙමත් මුලාශ්‍ර පරිහරණය මේ කියන සංකල්පයට ආදේශ කරනවනම්, කාලානුරූපව පිළිගත් දිනවකවානු සහිතව ගැටලුවක් නැතිව පිළිගන්න පුළුවන් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි ඇමට අරගෙන ඒවායින් සුරංගනා කථා කීමේ තත්වයක් අද ඇතිවෙලා තියනවා. අක්ෂර වල හැඩය, භාෂා විලාසය අනුව අපිට අක්ෂර කාලනීර්ණය කරන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර වල එන තොරතුරු ශිලා ලිපි වල එන තොරතුරු සමග සංසන්දනාත්මක අධ්‍යයනයකට ලක් කළාම බොහෝ දුරට අපිට නිවැරදිව ඉතිහාසය ගොඩනංවගන්න පුළුවන්. එහෙම නැතිව මහාවංශය විතරක් අධ්‍යයනය කරල නිවැරදි ඉතිහාසයක් ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒක හරියට අන්ධයාට සුදු පාට පෙන්නනව වගේ වැඩක්. අන්තිමේ සිද්ධවෙනව සුදු පාට කොකාට තියන නිසා කොකාගෙ හැඩේට අත හදල අන්ධයාට පෙන්වන්න. ඉතිං අන්ධයා හිතනව සුදු කියන්නෙ අත වගේ කියලා. තනි මුලාශ්‍රයක් භාවිතයෙන් අවුරුදු දහස්ගණනක යටගියාවක් ප්‍රතිනිර්මාණය කරන්න යන එකත් ඒ වගේ අර්ථ හීන ක්‍රියාවක්.

ඉතිහාසයට, උරුමයට ආදරේ කරන ඔයාල වෙනුවෙන් අන්තිමේ එක දෙයක් කියන්නම්. මේ විෂය ගැන බලන්න ඕන තමන් ස්වාධීනව. ඒ කියන්නෙ, ජාතියටත්, ආගමටත්, කුලයටත්, තමන් ඉන්න ප්‍රදේශයටත්, තමන්ගෙ රටටත් ගැති නොවී නිදහස් චින්තනයෙන්. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ නිවැරදි විහිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම මූලාශ්‍ර භාවිතයේදීත් පක්ෂග්‍රාහී නොවී නිවැරදි අධ්‍යයන ක්‍රමවේදයකට යන්න ඕන. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ සමාජයට සත්‍ය දැණුම ප්‍රචාරකයන් විදිහට අපේ කටයුතු කරගෙන යන්න.

(රට ජාතිය ආගම වෙනුවෙන් සත්‍ය වසං කරල තමන්ගේකම විතරක් වපුරන සාවද්‍ය ප්‍රචාර ගෙනියනවයි කියන්නෙ මනුෂ්‍යත්වය කෙළසා දැමීමක්)

 

~~~~ ප්‍රාග් ඉතිහාසය යනු ~~~~

“ශිලා මෙවලම් තාක්ෂණයේ පරිණාමයෙන් යුතු, ලිඛිත ඉතිහාසයක් නොමැති අවධිය ප්‍රාග් ‍ඓතිහාසික අවධිය ලෙස නම් කෙරේ.”
මෙසමයේ මානවයා පිළිබද දත්ත ලබාගත හැකි වන්නේ, දැනට ශේෂ වී ඇති, ඔවුන් භාවිත කළ මෙවලම්, ගුහා බිත්ති මත ඔවුන් ඇදි සිතුවම් පරිශීලනයෙනි. භූ තැටි බෙදිමේදී ඒ ඒ පාරිසරික සාධකවලට උතිත වූ පරිදි ඒ ඒ කලාප වල වෙසෙන ජීවීන් තීරණය වී ඇත. එහිදී පාරිසරික සාධක මත ජීවීන් ඒවාට අනුවර්තනය වී එම සාධකවලට උචිත පරිදි හැඩ ගැසී ඇත. මෙහිදී භූ විද්‍යා කාලනිර්ණය අවධානයට ගත යුතුය.

පරිණාමයේ ආරම්භය, “ප්‍රාග් කේම්බ්‍රීය යුගය” වන අතර අවසානය, “හොලෝසීන යුගය” එනම් මේ පවතින යුගය ලෙස හදුනාගෙන තිබේ. මේ කාල රාමුව තුළ විවිධ අවධි බෙදි තිබේ.
ප්‍රාග් ඉතිහාසයේදී වැදගත් වන්නේ, ප්ලයිටොසින සහ හොලෝසින අතර යුගයයි.

  • ප්ලයිටොසීන – (බටහිර රටවලට සාපේක්ෂව වසර මිලියන 1.8 / ආසියාතික කලාපය වසර මිලියන 2.5)
  • හොලෝසින – (අදින් වසර 10,000 සිට අද දක්වා)

ප්ලයිස්ටොසීන අවධිය වැදගත් වීමට හේතුව වන්නේ, මෙම වකවානුව තුළ මානව පරිණාමයේ සුවිශේෂීතා මත ප්‍රාග් මානවයා සිය අත්දැකිම් තුළින් උපන් පරිචය ඔස්සේ ලබා ගත් විශේෂ ජයග්‍රහණයන්ය. එනම්, මෙසමයේ මානව පරිණාමයේ ආරම්භය සහ ශිලා මෙවලම් පරිණාමයේ ආරම්භය දක්නට ලැ‍බිම අති විශේෂ සංසිද්ධිය වේ.

හොලෝසීන අවධියේ සුවිශේෂීත්වය වන්නේ, වත්මන් මානවයා, එනම්, හෝමෝ සේපියන් මානවයා මේ වන විට පරිණාමය වී තිබිමයි. ඒ අනුව නූතන මානවයාගේ ආරම්භය මෙම අවධියේ සිදු වූ බව පෙන්වා දිය හැකිය.

මානවයාගේ ජිවන රටාව සදහා හේතු වූයේ භූ විද්‍යාත්මක පරිණාමය සහ ජීව විද්‍යාත්මක පරිණාමයේ සංසිද්ධීන් වේ. පරිණාමය සමග මානවයාගේ මොළයේ ක්‍රියාකාරිත්වය තීරණය විය. එසේම ස්වභාවික පරිසරය සමග නිතර ගැටුණු ඔහු සිය නිරික්ෂණ තුළින් යම් යම් අත්දැකීම් සිය ජිවිතයට උකහා ගන්නට ඇත. මානව පරිණාමය සමග තාක්ෂණික පරිණාමය සිදු වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. පරිසරය තුළින් සිය ජිවනෝපාය සපුරාගත් ඔවුන් “නිරික්ෂණය” සිය ජයග්‍රහණයේ ජය සංකේතය කරගෙන තිබුණු බව හැගී යයි. මන්ද වන සතුන් මැද තවත් එක් ජීවියෙක්ම පමණක් වූ ඔහු ජිවත් විමට ගත් උත්සාහයේදී පරිසරයට අනුව අනුවර්තනය වීමක් සිදු වී ඇත. තමා අවට පරිසරයෙන්ම සිය ආහාර, ආරක්ෂාව ආදී වු අවශ්‍යතා සපුරා ගැනීමේදී ඔහුට “නිරික්ෂ්‍ණය” වැදගත් වී ඇත්තේ එදිනෙදා ජීවිතයේ ලද “අත්දැකිම්” තුළින් මෙකී පරිසරයේ ජීවත් වීම උදෙසා අවශ්‍ය පසුබිම සකසාගැනීම පිණිසයි.

අතිත පරිසරය Palio Environment මෙය අධ්‍යයනය කිරිමේදී ඉතා වැදගත් වන විෂය පථයකි. මානව පරිණාමය උදෙසා මෙය ප්‍රබල දායකත්වයක් සපුරා තිබේ. මානවයාගේ පරිණාමීය අවස්ථාවන්හි විවිධ ලක්ෂණ අධ්‍යයනය කළ කල්හි, ඒවා හැඩගැසී තිබුණේ ඔවුන් විසූ පරිසරයට, ඔවුන් ජීවත් වූ ක්‍රමයට ඖචිත්‍ය වූ පරිදි බව නිගමනය කළ හැකිය.

උදාහරණ ලෙස, අධීක ශීතල පරිසරයකට උචිත පරිදි නියන්ඩතාල් මානවයාගේ සමේ රෝම බහුල ලෙස වර්ධනය වි තිබුණු බවට සාධක ලැබේ. ගස් මත ජිවත් වී ක්‍රම ක්‍රමයෙන් පොළව මත ජීවිතයකට සංක්‍රමණය වීමේදී ශේෂ වූ අංගයක් ලෙස මුල්ම මානවයාගේ දෑත් දිගින් වැඩි විම තවත් එක් සාධකයකි. මානව පරිණාමයේදී භෞතික වශයෙන් මානවයාගේ ශරිරයේ දැක්වූ සුවිශේෂිතා සදහා මේ නිදර්ශන දැක්විය හැකි අතර පාරිසරික සාධක සැලකීමේදී මානව‍යාගේ විතැන් වීම් සදහා මුහුදු මට්ටම්හි සිදුවූ ඉහළ පහළ යෑම් උදාහරණයට ගත හැකිය. ‍පුරා පරිසරය අධ්‍යයනයේදී මෙම සාධකය හේතුකොට ගෙන මානවයා නව ප්‍රදේශ කරා සංක්‍රමණය වීම් සිදුවු බව දැනට පිළිගැනෙන ප්‍රබල සාධකයකි. ඒ අනුව පුරා පරිසරය, මානව පරිණාමය කෙරෙහි අති විශේෂ බලපෑමක් ඇති කළ බව දක්නට ලැබේ.

මානවයා භාවිත කළ තාක්ෂණය ඔවුන්ගේ ජිවන රටාව සමග ප්‍රබල ලෙස ආබද්ධ වීය. ඔවුන් සතු වුයේ ශිලා මෙවලම් තාක්ෂණයයි. නමුත් මෙයද මානව පරිණාමයේ එක් සුවිශේෂී සංධිස්ථානයක් පමණි. ඔවුන් මුල් කාලීනව මළ සතුන් බුදින්නන් ලෙස වාසය කරන්නට ඇත. ඒ ශිලා හෝ දැව හෝ වේවා, කවර ආකාර වූ හෝ සරළ තාක්ෂණයක්වත් භාවිතයට නොදන්නා මුල්ම අවධියේදීය. මානවයා ක්‍රමයෙන් තමා පරිසරයෙන් ලද අත්දැකීම් ඉවහල්කොට ගනිමින් තම තාක්ෂණික මෙවලම් අත්හදා බැලිමට හුරු වීමත් සමග පරිණාමීය දියුණුව දැක ගන්නට ලැබේ. මේ අනුව මෙවලම් භාවිතය ඒ ඒ මානව පරිණාමීය අවස්ථා අනුව විකසනයට ලක් වුයේ මානවයාගේ චින්තනයේ සිදුවූ ප්‍රගමනයන් හේතුවෙනි. මෙම සංසිද්ධිය නූතන සමාජයට ආදේශ කරන්නේ නම්, අද පවතින දියුණුව සදහා ඉවහල් වූයේ අතීත මානවයා සිය අත්දැකීම්, පරිකල්පනය සහ දෑත මෙහෙයවා බිහි කළ එම සරළ මට්ටමේ වූ තාක්ෂණයේ මූලික අවස්ථාව බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණකි.

ප්‍රාග් ඉතිහාසය යනු හුදෙකලා වූ විෂයක් නොවේ. මෙය වෙනත් නොයෙකුත් විශයන්ගෙන් ලබා ගන්නා ලද දැණුමෙන් යුක්තව අධ්‍යයනය කළ යුතුය. එසේම විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ නිවැරදි දත්ත වාර්තාකරණයක් මෙහිදී ආවශ්‍යයික වේ. සමස්ථයක් ලෙස ගත් කල්හි පුරාවිද්‍යාව යනු හුදෙකලා වූ විෂයක් නොව සෑම විෂයක් තුළින්ම සුපොෂණය වූ විද්‍යාත්මක විෂයක් බව කිව යුතුය. එහෙයින් ප්‍රාග් ඉතිහාසය හැදෑරිමේදීද මෙය අනෙකුත් විෂය පරාසයන් හා සහසම්බන්ධ වන්නේ සුවිශේෂී ආකාරයෙනි. එසේම ඉතාමත් නිවැරදි දත්ත ලබාගනු වස් විද්‍යාත්මක තාක්ෂණයේ භාවිතය මෙහිදී අතතිශය වැදගත්කමක් දරයි. ප්‍රාග් ඉතිහාසය අධ්‍යයනය වර්ධනය වන්නේද ලොව විද්‍යාත්මක තාක්ෂණයේ දියුණුවත් සමගයි. එසේම මෙයට සාම්ප්‍රදායික දේව නිර්මාණ වාදයෙන් මිදී නව චින්තනයන් සොයා යාමේදී ඇතිවූ ප්‍රවණතාවන්ද අතිශයෙන් ඉවහල් වූ බව කිව යුතුය.

කෙසේ වෙතත් ප්‍රාග් ඉතිහාසය අධ්‍යයනයේදී ඉවහල් වන වෙනත් විෂයන් සදහන් කරන්නේ නම්, භු විද්‍යාව, භූ රූප විද්‍යාව, පාංශු විද්‍යාව, සාගර විද්‍යාව, පොසිල විද්‍යාව, පරාග විද්‍යාව, මානව විද්‍යාව, මානවමිතික විද්‍යාව, මානවවංශ පුරාවිද්‍යාව, අත්හදාබැලිමේ පුරාවිද්‍යාව, සංස්කෘතික මානව විද්‍යාව, දේශගුණ විද්‍යාව, සමාජ විද්‍යාව ආදී වූ අංශ පෙන්වා දිය හැකිය. මෙම විෂයන් යටතේ කියවෙන මූලධර්මයන් ඇසුරෙන් පෘථිවියේ නිර්මාණය, පාරිසරික කලාප, සත්වයාගේ ප්‍රභවය, ප්‍රාග් ඓතිහාසික යුගයේ ස්වභාවය, තත්කාලින පරිසරය, පාරිසරික, දේශගුණික සාධක, ශාකායනය, සත්ව සංතතිය ආදි වූ සාධක රැසක් අධ්‍යයනයේ හැකියාව පවතී. ඒ අනුව ප්‍රාග් ඉතිහාසය හුදෙකලා කොට ගෙන අධ්‍යයනය කළ නොහැකි වූත් සෙසු අනු විෂයන් රැසක් හා ආබද්ධවූත් විෂයක් ලෙස පෙන්වා දිමේ හැකියාව පවතී.

ප්‍රාග් ඉතිහාසය යන වචනයේ ආරම්භය සැලකු කල්හි, මුලින්ම ප්‍රංයේයේ Prehistorighe යන වචනය මේ උදෙසා භාවිත වු බව පැවසේ. මුලින්ම Pre History යන්න ව්‍යවහාරයට එක් කර ඇත්තේ 1851දී Daniel Wilson විසිනි. ප්‍රාග් ඉතිහාසය පිළිබද පර්යේෂණ සදහා මුලික හේතුව වූයේ 1850න් පසු සත්ත්ව විද්‍යාඥයින් සහ මානව විද්‍යාඥයින් විසින් සත්ත්ව පොසිල එකතු කිරිමේ නියැලීමයි. කාල් මාක්ස්, එංගල්ස් ආදිහු සමාජ පරිණාමයක් පිළිබද මත ඉදිරිපත් කිරිමත් මෙසමයේ සිදු වීම හේතුවෙන් දේශපාලනික පෙළඹවීමක්ද මේ සදහා ලැබිණැයි සැලකේ. එමතුද නොව දේව නිර්මාණවාදයෙන් මිදීමත් නව විද්‍යාත්මක සංකල්පයන්ගේ ආගමණයත් මේ සදහා ප්‍රබල දායකත්වයක් සැපයිය.

මානව පරිණාමය සහ ව්‍යාප්තිය සැලකිමේදී මේ සදහා මත දෙකක් ඉදිරිපත් වී ඇත. එනම් මානවයා අප්‍රිකාවෙන් බිහිවී ලෝකයේ අනෙක් ප්‍රදේශ වෙත සංක්‍රමණය වු බව (Single Origin) සහ ලෝකයේ ඒ ඒ ප්‍රදේශවල වෙන වෙනම බිහිවූ බව (Multi Regianal Origin) යි.

පුරාවිද්‍යා කාලරාමුව සැලකිමේදී ප්‍රාග් ඓතිහාසික අවධිය මෙහිදී ‍ප්‍රධාන අවධි තුනකින් යුක්තව හදුනා ගැනේ.

  • පුරාශිලා යුගය Upper Paleolithic – අදින් වසර ලක්ෂ 20 – වසර ලක්ෂ 2 දක්වා
  • මධ්‍යශිලා යුගය Middle Paleolithic – අදින් වසර ලක්ෂ 2 – වසර 40,000 දක්වා
  • නවශිලා යුගය Lower Paleolithic – අදින් වසර 40,000 – වසර 10,000 දක්වා

නමුත් මෙම සාධක ආදේශ කළ හැකි වන්නේ යුරෝපිය කලාප වෙත පමණි. ආසියාතික ප්‍රදේශ තුළ අධ්‍යතනයේ මෙකී කාල පරාසයන් ඉක්මවා යන මානව සාධක ලැබිම මත මෙකී කාලරාමුව ආසියාතික කලාපයට මේ ලෙසම ආදේශ කිරිමේ නොහැකියාව පවතී.

උක්ත සාධක විමර්ශනයේදී ප්‍රාග් ඓතිහාසික අවධිය යනු කුමක්ද යන්න කෙටියෙන් හදුනා ගැනීමේ හැකියාව පවතී. මෙය ක්‍රම ක්‍රමයෙන් ආරම්භක අවස්ථාහේ සිට විස්තරාත්මක ලෙස විග්‍රහ කිරිමට කරම් සාධක අද වන විට හමු වි පවතී. ඒවාට අනුව ඒ ඒ කාල වකවානු තුළ මානවයාගේ පරිණාමයේ හදුනාගත හැකි සුවිශේෂී අවස්ථා, තාක්ෂණික දියුණුව, සමාජ ස්වභාවය, කලාව ආදී වූ නන් විධ අංශයන් අනාවරණය කිරිමේ හැකියාව ලැබේ.

 

Tags: , ,

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යකඩ යුගයේ සුසාන වර්ග.

This slideshow requires JavaScript.

ප්‍රාථමික යකඩ යුගයේ අවධාරණය කළ යුතු සුවිශේෂී කාරණයක් වන්නේ සුසාන වර්ගයන්ය. මේවායෙහි උක්ත කාල වකවාන්වට අයත් සාධක රැසක් සන්ධර්භගතවි ඇත. විද්වත් මතය වන්නේ මෙය ඉන්දිය මෙගලිතික සුසාන සම්ප්‍රදායේ ආභාසයෙන් ලංකාවේ ඇති වූවක් වන බවයි. (සෙනෙවිරත්න, 1994, 13-20) නමුත් එසේ වුවද ලංකාවේ සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව මෙම සුසාන ඒකාකාරිත්වයෙන් තොර විවිධතාවක් හොබවන අංශයක් බව පෙනි යයි. ලංකාවේ හමුවන ප්‍රොටෝ ඓතිහාසික සුසාන වර්ග සහත පරිදි වේ.

Cist Burial
Clay Canoe
Urn Burial
Pit burial
Cairn Circle
Dolman
මෙකී සුසාන බහුතරයක හමු වන්නේ ද්විතියික වළලෑම් ක්‍රමයයි. එහිදි තෝරාගත් මියගිය පුද්ගලයින් එක් අයෙකුගේ හෝ බහුතරයකගේ තෝරා ගත් අස්ථි පමණක් ගෙන මැටි බදුන් තුළ බහා වැළලීම බහුලව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබේ. Pit burial සම්ප්‍රදායේ ප්‍රාථමික වලලෑම් පිළිබද සාධක හමු වන අතර ඩොල්මන් යනු සුසාන නොව ස්මාරක විශේෂයක් බවට මත පලවි ඇත.

Cist Burial :- මෙය ශිලා මංජුසා සුසාන ලෙස හදුන්වයි. ගලකින් ගලක් පන්නා සිටින පරිදි විශාල ගල් පතුරු හතරක් පෙට්ටියක් මෙන් සැදෙන පරිදි සිරස්ව සංයුක්තව තබා එහි මධ්‍යයේ සුසාන ද්‍රව්‍ය තැන්පත් කර මුදුන පියන් ගලකින් වසා මෙම සුසාන වර්ගය ඉදි කරයි. දානට ලංකාවේ මෙම සුසාන ‍ක්ෂේත්‍ර 36ක් පමණ පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
(පිංවැව ගල් සොහොන් කනත්ත, මාමඩුව, අළුත් බෝඹුව, තම්මැන්න ගොඩැල්ල, ගුරුගල් හින්න, වඩිග වැව, දිවුල් වැව, රඹෑව, මච්චාගම, ඉබ්බන්කටුව, ආනකටාව, සියඹලා වැව, කදිරවේලි, ගල්අතර, මහපැලැස්ස, මහගල්වැව, තඹරව, ඹැඹව)

Urn Burial :- බරණි සුසාන ලෙස හදුන්වන මෙම සම්ප්‍රදාය පිළිබද වැදගත් සාධක හමුවන ක්ෂේත්‍රයක් ලෙස පොම්පරිප්පු හැදින්විය හැකි අතර එහි සිදු කරන ලද ක්‍රමානුකුල කැණීම් සහ පර්යේෂණයන්ට අනුව වැදගත් සාධක හදුනාගනු ලැබ තිබේ.
(තෙක්කම්, කරඹන්කුලම්, දුවෙගම, කතරගම, මාකෙවිට, විලන්කුලම්, පොම්පරිප්පු, සෙවනගල)

Pit burial :- ලංකාවේ Pit burial පැහැදිලිව හදුනාගත නොහැකි අතර ඒවා යම් යම් ආකාරයෙන් සම්මිශ්‍රිතව හදුනා ගැනිමේ හැකියාව ලැබේ. මේවායෙහි සිරුරු දිගු අගට වලළා ඇත්තේ ගැඹුරු වලවල් තුළයි. Extanded burial සම්ප්‍රදාය ලෙස මෙම වැළලිම් ක්‍රමය හදුන්වයි.
(කරෛනගර්, ආනෛකොට්ටෛ, මන්තායි, පොම්පරිප්පු)

Clay Canoe :- මෙය මුලින්ම හමු වූයේ වාරණ අසළ කලෝටුවාව ප්‍රදේශයෙනි. මැටි ඔරු ලෙස හදුන්වන මෙම සුසාන ක්‍රමය කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමු වි ඇත (ජයරත්න, 2011, ACL 406 දේශන).
(කලෝටුවාව, නිකවලමුල්ල, රංචමඩම, හල්දුම්මල)

Cairn Circle :- සුසානයක් මතුපිට ගල් කැබලි ගොඩ ගැසිම සහ වටේට ගල් කැබලි වෘතාකාර ලෙස තැන්පක් කිරිම මෙහිදි සිදුවේ. නමුත් මෙය ඉන්දියාවේ මෙන් ලංකාවේ සංකිර්ණ ලෙස හමු නොවේ.
(මාමඩුව, හබරැත්තෑවල)

Dolman :- මෙය සුසානයක් නොව සිහිවටනයක් ලෙස ඉදි කරන ලද්දක් බව සැලකේ. බටහිර රටවල මෙන් නොව ආසියාතික රටවල ඩොල්මන් තරමක් පසු කාලින වන බව කාල නිර්ණයන්ට අනුව පැහැදිලි වේ. සිරස් අතට සිටවු ගල් ස්ථම්භ තුනක් මත තිරස් අතට තැබු පියන් ගලකින් ඩොල්මන් සංයුක්ත වේ.
(පදවිගම්පොළ)

ලංකාවේ මෙම ඉහත දැක්වු සුසාන ක්‍රමයන්ට අමතරව ඒවා සම්මිශ්‍රිත ලෙස යොදාගත් අවස්ථාද හමුවේ. පිංවැව ගල්සොහොන් කනත්තෙන් හමුවන Pit with Cap Stone සම්ප්‍රදාය ගල්අතර ක්ෂේත්‍රයෙන්ද හමුවේ. එම නිසා මෙම සමාජයන්හි පිරිස් බොහෝ විට ඒකීය සම්ප්‍රදායකට සිමා නොවුණු බවත්, මෙසමයේ පිරිස් සම්මත සම්ප්‍රදායකට මැදි නොවී තමන් රුචි පරිදි මිහිදන් කිරිමේ සම්ප්‍රදායන් අනුගමනය කළ බවත් වටහා ගත හැකිය. එසේම මෙම සුසානයන්හි තැනපතු සැලකිමේදි එහි අඩංගු ද්‍රව්‍යන්ගේ සරු බව මත සමාජ ස්ථරායනය පිළිබද පැහැදිලි සාධක රැසක් උපකල්පනය කිරිමේ හැකියාවද පවතී.

 

ග්‍රීක ප්‍රතිමා ඉදිවීම කෙරෙහි බලපෑ සාධක සහ ප්‍රතිමාවන්හි වස්තුවිෂය

Image

ග්‍රීකවරු ප්‍රතිමා ගොඩනගනු ලැබූයේ සිය ආගමික අවශ්‍යතා සපුරා ගැනීම පිණීසයි. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ මෙය වන අතර ඔවුන්ගේ දේවස්ථාන විමර්ශනයේදී මේ බැව් වඩාත් තහවුරු වේ. ඔවුන් ඉදිකළ ප්‍රතිමා දේවස්ථාන සැරසීම පිණිස යොදාගත් බවට සාධක රැසක් හමුවේ. එක් එක් දේවස්ථානයන්හි ඒ ඒ දෙවියන් උදෙසා ඉදිකළ ප්‍රතිමා Naos හෙවත් Cella ලෙස හදුන්වනු ලබන් ඇතුළු කොටසේ තැන්පත් කර තිබිණි. Archaic යුගයෙන්ද මේ බව නිදර්ශනය වේ.
තවද යම් ප්‍රභූ පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ සොහොන මත එම මිය ගිය පුද්ගලයාගේ ප්‍රතිමාවක් හෝ සංකේතාත්මක ලෙස වෙනත් මිනිස් ප්‍රතිමාවක් ස්ථානගත කර තිබුණු ආකාරය හදුනා ගත හැකිය. මෙය ඔවුන් සුසාන ආශ්‍රිතව යම් චාරිත්‍රයක් ලෙස සිදු කළ ආකාරයත්, එය එවක සමාජයේ පැවති යම් සිරිතක් ලෙසත් හදුනා ගැනීමට ශේෂ වූ ප්‍රතිමා සාධක සපයයි.
මීට අමතරව සංවිධිත වූ ග්‍රීක නගරවල පවතින ඉතා වැදගත් ස්ථානයක් ලෙස හදුනා ගන්නා Market place, Agora ලෙස හදුන්වන ස්ථානයන්හිද හුදු අලංකරණය උදෙසා සමාජයේ විසූ ප්‍රභූ පුද්ගලයි‍න්ගේ ප්‍රතිමා නෙළා තැබීමේ සම්ප්‍රදායක් පැවතී ඇත.
ආරම්භක අවධියේ සිටම දේවස්ථානයන්හි දෙවියන් උදෙසා පූජාවන් ලෙස විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිමා නෙළීමේ සම්ප්‍රදායක් මෙන්ම ර්‍කීඩා, යුධ ආදී ජයග්‍රහනයන් සැමරීම සදහා ජය ගත් හෝ ජය ගැනිමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා ඉදි කිරීමේ සම්ප්‍රදායක්ද හදුනා ගැනීමේ හැකියාව ඇත. මේ අනුව ඉහත සදහන් අවස්ථා උදෙසා ප්‍රකිමා නිර්මාණය කිරීමේ පැහැදිළි නිදර්ශන Archaic හෙවත් පුරාතන යුගයේදීද හදුනා ගත හැකිය. එසේම මෙම යුගයටම ආවේණික වූ විශේෂතා හේතුවෙන් එසමයේ පැවති සුවිශේෂීත්වය ඉස්මතු වේ.
Archaic යුගයේ ප්‍රතිමා කර්මාන්තය උදෙසා වස්තුවිෂය වූ කරුණු සැලකූ කල වෙනත් අවධීන්හි මෙන් එය දෙයාකාර බව පැහැදිලිව පෙනී යයි.
1. දෙවියන් හෝ වීරවරයන් දැක්වෙන ප්‍රතිමා.
2. සමාජයේ වෙනත් අවස්ථා හෝ දෛනික ජීවිතය දැක්වෙන ප්‍රතිමා.
උක්ත ප්‍රතිමා ඉදි කිරීමට යොදාගත් මාධ්‍ය අතර ප්‍රධාන වශයෙන් කිරිගරුඩ, මැටි, වැලිගල්, ලී, රත්රන්, ඇත්දළ, ලෝහ වර්ග ආදිය දැක්විය හැකිය. මේ අතුරින් දැනට ශේෂ වී ඇති නිදර්ශනයක් ලෙස Archaic යුගයේ ඉදිකළ නිර්මාණ බහුතරය හමු වන්නේ කිරිගරුඩ පාෂාණ මාධ්‍යයෙනි. ස්වරූපය අනුව මේවාද කොටස් දෙකකි.
1. Kouros – පිරිමි ප්‍රතිමා.
2. Kore – කාන්තා ප්‍රතිමා.

Archaic Period-
Early Archaic Period
Middle Archaic Period
Later Archaic Period

Image

 
 
%d bloggers like this: