RSS

Category Archives: පුරාණ ශිෂ්ටාචාර / ancient civilizations

ග්‍රීක ප්‍රතිමා ඉදිවීම කෙරෙහි බලපෑ සාධක සහ ප්‍රතිමාවන්හි වස්තුවිෂය

Image

ග්‍රීකවරු ප්‍රතිමා ගොඩනගනු ලැබූයේ සිය ආගමික අවශ්‍යතා සපුරා ගැනීම පිණීසයි. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ මෙය වන අතර ඔවුන්ගේ දේවස්ථාන විමර්ශනයේදී මේ බැව් වඩාත් තහවුරු වේ. ඔවුන් ඉදිකළ ප්‍රතිමා දේවස්ථාන සැරසීම පිණිස යොදාගත් බවට සාධක රැසක් හමුවේ. එක් එක් දේවස්ථානයන්හි ඒ ඒ දෙවියන් උදෙසා ඉදිකළ ප්‍රතිමා Naos හෙවත් Cella ලෙස හදුන්වනු ලබන් ඇතුළු කොටසේ තැන්පත් කර තිබිණි. Archaic යුගයෙන්ද මේ බව නිදර්ශනය වේ.
තවද යම් ප්‍රභූ පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ සොහොන මත එම මිය ගිය පුද්ගලයාගේ ප්‍රතිමාවක් හෝ සංකේතාත්මක ලෙස වෙනත් මිනිස් ප්‍රතිමාවක් ස්ථානගත කර තිබුණු ආකාරය හදුනා ගත හැකිය. මෙය ඔවුන් සුසාන ආශ්‍රිතව යම් චාරිත්‍රයක් ලෙස සිදු කළ ආකාරයත්, එය එවක සමාජයේ පැවති යම් සිරිතක් ලෙසත් හදුනා ගැනීමට ශේෂ වූ ප්‍රතිමා සාධක සපයයි.
මීට අමතරව සංවිධිත වූ ග්‍රීක නගරවල පවතින ඉතා වැදගත් ස්ථානයක් ලෙස හදුනා ගන්නා Market place, Agora ලෙස හදුන්වන ස්ථානයන්හිද හුදු අලංකරණය උදෙසා සමාජයේ විසූ ප්‍රභූ පුද්ගලයි‍න්ගේ ප්‍රතිමා නෙළා තැබීමේ සම්ප්‍රදායක් පැවතී ඇත.
ආරම්භක අවධියේ සිටම දේවස්ථානයන්හි දෙවියන් උදෙසා පූජාවන් ලෙස විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිමා නෙළීමේ සම්ප්‍රදායක් මෙන්ම ර්‍කීඩා, යුධ ආදී ජයග්‍රහනයන් සැමරීම සදහා ජය ගත් හෝ ජය ගැනිමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා ඉදි කිරීමේ සම්ප්‍රදායක්ද හදුනා ගැනීමේ හැකියාව ඇත. මේ අනුව ඉහත සදහන් අවස්ථා උදෙසා ප්‍රකිමා නිර්මාණය කිරීමේ පැහැදිළි නිදර්ශන Archaic හෙවත් පුරාතන යුගයේදීද හදුනා ගත හැකිය. එසේම මෙම යුගයටම ආවේණික වූ විශේෂතා හේතුවෙන් එසමයේ පැවති සුවිශේෂීත්වය ඉස්මතු වේ.
Archaic යුගයේ ප්‍රතිමා කර්මාන්තය උදෙසා වස්තුවිෂය වූ කරුණු සැලකූ කල වෙනත් අවධීන්හි මෙන් එය දෙයාකාර බව පැහැදිලිව පෙනී යයි.
1. දෙවියන් හෝ වීරවරයන් දැක්වෙන ප්‍රතිමා.
2. සමාජයේ වෙනත් අවස්ථා හෝ දෛනික ජීවිතය දැක්වෙන ප්‍රතිමා.
උක්ත ප්‍රතිමා ඉදි කිරීමට යොදාගත් මාධ්‍ය අතර ප්‍රධාන වශයෙන් කිරිගරුඩ, මැටි, වැලිගල්, ලී, රත්රන්, ඇත්දළ, ලෝහ වර්ග ආදිය දැක්විය හැකිය. මේ අතුරින් දැනට ශේෂ වී ඇති නිදර්ශනයක් ලෙස Archaic යුගයේ ඉදිකළ නිර්මාණ බහුතරය හමු වන්නේ කිරිගරුඩ පාෂාණ මාධ්‍යයෙනි. ස්වරූපය අනුව මේවාද කොටස් දෙකකි.
1. Kouros – පිරිමි ප්‍රතිමා.
2. Kore – කාන්තා ප්‍රතිමා.

Archaic Period-
Early Archaic Period
Middle Archaic Period
Later Archaic Period

Image

Advertisements
 

පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතිය 3

පූර්ව ලිපියට

02
Ahar Culture
(අහාර් සංස්කෘතිය)

වත්මන් ඉන්දියාව තුළ හමුවන පැරණිතම කැල්කොලිතික සංස්කෘතියක් පැවති ස්ථානයක් වශයෙන් මෙම ක්ෂේත්‍රය සුවිශේෂී වැදගත්කමක් දරන බව ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. එසේම Banas නදිය ආශ්‍රිතව ව්‍යාප්ත විම මත Banas Culture යන නමින්ද හදුන්වයි. මෙම නදිය පාදක කොටගෙන ගිනිකොන දිග රාජස්ථානයේ Ahar සහ Gilund නමින් කැල්කොලිතික ‍ක්ෂේත්‍ර දෙකක් හදුනාගෙන තිබේ (Chakrabarti, 1995).

02.01
ක්ෂේත්‍රයේ පිහිටීම

කතියවෝර් සිට 300 km ගිනිකොන දිග ප්‍රදේශයට වන්නට, අරවල්ලි ප්‍රදේශයට නැගෙනහිරින් Banas නදිය මුල් කරගෙන මෙම ක්ෂේත්‍රය පැතිරී ඇත (Allchin, 1996). එසේම මෙය වත්මන් රාජස්ථානයේ Udaipur දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට හදුනාගත හැකිය. එහිදි මීට වසර 4500කට ප්‍රථම කාලයකදී මෙම සංස්කෘතිය පිළිබද සාධක දක්නට ලැබෙන අතර කාබන් කාලනීර්ණ අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ ක්‍රි.පූ. 3500 – 1800 දක්වා කාල පරාසයක් තුළ මෙම සංස්කෘතිය පැවති බවට සාධක ලැබේ (www.india-today.com).

විශේෂ වැදගත්කමක් ලෙස දැක්විය හැකි වන්නේ ගංගා නිම්න භූමියක් පදනම් කරගනිමින් මෙකී සංස්කෘතිය ව්‍යාප්ත වී තිබිමයි. ඒ අනුව ජනාවාස පිහිටුවා ගැනීමේදී මෙම ජනයා ජල මූලාශ්‍ර වෙත ප්‍රධාන අවධානයක් යොමු කළ ආකාරය පෙනී යයි. තවද, දැනට පාකිස්ථානයේ පවතින හරප්පා සභ්‍යත්වයට යම් තරමක් සමීපස්ථව ‍උක්ත සංස්කෘතිය පැතිරී ගිය ක්ෂේත්‍රය දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශද්වය අතර සබදතා පැවතියේද යන්න කෙරෙහි, මෙහි පිහිටීම අනුව විමසා බැලීමේ හැකියාව ලැබේ.

තවද කැල්කොලිතික සාධක හමුවන ඉන්දීය ප්‍රදේශ ලෙස Udaipur වලට අමතරව Chitorgarh, Bhilwara, Ajmer, Jaipur, Tonk in Rajasthan, Mandasore in Madhya Pradesh ආදී ස්ථාන නම් කළ හැකි අතර Udaipur හි Ahar ක්ෂේත්‍රය වැදගත් වන්නේ පැරණිතම සාධක හමුවීම මතය.

Ahar ක්ෂේත්‍රය පිළිබද දක්වන්නේ නම්, මෙහි ග්‍රාමීය ප්‍රදේශ අනූවක පමණ එම සංස්කෘතික සාධක හමුවී ති‍බෙන බව දැක්විය හැකිය. රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ Ahar ප්‍රමුඛව වැජඹුණු බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ. මෙහි ව්‍යාප්තිය දෙස බැලීමේදී නැගෙනහිර අරවල්ලි සානුවල සහ Banas ගංගාව දිගට මෙන්ම එහි අතු ගංගාවල මෙම ක්ෂේත්‍රය පැතිරී ගිය බවට සාධක ලැබේ.වත්මන් රාජස්ථානයේ,

Udaipur
Chittorgarh
Dungarpur
Bhiwara
Rajsamand
Bundi
Tonk
Ajmer
ප්‍රදේශ ආශ්‍රිතව වර්ග කිලෝමීටර 10,000ක පමණ භූමි ප්‍රමාණයක මෙම සංස්කෘතික සාධක දක්නට ලැබේ. මෙකී ක්ෂේත්‍රවල පැතිරිම අනුව ගිනිකොණදිග රාජස්ථානයේ සහ මධ්‍ය ප්‍රදේශ් ආශ්‍රිතව මෙහි ව්‍යාප්තිය පෙනී යයි (www.india-today.com).

02.02
chronology
කාල නීර්නය

වර්තමාන උදායිපූර් ප්‍රදේශයෙන් හදුනාගනු ලබන මෙම සංස්කෘතිය මීට වසර 4500ක පමණ ඉතිහාසයකට අයත් බව පැවසේ. කාබන් කාලනීර්ණයන්ට අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ 3500-1800 B.C. සමය අතර කාල පරාසයක් තුළ Ahar සංස්කෘතිය පැවති බව පිළීගැනේ. Mewar හි පළමු අදියරයන් හරප්පානු යුගයටත් වඩා ර්‍පර්ව කාලීන වීම සැලකිය යුතු ලක්ෂණයකි (www.india-today.com).

පොදුවේ ගත් කල්හි, Ahar සංස්කෘතිය යුගකරණය අනුව හරප්පානු වකවානුව හා සම කාලයට මෙන්ම ඊට පසු කාලයටද අයත් වන බව පෙනී යයි (Allchin, 1996). තවද, කෙසේ වෙතත් මෙම යුගද්වය,

  • Proto Historic – 2600-1500 B.C.
  • Early Historic – 500-300 B.C.

ලෙස වර්ගීකරණයට ලක් කොට තිබේ. මෙහිදී කැල්කොලිතික අවස්ථාව ලෙස හදුනාගන්නේ පෙර කී පළමු යුගයයි. එය, හමුවන මැටි මෙවලම් මත නැවත වර්ගීකරණයකට ලක් කොට තිබේ.

1A – 2600-2150 B.C.
1B – 2150-1950 B.C.
1C – 1950-1550 B.C.

උක්ත කාලනීර්ණ පදනම් කර ගනිමින් සහ Ahar හි කැණීම්වලින් හෙළිවන සාධක භාවිතයෙන් මෙම සංස්කෘතිය හරප්පා සභ්‍යත්වය සමග සබදතා පැවැත්වීද යන ගැවළුව මතු වී ඇත. මෙහිදී උපයුක්ත වන කාලනීර්ණ ක්‍රම සැලකීමේදී,

  • සාපේක්ෂ කාලනීර්ණය
  • නිරපේක්ෂ කාලනීර්ණය

යන අංශද්වයම භාවිත කළ හැකිය. මීට එක් නිදර්ශනයක් ලෙස මෙහිදී සදහන් කළ හැක්කේ Dish on stand එනම්, ආධාර තැටි මත ඇති දීසි මෙම සංස්කෘතියේද හමුවීම මත හරත්තානු ආභාසය මෙයට ලැබුණිදැයි පරීක්ෂා කිරීමේ හැකියාව පැවතීමයි.

02.03
Ahar හි මැටි බදුන්

Ahar හි Proto Historic යුගය එහි හමුවන මැටි බදුන් අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙන බව ඉහතද දක්වන ලදී. එනම්, 1A, 1B, 1C යනුවෙනි. මෙම සංස්කෘතියට ආවේණික මුඛ්‍ය ලක්ෂණයක් ලෙස කාල රක්ත මැටි බදුන් – BRW (Black & Red Ware) පෙන්වා දීමේ හැකියාව ලැබේ (Chakrabarti, 1995). එසේම රේකා සහ තිත් මෝස්තර සහිත සුදු පැහැයෙන් සැරසිළි කළ BRW ද මෙහිදී දක්නට ලැබෙන වැදගත් සාධකයකි.

තවද,

Cream Slipped Ware (with black painting)
Red Slipped Ware
Buff Ware
Blotchy Grey Ware
Jorwe Ware
Red Ware
යනාදී මැටි මෙවලම් මෙහිදී දක්නට ලැබේ (Chakrabarti, 1995). එසේම පෙර දක්වන ලද සුදු පැහැ සැරසිළි සහිත කාල රක්ත මැටි මෙවලම් මෙම සංස්කෘතියේ උක්ත ප්‍රධාන යුගත්‍රයෙහිම හදුනාගත හැකි සාධකයකි

 

පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන්….2

පූර්ව ලිපියට

01.01.01
ආසන්න බටහිර සංස්කෘතිය

මෙම සංස්කෘතීන් අතුරින් ඇතැමක ආරම්භය සනිටුහන් වන්නේ හරප්පා ශිෂ්ටාචාරයටත් පෙරාතුවයි. ඒ අතරින් එකක් ලෙස රානාඝුන්ඩායි පෙන්වා දිය හැකිය. පශ්චාත් හරප්පන් සමයෙහි ලා ගැනෙන මෙහි iv අවධීය ඇති වන්නේ හරප්පා නටඹුන් මතයි. මෙම අවධියේ මැටි මෙවලම් ඊට පූර්ව අවධියට වඩා වෙනස් වන අතර රළු බවකින් යුක්ත විම විශේෂ කරුණකි. ගින්නෙන් විනාශ වූ බව සිතිය හැකි, iv අවධීයට පසුව හමුවන v අවධීයේ මැටි මෙවලම්හි සිතුවම් දක්නට නැත. තවද මෙම සංස්කාතියේ ලක්ෂණ උක්ත ප්‍රදේශයට පමණක් සිමා වීම (අලහකෝන් 1968) සහ ඉහත කී කරුණු සැලකීමේදී පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංසකෘතින් පිළිබද යම් අවබෝධයක් ලබාගත හැකිය.

තවද ෂාහි තුම්ප් (Shahi Tump) හි සුසානය පශ්චාත් හරප්පන් යුගයෙහිලා සැලකේ. තත් කාලීන භූමදාන ක්‍රම පැහැදිළිව අවබොධ කරගත හැකි මෙහි ආකාර දෙකක භූමදාන සාධක පිළිබිඹු වේ.

  • අස්ථි භූමදානය
  • ‍සුසාන ද්‍රව්‍ය පමණක් භූමදානය

මෙම සාධක උපයුක්ත කොටගෙන පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් විවරණය කිරීමේ හැකියාව පවති. සොහොන් තුළින් හමුවන,
මැටි භාණ්ඩ
ශීලා
පබලු
තඹ සහ ලෝකඩ ආයුධ
මුද්‍රා
ශිලා මෙවලම්
ආදිය අධ්‍යයනයෙන් තත්කාලීන ආයතනමය අංශ ප්‍රතිනිර්මාණය කළ ඇකි වනවා සේම, එසමයේ ඔවුන් සතු වූ තාක්ෂණයේ ස්වභාවයද අධ්‍යයනය කිරිමේ හැකියාව පවතී.

මෙහිදී සාකච්ඡාවට ප්‍රස්තුත වන සංස්කෘතිය අධ්‍යයනයේදී ට්‍රීනි මැටි මෙවලම් (Trihni Ware) ද වැදගත් වේ. Lal Chhato, Lohri, Shan Hasan, චන්හුදාරෝ ආදී ස්ථාන වලින් හමුවූ මේවා අධ්‍යයනයෙන් පශ්චාත් හරප්පන් ග්‍රාමිය තත්ව පිළිබද පැහැදිළි අවබෝධයක් ලබාගත හැකිය.

මෝගල් ඝුන්ඩාහි කවාකාර වැටි සහිත භූමදාන (Cairn Burials) හා ලොන්ඩෝ මෙවලම් (Londo Ware) සැලකීමේදීද පශ්චාත් හරප්පන් ග්‍රාමිය සංස්කෘතීන්ගේ තාක්ෂණික පසුබිම, සමාජ ව්‍යූහය ආදීවූ ලක්ෂණ රැසක් ලබාගත හැකිය. මෙහිදි පැහැදිලිවම හරප්පානු තත්වයට වඩා සපුරා වෙනස් ආකාරයක් පිළිබිඹු වේ. තවද මෙම මැටි මෙවලම්හි නිරූපිත අශ්ව රූප අධ්‍යයනයෙන් ඒවා වෙනත් සංස්කෘතීන් සමග දක්වන සබදතා අධ්‍යයනයටත්, ඒ ඒ සමාජවල පැවති සුවිශේෂීතා අධ්‍යයනයටත් හැකියාව ලැබේ. තවද වැදගත්ම සාධකයක් වන්නේ ලොන්ඩෝ මැටි මෙවලම් අධ්‍යයනයේදී යකඩ භාවිතය කළ බවට සාධක ලැබිමයි. උක්ත කරුණු විමර්ශනයේදි පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන්ගේ යම් යම් අංශ වර්ධනය උදෙසා විදේශ බලපෑම ලැබුණිද? එම සංස්කෘතීන් විදේශ සංස්කෘතීන් සමග අන්තර් සබදතා පවත්වා ගත්තේද? යන සාධක අධ්‍යයනය වැදගත් වේ.

 

පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන්

පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතියේ සවභාවය.

01
හැඳින්විම


දක්ෂින ආසියාවේ ඇතිවු වර්ධනියම ශිෂ්ටාචාරය ලෙස හරප්පා සභ්‍යත්වය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. දැනට ශේෂ වී ඇති තත්කාලීන නශ්ටාවශේෂ විමර්ශනයේදීද පෙනී යන්නේ ඉතා දියුණු නාගරික සංස්තෘතියක් උක්ත ශිෂ්ටාචාරයේදි හඳුනාගත හැකි බවයි. නමුත් පශ්චාත් හරප්පාන් සමය පිළිබඳව විමසා බැලීමේදී ඉහත ලක්ෂණය එකී ක්ෂේත්‍ර අනුසාරයෙන් කෙතෙක් දුරට ස්ඵුට වන්නේද යන්න විවාදාත්මක ප්‍රපංචයක් ලෙස දැක්විය හැකිය. මන්ද යත්, ක්ෂේත්‍ර ගණනාවක කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් පශ්චාත් හරප්පන් වකවානුව ප්‍රතිනිර්මාණය කළ හැකි බොහෝ සාධක දැනට අනාවරණය වි ඇති හෙයින් ඒ පිළිබඳ පැහැදිලි අර්ථ විවරණයක් මේ වන විට ලබා දීමේ හැකියාව පැවතීමයි.
කෙසේ වෙතත් පශ්චාත් හරප්පන් යුගයේ හමු වන ජනාවාස “ග්‍රමීය සංස්කෘති” ලෙස හැඳින්වීම මතම ඒවා කෙබඳු ආකාර වූයේදැයි ඉඟියක් ලබා ගැනිමේ අවස්ථාව ඇත. එසේ හෙයින් පශ්චාත් හරප්පානු සමය සැලකූ කල්හි එය නාගරික ලක්ෂණවලින් වියුක්ත වූ ග්‍රාමිය ලක්ෂණ වඩා වර්ධිත වකවානුවක් ලෙස පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම පෙර පැවති දියුණු නාගරික ශීෂ්ටාචාර ලක්ෂණ මේ වන විට පිරිහි ගොස් නාගරිකත්වයේ පරිහාණිය සනිටුහන් කරන්නා වූ ඊට පූර්වයේ පැවති ග්‍රාමිය තත්ව යළි ස්ථාපිත වන බව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.
විශේෂයෙන්ම ගංගා නිම්න ආශ්‍රිත ප්‍රෙද්ශයන්හි මෙකි ජනාවාසවල විස්තීරණයක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බැවින් සම්පත් කලාප උපයුක්ත කොට ගෙන ඒවා ස්ථාපිත වු ආකාරය හඳුනා ගැනීමේ හැකියාව පවතී. තවද මෙකි සමාජවල තිබූ මධ්‍ය ශිලා සංස්කෘතියේ කැපි පෙනෙන තාක්ෂණික දියුණුවක් මෙම සංස්කෘතීන් තුළින් නිරීක්ෂණය කළ හැකිය. උක්ත ලක්ෂණ පැහැදිලිව අර්ථකථනය කළ හැකි ග්‍රාමීය සංස්කෘතියක් ලෙස රාජස්ථාන් ප්‍රදේශයේ පැවති Ahar සංස්කෘතියේ ලක්ෂණ උපනිශ්‍රයෙන් එම සංස්කෘතික විශමතා අර්ථකථනය කළ හැකි ආකාරය මෙම නිබන්ධනයේදි අවධානයට ලක්වේ.

01:01
පශ්චාත් හරප්පන් සංස්කෘතින්


පශ්චාත් හරප්පන් යුගය සැලකූ කල්හි එක් ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වටා ගොනු වු සමාජ වෙනුවට පුළුල් ප්‍රදේශයක පැතිරී ගිය (යම් තරමක් හුදෙකලා වු) තනි සමාජ ඒකකවල ස්වරූපයක් හඳුනා ගැනිමේ හැකියාව ලැබේ. දැනට පිළිගැනීම වන්නේ ක්‍රි.පූ. 1750දී පමණ සින්ධු නදිය කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුණු ශිෂ්ටාචාරයේ බිඳවැටිම සිදුවු බවයි. පසුව එම සභ්‍යත්වයේ නටඹුන් මත කුඩා කුඩා සංස්කාතීන් පහළ වූ බවට පුරාවිද්‍යා සාධක ලැබේ. මෙම ප්‍රාදේශීය සංස්කෘතීන අල්පායුෂ්ක වු අතර ඒවායේ දක්නට ලැබෙන්නේ සීමිත ව්‍යාප්තියකි (අලහකෝන් 1968). මෙකි පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් භූගෝලීය වශයෙන් ප්‍රදේශ කිහිපයක් යටතේ ගොනු කරයි.

ආසන්න බටහිර සංස්කෘතිය
(රානාඝුන්ඩායි iv හා v, Shahi Thump, Trihni Ware, Cairn Burials, Londo Ware)
බටහිර පංජාබයේ සංස්කෘතිය
(H සුසාන භූමිය)
සින්ධු ප්‍රදේශයේ සංස්කෘතිය
(Jhukar, Jhangar)
ගංගා නිම්න සංස්කාතිය
(Copper hoards, Ocher colored ware)

 

ඊජිප්තු ශිෂ්ටාචාරය 7…………….. ශරීරය, ආත්මය සහ සෙවනැල්ල

පූර්ව ලිපිය මෙතැනින් ගන්න.

පැරණි මිසරය සම්බන්ධව අපට දැනට ඇති සාධක සියල්ලම පාහේ ලැබී ඇත්තේ ඔවුන් මරණින් මතු ජීවිතය පිළිබඳ දැඩි සේ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ‘කා’ නම් ආත්මය, සෙවනැල්ල හා එක් වීමක් සිදු වන බව පැරණි මිසර වැසියා විශ්වාස කළේය. මෙහිදී පළමුව ඇතිවී තිබෙන්නේ කා සමග සම්බන්ධ වේය යන මතයයි. පැරණි ඊජිප්තු විශ්වාසය වන්නේ, “මිනිසාගේ පෞර්ෂත්වය ඇති වන්නේ කා නම් ආත්මයේ එක්වීමෙන්” වන බවයි. ‘කා’ හට තැනින් තැන නිදහසේ ගමන් කිරීමට හෝ සිරුර සමග සම්බන්ධ වීමට මෙන්ම දෙවියන් ඇසුරු කිරීමේ නිදහසද පැවති බව එසමයේ පිළිගැනීම සහ විශ්වාසය විය.

tutankaman mask

තවද පාරාවෝ රජවරුන්ගේ උපතේදී දෘෂ්‍ය ශරීරය සහ අදෘෂ්‍ය ශරීරය ලෙසින් දෙකක් පවතින බව සඳහන් වේ. එසේම ‘කා’ උත්පත්තියේදීම පිහිටන මුත් එය ක්‍රියාත්මක වන්නේ මරණයට පසුය යන්න මිසර වැසියා විශ්වාස කළේය. නමුත් සාමාන්‍ය මිනිසුන්ට එසේ නැත. ඒ අනුව ආගම, සමාජ මට්ටම් අනුව ක්‍රියාත්මක වූ ආකාරයේ විශමතාව පැහැදිළිව පිළිබිඹු වේ. ‘කා’ නින්දේදීත් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවත්, එසේ හැසිරෙන අවස්ථාවේ දකින ස්ථාන, පුද්ගලයන් ආදිය ඔහුගේ මතකයේ තැන්පත් වන බවත් පිළිගැනුණි.

සාමාන්‍ය ජිවිතයේදී ‘කා’ සිරුරෙන් ඉවත් වේ. ‘කා’ මරණයෙන් පසු ආහාර, ජලය සහ පුදපූජා අපේක්ෂා කරයි. පැරණි මිසර වැසියෝ ‘කා’ ඉන්ද්‍රජාලයක් ලෙසින් පිළිගත්හ. යාඥා කරන පිරිස් සහ මියගිය අයට අවශ්‍ය ආහාර පාන සම්පාදනය කරන පිරිස් මෙන්ම වන්දනාමාන කරන පිරිස්ද එම අදාල කටයුතු සිදු කර එම ස්ථානයෙන් වහාම පිටවිය යුතු වු බව විශ්වාසයේ පැවතුණි. මියගිය පුද්ගලයින් වෙනුවෙන් යහපත් ප්‍රාර්ථනා සිදු කිරීම ආවශ්‍යයික වූවක් මෙන්ම ප්‍රායෝගික විය. එසේම මිය යාමට ප්‍රථම ජීවත් වන සමයේ යහපත් සේවාවන් සිදු කර තිබීම ඉතාමත් අත්‍යාවශ්‍ය විය. මේවායින් පෙනී යන්නේ මරණින් මතු දිවියේ ප්‍රමුඛස්ථානය ගන්නා ‘කා’ නම් ආත්මය සදාකාලික ජීවිතය ලබා ගැන්ම උදෙසා විශාල කාර්යය භාරයක් සපුරා තිබිය යුතු වූ බවයි. මිසර ලේඛන අතුරින් හමුවන ඇතැම් ලේඛන දෙවියන් අමතා ප්‍රකාශ කළ අවස්ථා දක්නට ලැබේ.

….සාධාරණත්වයේ දෙවිඳුණි, මම ඔබ දනිමි

සත්‍ය දැනගෙන කතා කිරීමටත් පෙර මම මෙහි ආවෙමි

මම නොදනිමි වරද කුමක්දැයි කියා

සියල්ලන්ගේම දෙවියනි….

“…. I have not taken away temple offerings

I have not stinted the food to the gods

I have not despoiled the dead

I have never committed adultery…..”   (Ancient Egypt Myth and History, 1997, 100p)

මේ අනුව මරණින් මතු දිවියේ සෞභාග්‍ය උදෙසා ජීවත්ව සිටින කල විශාල වශයෙන් යහපත් ක්‍රියා සිදු කළ යුතු වූ බවත්, දෙවියන් සමග ‘කා’ හට ඍජුව සම්බන්ධ විය හැකි වූ බවත් ඔවුන්ගේ විශ්වාසය වී පැවති බව පෙනී යයි.

තවද ‘කා’ ට අමතරව ‘බයිබිට්’ නමින් සෙවනැල්ලක්ද තිබිණි. එසේම මිනිසාට සදාකාලිකව ‘බූ’ නම් වූ අදෘෂ්‍යමාන සෙවනැල්ලකද හිමිකමක් තිබිණි යැයි විශ්වාස කර ඇත. ඒ අනුව මිනිසා සෑදී තිබෙනුයේ

කායික ශරීරයක,

අධ්‍යාත්මික ශරීරයක,

ආත්මයක,

සෙවනැල්ලක,

ස්පර්ශ කළ නොහැකි වැස්මක,

ඔහුගේ ජීවන ශක්තියේ

එකතුවෙන්ය යන් විශ්වාසයේ ඔවුන් එළඹ සිටි බව උක්ත නිදර්ශන අනුව යම් තරමක් හෝ දුරට පැහැදිලි කළ හැකිය. මෙලෙස ගොඩනැගුණු මිනිස් ශරීරය මරණින් මතු සැපදායී ලොවක අපේක්ෂාව හේතුවෙන් විනාශ වී යා නොදී රැකගැනීම අත්‍යාවශ්‍ය වූයෙන් ඔවුන් ඒ සඳහා භාවිත කළ අද්විතීය තාක්ෂණයේ මහඟු ප්‍රතිඵලයක් ලෙස අද පවා එම සිරුරු එලෙසින්ම පවතී. මරණයේදී ඔහුගේ ජීව ශක්තිය එනම් ‘බූ’ උපද්‍රව සහිත මාර්ගයක පාතාලයට ගමන් කරන බව මිසර වාසීහු විශ්වාස කළහ. දිව්‍ය ලෝකයට යාමට ඇති මාර්ගය ඉතා කටුක එකක් ලෙස ඔවුහු සැලකූහ. ඒ යන අතර ‘ආලු’ නම් පාරාදීසය පිහිටයි. කාන්තාර ප්‍රෙද්ශ පසු කරගෙන, සතුන් සහිත ප්‍රෙද්ශ පසු කරගෙන, උණු ජලය සහිත වූ දිය ඇලි පසු කරගෙන සදාකාලික ජිවිතය සොයා යා යුතු බව මතය විය.

ආත්මය එහි ගිය විට පේෂණය සඳහා ආහාර පාන හා ආරක්ෂාව සඳහා ආයුධ ලබා ගනී. පසුව බටහිර කඳු තරණය කර මරණයේ රාජධානියට පැමිණෙන බව මිසර වැසියාගේ විශ්වාසය විය. එහිදී ආහාර සහ පළතුරුවලින් සංග්‍රහ ලබන ආත්මය ඉන්ද්‍රජාලික ජලය පානය කළ යුතු විය. පසුව ආත්මය දෙවියන්ගේ සේවකයා වී කටයුතු කළ යුතුය. ඔහු නිසි පරිදි සැලකිළි නොදැක්වූයේ නම් ඔහුට නැවතත් කළුවර සොහොන් කොතට යාමට සිදු විණි.

‘කා’ පෘථිවියේ පවුලකට නැවතත් යාමට කැමති වූයේ නම්, කුරුල්ලෙක්, මලක් හෝ සතෙක් ලෙස වාසය කළ හැකිය. ඔහු නැවත සොහොන් කොත නැරඹීමට ගොස් මමියට ප්‍රාණය ලබා දීමටද ඉඩ ඇත.

පැරණි මිසර වැසියා මරණින් මතු අපේක්ෂා කළ ලෝකය එයයි. රදළ වරු ඇතුළු සමාජයේ පිළිගත් පිරිස් මරණින් මතු සිය ජීවිතයේ ලද සියලු යස ඉසුරු ලබා ගැනීමේ අභිලාශයෙන් කටයුතු කළ අතර උක්ත සාධක ඇසුරෙන් පෙනී යන්නේ ආත්මය අමරණීය කරගනු වස් ඊජික්තියානුවන් තුළ පැවති දැඩි අපේක්ෂා සහ ඒවා සාක්ෂාත් කර ගැනීමට කැපවූ අයුරුයි. මේ අනුව ශරීරය, ආත්මය සහ සෙවනැල්ලේ සුසංයෝජනයෙන් ගොඩනැගෙන මිනිසාගේ සදාකාලික පැවැත්ම කෙරෙහි මිසර වැසියා ඇදී ගිය අයුරු උක්ත සාධක ඇසුරින් මැනවින් පෙනී යයි.

 

ඊජිප්තු ශිෂ්ටාචාරය 6…………….. අමරණීයත්වය සහ මමි සැකසීම

පෙර ලිපිය මෙතනින් ගන්න.

ආදි මිසර වැසියා මරණින් මතු සිය ආත්මයේ අමරණීයත්වය ලබා ගැනීම උදෙසා විශාල අපේක්ෂා සම්භාරයක් සතුව සිටියා සේම ඔවුන්ගේ අනෙක් සුවිශේෂී කරුණ වන්නේ මෘත දේහයේ අමරණීයත්වයද ඔවුන් අපේක්ෂා කිරීමයි. මේ බව මැනවින් ගම්‍ය වන්නේ වසර දහස් ගණනකට ඈත යුගයේ සිටි ඔවුන්ගේ සිරුරු අද පවා බොහෝ දුරට සුරක්ෂිත තාවයෙන් යුතුව එලෙසින්ම හමු වීමයි. දැනට හෙළි වී ඇති සාධකයන්ට අනුව පෙනී යන්නේ, පැහැදිලි ලෙසම ඊජිප්තියානුවන්ගේ පරම ආගමික පරමාර්ථය වූයේ “ආත්මයේ අමරණීයත්වය ලබා ගැන්ම උදෙසා ශරීරය අමරණීයව, ජීවමාන ලෙසින්ම පැවතිය යුතුය” යන විශ්වාසය බව පුරාවිද්‍යාත්මක දත්ත අනුව ගම්‍ය වේ.

දුරු වර්ග කැවූ ලිනන් රෙදිවලින් ඔතනු ලැබූ සිරුර දීර්ඝ කාලයක් පුරා ආරක්ෂා කර ගැනීමට තවත් ක්‍රම ඔවුන් අනුගමනය කර තිබුණු බව සාධක සහිතව පෙන්වා දීමට තරම් අද්‍යතන පර්යේෂණ සාර්ථක වී ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ මෙලෙස ඔවුන් තම සිරුරු සුරක්ෂිත කිරීමට කටයුතු යොදා ඇත්තේ, මරණින් මතු දිවිය, එම ලෝකයේ පැවැත්ම පිළිබඳ තිබූ ඉමහත් බලාපොරොත්තු හේතුවෙන්ය යන කාරණය සම්බන්ධවයි. එසේම තව දුරටත් දක්වන්නේ නම්, පුරාණ මිසර වැසියා සිය මෙලොව ජීවිතය පවත්වා ගත්තේද තම පරලොව ජීවිතයේ චිරස්ථායී පැවැත්ම වෙනුවෙන්මය යන්න මෙතෙක් ලැබී ඇති පුරාණ ඊජිප්තු නශ්ටාවශේෂ සහ නන්විධ මූලාශ්‍රයන්ට  අනුව පෙනී යයි. ඔවුන්ගේ ආගම විසින් පෙන්වා දෙනු ලැබූ එම මුඛ්‍ය අභිශ්ටාර්ථය සපුරාගනු වස් භාවිත කරන ලද තාක්ෂණයේ අග්‍ර ඵලය ලෙස අදටත් නිරුපද්‍රිතව පවතින මමි හෙවත් සුරක්ෂිත කරන ලද මෘත දේහ හඳුනාගත හැකිය.

මියගිය පුද්ගලයෙකුගේ ශරීරයේ අනෙකුත් පද්ධති ඉවත් කර ඉන්ද්‍රයන් ආදියද ඉවත් කරන මුත්, හෘදය එලෙසින්ම තිබෙන්නට ඉඩ හරී. එමගින් මිසර වැසියා අදහස් කළේ “මළවුන්ගේ පොතේ” දැක්වෙන පරිදි ඔසිරිස් දෙවියන් ඉදිරියේ තරාදියක බහා හදවත කිරා බැලීමේ අවස්ථාව සඳහා හදවතේ ඇති අවශ්‍යතාවයයි. මෙය මීට පූර්වයේ ලිපියක විස්තර කරන ලදී. මිසර වැසියාගේ විශ්වාසයේ පරිදි, ශරීරාංග තුළින් ආත්මයේ අමරණීයත්වය ලබා දෙනුයේ එම පුද්ගලයා ජීවත්ව සිටින කල සිදු කරනු ලැබූ වැරදි, පවු, පැවසූ බොරු ආදිය හේතුවෙන් ඔහු සදාකාලික ජීවිතය කරා නොව අපාගත වීම කරා යොමු කරවන බැවිනි.

මමිය ඔතනු ලබන ලිනන් රෙදි පටි අතරට එම පුද්ගලයා විසින් භාවිත කරනු ලැබූ ආයුධ ආදී දේ සහ අවමංගල්‍ය භාණ්ඩ රැඳවීම විශේෂිත ලක්ෂණයකි. මින් අදහසු කෙරුණේ මරණින් මතු ඒවා භාවිතය සඳහා බලය ලබා දීමයි. නමුත් එය සිදු කරනු ලබන්නේ නැම්මක් සහිත ආයුධයකින් මමියේ මුඛය ස්පර්ශ කර කථනය ප්‍රකෘතිමත් කළ පසුවය. මේ අනුව ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව මරණින් මතුවද, ජීවත් වුණු කාලයේ සිදු කරනු ලැබූ සියලු ක්‍රියාකාරීත්වයන් සඳහා අවකාශය ලැබෙන්නේය යන විශ්වාසය මත කටයුතු කළ ආකාරය පෙනී යයි.

මීළඟ ලිපියෙන් ශරීරය, ආත්මය සහ සෙවනැල්ල පිළිබඳ සංකල්පය බලාපොරොත්තු වන්න.

 

ඊජිප්තු ශිෂ්ටාචාරය 5………… පිරමීඩ සහ දේවස්ථාන

පළමු ලිපිය මෙතනින් ගන්න.

දෙවන ලිපිය මෙතනින් ගන්න.

තෙවන ලිපිය මෙතනින් ගන්න.

සිව්වන ලිපිය මෙතනින් ගන්න.

මස්ටාබාවල ඉදිරි විකාසනයක් ලෙස පසුකාලීනව පිරමීඩ දක්වා සොහොන් ගෙවල් වර්ධනය විය. පෙර ලිපියේ සඳහන් කරන ලද මස්ටාබාවේ පැවති එක ස්ථරයට, නැතිනම් එක පඩියට, ඉහළට යන විට ක්‍රම ක්‍රමයෙන් කුඩා වන පරිදි ආයත ඝනකාකාර කොටස් එක් කිරීමෙන් මෙලෙස පඩි සහිත පිරමිඩ නිර්මාණය කෙරුණි. මින් පෙනී යන වැදගත්ම සාධකය වන්නේ මරණින් මතු ලෝකය සැපවත් කරගැන්ම උදෙසා මිසර කුලීන ජනයා විශාල ලෙස ධනය, ශ්‍රමය, කාලය වැය කර අග්‍රගන්‍ය සොහොන් ගෙවල් නිර්මාණය කළ අයුරුයි. ස්මාරක සොහොන් කොත් හෙවත් මහා පිරමීඩ පාරාවෝ රජවරුන් විසින් ඉදි කරන ලද්දේ ක්‍රි.පූ. 2600-2200 අතර සමයේදීය. නයිල් නදියේ බටහිර ඉව්රේ අඩි 33 සිට 450 දක්වා උසකින් යුත් පිරමීඩ 90ක පහණ ප්‍රමාණයක් ඔවුන් විසින් ඉදි කෙරුණි. ප්‍රථම “මහල් පිරමීඩය” ඉදි කෙරුණේ “සක්කාරාවේ ජෝසර් රජු” විසිනි. මෙම මහල් පිරමීඩයේ පඩි සහිත කොටස් ආයතාකාර වැලි ගලින් පිරවෙන පරිදි පැති හතරකින් යුත් පිරමිඩ බිහි වූයේ මින් පසුවයි.

පිරමිඩ තැනීමට අවශ්‍ය වැලි ගල් වෙනම ප්‍රදේශයක කපා ඒවා නයිල් ගංගාව ඔස්සේ ප්‍රවාහනය කර ඉතා විශාල වෙහෙසක් දරා වහලුන්ගේ ශ්‍රමය ලබාගෙන වසර ගණනක් පුරා මෙම රජවරු පිරමීඩ ඉදිකර ඇත්තේ මරණින් මතු ලෝකයේ සැපත ලබා ගැනීම සඳහායි. මෙහිදී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ අධික බරක් ඇති පාෂාණ ප්‍රවාහනය සඳහා ජල මාර්ග භාවිතය තුළින් පිළිබිඹු වන තත්කාලීන ඊජිප්තු සමාජය සතු වූ තාක්ෂණයයි. එසේම මේවා හුදු මහජනයාගේ අවශ්‍යතා පිණිස නොව, පාලකයින්ගේ මුඛ්‍ය අභිමතාර්ථ සාක්ෂාත් කරගනු වස් මහජන ශ්‍රමය බලෙන් ලබා ගනිමින් කළ නිර්මාණද වේ. පිරමීඩ හා සම්බන්ධ මිසර කලාවද ගොඩනැගී ඇත්තේ සාධක දෙකක් පදනම්කර ගනිමිනි.

  • රජවරුන්ගේ තෙදබල පෙන්විම

  • පිරමීඩ තුළ තැන්පත් කළ දළවුන්ගේ ආත්ම ආරක්ෂා කිරීම

දැනට සොයාගෙන ඇති ධනයෙන් ආඩ්‍යතම වු පිරමීඩය වන්නේ “ටුටන්කාමන්” රජුගේ පිරමීඩයයි. එහි කුටි තුළ රජු විසින් භාවිත කරන ලද, එදිනෙදා ජීවිතයේ ප්‍රයෝජනය උදෙසා ගන්නා ගන්නා සියලුම ද්‍රව්‍ය ගබඩා කර තිබේ. මෙම පිරමීඩයන්හි වටිනා දෑ සියල්ලක්ම පාහේ තැන්පත් කර ඇත්තේ පිරමීඩයේ පහළට වන්නටයි. එසේම ව්‍යාජ සොහොන් ගැබ් ආදිය හා පටු උමං මං මෙම පිරමීඩ තුළින් හමුවේ. එසේම මරණින් මතු දිවියේ අවශ්‍යතා උදෙසා රැස් කර තැබූ සියලු දේ සහ මමිය එලෙසම ආරක්ෂා කර ගැනීම සඳහා පාරාවෝ වරු විශේෂ උනන්දුවක් ගෙන ඇත. මෙයට තවත් එක් නිදර්ශනයක් වන්නේ පිරමීඩයට පිවිසෙන සැබෑ මාර්ගය සඟවා ඉදිකිරීමත්, ව්‍යාජ මගක් වෙනම ඉදිකර තිබීමත්ය.

තවද මියගිය පුද්ගලයන්ගේ ආත්ම වෙනුවෙන් වූ ආගමික වතාවත් ඉටු කිරීමට ඉදි කරන ලද දේවස්ථානයන්ට අනුවද පෙනී යන්නේ මරණින් මතු ලෝකය සාරථක කරගනු වස් ඔවුන් විසින් කරනු ලැබූ චාරිත්‍ර පිළිබඳ සාධකයි. මෙයට අමතරව “අබුසිම්බල් දේවස්ථානය”, “කාර්නැක් දෙව්මැදුර” ආදියද නයිල් නිම්න ශිෂ්ටාචාරයෙන් ශේෂ වී ඇති සුවිශේෂී වූ නිර්මාණයන්ය. මේවායෙහි දක්නට ලැබෙන විශේෂ කරුණක් වන්නේ අති පුතාපවත් මානව රූප නෙළා ඒ කෙරෙහි මතු කරන ලද ගාම්භීරත්වයයි. II රැම්සේස් රජුගේ ප්‍රතිමා මෙයට උදාහරණ ලෙස සඳහන් කළ හැකිය. රාජ්‍යත්වය උදෙසා මෙම රජවරුන් දේවත්වය ආරෝපණය කරගත් ආකාරය මේවායින් පෙනී යයි. මේ අනුව කිව හැකි වන්නේ මිසර රජවරු සිය මරණින් මතු දිවිය සරුසාර කරගනු වස් ඔවුන්ගේ සමකාලීන මතිමතාන්නරයන්ට අනුව විශාල ලෙස කැපවී මහා පරිමාණ නිර්මාණ ඉදි කළ අයුරුයි. මස්ටාබා වල සිට ‘කුෆු’, ‘කැෆ්රේ’ ආදී මහා පිරමීඩ දක්වා මරණින් මතු වාසය කරන් සොහොන් ගෙවල්වල වර්ධන ආස්ථාව මේ සඳහා මනා නිදර්ශනයකි.

මිසර රදලයින්ගේ ප්‍රධානතම අභිලාසය වූයේද මෙලෙස, තමන් මරණින් මතු ලබා ගන්නා සදාක්ලික පැවැත්ම උදෙසා හැකි උපරිම සම්පත් ප්‍රමාණයක් ඉතිරි කිරිම සහ ජීවිතය ඉතා ධාර්මිකව පවත්වාගෙන යාමෙන් මතු සමෘධිය ලබා ගැනීම බව මේ අනුව පෙනී යයි. අවසන් වශයෙන් සඳහන් කළ යුත්නේ මිසර පිරමීඩ නිධන් සොරුන්ගේ සහ පුරා වස්තු එකතු කරන්නන්ගේ දැඩි බලපෑමට ලක්වීම මත් ඒවායේ තිබූ වටිනා සම්පත් අස්ථානගතවී හෝ මංකොල්ලයට ලක්වී තිබුණු බවත්, අධ්‍යතනයේ වැඩිපුරම සාධක හමුවූ ටුටන්කාමන් රජුගේ සුසානය නිධන් සොරුන්ගෙන් ආරක්ෂා වී ආරක්ෂිත ස්ථානයක ස්ථානගත වී පැවති බවත්ය.

පසු ලිපියෙන් මමි සැකසීම බලාපොරොත්තු වන්න.

 
 
%d bloggers like this: