RSS

කැටපත් පවුරේ කවි ලියූවෝ කවරහුද – කවර සමයෙකද ?

22 Jun
කැටපත් පවුරේ කවි ලියූවෝ කවරහුද – කවර සමයෙකද ?

කැටපත් පවුරේ රචිත කුරුටු ගී අධ්‍යයනයෙන් එවක සමාජ ආර්ථික සංස්කෘතික ඉතිහාසය කෙබඳු වීදැයි දැන ගැනීමට තොරතුරු රැසක් ලැබේ.

“බුදල් මි සියොවැ ආමි සිහි ගිරි බලීමි බැලු බැලු බොහො ජනා ගී ලියුයෙන් නොලිමි”

එම කවියට අනුව බුදල් නම් වන තැනැත්තා සිහිගිරි බැලීමට පැමිණ ඇත්තේ සමූහ වශයෙනි. සේනම්, අද සේම විනෝද චාරිකා යාමේ සම්ප්‍රදායක් එදා පැවතියේද යන පැනය මතුවේ. එමතුද නොව එම සමූහ වශයෙන් පැමිණි පිරිස් සීගිරි කැටපත් පවුරේ කර ඇත්තේ කුමක්ද? බැලු බැලූ අත බොහෝ ජනයා ගී ලියමින් සිට ඇත. එසේනම් ලොව පැරණිම සමරු සටහන් ඵලකය වන්නේ සීගිරි කැටපත් පවුර නොවේදැයි අදහසක් ඇතිවේ. එසේ හැම දනාම ගී ලියූවෙන් බුදල් නම් වන ලියුම්කරු කියනා ලෙස ඔහු නොලියා ගියේද? ඔහු කියනා ලෙස ඔහු නොලීවේනම් අප අද ඉහත කුරුටු කව කියවන්නේ නැත. බුදල්ද ලියා ගියා විනා නොලියා නොගියේය.

Sigiriya_mirror_wall_07

සීගිරි කුරුටු ගී කැටපත් පවුරේ සටහන් වූ අවධියේ සමාජයේ සාක්ෂරතාව කෙබඳු වීද යන්න සමකාලීන සමාජය පිළිබඳව විමසන විට සාකච්ඡාවට ලක් කළ යුත්තකි. බැලු බැලූ අත බොහෝ දෙනා ගී ලියමින් සිටි බව බුදල්ද පවසයි. ඊට අමතරව තත්කාලීන සමාජයේ සාක්ෂරතාව පිළිබඳව කුරුටු ගී ලියූ අයගේ නම් ගම්ද ඒ සමග ලියා තැබීමෙන් අනාවරණය කරගත හැකිය. ගී ලියූවන් අතරේ මතු නොව සීගිරි සිතුවම් බැලීමටද මෙසමයේ විවිධ තරාතිරමේ පිරිස් ආ බව කවි කලින් හෙළි වේ.

උදා :-
එළෙනෙලකුලි පෙදෙසේ මැටි
පැජින් පස්වැසි මෙයල් බත
අග්බොයි හිමි
අඹගණවතු බුද්
සෙන්පෙවිජින්
රජමැදුරෙහි ආරක්ෂක පොයල්
පොත් තබන වෙණඳතිස‍
පලාවතුවෙල අරම තැනු සඟපල්
හෙරණි
මිහිදල් ඈපානන්
මිතල්
දළසිව
විජූර්
බුදල්
සෙන්රජගෙයි වැසි කළි

ඉහත නාම හා තනතුරු සාධක අනුව සීගිරි ගී ලියූ ජනයා අතර නොයෙක් තරාතිරමේ වූවෝ සිටි බව පැහැදිලි වනවා සේම තත්කාලීන සමාජ පුරාවිද්‍යාව විවරණය කිරීම සඳහා උක්ත සාධක අගනා නිදර්ශන සපයයි. නම පමණක් ලියා තැබීමෙන් ඔබ්බට ගොස් මේ ඇතැම් පුද්ගලයන් තමා සමාජය උදෙසා කළ යම් යම් විශේෂ කාර්යයන්, තමාගේ අධිකාරී තානාන්තර, ගිහිද ශ්‍රමණද යන වග ආදිය සඳහන් කර තිබීම තුළින් සමාජයේ විවිධ මට්ටම් වල පිරිස් සීගිරි සිතුවම් නැරධීමට අතීතයේ බෙයඳ කරා ඇදුණු බව පැහැදිලි වේ. විවිධ ප්‍රාදේශීය පාලකයන්, රජගෙදර නිලධාරීන්, විවිධ රැකියාවන්හි නිරතවූවන්, පැවිද්දන්, මෙහෙණිවරුන්, වෙළෙන්දන් ආදීහු ඒ අනුව කුරුටු ගී මෙහි ලියූ බවට සාධක ලැබේ. එසේම මෙමගින් තත්කාලීන සමාජ ස්ථරායනයන් හඳුනාගත හැකි වීම කේන්ද්‍රීය සාධකයකි.

අක්ෂර කාලනීර්ණය අනුව ක්‍රි.ව. 8, 9, 10 සියවස් වලදී සීගිරි ගී ලියවුණු බව පෙනී යයි. කුඩා නිසඳැස් මෙන්ම සිව්පද ආකෘතිය අත්හදා බැලූ අවස්ථාද කැටපත් පවුරෙන් ලැබේ.

“කොමුල් අමඩ් ලෙඩ් ලින සී
එ බොන්ද මියුර් යහ බැසී
එ කපල්දල වන් දිගැසී
මන ජල්වයි සිත් නො මුසී”

Sigiriya-Frescoes-Mirror-wall.

සීගිරි අප්සරාවන්ගේ රූපශ්‍රීය විග්‍රහ කෙරෙන්නක් වූ මේ කවියෙහි ගම්‍යාර්ථය සැලකීමේදී තත්කාලීන කෘෂි දිවිය පිළීබඳවද සැඟවුණු සාධක ලැබේ. කොමඩු කැකිරි ආදි වූ තමා දන්නා තමාට හුරු පුරුදු බෝග ඇසුරෙන කවියා සීගිරි අපසරාවන්ගේ රූ වනා ඇත. සිව්පද ආකෘතිය පිළීබඳ ඉඟි ලැබීම තුළින් සිංහල භාෂාවේ දියුණුව පිළිබඳ විග්‍රහ කළ හැක්කේ යම් සේද, තත්කාලීන සමාජය අධ්‍යයනය කිරීමේදී මෙහි ඇති යෙදුම් තුළින් ජීවන රටාව අධ්‍යයනයටද එසේම මෙමගින් සාධක ලැබේ.

සෙනරත් පරණවිතාන :-
“නොයෙකුත් තරාතිරමේ මිනිසුන් රැසක් විසින් ලියනු ලදුව මේ පද්‍ය සමාන සාහිත්‍යයක තත්වයක් ගෙනහැර පාන්නේ නැත….. “වචන නැමති අමෘත්තය වගුරුවන මිනිස්සු, මැණික් වගුරුවන රෝහණයද, මුතු වගුරුවන සාගරයද, සිංහලධවීපයෙහි මිස අන් කොතැනක වෙත්ද…. ” ලක්දිවට ප්‍රශංසා කරමින් ලියවුණු මෙම විශිෂ්ට පද්‍යයෙහි ප්‍රථම පාදයට සීගිරියෙහි කැඩපත් පවුරෙහි කුරුටු ගා ඇති පද්‍ය අතුරෙන් බොහොමයක් දෙස් දෙයි”

පුරා අක්ෂර විද්‍යාඥයන්ගේ මතය වන්නේ සීගිරි ගී ක්‍රි.ව. 8-10 සියවස් අතර කාලයකට අයත් බවයි. (මෙසමයටම අයත් වන සීගිරි අප්සරා රූ වලට සමාන ටෙරාකොටා රූප සීගිරි කැණීම් වලින් ලැබී තිබීම එසමයේ මෙම ප්‍රදේශය සංචාරක පුරයක් ලෙස කේන්ද්‍රීය වැදගත්කමක් දිනා තිබූ බවට සාධක සපයයි. මෙ මැටි රූප සීගිරි කෞතුකාගාරයේද දක්නට ලැබේ.) උක්ත සමයේ පැවති භාෂාවන්, අත්දැකීම් පෝෂණයට ඉවහල් වූ සමාජ සාරධර්ම හා ජන ජීවිතයේ වගතුග විමසා බැලීම සීගිරි ගී රසවින්දනයට බෙහෙවින් ඉවහල් වේ.

FB_IMG_1591272889262

ක්‍රි.ව. 8 වන සිටවස ඇරඹෙන්නේ සිංහල භාෂාවේ විප්ලවයකට පා තබමිනි. 7 වන සියවස වන විට ලංකාවට පල්ලව ග්‍රන්ථාක්ෂර ආභාසය ලැබී තිබීම, සිංහල අක්ෂර රවුම් හැඩ ගනිමින් වර්ධනය වීම මෙයට මූලබීජ සපයන සාධකයෝ වෙති. පෙර ආසන්නතම ශතවර්ශ වල සෙල්ලිපි වල භාෂා ලක්ෂණත්, මෙම සියවස් තුනෙහි භාෂා ලක්ෂණත් (8,9,10) අතර යම් පරතරයක් පවතී. ක්‍රි.ව. 6,7 සියවස් වල භාෂාව සීගිරි කලා රසිකත්වයට නොගැලපෙන බව පෙනෙන්නට ඇත. එය භාෂා විකාශනයේ මධ්‍යතන අවධියයි.

උදා:-

වෙස්සගිරි පර්වත ලිපියේ භාෂාවේ විභක්ති ව්‍යාකරණ වර්ධනය වන අයුරු පැහැදිලි වේ.
පස් වන කාෂ්‍යප රජුගේ ලිපි වල 8-10 සියවස් වල භාෂාවේ ව්‍යාකරණ වර්ධනය පෙනී යයි.

නූතනයේ පවතින ව්‍යෘකරණ රැසක් භාවිතයට එක් වන්නේ මෙම යුගයේ වන අතර ඊට පෙර අවධි වල දිගු වැකි යෙදූ දිගු ලිපි හඳුනා ගැනීම අපහසුය. මෙසමයේ සිංහල භාෂාවට එක් වන නව අංග ලෙස
ඇ කාරය භාෂාවට එක්වීම
හල් අකුරු බහුලව භාවිතය දැක්විය හැකිය.

13 වන සියවස තෙක් නොනැසී පැවති හෙළ අටුවා පොත්, කාලිදාසගේ මේඝ දූතය, ඉන්දියාවේ හිතෝපදේශ නම් සංස්කෘත ග්‍රන්ථ ආදිය සීගිරි කවියා කියවා තිබෙන්නට ඇතැයි සැලකිය හැකි වන්නේ සීගිරි නැරඹීමට ගොස් කැටපත් පවුරේ ගී ලියූ කවීන් බොහොමයකගේ කවි තුළ එම ග්‍රන්ථ වලසෙවනැලි ඇඳී ඇති හෙයිනි.

sigiriya-frescos-in-sri-lanka

සීගිරි කුරුටු ගී වලින් හෙළීවන අසල්වැසි රටවල් සටග සබඳතා පැවති බවට ඇති සාධක

👉 දඹදිව සිට පැමිණියෙකු හා සීගිරි ලඳක අතර ඇතිවන සංවාදය දැක්වෙන කවිය 293
👉 පාඬි රජුන් දාශ අධිකාරී තක්ක මාඩම්බියා යන කවියා 652
👉 චීන රටේ පට පිළීයෙන් සැරසී ආ ගැහැණියක ගැන 399
👉 කාලිදාසගේ මේඨදූතය ගැන 134

මෙසමයේ කවීන් සංස්කෘත ගී රීතීන් නොව, එකල පැවති ස්වාධීන කාව්‍ය රීතීන් අනුගමනය කර ඇති බව විචාරක මතයයි.

“විජු රක්බෝ පැවිජ්ජන් ලී මේ ගී
නෙලෙන් වී පිරිපත
නළල කෙහෙ පිහිටි හුන
මලදම ගැනැ විසිර
බියපත් වැ අප බෙයඳ නැගියෙ”

සිංහල භාෂා හුරුව ගන්නා පෙර කවිය වජ්ර අග්ගබෝධී නම් පැවිදි අයෙකු විසින් ලියන ලද්දකි. බෙයඳ නැගීයේ බියෙන් බව කියන ඔහු තව දුරටත් පවසන්නේ සුළං හේතුවෙන් පැළඳ සිටි මල් මාලය, කෙස් රොද පවා විසිර ගිය බවයි. සමකාලීන සමාජ පුරාවිද්‍යාව අධ්‍යයනයේදී වැදගත් වන්නේ පැවිදි පිරිස්වල ස්වරූපය මතු නොව ඔවුන් පවා සීගිරි සිතුවම් නැරධීමට එහි ගිය බව මේවායින් ගම්‍ය වන බැවිණි.

සංස්කෘත භාෂා රීතීන් වෙනුවට මෙසමයේ සරළ බස් රටාවත් හැසිරවූ බවට පහත සාධක දැක්විය හැකිය.

වචනය —– යෙදුම
සහෘද ➡️ ළඇත්තන්
මනෝභාව ➡️ සිත්විඳි
චිත්තවෘත්ති ➡️ සිත්වැටි

“නිල් කට්රොල් මලෙකැ ඇවුණු වැට්කොල් මල සෙයි
සැන්දැගැ සිහි වෙන්නෙයි මහනෙල් වන හයි රන්වන” 334

මහනෙල් පැහැත්තිය සමග හුන් රන්වන් පැහැත්තිය නිල් කටරොලු මලක ඇවුණූ වැටකොළු මලක් මෙන් සන්ධ්‍යාව කෙළවරදී මතකයට නගී.

“තා නුයුන මහනෙල බෙයන්දහි සිටි හෙළිල්ලම්බි 
දසන් මිණිතරින් බැණැලන් තම සෙමෙන්” 52

බෙයදෙහි සිටි රූමත් කාන්තාව, තොපගේ ඇස් මහනෙල්ය. දත් නැමති මැණීක් කාන්තියෙන් ආලෝකමත් වූ හදවතද සෙමින් ප්‍රකාශ කරන්න.

“දකුත් නැමි සිත ගත නෙත ගත කත
ළ නොපෙරෙ ජල ගත දැකැ ම නොගත
සැබැවැ රජක් නොවී ගත තද ගල ගත
බල මග යන්නනො යති එතිය නුමුත” 51

කාන්තාව දකුත්ම මගේ සිත ගත නෙත, ඈ වෙතටම නැමී ගියේය. මා දැක දැන් ඇගේ හදවත නොදැල්වේ. රජෙකු නොගත් නමුත් තද ගල ගත් බව සත්‍යයකි. මග යන්නෙනෝ එක දිගට යති එති.

ඇතැම් තැනක , මුක්තක නම් ගී විරිතින් කවීන් සිය මනෝභාවයන් පල කර ඇති ආකාරය හඳුනා ගත හැකි බව විචාරක මතයයි. තවද පෙර නිදර්ශනයක දැක්වූ ලෙස සිව්පද ආකෘතිය යොදා ගත් අවස්ථාද හමු වේ. තවද සමුද්‍රඝෝෂ විරිතට සමාන විරිත් යොදා ගත් අවස්ථෘද සීගිරි ගී අතර වේ.
කාන්තාව හැඳින්වීමේදී අසද, මැසි, නුගි,මින්දිබි ලෙස දැක්වූ අවස්ථථාවේ
අසද යන්න කාන්තා සිතේ පිරිමින් කෙරෙහි ඇති අශ්‍රද්ධාව, කෝපය දැක්වීමේදී ද මින්දිබි යන්න අසෙනෙහස දැක්වීමේදීද යෙදූ බව විචාරක මතයයි. එලෙස සමකාලීන සමාජයේ භෘෂා භාවිතය පිළිමඳ ඉතා අගනා නිදර්ශන රැසක් සීගිරි ගී අතරින් අධ්‍යයනය කළ හැකිය.
දැනට ඇති පැරණිම නිර්මාණාත්මක නාව්‍ය ග්‍රන්ථ ලෙස සැලකෙන,
සසදාවත
මුවදෙව්දාවත
කවි සිළුමිණ
ආදියේ ඇති සංස්කෘත ආභාසයෙන් සීගිරි කවියා මිදී ඇති බව පෙනී යයි.

——————

තිලිනි ෂැල්වින් Thilini Shalwyn

 

Tags:

2 responses to “කැටපත් පවුරේ කවි ලියූවෝ කවරහුද – කවර සමයෙකද ?

  1. Drackey Junior

    June 23, 2020 at 7:28 am

    ගොඩක් ස්තූතියි. වඩා හොඳයි විස්තරාත්මක ලිපි මාලාවක් ලිව්වොත්, සම්පූර්ණ වුණාට පස්සෙ පොතක් ගහන්න බලාගෙන.

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

 
%d bloggers like this: