RSS

සාම්ප්‍රදායික පැදුරු නිශ්පාදනයේ නියුතු කාර්මිකයන්ගේ නිශ්පාදන හා බැඳි නස්පර්ශනිය උරුමය

06 Feb

ඓතිහාසික සන්ධර්භය

Mat Weavers - Ceylon (Sri Lanka) c1880

සම්ප්‍රදායික කර්මාන්ත ලෙසින් හඳුන්වනු ලබන්නේ අනාදිමත් කලක සිට පැවතෙන පරම්පරානුගතව පවත්වාගනු ලැබූ ගෘහ කර්මාන්තයි. මේවා හුදෙක් පදනම් වූයේ මිනිසා ගමන් වාසය කළ පරිසරයෙන් පහසුවෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිත කරමින් තම දෛනික අවශ්‍යතා සපුරාගනු වස් තමන් විසින්ම කළ නිර්මාණයන් මතයි. අප අද මේවා “නිර්මාණ” ලෙස නම් කළද අනිත ගැමි ප්‍රජාවට ඒවා තම දෛනික දිවියේ එක් අංගයක් පමණක් විය. “පැදුර” සැලකූ කල සරල ගැමි දිවියේ ඒවා ආවශ්‍යයික අංගයක් පමණක් වූ බව පෙනේ. මෙය විශේෂයෙන්ම ජන පරිභෝජනයට එක් වන්නට ඇත්තේ කෘෂික දිවියක් ඇරඹීමෙන් පසු මිනිසාගේ පෙර පැවති සරල අවශ්‍යතා ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ වන්නට පටන්ගත් පසු විය හැකිය.

වගා බිමෙන් නෙළා ගත් ධාන්‍ය වියලීම නිදා ගැනිම, වැනි කාර්යයන් සඳහා මුල් සමයේ සත්ව සම් භාවිතයට ගන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. නමුත් දඩයම මුල් කරගත් ජීවන රටාවෙන් දුරස් වන තරමට කෘෂිකාර්මික බිම් පුළුල් කරමින් වඩාත් කාර්යක්ෂම කෘෂිකාර්මික පසුබිමක් සකසා ගන්නට වන් යුගයක පුළුල් වූ අවශ්‍යතා රැසකට විසඳුමක් ලෙස ඇසිරීමේ කටයුතු සඳහා සත්ව සම් වලට වඩා උපයෝගීතාවයෙන් වැඩි යමක් ඔවුනට අවශ්‍ය වන්නට ඇත. නිදර්ශනයක් ලෙස මැටි භාණ්ඩ නිශ්පාදනයේ මූලිකම අවස්ථdවේ හමුවන සාධක වලදි විද්‍යමාන වන, ශාකමය අවශේෂ භාවිතයෙන් සකස් කළ කූඩයක ආධdරයෙන් මැටි බඳුන් නිශ්පාදනය සැලකිය හැක. එසේනම් ශාකමය ද්‍රව්‍ය භාවිතයෙන් වියමන් වලින් යුත් නිශ්පාදන කිරීමේ ක්‍රියාවලියේ ඉතිහාසය ඒ දක්වා අතිතයකට අයත් බව උපකල්පනය කළ හැක. මෙහිදී නිදර්ශන ලෙස මෙසපොතේමියාවෙන් වසර 4000-5000 පමණ කාලයකට පෙර තෘණ පැදුරු භාවිත කළ බවට ලැබෙන සාධක පෙන්වා දිය හැකිය (නාගොඩවිතාන, 2010, 254)

තවද අතිතයේ සිදුවූ ක්‍රියාකාරකම් වල මෙන්ම පරිකල්පනයන්හි පරිණාමීය ක්‍රියාවලීන් දෙස අවධානය යොමු කරන කල්හි මිනිසා සිය ආකල්ප වර්ධනය කර ගත්තේ එදිනෙදා පරිසරය හා ගැටීමෙන් ලද අත්දැකීම් අනුසාරයෙන් කාලානුරූපව සිදුවූ වෙනස්කම් ගණනාවක් පදනම්ව බව පිළිගැනේ. උක්ත සාධක මත සිට සලකා බලන කල්හි පැදුරු භාවිතයේ මූලාරම්භක අවස්ථාවද එලෙස සනිටුහන් වන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. පැදුරේ මූලිකම අවස්ථාව බිම හෝ ගල් ගුහා තුළ අතුල කොළ අතු තෘණ වර්ග පමණක්ම විය හැකිය. කාලයත් සමග එක්වූ වියමන් මත අද වන විට ලංකාව ඉන්දියාව මාලදිවයින චිනය ආදී රටවල විවිධ වියමන් වර්ග හඳුනා ගැනිමේ හැකියාව පවතින්නේ කාලයේත් අවකාශයේත් සිදුවු ගනුදෙණුව මතයි.

දම්පායා අටුවා ගැටපදය, සිඛවළඳ විනිස, සුමංගල විලාසිනිය, ධම්ම පදට්ඨ කතාව, ආදී මූලාශ්‍රයන්හි දැක්වෙන පරිදි පූජනීය උත්සව අවස්ථාවන්හි බිම එළා ඉඳගැනිමට පැදුරු භෘවිත කිරීම පිළීබඳව ලැබෙන සාධක (නාගොඩවිතාන, 2010, 254) මුලාශ්‍රමය වශයෙන් මෙහිදි විශේෂත්වයක් දරයි.

වත්මන මෙන් විවිධ ගැට යොදා රටා යොදා පැහැ යොදා පැදුරු වියමන් නොතිබුණා වූ උක්ත සමයේ ආරම්භක එකි සරළ තාක්ෂණය පසුව සමාජ අවශ්‍යතා මතම සංකීර්ණ වන්නට ඇත. නිදර්ශනයක් ලෙස ලංකාව සැලකිමේදී මෙහි පැවති කුල ධූරාවලිය අනුව සමාජ කොට්ඨාශයක් පැදුරු ආශ්‍රිතව අනුයුක්ත වූ ප්‍රධාන රැකියා මාර්ගයක් මධ්‍යකාලින යුගයේ හඳුනා ගත හැකිය. සමාජයේ පහත්ම කුලයේ සිට උසස්ම වූ රජු දක්වා වූ සියලු කුලයන්හි පිරිස් පැදුරු උපයෝගී කරගත් අතර විවිධ රටා මෝස්තර එක්කරගනිමින් අලංකාරයෙන් අනූන පැදුරු විවීම සඳහා සුවිසල් ප්‍රාගුන්‍යතාවක් ශිල්පින්ට තිබුණු බව පෙනී යයි. මේ පිළිබඳව සැලකීමේදී ඍජුවම අවධානය යොමු වන්නේ පැදුරු කර්මාන්තය හා බැඳි ස්පර්ෂණීය මෙන්ම අස්පර්ෂණීය උරුමය කෙරෙහි වන අතර අප මෙහිදී බොහෝ දුරට අනාගතය සඳහා මෙම උරුමය රැක ගැනීම කෙරෙහි පදනම සකස් කිරිම කෙරෙහි අවධාරණය කළ යුතුය. කුමාරස්වාමි දක්වන පරිදි කින්නරයෝ නම් වූ තත්කාලිනව පැදුරු වියමනේ යෙදුණු සාම්ප්‍රදායික පිරිස් (සෝමරත්න, 2010, 21) අද වන විට සමාජ මට්ටමින් කවරාකාර පාර්ශවයක් නිරුපණය කරන්නේද යන්න අධ්‍යයනයත් මෙහිදි විශේෂ වැදගත්කමක් ගනී. මන්ද අතිතයේ සිට එම උරුමය රැකී ආවේ ඔවුන්ගෙන් වන හෙයිනි.

පැදුරු ආශ්‍රිත වර්ගිකරණයන්

පැදුරු කර්මාන්තය ආශ්‍රිතව විවිධ වර්ගීකරණයන් ගෙනහැර දැක්විය හැකිය. ඒවා කිහිපයක් සංක්ෂිප්ත වශයෙන් පහත පරිදි වේ.

නිශ්පාදන මාධ්‍ය අනුව

  • පන්

  • ගල්ලැහැ

  • හණ

  • හම්බු

  • හීන්පන්

  • එළුපන්

  • බොරුපන්

  • තුන්හිරියා

  • හැවන්

  • නියඳ

  • කෝරා

  • තල

  • නාවා පට්ටා

දුම්බර කළාල වර්ග

  • පන්නම් කළාල – ඉතා චාම් පැදුර

  • කුරුළු කලාල – කුරුළු රූප වලින් සමන්විත පැදුර

  • වැඩ කළාල – විවිධ මෝස්තර යෙදූ පැදුර

පැදුරු සඳහා උපයුක්ත වන රටා මෝස්තර

මල්රටා සහිත පැදුරු. මේවා “රටා පැදුරු” නමින් හැඳින්වේ.

  • සමදරා මල් රටාව

  • අටපෙතිමල් රටාට

  • නෙළුම්මල් රටාව

  • මිරිස්මල් රටාව

  • නවම්මල් රටාව

මෝස්තර (සත්ව රූප)

  • හංස පූට්ටුව

  • මකුළුවා රටාව

  • නයිපෙන රටාව

  • මුව රටාව

මෝස්තර (ජ්‍යාමිතික)

  • වංගගිරිය

  • මහකෙලි රටාව

  • ලේන්සු රටාව

  • වෙල්ලවැහුම් රටාව

  • බදුලු රටාව

  • දියරැල්ල රටාව

  • පන්නම් කුර රටාව

  • මහලණු දඟේ රටාව

  • පනාලෑලි රටාව

  • කතිර රටාව

(නාගොඩවිතාන, 2010, 257)

හණකෙඳි ආශ්‍රිත දුම්බර කළාල හා වෙනත් වියමන් සැලකීමේදී කින්නර කුලයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයම මධ්‍යම පළාතේ මහනුවර, මැණික්හින්න, හේනාවල ගම්මාන ආශ්‍රිතව මෙම කර්මාන්තයේ නියුක්තව පැවත එන බව සඳහන් කළ හැකිය. මේ ආශ්‍රිතව බැඳුණු රටා මෝස්තර සිරිස් විරිත් සම්ප්‍රදායක් වෙනමම පවතී.

දුම්බර කළාල සඳහා යොදන මෝස්තර

  • කොරොස් පෙත්ත

  • රත්වත්තේ අලංකාරය

  • තාරාවා

  • දෙපට ලණුව

  • තාරකා පෙත්ත

  • තුන්පට ලණුව

  • මල් ගහ

  • කුරුළු ගහ

  • නයි මෝස්තර

(නාගොඩවිතාන, 2010, 262)

පැදුරු සඳහා භාවිත අමුද්‍රව්‍යයන්ගෙන් වියමන් වන විවිධ ගෘහ පරිභෝජන අංග

  • මාගල්

  • කලාල

  • බිත්ති සැරසිලි

  • දොර ආවරණ (හණ)

  • ආණ

  • වට්ටි පෙට්ටි කූඩ ඇතුළු ගෘහ ආම්පන්න

12

පැදුරු ආශ්‍රිත කර්මාන්තය හා බැඳි අභිචාර හා විශ්වාස

වසර පුරා නැකැත් අනූව සිදු කෙරෙන විවිධ මංගල්‍ය කටයුතුත්, ඒවා නිර්ණය පිළිබඳව දේශීය වශයෙන් පවත්නා කන්ශස්ත්‍රය පිළිබඳ දැනුමත්, ඇදහිලි හා විශ්වාස මත බැඳි දේශීය අනන්‍යතාවනුත්, තාරකා ශාස්ත්‍රය මානව සමාජය කෙරෙහි එල්ල කරන්නාවූ සුභාසුභ බලපෑම් පිළිබඳ දැක්ම පිළිබඳවත් පැරණි ශිල්ප කලා කර්මාන්ත අධ්‍යයනයේදී විශේෂ අවධානය යොමු කරනුයේ යම් සේද පැදුරු නිර්මාණ කලාව හා බැඳි විශ්වාස පිළිබඳව සාකච්ඡා කිරිමටද තොරතුරු බොහෝ වෙති. පන් නෙළන්නට යාම, වියමන් රටා තුළ නිරූපිත සංකේත ආදිය ආකච්ඡා කිරීමේදී පාරම්පරිකව පවත්වාගත් තහංචි හා සිමා රැසක් හඳුනාගත හැකි අතර පන්නම් කවි තුළින් ගෙනහැර දැක්වෙන පදපේළිවලින් මේ බව මැනවින් විග්‍රහ කිරීමේ හැකියාව ලැබේ.

පන්නම් කතුරින් විදහා දැක්වෙන එක් තහංචියක් පහත පරිදි ගෙනහැර දැක්විය හැකිය.

“සත් මසකට ඇති දරුවා පිළිසිඳිලා
චිත්‍ර රුවින් ළමැදේ ගෝමර ඉසිලා
ගබ්සාවෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා”

(පුංචිමැණිකේ, 2013. 07. 08)

පැරණි සමාජයේ පැවති ඇතැම් විශ්වාස අදටත් භාවිතයේ පවතින අවස්ථා ඇත. ගැබිණියක් සම්බන්ධයෙන් සලකා බලන කල්හි කොට්ට උර මැසීම, බිත්තර කැඩීම වැනි දෑ ඇයට තහනම් වූ කාර්යයන් ලෙස අදටත් පිළිගැනිම නිදර්ශන දෙස දැක්විය හැකිය. ඉහත නිදර්ශනයේ දැක්වෙන්නේ පන් කපන්නට යාම ගැබිණියන්ට තහනම් වූ කාර්යයක් ලෙස දුටු පැරැන්නාගේ ආකල්පයයි. පන් කැපිම ගැබිණියක් ගබ්සා විමට හේතුවක් ලෙස ඔවුන් විශ්වාස කර ඇත. නමුත් වර්තමාන තත්වය විමර්ශනයේදී කිව යුතුතේ බොහොමයක් මෙම පාරම්පරික ශිල්පින් අද වන විට වෙළඳපලෙන් වර්ණ කරන ලද පන් ලබාගෙන සිය කර්මාන්තයේ නියුක්ත වන බවයි. සමාජ පරිණාමයේදී පැරණි තත්ව සේම කර්මාන්තය හා බැඳි සන්ධර්භයද යලි සැකසිය නොහැකි සේ වෙනසකට ලක් වී ඇති අයුරු මේ අනුව පෙනි යයි.

නියඳ පැදුරු තුළ යෙදෙන හංස රුව අතිතයේදී යොදන ලද්දේ පුරුෂ පාර්ශවය විසිනි. හංසයා පූජනියත්වයෙහි ලා සැලකිම එයට ප්‍රධාන හේතුව විය. නමුත් අද වන විට සමාජමය බලපැම් මත මෙකි තත්වය ගිලිහි ගොස් ඇති සේම පාරම්පරික ශිල්පීහුද මෙහි විශේෂත්වයක් නොදකිති. පැරණි සම්ප්‍රදායන් අනාගතය උදෙසා සංරක්ෂණය කළ යුත්තේ යම් සේද ඒ සඳහා බලපවත්වන්නා වූ සීමාද රැසක් පවතින බව මේ අනුව විද්‍යමාන වේ. එහෙයින් පර්යේශනාත්මක මට්ටමින් මෙකී කාරණා ලිඛිතව ආරක්ෂා කළ හැකි වුවද සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින සමාජ රටාව තුළ පාරම්පරික ශිල්පින්ගෙන්ද ගිලිහෙන ඇතැම් භාවිතයන් බලෙන් ආරක්ෂා කරවනු වස් ඔවුන් මත පැටවිම යුකුති යුක්තදැයි නැවත විමර්ශනය කිරීමේ වැදගත්කම මෙහිදී මතු කළ යුතුය.

පැදුරු කර්මාන්තයට අනුබද්ධ නස්පර්ශනීය උරුමය ආරක්ෂා කර පොදු ජනයා උදෙසා ප්‍රකාශනය කිරීමේ නෛතික පදනම

පැදුරු කර්මාන්තය හා බැඳි දේශීය දැණුම නැසී යාමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග තිබේද, එකී දේශීය දැනුම වාණිජ වාසි පමණක්ම බලාපොරොත්තුවෙන් අපභාවිතය වැලැක්විම සඳහා ක්‍රියාමාර්ග කවරේද යන අංශ අවධාරණය වැදගත් වේ. එම දේශීය දැනුම ලේඛනගත කොට ආරක්ෂා කිරීම තුළ තත් ලෙසම එහි ජීවමාන ස්වරූපය ආරක්ෂා වේද යන්න මෙහිදි විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණකි. පන්, හැවන්, නියඳ, ගල්ලැහැ, නාවා පට්ටා, තල කොළ, තුන්හිරියා ආදී වූ වෙනස් වෙනස් අමුද්‍රව්‍ය භාවිතය තුළ පවතින තාක්ෂණයේ විවිධතා ලිඛිතව සංරක්ෂණය කළ හැකිද යන්න ගැටළුවකි. එසේම උක්ත සාකච්ඡාවට ලක්වූ පන් නෙළීම, නියඳ පන් ගල්ලැහැ පොල්කොළ ආදි අමුද්‍රව්‍ය නිර්මාණයට සුදුසු පරිදි සකස් කර ගැනීම, සායම් පෙවිම, වියමන් යෙදීම, ගැට යෙදීම වැනි විවිධ අංශ එකිනෙක හා තදින් බැඳී බවතින බවත්, ඒවා එකිනෙකින් ව්‍යුක්තව ගෙන සාකච්ඡාවට ලක් කළ නොහැකි බවත් භූගෝලීය දර්ශක මත කේන්ද්‍රගත වූ දේශීය දැනුම එම කලාපීය ආවේණිකත්වයෙන් සුසංයුක්ත බවත් ඒවායෙහි වැදගත්කම තීරණය වන්නේ එම ආවේණිකාංග තුළින් බවත් අවධෘරණයට ගෙන සංරක්ෂණ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. එසේම ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් සිදුවන දේශීය දැණූම අපභාවිතය වැලැක්වීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව වත්මන් සමාජ ව්‍යූහය හමුවේ පවතින තීරණාත්මක දෙයකි (Gunawardena, 2013.08.27). චිනය වැනි රටවල ගෘහනිර්මාණ සංරක්ෂණ කාර්යය ඔවුන්ගේ සංස්කෘතියට සුදුසු පරිදි බටහිර ක්‍රමවේදයෙන් ව්‍යුක්තව සැකසි ඇත්තේ යම් සේද ලංකාවේ සෙසු අරුමයන්ට සේම පැදුරු ආශ්‍රිත ශිල්ප කලාව සංරක්ෂණය උදෙසාද පවතින දේශජ දැනුම සුරක්ෂිත කිරීමට අප රටට ගැලපෙන ආකාරයේ නීතියක් සකසා ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමේ කාලීන වැදගත්කම මේ වන විට ප්‍රබලව මතුවි ඇති අවශ්‍යතාවයකි.

දේශීය පැදුරු කර්මාන්තය හා බැඳි අනන්‍යතාව සුරක්ෂණයෙහිලා පුනරාගමනයක් සපයමින් ශිල්පීන් සහ නිශ්පාදන දේශීයත්වයට අනුකූලව යාවත්කාලින කරණයෙහි ලා සාම්ප්‍රදායික ශිල්පීන් වෙනුවෙන් පවත්වාගෙන යන ආයතනය වූ ජාතික ශිල්ප සභාවේ කාර්යභාරය.

ජාතික ශිල්ප සභාව, දේශීය දැණූමේ සුවිසල් පරාසයක් නියෝජනය කරන්නා වූ පිරිසක් ආවරණය කරන්නා වූද, සාම්ප්‍රදායික කලා ශිල්පීන් සහ ඒ කෙරෙහි ආකර්ශනයක් සහිත දෙස් විදෙස් ප්‍රජාව සම්බන්ධ කරමින් ජාතික ආර්ථිකය උදෙසා අග්‍රගන්‍ය මෙහෙවරක් ඉටු කරන්නා වූද ආයතනයකි. එහෙයින් සම්ප්‍රදායික පැදුරු නිශ්පාදන කර්මාන්තයේ උරුමය ලිඛාතව හා ජීවමාන මට්ටමින් ක්‍රියාකාරී සංරක්ෂණයකට ලක් කරමින් අනාගතය උදෙසා පවත්වාගෙන යාමට මෙම ආයතනයෙන් ලබාගත හැකි මෙහෙය අති මහත් වනවා සේම එය අන්තර් රාජ්‍ය මට්ටම දක්වා ව්‍යාප්ත කළ හැකි අග්‍රගන්‍ය සේවාවක්ද වේ.

  • අද්‍යතනයේ දේශීයත්වයට මුල් තැන දීමේ ප්‍රවේශය මත දේශීය උරුමය නගාසිටුවීමේ පෙරටුගාමී ක්‍රියාකාරිත්වය අනුව යමින් සාම්ප්‍රදායික පන්, නියඳ, ගල්ලැහැ, හැවන්, තල ආදී වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් කෙරෙන පැදුරු ආශ්‍රිත ශිල්ප කෙරෙහිත්, දේශීය දැණූම අනුසාරයෙන් නිමවූ නිශ්පාදන පොදු වෙළඳපලට, දේශීය ජනයාට හඳුන්වා දීම සඳහාත් ආයතනික මට්ටමින්  මැදිහත්වීමෙන් කටයුතු සම්පාදනය කරීමේ හැකියාව.

  • සම්ප්‍රදායිකව මෙම ශිල්ප කර්මාන්තයන්හි නියැලෙන පාරම්පරික ශිල්පීන් සතුව දැනට ආරක්ෂා වී ඇති එකී ශිල්ප ක්ෂේත්‍ර හා බැඳි දැනුම ඔවුන්ගේ පරම්පරා තුළම හෝ එකී ශිල්ප කර්මාන්ත කෙරෙහි යොමු වීමට රුචිකත්වයක් දක්වන නවකයින් යටතේ තව දුරටත් ආරක්ෂා කරගැනීමට, සංරක්ෂණයට, සහ සුරක්ෂිත භාවයෙන් ඉදිරි පරම්පරා වෙත ගෙන ගාමට ක්‍රමවේදයක් සැලසීම.

  • උක්ත ක්‍රියාවලිය තුළදී දේශීය ශිල්පීන් සතු දැනුම අපභාවිතයට හෝ විනාශකාරී පරිභෝජනයකට ලක් කරන පුද්ගලයින් සම්බන්ධව ‍නෛතික පියවර ගැනීම.

  • සාම්ප්‍රදායික පැදුරු වියමනේ යෙදෙන්නා වූ පිරිස් මෙතෙක් සිටින, මේ දක්වා එම කර්මාන්තයේ යෙදෙන ගම්මාන තෝරා ඒ හා සම්බන්ධව මෙහෙවරක් කළ හැකි විවිධ ආයතන (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය) තෝරා දේශීය ශිල්ප කලා එකී ගම්මාන මට්ටමින් ‘ජීවමාන කෞතුකාගාර’ ලෙස පවත්වාගෙන යාමටත් සංචාරක ආකර්ශනය ඒ සඳහා ලබා ගනිමින් දේශීය ආර්ථිකය නංවාලිමට මැදිහත් විමටත් ඇති ප්‍රවණතාව පිළිබඳ ක්‍රියාකාරි සැලසුම් සැකසීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම. (උදාහරණයක් ලෙස දැනට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ලක්සල වැනි ආයතන 2013. 11. 13 දින සිට මැදිහත්ව සිදු කරන බත්තරමුල්ල “අපේ ගම” ක්ෂේත්‍රය හඳුන්වා දිය හැකිය).

  • වියැකී යමින් පවතින පැදුරු කර්මාන්තය හා බැඳි දේශීය දැනුම් සංචිත ලෙස හඳුනාගත හැකි ශිල්පීන් සඳහා සුභසාදන කටයුතු පවත්වාගෙන යමින් ඔවුන්ගේ නිර්මාණ, ඒ සඳහා භාවිත පාරම්පරික තාක්ෂණය ඔවුන් තුළ සංරක්ෂණය කිරිමටත්, එවන් ශිල්පීන් පිළීබඳ සියළුම දත්ත ඇතුළත් ලේඛන සකස් කර ජාතික මෙහෙවරක් සඳහා රුකුල් දීමටත් ඇති හැකියාව.

  • පැදුරු ආශ්‍රිත නිර්මාණ තුළ දේශජ වූද දැනට ගිලිහෙමින් පවතින්නා වුද සාම්ප්‍රදායිකත්වය (ඒ ඒ කලා ශිල්ප හා බැඳි පාරම්පරික තාක්ෂණය, මෝස්තර, නිර්මාණකරන විධි, ආචාරධර්ම, පූජාවිධි, ඇදහිලි හා විශ්වාස) එලෙස නශ්ට වී යාමට ඉඩ නොදී දේශීය අනන්‍යතාව තවදුරටත් හැකිතාක් රැක ගැනිම සඳහාත් එවන් දේශීය මුහුණුවර සංචාරක ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් සංචාරක ව්‍යාපාරයේ නව කඩයිමක් සඳහා ආයතනික මට්ටමෙන් මැදිහත් වීමටත් ඇති හැකියාව.

 

පන්නම් කතුරින් දෘශ්‍යමානිත ඉපැරණි සාම්ප්‍රදායිකත්වයේ සමාජ සංස්කෘතික පැතිකඩ

මිනිසා පරිසරයට අනුව හැඩගැසුණු සත්වයෙකි. මානව පරිණාමයේ මුල් යුගයේ සිට විවරණය වන සාධක පරිශීලනයේදී විද්‍යමාන වන වැදගත්ම සාධකය වන්නේ මිනිසා හා පරිසරය අතර පැවති අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය තුළින් සමාජය යන ව්‍යූහය විකසනය වූ ආකාරයයි. සැබැවින්ම එය, පරිණාමය වන තාක්ෂණයේ ක්‍රමික දියුණුව අනුව යුගයෙන් යුගය සිදු වූවා සේ ක්‍රම ක්‍රමයෙන් හැඩගසන ලද උල් ආයුධයක් වැනිව, යොදා ගනු ලබන කාර්යයට අනුව සියුම් බවින් මුවහත් බවින් මනා පෙනුමෙන් සුසංයුක්තව මනාව නිමැවුණකි. මෙහිදි පරිසරය යනු පිහිය තැනීමට යොදාගත් ශිලාමය මාධ්‍යයයි. එය සියුම් පිහි තලයක් සේ සකසන්නේ මිනිසායි. මිනිසා සතු බුද්ධි මහිමයයි. මිනිසා එම තාක්ෂණය උගත්තේ හිටි හැටියේ නොව, යුග ගණනක් පුරා සොබාදහම තුළ වෙසෙමින් පසු කළා වූ විවිධ යුගයන්හිදී සොබාදහමෙන් තමා ගත් පරිචයන් තුළින් ලද අත්දැකීම් සමුදාය තුළිනි. මුලින් රළු පරළු නෙරු නිම්න සහිතව නිමවූ ගොරහැඩි පිහි තලය පසු කාලීනව ඉතා සුමටව තියුණුව කැටයමින් අලංකෘතව නිම කිරිමට තරම් දැණුමක් අවබෝධයක් ඔහු ලබා ගත්තේ සොබාදහම තුළ සොබාදහමේ ජීවියෙකු ලෙස දිගින් දිගටම සොබාදහම හා ගැටෙමින් ගතකළ ජීවිතයේ පසුකළ කඩයිම්හි ලද අත්දැකිම් නිසාවෙන්මය. පරිසරය හා බැඳි මිනිසා අව්‍යාජය. ඔහුගේ අවශ්‍යතා ඉතා සීමිතය. ඔහු තම උවමනාවන් සපුරාගත්තේ තමා වාසය කළ පරිසරය තුළින්මය. අද මෙන් කෘතිම සාටෝපකාරී ජීවිත උදෙසා තරඟයක් නොතීබූ ඈත ඉතිහාසයේ අප මුතුන් මිත්තෝ පරිසරය හා බැඳි අපූර්ව වූ කලාකරුවෝ වූහ. එදා සිය ජීවිතයේ සියලු අවැසිතා ඔවුන් අවට පරිසරයෙන් ලබා ගත හැකි අල්පතරයෙන් ඉටු කර ගෙන ඉතා අල්පේඡ්ඡ වූ සරළ ජීවිත ගෙවූහ. අද වන විටමෙරට සංචාරක ක්ෂේත්‍රයට පමණක් බොහෝ විට සීමා වී ඒ කෙරෙහි පමණක් යම් ආකර්ෂනීයත්වයක් දරන්නා වූ හස්ත කර්මාන්ත පෙර කී සරළ ගැමි දිවියෙන් අද වන විට ශේෂ වූ මැකි යමින් පවතින සෙවනැල්ලකි.

පන් කර්මාන්තයට ඉතා ඈත ඉතිහාසයක් ඇත. එහි ආරම්භය මහා සම්මත රජ දවස හා බැඳි බව ජන විශ්වාසයේ වූවද එහි ඇරඹුම කිසිවෙකුත් තිර ලෙස නොදනී. මානව ඉතිහාසයඅවධානයට ගතහොත්, ගල් ගුහා, එළිමහන් වාසස්ථාන ආශ්‍රිතව වාසය කළ අතීත මානවයා දවසේ කාර්යයෙන් වෙහෙසට වන් කල දෑසේ සිරුරේ දාහය වෙහෙස නිවාලනු වස් පිහිටි වැළි පොළව මත සැතපුණේයැයි අපට කිව හැකිද? අවම වශයෙන් ඔවුන් කොළ අතු හෝ සත්ව සම් හෝ අතුරා ගන්නට ඇත. ඒවාද තමා අවට පරිසරයෙන් ඔවුන් සපයාගත් දෑය. කාලානුරූපව සිදුවූ වෙනස් දැණුමේ වෙනස්කම් මත ඔවුන් බිම අතුරන ලද කොළ අතු පිදුරු පවා අපූරු රටා කර්මයන්ගෙන් අලංකෘත වන්නට ඇතිය යන අනුමානයට අපට එළඹිය හැකිය. එය එසේනම්; පැදුරේ විකාශනයෙහි මූලාරම්භය වන්නට ඇත්තේ එය නොවේයැයි කිව හැකිද?

මෙහිදි මා සාකච්ඡා කරනුයේ ලංකාවේ පැදුරු වර්ග අතුරින් දක්නට ලැබෙන පන් කර්මාන්තය හා බැඳි අපූර්ව වූ අස්පර්ශනිය උරුමයක් තුළින් විවරණය වන්නාවූ සමාජයක තොරතුරු බිඳකි. ඒ පිළිබඳ ලියැවී ඇති ලේඛනද සීමිත පරිදි වුව තිබුණද මෙහි පහතින් විස්තර වන පද්‍ය පංතිය මවිසින් ලබා ගත්තේ දැනට පන් කර්මාන්තයේ නියැලෙන ආර් පුංචිමැණිකේ මහත්මියගේ මතක ආවර්ජනයකිනි.  ලංකාවේ මේ දක්වාද උක්ත කර්මාන්තය යම් යම් ප්‍රෙද්ශාශ්‍රිතව පැවතියද ඒ හා බැඳි කාව්‍ය සාහිත්‍යය පැරණි ජන සමාජය සමගින්ම වියැකී ගොස් තිබෙනු නොරහසකි. සාම්ප්‍රදායිකව ශිල්පය උරුම වූ පාරම්පරික පන් ශිල්පීන් සිටිනවානම් ඒ අතලොස්සකි. පන් කර්මාන්තය හා බැඳි පවුල් සිටියද මේ දක්වාත් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන එන්නෝ වේ නම් ඒ ඊටත් වඩා සීමිත පිරිසක් බව කනගාටුවට කරුණක් වුව වෙනස් වන සමාජ රටාව හමුවේ හැල්මේ දුවන සමාජයට එක් විමට එකී පරම්පරාවේ නූතන පුරුක් වෙන ඇති යොමුව නැවතීම කළ හැකි දෙයක් නොවේ.

පැල් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පාරු කවි…. මේ ඈ බහුවිධ අර්ථ ක්‍රමයන් හා බැඳි අප උරුමයේ මුළුගැන්වී ගිය පන් කර්මාන්තය හා බැඳි කාව්‍ය සාහිත්‍යයක් ඇති බව දන්නා අය වේ නම් ඒ අතලොස්සකි. මෙහි දැක්වෙනුයේ පන්නම් කතුරින් උපුටාගත් කාව්‍යයන් කිහිපයකි. එමගින් විද්‍යමාන වන තත් සමාජය කවරාකාරදැයි කැඩපතකින් බලනවා සේ අප දෑස් මානයේ රූපණය කිරීමට තරම් මෙම සරල කවි රටාවේ අව්‍යාජ වදන් මාලාව සමත්කම් දරයි. එමතුද නොව අද වන විට සමාජයෙන් ගිලිහි ගොස් ඇති, ලේඛනයට පමණක් සීමා වූ මෙම ජන සාහිත්‍ය තුළ විවරණය කෙරෙන පැරණි යටගියා වූ සමාජයේ බහුවිධ අවස්ථා රැසක් නිරූපණය වේ. පැදුරු කර්මාන්තය හා බැදි ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරන කල්හි මෙම පන්නම් කතුරින් හෙළිවන අතිත සමාජයේ ව්‍යූහය පසෙකලිය නොහේ (උපග්‍රන්ථය 1).

හිතු හිතූ විලස පන් පැදුරක් වියන්නට නොහැකිය. පැදුරක් මෝස්තර රටාවෙන් අගතැන්පත්ව නිම වන්නේ පන් නෙළීමේ සිට ඇරඹෙන යානුත්‍රණයක අවසන් නිමාව සනිටුහන් කරමිනි. ගැමි සමාජයේ දහසක් වු දෛනික කාර්යයන්ගේ එක් කාර්යයක් පමණක් වූ මෙය අතිත සමාජයේ එක් කුලයක පිරිසකට සිමා වූ එක් අර්ථ ක්‍රමයක් පමණි. පන්නම් කතුරින් දෘශ්‍යමාන වන එකී සමාජයේ තතු බොහොමයක් මෙහිදි අප අවධානයට නිතැතින් යොමු වේ.

පන් නෙළන්නට යන්නේ තනි තනිව නොව සමූහ වශයෙනි. ඒද කාන්තවන් පමණක්මදෝ යන පැනය අප සිත්හි ජනිත වන්නේ මෙම කවි අතර පන් නෙළීම හා බැඳී සිටින්නේ කාන්තා චරිත පමණක් බව විද්‍යමාන වන හෙයිනි. එසේම පන් ඇති ප්‍රදේශද වෙන් වෙන් වශයෙන් පැවති බවට නොයෙකුත් ඉඟි ලැබේ. “ගොසින් පන් විලකට….” “….ගබ්සාවෙයි කැපුවොත් පන් විල බැසලා….” “…ඔක්කොම යං රන්මිණිවන් පන් විලට…” එනම් පන් හටගන්නේ ඒ වෙනුවෙන්ම වෙන් වූ විශේෂිත පරිසර පද්ධතියකයි. අද වන විට අතරමැදියන් වෙතින් පන් මිළ දි ගන්නා තත්වයට වත්මන් ශිල්පීන් බහුතරය පත්වී තිබුණද අතීතයේ පන් නෙළීම හා බැඳි අපූරු සුන්දරත්වයක් පැවති බව මේ කවි විද්‍යමාන කරවයි. පන් නෙළමින් කවියෙන් හාත්පස පරිසරය කාව්‍යමත් කිරීමෙන් එදා හටගත් සුන්දරත්වය කෙබඳු වන්නට ඇත්ද? නමුත් එය අද සමාජයට සම්පූර්ණයෙන්ම ආගන්තුක වනවාට සැකයක් නැත. ඒ නෙළුමේ සුන්දරත්වය අද සුසානයක ගිලි ඇත. අතීතයේ පැවති ඒ අපූර්වත්වය අද අපට ගෙන එන්නේ යම් යම් පමණින් හෝ මෙසේ ශේෂ වී ඇති කාව්‍යයන් තුළින් පමණි. එහෙයින් මෙම කාව්‍ය සාහිත්‍යය තුළින් හෝ අතිත සමාජය යම් තරමකින්වත් ප්‍රතිනිර්මාණයට දායක වූ වාය ආර්. පුංචිමැණිකේ මහත්මිය වැන්නවුන්ට අප අපේ හෙළ ශ්‍රී විභූතිය වෙනුවෙන් හිස නමා ආචාර කළ යුතු නොවෙද?

කැපූ පන් පැදුරක් පුරන්නට සුදුසු වන පරිදි සැකසීමේ විශේෂිත යාන්ත්‍රණයක් වේ. මෙම කවි තුළින් ඒ පිළිබඳ ඉඟි ලැබෙන අතරම අද වන විටත් පන් කර්මාන්තය හා බැඳී පවතින්නේ එකී යාන්ත්‍රණයමය. පන් පැදුරු වියන ලඳුන්ගේ දෛනික කාර්යය එය පමණක් නොවීය. ඔවුන් අම්මාවරුන්ය. ගෘහණියන්ය. ගෙදරදොර දහසක් වැඩකටයුතු අතරින් ඔවුන් මෙම කර්මාන්තයේද නිරත වී ඇති බව අව්‍යාජ ගැමිකම විශද කරවන මේ කවි තුළින් මැනවින් උද්දීපනය වේ.

” අඬයි කිරි බොන්ඩ නෑනෝ මගෙ දරුවා
දොඩයි එක වරක් මාගේ වද කරුවා
කුඩයි හැවන් ගහ මදි පැදුරක් පිරුවා
හොඳයි නෑන මම ඔහෙ යන්තම් ගෙතුවා”

(පුංචිමැණිකේ, 2013. 07. 08)

යන කවියෙන් පිළිබිඹු වන්නේ එකී සමාජ පසුබිමයි. කිරි වරා නොමැති අත දරුවාගේද සිය හිමියාගේද අවැසිතා සියල්ල සන්තර්පනය කරමින් ඈ මේ කාර්යයෙහි නිරත විය යුතු විය. පැදුරක් පුරන්නට තරම්වත් නැති හැවන් මිටකින් වුව ඈ යන්තම් හෝ පැදුරක් පුරන්නට මෙම දහසකුත් එකක් අරගල මැද වුව පසුබට නොවන්නීය. මෙහි ඇති කාව්‍යාත්මක සරලබව නිසාවෙන්ම එකි අවස්ථාව මනෝරූපමය පෙළහරකින් අප නෙත් මානයේ දර්ශනය නොවන්නේද?

අද මෙන්ම අතීත ගැමි සමාජයේද පාරම්පරිකව උරුම වූ විවිධ විශ්වාසයන් විය. මේ කවි පෙළ තුලින්ද එකි අවස්ථා මතු වී පෙනේ. දරු ගැබක් පිළිසිඳ ගැන්මකදී පන් නෙළීම ගැබිණියට අකැපය.

“….ගබ්සාවෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා”

(පුංචිමැණිකේ, 2013. 07. 08)

මේ එදා පැවති ජන විශ්වාසයන්ය. ඒවා අද මෙලෙසින් අප හට දැනගැන්මට ලැබෙනුයේ මෙම කාව්‍ය සාහිත්‍ය නිසාවෙනි. එපමණක් නොව පන් කර්මාන්තය හා බැඳි විවිධ වචන, නන්විධ මෝස්තර රටා වර්ග ගැට වර්ග, ඒවා පැදුරු තුළ නිරූපණය කරන ආකාරය ආදියද මෙම කවි තුළින් නිරූපණය වන අයුරු හඳුනා ගත හැකිය.

අද වන විට පන් පැදුරු, වට්ටි, පෙට්ටි මේ ඈ නොයෙක් නිශ්පාදන කරන ශිල්පින් සිටියද මෙකී මෝස්තරකරණාංග සියල්ලෙන්ම අගතැන්පත් දක්ෂතා පරිපූර්ණ අයවලුන් සොයා ගැනීම ඉතා අසි රු කටයුත්තකි. වෙනස් වන සමාජ රටාව හා බැඳී නාගරිකත්වය හඹා යන අද්‍යතන පරම්පරා එකි ගමනින් මුදවා ගැනීම කිසි සේත් නොකළ හැකි දෙයක් වුව අපගේ අතිත උරුමය එලෙස නශ්ට විමට ඉඩ නොදී හැකි පමණින් හෝ රැක ගැන්මත් ඉදිරි පරම්පරා වෙත ගෙන යාමට හැකි වෙහෙසක් දැරීමත් අප සතු යුතුකමක් හා වගකිමක්ද වේ.

නැන්දා ලේලි හබය තුළින් දෘශ්‍යමාන වන පැරණි පවුල් සංවිධානයේ මානසික ගට්ඨනයේ එක් පැතිකඩක් ශිල්ප කලා උරුමය තුළින් ගෙනහැර දැක්වෙන අවස්ථාව.

නැන්දා ලේලි අතර සාමුහික සන්හිඳියාව පිළිබඳ කියැවෙන කතා අල්ප බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුනතර විරසකය කවදා කෙසේ කොයි නැන්දම්මා ලේලියගෙන් හටගත්තාදැයි කීමද අසීරු තරමටම මේ ආරවුලටද සිමා මායිම් නොදන්නා දිගු ඉතිහාසයක් ඇත. පන් කර්මාන්තය හා බැඳි එක් අපූර්ව වු කාව්‍ය සාහිත්‍යයක් ලෙස අපට දක්නට ලැබෙන්නේ සුලභ වූ නැන්දම්මා ලේලි විරසකයේ දුලබ දසුනක් පන් කර්මාන්තයේ අස්පර්ශිත උරුමය තුළින්ද අපට සොයා යැමට හැකියාව ලැබීමයි. නිදා ගැන්මට පැදුරක් ඉල්ලූ ලේලියගේ වදනින් කෝපයට පත්වන නැන්දා ඇයට බැන වදින අන්දමත්, එකිකෙකා පරදා දක්ෂ ලෙස පැදුරු විවීමෙන් ඔවුන් කෝන්තරය දිග්ගස්සා ගන්නා ආකාරයත්, විරසකයක වුව දැකිය හැකි කලාත්මක උරුමයත් නිසා මෙම කාව්‍යය විශේෂිත වේ. එහෙයින් ආර්. පුංචිමැණිකේ මහත්මිය විසින් සඳහන් කළ එකී පද්‍ය කොටස් කිපයක් මෙහි පහත දක්වමි (උපග්‍රන්ථය 2).

පැදුරු වියමන් අතර යෙදෙන විවිධ මෝස්තර රටා ගණනාවක් මෙම පැදි පෙළ තුළ ගෙනහැර දැක්වෙන අතර අරගලයක උච්චතම හැලහැප්පීම් ලෙස වුනද රසවින්දසාත්මක සාහිත්‍යෙයන් අනූනව එය ඉදිරිපත් කර ඇති අයුරු අපූරුය. මෙම පැදි ගායනා සමාජයෙන් දැනටමත් ගිලිහී ගොස් ඇතිවා සේම පෙර දැක්වූ ලෙස අදාල කර්මාන්තයේ යෙදෙන පිරිස් පවා මේ පිළිබඳ දැණුමෙන් අල්පය. එහෙයින් මෙම උරුමය ලිඛිතව මෙන්ම දෘශ්‍යමය මාධ්‍ය යටතේ ආරක්ෂා කරගැනිමේ අවශ්‍යතාව මේ වන විට තදින්ම බලපැවැත්වේ.

*කින්නර ගීතය සහ පන්නම් කවි සහිත ආනන්ද කේ කුමාරස්වාමි විසින් සංශෝධිත පැරණි ජන සාහිත්‍ය උරුමය උපග්‍රන්ථය 3 හා උපග්‍රන්ථය 4 යටතේ දැක්වේ.

 z_p13-Artists6

අමුද්‍රව්‍ය වගාවේ උන්නතිය – පැදුරු කර්මාන්තය හා බැඳි ක්ෂේත්‍ර උදෙසා රාජ්‍ය මට්ටමේ මැදිහත්වීම

2008 වර්ෂය තුළ දිප ව්‍යාප්ත අමුද්‍රව්‍ය වගා බිම් සහ පැල ප්‍රමාණය

මාධ්‍ය                                       ප්‍රමාණය                                   දිස්ත්‍රික්කය

හණ                                         2,500                                       යටියන්තොට, කිතුල්ගල

පන්                                          5,000                                       ගාල්ල, තල්ගම්පල

පන්                                          54,000                                     ගාල්ල, මානිමගොඩැල්ල

පල්                                          75,000                                     කැගල්ල, දික්කොහුපිටිය

පන්                                          5,000                                       කැගල්ල, ගෝනාරඹ

පන්                                          10,000                                     රත්නපුර, අයගම

2009 වර්ෂය තුළ දිප ව්‍යාප්ත අමුද්‍රව්‍ය වගා බිම් සහ පැල ප්‍රමාණය

මාධ්‍ය                                       ප්‍රමාණය                                   දිස්ත්‍රික්කය

පන්                                          50,000                                     රත්නපුරය, කලවාන

 

2010 වර්ෂය තුළ දිප ව්‍යාප්ත අමුද්‍රව්‍ය වගා බිම් සහ පැල ප්‍රමාණය

මාධ්‍ය                                       ප්‍රමාණය                                   දිස්ත්‍රික්කය

පන්                                          25,000                                     ත්‍රිකුණාමලය, සාලියපුර

පන්                                          12,000                                     ගාගම්පහ, දඹදුරය

පන්                                          50,000                                     කළුතර, මිල්ලනිය

පන්                                          50,000                                     ගාල්ල, ඕපාත

2012 වර්ෂය තුළ දිප ව්‍යාප්ත අමුද්‍රව්‍ය වගා බිම් සහ පැල ප්‍රමාණය

මාධ්‍ය                                       ප්‍රමාණය                                   දිස්ත්‍රික්කය

පන්                                          25,000                                     අනුරාධපුර

පන්                                          10,000                                     නුවරඑළිය

පන්                                          15,000                                     මාතර

2013 වර්ෂය තුළ දිප ව්‍යාප්ත අමුද්‍රව්‍ය වගා බිම් සහ පැල ප්‍රමාණය

මාධ්‍ය                                       ප්‍රමාණය                                   දිස්ත්‍රික්කය

ගල්ලැහැ පන්                            10,000                                     නුවරඑළිය

කෝරා පන්                               10,000                                     නුවරඑළිය

පන්                                          50,000                                     ගාල්ල

පන්                                          10,000                                     මාතර

ගල්ලැහැ පන්                            25,000                                     පොළොන්නරුව

පන්                                          15,000                                     බදුල්ල

හණ                                         1000                                        කෑගල්ල

ගල්ලැහැ පන්                            14,000                                     කැගල්ල

ගල්ලැහැ පන්                            100,000                                   කුරුණෑගල

පන්                                          25,000                                     කළුතර

(ජාතික ශිල්ප සභාවේ වාර්ෂික අමුද්‍රව්‍ය වගා කිරීම්වලට අදාල ලේඛන ඇසුරිනි)

උක්ත සටහන් ඇසුරින් වාර්ෂිකව මෙම නිශ්පාදන කර්මාන්ත සහා රාජ්‍ය මට්ටමේ දායකත්වය වර්ධනීය අවස්ථාවක් කරා යොමු වී ඇති ආකාරය හඳුනාගත හැකිය.

සම්ප්‍රදායික පැදුරු කර්මාන්තය තුළ ඇති ස්වදේශීය දැනුම හා නූතන ප්‍රවේශය.

(traditional knowledge) “සාම්ප්‍රදායික දැනුම” යන්නට වඩා  (Indigenous knowledge) “දේශීය දැනුම” ලෙස හැඳින්විය හැකි අස්පර්ශනීය උරුමය කැටිකරගත් පුරාණ තාක්ෂණයේ නිර්මාණාත්මක අවකාශය අද්‍යතන සමාජයට දර්ශනය කරන්නාවු පැදුරු හා බැඳි ශිල්ප කලාව නූතන භාවිතයෙන් බැහැරව යමින් පවතී. ස්වදේශීය ඥානය, නෛසර්ගික උරුමය වර්ථමාන ලොවට හඳුන්වා දිමත්, එකී දේශීය දැනුම නූතනත්වයට ආදේශනයෙන් රාජ්‍ය මැදිහත්වීමෙන්ද යුක්තව පැරණි සංස්කෘතියට පුනරාගමනයක් දිය හැකිනම් උරුමය ක්ෂය වි යාමට ඉඩ නොදී යම් තරමකින් හෝ එය පවත්වාගෙන යාමට අපට අවකාශ ලැබේ.

පැදුරු කර්මාන්තය හා බැඳි දේශීය අනන්‍යතාව අවධාරණය කරමින් වත්මන් සමාජයට ක්‍රියාකාරී වූ උරුම සංරක්ෂණ ප්‍රෙව්ශයක් හඳුන්වා දීමට ඇති ඉඩ අවකාශය තුළ,

  • පැදුරු වියමන් කලාව හා බැඳි දේශීයව පවතින ලිඛිත සහ අලිඛිත දැනුම නූතන ප්‍රවේශයන්ට උපනිශ්‍රය කරගනිමින් (සංචාරක කර්මාන්තය තුළ ජිවමාන ගම්මාන බිහි කිරීම වැනි) දේශීය චින්තනය පෙරටුගාමී කරගත් නව ගමනක් සඳහා පූර්ව පියවර සනිටුහන් කිරීම.

  • පර්යේෂණාත්මක මට්ටමින් දේශීය දැනුමේ විද්‍යාත්මක පදනම පිළිබඳ සාධක ගවේශනය.

  • පැදුරු කර්මාන්තය හා සම්බන්ධ අමුදුව්‍ය වගා බිම්, අමුද්‍රව්‍ය සපයා ගැනීම, වියමන් සඳහා සුදුසු ලෙස සකස් කිරීම වැනි පියවර හා බද්ධ වූ අතීත සහ වර්තමාන තත්ව අධ්‍යයනය, වියමන් තාක්ෂණය, ඒ සඳහා බලපෑ ඓතිහාසික පසුබිම, අභීචාර, සිරිත්විරිත් හා සෞන්දර්ය ශාස්ත්‍රය මෙන්ම සම්ප්‍රදායිකව පැවත ආ දැනුම හැකිතාක් ආරක්ෂා කිරීම පිළිබඳ දර්ශනයන් ආදී වූ ප්‍රවේශ යටතේ පැදුරු වියමන්හි ඓතිහාසික පැතිකඩ අධ්‍යයනය.

  • ඒ හා බැඳි උරුමයේ මහිමය පිළිබඳව ස්වදේශීය ජනතාව මෙන්ම විදේශ ප්‍රජාව දැනුවත් කිරීම සේම උක්ත කලාව හා සම්බන්ධතා පවතින සමගාමී රටවල එකී තාක්ෂණය සමග සංසන්දනාත්මක අධ්‍යයන සිදු කිරීම.

  • ක්ෂය වි යමින් පවතින පැදුරු ආශ්‍රිත නිර්මාණ කලාව ජීවමානව පවත්වාගනිමින් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කරමින් ඵලදායී ආර්ථික රටාවක් සහ උරුම සංරක්ෂණ පසුබිමක් කරා දේශය මෙහෙයවීමට රාජ්‍ය දායකත්වය සමගින් ප්‍රවේශය සකසා ගැනිම.

දේශීය පැදුරු වියමන් කලාව හා බැඳි තාක්ෂණය, සෞන්දර්ය, උරුමය, දේශීය අනන්‍යතාව හා ජන සාහිත්‍යමය පැතිකඩ සංරක්ෂණයේ වැදගත්කම

මිනිසා සිය පරිකල්පනයේ මෙහෙයවීමෙන් හැඩගසා ගන්නා වූ උපකරණ, යන්ත්‍ර තුළින් උපදින තාක්ෂණය භාවිතයේ දේශීය අනන්‍යතාවන්හි මහිමය සෙසු බොහෝ ශිල්ප කලා කර්මාන්ත තුළින් සේම පැදුරු නිශ්පාදනය තුළද බෙහෙවින් කැපී පෙනේ. නිර්මාණ සඳහා මාධ්‍ය තෝරා ගැනීම, මාධ්‍ය අනුව උපකරණ සහ යන්ත්‍ර හැසිරවීම, කැපීම, ඉරීම, තැලීම ආදී වූ විවිධ අවශ්‍යතා සඳහා එම අවශ්‍යතාවන්ට උචිත පරිදි උපකරණ සකසා ගැනීම සතු දේශීය අනන්‍යතාව විමසා බලන කල්හි පැදුරු කර්මාන්තයද ප්‍රදේශ විවිධත්වය අනුව යම් යම් වෙනස්කම් සහිත බව දක්නට ලැබෙන කරුණකි. අතීතයේ මෙම තත්වය වඩා හොඳින් විද්‍යමාන වන්නට ඇති වුවද සමාජයිය පරිණාමයත් සමග ගිලිහි යන්නට වු මෙකී කර්මාන්ත තුළ අද දක්නට පවතින්නේ සිය මුල් උරුමයද නිරායාසයෙන්ම අහිමි වු මහත් ශෝචනීය තත්වයකි. පැරණි සම්ප්‍රදායන් නූතනත්වයට ඈඳා ගැනීමේ වත්මන් ප්‍රවේශය තුළ පැදුරු සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින අතර ඒ කෙරෙහි පවතින විකල්පද බොහෝ වෙති.

  • සංචාරක නිවාඩු නිකේතන සඳහා පැදුරු, පන්, නියඳ ආදියෙන් කළ බිත්ති සැරසිලි, දොර ආවරණ ආදිය එකී පරිසරයට අනුබද්ධව භාවිතයේ යොමුව සහ එවන් ස්වදේශීය වටපිටාව සහිත ස්ථාන වෙත දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනයද අධික විම.

  • බට පැළලි නිවාඩු නිකේතන වලට සේම නිවාස වලටද බහුලව යෙදීමේ යොමුව.

  • සාමාන්‍ය වෙළඳපලේ නිරන්තරයෙන් දක්නට නොමැති වුවද සම්ප්‍රදායික ශිල්පින්ගේ හැකියා වර්ධනය කිරීමේ සහ ඔවුනට යහපත් වෙළඳපලක් සපයා දීමේ අරමුණෙන් සිදු කරන ප්‍රදර්ශන වලදී අලංකාර දේශීය රටා සහිත සම්ප්‍රදායික පැදුරු සඳහාද හොඳ මිලක් ලැබිම. (නිදර්ශනයක් දෙස වාර්ශිකව පවත්වනු ලබන “ශිල්ප” ජාතික ප්‍රදර්ශනය හඳුන්වා දිය හැකි අතර ඇතැම් නිර්මාණාත්මක දේශීය මෝස්තර සහිත පැදුරු මෙහිදී රුපියල් 10,000ටත් අධික විලකට අලෙවි වන අවස්ථා පවතී.)

නමුත් සම්ප්‍රදායික නිර්මාණ රැක ගැනීමේ ආවශ්‍යයිකතාව මතු වන්නේ වෙනත් කරුණු හේතුවෙනි. එනම් දේශීය කර්මාන්ත මත යැපෙන මෙකී ශිල්පින්ගේ වෙළඳපල අතික්‍රමණය කරමින් කෘතිම නිශ්පාදන සීඝ්‍රයෙන් පොදු ජන සමාජය තුළ ව්‍යාප්ත වෙමින් පැවතීමත්, දේශීය අනන්‍යතා කෙරෙහි මිනිසුන්ගේ පෙළඹීම තිබුණද ඒවා සමාජයේ යම් යම් හේතු කාරණා මතම පොදු ජන සමාජයෙන් දුරස් වෙමින් පැවතිමත් වැනි කරුණුය.

දේශීය තාක්ෂණය නූතන වෙළඳපලට හඳුන්වා දෙමින් දේශීයත්වය පෙරටුකරගත් වාණිජ රටාවක් තුළින් අත් කරගත හැකි වාසි පිළිබඳව අදහස් දක්වන නලින් ගනේගොඩට අනුව තඹ, පිත්තල, ලේකඩ, රන්, රිදී,  නිර්මාණ වෙළඳපලේදී ඉන්දීය හා චීන නිර්මාණ සමග තරඟකාරීත්වය තුළ ලංකාවට ජයගත යුතුව ඇති අභියෝග පිළිබඳවත් ලෝහ මළ නොබැඳීම සම්බන්ධව අතීත ශ්‍රී ලාංකිකයින් අනුගමනය කර ඇති ක්‍රමෝපායන් පිළිබඳවත් ප්‍රතිමා නිර්මාණයෙහිදී උපයුක්ත වූ ‘ලඹතටුව’, ‘තාල ක්‍රමය’ ආදී වූ දේශීය මිණූම් ක්‍රම තුළින් විද්‍යමාන වන විශිෂ්ටත්වය, සම්ප්‍රදායික කලා කර්මාන්ත වල තාක්ෂණයේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ සමාජයට හඳුන්වා දිය යුතු බවත් අවධාරණය විය (Ganegoda, 2013.08.27). මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ නූතනයේ පැදුරු ආශ්‍රිතව යැපුම් ක්‍රමය පවත්වා ගනිමින් වෙසෙන, පැදුරු වියමන් පිළිබඳ උරුමය පරම්පරාවෙන් ලැබුණා වූ පිරිස් වුවද සිය උරුමයේ යටගියාව පිළිබඳ ආකල්ප වලින් වියුක්ත විමයි. මේ පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට අපේක්ෂිත අතර ජාතික ශිල්ප සභාවෙන් කෙඳි පත්‍ර තෘණ ආශ්‍රිත කර්මාන්ත වල නියුතු පිරිස් සඳහා සිදු කරන ලද ප්‍රායෝගික වැඩමුළුවකදි (2013.07.02 – 07.12 දක්වා) අනාවරණය වූයේ පාරම්පරික ශිල්පීන් වෙතිනුත් අද වන විට සම්ප්‍රදායික වියමන් රටා ගිලිහි ගොස් ඇති බවයි. එමතුද නොව පන් ආශ්‍රිත සම්ප්‍රදායික පසුබිම වඩා වූ පන්නම් කවි, කින්නර ගීතය වැනි ජන සාහිත්‍යයන් තිබුණු බව පවා දන්නෝ ඉතා අතලොස්සක් විය.

එහෙයින් පෙර සඳහන් අවශ්‍යතා පූර්ණය කරමින් සම්ප්‍රදායික දැණුම පැදුරු නිශ්පාදනයේ නියුතු ශිල්පීන් භාවිතයේ ක්‍රියාකාරීසංරක්ෂණයක යෙදවිමත්, හැකිතාක් ලිඛිතව සහ දෘශ්‍ය මාධ තුළ සංවිත කර මෙම උරුමය ඉදිරි අනාගතය කරා ආරක්ෂා කොට තැබිමේ අවශ්‍යතාව පවතී.

උපග්‍රන්ථය 1
පන්නම් කතුර

අසන් මගෙ නෑනා
වෙමින් අසමානා
නොවී සකජානා
යමං පන් උගුලන්ට නෑනා

ගොසින් පන් විලකට
බලමින් දෙන්න වටපිට
සොඳ පන් සොයා සිට
කපමු නෑනෝ මෙපන් හනිකට

ගෙනත් පන් ගෙදරට
අව්වේ දමා නිසි කොට
රැගෙන පන් සුරතට
වියමු නෑනෝ මෙපන් හනිකට

ගෙනත් එපන් අව්වේ ලා වේලමින
නොබා පන් ඉරති අඟනෝ වෙනින් වෙන
සොබා මුල්ල පුරමින් පන් මිටක් ගෙන
දෙපත් රටාවෙන්වත් යන්තම් ගොතන

අඬයි කිරි බොන්ඩ නෑනෝ මගෙ දරුවා
දොඩයි එක වරක් මාගේ වද කරුවා
කුඩයි හැවන් ගහ මදි පැදුරක් පිරුවා
හොඳයි නෑන මම ඔහෙ යන්තම් ගෙතුවා

සත් මසකට ඇති දරුවා පිළිසිඳිලා
චිත්‍ර රුවින් ළමැදේ ගෝමර ඉසිලා
ගබ්සාවෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා

අක්කණ්ඩියේ යන්දැයි පන් කපන්නට
ඔක්කොම වන් රන්මිණිවන් පන් විලට
ගොසින් පන් කපා එන්නේ සවසකට
කවුද නගේ දරුවට කිරි පොවන්නට

මන්ද නගේ ඇයි කල් පසු කරන්නේ
යන්ද මෙලාකට දරුවා අඬන්නේ
උන්ඩ මෙලාකට කොල්ලන් තලන්නේ
යන්ඩ ලහිය පන් බැඳගල්ලා නෑනේ

පන් මිටි බැඳලා අරගත්තුය හිසට
යං කියලා අඟනෝ සැදුනේ පෙළට
මං බැහැලා අඟනෝ සැදුනේ රුවට
පන් ඉරලා වියමුය පැදුරක් රුවට

හිසට පියුම් ලා කොට්ටේ වියඥ්ඥා
පයට පියුම් ලා කොට්ටේ වියඥ්ඥා
මැදට ඇස් රටා ඇද පන් වියඥ්ඥා
කෙතට සතර මුල් ඇර දඟ වියඥ්ඥා

වියලා මෙම අලි සහ ගෝමර ඇත්තු
දඟලා පෙළින් පෙළ නයි පොළඟුන් සත්තු
ගිරා සැළලිහිණි වටකර හැම සත්තු
නුරා පැදුර වියලා දුන් අදිපත්තු

රුවන් තෝඩු කනකට ඔබින අන්දම්
රිදී බන්දි අතකට ඔබින අන්දම්
එවන් කතගෙ පියයුරු දිලෙන අන්දම්
බලන් ඔමරි ලිය පන් වියන අන්දම්

විලකට ගොසින් පන් උහුලාගෙන එන්නේ
මිදුලේ දමා අව්වේ වේලා ගන්නේ
මඩුවේ මම පැදුරක් දැන් පුරන්නේ
පැදුරේ ගැටිය ඇයි ඇද කෙරුවේ නෑනේ

බොහෝ කල්ම ගොස් කාටත් වෙයි නපුරු
කාටත් ඔහොම ඇසු දෙක නොපෙනෙයි නපුරු
නාමල් කුමරියන් වියනා හොඳ පැදුරු
ඇහිදැල් බෝය නෑනේ මිනිවන් පැදුරු

(පුංචිමැණිකේ, 2013. 07. 08)

උපග්‍රන්ථය 2

නැන්දා ලේලි හබය

ලේලි

දිසිවන ගුණ සදිසි නැන්දේ අසන්නේ
නිදිමත නෙත් දෙකට කඳුලැලි ගලන්නේ
සිරිකත ලේලි සුරතල් බස් කියන්නේ
නිදිමත බෝය පැදුරක් මට දියන්නේ

නැන්දා

ඉම්ගම් නොදැන ඇයි මැසිවිලි කියන්නේ
පන්නම් බැරි ගෑණු කොහොමද රැකෙන්නේ
ගංගංවල ඇවිද රැකුණද බොලන්නේ
දෙන්නට පැදුරු මං වාලිද කියන්නේ

ලේලි

තරඟ කතා ඇයි උඹ මට කියන්නේ
දෙරණ උණු වෙන්ඩ වියමන් වියන්නේ
හුණුවැල් දඟේ පැදුරේ වට පුරන්නේ
රත්මල් පොහොට්ටුව නැන්දේ බලන්නේ

නැන්දා

සිනා කුළුණු ගුණයෙන් ඔබ බලන්නේ
උනා වරල ඉස ඔපකර බඳින්නේ
ගොතා රන් දළසෙ දළ දෙක දිළෙන්නේ
ඇතා බලන්නට ලේලිට වියන්නේ

ලේලි

හිමයට උන්ව අදිපති කරමින් වෙසෙන
සැම සත හට අතුමෙකි රජකම් කරන
මූදු ජලය පැන පීනා මෙගොඩ වුන
ඇතා කන්ඩ සිහ රජ නැන්දට වියන

නැන්දා

සතහට වැළඳි රෝගය සුව නොවන කලා
ඇත යකදුරන් ගන්නා තටුවට තොයිලා
නෙතපිට පෙනෙයි කුකුළෙකු වියනේ පුරලා
සිත ලෙස ලේලි බල සිව් කොණ පැදුර මුලා

ලේලි

වෙනයම් දෙයක් නොකළෙමි ලොව දැනගන්න
වියමන් ටිකක් දැනගති රැක පසු වන්න
බින්න බොරු නොවේ නැන්දේ පවසන්න
කොළ දිවියෙක් වියමි කුකුළා මරවන්න

නැන්දා

පෙර කළ කුසලයෙන් අපි දෙන්න එක් වුණේ
සැර වැර නොගෙන පවතිමු එකම සිතකිනේ
මිතුරුදමෙන් කල් අරිමුව සැම සිතිනේ
ලේලි නෙවෙයි මගෙ අම්මා කෙනෙකි අනේ

(පුංචිමැණිකේ, 2013. 07. 08)

ආශ්‍රිත ග්‍රන්ථ

කූමාරස්වාමි, ආනන්ද කේ.  (2010) මධ්‍යකාලින සිංහල කලා, (පරි) එච්. ඇම්. සෝමරත්න, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන, කොළඹ.

නාගොඩවිතාන, රත්නපාල. (2010) ලක්දිව අත්කම් ශිල්ප කලා, සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ.

සාකච්ඡා

ආර්. පුංචිමැණිකේ මහත්මිය,අංක 77, මුදුන්ගොඩ, හුරීගස්වැව. (පුංචිමැණිකේ, 2013. 07. 08)

Gunawadena, Jagath. (27th August 2013) Workshop on “Revisiting Traditional Knowledge”, Some aspects of protecting Traditional Knowledge.

Ganegoda, Naleen. (27th August 2013) Workshop on “Revisiting Traditional Knowledge”, satus of traditional technology.

 

සැකසුම

thilini nadeeka shalwyn

ඡායාරූප :- අන්තර්ජාලයෙන්

 
9 Comments

Posted by on February 6, 2014 in Uncategorized

 

9 responses to “සාම්ප්‍රදායික පැදුරු නිශ්පාදනයේ නියුතු කාර්මිකයන්ගේ නිශ්පාදන හා බැඳි නස්පර්ශනිය උරුමය

  1. mppgunasinghe

    February 6, 2014 at 3:45 pm

    ඉතාම වටිනා ලිපියකි.

     
  2. mppgunasinghe

    February 6, 2014 at 3:47 pm

    ඒ කා‍ලේ අපි දුකසේ විඳලා තියෙන්නෙ සැප. මේකාලේ අපි සැපසේ විඳින්නෙ දුක් නේද කියා මේලිපය බලනවිට මට ඇතිවන සිතිවිල්ලකි.

     
    • සිත්තරී මං

      February 7, 2014 at 2:19 pm

      කාලයත් එක්ක කොයි තරම් දේවල්නම් අපෙන් ඈත් වෙලා තියෙනවද? මේවා අපේ ආත්තම්මලා ගෙවල්වල දවල් වරුවේ ඉන්දි කම්මැලිකම යන්න කරපු දේවල්.

      අද ඒකාකාරී බවින් මිදෙන්න මිනිස්සු වෙන වෙන මාර්ග හොයන් යනවා. ඒව පසුපස ගිහින් හති වැටෙනවා. අතිත උරුමය අතරින් පතර හෝ යන්තමින් තාමත් ආරක්ෂා වෙලා තියෙනවා

       
  3. සිරා

    February 8, 2014 at 10:36 am

    සමාජයේ එතරම් අවධානයට යොමුවෙන්නෙ නැති මෙවැනි මාතෘකාවක් අරභයා ලියූ මේ ලිපිය මගේ සිත් ගත් බව කිව යුතුය. හැමදෙනාම ලියනා රටාවෙන් මිදී ඔබ ලියනා ඔබේ ලියමන තුල ඔබටම අනන්‍ය වූ යමක් තිබේ…මෙතරම් දීර්ඝ ලිපි කියවීම අපහසු බැවින් දීර්ඝ ලිපි කොටස් දෙකකට පල කිරීම යෙහෙකැයි සිතමි.
    ඔබට ජය !

     
    • සිත්තරී මං

      February 8, 2014 at 12:51 pm

      බොහොම ස්තූතියි අය්යේ

      මේ මම නිබන්ධන විදිහට කරපුවා. ඒකයි මෙතරම් දිගු. ඔබේ අදහස ගැනත් සලකා බලන්නම් ඉදිරි ලිපි වලදි. මුලදි පල කළ මිසර ශිෂ්ටාචාරය ගැන ලිපි පෙලනම් කොටස් කීපෙකින් පල කළේ ඔබ කියූ ගැටළුව නිසාමයි

       
      • තිස්ස දොඩන්ගොඩ

        August 10, 2014 at 1:36 pm

        හැකිනම් මේවා විකිපීඩියාවට එකතු කරන්න
        ඔබට බොහොම පිං අපේ දේ මෙහම එකතු කර සටහන් තබනවට

         
  4. mppgunasinghe

    March 31, 2014 at 1:58 am

    ඇයි තිලිනි ඔබ ලියන මේ වගේ ලිපි කාලෙකින් දකින්න ලැබුණෙ නැත්තේ.?

     
    • සිත්තරී මං

      April 29, 2014 at 7:58 am

      මේ දවස් වල විභාග කටයුතු නිසා. මම ඉක්මනින් නැවත ලියන්න ගන්නම්🙂

       
      • mppgunasinghe

        April 29, 2014 at 8:00 am

        ඔබේ විභාග කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි

         

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: