RSS

මානවවංශ පුරාවිද්‍යාව හා සත්ව පාලනය පිළිබඳ විමර්ශනයක්

04 Feb
සැකසුම :- තිලිනි නදිකා ෂැල්වින්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පුරාවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව
2013-1014
මානවවංශ පුරාවිද්‍යාව යනු
කාලය හා අවකාශය අතර මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවූ ගනුදෙණුවේදී මානව පරිණාමය හා බැඳි මානවයාගේ ක්‍රියාකාරකම්හි වර්ධනීය පියවර සියුම්ව අවධානය යොමු කළ යුතු වූ විෂය පථයකි. මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා කාර්යයභාරය වූ මානවවංශ පුරාවිද්‍යාව සැලකිල්ලට ගැනීමේදී නොදන්නා යුගයක, නොදන්නා සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාව මේ ඔස්සේ ලැබෙන බව අවිවාදිතය. කැණීම් බිම් වලින් හමු වන්නා වූ මිනිසා විසින් උපයුක්ත කරගනු ලැබූ ද්‍රව්‍යාත්මක සාධක තුළින් අතිත මානවයාගේ චර්යා රටා සහ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරගනු ලබන්නේ යම් සේද, වත්මන් ප්‍රාථමික සමාජ අධ්‍යයනයට ගැනීමේදී ලැබෙන සාධකද මේ කෙරෙහි වඩාත් වැදගත් තොරතුරු අනාවරණය කරයි. සංස්කෘතිකමය වෙනස්විම් වලට නැඹූරු නොවී සිය සාම්ප්‍රායික සිරිත් විරිත් අනන්‍යතාවන් තවමත් පෙර මෙන්ම හැකිතාක් ආරක්ෂා කරගනිමින් ස්වභාවික පරිසරය මත සිය යැපීම් පවත්වා ගනිමින් ජීවත් වන ඇතැම් ප්‍රාථමික ජන කණ්ඩායම් අදටත් බොහෝ රටවල්හි වාසය කරන අතර මානවවංශවිද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මෙකී ජීවමාන ජන කණ්ඩායම් උපයුක්ත කර ගනී.
සත්ව පාලනය ඇරඹීමට පූර්වයේ සමාජය
ලැස්කෝ ඇල්ටමීරා කෝගූල් වැනි ගුහාවන්හි හමුවන හස්ථි (මැමත්) රූප, අශ්ව රූප, ගව රූප, මුව රූප ප්‍රාග් ‍ඓතිහාසික සමයට අයත් වන නමුත් ඉන් ගෘහාශ්‍රිතකරණය කළ බවට සාධක හමු නොවේ. නමුත් මෙහිදි අවධානය යොමු කළ යුතු වැදගත්ම සාධක කිහිපයක් වේ.
උක්ත සමාජයේ පිරිස් සිය ආහාර අවශ්‍යතා සඳහා සමූහ වශයෙන් එක්වී දඩයමේ ගිය බවට සිතුවම් තුළින් ලැබෙන සාධක
  • ·       දෛනික සංචාරක දිවියේ අවස්ථා
  • ·       යැපුම් අර්ථක්‍රමය කෙරෙහි බලපෑ අභිචාර හා විශ්වාස
  • ·       දඩයම් තාක්ෂණය පිළිබඳ ලැබෙන සාධක
ඒ අනුව වනගත සතුන්ගෙන් ලබාගත් මාංශමය ආහාර වෙනුවට සිය අහාර පරිභෝජන රටාවේ සීමා ඉක්මවා යමින් කිරි, බිත්තර ආදිය පහසුවෙන් ලබා ගැනිමටත් නවශිලා විප්ලවයෙන් පසු ඇරඹි කෘෂිකාර්මික දිවියේ තාක්ෂණික අංශය වඩා වර්ධනය කරගනිමින් වගාව සඳහා සතුන් උපයෝගී කර ගැනිමටත්, අර්ධ සංචාරක දිවියේ පරිවහන අවශ්‍යතා උදෙසා සතුන් දායක කර ගැනිමටත් මිනිසාට හැකි විය.
මෙහිදි සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලිය ඇසුරින් උක්ත තත්වය නිදර්ශනාත්මකව පෙන්වා දීමේ හැකියාව පවතී. ලංකාවේ ආදිවාසී වැදි ප්‍රජාව පිළිබඳ අතීත තොරතුරු සපයන නොක්ස්, සෙලිග්මාන් ආදීහු දක්වන පරිදි ඔවුන් සිය ආහාර අවශ්‍යතා සපුරා ගත්තේ වනයෙනි. ඇතැම් වනගත වැදි පිරිස් සෙවණ සඳහා, වැස්සෙන් ආරක්ෂා විම සඳහා මහ ගස් , ගල් ගුහා හා පියසි තෝරාගත් අතර නිවාස තාක්ෂණයක් ඔවුනට නොවීය. ලෝකයේ නගරායනයන්ට පූර්ව සමාජයේ ආදිවාසී පිරිස් සියල්ලක පාහේ මුල් තත්වය මෙය විය හැකිය. වැදි ප්‍රජාව සේම දඩයමේදී බල්ලන් උපකාරී කරගත් ඔවුන් කෘෂිකර්මාන්තයට ක්‍රමයෙන් හුරු වීමත් සමග සත්ව පාලනය සිය ප්‍රධාන ජීවනෝපායක් බවට පත් කරගන්නට ඇත. විශේෂයෙන්ම මූලාශ්‍රයන්හි හා ජන වහරේ පැවසෙන “දඩමීමා” සංකල්පය අවධානයට ගැනීමේදී මී ගවයෙකුට පැඟවී වුවද තමාට අවශ්‍ය දඩයම වෙත ළඟා විමට නම් මී ගවයන් මිනිසා කෙරෙහි පවතින බිය නැති කරගනු වස් ඔවුන්වද හීලෑ කරගෙන සිටිය යුතු වීම වැදගත් වේ.
කෙසේ වෙතත් මුල්ම කාලීනව පූර්ණ වශයෙන් පස්ව පාලනය ඇරඹීමට මත්තෙන් විවිධ හේතු මත මිනිසා සතුන් කෙරෙහිත් සතුන් මිනිසා කෙරෙහිත් පැවති අන්‍යෝන්‍ය බිය තුරන් වීමට විවිධ හේතු සාධක බලපාන්නට ඇති බව උපකල්පනය කළ හැකිය.
ප්‍රථමික සමාජයේ සත්ව පාලනයේ ආරම්භක අදියර
ක්‍රි.පූ. හත් වන සහස්‍රයේ සිට නිරිතදිග ආසියාතික කලාපයේ සත්ව පාලනය ඇරඹී ඇති බවට මත පලවී ඇති අතර සත්ව පාලනය පිළිබඳ ලැබෙන සාධක තුළින් එහි කාලානුරූපීයව සිදුවූ වෙනස්කම් අනුව පුරාවිද්‍යාත්මක දත්ත විද්‍යමාන වේ (Clutton, 1989, 127). පෙර සාකච්ඡා කරන ලද සමාජයන්හි ප්‍රධානතම යැපුම් අර්ථ ක්‍රමයක් වූ සත්ව පාලනය මෙහිදී සාකච්ඡාවට පසුබිම් වන මුඛ්‍ය කාරණය වනවා සේම අද්‍යතන උදාහරණ ගෙනහැර දක්වමින් මෙකී තත්වය නිදර්ශනාත්මකව විග්‍රහ කිරීමේ අවස්ථාව පවතී. නමුත් පළමුවෙන්ම මෙහි ‍‍මුලාරම්භක අවස්ථාව පිළිබඳ අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේ.
මුල්ම යුගයන්හි සත්ව පාලනයක් තිබුණේ නැති අතර පෙර දැක්වූ පරිදි මිනිසා දඩයම හා ආහාර රැස් කිරීම මත යැපුණි. සත්ව පාලනය මිනිසා අතරට පිවිසියේ මෙසොලිතික යුගයේදී පමණ වන බවත් එය නියෝලිතික යුගයේ වජාත් විස්තීරණය වූ බවත් පිළිගැනේ. මිනිසා සතුන් ඇති කිරීමට පෙළඹීම පිළිබඳ මත ‍කෙරෙහි විවිධ මතවාද පවතින අතර මෙතෙක් ඒ සඳහා නිශ්චිතම පිළීතුරක් ලැබී නැත. ඒ අනුව ප්‍රධාන වශයෙන් සත්ව පාලනයේ ආරම්භක අවස්ථාව උදෙසා පවතින උපකල්පන ලෙස,
  • ·       ආගමික සංකල්ප මත, පූජාවිධි ආදිය උදෙසා සතුන් පරිහරණයට ගැනීම
  • ·       මස්, කිරි, බිත්තර ආදී ආහාර සේම ලොම් ආදිය ලබා ගැනීම
  • ·       මිනිසා තුළ ඇති ආදරය මත පදනම්ව සුරතලය සඳහා සතුන් ඇති කිරීම
  • ·       ගෝත්‍ර සංකේත ලෙස සතුන් නිරූපණය හේතුවෙන්
  • ·       සතුන් මිනිසාටත් මිනිසා සතුන්ටත් ළං විමට තිබූ රුචිකත්වය මත
  • ·       ජලාශ ආශ්‍රයට පැරණී මිනිසා හා සතුන් නිතර රැස් වීම මත එකිනෙකා වෙත තිබූ බිය තුරන් විම

ආදී සංකල්ප මෙතෙක් පලවි ඇති මත ලෙස දැක්විය හැකිය.

හීලෑ කිරිමකින් තොරව, සිය ආහාර අවශ්‍යතා උදෙසා වනයේ සතුන් දඩයම් කරගනිමින් යැපුණු සමාජයක මිනිසා අතරට ආ පළමු සත්වයා බල්ලා (Canis familiaris) ලෙස සැලකේ. ඇතැම් සතුන් හීලෑ කර ගැන්මකින් තොරව නිරායාසයෙන් මිනිස් වාසයට පැමිණීමේ නැමියාවක් ඇති බවත් එයට හේතුව එකී සතුන් තුළ පවතින සමාජශීලී බව යැයි පිළිගැනේ. එහිදී මිනිසා සමීපයට එසේ නිරායාසයෙන් පැමිණි සතුන් ලෙස එළුවා, ගවයා සැලකිය හැකියැයි පැවසෙන අතර ඒ සඳහා සතුන්ගේ අනුකූලතාවද බලපාන්නට ඇතැයි පැවසේ.
විශේෂයෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරයේ සිවල් මුහුණක් සහිතව මරණයේ විනිශ්චය දෙන දෙවියන් දැක්විම සඳහා පසුබිම් වන්නට ඇත්තේ සිවලුන් කෙරෙහි වූ භක්තියක් විය හැක. එමතුද නොව ඉන්දු නිම්නයේ පුජනීයත්වයේ ලා සැලකූ සතෙක් ලෙස ප්‍රමුඛ වන්නේ ගවයායි. මුස්ලිම්, යුදෙව් ආගම් වලට අනුව ඌරා යනු ආහාරයෙන් වැලකිය යුතු සත්වයෙකු විය. ඒ අනුව විවිධ පරිසරයන්හි විවිධ සතුන් යම් යම් කාරණා මත විශේෂීකරණය වූ අතර මෙකි සංකල්පයන් ක්‍රියාත්මක වූ යුගයන්හි දෘශ්ටිමය සාධක අපට විද්‍යමාන වන මුතු එකී සංකල්පයන්හි ජන්ම අවස්ථාව මේ යුග නොවිය හැකිය. ඒවා චිරාතන සම්ප්‍රදායන් අනුව ඔවුන් වෙත පරම්පරාවෙන් උරුම වූ මතිමතාන්තර විය හැකි යැයි අපකල්පනය කළ හැක. ඒ අනුව සතුන් මිනිසා මත විවිධෘකාරයෙන් බලපෑ බව පැවසිම සාවද්‍ය නොවේ.
ගෘහස්ථකරණයට ලක්වූ සතුන්
මිනිසා සිය දෛනික දිවියේ විවිධ අවශ්‍යතා සඳහා සතුන් හීලෑ කරගන්නට ඇත. සුරතලය සඳහා බළලුන් (Felis catus), ආරක්ෂාව සහ දඩයමේ හවුල්කාරයින් වශයෙන් බල්ලන්, පරිවහන සහ කෘෂි කටයුතු සඳහා ගවයන්, ඔටුවන්, අශ්වයින් (Equns cabalus), බූරුවන්, අලින් (Eliphas maximas) ආහාර අවශ්‍යතා සඳහා එළුවන්, බැටළුවන්, කුකුළන් (Gallus gallus), ඌරන් (Sus domesticus) ආදී වශයෙන් සත්ව පාලනය ක්‍රියාත්මක වී තිබේ. ඒවා හිටි හැටියේ සිදු වූ ඒවා නොව විවිධ අදියර රැසක ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාවට නැගුණු ඒවා බවට සාධක ලැබේ. වනගත සතුන්ගේත් ගෘහාශ්‍රිත සතුන්ගේත් අස්ථි වල දක්නට ලැබෙන ක්‍රමික වෙනස්කම් මේ සඳහා එක් නිදර්ශනයකි. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ වනගතව සිටි සත්ව ප්‍රජාවේ ඇතැමක් මානව වාසස්ථාන කරා විතැන් වීම පිළීබඳ ලැබෙන සාධකයි.
බල්ලාගේ ප්‍රභවය සිදු වී ඇතැයි පැවසෙන්නේ වෘකයාගෙන් (Canis lapus) හෝ නරියාගෙනි (Canis gurpus). කසල භක්ෂකයන් ලෙස හඳුනා ගැනෙන මෙම සතුන් මිනිස් වාවස්ථාන කරා පැමිණ ඇති අතර විශේෂතම හේතුව වන්නේ ඔවුන්ගේ පැටවුන් ඉතා පහසුවෙන් ඇති දැඩි කිරිමේ හැකියාව පැවතිමයි. සතුන් හීලෑ කිරීමේ ඉතිහාසය සලකා බලන කල්හි වසර 11480කට ඈත යුගයක සාධක උතුරු ඉරාකයේ බෙල්ට් ගුහාවෙන්ද, ක්‍රි.පූ. 10800කට අයත් සාධක මෙගාහාරෙට් එල්වඩ් ගුහාවෙන්ද (කුමාරතුංග, 2000, 50) ලැබී තිබීම වැදගත් වේ.
බල්ලා පිළිබඳව ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක
·       ක්‍රි.පූ. 8670දී ජෙරිකෝ වලින්
·       ක්‍රි.පූ. 6950දී ජර්මෝ වලින්
·       ක්‍රි.පූ. 4000ට පමණ අයක් ඊජිප්තු මැටි බඳුන්වල බල්ලාගේ රුව සහිත සාධක
·       මෙසපොතේමියාවේ කැටයම් හා මුද්‍රාවල සාධක
·       තුර්කියේ අනව් හි සාධක
·       මොහොන්ජදාරෝවෙන් හමු වූ සුනඛ ඇටසැකිල්ල
·       ඔස්ට්‍රේලියාවේ ඩින්ගෝහි සාධක
මුලාශ්‍රයගත තොරතුරු වලට අනුව සහ අද්‍යතන ඇතැම් ගෝත්‍රික චර්යා අධ්‍යයනයේදි දක්නට ලැබෙන විශේෂ කරුණක් වන්නේ පුරුදු කරගත් බල්ලන් ඔවුන්ගේ දඩයමේදී උපකාරී කරගන්නා ආකාරයයි. තවද හිම සහිත රටවල හිම වාසන ඇදගෙන යාමට අතීතයේ මෙම සතුන් යොදාගත් බවට සාධක බොහෝ වෙයි. ප්‍රාථමික සමාජයේ පරිසරානුබද්ධ යැපුම් ක්‍රම වලදී මිනිසාට වඩාත් හිතවත් වූ බල්ලන් මිනිසා ළඟම වාසය කරමින් ඔවුන්ගේ ආරක්ෂාවත්, යැපුම් ක්‍රමත් පහසු කරගන්නට රුකුලක් වූ අයුරු ඒ අනුව පෙන්වා දිය හැක. නිදර්ශනයක් ලෙස ලංකාවේ වැදි ප්‍රජාව අවධානයට ගැනීමේදී දඩයමේදී බල්ලන් ඔවුන් උපකාරී කරගත් ආකාරය විශේෂ වේ. මෙහිදී කුජා ප්‍රමාණයේ කුරුල්ලන් වැනි සතුන් විද මැරූ විට ඒවා ඩැහැගෙන ඒම සඳහාද බල්ලන් පුරුදු කර තිබූ අයුරු මෙම අධ්‍යයනයේදී වැදගත් වන සාධකයක් වේ
 මෙම තත්වය ලංකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ ප්‍රාථමික සමාජයන්හි කැපී පෙනෙන ලක්ෂණයක් වනවා සේම නුතනයේද සිය සම්ප්‍රදායන් පවත්වාගනිමින් වෙසෙන ඇතැම් ප්‍රාථමික ප්‍රජාව තවමත් මෙම සිරිත් අනුගමනය කරන අවස්ථාද විරල නොවේ.
මෙසොලිතික යුගය තුළ හිලෑකිරීමටත්, මිනිසාගේ දෛනික අවශ්‍යතා පිරිමසා ගැනිමටත් උපයෝගී වූ තවත් සත්වයෙක් ලෙස එළුවා (Capra hireus) වැදගත් වේ. ජීව විද්‍යාත්මක වශයෙන් බැටළුවාගේ (Ovis aries) හා එළුවාගේ අස්ථි සමාන ගක්ෂණ සහිත වීම මත මෙම සතුන් ගෘහාශ්‍රිතකරණයට පෙර වනගත අවධියේ පැවති දේහ ලක්ෂණ  ගැටළු සහගත බව පැවසේ.
            එළුවා පිළිබඳ ලැබෙන සාධක
·       සින්ධ් වල සිට ග්‍රීසිය දක්වා ව්‍යාප්තියක් පෙන්වීම
·       මුලින්ම එළුවන් හීලෑ කිරිම පිළිබඳව මැදපෙරදිග ප්‍රදේශ වලින් ලැබෙන සාධක
·       ක්‍රි.පූ. 12000-9000ට අයත් සැකිළි පලස්තීනයේ ඊ-කියාම් ගුහාවෙන් හමුවිම
·       ක්‍රි.පූ. 6000-7000ට අයත් සාධක ඉරාණයේ බෙල්ට් ගුහාවෙන් හමුවිම
·       මෙසපොතේමියානු මැටි බඳුන්වල හමුවන එළු රූප
·       ඊජිප්තුවේ පස් වන රාජවංශයට අයත් ශාහ් රේ රජුගේ සොහොනේ මූර්ති වල එළු රුව හමු වීම
·       ඉන්දියාවේ මෙසොලිතික සාධක සහිත අදම්ගාර් හි හමුවූ ක්‍රි.පූ. 2765ට පමණ අයත් අස්ථි
·       ඉන්දුනිම්න මුද්‍රා අතර එළු රුව හමු වීම
බල්ලා මෙන් නොව එළුවා, බැටළුවා, ගවයා (Bubalns), ඔටුවා වැනි සතුන් ගෘහාශ්‍රිතව ඇති කිරීම තුළ දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ වැදගත්කම කැපී පෙනේ. මෙහිදී, පළමු කොට තමා අවට පරිසරයේ සංචාරය කරමින් දඩයමින් හා රැස් කිරිමෙන් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනිමට හුරුව සිටි මිනිසා ක්‍රමයෙන් යම් ව්‍යූහයක් තුළ සත්ව පාලනය පවත්වා ගැනීම කරා සංවිධානගතවූ ආකාරය හඳුනාගත හැකිය.
හීලෑ කරන ලද බැටළුවන් (Ovis aries) පිළිබඳ ඉතිහාසය අධ්‍යයනයේදී මූපියන් සහ වුරියල් යන වර්ගද්වයෙන් ප්‍රභවය වූ බැටළු වර්ග ලොව පුරා ව්‍යාප්තව ඇත. ඉරාණය, ඇෆ්ගනිස්ථානය, පංජාබය, ටිබෙටය හා මධ්‍යධරණී ප්‍රදේශය තුළ ව්‍යාප්තව ඇති උක්ත බැටළු වර්ග අතුරින් ඉතා පැරණිම ද්‍රව්‍යාත්මක සාධක හමුවන ස්ථාන සැලකීමේදී නියොලිතික යුගයට අයත් ක්‍රි.පූ. 5000 පමණ කාලට සනිටුහන් කරන බෙල්ට් ගුහාවෙන් හමු‍වූ අස්ථි සාධක සුවිශේෂී වේ. මෙසපොතේමියාවේ මැටි බඳුන් සාධක සේම ඊජිප්තු කලා නිර්මාණද මෙහිදී අමතක කළ නොහැක. ඒ අනුව පෙනී යන වැදගත් සාධකයක් වන්නේ ශිෂ්ටාචාර යුගයේ දක්නට ලැබෙන සංවිධිත ආර්ථික ව්‍යූහයට පසුබිම් වූ ඊට පෙර පැවති යුග වලදී සිට සත්ව පාලනය කෙරෙහි වූ බලපෑමයි. තවද ඉන්දු නිම්න මුද්‍රා තුළ හමුවන එළුවන් බිළි දෙන අවස්ථා සහිත කැටයම් ඵලක වලින් හෙළිවන සාධක අවධාරණයේදී විවිධ ඇදහිලි සඳහා සතුන් බිළි දිම දක්වා වූ චාරිත්‍රයන් සඳහා ඊට පූර්ව සාධකද තදින් බලපාන්නට ඇතැයි සිතිය හැකිය.
ගවයා (Bubalns) ක්‍රි.පූ. 4වන සහශ්‍රයට පෙර හීලෑ කරන ලද සත්වයෙක් බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ. පෙර සඳහන් කරන ලද දඩමීමා සංකල්පය ලංකාව තුළ මී ගවයන් හීලෑ කිරිම පිළිබඳ මුල් කාලීනම සමාජයට ආදේශ කළ හැකි නිදර්ශනයකි. විශ්වීය මට්ටමින් සලකා බලන කල්හි ලොව ප්‍රථම නාගරීකරණය පෙන්වන ශිෂ්ටාචාර ගණනාවක ගව රුව සහිත සාධක රැසක් දැකිය හැකි අතර ඉන්දු නිම්නය ඒ අතරින් ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකීම සාවද්‍ය නොවේ. තවද මෙසපොතේමියාවෙන් හමුවූ ගව රුව සහිත ලැපිස් ලැසුලි ආලේපිත සංගිත භාණ්ඩය, ඊජිප්තුවේ සී සෑම පිළිබඳ දැක්වෙන සිතුවම් සාධක මෙදිහී ඉතා කේන්ද්‍රීය වැදගත්කමක් දරයි.
ඊජිප්තු සිතුවම් විමර්ශනය කරන කල්හිගවයින් රැසක් එකට බැඳ පුද්ගලයින් සමුහයක් සීසාන අවස්ථාව දැක්වෙන සිතුවම සුවිශේෂී වේ. නූතන ග්‍රාමීය සමාජ අධ්‍යයනයට ගැනීමේදී ඉන්දියාව ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ග්‍රාමීය කෘෂිකර්මාන්තය පිළිබඳ ලැබෙන ජීවමාන නිදර්ශන මෙයට සමාන්තර බව අවිවාදිතව පිළිගත හැකිය. ගෝත්‍රික සමාජයේ සිට ලබාගත් අත්දැකීම් වල වර්ධනීය අවස්ථාවක් මෙම ශිෂ්ටාචාර යුගයේදී දක්නට ලැබෙනවා සේම සත්ව පාලනයේ ප්‍රායෝගික අවස්ථාවක් ලැබෙන අගනා නිදර්ශනයක් ලෙස මෙම ඉපැරණි සිතුවම පෙන්වා දිය හැකිය.
අතීත සමාජයේ පරිවහන කාර්යයන් සඳහා සතුන් විශාල වශයෙන් දායක වී ඇත. ඉන්දියාවේ ගුහා සිතුවම් මේ සඳහා අගනා නිදර්ශන දක්වයි. එසේම ප්‍රදේශානුරූපව දක්වන පරිසර විවිධතා මත ඒ ඒ ප්‍රදේශ වල වාසය කළ සත්ව වර්ග විශේෂ වූ අතර මානවයා සිය කාර්යයන් උදෙසා දායක කරගත් සත්ව විශේෂ තීරණය වූයේ ඒ මතයි. ඒ අනුව ඔටුවා, අලියා, අශ්වයා, බූරුවා සේම මුහුම් ප්‍රභේදයක් වූ කොටළුවා වැනි සතුන්ද වැදගත් වේ. සම්පූර්ණ වශයෙන් වනගතව විසූ මෙම සතුන් ගෘහාශ්‍රිත කිරිම තුළ ඔවුන්ගේ චර්යා රටාවල දේම දේහ විද්‍යාත්මක වශයෙන් භෞතික විපර්යාසයන්ද රැසක් සිදු වී ඇති බව කැණීම් සාධක විශ්ලේෂණයේදී පෙනී යයි. කෙසේ වෙතත් පූර්ණ වශයෙන් වනගත වූ සතුන් හීලෑ කිරීම හා බැඳි විශේෂ යාන්ත්‍රණ පැවති අතර අද පවා මෙම තත්ව නිරීක්ෂණයට ගෝත්‍රික ප්‍රජාවගේ දෛනික දිවිය අධ්‍යයනයෙන් හැකියාව ලැබෙන අවස්ථා විරලව වුවත් හඳුනාගත හැකිය.
  
ලංකාවේ අහිකුණ්ටිකයන් සේම ඉන්දියාවේද නූතන සමාජය හා ගැටෙමින් සිය ජීවනෝපාය සපුරාගන්නා ඇතැම් සංචාරක  සමාජ පිළිබඳව අවධානය යොමු කරන කල්හි නාගයන් රිලවුන් හීලෑ කිරිමත් එකි සත්වයින් විවිධ චර්යා රටාවලට හුරු කිරීමත් මත විශේෂ යැපුම් ක්‍රමයක් පවත්වා ගන්නා අයුරු දක්නට ලැබේ. මෙම ජිවමාන සාධක අධ්‍යයනය තුළින් සැපිරෙන එක් අවශ්‍යතාවක් අව්නේ අතීත සමාජයේ පිරිස් වනගත සතුන් හීලෑ කරගත් යාන්ත්‍රණය පිළිබඳව ඇතැම් නිදර්ශන සහ ඒ සඳහා ඔවුන් භාවිතයට ගත් තාක්ෂණය පිළිබඳ යම් තරමක් හෝ සාධක ලැබීමයි.
ඉන්දීය ගුහා සිතුවම් තුළින් හෙළිවන සත්ව පාලනය පිළිබඳ සාධක
ලොව පුරා විවිධ ගුහා සිතුවම් තුළින් පැරණි මානවයාගේ දෛනික දිවියේ විවිධ අවස්ථා නිරූපණයන් හෙළි වන සාධක විශාල වශයෙන් ලැබේ. දඩයම, ආහාර රැස් කිරීම, ගාහ ජීවිතයේ විවිධ අවස්ථා, උත්සව අවස්ථා, ගෝත්‍රික සටන් ආදිය ඉන් සුළුතරයකි. මෙහිදී සාකච්ඡාවට ලක් කරන මාතෘකාවට අදාලව හමුවන තොරතුරු විමර්ශනයේදී නියැඳියක් ලෙස ඉන්දියාව සලකා බලන කල්හි සත්ව පාලනය පිළිබඳ අවස්ථා ගණනාවක සාධක ඉන්දියාව පුරා නන්විධ ගුහා ක්ෂේත්‍රයන්හි සිතුවම් තුළින් අනාවරණය වන බව පැවසිය හැකිය. කැණීම් වාර්තාවන්ට අනුව ඉහල පුරාශිලා යුගයේ සිට හමුවන මෙම දත්ත ප්‍රාථමික මානව චර්යා රටා අධ්‍යයනයේදීත්, ඒවායෙහි වර්ධනය හා පරිණාමය විමර්ශනයේදීත් බෙහෙවින් වැදගත් වේ.
මුල්ම කාලීනව දඩයම් අවස්ථා දැක්වෙන මෙම ‍ගුහා සිතුවම් තුළීන් කාලානුරූපව සිදුවූ මානව රර්ථ ක්‍රමයන්ගේ විකාශනය නිරූපණය කරමින් කෘෂිකාර්මික යැපුම් ක්‍රම දක්වා වර්ධනය වී ඇති ආකාරය මෙකි සිතුවම් රැසකින් අධ්‍යයනය කළ හැකිය. එහිදී කැපි පෙනෙන ලක්ෂණයක් ‍වන්නේ ගමනාගමන කටයුතු උදෙසා ගවයින් අලියන් ආදී සතුන් භාවිත කළ බවට දැක්වෙන රෑපමය නිදර්ශණයි. තවද ඉන් ඔබ්බට යමින් සීසෑම සඳහා සතුන් යොදා ගැනිම වැනි තත්ව මත දඩයමම පදනම් වූ අර්ථ රටාවෙන් දුරස් වී ක්‍රමයෙන් සංකීර්ණ සමාජ රටාවකට නැඹුරු වීමත් සමග මිනිසා තාක්ෂණික වශයෙන් දියුණු වූ ආකාරය පැහැදිලිව මෙම සිතුවම් තුළ කැපී පෙනේ.

  • ·       ඇතෙකු පිට නැගී ආයුධ අත දරා යන අවස්ථාවක් දැක්වෙන සිතුවම තුළින් ඇතුන් හීලෑ කර ගමනාගමන කටයුතු සඳහා යොදා ගත් බවට සාධක ලැබේ.
  • ·       තෝන් ලණු යැයි සිතිය හැකි කඹ දමා අශ්වයින් වැනි සතුන් රැසක පිට නැගි පිරිසක් දැක්වෙන සිතුවම් (Nural, Ladakh) තුළින් සතුන් පිට යාමේදී උපයෝගි කරගත් තාක්ෂණයේ මූලික අවස්ථාවක් දැක්වේ.
  • ·       ගවයෙක් මෙල්ල කිරීමක් වැනි අවස්ථාවක් දැක්වෙන මෙසොලිතික යුගයට අයත් සිතුවම (Gupha Misir).
  • ·       කොටු හැඩයෙන් දැක්වූ නිවසක් දිරිපිට කඹයකින් බැඳි සතෙකු දැක්වෙන මෙසොලිතික සමයට අයත් සිතුවම (Lakhajoar).
  • ·       ගවයින් දෙදෙනෙකු බැඳි නගුලක කෙවිටක් අත දරා සී සාන මිනිසුන් දැක්වෙන කැල්කොලිතික සිතුවම (Chatur Bhoj Nath).
  • ·       රෝද සහිත රථයක අශ්වයින් වැනි සතුන් දෙදෙනෙක් බැඳ ගමන් කරන අවස්ථාවක් දැක්වෙන සිතුවම. කැල්කොලිතික යුගය (Kathotya).
  • ·       ඓතිහාසික යුගයට අයත් (Bhimbetka) ගුහා සිතුවම් අතර දක්නට ලැබෙන සැදලය සහිත අශ්ව රුව බඳින ලද බල්ලෙක් කැටුව සිටින මිනිස් රුව සහිත සිතුවම (තරමක් වර්ධනීය ලක්ෂණ සහිතය).
  • ·       බල්ලෙකුගේ රුව, මොල්ලිය සහික ගවයෙකු මත නැගි මිනිස් රූ දෙක (Agamdwar).
  • ·       ඓතිහාසික යුගයට අයත් ඇතුන් දෙදෙනෙක් පාගාගෙන සහ තවත් ඇතුන් දෙදෙනෙක් දෑතින් දරා සිටින මිනිස් රුව සහිත සිතුවම, ඔටු රූ පේළියක් සහ ඇතුන් දෙදෙනෙක් මත නැගි මිනිසුන් සහිත දඩයම් දර්ශනය (Kowarkhoh). මෙම සිතුවම් තුළින් මිනිසුන් මෙම යුගය වන විට ලද සංකල්පීය දියුණුව පැහැදිලි වේ.
cave paintingscave artindian cave art
ලෝකයේ විවිධ ස්ථාන වලින් දැබෙන ගුහා සිතුවම්හි නිරූපිත සතුන් හීලෑ කිරිම පිළිබඳ සාධක
  • ·       ගවයෙකු පිට නැගී මොණර දඩයමේ ගිය අවස්ථාවක් දැක්වෙන සිතුවම (Koppagallu) දකුණු ඉන්දියාව.
  • ·       වංශවතුන් යැයි සිතිය හැකි තිදෙනෙක් ගවයින් හෝ අශ්වයින් පිටද තව අයෙක් බිමද සිටින අවස්ථාව සහිත සිතුවම. දකුණු ඉන්දියාව (Sirumalai Meenputti).
  • ·       මොල්ලිය සහිත ගවයින් දෙදෙනෙකු නගුලක බැඳ සීසාන අවස්ථාව දැක්වෙන සිතුවම (Hathitol).
  • ·       රෝද සහිත වාහනයක සතුන් දෙදෙනෙක් හෝ හතරදෙනෙක් බැඳ යන මිනිස් රූ සහිත සිතුවම් (Dharampuri, Asan, Katiryakund, Chatur, Chibarnala, Kanya Deh, Adhar).
  • ·       පැටවුන් කුස දැරූ ගවයින් දැක්වෙන සිතුවම් (Central Indian Caves, Jaora, Pachmari).
  • ·       සැරසිලි කළ අලියන් අශ්වයන් මත යන පෙරහැර වැනි අවස්ථා දැක්වෙන සිතුවම් (Ladi-ki-karar, Abchand, Firangi, Satakunda, Saraswati Kunda).
  • ·       සතුන් පිට නැගී දඩයමේ ‍හෝ යුද්ධයට ගිය අවස්ථෘ දැක්වෙන ‍ඓතිහාසික යුගයට අයත් සිතුවම් (Bhimbetka).
  • ·       බල්ලකු කැටිව මුව දඩයමේ ගිය මිනිස් රූ දෙකක් දැක්වෙන අවස්ථාවක් (Burzahom).
  • ·       නවශිලා යුගයට අයත්, කණු වල බැඳි ගවයින් දැක්වෙන සිතුවම (Bhutahiya rock shelter).
  • ·       කොටු කරන ලද බිමක මුවෙක් දැක්වෙන අවස්ථාව (Shivamandar).

(Lorblanchet, 1992)

මේ අනුව ගුහා සිතුවම් කෙරෙහි අවධානය යොමු කරන කල්හි දඩයමේ පහසුව සඳහා ආධාර කරුවෙකු ලෙස බල්ලන් වැනි සතුන් යොදා ගැනීම, කෘෂිකර්මාන්තය සඳහා, ආහාර අවශ්‍යතා සඳහා, පරිවහන කටයුතු සඳහා ආදී වූ අවශ්‍යතා රැසක් සඳහා සතුන් හීලෑ කරගත් බවට නිරවද්‍ය වූ සාධක රැසක් දර්ශනය වේ. මෙම තත්වය වත්මන් ප්‍රාථමික සමාජයේ දෛනික දිවියේ අවස්ථා තුළින් නිරූලණය වන අවස්ථාද විරල නොවේ. ඒ සඳහා ජීවමාන සාක්ෂි නූතන ප්‍රාථමික සමාජ ඇසුරින් ලබා ගත හැකි සේම මානවවංශවිද්‍යා අධ්‍යයනයන් එකි කර්තව්‍ය සඳහා මහෝපකාරී වේ.
අද්‍යතන ප්‍රාථමික ගෝත්‍රයන්හි සාධකවලින් හෙළිවන සත්ව පාලනය හා බැඳි සාධක ඇසුරින් අතිතය ප්‍රතිනිර්මාණය
 
මානවවංශ විද්‍යා සාධක ඇසුරින් පැරණි සත්ව පාලනය පිළිබඳ සාධක සාධනය කිරීමේ ප්‍රවණතාව පවතී. මන්ද යත්, බොහෝ සමාජ අදටත් සිය සම්ප්‍රදායන් හැකි තාක් මුල් තත්වයෙන් ආරක්ෂා කර ගනිමින් පොදුජන සමාජයෙන් දූරස්ථව සිය කටයුතු පවත්වා ගනිමින් වාසය කිරීම හේතුවෙනි. යටත්විජිත යුගයේ ලොව පුරා බොහෝ සමාජයන්හි මුල් තත්වය කැපී පෙනෙන වෙනසකට ලක් වුවද අදටත් හුදෙකලාව සිය අනන්‍යතාවන් එලෙසම පවත්වාගනිමින් වෙසෙන ආදිවාසී සමාජ අප්‍රිකාව, ආසියාව ඇතුළු සියලුම මහාද්විපයන්හි යම් තරමකින් හෝ පවතින බව පැවසිම සාවද්‍ය නොවේ. විශේෂයෙන්ම කැපී පෙනෙන සාධකයක් වන්නේ බොහෝ ගෝත්‍රික සමාජ වල පවතින නිවස කේන්ද්‍ර කරගත් සත්ව පාලනයේ ව්‍යූහය ප්‍රාදේශීය විශමතා තිබුණද බොහෝ සමාන ස්වරුපයෙන් පැවතිමයි.
ගෝත්‍රික පිරිස් ඉතා බහුලව වෙසෙන අප්‍රිකානු මහාද්විපය තුළ බහුතරයක් ගෝත්‍රික කුටුම්භ රටාව තුළ පවතින ව්‍යූහය අධ්‍යයනයේදි ඉන්දුනීසියානු ඩානි වරුන්ගේද නිවාස සැලසුම සමග ‍කැපී පෙනෙන සමානතාවක් දක්නට ලැබේ.
dhani home
(සෝමසුන්දර, බණ්ඩාර, 2009)
බොහොමයක් සමාජයන්හි කුටුම්භ ව්‍යූහය පොදු සමානතා වලින් යුක්ත වේ. මෙහිදි බෙහෙවින් හේතු පාදක වී ඇත්තේ ඔවුන්ගේ යැපුම් රටාවයි. සත්ව පාලනයේ නියුතු වත්මන් සමාජ කොරෙහි අවධානය යොමු කරන විටද මෙකී සමානතා බොහෝ විට විශම ප්‍රාදේශීය කලාප වල වුවද දැකිය හැකි අතර එම තත්ව පදනම් වි ඇත්තේ ඔවුන්ගේ මෙම යැපුම් රටාව මතයි. උක්ත රූප සටහන සැලකිල්ලට ගැනීමේදී ඩානි වරුන් ඇසුරින් ඔවුන්ගේ සත්ව පාලනය හා මුහු වූ පවුල් ව්‍යූහය පිළිබඳ විමර්ශනය කිරීමේ හැකියාව පවතී. ඩානි පිරිමියෙකු හටභාර්යාවන් කිහිප දෙනෙක් සරණ පාවාගත හැකි වන අතර සිය ඉඩම තුළ ප්‍රධාන කුටිය වෙන් වන්නේ පවුලේ පියා ඇතුළු පිරිමි දරුවන් හටයි. පවුලේ කුටි තුළ කාන්නා පාර්ශවය වාසය කරන අතර මෙම භූමි කලාපය තුළ පොදුවේ ගතහොත් සතුන් ගාල් කර තබන කලාපද ස්ථාපනය වී පවතී. ඒ හා පවතින වගා බිම සඳහා අවශ්‍ය පොහොර ආදිය මෙම සත්ව ගාල් තුළින් සපුරා ගැනෙන අතර දෛනිකව සිය කටයුතු පවුල කේන්ද්‍රගත වූ ඉඩම තුළ සිදු වන ආකාරය උක්ත සටහනට අනුව පිළිබිඹු වේ. ඇතැම් අප්‍රිකානු සමාජ මේ හා සමාන නිවාස සැලැස්මකට හිමිකම් කියන අතර ඔවුන්ගේ ඉවුම් පිහුම් කරන පොදු ස්ථානය පොදු මිදුල වන මුත් ඩානි වරුන්ගේ දක්නට ඇති විශේෂත්වය වන්නේ ඔවුනට ඒ සඳහා වෙන් කරන ලද කුටියක් පැවතිමයි. කෙසේ වෙතත්, බාහිර පරිසරයෙන් වෙන් කරන ලද වැඩක් සහිතව ඉදි වුණු මෙම නිවාස සැලසුම තුළ සත්ව පාලනයත් වගා කටයුතුත් පවුල තුළම සිදු කර ගනිමින් සිය අවශ්‍යතා සපුරාගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් පවත්වා ගන්නා බව පැහැදිලි වේ.
 chenchu india
ඉන්දීය චෙන්චු ගෝත්‍රිකයෝ
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් හි වෙසෙන ලක්ෂ තිස් දෙකක් පමණ වූ ගෝත්‍රික පිරිස්ද සංචාරක ගෝත්‍ර සහ වෙනත් නොදියුණු පිරිස් ලක්ෂ පණහක් පමණද වන සමස්ථය විමර්ශනය කරන කල්හි ඔවුන්ගේ බහුතරයකගේ යැපුම් මාර්ගය වන්නේ කවි කථා ගායනයෙන් උපයා ගැනිමයි. කඳුකර සංචාරක දිවියක් ගතකරන මෙම ගෝත්‍රිකයන්ගෙන් ඇතැමැක් වර්තමාන සමාජ ප්‍රවාහයන්ට හසු වුවද කෘෂිකර්මාන්තය මතද පදනම් වී සිය අර්ථ ක්‍රමය සපුරා ගනී(http://www.indianetzone.com/10/tribes_andhra_pradesh.htm, 07/07/2011). කණ්ඩායම් සමාජ බහුතරයක් අන්‍යෝන්‍ය සහසම්බන්ධතා මත යැපෙන අතර සත්ව පාලනය සැලකිමේදි මෙය කැපි පෙනේ. විශේෂයෙන්ම කෘෂි කටයුතු උදෙසා උපයුක්ත වන්නා වූ සතුන් හවුලේ භාවිතය තුළ ගෝත්‍රික දිවිය තුළ ඇති සුහදතාව ඉතා වැදගත් වේ. පැරණි ලාංකේය සමාජ අනන්‍යතා අධ්‍යයනයේදීද (අම්බරුවන්ට කීම) මේ බව කැපී පෙනේ.
ගිනිකොණදිග ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි දැනට වෙසෙන 460,000ක් පමණ වූ යනාදී ගෝත්‍රිකයින් පදනම් කරගනිමින් සත්ව පාලනය පිළිබඳ විග්‍රහ කිරීමේදි හදුනා ගත හැකි මූලිකම ලක්ෂණය වන්නේ සෙලිග්මාන් ආදින් ලංකාවේ වැදි ප්‍රජාව පිළිබඳව විස්තර කරන පරිදි , මුලින්ම සංචාරක දිවියක් ගෙවූ යනාදී ගෝත්‍රිකයින් හටද යටත් විජිත යුගයේ ගම්මාන වල ස්ථිර වාසස්ථාන තනා ගනිමින් ස්ථාවර දිවියක් ගත කිරීම සඳහා යුරෝපියයන් පදනම දැමූ ආකාරයයි(http://www.peacefulsocieties.org/society/yanadi.html). බල්ලන් බළලුන් වැනි සතුන් පමණක් සිය සමිපයේ හිඳුවා ගනිමින් දඩයමත් රැස් කිරීමත් මත යැපුණු ඔවුනට සත්ව පාලනය පිළිබඳවත් ස්ථාවර දිවි පැවැත්ම පිළිබඳවත් අංකුර අදහස් රෝපණය වන්නේ එසමයේ බව උපකල්පනය කළ හැකිය. මේ වන විටත් ඔවුන් බෙහෙවින්ම දඩයම හා රැස් කිරීම මත පදනම් වුවද ඇතැම් ප්‍රදේශ වල කෝණාකාරව කොළ අතු ආවරණය කර තනා වැටවල් වලින් වෙන් කරගත් ඔවුන්ගේ වාසස්ථාන සමුහයන් අසල එළු රංවු ඇතිදැඩි කරගනිමින් සත්ව පාලනයද සිය ජීවනෝපායට එක් කර ගනිමින් වෙසෙන ආකාරය දැකිය හැකිය.
 indian tribes
ගවයා හා ඉන්දීය සමාජයේ සම්බන්ධතා දැක්වෙන අවස්ථා
හිමාචල් ප්‍රදේශයේ කිනෝරා, බුර්මූර්, ස්පිටි, පංගි ආදී ගෝත්‍ර අතර සත්ව පාලනය ඉතා ඉහළ මට්ටමකින් සිදු වේ. තෝඩා වරුන්ගේ මුන්ඩ්ස් ලෙස හඳුන්වන කුඩා ගම්මාන ආකෘතිය සත්ව පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කරන කල්හි කේන්ද්‍රීය වැදගත්කමක් දරයි. මුන්ඩ්ස් ලෙස හඳුන්වන ගම්මානයක කුඩා කුඩාරම් ඇත. ඉන් තුනක සිදු වන්නේ සතුන්ගේ කිරි ගැනීම වැනි කටයුතු වන අතර එකක් සතුන් උදෙසා ඉදි කරනු ලැබේ. අනික රාත්‍රියේදී කුඩා සතුන්ට රැකවරණය සඳහා ඉදි වූවකි. ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව වූ එඪේර කර්මාන්තයත් කිරි වෙළඳාමත් නූතන සමාජ ප්‍රවාහය හමුවේ වෙනස් වී දැති අතර මේ වන විට එවුන් මාංශ භක්ෂණයේද යෙදිම තුළින් පැහැදිලි වන්නේ ඔවුන් තුළ සිදුවී ඇති ආකල්පමය වෙනසයි.
ඉහල නයිල් නිම්නයේ නූර්වරු පිළිබඳව මෙහිදී සාකච්ඡා වන ප්‍රස්තුතයට අදාලව විමර්ශනය ඉතා වැදගත් වන්නේ ඔවුන් ස්වභාවයෙන්ම එඬේරුන් වන හෙයිනි. එමෙන්ම ඔවුන් කාෂි නිශ්පාදනයේද නිරත වේ. විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකානු කලාපයේ වෙසෙන සියලු එ‍ඬේර වර්ග ගව පාලනය ඉතා වැදගත්කමින් ඉහළ යැපුම් ක්‍රමයක් සේ සලකන අතර නූර් වරුන්ද එසේමය. නුර් ගෝත්‍රිකයින් ගවයන් පරිභෝජනයෙන් විශාල අවශ්‍යතා ප්‍රමාණයක් පිරිමසා ගනිති.
·       කිරි
·       මස්                   ආහාර අවශ්‍යතා සඳහා
·       රුධිරය
·       හම් – ඇඳන්, බෑග්, පොරෝනා
·       අස්ථි – ආයුධ හා උපකරණ, බන්දේසි, බෙර, පලිහ ආදිය තැනිමට
·       ගොම – බදාම, ඉන්ධන, පිළීස්සු ගොම අළු වලින් දත් මැදීම
·       මුත්‍ර – නූර් පිරිමින් මුහුණ දෙවිමට යොදා ගැනීම
මේ ආදි ලෙස ඔවුන් ගවයා නන්විධ කාර්යයන් සඳහා උපයෝගි කර ගනි. අප්‍රිකානු ගෝත්‍ර සලකා බලන කල්හි මෙය නුර් වරුන්ට පමණක් ආවේණික වූවක් නොවන බව සැලකිය යුතුය. Evans Pritchard දක්වන පරිදි නූර්වරු සිය කථාන්දර සියල්කෙවර මාතෘකාවකින් ආරම්භ කළද ගවයන්‍ගෙන්ම හමාර කිරීම තුළ (ජයතිලක, 2009, 42) පශු සම්පත ඔවුන්ගේ දෛනික දිවිය කෙරෙහි කෙතරම් තදින් බැඳී ඇත්තේද යන්න විද්‍යමාන වේ. ගවයන් ඇති කිරීම තරම් එවුන් ප්‍රීතිමත්වන වෙන යමක් නොමැති වීම තුළින්ද (එම) මෙම තත්වය වඩාත් පැහැදිලි වේ. නූර්වරු ගවයින් මස් පිණිස ඇතිදැඩි නොකරන නමුත් ගවයින් මහළු වූ විට, තුවාල වු විට, උත්සව වැනි අවස්ථා වල මස් පිණිස ගවයින් පරිභෝජනයට ගනිති. ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහිද ගවයා පදනම් වී පවතී. කාන්තාව කිරි දෙවිමේ කාර්යයෙහි නිරත වන අතර පිරිමින් විසින් ගවයින් තණ කැවිම පිණිස ගෙන ගොස් දිවා කළ තුළ රැක බලාගෙන හවසට ඔවුන්ගේ සම්ප්‍රදායානුකූල ගි කියමින් ගෙන එනු ලැබේ. පසුව ගවයින් ඇඟේ වසන පරපෝශිත සතුන් ගැලවීම, අළු දමා ගවයින්ගේ පපු පෙදෙස ඇතිල්ලීම, සේද පටි වලින් අං සැරසිම වැනි දේ කරන්නේද ඔවුන්මය.
 african tribes
අප්‍රිකානු ගෝත්‍රික කාන්තාවන් පිරිසක් සතුන් මස් කරන අවස්ථාවක්
ගවයන් පිළිබඳව අප්‍රිකානු ජනතාවගේ භක්තිමත් භාවය අභිබවා යමින් ඉන්දියාව තුළ ගවයා පූජනීයත්වයට පත්ව ඇති ආකාරය දැකිය හැකිය. මෙහි මූලාරම්භක අවස්ථාව කණ්ඩායම් සමාජ ඇති වු මුල් යුගයේ එම සමාජයන්හි අර්ථ ක්‍රමයට පදනම් වු ගව සම්පත දේවත්වයෙහි ලා තැබීම මත ඇරඹෙන්නට ඇතැයි අපකල්පනය කළ හැකිය. පූර්ව වෛදික යුගයේ ගෝත්‍රික යුද්ධ පිළිබඳ ලැබෙන සාධක මෙහිදී ඉවහල් කරගත හැකි අතර නූර් වරු අධ්‍යයනයේදී ලොව පුරා වෙනස්කම් සහිතව වුවද සමාන ලක්ෂණ රැසක් මෙම ගෝත්‍ර අතර දැකිය හැකි බව පෙනි යයි. විශේෂයෙන්ම නාගරික ව්‍යූහයක් වූ ඉන්දු නිම්නයේ පවා පූජාභාණ්ඩ අබියස සිටින ගව රුව දැක්වෙන ඵලක ඉතා බහුලව හමු වීම මේ සඳහා නිදර්ශන සපයයි.පෙර සඳහන් කරන ලද නූර් වරු වෙත නැවත අවධානය යොමු කරන්නේ නම්, ඔවුන්ගේ අර්ථ ක්‍රමයට පදනම් වු ගව සම්පත තුළින් ඔවුන් සිය දෛනික දිවියේ අවශ්‍යතා රැසක් සපුරා ගන්නා ආකාරය පැහැදිලිව කැපී පෙනේ. මෙම තත්වය අතීත මානවයාගේ යැපුම් ක්‍රමයන් වෙතටද ආදේශ කළ හැක. ස්වභාවික පරිසරයේ සියලු සම්පත් හැකි උපරිම ප්‍රයෝජ්‍යතාවයකින් යුතුව උපයුක්ත කරගනු ලැබූ එකී මානවයා කාලානුරූපිය සිදුවූ පරිණාමයට අනුකුලව ඇතිවූ සංකීර්ණ වෙමින් පැවති අවශ්‍යතා සපුරා ගනු වස් සතුන් හීලෑ කිරීමත් සමග ලැබුණූ වාසි සියල්ල උපයෝගී කරගත්තා විය හැකිය.
සත්ව පාලනය හා බැඳි ගෝත්‍ර අතර යුද්ධ සඳහා ප්‍රධාන මූලබීජය වන්නේ සත්ව සම්පතයි. නැගෙනහිර අප්‍රිකානු ගෝත්‍ර වන ඩින්කා වරු මෙන්ම ෂිලුක් වරුද නූර් ගෝත්‍රය ආක්‍රමණය කළේ ඔවුන් සතුව පැවති විශාල ගව සම්පත හේතුවෙනි. නමුත් එම ගවයින් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවී යාමත් සමග මෙම ගෝත්‍රික ගැටුම් නැවතී ඇත (ජයතිලක, 2009, 60). මේ අනුව ප්‍රාථමික සමාජයන්හි ඇතිවූ අරගල සඳහා සත්ව පාලනය කෙතරම් බලපෑමක් අතිතයේ සිට සපයන්නට ඇතිද යන්න දර්ශනය වේ.

 tribetribes
භෞමික කලාප දෙකක සත්ව පාලනයේ ද්විවිධ අවස්ථා
යටත්විජිතකරණය තුළ ප්‍රාථමික සමාජ වෙත එල්ල වූ බලපෑම
මෙහිදී සාකච්ඡාවට ලක් කළ යුතු තර්කයක් වන්නේ යුරෝපීය ආගමනය සංචාරක දිවියක් ගත කරමින් දඩයම, රැස් කිරිම හා මසුන් ඇල්ලිම මත යැපෙමින් සිටි ජනයාගේ අර්ථ ක්‍රමය වෙනස් කිරීමට බලපෑ ආකාරයයි. ඇතැම් ප්‍රාථමික සමාජ චිරාත් කාලීනව සතුන් හීලෑ කරගනිමින් ඔවුනට අනන්‍ය වු දිවි පෙවෙතක් ගත කළද බොහොමයක් සමාජ සංචාරක දිවියක් මත යැපෙමින් සිය දෛනික අවශ්‍යතා වනයෙන් පිරිමසාගනිමින් වාසය කර ඇති බවට ඔවුන් පිීළබඳව ලියැවුණු වාර්තා තුළින් සාධක ලැබේ. මෙහිදී අවධානය යොමු කෙරෙනුගේ පැවති සම්ප්‍රදාය වෙනසකට ලක් කරමින් විදේශිකයින් විසින් අර්ථ ක්‍රමය වෙනසකට ලක් කිරීමට බඳුන් වූ සමාජ පිළිබඳවයි. බොහොමයක් අප්‍රිකානු ගෝත්‍ර (සෝමසුන්දර, 2009), ඉන්දියාවේ ස්ථාන ගණනාවක ගෝත්‍රික ජනයා (http://www.indianetzone.com/10/tribes_andhra_pradesh.htm, 07/07/2011) සේම ලංකාවේ වැදි ජනතාවද මෙම තත්වයට මුහුණ දුන් බවට සාධක ලැබේ

 india
ප්‍රාථමික හා අද්‍යතන තාක්ෂණය මුහුම් වි ඇති අවස්ථාවක් – ඉන්දියාව
මේ අනුව ගොඩනැගෙන තර්කය වන්නේ ඇතැම් ගෝත්‍රික පිරිස්වල ස්වාධීන යැපුම් ක්‍රමයට යම් ගාමක බලයක් කාලානුරූපව ලැබුණු බවට ඍජුවම  සාධක ගෙනහැර දැක්වෙන යුගයක් යටත් විජිත සමයේ සටහන් වන බවයි. සමීපතම නිදර්ශනය වන්නේ ලංකාවේ වැදි ජනතාවයි. වනය මත පදනම්ව දිවි ගෙවූ ඔවුනට හේන් වගාවත් සත්ව පාලනයත් ස්ථාවර නිවාස ක්‍රමයත් හඳුන්වා දෙන්නේ විදේශ පාලන සමයේදිය. එසේම ඉන්දිය රජය යානාදි වරු 1970 සිට ස්ථිර පදිංචිකරුවන් ලෙස ගම්මාන වල පදිංචි තරවිම තවත් නිදර්ශනයකි. මේ අනුව ලැබෙන මෑතකාලීන සාධක මෙම තත්වයේ පවතිද්දි වසර දහස් ගණනක් පුරා විකාශනය වෙමින් පැවති මානව චර්යා රටාවන්හි පරිණාමිය සාධක සඳහා මෙම තත්වය ආදේශ කිරීමේ හැකියාව පවතී.
මෙහි ආරම්භයේ දැක්වූ පරිදි වර්තමාන තත්වය ඇසුරින් යම්තාක් දුරකට අතීතය ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාව පවතී. ගෘහස්ථකරණය පිළිබඳ තොරතුරු දැක්වෙන විවිධ න්‍යායන්ට අනුකූලව ශාක මෙන්ම සත්ව ගාහස්ථකරණයද අධ්‍යයනය කළ හැකිය. සතුන් හීලෑ කිරීම පිළිබඳව සාකච්ඡා කරන කල්හි අතීතයේ අර්ධ වශයෙන් මෙන්ම (පිනිමුවා) පුර්ථ වශයෙන්ම ගාහස්ථකරණය වු සතුන් හඳුනා ගත හැකිය. මෙහිදී විශේෂ වන්නේ එම සතුන්ගේ අස්ථි, ලොම් ආදියේ ඇතිවි පැවති වෙනස්කම් පැහැදිලිව වනගත සතුන් සමග විශමතා දැක්විමයි.
කෙසේ වෙතත් මිනිසා තමා අවට පරිසරය අධ්‍යයනය කරමින් සංකිර්ණ වු සිය අවශ්‍යතා අනුව වෙනසකට ලක්වූ ආකල්පමය වෙනස ක්‍රියාවේ යොදවමින් දියුණුව කරා පැමිණි ගමනේ අප නොදත් කරුණු රැසක් ප්‍රාථමික සමාජයන්හි චර්යා තුළ තවමත් නිධන්ගත වි ඇති බව නොරහසකි. එහි එක් පැතිකඩක් පමණක් වූ සතුන් හීලෑ කර ඇති කිරිම, එසේත් නැත්නම් සත්ව පාලනය පිළිබඳ සාධක රැසක් අද්‍යතන සමාජ ඇසුරින්ද විදහා දැක්වෙන ආකාරය ඉහත ගෙනහැර දක්වන ලද විස්තර අනුව ගම්‍ය වන බව පැවසිය හැකිය.
 

9 responses to “මානවවංශ පුරාවිද්‍යාව හා සත්ව පාලනය පිළිබඳ විමර්ශනයක්

  1. Nalaka

    February 4, 2014 at 6:50 am

    ගොඩාක් හොදයි ප්‍රයෝජනවත් ලිපියක්

     
  2. mppgunasinghe

    February 4, 2014 at 8:31 am

    හදිසියේම ඔබේ අගනා සටහන් එක්ව ඇති බව දැකීමෙන් ඇති වූ සතුට නිසා ලිපියවත් හරිහැටි නොකියවායි සටහන තබන්නෙ. ඔබ කවදත් ලීව්වේ හරවත් ප්‍රයෝජනවත් දෑය. දිගටම ලියන්න ලිපිය නිවී සැනිස්ලලේ කියවිය යුතුව ඇත. එහිදී මතුවන විශේෂ අදහසක් හෝ ගැටළුවක් වේ නම් නැවත විමසමි. ඔබට සුබපතමි.

     
    • සිත්තරී මං

      February 4, 2014 at 4:30 pm

      බොහොමත්ම ස්තූතියි. ඔබේ අදහස් දැක්විම නිසා දිගටම මේ බ්ලොග් එක කරන් යන්න ඕනි කියලා හිතුණා🙂

      දැනට මම ලියන්නේ මේ බ්ලොග් එක. හැකිනම් මේකටත් ඇවිත් යන්න http://sanskaravinivida.blogspot.com/

       
      • mppgunasinghe

        February 6, 2014 at 5:57 pm

        පුංචි පෞද්ගලික දුෂ්කරතාවක් නිසා අවිවේකී බැවින් මදක් පමාවෙමි. ඔබේ ලිපි කියවීම මහත් සන්සුන් මනසක් ඇතිවනතුරු සිටිමි. කෙසේ වුවද ඇතම් ගැටළු හදාගෙන මා විමසන සිසුන්ට ඔබේ ලිපි තුළ ඉතා හරවත් පිළිතුරු අන්තර්ගතය. ඇතැම් ගැටළුවකදී ඔවුනට කියවන පිණිසත් ගුරු බැතියෙන් සටහන් තබන ලෙසත් උපදෙස් දෙමින් යොමුකරමින් සිටිමි. ඔබ කරන්නේ මහත් පිනකි

         
        • සිත්තරී මං

          February 7, 2014 at 2:39 pm

          මගේ බ්ලොග්ස්පොට් අඩවිය තුළ පුරාවිද්‍යෘ විෂයට අදාලව මැතකදී ලිපි කිහිපයක්ම එක් කළා. ඒවා ප්‍රයෝජනවත් වේවි කියා සිතනවා. හැකි වේලාවක එයටත් ගොඩවැදී යන්න. ඉඩ ලද විට මෙයටත් ලිපි එකතු කරන්නම්🙂

           
          • mppgunasinghe

            February 7, 2014 at 5:35 pm

            ගොඩාක් ස්තුතියි. හැදී වැඩෙන තරුණ දරු කැලක් මා වටා ගැවසෙනවා. ටිකකට කලිනුත් ඔබේ ලිපි පෙන්වමින් ඔවුන් සමග කතා කළා. මේ පැත්ත අධ්‍යාපන පහසුකම් අතින් දුබලයි. පුස්තකාලයක් තබා දවසේ පුවත්පතවත් ගමට එන්නෙ නෑ. රූපවාහිනිය නම් හැම නිවසකම තියනවා. ඒක යක්ෂයාගේ පෙට්ටියක් බව දැන් දරුවොත් දන්නවා වගේ මේවගේ ප්‍රයොජනවත් ලිපි මා ළඟට පැමිණ කියවන්න ගන්නා උත්සාහය මා දකින්නේ ඉතාම සතුටින්. දරුවන් කොහෙත් එකයි. අවස්ථාව ඇත්නම් උන් තමන්ගේ ගමණ යාවි. කුතුහලය විහිදුවමින් සොයා බලාවි. ඒ නිසා ඔබ සැම උපයන්නේ මුදල් නූනත් මහ පින් රැසක්

             
          • සිත්තරී මං

            February 8, 2014 at 12:49 pm

            ඒ ගැන දැනගැනිම සතුටක්. ඇත්තෙන්ම ඔබ කරන්නෙත් අගනා මෙහෙයක්. තාක්ෂණය බෙදී යාමේ විශමතාව නිසා ලංකාවෙ ගොඩක් දුශ්කර පැති වල දරුවන්ට දියුණුවෙන ලෝකෙත් එක්ක ඒ වේගෙන්ම ඉස්සරහට යන්න අසීරු වෙලා තියෙනවා. ඉතිං එවන් තත්වයක් මත ඔබේ කැපවීම ඉතා අගය කරනවා

             
  3. Anonymous

    July 10, 2015 at 9:34 am

    දිගටම ලියන්න, ශක්තිය හා ධෛර්යය

    බලන්න – ජනාවාසකරණය සංස්කෘතිය හා සන්නිවේදනය කෘතිය – ඔබේ හැදෑරීම්වලට යෝග්‍ය වනු ඇත (සරසවි පොත්හල්)

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: