RSS

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02

31 Aug

02. බෞද්ධ දේශපාලන සංස්ධාව ලද බ්‍රාහ්මණික බලපෑම.

 (පූර්ව ලිපිය මෙතැනින්)

සිදුහත් කුමරා ජන්ම ලාභය ලැබූයේ ක්ෂත්‍රිය කුලයේයි. තවද තත්කාලින සමාජ සම්ප්‍රදායට අනුව ඔහු ලද අධ්‍යාපනයේ පදනම දැමුණේ මතු රාජ්‍යත්වය අපේක්ෂිත රජ කුමරෙකුට උචිත අයුරින් බව පශ්චාත්කාලින සාහිත්‍ය විමර්ශනයෙන් උපකල්පනය කළ හැකිය. තවද එම ක්‍රි. පු. හය වන සියවස යනු බ්‍රාහ්මණික බල වර්ධනයේ උච්චතම අවස්ථාවක් බව පිළිගැනෙන සාධකයකි. බුද්ධත්වය හෝ බුද්ධ භාෂිතය පිළිබඳ ප්‍රචලිතතාවක් නොතිබුණු උක්ත යුගයේ,

  • රාජ්‍ය අනුශාසක ධූරය

  • අධ්‍යාපනික කාර්යය භාරය

  • ආගමික අංශය

ආදී වූ කාර්යයාංශ රැසක්ම පැවතුණේ බ්‍රාහ්මණයන් යටතේ බන පෙනි යයි. එසේ හෙයින් සිදුහත් කුමරු ලද මුලික අධ්‍යාපනය සැලකූ කල්හි එය තත්කාලිනව පැවති සාම්ප්‍රදායික රටාවට අනුකූල වන්නට ඇති බව සිතිය හැකිය. බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය. ශ්‍රාස්ත්‍ර මෙන්ම, ශිල්ප යටතේ හැඩගැසුන එකී අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රාවබෝධයෙන් පුළුල් වූද ධනු ශිල්පය, දුණු ශිල්පය ආදී කාය ශක්තිය පිළිබිඹු කරන අධ්‍යාපන ක්‍රමයක පුර්ණ අවබෝධයකින් යුක්ත වූද අධ්‍යාපනයකින් ක්ෂත්‍රියයන් සුසංයුක්ත කිරිම අනිවාර්ය අංගයක් වු බව පෙනේ. සිදුහත් කුමරා පැවිදි පදවියට ඇතුළත්විම වලක්වනු වස් ක්ෂත්‍රිය කුමරෙකුට ඖචිත්‍ය වූ අධ්‍යාපනයක් ඔහුට ලබා දිමට සුද්දෝධන රජු අනුගමනය කළ ක්‍රියා කලාපය පිළිබඳ බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍රයන්හි සාධක පරිශීලනයේදී කුමරු ලද අධ්‍යාපනය මුළුමනින්ම රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබඳ වූවක් බව උපකල්පනය කළ හැකිය. ඒ අනුව සිදුහත් කුමරු තත්කාලීනව පැවති බ්‍රාහ්මණික දේශපාලන සංකල්පය පිළිබ පූර්ණ අවබෝධයකින් යුක්ත වන්නට ඇති අතර ඒ කෙරෙහි වූ මනා පරිකල්පනයකින්ද සමන්විත වන්නට ඇත. මෙකී සාධක පදනම් කර ගනිමින් උක්ත බ්‍රාහ්මණික දේශපාලන සංකල්ප,

  • බුද්ධත්වයෙන් පසු තම භාශිතයන් තුළට අන්තර්ගත කළේද?

  • එය පුර්ණ වශයෙන් එතුමන් තම දේශනාවන්ට ඇතුළත් කරන ලද්දේද?

  • නැතිනම් ඒ කවර ප්‍රමාණයකින්ද?

  • එසේත් නොමැතිනම් කිසිදු ලෙසකින් බ්‍රාහ්මණික ඉගැන්වීම් තම දර්ශනය උදෙසා පාදක කොට නොගත්තේද?

යන්න මෙහිදී අධ්‍යයනය කළ යුතුය.

 

බී. ආර්. අම්බෙඩ්කාර් සිය ‘පැරණි ඉන්දියාවේ විප්ලවය සහ ප්‍රති විප්ලවය‘ නම් කාතියෙන් විවරණය කරනුයේ ඉන්දියාවේ ඉතිහාසය යනු බුදුදහම සහ බමුණු දහම අතර පැවතියා වූ බලවත් විසංවාදයක් බවයි. (www.lakehouse.lk/budusarana/2008/12/12 ). බ්‍රාහ්මණික සාහිත්‍යෙය් සැම අවස්ථාවකම පාහේ සඳහන් වන්නේ පරමෝදාර රාජ්‍ය පාලකයෙකුගේ භූමිකාව වර්ණාශ්‍රම ධර්ම ආරක්ෂා කිරිම වන බවයි. නමුත් වර්ණාශ්‍රම ධර්ම මත පිහිටා කටයුතු නොකරන බෞද්ධ සම්ප්‍රදාය මෙහිදී විවරණය කිරිම වැදගත් වේ. බ්‍රාහ්මණ දේශපාලන චින්තනයට අනුව රාජ්‍ය පාලනයේ උපයුක්ත වූ ‘දණ්ඩ‘ සංකල්පය වෙනුවට බෞද්ධ ච්න්තනයේ ‘ධම්ම‘ සංකල්පයට ප්‍රමුඛස්ථානයක් හිමි විය (ධම්මතිලක 2003; 61). එමගින් ගම්‍ය වන්නේ බෞද්ධ චින්තනයට අනුව රටවැසියා රජුට අවනත වුයේ දණ්ඩනයට බියෙන් නොව සාධාරණත්වය, යුක්තිය, සාමය අපේක්ෂාවෙන් වන බවයි. බුදු දහමට අනුව ‘රජ‘ යනු චක්‍රවර්ති පාලකයෙකි. බෞද්ධ සංකල්පයට අනුවරජ තෙමේ තමා සදාචාරසම්පන්න විය යුතු වූ අතර එය චක්කවත්ති සිහනාද සූත්‍රයේ මැනවින් විස්තර කර දක්වයි. තවද දත්ෂිණ ඉන්දිය ද්‍රවිඩ සාහිත්‍යෙය් එන සිලප්පදිකාරම් මහා කාව්‍ය ලියා ඇත්තේ බෞද්ධ සහ ජෛන බලපැම යටතේ වන අතර එහිදී මධුරාපුරය ගින්නෙන් විනාශ විමටත්, රජු සිය පණ හානි කර ගැනිමටත් හේතුව රජුගේ අධාර්මිශ්ටත්වය බව අවධාරණය කර ඇත. රාජ්‍යය සදාචාර සම්පන්න පාලනයෙන් මිදිමේ ප්‍රතිඵලය මත හය අස්ථාවර ත්තවයකට නැඹුරු විමේ සම්භාවිතාව වැඩි බව බුද්ධ දේශනාවේ දැක්වේ. ඒ අනුව ගම්‍ය වන්නේ බ්‍රාහ්මණික වර්ණාශ්‍රම ධර්ම අභිබවා ගිය ගැඹුරු දර්ශනයක් මත පදනම්ව බෞද්ධ දේශපාලන න්‍යාය සකස් වූ බවයි.

 

තවද බෞද්ධ දේශපාලන න්‍යායේදී මුලික වැදගත්කමක් දක්වන ධම්ම සංකල්පය අර්ථ දැක්විමේදී එය ආගමික චාරිත්‍ර වාරිත්‍ර, ධර්මිෂ්ඨ බව, යුක්තිය, නිතියට අනුගත වීම, සමාජ නියාමයන්ට කිකරු විම ආදිය එයට අන්තර්ගත වන බව පැවසිය හැකිය. ඍග් වේදයේ සඳහන් ‘ඍත‘ සංකල්පයේ පශ්චාත්කාලීන වෙනස් විමක් ලෙස බෞද්ධ දර්ෂනය තුළ ”ධම්ම” සංකල්පය හඳුනා ගත හැකි බව මතයකි (එම, 02). එමතුද නොව, මෙකි ධම්ම සංකල්පය සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික යනාදී චතුර්විධ ආයතනයන් උදෙසාම පොදු වු සාධකයක් බව වැඩිදුරටත් සදහන් කිරීමේ හැකියාව ලැබේ.

 

කෙසේ වෙතත් බුදුරදුන්ගේ ඉගැන්විම් පශ්චාත්කාලීන වන විට සමාජයට අචිත පරිදි, සමාජඅවශ්‍යතාවයන්ට සුදුසු පරිදි හැඩගැන්වුණු බව සඳහන් කළ හැකි අතර එකී සාධකය ගම්‍ය වන නිදර්ශනයක් වන්නේ බෞද්ධ අධ්‍යාපන ආයතනයන්හි වර්ධනයට සමගාමිව අධ්‍යාපනික ක්ෂේත්‍ර තුළ ‘ව්‍යවහාර’ එනම්, නිතිය විෂයක් ලෙස හැදෑරීමේ අවකාශය ලැබුණු සාධක ලැබිමයි. හුදෙක් මෙය නාලන්දාවේ ‘ලෞකික විෂය අධ්‍යයන විෂය ධාරාව’ යටතේ හදාරනු ලැබු බව දැක්වේ (www.dahamsayura.org). නමුත් මෙහිදී අවධානය යොමු කළ යුත්තේ එකී විෂය අධ්‍යයනය විවෘත වූයේ ගිහි හෝ පැවිදි ශිෂ්‍ය පිරිස් දෙකොට්ඨාසයටමද එසේ නොමැති නම් ගිහි ශිෂ්‍යයන් හට පමණක්ද යන්න පිළිබදවයි.

 

මේ පිළිබඳව තව දුරටත් විග්‍රහ කරන්නේ නම්, බෞද්ධ විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබූ පසු කාලීන යුගය වන විට දේශපාලන ක්ෂේත්‍රය උදෙසා බෞද්ධ භික්ෂූ මැදිහත්වීම පැහැදිලිව දක්නට ලැබෙන හෙයින් උක්ත විෂය, විශ්වවිද්‍යාලයීය සිසුන් පොදුවේ හදාරන්නට ඇති බවද උපකල්පනය කළ හැකිය. එමතුද නොව, එකම භූගෝලිය ප්‍රදේශයක සමකාලිනව පැවති විශම සංස්කෘතීන් අතර ස්වභාවිකව සිදුවන සංස්කෘතික විසරණ ක්‍රියාවලිය (කරුණාරත්න, ACL 303; 2010) හේතුවෙන් බ්‍රාහ්මණ පුජකයින් සේම බෞද්ධ භික්ෂූන්ද රාජ්‍ය පාලන තන්ත්‍රෙය්දී අනුශාසකත්වය මගින් පරිපාලන අංශයට යම් ආකාරයක දායකත්වයක් දැක්වු බවට සාධක ලැබෙන හෙයින් ව්‍යවහාර විද්‍යාව පිළිබඳව ඔවුන්ද යම් පරිචයක් ලද යුතු වු බව පෙනි යයි. මෙම උපකල්පිත ධාරිතාව පදනම් කර ගනිමින් උක්ත විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ භික්ෂූන්ද නිතිය හදාරන්නට ඇතැයි කිව හැකි වුවද, මෙය නිවැරදි යැයි නිත්‍ය ලෙසම දැක්විය නොහැක. මන්ද යත් ඒ පිළිබඳ මුලාශ්‍රගත සාධක නොලැබෙන හෙයිනි.

 

එසේම ලංකාව උදාහරණයට ගැනීමේදී අද දක්වාත් පාලකයා ඇතැම් අවස්ථාවන්හිදී සංඝයා වහන්සේ හමුවී රාජ්‍ය කටයුත් පිළිබඳව සාකච්ඡා කරනු දක්නට ලැබේ. මෙකි වාතාවරණය අධ්‍යතන සමාජයට වඩා ප්‍රබලව අතිතයේදී පැවති බව වංශකථා සාධක පදනම් කරගනිමින් පැවසිමේ හැකියාව ඇත. ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ මුල්ම විකාශන අවස්ථාව දෙස අවධානය යොමු කිරිමේදී දේවානම්පියතිස්ස රජුගේ දෙවන අභිශේකයේදිත්, පසුව සිදුවු රාජ්‍ය පාලන කටයුතු වලදිත් මූලිකත්වය ගනු ලැබුයේ මිහිදු මහ රහතන් වහන්සේ විසින් වන බවට සාධක ලැබේ. බ්‍රාහ්මණ ධර්මයන් අනුව රාජ්‍ය පාලනයේදී අර්ධයෙන් ධර්මයෙන් රජුට උපදෙස් දෙමින් බ්‍රාහ්මණික පුජකයන්ගෙන් වූ මෙහෙය බෞද්ධ පසුබිම තුළ ඉටු කෙරුණේ බෞද්ධ භික්ෂුවගේ මැදිහත්විමෙන් වන බවට මේ අනුව විද්‍යමාන වේ.  භික්ෂුව, රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානය වෙත මෙසේ සමිපස්ථ වුයේ මන්ද යන කරුණ අධ්‍යයනයේදී එළඹිය හැකි නිගමනය වන්නේ සමාජ පාලනයේ ප්‍රධාන කේන්ද්‍රය වන්නේ රජු වීමත්, පාලකයාගේ දැහැමි බව තුළින් සමාජයේ ධාර්මිකත්වය ආරක්ෂා කිරීම මෙහිදී මුඛ්‍ය පරමාර්ථය වන්නට ඇති බවත්ය.

 

(ඉදිරි ලිපියෙන්, රාජ්‍ය පාලනය උදෙසා රජවරු ලද බෞද්ධාගමික බලපෑම බලාපොරොත්තු වන්න)

 

7 responses to “The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02

  1. ධම්මික සදරුවන්

    August 31, 2012 at 10:15 am

    ඇත්ත.වැදගත් ලිපියක්.බුද්ධදර්මය තුල රාජ්‍ය පාලනය ගැන හොද විග්‍රහයක් තියෙනවා.

     
  2. mppgunasinghe

    October 5, 2012 at 5:55 am

    මේ තේමාව යටතේ ඔබේ හැදෑරීම් සහ විග්‍රහයන් පිළිබඳ තොරතුරු හදිසියේ නැවතුනාක් මෙන් පෙනේනේ ඇයිදැයි නොදනිමි. ඔහේ ආවට ගියාට තොරතුරු ඉදිරිපත්වන ලිපිවලට වඩා ඔබේ ලිපි අපව ඥාණනය කරනවා.. ඒ වෙනුවෙන් නැවත නැවතත් ස්තුතියි.

     
    • සිත්තරී මං

      October 5, 2012 at 1:21 pm

      සමාවෙන්න… මේ දවස් වල මට ටිකක් මේ බ්ලොග් එක මගහැරුණා මගේ අනිත් බ්ලොග් එක නිසා
      නැවතත් මේ ලිපි පෙළ ළගදිම පටන්ගන්නම්
      බොහොම ස්තූතියි මිත්‍රයා…

       
  3. Nandika Sirinuwan

    January 30, 2013 at 7:34 am

    //බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය.//

    බුදු හාමුදුරුවෝ දේශනාකරපු දර්මයට(බෞද්ධ දේශපාලන සංකල්පයන්ට) බ්‍රාහ්මණික ආභාසය ලැබුන කියල මම විස්වාස කරන්නේ නැ.එත්,බ්‍රාහ්මණික ආභාසය හින්දු ආගමට ලැබිල තියෙනවා.පසුව සිදු වෙච්ච හින්දු බෞද්ධ මිශ්‍රවීම් නිසා ලියවුන පොත් පත් වල මේ ආභාසය පෙන්නුම් කරනවා වෙන්න පුළුවන්.ඒක පොත පතේ තියෙන දෙයක්.

    අනික,බුදු හාමුදුරුවෝ,දර්මයේ කියන මුලිකම දේ තමයි “තමන්ගේ සිත” සැම දෙයකටම මුල් වෙනවා කියන ඒක.සිත මගින් තමා තමන්ගේ ක්‍රියා,වචන පාලනය කරන්නේ.එහෙම කියල තියෙද්දිත්,මොකටද මේ මිනිස්සු පාලනය කරන්න රජ කෙනෙක් හෝ වෙන පාලකයෙක්?හැම මිනිහටම හිත පාලනය කරන්න බැ.ඒ කියන්නේ තමන්ගේ ක්‍රියා පාලනය කරන්නත් බැ.ඒකයි පාලකයෙක් අවශ්‍ය.

    එත් හැමෝම තමන්ට පුළුවන් උපරිමයෙන් සිත පාලනය කරනවානම් පාලකයන් මේ ලෝකෙට ඕන නැ…ඔය දේශපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය මොනවත් ඕන නැ…ඒවායේ සංකල්ප ඉබේම ක්‍රියාත්මක වේවි…
    අද ප්‍රජාතන්ත්‍රවාදය වගේ නෙමෙයි ..

    සුබ පතනවා … දිගටම ලියන්න

     
  4. mppgunasinghe

    January 30, 2013 at 7:54 am

    නැවත ඔබේ ලිපියට එළඹෙන අපට අලුතෙන් සිතා බැලිය යුතු තවත් දේ එකතු වෙනවා. මධ්ය කාලීන අවදිය වන විට දකුණු ඉන්දීය බලපෑමෙන් නැවත සංස්කරණය වන ලංකාවේ රාජ්යට පාලන මූල ධර්ම සෙවීම වැදගත් කාර්යයක් වුවත් මූලාශ්රන හිඟය විශාල බාධකයකි. විදේශිකයන් විසින් රචිත ලේඛනයන් හි දක්නට ඇත්තේ ඔවුන් වටහාගත් ආකාරය පමණි. මූලාශ්රධමය වටිනාකමින් ඒවා බෙහෙවින් දිළිඳුයි නේද හිතවත.

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......