RSS

පූර්ව බ්‍රාහ්මි ලේඛන කියවමු…

28 Jun

මෑතකාලීනව නිධන් සෑරීම යනු විනෝදාංශයක් මෙන් මහා පරිමාණව සිදුකරගෙන යන්නකි. මේ සදහා බොහෝ විට පැරණි ශිලා ලිපි සහිත ස්ථාන අවධානයව ලක්වේ.

**************************************************************************
මේ ඇරයුම,
නිධන් ඇති තැන් සොයා යාම උදෙසා පූර්විකාවක් වශයෙන් නොව,
තතු මනාව වටහා ගැන්මට
සහ
ඉතිහාසය ප්‍රායෝගිකව කියැවීමට හුරු විම පිණිස
එක් වන මෙන් සිදු කරන්නකි
***************************************************************************

අභිලේඛන යනු යම් මතුපිටක් මත සටහන් වූ දෑය. මෙකී සටහන්හි ඉතිහාසය සොයා යාමේදී ලොව ප්‍රථම නගරායනය හදුනා ගන්නට ලැබෙන ශිෂ්ටාචාර අවධීන්හිදී ලේණකගත සාධක රැසක් දක්නට ලැබේ. මෙසපොතේමියානු, චීන, ඊජිප්තු, ඉන්දුනිම්න ආදී ලෙස ගත් කල්හි මෙකී ශිෂ්ටාචාරයන්හි ප්‍රමුඛ වශයෙන් අක්ෂර හදුනාගත හැකිය.

අක්ෂර යනු සන්නිවේදන මාධ්‍යයකි. සංකේතානුසාරයෙන් දැක්වෙන මේවා ශබ්ද පදනම් කරගෙන හෝ වස්තූන්, සන්සිද්ධි ආදිය පදනම් කරගෙන රූපණය වී තිබේ. අප මෙහිදි අධ්‍යයනය කරනු ලබන්නා වූ ලංකාවේ නූතන අක්ෂර බිහි වීමේ පදනම සැකසූ බ්‍රාහ්මි අක්ෂර, ශබ්ද පදනම් කරගෙන පිහි වු අක්ෂර ක්‍රමයකි. නමුත් චීන අක්ෂර වෙත අවධානය යොමු තළහොත් ඒවා චින් සපුරා වෙනස් මගක් ගන්නා බව පෙනි යයි.

අක්ෂර වල අවැසිතාවය ලොව හමුවේ පැනනගිනුයේ සමාජ පරිණාමයත් සමගිනි. මිනිසා ක්‍රම ක්‍රමයෙන් තම දැණුම අනුසාරයෙන් අත්කරගත් පරිකල්පනයේ ක්‍රමික දියුණුවත් සමග, භාෂා ව්‍යවහාරයෙන් පරිබාහිර වූ සංකේතානුසාරයෙන් සිදුකළ අදහස් ප්‍රකාශනයේ කලාවක් ලෙස අක්ෂර හදුනාගත හැකිය. දැනට හමුවන පැරණිතම සාධක මේ දක්වාත් ආරක්ෂා වි ඇත්තේ ඒවා සටහන් වු භෞතික තලයන්හි තිබු කල් පැවැත්මේ ගුණාංග හේතුවෙනි.

උදාහරණ ලෙස ලංකාව ගත් කල්හි පැරණිතම සංකේත සාධක හමුවන්නේ ප්‍රොටෝ ඓතිහාසික යුගයෙහි ලා ගැනෙන සුසාන පියන්ගල් මතයි. අක්ෂර සහ සංකේත වූ කල්හි යම් අදහස් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ඉහතදිද සදහන් කළෙමි. මෙකී පියන්ගල් සංකේත සලකා බැලු කල්හි මේවායේ ඇති සටහන් බොහොමයක් පශ්චාත් කාලින පූර්ව ශිලා ලිපි අතර පරුමක වරු පිළිබද දැක්වෙන ලිපි සමග හමු වන බැවින් පූර්ව බ්‍රාහ්මි ලිපි සදහා, ඒවා ශිලා මත ලියැවුණු යුගයට පූර්වයේ සමාජ තත්වයන්ද ආදේශ වී ඇති බව විද්වතුන්ගේ පිළිගැනිමයි.

කෙසේ වෙතත් පූර්ව බ්‍රාහ්මි ලිපි පිළිබද අවධානය යොමු කිරීමේදී, වංශකථා සහ වෙනත් සාහිත්‍ය මූලාශ්‍රයන් පිළිබදව පශ්චාත්කාලිනව හෙළි කරන සමාජ ව්‍යූහයක දළ සැකැස්ම මෙකී ලේඛන අනුසාරයෙන් ගොඩනගා ගත හැකි බව කිව හැකිය. මෙහිදි අවධාරණය කළ යුත්තේ වංශකථා ලියැවෙන්නේ අදාල සිදුවිම් සිදුවි වසර සිය ගණනක් ගිය කල්හි වන අතර, ඒ තාක් කටවහරේ පැවත ආ ඉතිහාසයට එම සංක්‍රමණ අවධියේදී නොයෙක් නොයෙක් සමාජ අන්වර්තයන් එක්වි තිබෙන්නට බෙහෙවින් ඉඩ ඇති හෙයිනි. තවද, නිදර්ශනයක් ලෙස නූතන ඉතිහාසය හෝ දේශපාලන පසුබිම ගනිමු. දේශපාලන මැදිහත්විම් යටතේ ඇත්ත ඇතිසැටියෙන් ඉදිරියට පවත්වාගෙන යාම ඉතා අසීරු බව ප්‍රායෝගික දැනුමෙන් ඔබට වැටහි යනු ඇත. එසේ නම් විවිධ කාල පරාසයන්හි ශාසන සහ දේශපාලන ඉතිහාසය සටහන් තැබිමේදී මේ සදහා නොයෙකුත් බාහිර බලපෑම් එල්ල වන්නට ඇත. (රජුට විරුද්ධව යමින් නියම ඉතිහාසය එනම්, ඇත්ත ඇතිසැටියෙන් දැක්වු චීන ඉතිහාසාඥයාට තම අංග අහිමිවුවාක් වැනි දෙයක් ලංකාවේ සිදුවූයේ නැත.) මහාවංශය පරිශීලනයේදී වුවද බොහෝ විට පරස්පරතා හමු වන ආකාරය දක්නට ලැබේ. එහෙයින්, තත්කාලින සිදුවිම් වඩා මැනවින් අධ්‍යයනයට පාදක කරගත හැකි අගනා මූලාශ්‍ර ලෙස ශිලා ලිපි අත්කරගනුයේ අද්විතීය ස්ථානයකි.

නමුත් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි පරිහරණයේදි සහ ඒවා අර්ථ ගැන්වීමේදී අප බෙහෙවින් සුපරික්ෂාකාරි විය යුතුය. මන්ද අප අර්ථ සපයන්නේ අප ගතකරන සමාජ ආර්ථික දේශපාලනික සංස්කෘතික වටපිටාවකට හැමඅතින්ම විෂම වූ අප නොදන්නා, නොහදුනන, ආයතනික පසුබිමක් තිබූ, අදින් වසර දහස් ගණනක එපිට ඇති ඉතිහාසයක් කෙරෙහි විම හේතුවෙනි. මෙකි සමාජයේ තතු නියමාකාරයෙන් සාහිත්‍ය මූලාශ්‍රයන් තුළින් ගෙන එන්නේද නැත. මන්ද සමාජයක පැවැත්මේදි එහි වර්ධනය සහ විකසනය නිරායාසයෙන් සිදු වන්නක් වන අතර පවත්තා සමාජ තත්වයේ සිට අතීතය ඒ ආකාරමයැයි සිතා සාපේක්ෂ වශයෙන් මෙන්ම තත්වාකාරයෙන් බැලිය නොහැකි බැවිණි.

සාහිත්‍යකරණයේදී හුදෙක් අලංකාරෝක්ති භාවිතය නිරායාසයෙන් සිදු වන්නකි. තවද යමෙක්, යමක් කෙරෙහි දක්වන ගෞරවනිය ආකල්පය සහ යමෙක්, යමක් කෙහෙරි පවතින අප්‍රසන්නතාවය මෙන්ම ගැරහිමද ලේඛනයේදී විවිධාකාරයෙන් හදුනාගත හැක්කේ භාෂා විලාසය හසුරුවා ඇති ආකාරයෙන් හා අදහස් ප්‍රකාශනයන් අනුවය. ලාංකේය සාහිත්‍ය මූලාශ්‍ර අධ්‍යයනයේදී මෙකි සාධක මැනවින් විද්‍යමාන වේ.

මෙම ‍ලිපියෙහි මෙකි තොරතුරු අන්තර්ගත කිරිමට ප්‍රධානතම සාධකය වූයේ, අභිලේඛන යනු කවරක්දැයි දළ වශයෙන් හෝ වටහා ගැනිමට සැලැස්විමයි. උක්ත සාධක අනුව, යම් සිද්ධියක් සිදුවූ කාලයටම අයත් වන අභිලේඛන ගනයෙහි ලා ගැනෙන, නිවැරදි තොරතුරු යම් තාක් දුරට විස්තර සහිතව ඉදිරිපත් කරන පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපි පිළිබද දළ ආකල්පයක් ලබා ගත හැකි වන්නට ඇතැයි සිතමි. දෙවනුව පුර්ව බ්‍රාහ්මී යනු කවරක්දැයි විමසා බලමු.

මෙය භාෂාවක් නොව අක්ෂර මාලාවක් පමණි. පෙර කී ලෙස, ශබ්ද මුලික කොට බිහිවූ මුල්කාලීනව හදුනා ගන්නට ලැබෙන, ශිෂ්ටාචාරගත සංනිවේදන ක්‍රමයක් වන්නේ මෙයයි. මෙකී අක්ෂර සැලකු කල්හි උත්තර සහ දක්ෂින ඉන්දීයාව තුළ මෙන්ම ලංකාවේද දක්නට ලැබෙන සමානතා බෙහෙවින් පවතී. අසමාන වන්නේ අක්ෂර එකක් දෙකක් පමණි. මෙකී තත්වය මත තත්කාලීන සමාජ ව්‍යූහය තුළ පැවති සංදතා පැහැදිලිව හදුනාගැනීමේ හැකියාව ලැබේ. ආරම්භය පැහැදිලිව කිව නොහැකි වුවත්, ක්‍රි.පූ. පළමු සියවස දක්වා පූර්ව බ්‍රාහ්මී අක්ෂර භාවිත විණි. ආරම්භය තිර ලෙසම කිව නොහැකි වන්නේ ලේඛන සටහන් වූ මාධ්‍ය අතුරින් අද වන විට ශේෂ වි පවතින්නේ මැටි බදුන්, ශිලා පෘශ්ට ආදී ජීර්ණය අවම සීඝ්‍රතාවක පවතින මාධ්‍ය පමණක් වන බැවිනි. තවද සැම දෙයකම පාහේ මෙන්ම අක්ෂරද ක්‍රි.පූ. තුන් වන සියවසේ හිටි අවියේ පහළ වූයේ යැයි කිසි විටෙකත් නිගමනය කළ නොහැක. ඒවාටද ප්‍රාථමික මට්ටමේ ආරම්භයක් වර්ළධනයක් විකසනයක් පැවතීම ස්වභාවික සංසිද්ධියකි. සමාජයේ සිදුවන ඔනෑම වර්ධනීය තත්වයක් සේම, අක්ෂරවල උපයුක්තතාවයත් සමග අක්ෂර කලාවද වරධනය වු ආකාරය මෙකී ශිලා ලිපි කාලයත් සමග දක්වන අනුවර්තන ඇසුරෙන් විද්‍යමාන වේ. පූර්ව බ්‍රාහ්මී, අපර බ්‍රාහ්මී ආදී ලෙස බ්‍රාහ්මී අක්ෂර මාලාව තුළ යුගකරණයක් හදුනා ගන්නේ එහෙයිනි.

ලේඛනගත වන මාධ්‍යයේ පෘශ්ටීය ස්වභාවය අනුව, ඒ ඒ අක්ෂර සටහන් කළ ශිල්පියාගේ පැවති සාක්ෂරතාව මත, ප්‍රදේශානුබද්ධව දක්වන සුවිශේෂීතා මත සහ ශිල්පීය දක්ෂතාවය මත මෙකී අක්ෂර සටහන් යම් යම් ආකාරයේ විෂමතා විවිධතා දක්වයි. නූතන සමාජයට කිසිසේත් සම කළ නොහැකි වූ, නූතනයේ මෙන් ක්ෂණික මානව සම්බන්ධතා ඇති කර ගැනීමට අපහසු වූ සාකච්ඡාවට ලක් වන අවධියේ සමාජ ව්‍යූහයට හැකිතාක් හෝ සමවැදී මෙකී කරුණු විමසා බලන්නේනම්, හම වකවානුවේ සෑම පුද්ගලයාම සාක්ෂරතාව සහිත වූයේදැයි සිතා බැලිය හැකිය. මේ බව විමසීමට සාධක වන්නේ මෙම පූර්ව බ්‍රාහ්මී ලිපි අතර උඩ යට මෙන්ම වම දකුණද මාරු වූ අක්ෂර සටහන් ඇතැම් අවස්ථාවන්හි දක්නට ලැබීමයි.
අප දැන් පුර්ව බ්‍රාහ්මී අක්ෂර මාලාවේ දළ සැකැස්මත් විමසා බලමු. මෙහි පහත දැක්වෙන්නේ එකී අක්ෂරයන්හි මූලික හැඩ කිහිපයක් පමණි.

(ඡායා රූ හොදින් නැරඹීමට, අදාල ඡායාරුව මත ක්ලික් කරන්න)

උක්ත නිදර්ශන තුළින් යම් තාක් දුරට පූර්ව බ්‍රාහ්මී අක්ෂර කවරාකාරද යන්න පෙනී යන්නට ඇතැයි සිතමි. තෙවනුව ලංකාවේ හමුවන පුර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සහ ඒවායෙහි අන්තර්ගතයන් විමසා බලමු.

මේවායෙහි බොහෝ විට සදහන් වන්නේ ලෙන් පුජා, වැව් පූජා ආදිය පිළිබදවයි. එසේම බොහෝ විට අයිතිය හගවන ප්‍රකාශයන්ද හමුවේ. මෙකී ලිපි තුළින් හෙළිවන සමාජ ව්‍යූහය ඉතා ආකර්ශනීය වූවකි. බොහොමයක් නාම විශේෂණයන් තුළින් හැගවෙන නියම අර්ථය විවාදිත මට්ටමේ පැවතුණද, ලංකාවේ පැවති සංවිිත මට්මමේ සමාජ ව්‍යූහයක් පිළීබදව සාධක මෙම ලිපි තුළින් අනාවරණය කරයි. මෙහිදී මා එය විග්‍රහ කරනුයේ දළ වශයෙනි. මන්ද ශිලා ලිපි යනු ඉතා පුළුල් ක්ෂේත්‍රයක විහිදී යන සංකීර්ණ මාතෘකාවක් වන බැවිනි. එය ‍උඩින් පල්ලෙන් අතගෑ නොහැකි ක්ෂේත්‍රයක් වනවා මෙන්ම වගකිවයුතු මට්ටමෙන් අර්ථ සැපයිය යුත්තකි. නමුත් අවාසනාවට කරුණ වන්නේ නුතනයේ පදනම් විරහිත ප්‍රකාශයන් ගෙනයන ඇත්තන් තම වාසිය තකා ශිලා ලේඛන දඩමීමා කරගෙන තිබීමයි. මෙහිදී ලිපි තුළින් හෙළි වන අර්ථ විකෘති කරමින් විවිධාකාරයේ මන:කල්පිත අදහස් ගෙනහැරපෑමේ ව්‍යාපාර අද වන විට ව්‍යාප්ත වි පවතී. නමුත් මොවුනට වැරදී ඇති තැන් බොහෝය. මා මේ ලිපියේ මුලින් සදහන් කළ පරිදිත්, මෙම අඩවිය සදහා පෙර දිනෙක පලකළ ලිපියක අන්තර්ගතයේ පරිදිත් මූලාශ්‍ර එකක් මත පිහිටා එයම විනිශ්චය වශයෙන් ගෙන අර්ථ ස්ථිර කළ නොහැක. ඉතිහාසය එදත් අදත් හෙටත් පවතින්නේ නිරීක්ෂණ සහ උපකල්පන මත පමණි. එකී සාධක ස්ථිර කළ නොහැක්කේ දිනෙන් දින දියුණු වන නව තාක්ෂණය හම්වේ, පෙර නොදත් කරුණු නිතර අළුත් වෙමින් පවතින බැවිනි. ඉතිහාසයේ නොවෙනස්වන ස්වභාවය මෙම වෙනස් වීමයි.

පෙර සාකච්ඡා කළ සමාජ ක්‍රමය පිළිබද උදාහරණ ලෙස ලක්දිව හමුවන පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි සැලකු කල්හි වැව් හිමියන්, දේපල හිමි භික්ෂූන්, විවිධ කර්මාන්තයන්හි නියුතු වූවන්, රජවරුන්ගේ සිට විවිධ දේශපාලනික සහ සමාජයීය මට්ටම් හෙබවූවන් පිළිබද සාධක මෙම ලිපි ඇසුරෙන් අධ්‍යයනය කළ හැකිය. ඒ අනුව ශිලා ලිපි කියැවිමේදී මෙකී පුද්ගල පිරිස් මෙම ලිපි හරහා සමාජ සංසිද්ධීන් කෙරෙහි බද්ධ වූ ආකාරය විමර්ශනය කළ හැකිය.

මෙම ලිපිය ලිවිමේ තවත් එක් පරමාර්ථයක් වූයේ, අධ්‍යතනයේ මෙම ලිපි සහිත ස්ථාන නිධන් හෑරීමේ අසහනයෙන් පෙළෙන්නන්ගේ නිරීක්ෂණයට සහ අවධානයට ලක්වී තිබිමත්, ඔවුන්ගේ අපේක්ෂිත අරමුණු මෙකී ලිපි සහිත ස්ථානයන්ගෙන් නොලැබෙන බව ප්‍රකාශ කිරීමත්ය. මන්ද මේවායෙහි බොහෝ දුරට ඇත්තේ භික්ෂූන් උදෙසා මෙම ලෙන් පදනම් කර ගනිමින් ආරාම සාදා දුන් බවයි. එසේ නැතහොත් ශිලා මතුපිට සටහන් කෙරුණු ලිපි මගින් කියැවෙනුයේ බොහෝ විට වැවක් වේවා, ආරාමයක් වේවා, කුඹුරක් වේවා මේ ආදී වූ විවිධ පූජාවන් පිළිබදවයි. මෙකී අවබෝධය පාසල් මට්ටමේ සිට සිසුනට ලබා දෙන්නේ නම්, විරත්වය පෙන්විමට හෝ, වස්තුව ලබා ගැනීමට හෝ, කුතුහලය සංසිදවා ගැනිමට හෝ වේවා ඓතිහාසික වශයෙන් මිල කළ නොහැකි වැදගත්කමක් පවතින ස්ථාන කිසිවකු අතින් විනාශ නොවනු ඇත. නමුත් අභාග්‍ය වන්නේ බලලෝභීත්වය සහ වන්දිබට්ට මානසිකත්වය යටතේ වගකිව යුත්තන් පවා මෙකී අංශ වෙතින් කර හැර සිටිමයි.

ක්ෂේත්‍රයකින් හමුවන එක මැටි පබලුවක පවා ඇති අමිල උරුමය අපි දනිමු. එහෙත් මහා පරිමාණ වශයෙන් අද සිදුවන විනාශයන් තුළින් නැතිවී යන, නැවත කිසිවිටෙක, කිසිලෙසකින් ලබා ගත නොහැකි සම්පත් දෙස බැලූ කල්හි ඇතිවන හිත් පීඩාව වචනයෙන් කියා විස්තර කළ නොහැක. එහෙයින් බ්‍රාහ්මි අක්ෂර යනු කුමක්ද යන්නත්, එතුළින් ගෙන එන්නේ කවරාකාර පනිවිඩයක්ද යන්නත්, මෙම ලිපි තුළ නිධන් පිළිබදව හෝ වෙනයම් වස්තූන් මන්ත්‍ර පිළීබදව හෝ ලංකාවේ විසූ බුදුවරයෙකු සහ බුද්ධකාලීන අනුගාමිකයන් පිළිබදව හෝ සටහන් නොවන බව යම් තරමකින් හෝ අවබෝධ කර ගැනිමට උක්ත විස්තර ප්‍රමාණවත් යැයි සිතමි.

සිවුවනුව මෙකී ශිලා ලේඛන සදහා අර්ථ සපයන ආකාරය කෙටියෙන් විමසා බලමු. මේවායේ භාෂාව නූතන සිංහලයට සපුරා වෙනස්කම් දරයි. එය ඉතා සරල මෙන්ම ඉතාමත්ම කෙටියෙන් අවශ්‍ය පණිවිඩය පමණක් සදහන් කර ලියා දැක්වු ඒවාය. දීර්ඝ විස්තරකථන නොමැති වීමට හේතුව වන්නට ඇත්තේ මෙම ලේඛන බහුලව හමු වන්නේ ශිලා මාධ්‍ය මත වීමත්, එකී මාධ්‍ය පහසුවෙන් හැසිරවීමට ඇති අපහසුතාවයත් විය හැකිය. එහෙයින් ඉතා කෙටි වචන කිහිපයකට මෙම ලිපිවල අර්ථයන් සීමා වී ඇත.

ලිපි තුළ ඇතුළත් වචන කිහිපයක් වෙත දැන් අවධානය යොමු කරමු. “ශගශ, සගස, ශගස” ලෙස මෙම ලේඛනයන්හි බහුලව හමු වන වචනයක් වේ. ඉන් අදහස් වන්නේ සමූහය නැතිනම් ඝනය යන්නයි. බොහෝ විට මින් බෞද්ධ භික්ෂූන් අදහස් කළා විය හැකිය. මන්ද තත්කාලිනව බෙහෙවින් ලෙන් විහාර පූජා කෙරුණේ බෞද්ධ භික්ෂූන් උදෙසා වීමයි. මිහින්තලේ පුජාකෙරුණු අටසැට ලෙන් අධ්‍යයනයේදීද, සිතුල්පවුව, වෙස්සගිරිය ලෙස වත්මන ව්‍යවහාර කරනා ඉස්සරමණ ලෙන් අධ්‍යයනයෙන්ද, ලංකාව පුරා විසිරි පැතිරී ඇති සෙසු සියලුම ලෙන් ලිපි අතුරින් මෙකි වචනය සහිත ලිපි අධ්‍යයනයෙන්ද මේ පිළිබද වැටහෙනු ඇත. බොහෝ විට මෙම අවස්ථාවන්හි “ශගශ දිනෙ” / “අගත අනගත චතුදිශ ශගශ” / “ශගශ” ආදී වූ ලෙස ආකාර කිහිපයකින් සටහන් වි ඇති ආකාරය දක්නට ලැබේ. මින් අරුත් ගැන්වෙන්නේ සතර දිගින් පැමිණි නොපැමිණි සියලු සංඝයාට මෙම ගෙන් පුජා කළ බවයි. මෙහිදී පෙර අවස්ථාවක දැක්වු පරිදි ඉතා කෙටියෙන් “ශගශ” යන්න පමණක් ඇතැම් තැන්හි දක්වා තීබීමට හේතුව ලෙස පිළිගැනෙන්නේ කළුගල් මාධ්‍ය හැසිරවීමේ අපහසුවත්, මෙම යුගයේ තම අරමුණ පැහැදිලිව ඉතා කෙටියෙන් දැක්වි‍මෙහි ලා තිබු නැඹුරුවත් බව පැවසේ.

මීට අමතරව මෙකී ලිපි ඇසුරෙන් උපශික, පරුමක, අය, අබි, රජ, මහරජ, බත, තෙර, ගමණි, දෙවනපිය, මත, වණිජ…. ආදිවූ නාමයන් රැසක් හදුනාගැනීමට අවස්ථාව ලැබේ. මින් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ පිරිස් මෙන්ම විවිධ නිල නාම, වෙළද ප්‍රවාහයන්, සමාජ සංස්කෘතික මට්ටම්, පරම්පරා නිල නාම, තනතුරු නාම ආදිය අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙනවා සේම, ඒ ඒ පිරිස් සතුව තිබූ දේපල අයිතිය, ප්‍රමුඛ වශයෙන් කාන්තාවන්ට තත්කාලින සමාජය තුළ තිබූ දේපල හිමිකම්, විවිධ පූජා, සමාජ මෙහෙවර ආදිය පිළිබද සංකල්ප ලබා ගැනිමේ හැකියාව පවතී. නමුත් අවධාරණය කළ යුතු වැදගත් කරුණ වන්නේ මෙකි ලිපි උපනිශ්‍රයෙන් අර්ථ සැපයිමේදී වෙනත් මූලාශ්‍රයන්ද අනිවාර්යයෙන් පාදක කොටගත යුතු බවයි. එසේම තත්කාලින සමාජය පිළිබද ගෙනහැර දැක්වෙන වෙනත් මූලාශ්‍රයන්හි සාධක සත්‍යමදැයි දැන ගැනීමට, මෙකී ශිලා ලිපි තුළින් ලැබෙන පන්නරය අති මහත්ය. එම නිසා මෙකි මූලාශ්‍ර සියල්ල එකිනෙක මත පෝෂණය වන ආකාරය මෙහිදි හදුනා ගැනිමට ලැබේ.

මෙම ලිපියේ අරමුණ වූයේ පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි යනු කවරක්දැයි යම් තරමකින් හෝ සරලව හදුන්වා දීමයි. නමුත් මෙකි ලිපි උපයුක්ත කොටගෙන නිවැරදි අධ්‍යයනයකට යන්නේ නම්, ඒ ඒ ප්‍රදේශ වල පැවති බෙදිම්, පාලන ඒකක, පාලකයන්, සමාජ පිරිස් ආදී වූ සාධක රැසක් අනාවරණය කරගත හැකි අතර අදටත් විවිධ අයුරින් මේ පිළීබද අධ්‍යයන සිදු වෙමින් පවතින බව කිව යුතුය. තවද, නිධන් ඇතැයි සිතා ලිපි හෝ අක්ෂර හෝ සංකේත හෝ සටහන් වි ඇති ස්ථාන කෙරෙහි වැරදි ආකල්පයෙන් බැලීම යම් තරමක් හෝ නවතිනු ඇතැයි මෙමගින් අපේක්ෂා කරමි. තවද, ශිලා ලිපි පාදක කොටගනිමින් අද වන විට අන්තවාදී කල්ලි විසින් ගෙන යනු ලබන අර්ථ හින ප්‍රකාශයන් සහ, පූර්ව බ්‍රාහ්මි ලිපි ඇමට ගෙන මවා පානා ලද ක්‍රි.පූ. හය වන සියවසේ සමාජයක් පිළිබද ආකල්පය ව්‍යාජයක් බවත්, දැනට හදුනාගෙන ඇති මෙකී ලිපි අනිවාර්යයෙන් අයත් වන්නේ ඉන් සියවස් තුනක් හෝ හතරක් මෙපිට ඉතිහාසයට වන බවත් මෙමගින් පැහැදිලි වනු ඇතැයි සිතමි.

මෙහි දැක්වු දළ සටහන් යම් තරමකින් හෝ පාදක කොට ගෙන මෙම මුල් මට්ටමේ පවතින ලිපි යම් තරමක් හෝ කියැවීමට ඔබ උත්සහ දරන්නේ නම්, ඔබටද මෙම මුල් කාලීන ලිපි වල අන්තර්ගතයන් දළ වශයෙන් හෝ වටහා ගැනිම අසීරු නොවෙතැයි සිතමි.

(සැලකිය යුතුයිපෙර සදහන් කළ පරිදිම මාධ්‍ය භාවිතයේදි, ප්‍රදේශ විවිධතා අනුව, සහ ශිල්පියා මත, අක්ෂරවල යම් යම් විශමතා පවතින හෙයින් ඔබේ ඇස මෙකී ලිපි වෙත වඩාත් හොදින් හුරු කිරීමක් කළ යුතුය. ඒ සදහා අවැසි වන්නේ නිදහස් නිරවුල් මනසකින් ලිපි දෙස බලා සිටීමෙන් ප්‍රගුණ කරන ලද ඔබේ ඇසත්, ප්‍රගුණ කරන ලද ඔබේ මනසත්, ප්‍රගුණ කරන ලද ඔබේ දැණුමත්ය..)

 

6 responses to “පූර්ව බ්‍රාහ්මි ලේඛන කියවමු…

  1. hasithag

    June 28, 2012 at 5:06 pm

    ඇත්තෙන්ම මේක වටිනා කියන වැඩක්. අපේ උරුමය හුඟක් දෙනා අමතක කරන කාලෙක, විනාශ කරන කාලෙක අනාගතය භාරගන්න ඉන්නේ සිංහල බ්ලොග් අවකාශේ තරුණ ප්‍රජාව ඇතුළු සියලු දෙනාවම මේ විදිහට දැණුවත් කරන එක ප්‍රශංසනීයයි

     
  2. Hiruhimawi

    June 29, 2012 at 5:09 pm

    අගනා ලිපියක් මිතුරිය!තවත් මේවගේ අපේ යාලුවන්ට දැනුම ලබාගන්න දේවල් ලියන්න හ්ම්ම් … ජය!

     
  3. mppgunasinghe

    October 27, 2012 at 4:35 am

    ලිපිය ඉතා අගනේය.

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: