RSS

මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ‍ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)

24 Jun

මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න මාව පොළඹවපු කාරනාව ගැන. ඒ මම මිට කාලෙකට කලින් ලියපු බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයැයි කිම සාවද්‍යයි කියන ලිපිය නිසා. ඒ ලිපියට “මෙතනින්” යන්න. ලියල කාලයක් ගියත් දැන් ඒකට හෝ ගාල කමෙන්ට්ස් එනව මාව විවේචනය කරල. මගේ ජාතකේත් මතක් කරලා. හා කමක් නෑ. දෙවෙනියටත් දෙයක් කියන්න තියනව. කෙනෙක් අදහස් දක්වලා තියනව මම ලියන සිංහල එයාට තේරෙන් නෑලු. සිංහල තියා මම දක්වපු තර්කවත් තේරුම් නොගත්ත එයා මම ඉතිහාසය ගැන මොකුත්ම නෙදන්න මෝඩයෙක් ගානට දාල කතා කරලා. හා කමක් නැ කියමුකො. ඉතිං මේ ලිපිය ලියනව මූලාශ්‍ර පරිහරණය ගැන දන්නෙ නැති අයට දැනුවත් වෙන්නත්, සාමාන්‍යපෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට උදව්වක් විදිහටත්… මේ ලියන භාෂා ශෛලියනම් මට හුරු නෑ, මොකද නිතරම මම ලියන්නෙ විධිමත් භාෂා ශෛලියකින් නිසා. කමක් නෑ.. කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් සරල කරල ලියන්න උත්සහ කරන්නම්.

මොකද්ද අපි මේ ඉතිහාසයේදි පුරාවිද්‍යාවෙදි භාවිත කරන මූලාශ්‍ර කියන වචනෙ තේරුම? ඒ කියන්නෙ අපි යම් කරුණක් විග්‍රහ කරද්දි ඒ කරුණු ගොඩනගන්න උපකාර කරගන්න දත්ත වගටයි අපි මූලාශ්‍ර කියන්නෙ.

සාහිත්‍ය, පුරාවිද්‍යාත්මක කියල මූලාශ්‍ර වර්ග කෙරෙන බව ඔයාල දන්නවනෙ. ඒවත් තවත් උප කොටස් යටතේ වෙන් කෙරෙනවා. සාහිත්‍ය මූලාශ්‍රනම් වංශකථා, සන්නස්, තුඩපත්, සංදේශ, විදේශීය වාර්තා වගේ දේවල් යටතේත්, පුරාවිද්‍යාත්මක මුලාශ්‍රනම් නාණක එනම් කාසි, අභිලේඛන නම් යම් මතුපිටක් මත ලියවුණු ලේඛන, විවිධ නටඹුන්, පොළොවේ වැලලුණු විවිධ පුරා වස්තු සහ ඒ අවට සන්ධර්භය මේකට අයිති වෙනවා.

ඒත් අද කාලෙ ඉතිහාස අධ්‍යයනය ගැන හරි දැණුමක් නැති අය මේ මූලාශ්‍ර එකක් දෙකක් පමණක් භාවිත කරල මහා ලොකු කතන්දර මවාගෙන යනවා. විශ්වවිද්‍යාල මට්ටමට එද්දි මේව නිවැරදිව හසුරුවන්න ඉගෙන ගත්තත් හැමෝම ඉතිහාසය පුරාවිද්‍යාව කරන්නෙතු තැති නිසා, හැමෝටම විශ්වවිද්‍යාල වලට එන්න අවස්ථාවක් නැති නිසාත් නිවැරදිව දැණුම හසුරුවන අය සමාජයේ හරිම අල්පයි. ඒත් සහෝදර සහෝදරියනි ඔයාල උත්සහ කරනවනම්, විමසල බලලා දිවාර බුද්ධියෙන් දැණුම මෙහෙයවලා තීරණ ගන්න, ඒ වගේම එක දේකට පමණක් සීමා නොවී, තමන්ගේ කම විතරක් ඉස්මතු කරගැනිමේ පරම අධිශ්ටානයට පමණක් ගැති නොවී යථාර්ථය අවබෝධකර ගන්න…, අන්න එතකොට ඔබ තුළින් නියම බුද්ධිමතෙක් බිහි වේවි. මේක ඉතිහාසයට විතරක් නෙවෙයි, අනිත් කොයි පාඩමටත් අදාල කාරණයක්. ඇයි අපි අපේ මනස එක දේකට සීමා කරගන්නෙ? ඇයි අපි අපිට ලැබුණු බුද්ධිය මෙහෙයවලා, පටු සිමාවකට කොටු නොවී, අපේම කියල නිදහස් චින්තනයක් ඇතිකර ගන්නෙ නැත්තෙ?

මූලාශ්‍ර පරිහරණයත් එහෙමයි. අපි අපේ අධ්‍යයනයන්ට ගන්න මූලාශ්‍ර සමහර විට ඇත්ත දේම නෙවෙයි කියන්නෙ. සරලම මට්ටමේ උදාහරණයක් ගනිමුකො. නිශ්ශංකමල්ල රජ්ජුරුවො තමන් කරවපු දේවල් කියල යන යන තැන ශිලා ලිපි කෙටෙවුවට, අනිත් මූලාශ්‍රත් එක්ක සංසන්දනයේදි අපිට පැහැදිලි වෙනවා පැරණි ලංකාවෙ රාජ්‍යත්ව සංකල්පයත් එක්ක, විදේශිකයෙකු වුණ ඒ රජුට ගැටෙන්න තිබුණු විප්ලවියත්වය හේතුවෙන් මේ ශිලා ලිපි පිහිටවපු බව.

ලංකාවෙ අක්ෂර ආරම්භය ක්‍රි.පූ. 3වන සියවස කියල සදහන් කරනවා ලෙන් ලිපි හේතුවෙන්. ඒත් අනුරාධපුර ඇතුල්නුවර නවතම සාධක නිසා මේ මතය ආයෙමත් පර්යේෂණ මට්ටමට යොමු වුණා. කොහොම වුණත්, ලිපි ගලේ කෙටුව නිසානෙ අදටත් ආරක්ෂා වෙලා තියෙන්නෙ. ඉතිං ගල් වගේ ස්ථායී මාධ්‍යයක ලිපි සටහන් වෙන්න කලින් ඒ තරම් කල් නොපවතින මාධ්‍යවලත් අක්ෂර සටහන් කරන්න ඇතිනෙ.

ඒ වගේම තව දෙයක් මතක් කරන්න කැමතියි. අද ගොඩක් අය තරක කරනව රාමායනය, මහාවංශය වගේ පොත් වල තියන කරුණු ගැන. මේව ලියවෙන්නෙ අදාල සිදුවීම් වෙලා අවුරුදු පන්සියයක් දාහක් වගේ විශාල කාලයක් ගෙවුණට පස්සෙ. ඉතිං ඒ අතරතුර කාලයේදි මේ ග්‍රන්ථවල අන්තර්ගත කරුණු කටපාඩමෙන් තමයි ගෙනඑන්නෙ. ඒ කටපාඩමෙන් කියවෙන විට නොයෙක් නොයෙක් නව කාරණා මේවට එකතු වෙන එක සාමාන්‍ය වගේම අනිවාර්ය සිද්ධියක්. අපි බලමු ඇයි ධර්ම සංඝායනාවක් කරන්න ඔන වුණේ බුද්ධ පරිනිර්වාණයෙන් මාස ත්‍රනකට පස්සෙ කියලා… ඒකටත් ගොඩක් දුරට බලපාන්නෙ කලින් කියපු හේතුවමයි. ව්‍යවහාරයේදි යම් යම් නවතාවයන් එකතු වෙනවා. ඉතිහාසයේ වෙලා තියෙන්නෙත් ඒක.

තවත් උදාහරණයක් විදිහට රංචාමඩම කැණීම්වලින් හෙළිවුණා ආසියාවෙ මුලින්ම යකඩ භාවිත කළේ අපේ රටේය කියන උපකල්පනය. නමුත් මේව තහවුරු කරන්න තව පර්යේෂණ කෙරෙනව. සංසන්දනාත්මක අධ්‍යයනයන් සහ විද්‍යාත්මක අධ්‍යයනයන්. එහෙමයි විද්‍යාත්මක විදිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඒත් අද අපේ රටේ හරිම කනගාටුදායක තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. සුළු දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා ඉතිහාසය විකෘති වීමකට ලක්කෙරිගෙන යනවා. උදාහරණයක් තමයි, කිහිපදෙනෙක්ට ලොකු උවමනාවක් තියනව බුදුදහම ඇතිවි පැතිරි වර්ධනය වුනේ ලංකාවේය කියල කියන්න. අනේ ඒත් ඒක ඒ විදිහට නිරපේක්ෂව ඉදිරිපත්කරන්න පුළුවන් සාධක තියාගෙනනම් කමක් නෑ. ඒත් මෙහෙම කියන උදවියගේ හිතේ ඉන්දියාව ගැන පවතින්නෙ කෝපයක්. ඒ වගේම සිංහල බෞද්ධ සංකල්පය ගැනත් හරිම අන්තවාදි හැගීමක් තියෙන්නෙ. මේවට විරුද්ධව කතා කරන්න යද්දි අපිව හංවඩු ගහනව අපිට ජාතකයක් නෑ කියලා. සිංහල කමත් බෞද්ධ කමත් සැලකුවාම මම අපේ සංස්කෘතියෙ දකිය විශේෂම ලක්ෂණයක් වෙන්නේ ආගම් ජාති භේදයකින් තොරව සමානාත්මතාවය දැන්විම. ඒත් බෞද්ධයැයි කියා ගන්නා අන්තවාදී පිරිස් නිසා සමාජය දැන් දූශනය වෙනවා.

දැන් ආයෙමත් මුලාශ්‍ර පරිහරණය මේ කියන සංකල්පයට ආදේශ කරනවනම්, කාලානුරූපව පිළිගත් දිනවකවානු සහිතව ගැටලුවක් නැතිව පිළිගන්න පුළුවන් පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි ඇමට අරගෙන ඒවායින් සුරංගනා කථා කීමේ තත්වයක් අද ඇතිවෙලා තියනවා. අක්ෂර වල හැඩය, භාෂා විලාසය අනුව අපිට අක්ෂර කාලනීර්ණය කරන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය මූලාශ්‍ර වල එන තොරතුරු ශිලා ලිපි වල එන තොරතුරු සමග සංසන්දනාත්මක අධ්‍යයනයකට ලක් කළාම බොහෝ දුරට අපිට නිවැරදිව ඉතිහාසය ගොඩනංවගන්න පුළුවන්. එහෙම නැතිව මහාවංශය විතරක් අධ්‍යයනය කරල නිවැරදි ඉතිහාසයක් ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒක හරියට අන්ධයාට සුදු පාට පෙන්නනව වගේ වැඩක්. අන්තිමේ සිද්ධවෙනව සුදු පාට කොකාට තියන නිසා කොකාගෙ හැඩේට අත හදල අන්ධයාට පෙන්වන්න. ඉතිං අන්ධයා හිතනව සුදු කියන්නෙ අත වගේ කියලා. තනි මුලාශ්‍රයක් භාවිතයෙන් අවුරුදු දහස්ගණනක යටගියාවක් ප්‍රතිනිර්මාණය කරන්න යන එකත් ඒ වගේ අර්ථ හීන ක්‍රියාවක්.

ඉතිහාසයට, උරුමයට ආදරේ කරන ඔයාල වෙනුවෙන් අන්තිමේ එක දෙයක් කියන්නම්. මේ විෂය ගැන බලන්න ඕන තමන් ස්වාධීනව. ඒ කියන්නෙ, ජාතියටත්, ආගමටත්, කුලයටත්, තමන් ඉන්න ප්‍රදේශයටත්, තමන්ගෙ රටටත් ගැති නොවී නිදහස් චින්තනයෙන්. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ නිවැරදි විහිහට ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න. ඒ වගේම මූලාශ්‍ර භාවිතයේදීත් පක්ෂග්‍රාහී නොවී නිවැරදි අධ්‍යයන ක්‍රමවේදයකට යන්න ඕන. අන්න එතකොටයි අපිට පුළුවන් වෙන්නෙ සමාජයට සත්‍ය දැණුම ප්‍රචාරකයන් විදිහට අපේ කටයුතු කරගෙන යන්න.

(රට ජාතිය ආගම වෙනුවෙන් සත්‍ය වසං කරල තමන්ගේකම විතරක් වපුරන සාවද්‍ය ප්‍රචාර ගෙනියනවයි කියන්නෙ මනුෂ්‍යත්වය කෙළසා දැමීමක්)

 

7 responses to “මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ‍ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)

  1. Tharurasi

    June 25, 2012 at 3:40 am

    වටින අදහසක්…. මොන දේ කරන්නත් ඕන මනුෂ්ය ත්වය පෙරදැරි කර ගෙන..

     
  2. mppgunasinghe

    June 25, 2012 at 5:52 am

    ඔබට එල්ලවන විවේචන වෙයි නම් ඒවා අධෛර්ය වීමට හේතුවක් නම් නොවේවා කියල මුළු හිතින්ම ප්‍රාර්ථනා කරමි. ඔබේ සටහන් සිංහල බ්ලොග් කියවන්නන්ගේ ඇහැ පාදන බැවින් , ඉගෙන ගන්නට ඉතා වටිනා දෑ ඇති බැවින් බොහෝ දෙනිගේ ප්‍රනාමය ලැබෙනවා. ඉහත ලිපිය, ඉතිහාසය ඉගෙනීමට වෙරදරන දරුවන්ගේත් ඒ ගැන සැලකිලිමත්වන සැමගේත් අවධානය යොමු විය යුතු වැදගත්ම එකකි. ඉතිහාසය පිළිබඳ නිගමන ගැනීමට පෙර මූලාශ්‍ර ගණනාවක ඇසුර වැදගත්බව වඩා හොඳින් වටහා ගැනීමට උදව් වන බැවින් මේ ලිපිය වඩ වඩා ප්‍රචාරය වීමේ අවශ්‍යතාව පවතී. මා ලියා ඇති බොහොමයක් ලිපිවල අන්තර්ගතය ඉතිහාසය සේ වටහා ගන්නට උත්සාහ කරන ඇතැමුන් ට ඒ ලියා ඇත්තේ ඉතිහාසය නොව ජනකතා පමණක් බව කොතෙකුත් කීවද නිමාවක් නැත. ඉතිහාසය යනු කුමක් දැයි තේරුම් ගැනීමට එවැනි අයට ද මේ ලිපිය වැදගත් වේවි. ඔබට ස්තුතියි.

     
    • තිලිනි ෂැල්වින්

      June 25, 2012 at 7:00 am

      බොහොම ස්තූතියි… දිගින් දිගටම එල්ලවන, තමන් නියම සිංහල බෞද්ධයන්ය කියාගන්නා පිරිසකගේ විවේචන හේතුවෙන් මගේ හිත පිඩාවට පත් වෙලයි තිබුණෙ. ඒ පුද්ගලයින් මට පමණක් නොව ලංකාවේ උගත් ආවාර්ය මහාකාර්යවරුන්වත් හෙලා දැක කතා කරන නිසයි ගොඩක්ම හිතට දුක. ශාස්ත්‍රයක හරය දන්නෙත් ශාස්ත්‍රය දන්න අයෙක්මයි. ඔබේ අදහස නිසා හිතට සහනයක් ආවා. බොහොම ස්තූතියි….

       
  3. Kishan

    August 25, 2012 at 4:18 am

    මුල්නින්ම යකඩ බාවිත වුණේ ලංකාවෙ කියන එක රාජ් සෝමදේව මහාචාර්යතුමා ෂුවර් එකටම කියනවනෙ .තව මොන කතා ද🙂

     
  4. Kishan

    September 1, 2012 at 5:18 am

    @තිලිනි ෂැල්වින් ..මට කාරණයක් දැනගන්න ඕනෙ ..රාවණ ගැන ඔයාගෙ අදහස මොකද්ද ?

     
  5. Anonymous

    July 26, 2015 at 5:31 am

    ”විශ්වවිද්‍යාල මට්ටමට එද්දි මේව නිවැරදිව හසුරුවන්න ඉගෙන ගත්තත් හැමෝම ඉතිහාසය පුරාවිද්‍යාව කරන්නෙතු තැති නිසා, හැමෝටම විශ්වවිද්‍යාල වලට එන්න අවස්ථාවක් නැති නිසාත් නිවැරදිව දැණුම හසුරුවන අය සමාජයේ හරිම අල්පයි.”

    ආචාර්ය සෙනරත් පරණවිතාරනගේ උපාධිය සහ විශ්වවිද්‍යාලය කුමක්ද ?උපාධි කිසිවක් නැති කීර්තිමත් පුරාවිද්‍යාඥයන් කොපමණ පිරිසක් මේ රටේ බිහි වූවාද කියා ඔබ දන්නවාද ?ඔවුන් නිවැරදිව දැනුම හැසිරුවේ නැත කියා ඔබ පිළිගන්නවාද ?

    ” සුළු දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් නිසා ඉතිහාසය විකෘති වීමකට ලක්කෙරිගෙන යනවා. උදාහරණයක් තමයි, කිහිපදෙනෙක්ට ලොකු උවමනාවක් තියනව බුදුදහම ඇතිවි පැතිරි වර්ධනය වුනේ ලංකාවේය කියල කියන්න”

    මෙසේ ඉතිහාස මතයක් ඉදිරිපත් කිරීම අත්තනෝමතික ක්‍රියාවක් වන්නේ කෙසේද ?මේ මතය පිලි ගන්නා අය අත්තනෝමතික අය නම් පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයින් කිහිප පලක්ම මේ අත්තනෝමතිකයින් ගොන්නට අයත්ය

    ”මම අපේ සංස්කෘතියෙ දකිය විශේෂම ලක්ෂණයක් වෙන්නේ ආගම් ජාති භේදයකින් තොරව සමානාත්මතාවය දැන්විම”

    අපේ සංස්කෘතිය කීවේ ක්‍රිස්තියානි සංස්කෘතිය ගැන නම් ගැටළුවක් නැත ..එසේ නොමැතිව සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන නම් මෙය මුසාවකි මෙය සත්‍යක් බවට කරුණු පහදන්න

    ”මේවට විරුද්ධව කතා කරන්න යද්දි අපිව හංවඩු ගහනව අපිට ජාතකයක් නෑ කියලා”

    ඔබ කතෝලිකද ?තුප්පහියන් යනුවෙන් හැඳින්වූයේ කවුරුන්ද කියා ඔබ දන්නවාද ?

    මහා පාණ්ඩිත්‍යයෙන් ලිපි ලියා නමක් හදා ගැනීමට ප්‍රථම උපාධිය පිළිබඳව ඇති අධි තක්සේරුව සහ මාන්නය බිම තබා යමක් උගෙන ලිපි ලියන්නට යයි යෝජනා කරමි

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: