RSS

පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික චින්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද?

16 Jun

ලෝකයේ නොයෙක් බෙදීම් ඇති කර ගන්නේ සමාජය විසින්මය. මිනිසාම සම්මත කර ගත් එම බෙදිම් තුළ සිටිමින් විය යුතු යොවිය යුතු සම්මතයන් ඒ අනුව මිනිසා විසින්ම බිහි කරගෙන තිබේ. මෙකී සමාජ සම්මතයන් තීරණය කිරීමෙහි ලා ප්‍රබල දායකත්වය සපයන්නේ සංස්කෘතියයි. යම් ජන කොට්ඨාසයක්, ඔවුන් විසින්ම නීතිගත කරන ලද සංස්කෘතික රාමුවක සිට සමාජ සම්මත, තහංචි දමා සිය සංස්කෘතික දෘශ්ටියට යම් අනන්‍යතාවයක් ලබා දී තිබේ. මෙසේ බිහිකරගත් යම් නිශ්චිත කෝණයක සිට බැලීමේදී තම සමාජයට සුදුසු දේ ‍කවරක්ද, නුසුදුසු දේ කවරක්ද යන්න සම්මතයකට පැමිණීම මෙකී සංස්කෘතික පසුබිමේ ස්වභාවයයි. ඒකාකාරි රාමුවකට කේන්ද්‍රගත වීම තුළින් ඇතැම් නව්‍ය ප්‍රගමන වෙත මෙකී සමාජය ඔරොත්තු නොදේ නම් සංස්කෘතික බැම්මෙන් එපිට ඇති දේ යැයි කියා ඒවා බැහැර කිරීම සාමාන්‍ය සිරිතය. මෙය ලංකාවේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. සමාජය තුළ ගැහැණියගේ භූමිකාව මෙහි එක් ප්‍රභල පැතිකඩකි. සමාජය හා ගැටීමේදී මා වෙත එල්ලවු නොයෙක් අභියෝග, අපවාද, දිරිගැන්විම් ආදියද මෙම ලිපිය සඳහා පසුබිම් විය.

විශේෂයෙන් මෙහිදී අවධානය කෙරෙනුයේ ලංකා සමාජය පිළිබඳවයි. “ඈත අතිතයේ සිට සම්මතයේ පැවතියේ මෙසේයි” කියමින් සමාජයේ අනෙකුත් සැමටම පාහේ කාන්තාවටද යම් නිශ්චිත රාමුවක් සපයා ඇත. නැහැයි කියා නොකිව හැකි පරිදි කාන්තාව ළමා කාලයේ සිටම පුරුදු පුහුණු කළ චින්තනයන් සමග මෙකි රාමුවට කොටුවී එයට වහල් වි තිබේ. ඇය සතු යුතුකම් සහ වගකිම් සමුදායක් තිබේ. ඇය විසින් ඒවා අත් නොහැර අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුය. එසේ නොවේනම් ඇය සමාජයේ සිරිත් කඩ කරන්නියකි. සීමාන්තික චින්තනයකට ඇය ගොනු කර මිටි බැඳ අසුරා තැබිම මත මිනිසෙකු වශයෙන් ගත් කල්හි ඇය නිදහසේ ජීවත් වන්නේද යන්න ගැටළුවකි. එසේම සමාජ සම්මතයෙන් පැනවූ සීමාවෙන් පිට අඩිය තැබීමට පෙළඹෙන ඇයට එතැන් පටන් සිදුවන්නේ අනේකවිධ ප්‍රශ්න සඳහා මුහුණ පෑමට සිදු වීමයි. උදාහරණයක් ලෙස වාරිස් ඩයරි නම් නිරෑපිකාව ගනිමු. සමාජ සම්මතයෙන් තහනම් වූ චාරිත්‍ර ලොවට හඬගා කිම හේතුවෙන් ඇය නොයෙක් අපවාදයක්ට මුහුණ දුන්නාය. ලංකාව තුළ එවන් චාරිත්‍රයන් නොමැති වුවද, යම් හෙයකින් කාන්තාව නවමු දැක්මකට යොමු වුවහොත් හෝ පවතින සමාජ සංස්ථාවට පරිබාහිර ක්‍රමයක් ප්‍රසිද්ධියේ පැවසුවහොත් මෙම සමාජයේ ප්‍රතිචාරයම පෙර දැක්වූ උදාහරණයේ තරමම ගන්නේය. සමාජ සම්සතයන් බිඳම යන කාරණය සඳහා කවර ගතානුගතික සමාජයක හෝ වේවා ප්‍රතිචාරය එකමය. වෙනස වන්නේ ඒ සඳහා ක්‍රියාකාරීවන ආකාරයන්ගේ යම් යම් වෙනස්කම් පැවතීම පමණි.

බොහොමයක් පුද්ගලයින් මගෙන් අසන පැනයක් ඇත. “ඔබ ඉදිරිපත් වන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන්ද?” යන්නයි ඒ. කාන්තාවගේ අයිතින් කෙසේ වෙතත්, මා දකිනා ප්‍රධානතම කාරණය වන්නේ සැමට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත යන්නයි. නමුත් තම “නිදහස” යන සාධකය තුළ කොටුවී සිටින බොහොමයක් දෙනා තම අදහස් යනු කවරක්ද යන්න අමතක වී තිබීමේ දරුණු තත්වයට අද වන විට මුහුණ පා ඇත.

විශේෂයෙන්ම කාන්තාවන් ගත් කල්හි, ඔවුන් තම අදහස් ලෙස දකින්‍නේ පෙර කී අයුරින්, සමාජය විසින් ඔවුන්ට පැනවූ සීමාවේ සිට බලද්දී තමන්ට පෙනෙනා දෙයත්, කාන්තාව යන ආකල්පය තුළ සිට බලන කල්හි සීමා වූ චින්තන රාමුවක් තුළ ඇය දකිනා දෙයත් පමණි. මෙම ලිපිය සඳහා අදහස් විමසීමට යාමේදී කාන්තාවන් බහුතරයක් තුළින් මා දුටු තත්වය එයයි. ඔවුන් පවසන්නේ තම ආකල්ප නොව සමාජය විසින් කාන්තාවගේ හිස මත පැටවූ සංස්කෘතියක සදාවැරයක ආකල්පයන්ගේ ප්‍රතිරාවයකි.

මින් පසුව නැවත සංස්කෘතිය වෙත අවධානය යොමු කරන්නේ නම්, අධ්‍යතන සංස්කෘතිය යනු කවරක්දැයි අසනු කැමැත්තෙමි. සංස්කෘතිය යනු ස්තිථික වූවක් නොව කාලානුරූපව වෙනස් වන්නාවූ දෙයකි. වෙනස් නොවන සංස්කෘතියක් නැත. සංස්කෘතිය වෙනස් වන්නේ නම් අප අද වන විටද නැවතී සිටිය යුත්තේ කණ්ඩායම් සමාජ ක්‍රමය පැවති පැරණිතම ගෝත්‍රික මට්ටමේය. මාගේ අදහස සංස්කෘතියක් අනවශ්‍යය යන්න නොවේ. මා පවසන්නේ සංස්කෘතිය යනු වෙනස්වන්නාවූ දෙයක් බවයි. එසේම සංස්කෘතික සම්මතයන්යැයි කියනා, සමාජය විසින්ම සාදා ගන්නාලද අස්ථායී හර පද්ධතීන් තුළම එල්බ සිටිමින් පිරිසක් වෙත පමණක් නිති පැනවිම යුක්ති යුක්තද යන්න අසනු කැමැත්තෙමි.

කාන්තාව දුර්වල වූ අයෙක්ද? ඇය දුර්වලනම්, සමාජයේ ඇය පහත් කොට සලකන්නේ නම්, ඇයගේ ස්වතන්ත්‍ර අදහස් නිග්‍රහයට ලක් වන්නේ නම්, කාන්තාවක් තුළින් මෙලොව එළිය දුටු පිරිමියා, තමන් පමණක් ප්‍රමුඛ යැයි සිතා කටයුතු කිරිම සාධාරණ වූවක්ද? (සියලුම පුරුෂ පාර්ෂවය නොව බහුතරයක් සැලකීමේදී තත්වය මෙයයි) මෙහිදී වැදගත් වන්නේ ප්‍රමුඛ ස්ථානය, ශක්තිය නොව මිනිසත් බවයි. ගැහැණු පිරිමි යන්න භෞතික කාරණයකි. අප අවධාරණය කළ යුතුතේ සත්‍ය, පැහැදිලි සිතිවිලි, සාධාරණත්වය ආදිය පිළිබඳවයි. එහිදී කාන්තා පිරිමි බෙදීම ප්‍රමුඛත්වයට පත් වන්නේනම්, එය ඉතා අවාසනාවන්ත සිදුවිමකි. මන්ද එතැනින්ම “මිනිසත්බව” යන සංකල්පය නිෂ්ප්‍රභා වී ඇති බැවිණි.

අන්තවාදී චින්තනය සමාජයට ගෙන එන්නේ ඉතා කනගාටුදායක තත්වයකි. ආගම, ජාතිය, ස්ව මතය ආදී කවර අවස්ථාවක හෝ වේවා මෙකී අන්තවාදීත්වය තුළ සිටිමින් කිසිසේත් සාධාරණත්වයක් හෝ සත්‍යයක් දැකිය නොහැකිය. නමුත් බොහෝ විට සමාජ සම්මතයන් තුළ අත්තනෝමතිකව එල්බ සිටීම තුළ සිදු වන්නේ උක්ත අන්තවාදිත්වය හිස එසවිමයි. කාන්තාවකගෙන්, කාන්තාවගේ නිදහස් චින්තනය පිළිබඳව විමසීමක් තළෙමි. මේ ඇයගේ අදහසයි.

“…. මම කියන්නෙ කාන්තාව පිරිමියා යටතේ ඉන්න ඕන. හේතුව අපිට පිරිමි කෙනෙක්ගෙ ආරක්ෂාව අනිවාර්යයෙන් ඕන. අපි කොහොමත් ඉන්න ඕනෙ පිරිමියාට යටත් වෙලා…”

සමාජයේ බහුතරයකගේ ආකල්පය මෙය වූයේ නම් කිව යුත්තේ, සත්‍ය වශයෙන්ම කාන්තාව තම ස්වාධීන සිතුවිල්ලකට නිදහසේ ‍කළඑළි බැසීමට ඉඩ දී නොමැති බවයි. ඉහත වචන, එම කතා කළ ඇයගේ වචන නොව ගතානුගතික චින්තනය තුළින් ඇගේ මනසට කිඳා බස්වන ලද සංස්කෘතික කඩතුරාවෙන් ආවරණිත සමාජයේ දෝංකාරයයි. මාගේ පැනය වුයේ කාන්තාවගේ නිදහස් චින්තනය, ඇයගේ නිදහස් ආකල්ප කරළියට ගෙන ඒමේ නම්‍යතාව පිළිබඳව මිස ඇය පිරිමියා යටතේ සිටිය යුතුද, ඇය සමාජයේ ප්‍රමුඛත්වයට පත් විය යුතුද යන්න නොවේ. මින් පෙනී යන්නේ, යම් ගැටළුවක් පැහැදිලිව නිරවුල් මනසකින් තේරුම් කර ගැනිමට පවා අද්‍යතන කාන්තාවට නුපුළුවන් වී ඇද්ද යන කාරණය නම් මෙය මහා අභාග්‍යයකි.

යමෙක් ලිංගිකත්වය, සමාජ තහංචි, පුරුෂ කේන්ද්‍රීය සමාජය, කාන්තාවාදී චින්තනය ආදීවූ තේමා පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කරන කල්හි ඔහුට යම් යම් භාධා විශාල වශෙයෙන් එල්ල වේ. කාන්තාවක් මුල්වී මෙකී මාතෘකා විවෘතව විවාදයට ලක් කරන්නේ නම්, ඇය වෙත පැමිනෙන භාදක ඉමහත්ය. බොහෝ විට මෙවන් සංවාදයට ලක්කළ යුතු තේමා කරළියට ගෙන ඒමේදී, ඇයගේ පෞද්ගලික හැඟීම්, රුචිකත්වයන් පිළිබඳව කුතුහලයෙන් යුතු විමර්ශනයන් කිරිමට අධම ආකාරයෙන් පෙළඹීමට පවා අද සමාජයේ ඇතැම් පිරිමින් කටයුතු කරන තත්වයක් උද්ගත වී ඇත. ගැහැණිය මුළුතැන්ගෙට, එදිනෙදා ජීවිත සටනේ වගකීම් සහ යුතුකම් වෙත ‘පමණක්’ තරයේ සීමා කර ගෙයි මුල්ලක දමා විලංගු ලෑ යුතුද? (මාගේ අදහස ඔවුන් එම කටයුතු වලින් මිදිය යුතුය යන්න නොවේ, මේ සඳහා පමණක් සිමා විය යුතුද යන්නයි.)

නමුත් මිනිසුන් වශයෙන් අප කළ යුත්තේ නිරවුල් මනසකින්, ඉවසිමෙන් එකිනෙකාගේ සිතිවිලි තේරුම් ගැනීම මිස යම් යම් භාදක පනවා, නෛතික සිමාවන් පනවා සමාජ බෙදීම් තුළ යල් පැන ගිය ඒක කේන්ද්‍රීය දෘශ්ටියක සිටිමින් එයට ප්‍රාණය පෙවිම නොවේ. විශේෂයෙන්ම කාන්තාව පහත් කොට සිතනවාට වඩා, පුහු ගතානුගතිකත්ව විලංගුවෙන් මිදී නව්‍ය අදහස් සමගින් සමාජය අභිමුවට ඒමේ ප්‍රවණතාව සඳහා අත්වැල් සැපයිම දියුණුවන සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ‍බෙහෙවින් ඵලදායි වන බව කිව යුතුය.

 
3 Comments

Posted by on June 16, 2012 in සමාජ

 

Tags: , , ,

3 responses to “පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික චින්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද?

  1. Sameera Pushpakumara

    June 16, 2012 at 5:39 pm

    අතීත ඉන්දියානු හා අනෙකුත් සංස්කෘතීන් වළ ඉගැන්වීම් අනුව කාන්තාවට අධයාපනික,ආගමික හා සාමාජික වශයෙන් නිදහාසේ වරප්‍රසාද බුක්ති විදීමට ඉඩ නොලැබිණි.එහෙත් ස්ත්‍රී,පුරුෂ භේදය මත මානව අයිතිවාසිකම් අහිමි කිරීම ශිෂ්ට සම්මත සමාජය අනුමත නොකරන්නෙකි.
    ලොව පුරාම විවිද සංවිදාන මගින් කාන්තා නිදහස හා අයිතිවාසිකම් ලබා දීමට දැඩි අවදානයක් යොමු කරන මෙබදු අවදියක දෙදහස් හයසිය වසරකට පෙර බුදුරඳුන් විසින් ක්‍රියාත්මක කළ කාන්තා මානව හිතවාදී ප්‍රතිපත්තිය මේ මොහොතේ මට සිහි වන්නේ නිරායාසයෙන්ය..ත්‍රිපිටකය හා අයිතිහාසික සාදක අනුව කාන්තාවට ඉහල තැනක දී ඇත්තේද බුදු සමයේය…මානව හිතවාදී සමාජයක ලිංග බේදයකින් තොරව අයිතිවාසිකම් හිමිවීම හා ලබාගැනීම සිදු විය යුක්තකි…..එය අප බුද්දිමත් සියළු දෙනාගේ මතයකි…තිලිණි ඔබගේ උත්සහාය ප්‍රායෝගික සමාජයේ භාවිතයට නම්..මානසික විප්ලවයක් කළ යුතුයි…ඒ සදහා තව තවත් සන්නිවේදන කාර්යය සිදු කරන්න… එවිට ඔබ පතන සමාජය දැකීමට විදීමට ලැබේවි…ස්තුතයි…..
    සමීර…

     
    • තිලිනි ෂැල්වින්

      June 16, 2012 at 5:46 pm

      මගේ අදහස ඔබේ අදහස තුළින් නැවත වරක් වඩාත් හොදින් විනිවිද දුටුවෙමි.
      සමාජයට නිවැරදි චින්තනය ගෙන යාම සදහා තව දුරටත් උනන්දු වෙමි.
      ස්තූතියි.

       
  2. wasantha

    June 18, 2012 at 7:29 am

    gd wr

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: