RSS

සුළු දෙය ඇසුරු කළ දෙවියා…. The God of Small Things….

15 Jun

මෙතෙක් මා කියැවූ පොත් අතුරින් ආකර්ෂනීයම නවකතාව වන්නේ මෙයයි. පොත් අතර ගෙවුණු මා දිවියේ මෙතරම් විශිෂ්ට ලෙස රූපමය කාව්‍යයක් දෑස් අභිමුව චිත්‍රනය කෙරුණු වෙනත් කිසිදු සාහිත්‍යයක් නොමැති තරම්ය. ඒ මෙය බූකර් සම්මානයෙන් පිදුම් ලැබු නිසාවෙන් නොව මා මනස තදින් ග්‍රහණය කරගත් අපූර්වතම නිර්මාණය වන නිසාවෙනි.


“රහෙල්” ඈ කථා නායිකාවයි. සිය නිවුන් සහෝදරයා වන එස්තප්පන් සහ තමා කේන්ද්‍රීය කරගත් ලෝකයක් තුළ ගෙවෙන ඇගේ දිවියේ අනුස්මරණයන් ඇය මෙමගින් විග්‍රහ කරන්නීය. සංස්කාතිකමය අතරමංවීමක් තුළ ගොඩනැගෙන ඔවුන්ගේ මවගේ ජීවිතයෙන් ඔවුන් මත පැටවුණු හුදෙකලාවේ කාලකන්නි උරුමයත් සමග දෙදෙනාගෙන් වෙන්ව ජීවත්වීමට දෙදෙනාව යොමු කෙරේ. නමුත් නිවුන්නු වූ ඔවුන් දෙදෙනෙකු නොව එක් අයෙකි. ඔවුනටම වෙන්වූ ඔවුන්ට පමණක් දැනෙනා ලොවක ප්‍රතිබිම්බයක් කථාව මුළුල්ලේම පාඨකයාගේ නෙත් මානයේ දර්ශනය වේ. මවගේ ජීවිත පරාජයෙන් ඔවුන් මත පැටවුණු අකාල බර සිය යෞවනත්වය තෙක් කරපින්නාගෙන ඒමට නිවුන්නුන්ට සිදුවේ. පාඨක අප හමුවේ විවරණය වන්නේ රහෙල් විසින් හෙළිකරන ලද ඇගේ චිත්තාභ්‍යන්තරයේ මහා හෙවනැල්ලයි.


කෙළිලොල් ළමා වියේ අපූර්ව විස්මයජනක සිතිවිළි ලෝකය එලෙසින්ම අප නෙත් මානයේ චිත්‍රනය කිරිමට කතුවරිය දක්වා ඇති කුසලතාවය පැසසිය යුත්තකි. එය ආයාසයෙන් මවනා ලද්දක් නොව ළමා පරිකල්පනය කිසිදු හානියකින් තොරව එලෙසම ගෙනහැර දැක්වීමකි. අප වෙසෙනා සංස්කෘතික පරාසයෙන් බෙහෙවින් විශම සමාජ තත්වයක් වුවද එම වෙනස අපට නොහැගෙන්නේ කතුවරියගේ ස්වතන්ත්‍රතාවයෙන් ගෙනහැර දක්වන ලද නවමු කථා විලාසය හේතුවෙනි. ඇය අරුන්දතී රෝයි නම් වූවාය.
මෙතෙක් මවිසින් කියවන ලද කෘතින් අතර මෙවන් වූ වෛශේෂික නිර්මාණයක් නොදක්නා ලදී. පළමු වරට මෙය මා කියැවුයේ මීට වසර ගණනාවකට පෙර උසස් පෙළ සිසුවියක්ව සිටි අවධියේදිය. කෙතෙක් නම් මෙම ග්‍රන්ථය මා මනස ග්‍රහණය කර ගත්තේද යත්, දන්නා හදුනන සැමටම මෙය කියැවීමට බල කළෙමි. ග්‍රන්ථය මවෙතින් ලබා ගත් මගේ මවගේ යෙහෙළියක් වන ගුරුවරියක් කීවේ මෙහි කිසිම සදහනක් ඇයට නොතේරෙන බවයි. මම පුදුම විමි. ඒ මෙතෙක් මවිසින් කියවන ලද අපූරු නිර්මාණ ලක්ෂණයන්ගෙන් පරිපුර්ණ වූ ග්‍රන්ථය මෙයම පමණක් වන හෙයිනි.


කියවන වචනයක් පාසා මට මහත් අවුල් ජාලයක් විය. එකිනෙක කරුණු තැන තැන විසිරි පැතිරි තිබිණි. නමුත් එක් දෙයක් පැහැදිලි විය. මට ඉන් ගොඩනගාගෙන යන අපූරු ගොඩනැගිල්ලක් පෙනිණි. කථාව පුරා එය අසම්පූර්ණ ගොඩනැගිලි ආකෘතියකි. නමුත් පුදුමයකි. අවසන් පිටුවේ… එම තීරණාත්මක අවසන් පිටුවේ, පෙර කී විසී පැතිරී තිබූ සියලු කරුණු එක්වි අපූරු මන්දිරයක් මා චිත්තාභ්‍යන්තරයේ දර්ශනය විය. එතෙක් මෙතෙක් ජීවිතය පුරා මෙවන් නිර්මාණයක් කිසිදු විටෙක මා නෙත ගැටී නැත. මෙය මා කියැවූ එම විශ්වකර්ම නිර්මාණයයි.


ඔබට සුන්දරත්වය කෙතරම්දැයි සිතාගත නොහැකි වූ ළමා වියක් ඇත්තේනම්, මෙම ග්‍රන්ථය නොඅනුමානවම ඔබව ඔබේ ඒ ළමා ලොවේ අපූර්වතම මතකයන් වෙත ගෙන යනු ඇත.


මැතකදි මා හට මෙය නැවතත් කියැවිමේ මහත් ඕනෑකමක් ඇතිවූ හෙයින් නැවත වරක් පුස්තකාලයට බැඳුනෙමි. පොත් රාක්ක පුරා සෙවූ මුත් මට ග්‍රන්ථය සොයා ගත නොහැකි විය. කඩවූ බලාපොරොත්තුත් සමගින් පිටවීමට ගිය මට එතැනම මේසයක් මත අපිළිවෙලට දමා තිබූ පොත් අතර තිබී “සුළු දෙය ඇසුරු කළ දෙවියා” මුනගැසිනි. ජීවිතයේ නැවතවරක් මා භාග්‍යමත් විය.


(හැකි නම් ඔබ සැම දෙන මෙම කෘතිය කියවනු ඇතැයි විශ්වාස කරමි)


එස්තා රහෙල් සමග තම කුඩා බෝට්ටුව හිස මත තබාගෙන යන අයුරු… දොඩම් ලෙමන් බීම කාරයා දෙස පුදුමයෙන් බලා සිටින එස්තා… බලහත්කාරයෙන් ජීවිතයේ හුදෙකලා කරවනු ලැබූ රහෙල්… තවමත් මා මනසේ පදාසයක විසිරි පැතිරි සිටිති….

https://www.facebook.com/pages/The-God-of-Small-Things/109617645723987

 

4 responses to “සුළු දෙය ඇසුරු කළ දෙවියා…. The God of Small Things….

  1. පැතුම් හේරත්

    June 15, 2012 at 3:04 pm

    කාලයක් තිස්සෙ ලඟ තිබුණු තාම සම්පූර්ණයෙන් කියවන්න බැරි වෙච්ච පොතක්.. ස්තූතියි.. ගෝර්කිගේ වැඩකට නැති එකෙකුගේ ජීවිතය පොත කියෙව්වහම මට ආවෙත් ඔය වගේ හැඟීමක්.. මුළු පොතේම තිබිච්ච දේවල් වැඩකට නැති එකෙකුට කොච්චර සාධාරණ ද කියල හිතුණා.. කතාව කියවන්න කම්මැලි නෑ.. කියවල ඉවර වෙලා හිතල බැලුවහම හිතෙන දේ නියමයි..

     
    • තිලිනි ෂැල්වින්

      June 15, 2012 at 3:50 pm

      ඔවු මමත් ඒක කියවලා තියනවා. මේ පොත කියවන්න. මම මෙච්චර කාලෙකට පුදුමාකාර වින්දනයක් ලබපු එකම නවකතාව. තවම ලැබුණෙ නැ මට මේකෙන් ඇතිවුණු සිතිවිල්ල පරාජය කරන්න පොතක්

       
  2. උදාර

    June 16, 2012 at 2:50 am

    පුස්තකාලයේ දි ඔය පොත අප්‍රමාණව ඇහැ ගැටුණත් අරගෙන කියවන්න හිතුණේ නැහැ. දැන් නම් තිලිනිගේ මේ ලියවිල්ලෙන් පස්සෙවත් මං මේ පොත කියවයි කියල හිතෙනවා………

     
  3. faz..

    July 8, 2013 at 4:26 pm

    අරුන්දතී රෝයි ගේ තවත් එක් නිර්මාණයක් නොවන නිර්මාණයක්..
    සෑම කොටසක්ම හිතට කා වදින සුළුයි..සොෆී මෝල් ගේ ආගමනයේ බලාපොරොත්තුව,පැරඩයිස් පික්ල්ස්, අම්මු ගේ රාත්‍රී ගමන්,එස්තාගේ අපයෝජනය වීම, ,, මෙය ඉන්දීය සමාජයේ නියෝජනයක් වුවද පොදුවේ සෑම ජන කලාපයකම අමිහිරි සත්‍යයන් නිරූපණය වන්නක් වේ..මෙම නිර්මාණය බුකර් ත්‍යාගය හිමි කර ගත්තේද එනිසා විය හැකිය..
    (2007 උ/පෙ පළමුවන වසරේ සිටියදී මහත් අභිරුචියෙන් කියවූ මෙය අද නැවතත් මතකෙට නැඟුනේ සිත්තරී ගේ මේ පොස්ටුව නිසාය)🙂 faz

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: