RSS

**** ලොව පවත්නා ආගම්හි සත්‍යාසත්‍යතාව සොයා යාම ****

02 Jun

ලොව පුරා නන් විධ ආගම් අදහන්නෝ වෙති. යම් සමාජයක පැවැත්මේ මුඛ්‍ය ලක්ෂණයක් ලෙස “ආගම” යන සංකල්පයට හිමි වන්නේ අග්‍රගන්‍ය ස්ථානයකි. මිනිසා සමාජගත වීමේ පළමු අදියරේ සිටම ආගම හෝ ඇදහිම යන ප්‍රපංචය තුළ සිය විශ්වාසයන් සංයුක්ත කිරීමේ පියවරකට එළඹි බව ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක අවධානයට ගැනිමේදී දක්නට ලැබෙන සුවිශේෂී කරුණකි. මානව චින්තනයේ ක්‍රමික පරිණාමය ඇරඹි සමයේ සිට කණ්ඩායම් සමාජ වෙත තමා යටත්ව සිටිනා තමන්ට වඩා බලවත් වූ යම් බලවේගයක් පිළිබද දැඩි හැගීමක් තිබුණි. හුදෙක් එය තාක්ෂණික වශයෙන් සරල වූත්, මිනිසාට වඩා ශක්තිසම්පන්න වන සතුන් බහුතරයක් අතර හුදෙකලා වූත් දෑතේ සවිය සහ සැගවි සිටිය හැති අවම පාරිසරික සාධකයන්ට ගැති වුත් මුල් කාලින මානව‍යාගේ මානසික ශක්තිය යම් තාක් හෝ නංවාලීමේ සංකල්පයක් ලෙස විග්‍රහ කළ හැකිය. අව්ව, වැස්ස, සුළි කුණාටු, ගින්දර, ගංවතුර ආදි වූ නොයෙක් ස්වභාවික විපර්යාස මෙල්ල කරලීමට තබා, ඒවා කොතැනින් කෙසේ ආරම්භ වනවාදැයි සිතිමටවත් අත්දැකිම් අවම වූ සමාජයකට, මෙවන් ස්වභාවික සංසිද්ධීන් දේවත්වයෙහි තබා සලකනවා හැරෙන්නට කළ හැකි අන් යමක් නොවුණි.
නිරවුල්ව සිතා බලන්නේ නම් පශ්චාත් කාලීන මුල් නාගරීකරණය පිළබිඹු කරන ශිෂ්ටාචාරයන්හිත් ඇදහිල්ලට පාත්‍ර වුයේ මෙකී ස්වභාවික සංසිද්ධීන් මුල්කොට ගෙන උත්පාදිත දේවත්ව සංකල්පයන් බව පෙනේ. උදාහරණ ලෙස, ඉන්දු නිම්නයේ ඉන්ද්‍ර, වරුණ, යම, අග්නි ආදී වු දේවත්ව සංකල්පයන්ද, මිසරයේ රේ දෙවියාද, ග්‍රීසියේ සියුස් දෙවියාද මෙවන් ස්වභාවික වස්තූන් මුල් කොටගෙන ඇදහිල්ලට පාත්‍ර වු පිරිස් ලෙස හදුනා ගත හැකිය. එමතුද නොව මරණය, ආත්මය වැනි වු ම්නිස් සිතට තේරුම් ගත නොහැකි වූ ගූඪ සංකල්ප දේවත්වයෙහි ලා පිදුම් ලැබූ බවට මිසරයේ “කා” ඇදහිල්ල තුළින් පැහැදිලි වේ. උක්ත සංකල්ප මිනිසා යුගයෙන් යුගයට සම්ප්‍රේෂණය කරලූයේ ආගම, ඇදහිල්ල, විශ්වාස, බිය, අපේක්ෂා ආදී වූ නන් විධ සාධක සිත්හි රදවාගෙනය.
මේ අනුව ‍ලොව දෙවන නගරායනය සිදු වන අවධියේ, ඊට සාපේක්ෂ වකවානුවේ සහ පශ්චාත්කාලීනව විවිධ ආගම් සහ දර්ශන ඇති වනු දක්නට ලැබේ. මෙම ආගම් සහ දර්ශන පෙරකී අවධියේ සංකල්ප මුලිනුපුටා දැමූ බවක් බොහෝ විට දක්නට නොලැබේ. සමාජයට යම් දැක්මක්, ස්ථිරසාර අරමුණක්, මිනිස් ජීවිතයේ තිරසාර නිර්මල පැවැත්මට යම් මාර්ගෝපදේශනයක් ලබා දෙනු වස් මෙම බොහෝ ආගම් තුළ ඇති අන්තර්ගතයන් ඉවහල් වන බව ඒවා අධ්‍යයනයෙන් පෙනී යයි.
සමාජයක, සංස්කෘතියක, ජන කණ්ඩායමක පැවැත්මට ආගමක් අවශ්‍ය නොවූයේනම්, ලොව කිසිදාක මෙවන් ආගම් ඇති නොවනු ඇත. නමුත්, මෙලෙස ඇතිව ව්‍යාප්ත වු ආගම් අද දක්වාත් සමාජ තුළ මුල්බැසගෙන පැවතීම මත පෙනී යන්නේ මේවායෙහි ඇති ආවශ්‍යයිකතාවයයි. බහුතර මිනිස් කණ්ඩායමක විශ්වාස, ඇදහිලි මත ඔවුන්ගේ මානසික සුභසිද්ධිය සැලසෙන්නේනම්, එවන් විශ්වාසයන් සමාජයෙන් අතුගා දැමීම උදෙසා තර්ක කළ යුතු නැත. මන්ද, ජිවිතයේ නොයෙක් කම්කටොළු හමුවේ පිඩාවෙන් සිටින මිනිසා සිය මානසික සුභ සිද්ධිය නංවාගනුවස් ආගමක, ඇදහිල්ලක විශ්වාසයක පිහිට අපේක්ෂා කරන බැවිණි.
නමුත් බුදුරජාණන් වහන්සේ නමින්, ජේසුස් වහන්සේ නමින්, නබි තුමා නමින්, නිඝන්ඨනාථපුත්ත නමින්, කොන්ෆියුසස් නමින් පුද්ගලයෙක් සත්‍ය වශයෙන්ම සිටියේද, නිවැරදි ලෙසම ඒ කවර වකවානුවේද, දැනට පවත්නා ද්‍රව්‍යමූල මත එම පුද්ගලයින් සිටි බවට පර්යේෂණ කළ හැකිද ආදී වූ දෑ සමාජය හමුවට ගෙන ඒම යුක්ති යුක්ත වන්නේද යන්න ප්‍රශ්න කළ යුත්තකි. මන්ද ඉන් සිදු වන්නේ, මෙකී සාධක සාවද්‍ය හෝ නිරවද්‍ය වේවා, මිනිස් කණ්ඩායමකගේ විශ්වාසයන් දෙදරා යාමකි.
බුදුන්ගේ දන්ත ධාතුවත්, ජේසුස් වහන්සේගේ ලේ වැකුණු රෙදිකඩත් කාල නීර්ණයට ලක්කර මේවා කවර කාලයකට අයත්දැයි නිවැරදි ලෙසම ප්‍රකාශයට පත් කළ හැකි වුවත්, මෙම පුද්ගලයන් සත්‍ය වශයෙන්ම සිටියේද යන්න කිව හැකි වුවත් මෙවන් දෑ සමාජය හමුවට ගෙනවිත් තර්කනයට, විවාදයව ලක් කිරීම සදාචාරාත්මක බව පිටුපා යාමකි.
එසේම “තමන් අදහන හෝ අනුගමනය කරන්නාවූ ආගම පමණක්ම නිර්මල වූ ධර්මය වේ” යැයි සිතා අනෙක් ආගම් හෙළා දැකීමද මනුෂ්‍යත්වයට කරන්නාවු නිග්‍රහයකි. මනෝවිද්‍යාත්මක, විද්‍යාත්මක, සදාචාරාත්මක දෘෂ්ටීන් තුළින් ඇතිකරගත් මානයන්හි පිහිටා සිට බලමින් මේ මේ ආගම් පමණක් නිවැරදි වේය, මේ ආගම පමණක් සත්‍ය වේය යන කරුණු සමාජය හමුවට ගෙනවිත් තර්ක කිරිම නිවට මෙන්ම මුග්ධ ක්‍රියාවකි.
යම් අයෙකුට අවශ්‍යනම්, තමන් අදහන, අනුගමනය කරන, විශ්වාස කරන ආගමෙහි සත්‍යාසත්‍යතාව සොයා යා හැක. එය කළ යුත්තේද නිවැරදි දැක්මෙහි සහ බුද්ධියෙහි පිහිටා සිටිමිනි. නමුත් මහා පරිමාණ වශයෙන් සමාජයට විශ පොවා අන්තවාදී ලබිධිකයින් ඇතිකරලීමේ පරම අපේක්ෂාවෙන් සහ “තම ආගම හැර සෙසු ආගම් පිටු දැකීමේ අරමුණින්” අඥාන ලෙස හැසිරිම සමස්ත මානව සංහතියටම කරන්නාවූ මහා පරිමාණ සමාජ දූෂණයකි.

 
1 Comment

Posted by on June 2, 2012 in සමාජ

 

One response to “**** ලොව පවත්නා ආගම්හි සත්‍යාසත්‍යතාව සොයා යාම ****

  1. කබර ගොයා

    June 9, 2012 at 12:17 pm

    ආගම් සිරිත් විරිත් සාරධර්මයන් විසින් මිනිසා නිර්මාණය වූවා නොව මිනිසා විසින් ඒවා නිර්මානය කරන ළදි. කියලා මම අහලා තියනවා.
    නමුත් විවිධාකාරයේ හේතු නිසා තමයි ඒ දේවල් ඇති උනේ. නෛතික හික්මීමකට වඩා ස්වාධීන ජන සමාජයකට ආද්‍යාත්මික හික්මීම අගෙයි. එය බොහෝ කල් රඳා පවතින්නක් වෙන නිසා. ආගමිකින් තොර මිනිසා සමාජ සාර ධර්මයන්ගෙන් තොර මිනිසා. බොහෝ විට සමාජයට හිසරදයක් වන්නේ නීතියට පමනක්ම මිනිසෙකු සකස් කල නොහැකි නිසයි.
    ඒබ්‍රහම් ටී කෞර් වැනි උච්චේද වාදීන් පවසන දෙය දීර්ඝ කාලීනව මනුශ්‍ය ජන සමාජය තුල පිහිටියොතින් නැවත වරක් සමාජය වනචාරී වීම නවතාලිය නොහැක.
    සිදු කල යුතු හොදම දෙය නම් ආගම් අතර සමගි බවක් හා න්‍යායාත්මක සමාන බවත් ඇති කර ලීමයි. එකිනෙකා රවටා නොගෙන. ආගමික සංහිදියාවක් ඇතිවන්නේ නම් එය මනුශ්‍යය සංහතියේ දියුනුව පිණිස සහා ආලොකයක් වනු නොඅනුමාණය.

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: