RSS

Monthly Archives: May 2012

“””””””සරසවි සිසුවාගේ රසාඥතාව සහ තාර්කික ඥාණය”””””””

 

අද සරසවිය, සරසවි අධ්‍යාපනය දෙස බැලීමේදි හුදෙක් මෙය තමන් උගත යුතු විෂය පථයේ ඇතැම් අනු අංශ කෙරෙහි පමණක් යොමු වී ඇති බව දක්නට ලැබේ. සරසවි සිසුවකුගෙන් අපේක්ෂිත සාධනිය මටිටම කුමක්ද යන්න පිළිබදව විද්‍යාර්ථියා දැනුවත්ව සිටිය යුතු වුවද, ඔහුට ඒ කෙරෙහි හෝ අවධයනයක් යොමු කිරිමට උවමනාවක් හෝ ඇල්මක් කිසිදු විටෙක නොමැති බව බොහෝ අවස්ථාවන්හි පෙනි යන සුලභ දෙයකි. අද සරසවියේ දේශන බහුතරයක් පාසල් විෂය මාලාවේ මෙන් දේශනයට පමණක් සිමා වි ඇති අයුරු පෙනි යයි. දේශකවරයා කරවක් සදහන් කළද පටන්ගත් මොහොතේ පටන් නිමාව දක්වා එක දිගට සටහන් තබා ගැනිමේ තරගයකට සරසවි සිසුවා නිරායාසයෙන්ම යොමුවි ඇත. මා මෙහිදි අවධානයට ගනුයේ සරසවියේ කලා අංශයයි. ඇතැම් දෙපාර්තමේන්තු තුළ සිදු කරනුයේ පෙර කි ලෙස ආරම්භයේ සිට අවසානය දක්වා සටහන් ලියා ගැන්මට දිමයි. මා දත් එක් ආචාර්යවරයෙකු සිය දේශන මාලාව ක්‍රියාත්මක කරනුයේ ඔහු සතුව ඇති දියවි යන්නට ඔන්න මෙන්න වූ කහ ගැහුණු කොළ මිටියක් දෙස බලාගෙනය. මෙවන් විටකදි නූතන ලෝකයේ සීඝ්‍රගාමී වර්ධනය සහ දිනෙන් දින එකතු වන නව දැණුම සරසවි සිසුවාට සම්ප්‍රේෂණය වන්නේද යන්න ප්‍රබල ගැටළුවකි. දේශක වරුන්ගෙන් තමා බලාපොරොත්තු වන සාධනීය විෂය කරුණු නොලැබෙන්නේ නම්, ඒවා සොයා යාමට සරසවි සිසුවාට නිදහස ඇත. නමුත් මෙය බොහෝ විට සිදු නොවන තරම්ය. මන්ද දෙන දේ ලියාගෙන නිහඩව සිටීම ඇගට ගුණදායක බව බොහෝ දෙනා සිතන බැවිණි.

සියලු ආචාර්යවරයන් මෙසේ නොවන බවත් සුළුතරයක් පමණක් මෙසේ වන බවත් දැණුවත් කිරිමට කැමැත්තෙමි. නමුත් කලා විෂයන් හදාරන සිසුවා බෙහෙවින් අද වන විට ඇබ්බැහි වි ඇත්තේ තමාට දෙනු ලබන සටහන කටපාඩම් කර විභාගය සදහා පෙනි සිටීමටයි. (මෙය පාසල් විශය මාලාව ඉගැන්විම් රටාවේ ගැති වු සිසුවා ලද සානුකම්පිත තන්වයකි). නමුත් දේශන කාමර තුළ කවරාකරෙයෙන් දේශන ක්‍රියාත්මක වුවද, විභාගයේදි ආචාර්යවරුන් බලාපොරොත්තු වන්නේ නව දැණුමයි. මෙය සිසුවා අවබෝධ නොකර ගැනීමේ විපාකය මත අවශ්‍ය සාධනීය මට්ටම නොලබා යාම සිදුවේ.

ආචාර්යවරයෙකු නව අභ්‍යාස ක්‍රමයකට යොමු වුවද එය පිටුපා හැර තමාට පහසු නිබන්ධනයක් ඉල්ලීමට තරම් සරසවි සිසුවා දුර්වල තත්වයට පත්වී තිබේ. මෙය ලාංකේය අධ්‍යාපන ‍ක්ෂේත්‍රය දුර්මුඛ කරන්නාවු ඉතා අභ්‍යාග්‍ය සම්පන්න සිදුවිමකි. නව ආකාරයකින් සිතිමට, තමාට ආවේණික වූ ඉගෙනුම් සම්ප්‍රදායක් ගොඩ නගා ගැනිමට, නව දැක්මක් ලොවට හෙළි කිරිමට සමාජයේ උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වු මොවුන් දුර්මුඛ වි ඇත්තේ තම පහසුව සලකා ගොඩින් ඇග බේරා ගැනීමේ ක්‍රමයක් වශයෙනි. නමුත් මෙකි තත්වය තුළ සිදු වන්නේ නව දැණුම සොයා යන පිරිසකට හෝ තම අපේක්ෂා ඒ අයුරින්ම සාක්ෂාත් කර ගැනිමේ අවස්ථාවක් නොලැබි යාමයි.

2008 වර්ශයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරගත කෙරුණු “කාම සූත්‍රය” චිත්‍රපටය නැරඹීමට ආ සිසුවියන් නැවත හරවා යවනු ලැබිණි. එමතුද නොව එය නැරඹීමට පැමිණි තම බැජියන් හට නොයෙක් නම් කියමින් කෙනෙහිළි කිරීමටද සහෝදර පාර්ෂවයේ ඇතැමුන් පසුබට නොවුණි. කලා සාගරයක සිටියද කලාව යනු කුමක්දැයි අවබෝධයෙන් හින වීම මෙවන් මන්ද මානසික සංකල්ප කරපින්නාගෙන යැමට හේතුව සේ මම දකිමි. එම චිත්‍රපටය තුළින් ගෙනහැරපාන්නාවූ, ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත හැක්කේ පහත් රසවින්දනයක මූලබීජ තම හිතින් අතුගා දමා, ජීවිතය, කලාව යම් පමණකින් හෝ අවබෝධ කර ගැනිමට යත්න දරන්නාවු අයෙකුට පමණි.

පසුගිය වසරේ වේදිකාගත කෙරුණු “හැපි ජර්නි” වේදිකා නාට්‍යයටද පේරාදෙණිය සරසවිය තුළ අත් වුයේ මෙවන් කනගාටුදායක ඉරණමකි. එකිනෙක මිනිසාගේ චෛතසිකයන් විග්‍රහ කරන ලද එම වේදිකා නාට්‍යය යම් තරමකින් හෝ අවබෝධ කරගැනිමට තරම් ඇතැම් සරසවි සිසුන්ගේ බුද්ධිය මුහුකුරා ගොස් තිබුණේ නැත. අවසානයේ රංග ශිල්පින්ට තම නාට්‍යය අතරමග නතර කර යාමට තරම් ‍වු ගෝෂා හඩ මධ්‍යයේ වේදිකා නාට්‍ය කලාවේ මුදුන් මල්කඩ වු පේරාදෙණියේ ගෞරවයද දියවි ගියේය. එම නාට්‍ය දැඩි නිහඩතාවක ගිලි මගේම වු ලොවක අතරමංවි සිට නැවත සම්පූර්ණයෙන් රස විදීමට මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල එළඹෙන තෙක් සිටිමට සිදුවූයේ පේරාදෙණියේ අභාග්‍යය නැවත නැවතත් මතක් කරවා දෙමිනි.
“හැපි ජර්නි” වෙනුවට මුල සිට අග දක්වා හිනහව සහ අසබ්‍ය වචන පමණක් පිරුණු කලා කෘතියක් ඉදිරිපත් කළේනම් එදා ‘වල’ දෙදරන තරම් හඩින් හු තැබු සුළුතරයක් කඩාකප්පල්කාරීන් ඇති තරම් රසයක් ඉන් ලබනු ඇත. අළුතෙන් දෙයක් සිතීමට තරම් මොළය කළදක් හෝ වෙහෙසවන්නේ නැති පිරිසකගේ තත්වය මෙයයි. මෙවන් සුළු පිරිසකගෙන්, ‍විශය මාලාවේ නව්‍යතා පිළිබදව විමසා සිටිම පවා විහිළුවක් ලෙස සැලකිම වරදක් නොවේ යැයි සිතමි. නමුත් ලාංකේය අධ්‍යාපන රටාවේ මෙවන් දොශ සහගත අවස්ථා වෙනස් විය යුතුය. වනපොත් සම්ප්‍රදායෙන් මිදි නව මානයන් සොයා යාම කෙතරම් විනෝදාත්මකද යන්න සහ දැණුම වර්ධනය කරන්නක්ද යන්න පාසල් මට්ටමේ සිට සිසුනට කියා දීම සාරවක් ක්‍රියාවක් ලෙස මම දකිමි. එසේ නම් පාඩම් පොත් තුළ ගිලි නිදි මරමින් වද විදිනු වෙනුවට තමාට හැකි, විනෝදාත්මක ක්‍රම මගින් තම දැණුම දියුණු කර ගැනීමේ හැකියාව සිසුවාට ලැබෙනු ඇත. උගත් බව ඇති වන්නේ තමා ඉන්නා පරිසරයෙන්, උගන්නා දෙයින් පමණක් නොවන බව සිසුවා අවබෝධ කරගත යුතුය.

************* මා දන්නා යෙහෙළියක් පාඩම් කරන කල්හි දෙපා වතුර භාජනයක දමා සිටීමට පුරුදු වූවාය. ඒ තරමට ඇය වෙහෙස වි පාඩම් කළාය. නමුත් අවසානයේ වතුර භාජ‍නය නොමැතිව නින්ද යා නොහැකි තත්වයට ඇය පත් වූවාය ***************

 
 

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික යකඩ යුගයේ සුසාන වර්ග.

This slideshow requires JavaScript.

ප්‍රාථමික යකඩ යුගයේ අවධාරණය කළ යුතු සුවිශේෂී කාරණයක් වන්නේ සුසාන වර්ගයන්ය. මේවායෙහි උක්ත කාල වකවාන්වට අයත් සාධක රැසක් සන්ධර්භගතවි ඇත. විද්වත් මතය වන්නේ මෙය ඉන්දිය මෙගලිතික සුසාන සම්ප්‍රදායේ ආභාසයෙන් ලංකාවේ ඇති වූවක් වන බවයි. (සෙනෙවිරත්න, 1994, 13-20) නමුත් එසේ වුවද ලංකාවේ සිදු කර ඇති පර්යේෂණයන්ට අනුව මෙම සුසාන ඒකාකාරිත්වයෙන් තොර විවිධතාවක් හොබවන අංශයක් බව පෙනි යයි. ලංකාවේ හමුවන ප්‍රොටෝ ඓතිහාසික සුසාන වර්ග සහත පරිදි වේ.

Cist Burial
Clay Canoe
Urn Burial
Pit burial
Cairn Circle
Dolman
මෙකී සුසාන බහුතරයක හමු වන්නේ ද්විතියික වළලෑම් ක්‍රමයයි. එහිදි තෝරාගත් මියගිය පුද්ගලයින් එක් අයෙකුගේ හෝ බහුතරයකගේ තෝරා ගත් අස්ථි පමණක් ගෙන මැටි බදුන් තුළ බහා වැළලීම බහුලව පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබ තිබේ. Pit burial සම්ප්‍රදායේ ප්‍රාථමික වලලෑම් පිළිබද සාධක හමු වන අතර ඩොල්මන් යනු සුසාන නොව ස්මාරක විශේෂයක් බවට මත පලවි ඇත.

Cist Burial :- මෙය ශිලා මංජුසා සුසාන ලෙස හදුන්වයි. ගලකින් ගලක් පන්නා සිටින පරිදි විශාල ගල් පතුරු හතරක් පෙට්ටියක් මෙන් සැදෙන පරිදි සිරස්ව සංයුක්තව තබා එහි මධ්‍යයේ සුසාන ද්‍රව්‍ය තැන්පත් කර මුදුන පියන් ගලකින් වසා මෙම සුසාන වර්ගය ඉදි කරයි. දානට ලංකාවේ මෙම සුසාන ‍ක්ෂේත්‍ර 36ක් පමණ පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.
(පිංවැව ගල් සොහොන් කනත්ත, මාමඩුව, අළුත් බෝඹුව, තම්මැන්න ගොඩැල්ල, ගුරුගල් හින්න, වඩිග වැව, දිවුල් වැව, රඹෑව, මච්චාගම, ඉබ්බන්කටුව, ආනකටාව, සියඹලා වැව, කදිරවේලි, ගල්අතර, මහපැලැස්ස, මහගල්වැව, තඹරව, ඹැඹව)

Urn Burial :- බරණි සුසාන ලෙස හදුන්වන මෙම සම්ප්‍රදාය පිළිබද වැදගත් සාධක හමුවන ක්ෂේත්‍රයක් ලෙස පොම්පරිප්පු හැදින්විය හැකි අතර එහි සිදු කරන ලද ක්‍රමානුකුල කැණීම් සහ පර්යේෂණයන්ට අනුව වැදගත් සාධක හදුනාගනු ලැබ තිබේ.
(තෙක්කම්, කරඹන්කුලම්, දුවෙගම, කතරගම, මාකෙවිට, විලන්කුලම්, පොම්පරිප්පු, සෙවනගල)

Pit burial :- ලංකාවේ Pit burial පැහැදිලිව හදුනාගත නොහැකි අතර ඒවා යම් යම් ආකාරයෙන් සම්මිශ්‍රිතව හදුනා ගැනිමේ හැකියාව ලැබේ. මේවායෙහි සිරුරු දිගු අගට වලළා ඇත්තේ ගැඹුරු වලවල් තුළයි. Extanded burial සම්ප්‍රදාය ලෙස මෙම වැළලිම් ක්‍රමය හදුන්වයි.
(කරෛනගර්, ආනෛකොට්ටෛ, මන්තායි, පොම්පරිප්පු)

Clay Canoe :- මෙය මුලින්ම හමු වූයේ වාරණ අසළ කලෝටුවාව ප්‍රදේශයෙනි. මැටි ඔරු ලෙස හදුන්වන මෙම සුසාන ක්‍රමය කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමු වි ඇත (ජයරත්න, 2011, ACL 406 දේශන).
(කලෝටුවාව, නිකවලමුල්ල, රංචමඩම, හල්දුම්මල)

Cairn Circle :- සුසානයක් මතුපිට ගල් කැබලි ගොඩ ගැසිම සහ වටේට ගල් කැබලි වෘතාකාර ලෙස තැන්පක් කිරිම මෙහිදි සිදුවේ. නමුත් මෙය ඉන්දියාවේ මෙන් ලංකාවේ සංකිර්ණ ලෙස හමු නොවේ.
(මාමඩුව, හබරැත්තෑවල)

Dolman :- මෙය සුසානයක් නොව සිහිවටනයක් ලෙස ඉදි කරන ලද්දක් බව සැලකේ. බටහිර රටවල මෙන් නොව ආසියාතික රටවල ඩොල්මන් තරමක් පසු කාලින වන බව කාල නිර්ණයන්ට අනුව පැහැදිලි වේ. සිරස් අතට සිටවු ගල් ස්ථම්භ තුනක් මත තිරස් අතට තැබු පියන් ගලකින් ඩොල්මන් සංයුක්ත වේ.
(පදවිගම්පොළ)

ලංකාවේ මෙම ඉහත දැක්වු සුසාන ක්‍රමයන්ට අමතරව ඒවා සම්මිශ්‍රිත ලෙස යොදාගත් අවස්ථාද හමුවේ. පිංවැව ගල්සොහොන් කනත්තෙන් හමුවන Pit with Cap Stone සම්ප්‍රදාය ගල්අතර ක්ෂේත්‍රයෙන්ද හමුවේ. එම නිසා මෙම සමාජයන්හි පිරිස් බොහෝ විට ඒකීය සම්ප්‍රදායකට සිමා නොවුණු බවත්, මෙසමයේ පිරිස් සම්මත සම්ප්‍රදායකට මැදි නොවී තමන් රුචි පරිදි මිහිදන් කිරිමේ සම්ප්‍රදායන් අනුගමනය කළ බවත් වටහා ගත හැකිය. එසේම මෙම සුසානයන්හි තැනපතු සැලකිමේදි එහි අඩංගු ද්‍රව්‍යන්ගේ සරු බව මත සමාජ ස්ථරායනය පිළිබද පැහැදිලි සාධක රැසක් උපකල්පනය කිරිමේ හැකියාවද පවතී.

 

ක්‍රි.ව. 17-18 සියවස්වල යුරෝපියයන්ගේ ඉන්දියානු වාණිජ කටයුතු (2 කොටස)

‘ඉන්දියා කොදෙව්වල වෙළදාම් කරන ලන්ඩන් වෙළදුන්ගේ සමාගම හා එහි අධිකාරය’ නම් වූ වාණිජ මණ්ඩලය සදහා වෙළද අයිතීන් දෙනු ලැබුයේ 1600දීය. පෙරදිග ඉන්දියා සමාගම ලෙසද හැදින් වූ මෙහි පළමු සහ දෙවන මුහුදු ගමන් සදහා මූලිකත්වය ගෙන ඇත්තේ ‘ජේම්ස් ලැ‍න්කෙස්ටර්’ නම් තැනැත්තායි. තෙවැනි ගමනේ මූලිකත්වය ගත් ‘විලියම් හොකින්ස්’ 1606-1611 දක්වා කාලය තුළ මොගල් රජ මාළිගයේ වාසය සදහා අවසර ලබා ඇත. මින් විද්‍යමාන වන එක් කරුණක් වන්නේ තානාපති සබදතා පාදක කොට ගෙන පෙරදිග වෙළද ඒකාධිකාරය ලබා ගැන්මට ඉංග්‍රීසීන් දැරූ ප්‍රයත්නයයි. නමුත් මොගල් රාජ සභාවේ මෙසමයේ බල පැවැත්වූ පෘතුගිසි ආධිපත්‍ය හේතුවෙන් 1612දී ‘තෝමස් බෙස්ට්’ යට‍තේ පැමිණි නැවු මගින් පෘතුගිසි බලය බිදින තුරු ඉංග්‍රීසිනට සිය ආධිපත්‍ය පතුරුවාලීම අසීරු වී ඇත. මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙස 1613දී බ්‍රිතාන්‍ය වාණිජිගාරයක් බිහි කිරිමට හැකි විය. මොගල් රාජ සභාවේ වසර තුනක් සේවය කළ ‘සර් තෝමස් රෝ’ ගේ මූලිකත්වයෙන් ගුජරාටයේ වාණිජ අයිතිවාසිකම් ලබා ගැනීමට ඉංග්‍රීසින්ට හැකි විය. එපමණක් නොව අග්‍රා, අහමදාබාද් සහ බ්‍රෝච් නම් ස්ථානයන්හි වාණිජාගාර ඉදි කරම්න් ඉන්දියාව තුළ වෙළද කටයුතු නගාසිටුවාලීමට බ්‍රිතාන්‍යයන්ට හැකි විය.
මෙහි තවත් ප්‍රතිඵලයක් වූයේ 1622දි  ඔර්මුස් අල්ලා ගැනීමයි. මෙතෙක් පෘතුගීසින් සතු වූ වෙළද බලය බිද වැට්ටීමට මෙයද එක් හේතුවක් විය. ඒ අනුව ක්‍රමයෙන් මසුලි පට්ටනම්, දර්මැගන් ආදී ස්ථානයන්හිද වාණිජාගාර පිහිටුවාලමින් ඉන්ග්‍රීසීන් පෙරදිග වෙළද අධිකාරය සියතට ගැනීමට කටයුතු කළ අයුරු දක්නට ලැබේ. මෙහිදී ඔවුනට නාවික බලය මතු නොව යුධමය හැකියාවද බෙහෙවින් ඉවහල් වන්නට ඇත.
ලන්දේසින් සහ ඉංග්‍රීසින් අතර කිසිදු ලෙසකින් සාමදානයක් නොපැවතුණද 1642දි පෘතුගීසි ඉංග්‍රීසි ජාතිකයින් අතර ඇතිවූ තාවකාලික සුහදතාවයේ ප්‍රතිථලයක් ලෙස මදුරාසියේ ශාන්ත තෝම්ගේ පෘතුගීසි බලකොටුව අසළ ශාන්ත ජෝජ් නම් ඉංග්‍රීසි බලකොටුව ඉදි විය. මසුලිපටුන මුල් කරගෙන පවත්වා ගෙන යනු ලැබූ පෙරදිග ඉන්දියා සමාගමේ නව මධ්‍යස්ථානය මෙය බවට පත් කරන ලදි. ඉංග්‍රීසීන් සිය අරමුණ ක්‍රමක්‍රමයෙන් සාක්ෂාත් කර ගනිමින් ලුණු, සීනි සහ වෙඩි ලුණු ආදීවූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සදහාද ඉන්දියාව තුළ

  • මහානදි ඩෙල්ටාව
  • හරිහර පුරය
  • හුග්ලි
  • පැට්නා
  • කොසිම් බසාර්
  • බෙංගාලය

ආදි වු ස්ථානයන්හි වාණිජ මධ්‍යස්ථාන පිහිටුවන ලදී. එතරම් වාණිජාගාර ප්‍රමාණයක් පාලනය සදහා අවශ්‍ය යුධමය බලය මෙන්ම, වෙළදාම සහ හමුදාව නඩත්තුව උදෙසා අවශ්‍ය කළ ආර්ථික සමෘද්ධියද ඉන්ග්‍රීසින් සතු විය.
ක්‍රි.ව. 1630-1631 අතර කාලයේ ඇතිවූ පාරිසරික වෙනස් වීම් මත කපු නිශ්පාදනය ගුජරාටයේ සිට මදුරාසියට වෙනස් වූ අතර ප්‍රධාන වෙළද ද්‍රව්‍යක් වු ‘නිල් අවරිය’ වාණිජ බෝග අතුරෙන් ඉවත් විය. මේ හේතුව මත යුරෝපිය වෙළද කටයුතු නැගෙනහිර ඉන්දියාවේ ස්ථාපිත කීරිමට කටයුතු සැලසිණි. පෙරදිග ඉන්දියා සමාගම කේදවාචකයකට මුහුණ දෙනු ලැබුයේ 1698දී ‘නැගෙනහිර ඉන්දියා කොදෙව්වල වෙළදාම් කරන ඉංග්‍රීසි සමාගම’ වෙත වෙළද ඒකාධිකාරය පැණවීමත් සමගිණි. මෙම සමාගම් දෙක අතර ඇතිවු ගැටළු සදහා පිළියමක් වශයෙන් 1702 දි ‘නැගෙනහිර ඉන්දියා කොදෙව් වල වෙළදාම් කරන ඉංග්‍රීසි වෙළදුන්ගේ එක්සත් සමාගම’ ලෙස මෙම සමාගම් දෙක ඒකාබද්ධ කෙරුණි. එසේම වැදගත්ම කරුණ වූයේ සමාගම යටතේ සේවය කරන සැම නියොජිතයෙකුටම සිය පෞද්ගලික වෙළදාම සිදු කරගෙන යාමේ අයිතිය ලබා දීම සහ ඔවුනට වේතනයක් පිරිනැමිමයි. මෙම වෙළදුන් ඉන්දීය වෙළදුන් ලෙස පෙනී සිට සිය කටයුතු සිදු කළ හැකි වූ හෙයින් සුරාත්, මදුරාසි සහ හුග්ලි යන වාණිජාගාර පමණක් පවත්වා ගනිමින් ඉන්දියාව සහ එංගලන්තය අතර කෙළින්ම වෙළදාම් සිදු කරන ලදහ.
ඉන්දිය කර්මාන්ත අතුරෙන් මුල් තැන ගත්තේ රෙදි පිළි කර්මාන්තයයි. 1757න් පසු විදේශ වෙළදාමේ ස්ථිරසාර වර්ධනය හේතුවෙන් ඉන්දිය ධනය යුරෝපය කරා ගියා පමණක් නොව එහි නව කර්මාන්තයන් ඇරඹීමටද පසුබිම සැලසුණි. අපනයනික වෙළදාමේදී මෙන්ම රට තුළ වෙළදාමේදීද බ්‍රිතාන්‍යයන් ගෙන ගිය අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් ඉන්දීය ස්වදේශීය කර්මාන්ත බිද වැටුණි. 1700 සහ 1720 පාර්ලිමේන්තු පණත් මගින් ඉන්දීය පට පිළි සහ කපු රෙදි ඇදීම එංගලන්තයේ තහනම් කිරීමත්, ප්‍රංශ විප්ලව හේතුවෙන් වෙනත් විදේශ වෙළද ප්‍රවාහ ඇහිරි යාමත් ඉන්දිය ස්වදේශීය නිශ්පාදනයන්ට තර්ජනයක් වූ අතර වෙළද සමාගමේ ඒකාධිකාරය මේ උදෙසා ක්‍රියා කළ බැවු පෙනී යයි. තවද 1798 වර්ෂයෙන් පසු කල්කටාවේ නැව් නිශ්පාදන කර්මාන්තයද ව්‍යර්ථ වී ගොස් ඇත.
ඉහත දැක්වූ සියලු සාධක අවධානයට ගැනීමේදි ක්‍රි.ව. 17-18 සියවස් අතර කාලය සලකා බලන කල්හි යුරෝපීය ජාතින් පෙරදිග රටවල සිය දේශපාලන සහ වාණිජ ආධිපත්‍ය පතුරුවාලීමට කටයුතු කළ සියවස්ද්වයක් ලෙස උක්ත කාල සිමාව වඩා වැදගත්කමක් දරන බව විද්‍යමාන වේ.

 

අද්‍යතන සිංහලයා, ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ බුදුදහමේ ආදේශනය

(සිංහලයා යනු කවරෙක්ද, නියම සිංහල කම, දේශීයත්වය සහ අනන්‍යතාව යනු කුමක්ද යන්න යම් තරමකින් හෝ විවරණය කිරිම සදහා මෙම ලිපිය ඉදිරිපත් කරමි)
දේශානුරාගය, ලාංකේය අනන්‍යතාව, බෞද්ධකම ආදි වූ මාතෘකා බොහොමයක් අද්‍යතනයේ බෙහෙවින් විවාදයට පාදක වි ඇති බව දක්නට ලැබේ. නමුත් මෙහි මා ‍බොහෝ විට දකින මුඛ්‍ය දුර්වලතාවයක් වන්නේ සිංහල බෞද්ධකම මුල් කර ගනිමින් අන්‍ය ආගම් සහ ජාතීන් දීන ලෙස හෙළා දැකීමයි. මම විමසන පළමු පැණය වන්නේ මෙයයි…
සිංහල බෞද්ධයා යනු කවරෙක්ද? දමිළ බෞද්ධයන් පිළිබදව ඔබ අසා ඇත්තේද?
දේශානුරාගය තිබිය යුතුය. නමුත් එය අන්තවාදි ලෙස ඔඩු දුවන රෝගයක් බවට පත් වූ කලිහි එයට අනිවාර්ය ‍ඖෂධයක් ලද යුතුය. නැතිනම් ජාත්‍යාලය නැමති රොග නිධානය තමන්ටත්, තම පරපුරටත් විනාශකාරි අනාගතයක් උදා කරවනු ඇත. සිංහලයන් එළාර රජු යටතේ පාලනය නොවුණිද? වසර ගණනක් පුරා උඩරට රාජධානි සමයේ දක්ෂිණ ඉන්දීය නායක්කර් රජ පරපුර යටතේ පාලනය නොවුණිද? මෙරටට රජවරු නැති වූ කල්හි විදේශීය නරපතීන් මෙරටට ආනයනය නොකළෝද?
අප කවුරුත් දන්නා විජය, පණ්ඩුකාභය, නිශ්ශංකමල්ල…. මෙකි නොකී නරපතීන් මෙහි ආවේ කොහි සිටද?
අද ලාංකේය බෞද්ධකම හිස මතට ගෙන ගිගුරුම් දෙන බහුතරයක් පිරිස් එදාද සිටියේනම්, මෙම රජවරුන් එතරම් කල් අප රටට නායකත්වය දෙනු ඇත්ද?
මා දකිනා සිංහලකම වන්නේ සැම එක්ව එකාවන්ව ජීවත් වීමයි. බෞද්ධකම වන්නේ සමානාත්මතාවය, ධාර්මිකත්වය, සහජිවනය වැනි වු දහසකුත් සමාජ වැඩදායී ගුණාංගයි. නමුත් ජාතියේ අභාග්‍යයකට දෝ මෙවන් ආකල්ප සිග්‍රයෙන් අප සමාජයෙන් තුරන් වී යමින් පවතී. අප ඉදිරි පරපුරට මෙම ඇතැම් පිරිසකගේ ආදර්ශයෙන් සම්ප්‍රේෂණය වන්නේ වෛරය, ක්‍රෝධය, ලේ පිපිසාව, අමනෝන්‍ය දුර්මත පිරුණු ආකල්පයන් වීම අභාග්‍යයකට කරුණකි.
මා ඔබෙන් අසන දෙවැනි පැණය වන්නේ ‍මෙයයි,
මිත්‍රවරුණි, සැබෑ දේශීය අනන්‍යතාවන්, අනාදිමත් කාලයක පටන් පැවතෙන හෙළ සංස්කෘතික නැමියාවන් ඔබට අර්ථ දැක්විය හැකිද?
මෑත වර්ෂයක කොළඹදී මා සහභාගි වූ ත්‍යාග පුධානෝත්සවයක් නිමිත්තෙන් පැවැත්වූ නරථන අංගයකදී අපගේ ආච්චි අමිමා කෙනෙකු පැවසූ අදහස මම ඒ ආකාරයෙන්ම, ඇයගේ අව්‍යාජ වචනයෙන්ම මෙහි ගෙනහැර දක්වමි. ඒ මෙසේය,
‘….නොදකින් මේ තේඋඩිච්චියෝ ටික විළිසංගයක් නැතිව පුක පෙන්නගෙන නටන හැටි…’
ඇය දකිනා සමාජ සාරධර්ම පද්ධතියෙන් පරිබාහිර වූ එම පාසල් සිසුවියන්ගේ නර්ථනය ඇයට අප්‍රියකර දර්ශනයක් වූයේ ඒ අයුරිනි. නමුත් යම් තරමකින් හෝ අධ්‍යාපනය ලද අප අතර වෙසෙන ඇතැම් පිරිස් අද්‍යතනයේ එළි දකින කලා නිර්මාණ වේවා සමාජ සංසිදිධි වේවා අර්ථ දක්වන්නේ උක්ත ආච්චි අමිමාටත් වඩා මුග්ධ අයුරින් වීම කාගේ වරදදැයි නොදනිමි. නමුත් ඔබ දන්නවාද? යාපහුව කැටයම් අතර ඇති කාන්තා නර්තන පෙරහැර. මේ නර්තන පෙරහැරේ කාන්තාවන් කරනම් ගසමින්ද යන බව ඔබ දැක තබෙනවානම් අද සමාජයේ කාන්තා නර්තන ප්‍රසංග හෝ වෙනත් එවැනි අවස්ථා අත්තනොමතික විවේචනයට ලක් කළ යුතුදැයි යන්න ගැටලුවකි.
තවද කලා කෘතියක් දුටු විට එහි නිර්මාණාත්මක බව හෝ වෙනයම් ගුණාංග, දෝශ ඇතොත් කලාව පිළිබද කරන විග්‍රහයකින් එය රසවිදිනු හෝ විචාර විවේචන කරනවාට වඩා යම් යම් මිණුම් දඩු තුළ බහා කරන අර්ථ දැක්වීම් යුක්ති යුක්තදැයි අසනු කැමැත්තෙමි.
උදාහරණයක් ලෙස චිත්‍රපටයක්, ගිතයක්, සිතුවමක් ආදී වූ කුමන හෝ කලාංගයක් විචාරයේදී….
‘…..මෙය සිංහල කමට කරන නිගරුවක්, මෙය ජාතිය කෙළසා ‍දැමීමක්, බෞද්ධකම හෙළා දැකීමක්…’ ලෙස ඒකීය රාමුවකට කොටු වූ සිමාවක සිට විග්‍රහය සාධාරණීකරණය කළ හැකිද යන්න ගැටලුවකි.
අප සිගිරි සිතුවම් අර්ථ දක්වන්නේ කෙළෙසද? … රාජ්‍ය ලරිපාලන සේවා තරග විභාගයේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක අසා තිබුණු ප්‍රශ්නයක් දැක මට මාගේ ජාතිය කෙරෙහිම කළකිරිමක් ඇති විය. එහි අසා තිබුණේ
‘ඉන්දියාවේ අජන්තා සිතුවම් වලට සමාන සිතුවම් මෙහි හමුවන්නේ කවර ස්ථානයකද….’ යන ලෙසයි.
සීගිරි සිතුවම් තුලින් දේශීයත්වය නොදකින අප රටේ ඇතැම් අති පණ්ඩිතයන්, සිංහල කම, බෞද්ධකම, දේශීයත්වය කතා කිරිමට කට සෙලවීම පවා ජාතියට කරන නිගරුවක් ලෙස මම දකිමි.
මාගේ තෙවැනි පැනය මෙයයි,
ඔබට ප්‍රේමයෙන් මුසපත්වී පෙම් කළ හැකියි, ඔබ ගැහැණියක් නම් පිරිමියකු සමගද, පිරිමියෙක් නම් ගැහැණියක සමගද, නොමැතිනම් ස්ව ලිංගිකයෙකු සමගද ඔබට එක්විය හැකියි. නමුත් එය අශිෂ්ටත්වයකින් තොරව සමාජ කතිකාවතක් ලෙස කරළියට පැමිණීමේදී ඔබ එවන් දේ එළිපිට කතා කරනා පුද්ගලයින් දෙස වපරැසින් බලා සමාජය කෙළසන්නන් ලෙස ඔවුන්ට ගරහනු ලබන්නේ ඇයි?
මැතකදී මා ඇසූ විහිළු සහගතම කතාව වන්නේ පැරණි සාහිත්‍ය කරුවන් ලිංගිකත්වය එළිපිට කතා කොට සිංහල බෞද්ධකම වැනසූ බවට කෙනෙක් කළ ප්‍රකාශයයි.
මා ඔහුගෙන් අසන්නේ ඔහු දන්නා සිංහල බෞද්ධකම කුමක්ද යන්නයි. (මට හැගෙනා පරිදි ඔහුගේ බෞද්ධකම වන්නේ උක්ත සංසිද්ධි සැගවී සිට රස විදීම හෝ හොර රහසේ කතා කිරිමයි.) යමෙක් එවන් ප්‍රකාශයක් කරන්නේනම්, ලාංකේය විහාර කර්මාන්ත කොපමණ සංඛාවක, මිනිසුන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා සිතුවමට, කැටයමට නගා තිබෙනු ඇත්දැයි විමසා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තවද අවිචාරවත් ලෙස මෝහයෙන් කරන වැළදගැනීම් වලින් මිදී දෑස් ඉදිරියේ බැදි කඩතුරා මුදා සමාජය දෙස දෑස් විදහා බලන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.
ඔබට සංස්කෘතිය යන්නට නිශ්චිත විවිරණයක් දිය හැකිද?
ලොව පුරා මා යම් තරමක් හෝ අධ්‍යයනය කළ සංස්කෘතින් විමසීමේදි පැහැදිලිව විවිරණය වූයේ එම එකිනෙක සංස්කෘතින් කාලානුරූපව නොයෙක් සමාජ ගට්ඨනයන් මත වෙනස් වීම් වලට ලක්වූ බවයි. අප හිස් මුදුනේ තබා කෑ මොර දෙන අප දේශීය සංස්කෘතියද මෙලෙස ස්වභාවනයන්ම වෙනස් වු බව ඔබට පවසනු කැමැත්තෙමි. එය එසේ නොවේනම් රොබට් නොක්ස් සිය ග්‍රන්ථය මගින් ලොවට හෙළි කළ අප රටේ නූතනම විවරණය අනුව තවමත් අප සමාජය එකී සංස්කෘතියේම හවුල් කරුවන් වනු ඇත. නමුත් කාලය, වෙනත් පරිබාහිර සබදතා සහ අධාපනය මත අප අද බොහෝ දුර පියමං කර ඇත.
අද්‍යතනයේ දේශියත්වය රැකගැන්ම උදෙසා ඇතිවී කිබෙන සුවිසල් ප්‍රයත්නයන් අගය කරමු. නමුත් ඇතැම් පිරිස් මේ මුවාවෙන් අවුළුවන්නට යන ජාති ආගම් භේදයන් නිසැකවම පිටු දැකීම බෞද්ධ වූ සිංහල වූ අප අතින් ඉටු විය යුතු ආවශ්‍යයික මෙහෙවරක් වන්නේය. අන් ආගමිකයින් හෙළා දැකිය යුතු බව බුදුරජාණන් වහන්සේ කිසි තැනක දැක්වූ බමක් මම නොදනිමි. උන් වහන්සේගේ දේශනය වූයේ සමානාත්මතාව, සහජීවනය, අල්පේචිඡ බව… ආදීවූ දහසක් වු ඉගැන්වීම් බව කියනු කැමැත්නතමි.
එසේම කිසිවකට ගැති නොවී නිවහල් චින්තනය තුලින් සමාජ යහපැවැත්ම යන්න අර්ථාන්විතව අවබෝධ කර ගන්නේ නම් මෙවන් විවාද විචාර කිසිවකින් තොරව යහපත් සමාජයක් නිරායාසයෙන් ඇති කර ගැනිමේ හැකියාව බොහෝ දුරට පවතින බව කිව හැකිය.

 
 

ක්‍රි.ව. 17-18 සියවස්වල යුරෝපියයන්ගේ ඉන්දියානු වාණිජ කටයුතු (1 කොටස)

බටහිර ජාතිකයො පෙරදිගට පැමිණීමේ ප්‍රධානතම අරමුණක් වුයේ ඔවුන්ගේ වාණිජ කටයුතුයි. ඒ සදහා අවශ්‍ය පසුබිම, විශේෂයෙන් වෙළද ද්‍රව්‍ය ආසියාතික රටවල සුලභ විය. එහෙයින් ඉන්දියන් සාගරයේ වෙළද ඒකාධිකාරය ලබා ගැනීම උදෙසා බටහිර ජාතීන් අතර දැඩි තරගයක් විය. පෘතුගිසීන් සතු වූ වෙළද ඒකාධිකාරය ක්‍රි.ව. 1595දි ලන්දේසීන් විසින් පැහැර ගැනීමෙන් පසුව ඉන්දිය ප්‍රදේශ තුළ වෙළදාමේ ප්‍රමුඛත්වයට පත් වීමට විවිධ යුරෝපිය ජාතීන් දැරූ ප්‍රයත්නය 17-18 සියවස් අතර සිදුවු සුවිශේෂී සිදුවීම් ඇසුරෙන් පැහැදිලි කළ හැකිය. පෙරදිග ඉන්දිය වෙළද සමාගම සදහා යුරෝපීයන් තුළ තිබූ මෙම දැඩි තරගකාරිත්වයට ප්‍රධානම හේතුව වූයේ මෙම රටවල උපදින ගම්මිරිස් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය කුළුබඩු වර්ගයි. මේ හේතුව මත උක්ත කාල පරාසය තුළදී ලත්දේසි, ප්‍රංශ, ඩෙනිශ්, බ්‍රිතාන්‍ය ආදි ජාතීහු ඉන්දීය පාලකයන් වෙත තානාපතීන් එවා සබදතා ගොඩනගා ගැනීම මගිනුත්, ප්‍රදේශ යටත් කර ගැනීම මගිනුත්, වාණිජාගාර පිහිටුවා ගැනීම මගිනුත් ඉන්දියාව තුළ තම ඒකාධිකාරය ගොඩනගා ගැනීමට දැරු ප්‍රයත්නයන් වාර්තා වේ.

පෘතුගිසින් සතු වූ පෙරදිග වෙළද ඒකාධිකාරය ලන්දේසින් විසින් පැහැරගනු ලැබු පසු ක්‍රි.ව. 1602 දි නෙදර්ලන්ත එක්සත් පෙරදිග ඉන්දියා සමාගම අරඹන ලදී. වෙළද ඒකාධිකාරය සදහා මෙම එකිනෙක රටවල් අතර බල අරගලයක්ද විය. එමි ප්‍රතිඵලයක් ලෙස පළමුව සිදුවූයේ පෘතුගීසීන් යටතේ තිබූ මොලුක්කා දිවයින මොවුන් විසින් පැහැර ගනු ලැබිමයි. ඒ අනුව 1641 වර්ෂයේ දී මලක්කාවද ලන්දේසි ප්‍රහණයට නතු විය. තත්කාලිනව ජනප්‍රිය වාණිජ බෝග වැවුණු ශ්‍රී ලංකාවද 1638-1658 කාල පරාසය තුළදී ඔවුනට නතු විය. ලන්දේසි වාණිජ කටයුතු වඩා වර්ධනය කිරිමෙහි ලා දායක වූ පුද්ගලයින් අතුරෙන් බතාවියාව පිහිටවූ කෝආන් නම් අද්මිරාල් වරයාට සුවිශේෂීත්වයක් හිමිවේ. ඔහුගේ මුලිකත්වයෙන් නැගෙනහිර ඉන්දියා කොදෙව් වලින් බ්‍රිතාන්‍යයන් එලවා දැමුවද, ඒ වෙනුවට ඉංග්‍රීසීන්ගේ අවධානය වැඩි වාණිජ වටිනාකමක් සහිත බෝග උපදවන අග්නිදිග ආසියාතික රටවලට යොමු විම ලන්දේසින් ලද පරාජයක් විය.
ලන්දේසින් ලබා ගත් බෝග සදහා මුදලින් ගෙවීම ඔවුන්ට අසීරු වු නිසාත්, මලයානු ප්‍රදේශ වල කපු සදහා ඉල්ලුමක් තිබුණු නිසාත් ඉන්දිය හා අරාබි වෙළදුන්ගෙන් කපු වෙළදාම පැහැරගත් ලන්දේසිහු බෝග සදහා මුදලින් නොව, කපු වලින් ගෙවිම ආරම්භ කළහ. මේ අතර ක්විලොන්, කැඤ්ඤනොර්, කොචින් යන ප්‍රදේශ අල්ලා ගනිමින් පෘතුගිසින් පලවා හැරීමටද කටයුතු කළහ. මෙහිදී නාග පටුන ඉන්දියාවේ ලන්දේසි මධ්‍යස්ථානය බවට පත් තිරිමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ වෑන් ගෝආන්ස් බව කියැවේ. ලන්දේසි නාවික ශක්තිය, ඔවුන්ගේ වාණිජ අධිකාරයේ නැගිමට බෙහෙවින් ඉවහල් වූ බව පෙනි යයි. විශේෂයෙන්ම අන්තර් ජාතික වෙළදාමේදී ලාභ ලැබීමට, ප්‍රදේශ ව්‍යාප්තියට දක්ෂ නාවික බලයක් වමන්ම හමුදා ශක්නියක්ද අත්‍යාවශ්‍ය විය. නමුත් මෙකි බලය 18 වන සියවසේදි ලන්දේසීන් අතින් ගිලිහි යාම නිසා 1759 දී ඔවුන් පරාජයට පත් විය. 1781දි ලන්දේසින් හා ඉන්ග්‍රීසින් අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස නාග පටුන සහ ත්‍රිකුණාමල වරායද ඔවුනට අහිමි විය. 18 වන සියවසේ අග භාගය පිළිබද අවධානය යොමු කරන කල්හි, බ්‍රිතාන්‍යයන් අතට යොමු වෙමින් පැවති පෙරදිග ඉන්දීය වෙළද සමාගම නැවත සියතට ගැනිමට ලන්දේසීන්ට නොහැකි වූ බව පෙනී යයි.
ප්‍රංශ ජාතිකයින් 1664 දි ලා කොම්පඤ්ඤ ඩෙස් ඉන්ද් නම් සිය සමාගම පිහිටුවන අවධිය වන විට ඩෙනිශ් වරු මෙන්ම බ්‍රිතාන්‍යයන්ද ඉන්දියාව තුළ තම වෙළද ජනපද පිහිටුවා තිබුණි. එසේම මොවුන්ට උක්ත ජාතින් තරමටම තම බලය ඉන්දියාව තුළ ව්‍යාපුත කිරීමේ හැකියාවද නොපැවතිණි. ප්‍රංශවරු තුළ තිබූ මන්දෝත්සාහි ගතියද මෙයට භාදකයක් විය. කොල්බෙයර් හා ප්‍රොන්සුවා මාර්ටින් යන දෙදෙනා ඉන්දිය වෙළද ඒකාධිකාරය ගොඩනැංවිමට කටයුතු කළ ප්‍රංශ ජාතිකයින්ය. 1673දී ඉන්දියාව තුළ ප්‍රංශ ජනපද වල කේන්ද්‍රස්ථානය ලෙස පොන්ඩිචෙරි නගරය ඉදි කිරීම උදෙසා කැපවී ක්‍රියා කිරීමේ ගෞරවය හිමි වන්නේ ප්‍රොන්සුවාටයි. සුරාත්, මසුලිපටුන, කැලිකට්, මාතේ, කාරිකාල් හා චන්දාර් යන නගරයන්හි ප්‍රංශ වාණිජාගාර ඉදි විය.
ඩෙනිෂ්වරුන්ද සිය වෙළද අධිකාරය ඉන්දියාව තුළ පතුරුවමින් කටයුතු කළද ප්‍රංශයින් මෙන්ම සැලකිය යුතු තරම් වාණිජ මැදිහත්වීමක් ඔවුන්ගෙන්ද සිදු නොවූ බවට සාධක ලැබේ. ක්‍රි.ව. 1616දී ඩෙනිශ් පෙරදිග ඉන්දීය වෙළද සමාගම පිහිටුවනු ලැබිය. ට්‍රැන්ක්විබාර් හා සොරාම්පුර් යන ස්ථානයන්හි 1620 දි හා 1755 දී ඔවුන් සිය වාණීජාගාර ඉදි කළද ඉන්දියාව තුළ වෙළද කටයුතු වල සාර්ථකත්වයක් අත් කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. මේ අතර 18 වන සියවස තුළදි ඇතැම් අවස්ථාවන්හි ඔස්ත්‍රියානු පෙරදිග ඉන්දිය සමාගම් දෙකක් හා ස්විඩිෂ් පෙරදිග ඉන්දියා සමාගමක් පිහිටුවීම උදෙසා බලපත්‍ර නිකුත් කෙරුණද මේ සැමෙකක්ම ඉතා ඉක්මනින් ව්‍යර්ථ වි යන ලදී.

ඉතිරිය දෙවන කොටසින් බලාපොරොත්තු වන්න……

 

ගැහැණිය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මම…. මගේ කුමාරයා එනකන් බලන් හිටියා……..

ඉස්සර වගේම මහ රෑ මගේ කාමරේ ජනේලෙන් පෙනෙන පොල් අත්ත අස්සෙන්… හද පායගෙන එනකන් රෑ දෙගොඩහරියේ නිදි නැතිව මම අද වෙනතුරුත් බලන් හිටියා. අන්දකාර අහසට හද වගේ මගේ වස්තුව, මගේ කාමරේ එළිය කරන්න වඩිනකන්….. ඒ කාලෙ මම කොයි තරම් පිස්සියක් උනාද? මම හදෙන් දැක්කෙ ඔයාවමයි. ඒකයි මම රෑ දෙක තුන වෙනකන් වුණත් හද මගේ ජනේලෙට පිටින් පායනකන් බලන් හිටියෙ…. හැම කවි කාරයම, හැම නවකතා කාරයම, හැම කෙටිකතා කාරයම වගේ මමත් ඔයාව පුරුද්දට හදට උපමා කරනව නෙවෙයි. හදට කටක් තියනවනම් ඇත්තම කියාවි. මේ ඇද උඩ ඒ මේ අතට කැරකි කැරකි මේ දක්වා කාලයක් මගේ ඇස්දෙක හදේ නැවතුණ හැටි හැම රෑකම.
තත්පරෙන් තත්පරේ ගෙවිලා ඒ තත්පර ගණන කෝටි ගණනකින් වැඩි වෙලා… ලස්සනට තිබුණු මගේ තොල් තෙත් කරපු එයාගෙ ඒ තෙත්බර උණුහුම ආයෙමත් මගේ තොල් වලට දැනෙන දවසක් එනකන් මම කොයි තරම්නම් හූල්ල හූල්ල හිටියද? ඒ ඇගිලි මාව කිතිකවාගෙන, මා පුරාම… හැමතැනම දුවවද්දි දැණුනු හිරිය ආයෙමත් දැනෙන දවසක් එනකන්….
පංතියට නොයා අර කැළෑ පාරවල්වල කළුවර අහුමුළුවල අපිම හොයාගත්තු අපේ තාවකාලික දිව්‍ය විමාන ඔයාට මතකද? කෑඩැල්ලො තෙල්කූඹි… අපේ ආදරේට වේදනාවෙ මිහිරි රහක් එක් කරද්දි අපි දෙන්න අපේ සිරුරු දෙක එකක් කරගත්තු තහනම් විරාමයන්….
ඔයා මගේ ජීවිතේට එක්කරපු ඒ නොමැකෙන මිහිර, ඔයා මගෙන් දුරස් වුණාට පස්සෙත් මම හොයන්න උත්සහ කළා කීවොත් මගේ වස්තුව කරහ වෙන්නෙ නැතිවෙයි නේද? එකින් එක මට ලං වුණු හැම පිරිමියෙකුගෙන්ම… ඒත් නොවැරදීම මම ඔයා මගෙ ජනේලෙට පිටින් පායගෙන එනකන් බලන් හිටියා. ඔයා දන්නවද….. ඔයා නාව දවසට මම පිස්සියක් වගේ… ඒ තරමටම මට මාව පාලනය කර ගන්න බැරි මොහොතක් තවත් නෑ. කවුරු මට පණ දෙන්න ආවත්, ආදරේ කළත්, ඒ අයගෙ අවශ්‍යතාවයට විතරක්ම ළං වුණත්… ඔයා දුන්නු ඒ ආදරේ මට කවදාවත් තව කෙනෙකුගෙන් ලැබුණෙ නෑ. බිදවැටුණු අපේක්ෂා ගොඩක් පුරවගත්තු මගේ පපුවට උඩින්, රත් වුණු දාඩිය පුළුටු ගදකුත්, කවුරුහරි මිනිහෙක්ගෙ මහ බරකුත් තියාගෙන සිගරට් දුම අතරින් ඇස් යව යව මම හෙව්වෙ ඔයාවමයි. මට උඩින් ඉන්න ඒ මිනිහගෙ රස්නෙට වඩා මාව පිච්චුවේ මගේ පපුවෙ අහුමුළු සේරම අවුස්ස අවුස්ස දැල්වුණු ඔයා අවුලුවපු ඒ ගින්න කියල මම තත්පරයක් පාසා වඩා හොදින් අවබෝධ කර ගත්තා.
සමාජ මට්ටම, උගත් බව, නම්බුව, කීර්තිය, ප්‍රසිද්ධිය… මගේ වටේ කැරකෙන්න පටන් ගත්තු මගේ ජීවිතේ මුල්ම කාලෙම මාව කාලකන්නි ගෑණියෙක් කළා, ඒ හැම දෙයක්ම එකට එතිල මගේ අම්මලාගෙ ඔළුවෙ යක්ෂයා අරක්ගත්ත නිසා. ඒ ඔයාව මගෙන් උදුරගත්තු මගේ ආත්මය මට තැතිවුණු දවසෙ. මම මැරුණු ගෑණියෙක් වුණු දවසෙ.
අද ජනේලෙට පිටින් හදත් පායලා. පොල් ගහ දැන් ලොකු නිසා කරදරයක් නැතිව හද රවුමට බලාගන්න පුළුවනි. ඔයා… මගෙ වස්තුව මා ගාව ඉන්නව, එදා වගේම දිස්නයක් නැතත් ඒ ඇස් දෙකේ පතුලෙ මගේ රැළි වැටුණු හමේ වේලිච්ච ප්‍රතිබිම්බයක් ඇදගෙන… අද මට කට ඇරල වචනයක් කියා ගන්නත් කොච්චර වෙලා යනවද? කොයි තරම් මහන්සියක්ද….? ඒත්.. ඒත් අවුරුදු ගානක් මගෙ හිතේ ඔයා වෙනුනවන්ම ගෙතුණු, ඒත් හිත ඇතුළෙම පල් වෙවී තිබුණු කතා සේරම මම ඔයාට කොහොමහරි කියන්න ඕන. මගේ ඉස්සරහ සැලුණු ඔයාගෙ එත ඇහි පිල්ලමක් ගානෙ ම‍ගේ හිතේ ඔයා වෙනුවෙන් ඇති වුණු ආදරය මම කියන්න ඔන… මට තව කාලයක් නෑ… මම හුගක් වයසයි ඔයා වගේම දැන්.
ඔයා ඔහොම මගේ දිහා බලන්න එපා. මට තේරෙනව… ඔයාටවත් මටවත් අපේ පුංචි කාලෙට ආය යන්න බැරි බව… ඇයි ඔහොම අහක බලා ගන්නේ…?
මගේ වස්තුව… එක දෙයක් කරනවද… මම හිතන්නෙ අපට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එච්චරයි…
ඔයා ‍ආයෙමත් එනකන් කියල, බොහොම අමාරුවෙන් දෙයියන්ගෙන් ණයට අරන් තියා ගත්තු මගේ මේ අන්තිම හුස්ම පොදවත් ඔයාගෙ පපුවට වැටෙනකම් මාව තුරුල් කරගෙන ඉන්නවද…?

 
 

ග්‍රීක ප්‍රතිමා ඉදිවීම කෙරෙහි බලපෑ සාධක සහ ප්‍රතිමාවන්හි වස්තුවිෂය

Image

ග්‍රීකවරු ප්‍රතිමා ගොඩනගනු ලැබූයේ සිය ආගමික අවශ්‍යතා සපුරා ගැනීම පිණීසයි. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ මෙය වන අතර ඔවුන්ගේ දේවස්ථාන විමර්ශනයේදී මේ බැව් වඩාත් තහවුරු වේ. ඔවුන් ඉදිකළ ප්‍රතිමා දේවස්ථාන සැරසීම පිණිස යොදාගත් බවට සාධක රැසක් හමුවේ. එක් එක් දේවස්ථානයන්හි ඒ ඒ දෙවියන් උදෙසා ඉදිකළ ප්‍රතිමා Naos හෙවත් Cella ලෙස හදුන්වනු ලබන් ඇතුළු කොටසේ තැන්පත් කර තිබිණි. Archaic යුගයෙන්ද මේ බව නිදර්ශනය වේ.
තවද යම් ප්‍රභූ පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවේදී ඔහුගේ හෝ ඇයගේ සොහොන මත එම මිය ගිය පුද්ගලයාගේ ප්‍රතිමාවක් හෝ සංකේතාත්මක ලෙස වෙනත් මිනිස් ප්‍රතිමාවක් ස්ථානගත කර තිබුණු ආකාරය හදුනා ගත හැකිය. මෙය ඔවුන් සුසාන ආශ්‍රිතව යම් චාරිත්‍රයක් ලෙස සිදු කළ ආකාරයත්, එය එවක සමාජයේ පැවති යම් සිරිතක් ලෙසත් හදුනා ගැනීමට ශේෂ වූ ප්‍රතිමා සාධක සපයයි.
මීට අමතරව සංවිධිත වූ ග්‍රීක නගරවල පවතින ඉතා වැදගත් ස්ථානයක් ලෙස හදුනා ගන්නා Market place, Agora ලෙස හදුන්වන ස්ථානයන්හිද හුදු අලංකරණය උදෙසා සමාජයේ විසූ ප්‍රභූ පුද්ගලයි‍න්ගේ ප්‍රතිමා නෙළා තැබීමේ සම්ප්‍රදායක් පැවතී ඇත.
ආරම්භක අවධියේ සිටම දේවස්ථානයන්හි දෙවියන් උදෙසා පූජාවන් ලෙස විවිධ පුද්ගලයින්ගේ ප්‍රතිමා නෙළීමේ සම්ප්‍රදායක් මෙන්ම ර්‍කීඩා, යුධ ආදී ජයග්‍රහනයන් සැමරීම සදහා ජය ගත් හෝ ජය ගැනිමට හේතු වූ පුද්ගලයන්ගේ ප්‍රතිමා ඉදි කිරීමේ සම්ප්‍රදායක්ද හදුනා ගැනීමේ හැකියාව ඇත. මේ අනුව ඉහත සදහන් අවස්ථා උදෙසා ප්‍රකිමා නිර්මාණය කිරීමේ පැහැදිළි නිදර්ශන Archaic හෙවත් පුරාතන යුගයේදීද හදුනා ගත හැකිය. එසේම මෙම යුගයටම ආවේණික වූ විශේෂතා හේතුවෙන් එසමයේ පැවති සුවිශේෂීත්වය ඉස්මතු වේ.
Archaic යුගයේ ප්‍රතිමා කර්මාන්තය උදෙසා වස්තුවිෂය වූ කරුණු සැලකූ කල වෙනත් අවධීන්හි මෙන් එය දෙයාකාර බව පැහැදිලිව පෙනී යයි.
1. දෙවියන් හෝ වීරවරයන් දැක්වෙන ප්‍රතිමා.
2. සමාජයේ වෙනත් අවස්ථා හෝ දෛනික ජීවිතය දැක්වෙන ප්‍රතිමා.
උක්ත ප්‍රතිමා ඉදි කිරීමට යොදාගත් මාධ්‍ය අතර ප්‍රධාන වශයෙන් කිරිගරුඩ, මැටි, වැලිගල්, ලී, රත්රන්, ඇත්දළ, ලෝහ වර්ග ආදිය දැක්විය හැකිය. මේ අතුරින් දැනට ශේෂ වී ඇති නිදර්ශනයක් ලෙස Archaic යුගයේ ඉදිකළ නිර්මාණ බහුතරය හමු වන්නේ කිරිගරුඩ පාෂාණ මාධ්‍යයෙනි. ස්වරූපය අනුව මේවාද කොටස් දෙකකි.
1. Kouros – පිරිමි ප්‍රතිමා.
2. Kore – කාන්තා ප්‍රතිමා.

Archaic Period-
Early Archaic Period
Middle Archaic Period
Later Archaic Period

Image

 
 
%d bloggers like this: