RSS

පැරණි ඊජිප්තුව 3……මිසර ශිෂ්ටාචාරයේ ආගම (දෙවිවරු, ඇදහිලි සහ මමි)

24 Dec

මිසර ශිෂ්ටාචාරයේ ආගම

පළමු ලිපිය මෙතනින් ගන්න.

දෙවන ලිපිය මෙතනින් ගන්න.

පෙර ලිපි මගින් පෙන්වා දුන් පරිදි පුරාණ ඊජිප්තුවේ ආගමික සංස්ථාවෙහිද අසහාය නායකයා වූයේ පාරාවෝ රජුය. මිසර වාසීන් දෙවිවරු බොහෝ ගණනක් ඇදහූ බවට සාධක විශාල වශයෙන් ලැබෙන අතර මේ අය අතුරින් බොහොමයකට පාහේ සත්ත්ව මුහුණු ආදේශ කර තිබුණි. (මෙලෙස අර්ධ මානව අර්ධ සත්ත්ව රූප වන්දනය හෝ දේවත්වයෙන් සැලකීම ඊජිප්තියානු මෙන්ම, මිනෝවානු, මයිසීනියානු, ක්‍රීට, ග්‍රීක, මෙසපොතේමියානු සහ ඉන්දුනිම්න ආදීවූ පැරණි ශිෂ්ටාචාර රුසකම පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයකි.) මිසර ශිෂ්ටාචාරයේ ඉතා සුලභව දක්නට ලැබුණු ලක්ෂණයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. එසේම මෙම දෙවිවරු අතර මව, පියා, සහෝදරයන්, දූ දරුවන් ලෙස ඥාති සබඳතාද ලොඩ නැගී තිබිම වෛශේෂික සාධකයකි.

තවද, මරණින් මතු ලෝකය පිළිබඳ සංකල්පයේදී මෙම ආගමික විශ්වාස සේම දෙවිවරුද ප්‍රධාන ලෙසම දායක වූ අංශයක් විය. මීට හේතු වූයේ ඔවුන්ගේ ආගමේ මුඛ්‍ය ලක්ෂණය, “සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසය” විමයි. මෙනිසා පැරණි මිසර ශිෂ්ටාචාරයේ මරණින් මතු ලෝකය පිළිබඳ අදහස් දක්වන කල්හි ඔවුන්ගේ ආගම අමතක කළ නොහැක.

 

මිසර ආගමික විශ්වාසයන්හි මුල් කාලීන එක් වැදගත්කමක් වන්නේ එවක දෙවිවරු අයත් වූයේ රජවරුන්ට පමණක්ය යන සංකල්පයයි. නමුත් පසු කාලීන දෙවිවරු සමාජයේ සියලු දෙනාට පොදු වුහ. මෙම බහුදේවවාදී තආගම තුළ මුලින්ම සතුන්ට දේවත්වය ආරෝපණය කර වන්දනය පැවතුණි. පසුව මිනිස් සිරුර සහ සත්ත්ව හිස සහිත දෙවිවරු ගණනාවක් දක්නට ලැබේ. මේ අතරින් බළලුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තවද බල්ලන්, කිඹුලන්, උරගයන් සහ රාජාලියන් වැනි සතුන්ද දේවත්වයෙන් පුදන්නට ඇති බවට සාධක සුසාන තුළින් ලැබේ. සුරතලයට ඇතිකළ හෝ දේව සංකල්පය ආරෝපණය කර වන්දනයට පාත්‍ර වූ මෙවන් සත්වයින්ගේ මමි බවට පත් කළ සිරුරු පිරමීඩ තුළින් හමුවීම, උක්ත උපකල්පය සාධක සහිතව යම්තාක් දුරකට හෝ ප්‍රත්‍යක්ෂ කරලිමට හේතු වේ. මෙහිදී විමසිය යුතු කරුණ වන්නේ සමාජයේ බහුතර නියෝජනය වූ මනුෂ්‍යයාට වඩා සත්ත්වයන් උසස් කොට සැලකූයේ මන්ද යන්නයි. නමුත් සමස්ථයක් ලෙස ගත් කල්හි මිසරයේ වහල් ශ්‍රමිකයන් හෝ සාමාන්‍ය ජනයා හෝ වේවා ඔවුන්ගේ සමාජ තත්වය ප්‍රභූන් සමග සසඳන කල්හි පැවතුණේ ඉතා පහත් මට්ටමකය. මෙකී සන්දර්භය මත අධික සුඛෝපභෝගී දිවියක් ගත කරන ලද පාරාවෝවරු බහුතර මනුෂ්‍ය ප්‍රජාවට වඩා සුරතලයට ඇති කළ සතුන් කෙරෙහි සුවිශේෂීත්වයක් දැක්වූවා විය හැකි යැයි උපකල්පනය කළ හැකිය. සොබාදහම තුළින්ම සතුන් අතර ඇති කරන ගද විවිධත්වය, මනුෂ්‍යයා අතර පවතින ඒකාකාරී සාම්‍යත්වයට වඩා ඔවුන් දුටු තවත් වෛශේෂික ලක්ෂණයක්ද වූවා විය හැකිය. එකී සාධක මත සතුත් නිතැතින්ම දේවත්වය තෙක් සමාජ පිළිගැනීමකට ලක් වූවායැයි උපකල්පනය කිරිමේ හැකියාව පවතී.

තවද මෙම පැරණි මිසර වැසියන් සිය දේව මණ්ඩලයේ එක් දෙවි කෙනෙකුට වැඩි විශේෂයක් දැක්වූ අතර අනෙක් දෙවිවරු ඔහුගේ දේව මණඩලයේ වැඩ වෙසෙන බවටත් විශ්වාස කළ බවට පවතින ප්‍රබලතම සාධක වන්නේ ඔවුන්ගේ සිතුවම්ය.

පුරාණ මිසර දෙවිවරු

අමන් රේ දෙවියා

මෙලෙස හඳුන්වන්නේ සූර්ය දෙවියායි. මුලින්ම මේ දෙවියා “රේ” පමින් පමණක් හැඳින්වූ අතර පසු කාලීනව “අමන්” යන්නද යෙදි ඇත. මිසර වැසියා විශ්වාස කරන පරිදි පිරමීඩ තුළ “කා” නම් ආත්මයකට රේ දෙවියා වෙත යාමට රහස් මගක් ඉදිකර ඇත. රේ දෙවියා සියලු දෙනා විසින්ම අදහනු ලබන ඉතා වැදගත් මෙන්ම ප්‍රධානම දෙවියායි.

ඔසිරිස් දෙවියා

උසස් පහත් සෑම ඊජිප්තු වැසියෙක්ම මෙම දෙවියා ඇදහීය. ඔසිරිස් දෙවියා පැරණි දේව කථාවන්හි මළවුන් පිළිබඳ විශ්වාසය සහ සම්බන්ධ පුධාන දෙවියායි. එකී හේතුව මතම සෑම ඊජිප්තියානු වැසියෙක්ම මෙම දෙවියාට ප්‍රමුඛතාවක් දුන්නේ ඇයිද යන්න උපකල්පනය කළ හැකි අතර “සදාකාලික පැවැත්ම” කෙරෙහි පැවති ඔවුන්ගේ විශ්වාසය සමග මෙම දෙවියා ඍජුව ආබද්ධ වන අයුරු හඳුනාගත හැකිය. ඔසිරිස් මිය යාමෙන් පසු ඔහු දෙවියන්ගේ රජු බවට පත්වී මියගිය ආත්ම විනිශ්චය කළ බව ජන කතාවන්හි කියැවේ.

“…..ආත්මයේ අමරණීයත්වය පිළීබඳව විශ්වාස කළ ඊජිප්තු වාසීහු පාරාවරුන් රේ දෙවියන්ගෙන් සහ ඔසිරිස් දෙවියන්ගෙන් පැවත එන්නන් බව විශ්වාස කළහ….”   (ඇඳගම, 2003, 23පි)

ඔසිරිස් දෙවියා පාතාල ලෝකයේ අධිපතිකම දරන අතර මළවුන්ගේ විනිශ්චයකරුද විය. මෙම දෙවියා ඇදහිමත් සමග මිසර වැසියෝ

  • මළවුන්ගෙන් නැගිටිම,

  • වළලන ලද මෘත දේහයට ප්‍රාණය ඇතිවීම

ආදිය සිදු වන බව විශ්වාස කිරීමට පෙළඹුණි. මෙනිසා මිසර වාසීන් මියගිය අයගේ සිරුරු “දුරු වර්ග කැවූ ලිනන් රෙදිවලින් සූක්ෂමව ඔතා” දිගු කල් ආරක්ෂා කිරීමටද පෙළඹුණි. තවද මෙනිසාම මියගිය පුද්ගලයාගේ මතු ප්‍රයෝජනය උදෙසා ආහාරපාන ආදියද සොහොන් තුළ තැන්පත් කළහ. එමතුද නොව පණ ඇති සේවකයන් පවා සුසාන තුළ මිය යන තුරු සිර කෙරුණේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

අනුබිස් දෙවියා

මොහුට තිබුණේ හිවල් හිසකි. ඔහු මුලදී පාරාවෝ රජවරුන්ගේ සොහොන් ආරක්ෂා කරන්නෙකු ලෙස පෙනී සිටියේය.

මිසර ආගමික සංකල්පයක් වූයේ මරණාසන්න වූවන්ගේ ආත්මය දෙවියන් ඉදිරියට යවන බවත්, එහිදී අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සිදුවන බවත්ය. “මළවුන්ගේ පොත” නම් කෘතිය සකසා තිබුණේ මෙම පැනයන්ට පිළිතුරු දීම සඳහායි. යම් ආත්මයකට මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු දිය නොහැකි වුවහොත් හම ආත්මය අයත් පුද්ගලයා අපායට යන බව ඔවුන්ගේ විශ්වාසය විය.

අනුබිස් දෙවියා, මියගිය පුද්ගලයෙකුගේ හදවතේ බර මනිනු ලබන සිතුවමක් මිසරයෙන් ලැබේ. තරාදියේ එක් පසෙක මියගිය තැනැත්තාගේ හදවතත් අනෙක් පස පිහාටුවකුත් ඇත. යම් හෙයකින් හදවතේ බර වැඩි වූයේ නම් එම පුද්ගලයාට සදාකාලින සැපත අහිමි වී අපාගත වන බව මිසර වාසීහු විශ්වාස කළහ.

මීළග ලිපියෙන් මස්ටාබා හෙවත් මුල් කාලීන සුසාන බලාපොරොත්තු වන්න.

 

7 responses to “පැරණි ඊජිප්තුව 3……මිසර ශිෂ්ටාචාරයේ ආගම (දෙවිවරු, ඇදහිලි සහ මමි)

  1. Anonymous

    May 14, 2015 at 5:29 am

    situwam pilibada tikak wadipura danna….eka godak watinwa…

     
  2. Kokila Geeth

    May 28, 2016 at 1:50 pm

    මට තව මෙසපොතේමියානු , ඉන්දුනිම්න ශිෂ්ටාචාරවල විස්තර අවශ්‍ය වේ.

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: