RSS

ආකෘතිය හරහා ප්‍රේක්ෂක මනසේ සෞන්දර්ය ජනනය වන ආකාරය ; වේදිකා නාට්‍යය කිහිපයක් ඇසුරින් කෙරෙන සංක්ෂිප්ත විග්‍රහයක්.

20 Dec

ලොව පවත්නා නන්විධ කලා මාධ්‍යයන් අතුරින් නාට්‍ය වූ කලි ප්‍රේක්ෂක මනසේ ලගන්නාසුළු සෞන්දර්යාත්මක වින්දනයක් ජනිත කරන්නා වූ කලාවක් ලෙස පෙන්වා දිය හැකිය. ප්‍රස්තුතයේදී වැදගත් වන “ආකෘති” යන පදය ප්‍රධාන වශයෙන් ද්‍රව්‍යාත්මක සහ මනෝමූලික ලෙස දෙයාකාරයකට වර්ග කළ හැකි වේ. මෙහිදී ද්‍රව්‍යාත්මක ලෙස ගැනෙන්නේ යම් වස්තුවකට ස්වභාවයෙන්ම හිමි වී ඇති හැඩය අනුව එය හඳුනා ගැනීමේ හැකියාවෙන් යුක්ත වු ආකෘතියකටය. මනෝමූලික ආකෘතියක් ලෙස සැලකෙන්නේ මිනිසාගේ මැදිහත්වීමෙන් යුතුව නිර්මාණය කර ඇති ගද්‍ය, පද්‍ය ආදී වූ කෘතීන් රසවින්දනයේදී එම කෘතිය පිළිබඳව අප සිත්හි ගොඩනැගෙන සැලසුමටයි. නාට්‍ය කලාවේදී මෙකී ආකෘතිද්වයම උපයුක්ත කොට ගන්නා බව දක්නට ලැබෙන අතරම නාට්‍ය අල්පතරයක් පමණක් උපනිශ්‍රයෙන් උක්ත ලක්ෂණය උද්දීපනය වන ආකාරය මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ. තවද මෙම ආකෘති භාවිතයෙන් ප්‍රේක්ෂක මනසේ සෞන්දර්යාත්මක හැඟීම් ජනනය වූ ආකාරයද පෙන්වා දිය හැකිය.

සෞන්දර්ය යන්න කෙරෙහි නන්විධ අර්ථකථන පලවී ඇතත්, සඳහන් කළ හැක්කේ මෙම “සෞන්දර්ය” යන සංකල්පය යම් කිසි වස්තු හෝ තර්කනයට හසු වන අවස්ථා, සිදුවීම් ආදී දේ පිළිබඳව ඥානනය මගින් ඒවා ඇගයීමට ලක් කිරීමේදී මිනිස් සිතේ හටගනු ලබන යම් මානසික තත්වයක් බවයි. නාට්‍ය කෘතියක ආකෘතිය ඔස්සේ ඒ යටතට ගැනෙන සිදුවීම්වලින් පස්තලය, රංග භාණෟඩ, රංග වස්ත්‍ර, වේශ නිරූපණය, ශෛලිය, සංගීතය ආදියෙන් මතුවන කලාත්මක නිර්මාණ ලක්ෂණ තුළින් ප්‍රේක්ෂක මනසේ සෞන්දර්ය ජනනය වනවා යැයි කිව හැකි වේ.

මෙලෙස ප්‍රේක්ෂක මනසේ උක්ත හැඟීම් උද්දීපනය වීමට තවත් අතුරු සාධක රැසක් ආවශ්‍යයික වන බව පෙනී යයි. ඒ අතර, නාට්‍යෙය් නිරූපණය කරන කතාවස්තුවේ රංග ශීල්පීන් වේදිකාවේ ස්ථානගත වන ආකාරයේ, වේදිකා සැලසුම් ආදියේ සමතුළිත බව ඇතිකිරීම මගින් ඉතා උසස් නාට්‍ය නිර්මාණයක් රංගනයේ යොදවා එමගින් ප්‍රේක්ෂක සිත්හි සෞන්දර්ය ජනිත කළ හැකිය. උක්ත දැක්වූ අංගයන්ගේ මනා අඛන්ඩතාවයක් පවත්වා ගනිමින් එම ලක්ෂණ මැනවින් සංයෝජනය වන පරිදි හා ප්‍රේක්ෂක මනසට උසස් රසවින්දනයක් ලබාදිය හැකි අයුරින් නාට්‍ය රංගගත කිරීමෙන්ද, එසේම නාට්‍යයෙන් රඟ දක්වනු ලබන අවස්ථාව, සිදුවීම් හෝ කතා මාලාව යථාර්ථයක්මැයි දැක්වෙන පරිදි ඉදිරිපත් කිරීම තුළින්ද ප්‍රේක්ෂක මනසේ සෞන්දර්ය ජනනය නිරීමේ හැකියාව ලැබේ. මෙහිදී තත්වානුසාරයෙන් ඉදිරිපත් කිරීම වැදගත් වන්නේ, තම දර්ශනයට ග්‍රහණය වන සිද්ධිදාමය සත්‍ය සිදුවීම් වන තරමට නාට්‍ය සමග ඒකාත්මික වීමේ ශක්‍යතාව වැඩි වන හෙයිනි. සෞන්දර්යාත්මක බව උද්දීපනය කෙරෙහිද උක්ත සාධකය බෙහෙවින් අනුබලයක් වේ. එමතුද නොව, නාට්‍යයේ ප්‍රස්තුතය, ආකෘතීන් තුළින් තර්කනයට හසු වන විචාරශීලීව නරඹා රසවින්දනය කළ හැකි මෙන්ම තව තවත් දුරට සිතීම තුළින් බහුවිධ නිගමනයන්ට එළඹිය හැකි සිදුවීම්වලින් යුක්ත වීමද සෞන්දර්ය ජනනයට අනුබල සපයයි.

“හාස්‍ය රසය” මූලික කරගෙන ප්‍රස්තුත සාධකය නිරූපණය කරන නාට්‍ය අතුරින් “සුභ සහ යස” නාට්‍ය සුවිශේෂී වේ. එහි රජුගේ චරිතය තුළින් ගොඩනැංවූ හාස්‍යෝත්පාදක ස්වරූපය එකී චරිතයේ ආකෘතිය මැනවින් විදහා දක්වයි. මෙම චරිතයේ ස්වරූපය ප්‍රේක්ෂකයාට පහසුවෙන් අවබෝධ කරගත හැකි හෙයින් රජුගේ චරිතය නාට්‍යයේ ගලා යාමට මැනවින් ඉවහල් වේ. යම් අයුරකින් නාට්‍යයේ භාවිත වන බහුවිධ ආකෘති ප්‍රේක්ෂකයාට අවබෝධ කරගත නොහැකි වුවහොත් ඉන් කිසිදු සෞන්දර්යක් ඔහුගේ සිතෙහි ඇති නොවන අතර මනස වඩ වඩාත් ව්‍යාකූල වීමට එය හේතුවක් වේ. නමුත් මෙම සුභ සහ යස නාට්‍යයේ රජු තුළින් නිරූපණය කෙරෙන සරල හාස්‍යමය ස්වරූපය ඉස්මතු කර ඇත්තේ භාෂණය, එය හසුරුවන ආකාරය, අංගචලනය ආදියෙනි. ශිල්පියා මොහොතින් මොහොත සිය හඬට වෙනසක් දෙමින් විවිධ ස්වරූප ආරෝපණය කරගනී. රජු දාසිය අතින් මධු බඳුන ගෙන එය පානය කරන එක් අවස්ථාවකදී  ඔහු වචන හසුරුවන ආකාරය රජුගේ හාස්‍යමය ස්වරූපයට කදිමට ගැලපෙන අතර නාට්‍යයේ නිරූපණය උසස් කරවීමට සහ ප්‍රේක්ෂක මනස පිනවීමට එය මැනවින් ඉවහල් වූ බව පෙනී යයි.

රජුගේ චරිතයට වඩා බෙහෙවින්ම විශම ලක්ෂණ සුභ සෙනෙවියාට ඇති බව පෙනේ. නාට්‍ය ආකෘතිය මගින් එම චරිතය ගොඩනගා ඇත්තේ බුද්ධීමත්, දැඩි මෙන්ම තේජවන්ත ස්වභාවය මැනවින් නිරූපණය වන පරිදිය. මේ අනුව, ඒකාකාරී නොවී එකකට එකක් ඉඳුරාම වෙනස් චරිත උපයුක්ත කොටගනිමින් ප්‍රේක්ෂකයාට සිය විචාරශීලීත්වය විවිධ අංශ ඔස්සේ ගෙනයාමට මංපෙත් පාදමින් නාට්‍ය නිර්මාතෲ තම කෘතිය මගින් උසස් සෞන්දර්යයක් ඇතිකරවීමට ගත් තැතයි.

තවද උක්ත නාට්‍යෙය් නළු නිළි පිරිස වේදිකාව හැසිරවීම, සමබරතාව පවත්වා ගැනීම මෙන්ම රංග වස්ත්‍රවල වර්ණ සුසංයෝජනය ආදියද ඉතාම ආකර්ශනීය බව කිව හැකිය. එයද ඒවාට යොදාගත් ආකෘතීන්ගේ සාර්ථක බව හේතුවෙන් සෞන්දර්ය ජනනයට ඉවහල් වූ සාධකයක් ලෙස පෙන්වා දීමේ හැකියාව ලැබේ.

සමබරතාවය පිළිබඳ සැලකීමේදී රංග භාණෟඩ ස්ථානගත කිරීමද, ඒවායේ වර්ණ සංකලනය හා බැඳි, රංග වස්ත්‍රවල තිබූ ඒකාකාරීපරාසයක පැවති මනා වූ වර්ණ සුසංයෝජනයද නෙත්කළු බව කිව යුතුමය. තවද, රංගනයේදී වේගවත් ගමන් රටා මගින් රංගනයේ යෙදෙමින් ඇතිකළ තත්වානුරූපී අභිනය ප්‍රේක්ෂකයා රසගැන්වීමට හේතු වූබව පෙනේ. රජුගේ මත් ලෝලී ස්වභාවය, සුරාවෙන් මත්වී ක්‍රියා කළ විකාරරූපී ස්වභාවය නාට්‍යයට ගෙන දෙන්නේ ඉතා තාත්වික බවකි. ආකර්ශනීයත්වයකි.

“මහ ඇමති මේ බලනවා….. චාරිත්‍රද මාවද ආරක්ෂා කරන්න ඕන……”

“……අපේ තාත්තට වන්දිබට්ටයො කීවෙත් ඔය සිංදුවනේ…….” (සුභ සහ යස, 2008/03/09, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය)

ඉතා සරල, පහසුවේන අවබෝධ කොටගත හැකි, පොදු ජනවහරේ පවතින භාෂා විලාසයක ආකෘතියක් අනුගමනය කිරීම මෙහි තවත් සුවිශේෂීතාවයකි. මෙය වඩාත් හේතු වන්නේ නාට්‍යයෙන් ලබා දෙන හාස්‍යමය බවටය. භාෂා උච්චාරණ විලාසය මෙහි රසය තීව්‍ර කරලීමට මනා රුකුලක් සපයයි. එය නාට්‍යයේ අන්තර්ගතයට මැනවින් උචිත වන ශෛලියක් ලෙස කිව හැකිය. එසේම අද්‍යතන සමාජයට වක්‍රෝත්තියෙන් එල්ලකරන උපහාසයක්ද මෙහි ගැබ් වී ඇති අයුරු මෙම සරල වදන් මාලාවෙන් වුවද මැනවින් අවබෝධ කරගත හැකිය.

නාට්‍යක් තුළ එකිනෙකට වෙනස් විවිධ වූ ආකෘති භාවිත වන බව පෙන්වන කදිම නිදර්ශනයක් වන්නේ උක්ත නාට්‍යයේ කැරළිකරුවන් රංග පීඨයට එන අවස්ථාවයි. එතෙක් වේලා නාට්‍ය තුළ පැවති හාස්‍ය රසය වීර රසයට පරිවර්තනය වන්නේ එම අවස්ථාවේදීය. මෙහිදී කැපී පෙනෙන සිදුවීම වන්නේ එය සිදු කරන්නේ පසුබිම් සංගීතය තුළින් වීමයි. මෙහිදී උපයුක්ත වන සංගීතය මගින් ප්‍රේක්ෂක මනස ක්ෂණික විපර්යාසයකට පත්කරලන හෙයින් ඉහත වෙනස්කම වඩාත් උද්දීපනය වේ. තවද කැරළිකරුවන්ගේ ඒකායන අධිශ්ඨානය පවසන අවස්ථාවේ වීරත්වය ඉස්මතු කිරීමට තම්මැට්ටම භාවිත කිරීමද අවස්ථා නිරූපණයට ඉතා ඖචිත්‍ය වූවක් බව පෙනී යයි.

සුභ සෙනෙවියාගේ බිරිඳ මුල් වරට රජු හමුවට ගිය අවස්ථාවේ රජුගේ බැල්මෙන් මිදී සුභට මුවා වී හිඳිමින් ගැමි කතකගේ චරිතය ප්‍රබල ලෙස ඉස්මතු කරවා ප්‍රේක්ෂක මනස ඈ වෙත රඳවා ගන්නා අතර පසුව සුභ නොමැති අවස්ථාවේ යස රජු බව දැන දැනම ඔහු හා එක් වීමට කැමති බව පවසමින් ඇගේ චපල බව නිරූපණයෙන් ප්‍රේක්ෂක සිත කුතුහලයට, කැළඹීමට පත් කළ බව පෙනී යයි. මෙහිදී එනම චරිතය ආකෘතිද්වයකින් ද්විත්ව ආකාරයෙන් බෙන්වා සෞන්දර්යාත්මක අගය ජනිත කළ අයුරු මනා ලෙස පෙනී යයි.

මේ අනුව බලන කල්හි පෙනී යන්නේ රංග භාණ්ඩ, චරිත, වේශ නිරූපණය, ශෛලිය, සංගීතය ආදී වූ ආකෘති භාවිත කරමින් චරිත සහ සිදුවීම්හි සමතුළිත බවින්, නිර්මාණශීලී ගුණයන්ගේ එකතුවෙන් විශ්වාසදායී ලෙස නාට්‍ය පෙළගස්වා රංගගත කිරීම මගින් ප්‍රේක්ෂක මනස තුළ සෞන්දර්ය ජනනය කළ බවයි.

තවද “රෝමය ගිනිගනී” නාට්‍යයද ආකෘතිය හරහා නරඹන්නාගේ මනස තුළ සෞන්දර්ය ජනනය කළ තවත් කෘතියකි. මෙහි සුවිශේෂී කැපී පෙනෙන අංගයක් වන්නේ රංග භාණ්ඩ උපයෝගී කරගෙන තිබෙන ආකාරයයි. මේරිගේ සහ බාබරාගේ නිවාස ඒකීය ආකෘතියකට අනුව ගොඩනගා ඇති අතර ඒවාට කැපී පෙනෙන මනා වර්ණ සංයෝජනයක් යොදාගෙන ඇත. මෙය වේදිකාවේ සමබරතාවටද අනගි රුකුලක් වේ.

එසේම නාට්‍යයේ ආරම්භක අවස්ථාවේ මේරි සහ බාබරා සිය දුරකතන සංවාද පවත්වාගෙන යන් ආකාරය ඉතා චිත්තාකර්ශනීය වේ. දෙබස්වල ඇති ඍජු බව, පොදු ජනවහරට ඒවා දක්වන සමීප බව, අංගචලනය, වේදිකාව හසුරුවා ගැනීම ආදිය තුළින් නාට්‍ය කෘතිය කෙරෙහි විශ්වාසයක් ප්‍රේක්ෂක මනසේ ඇති කරලීමට උක්ත නාට්‍යයේ සංවාද දායක වේ. 

පුවත්පතින් කතා කළ විටදී පෙරේරාගේ හැසිරීම් රටාව ඉතා තාත්වික හැඟීම් දනවන බව කිව හැකිය. එසේම ඔහුගේ චරිතයේ ඇති නිදහස් ප්‍රබෝධමත් බව නිරූපණය කරවීමට එකී හැසිරීම් රටාව පිටුවහලක් වී ඇත. මෙම ස්වරූපය නරඹන්නා සහ නළුවා අතර මනා සම්බන්ධතාව පවත්වා ගැනීමටද ඉවහල් වේ. පෙරේරා මේරිගේ නිවසින් බාබරාට කතා කළ අවස්ථාවේ පසුබිමින් නික්මෙන සංගීත රාවය මගින් උක්ත අවස්ථාවේ ස්වභාවය මැනවින් හුවා දක්වයි. දෙබස්වලට අමතරව මෙම සංගීතය සැලකූ කල එයද නාට්‍යයේ සෞන්දර්ය විදහා දැක්වීමට මැනවින් දායක වන්නක් බව පෙනී යයි.

බොබීගේ රංගන විලාසය, කතා විලාසය හෙවත් භාෂා භාවිත ශෛලිය, රංග වස්ත්‍ර සහ වේෂනිරූපණය නාට්‍ය තුළ හාස්‍ය රසය ජනනය කරමින් ප්‍රේක්ෂකයා ඇඳබැඳ තබා ගැනීමට මහත් සේ දායක වන බව පැවසිය හැකිය. තවද එය සෙසු චරිතවලින් විෂම වූවක් වන හෙයින්ද මෙයට තවත් එක් හේතුවකි. එනිසා නාට්‍යයේ ඒකාකාරිත්වය බිඳීමට මෙමගින් හැකියාව ලැබෙන බව පෙනී යයි. නාට්‍යයේ සාර්ථකත්වයට එහි ආකෘතියේ දායකත්වය අති මහත්ය. විශේෂයෙන් රංග භාණ්ඩවල සේම රංග ශීල්පීන් මගින්ද කතා මාලාව මගින්ද, වේදිකාව සේම නාට්‍යයද මැනවින් සමබර වූ අයුරු පෙනී යයි. දෙබස් භෘවිතයේ සරල බව සහ ලගන්නා සුලු බව මෙහි සාර්ථකත්වයට තවත් එක් නිදර්ශනයකි. එමතුද නොව නාට්‍ය ආකෘතියේ සවරූපයට මැනවින් සංයෝජනය වන පරිදි ඇඳුම් පැළඳුම් භාවිත කර තිබීම කැපී පෙනෙන තවත් ලක්ෂණයකි. කුලී රථ රියැදුරු පෙරේරා, එකී චරිතය උද්දීපනය වන පරිදි ඊට මනා සේ ගැලපෙන ඇඳුමකින් සැරසී සිටින අතර පොලිස් නිලධාරීන්, බොබී, කාන්තාවන් දෙදෙනා , කැමරාකරු ආදීහු තම චරිතයට වඩාත් ගැලපෙන පරිදි නිර්මිත වස්ත්‍රවලින් යුක්තව සිටීම ප්‍රේක්ෂක මනසේ සෞන්දර්ය ජනනයට ප්‍රබල හේතුවක් වේ.

මෙම නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයා ලබන වින්දනය හේතුවෙන්ම නොදැනුවත්වම පාහේ ප්‍රේක්ෂකයාද නාට්‍යයේ චරිතයක් බවට පත් වන්නේ නිරායාසයෙනි. නාට්‍ය තුළට ඇතුල් වී එය “තමාගේ” කොට දකිමින් රසවින්දනය තුළින් කුමන ශෛලියක නාට්‍යයක් වුවද තත්වානුරූපීයව ඉදිරිපත් කර ගැනීමේ හැකියාව පවතින්නේයැයි පැවසිය හැකිය.

ඉහත දැක්වූ නාට්‍යද්වය හා සසඳන කල්හි සිංහබාහු නාට්‍යය ආකෘතිකමය වශයෙන් විශම වූ ස්වරූපයක් ගනී. ඊටම ආවේණික වූ ශෛලිගත ස්වරුපයක් මෙන්ම තර්කනයට හසු වන ප්‍රෙක්ෂකයාගේ බුද්ධිගෝචර සවභාවය පුබුදුවාලන විධග්ද නාට්‍යයක් ලෙස සිංහබාහු නාට්‍යය කරළියට පිවිසේ. මෙකී නාට්‍ය නිර්මාණයේදී සාම්ප්‍රදායික යෙදුම් නවතාවයෙන් යුතුව, නිර්මාණාත්මක ලෙස යොදාගෙන ඇත්තා සේම ගද්‍ය පාඨ පවා රසවත් ලෙස කාව්‍යාත්මකව එක් කිරීමෙන් නාට්‍යයට ගෙන එන්නේ වින්දනාත්මක බවකි. ප්‍රේක්ෂක සිත්හි, රඟ දැක්වෙන සිදුවීම් සත්‍ය බවම පසක් කරවීමට මෙනිසා හැකියාව ලැබී ඇත. නැතහොත්, සිංහයෙක් සහ කුමාරිකාවක් පෙමින් බැඳී දරුවන්ද ලද බව ජනප්‍රවාදයේ එන එක් සිදුවීමක් පමණක් ලෙසින්ම ප්‍රේක්ෂකයා භොර ගැනීමට ඉඩ තිබුණි. නමුත් නාට්‍ය ආකෘතිය ගොඩනැගී යන ස්වභාවය හේතුවෙන් මෙය සත්‍යක්ම බව පිළිගැනීමටත්, අවිඥාණිකව හෝ තමාද නාට්‍යයේම චරිතයක් බවට පත් වීමටත් ප්‍රේක්ෂකයා පෙළඹේ.

සිංහබාහු

නාට්‍යය මුළුල්ලේ අනුගමනය කරන කාව්‍යමය ආකෘතිය එයට ගෙන එන්නේ මනා වූ සෞන්දර්යාත්මක බවකි. ආරම්භයේ සිට අවසානය දක්වාම නාට්‍යෙය් ගලා යාමේදී එහි සුන්දරත්වය ඔපුනංවා කර්ණරසායනය ජනිතකරලීමට සේම කාව්‍යෙයෙන් පැවසෙන දෙයෙහි අර්ථය තව තවත් සිතා බලමින් අවබෝධ කර ගැනීමටද මෙහිදීප්‍රේක්ෂකයා පොළඹවාලයි.

ඒ ඒ චරිතයන්හි ස්වභාවය මෙන්ම යම් යම් අවස්ථාවන්ට වඩාත් සුදුසු වූ රසය මෙම කාව්‍යයන්ගෙන් ජනිත කරලන අතර ඒවායේ ඇති ගීතවත් බවද ගෙන එන්නේ සුන්දරත්වයකි.

“වගුරට නරනිදු දඹදිව පරසිදු

හට දා වු මම වෙමි දෙටු දූ

සරණ ගිය හිමි සමිඳුනේ

සමග වෙසෙමිය ගිරි ලෙනේ…”    (සිංහබාහු, 2008, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය)

මෙම ගීත අනුව රංගනයේ යෙදෙන කල්හි අභිනය දක්වන ආකාරය ප්‍රේක්ෂක නෙත් ඇඳබැඳ ගනී. එය තාත්විකත්වයෙන් බැහැර වුවද උක්ත ශෛලිය නාට්‍ය රසවින්දනයට කිසිදු ලෙසකින් බාධාවක් නොවේ. ආංගිකාභිනය සහ වාචිකාභිනය නෙ අංශද්වයම මෙහිදී ශෛලිගත ස්වරූපයක් ගන්නා අතර එය නාට්‍යයේ තේමාවට මැනවින් ඖචිත්‍ය වූවක් බව පෙනී යයි. උක්ත හේතුව මත පදනම්ව ප්‍රේක්ෂකයාද නාට්‍ය අන්තර්ගතයේම කොටසක් බවට නිරායාසයෙන්ම පත්වීම සිදුවේ. පවුලේ වියෝවෙන් පසු වනයේ තනිවූ සිංහයාගේ ශෝකයට අපටද හවුල් වී ඒ ශෝකය බෙදා ගැනීමට හැකි වන්නේ මේ නිසාවෙන්මය. පෙරළා ලෙන වෙත එන සිංහයා, ලෙන හිස් වී තිබෙන අයුරු දැක සිදුවූ සිදුවීම තේරුම් ගෙන පවසනා කියුම්හි ඇති වේදනාව සංවේගාත්මක සිතින් අපටද විඳගත හැකි වන්නේ නාට්‍ය ආකෘතියේ ඇති එකී සාර්ථක ගලායාම හේතුවෙනි.

“… හෙනයක් සේ පතිත වූ අහසින්

හිස මතට දෙදරුම් දී

ඔබවාම ඉඳුරන් අඳුරු කරමින්

පහරිනා රුදුරු

කිම්ද නොකියා යන්නට කාරණ

වීද මනදොළ කිසිත් නොපිරුණ….” (සිංහබාහු, 2008, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය)

මෙම ඛණ්ඩයේ ඇති දැඩි වචන භෘවිතය මගින් පසක් වන්නේ සිංහයාගේ සිත තුළ කැකෑරෙන්නා වූ දැඩි වේදනාව සහ වියෝ දුකයි. මේ අනුව රංගනයේ යෙදෙන සිංහයාගේ අංගචලන අනුවද ඒ ස්වභාවය මනා සේ ඉස්මතුකර දක්වයි. එහි රිද්මය, ගීතයේ රිද්මය වෙනස් වීමත් සමග සැනෙකින් වෙනස් වී වේගවත් බවකින් යුතුව වේදිකාව පුරා රංගනයේ යෙදෙන ආකාරය තාත්විකත්වය දනවයි.

පසුබිම් සංගීතයද සෞන්දර්යාත්මක බව වැඩිදියුණු කිරීමට දායක වන තවත් නිදර්ශනයකි. සංගීත කණ්ඩායමද උක්ත නාට්‍යයේදී වේදිකාව මත දර්ශනය වීම තවත් එක් විශේෂත්වයක් වන අතර එයද සුවිශේෂීත්වයක් ගනී. නාට්‍ය මුළුල්ලේ හැඟීම් ප්‍රකාශනයට සංගීතයද මනා දායකත්වයක් සපයයි. වීර රසය, කරුණා රසය, රෞද්‍ර රසය ආදී සියල්ල සර්පිනාව, තබ්ලාව, බටනලව උපනිශ්‍රයෙන් ඇති කරන අතර භාවමය හැඟීම් උද්දීපනයට මෙකී සංගීත සුසංයෝජනය මැනවින් ඉවහල් වන බව දක්නට ලැබේ. තවද වර්ණ භාවිතය සැලකීමේදී, තැඹිලි, රතු, ගුරු, කහ ආදී වූ එනිනෙක හා ගැලපෙන අලංකාර වර්ණ පරාසයක වර්ණ භාවිතය තුළින්ද නාට්‍යය විචිත්‍රවත් කරවයි. එමතුද නොව මෙහි වේශ නිරූපණයද ඉතා උසස් බව කිව හැකිය. ප්‍රේක්ෂක මනසේ ලගන්නාසුළු රූප මාලාවක් ශේෂ කිරීමටත්, නාට්‍යයේ නිර්මාණශීලීත්වය දියුණු කිරීමටත් උක්ත ලක්ෂණය වැදගත් වේ.

ආලෝකකරණය තුළින් නාට්‍යයකට නව අර්ථකථන ඉදිරිපත් කළ හැකි අතර සිංහබාහු නාට්‍යයේද ආලෝකකරණ තාක්ෂණය එහි තේමාව හා මැනවින් සුසංයෝජනය වන ආකාරයට භාවිතයට ගෙන තිබේ. ඒ ඒ අවස්ථාවන්හිදී ජනිත කරන හැඟීම් උද්දීපනය සඳහා ආලෝකය මෙහිදී ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. ලෙනේ තනිවූ සිංහයා කෙරෙහි ප්‍රේක්ෂකයාගේ විශේෂ අවධානය යොමු කරවීම සඳහාද මෙලෙස ආලෝකය දායක කරගෙන තිබේ. වේදිකාව මත සමබරතාව පවත්වාගනුවස් ආලොකය භාවිතයෙන් සුවිසල් මෙහෙවරක් ඉටු වේ. ප්‍රේක්ෂක නෙත් යම් විශේෂ චරිතයක් හෝ සිදුවීමක් කෙරෙහි පමණක් යොමු කරවා ස්වයං තර්කනයේ යෙදෙමින් විචාරාත්මක අවබෝධයකින් නාට්‍ය රසවින්දනයට සැලැස්විය හැකි මාධ්‍යයක් ලෙස ආලෝකය වැදගත්කමක් හිමිකර ගනී. මේ අනුව සිංහබාහු නාට්‍ය තුළ ඇති නන්විධ ආකෘතීන් සියල්ලම පාහේ ප්‍රේක්ෂක මනසට සෞන්දර්යාත්මක හැඟීම් ඇති කරවීමට දායක වන බව කිව හැකිය.

සෞන්දර්යාත්මක බවින් අනූන ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත් තවත් කෘතියක් වන්නේ ජයලත් මනෝරත්නයන්ගේ “මකරා” නම් වේදිකා නාට්‍යයයි. මෙහි සුවිශේෂීත්වය වන්නේ නාට්‍යයෙන් පෙන්වන ප්‍රමාණයට වඩා ගැඹුරු කරුණු සමාජ ජීවිතය ඇසුරින් ලැබෙන බව සිතීමට නාට්‍යය තුළින් මග පාදා තිබීමයි. එනිසා විචාරශීලීව නාට්‍යයේ ජවනිකා ඒවා තර්කනයට හසුකර ගැනීමට අවස්ථාව සැලසේ. නාට්‍ය නැරඹීමට කරන ආරාධනාවක් වැනි වූ සංගීතය මගින් ප්‍රේක්ෂකයා නාට්‍ය වෙත රඳවා තබාගැනේ.

උක්ත නාට්‍යයේ පූසාගේ චරිතය යොදාගෙන ඇත්තේ හුදෙක් භයානක සහ වීර රසය ගැබ් වූ නාට්‍යයට හාස්‍ය රසයක් එක් කිරීම පිණිසයැයි හැ‍ඟී යයි. නාට්‍යයේ ඒකාකාරී බව බිඳීමට මෙම චරිතය මැනවින් ඉවහල් වේ.

නාට්‍ය රඟ දැක්වෙන්නේ ඊටම ආවේණික වු රංගන ශෛලියක් සහ භාෂාවක් භාවිත කරමිනි. මකරාගෙන් ජනතාවට එල්ල වන පීඩාව මුහුණුවල පලවන හැඟීම්වල ස්වරූපයෙන් මැනවින් පෙනී ගියද ඒ බව කිසිදු විටෙක වචනයෙන් එකහෙළා ප්‍රකාශ නොකරයි. නමුත් දෙබස් ඇසුරින් මනාව පසක් වන්නේ පවසන වදන්වලින් ධ්වනිත වන ජනපද වැසියන්ගේ ගුප්ත, අඳුරු සහගත සිතයි. මෙවන් නාට්‍යමය අවස්ථා ප්‍රේක්ෂක මනස තාර්කිකව සිතීමට යොමු කරවන සුවිශේෂී සිදුවීම් ලෙද දැක්විය හැකිය.

උක්ත නාට්‍යයේ විවිධ චරිත වලට ඒවාටම අනන්‍ය ගුණාංග තිබීම එහි ආකෘතියේ තවත් වැදගත් අංගයකි. එලිසාගේ පියාගේ චරිතයෙන් බියසුළු ගැමියෙක්ද පූසාගේ චරිතයෙන් හාස්‍යයද නිරූපිත අතරම ලාන්ස්ලොට්ගේ චරිතය තුළින් තරුණ ජවයෙන් මත් වූ එඩිතර වීරත්වයක් දර්ශනය වේ. දෙබස් මගින් පෙර කී සාධකය මැනවින් විදහා දැක්වේ.

“මම මකරව සටනට කැඳවනවා”

“ඔබට පිං අයිති වෙයි. ඒකනම් කරන්න එපා….”

“නැහැ මම ඒක කරනවා”   (මකරා, 2008, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය)

මෙම දෙබස ඇතිවූ අවස්ථාවේ එලිසාගේ රංගනයෙන් මතුවූ බිය, කනගාටුව ආදී ලක්ෂණත් ලාන්ස්ලොට්ගේ චරිතයේ කැපී පෙනුණු අධිශ්ඨානව, වීර්යය වැනි ලක්ෂණත් තාත්වික ලෙස කරළියේ එළීදැක්වුණු බව කිව හැකිය. එමගින් එම වැසියන්ට මකරා නැමති අද්භූත බලවේගය නිසා මුහුණපෑමට සිදුව තිබූ පීඩාකාරී මානසිකත්වය සැබෑවක් යැයි ප්‍රේක්ෂකයාට දැන්වීමට රංගන ශිල්පීන් සමත්ව ඇති බව පෙනී යයි. මකරා වේදිකාවට ප්‍රව්ශ්ඨ වන අවස්ථාවේ ඇසෙන පසුබිම් සංගීතයද නාට්‍යයට ගෙන එන්නේ අපූර්වත්වයකි.

මකරා

පුරවරාධීපතිගේ චරිතයෙන් ප්‍රබලව අද්‍යතන සමාජයට පහර එල්ල කෙරෙන අතර ආකෘතිය ගොඩනගා ඇති විචක්ෂණ භෘවය මගින් උක්ත සාධකය මැනවින් පසක් වේ. ඔහු සමාජ ප්‍රශ්න මගහැර සිටීමට නන්විධ මවාපෑම් සිදු කරන්නේ හාස්‍ය ජනනය කරන අයුරිනි. ඉන් අද්‍යතන සමාජය ප්‍රබලව හුවාදැක්වෙන බව කිව හැකිය.

“බොහෝම ස්තූතියි. ඔන්න මට කේතලරෝගෙ හැදීගෙන හනවා. කේතලයක් මම කේතලයක්. මාව ලිපේ තියාපල්ලා……..”   (මකරා, 2008, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය)

ලෙස පවසමින් ඔහු අභිනය දක්වන ආකාරය සිත්ගන්නාලුළුය. අද්‍යතන සමාජයේ පවතින පාලන තන්ත්‍රෙය් දුර්වලතාද මෙමගින් වක්‍රෝක්තියෙන් වුවද ගෙනහැර දැක්වේ. පවතින සමාජයට නාට්‍යයේම අවස්ථාවක් මගින් පහරක් එල්ල කරන ගැමි කතක් සිත්ගන්නා අයුරින් අඟපසඟ හසුරුවමින් සහ භාෂණයකින් යුක්තව රංගනය දක්වයි.

“යුද්ධයක් ඇති වුණු හැටියෙ මේ කාලකන්නියො කරන්නෙ සේරම බඩු ටික හංගන එකනෙ.”   (මකරා, 2008, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය)

යනුවෙන් පැවසීමේදී ඉතා සරල වදන් මාලාවක් භාවිත වන අතරම එමගින් ප්‍රේක්ෂකයා තව දුරටත් එකී මතය ඔස්සේ සිතීමට පොළඹවාලයි. මෙමගින් සමාජය සියුම් ලෙස විවේචනයට හසු කෙරෙන ආකාරය හඳුනාගත හැකිය.

උක්ත සාධක සියල්ල සලකා බැලීමේදී පෙනී යන්නේ මකරා වේදිකා නාට්‍ය, එයට භාවිත කළ ආකෘතීන් අනුව, ඒවා එළි දැක්වූ විශිෂ්ටතාව අනුව ඉතා සාර්ථක බවට පත්වී ඇති අතරම එකී හේතුව මත ප්‍රේක්ෂකයා තුළ සෞන්දර්ය ජනිත කරවිමට එමගින් හැකියාව ලැබී ඇති බවයි. තවද මෙහිදී උපයුක්ත කරගනු ලැබූ ඛේදනීය සංගීත රාවයත් එහි මනෝමූලික ආකෘතිය ගොඩනැංවීමෙහිලා ප්‍රබල ලෙස දායක වී ඇත. මෙකී ලක්ෂණ ඉහත කෘතිය තුළින් සෞන්දර්ය ජනනය කිරීමට මැනවින් හේතු වී තිබේ.

නිදර්ශනාත්මකව විවරණය කරන ලද උක්ත සාධක සමස්ථයක් ලෙස ගෙන සැලකිල්ලට ලක් කිරීමේදී පැවසිය හැකි වන්නේ නාට්‍යයක ආකෘතීන් වන චරිත පෙළගැස්ම, කතා වස්තුව, වේදිකා පසුතලය, රංග භාණ්ඩ, වේශ නිරූපණය, රංග වස්ත්‍ර, රඟ දැක්වෙන ශෛලිය, විවිධත්වය, ගුපුතමය බව, තර්කනයට හසුවන ආකාරය, ආදිය තුළින් නාට්‍ය රසයෙන් යුක්තව ගොඩනැගෙන අතර එමගින් ප්‍රේක්ෂකයා වෙත සෞන්දර්ය ජනනය කරවීම සඳහා උක්ත අංගයන්හි මනා සමතුළිත බව, ආලෝකය මැනවින් හැසිරවීමසහ පසුබිම් සංගීතය භාවිතයෙන් මනෝමූලික ආකෘතිය තුළින් ප්‍රේක්ෂක නෙත් සවන් පිනවීම, භාවිත කරන සියලු ද්‍රව්‍ය එකිනෙක සමග ගැලපෙන අයුරින් යොදා ගැනීම, ප්‍රේක්ෂකයාගේ බුද්ධීය මෙහෙයවා සිතීමේ ශක්තය වැඩිදියුණු කරවන ප්‍රබල අවස්ථා නිරූපණයන්ගෙන් යුක්ත වීම සෞත්දර්යයෙන් අනූන නාට්‍යයක් සඳහා ආවශ්‍යයික වූ ගුණාංග වන බවයි.

 

One response to “ආකෘතිය හරහා ප්‍රේක්ෂක මනසේ සෞන්දර්ය ජනනය වන ආකාරය ; වේදිකා නාට්‍යය කිහිපයක් ඇසුරින් කෙරෙන සංක්ෂිප්ත විග්‍රහයක්.

  1. dinushika

    April 27, 2013 at 3:16 pm

    godak wedagath una me lipiya mage assigment eka liyanna. thank you so much…
    සිංහලයේ විශිෂ්ට නාට්‍ය නිර්මාණයන් පිලිබදව කල මේ විශ්ලේෂණය ගොඩක් අගය කරනවා

     

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: