RSS

“………..රාග රාගිනී සඳහා අංකුර ප්‍රවේශයක්………….”

13 Dec

මධ්‍ය තැනිතලා බිමේ මෝගල් චිත්‍ර කලාව පදනම්කරගෙන බිහි වූ, නිර්මාණ සහ තේමා අතින් මෝගල් සිතුවම් පවා අභිබවන අනර්ඝ සිතුවම් ශෛලියක් වූ මෙය ප්‍රාදේශීය ජනකලා ආභාසය උත්කර්ශවත් අවස්ථාවකට ලක් කළා වූ සම්ප්‍රදායක් ලෙස පෙන්වා දිය හැකි අතර, රාජස්ථානි සම්ප්‍රදාය එනම් රාජ්පුට් සිතුවම් ලෙස ජනප්‍රිය කලා ආරේ අතුරු ඵලයකි. උක්ත සම්ප්‍රදායේදී ශීල්පීය නෛපුන්‍යය, පරිපූර්ණ කලා හැකියාව නිරූපණය කෙරෙන අවස්ථාවක් ලෙස සංගීත ස්වර රටා දැක්වීමට වර්ණ, හැඩතල සහ නන්විධ කථා පුවත් සුසංයුක්ත කරගත් රාගමාලා සිතුවම් දැක්විය හැකිය. තවද මෙකී සිතුවම් මගින් ප්‍රකාශ වන්නේ රාග ලෙස හිංදු ශාස්ත්‍රීය සංගීතයේ හමුවන එක් අංශයක් සහ සංකලනය වූ ස්වර මාධූර්යයට අනුපූරක වශයෙන් මිනිස් සිතේ ජනනය වූ භාවයන්ගේ වින්දනාත්මක එකමුතුව, චිත්‍ර ශීල්පියා රේකාව, වර්ණ සහ හැඩතල යන ත්‍රිත්වයේ මනා සුසංයෝජනයෙන් දෘශ්‍යමය කාව්‍යක් බවට පත් කළ ආකාරයයි.

මාලා ශ්‍රී රාගිනී (රාජ්පුට් සම්ප්‍රදාය)

ජෙහන්ගීර් රජු මේවා නගරය යටත් කර ගැනීමට වසර අටකට පමණ පෙර එහි නිරිතදිග ප්‍රදේශයේ කුඩා ගමක බිහි වූ මුල්ම රායමාලා චිත්‍රයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

වස්තුවිෂය- අහිමි වූ පෙම්වතෙකු පිළිබඳ ආශාවන්ගෙන් පෙළුණු හැඟීම්බර කාන්තාවකගේ පුවතක්.

සිතුවමේ මධ්‍යයේ එහි ප්‍රධාන තේමාව වූ ආශාවන්ගෙන් පෙළෙන කාන්තාව අතින්ගත් නෙළුමක පෙති කඩා දමමින් සිටින ආකාරය දැක්වේ. ඇගේ සිතේ ගැබ්වූ ශෝකය ඇය නියුතු වී සිටින ක්‍රියාව මගින් තවත් උද්දීපනය කරවයි. ඇගේ පසෙකින් සේවිකාවක් විය හැකි කාන්තාවක් සහ යෙහෙළියක් දැක්වේ. යෙහෙළිය කථා නායිකාව සනසන ආකාරය ඉතා හැඟුම්බර සිතිවිල්ලක් සිතුවමට එක් කරයි. දෙමහල් මන්දිරයේ උඩුමහලේ හිස් ඇඳ මගින් හුවා දැක්වෙනුයේ පෙම්වතාගෙන් වියෝ වූ පෙම්වතියයේ වේදනාබර සිතේ ඇති ශෝකය සහ හිස් බව යැයි කිව හැකිය. සිතුවමේ තේමාව සමග එකී හිස් සයනය මැනවින් ගැලපෙන ලෙස ශීල්පියා සිය නිර්මාණය ඉදිරිපත් කර තිබේ.

තෝඩි රාගිනී (මාල්වා සම්ප්‍රදාය)

ක්‍රි.ව. 1625දී පමණ ඇති වූ මාල්වා සම්ප්‍රදායට අයත් ලක්ෂණ මේ සිතුවමෙන් විදහා දැක්වේ.

වස්තුවිෂය- වැසි සමයේ ස්ත්‍රී ලිංගික රාගයකි.

සිරස් ආකෘතියකට අනුව ඇඳි සිතුවමකි. චිත්තාකර්ශනීය ලෙස නිම වූ අලංකාර ගස් සහඉ සත්ව රූප මැනවින් හසුරුවා ඇත. ගස් ශෛලීගත අයුරින් සිරස් අතට විහිදුවාලන මලින් යුක්තව සරසා ඇති අතර ඒවායේ පත්‍රවලින් නිරූපිත ලාලිත්‍ය ස්වභාවය අඳුරු අහසින් සැරසුණු පරිසරයට අලංකාරයක් ලබා දෙයි. තෝඩිය සිය මිහිරි වීනා වාදනයෙන් මුව පොව්වන් රස ගන්වා ඇති ආකාරය ඉතා දර්ශනීය ලෙස නිමවා ඇති අතරම ගස්වලින් මතු කර ඇති, ඒ මොහොතේත් ඡලනය වන්නාක් සේ පෙනෙන චලිත ස්වභාවයෙන් වීනා වාදනයේ ලාලිත්‍යවත් බව නිරූපණය කර ඇත. කාන්තාවකගේ චිත්ත සන්තානයේ වැසිබර අඳුරු අවස්ථාවක ඇති වන කාන්සිය, පාළුව, තනිකම වැනි වූ චිත්තවේග දැක්වීමට ශිල්පියා ගත් උත්සාහයත්, රාගයේ ස්වර මාධූර්යයෙන් ගස් මලින් බර වී එම මල් පිබිදී එන ලාලිත්‍යයත් මෙම සිතුවමෙන් දර්ශනීය ලෙස නිරූපණය කර ඇත.

වසන්ත් රාග (රාජ්පුට් සම්ප්‍රදාය)

ක්‍රිෂ්ණා වීණා වයද්දී ගෝපිකාවන් තිදෙනෙක් ඔහු වටා නර්තනයේ යෙදෙන ආකාරය මෙහි දක්වා තිබේ. ශවුන් සිව්දෙනම ඉතා අලංකාර විනිවිද පෙනෙන සුළු ඇඳුමින් යුක්තය. ඉන් ගම්‍ය වන්නේ ශිල්පීය නෛපුණ්‍යයයි. පරිසරය ඉතා චමත්කාරජනකය. වසන්තයේ මලින් පිරි ගහකොළවල අසිරියෙන් පරිසරය නැවුම් බවට පත් වී ඇත. සොබාසිරියෙන් සපිරි පරිසරයක වස්දඬු වාදනයට නර්තනයේ යෙදෙන මෙම ගෝපිකාවන් ස්තුවමින් උද්දීපනය කරන හැඟීම් වර්ධනය කරලයි.

භයිරවී රාගිනී (රාජ්පුට් සම්ප්‍රදාය)

වස්තුවිෂය- ශීව ලිංගයට පූජා පවත්වන කාන්තාවක්.

මානෙල් නෙළුම් ආදීවූ මල් පිපුණූ පොකුණක් මධ්‍යෙය් ඇති සුදු පැහැති කුටියක තැන්පත් කළ ශිව ලිංගයකට පූජා පවත්වන කාන්තාවක් සහ ඇගේ සේවිකාව මින් නිරූපිතය. ශීල්පියා විසින් මවන ලද පරිසරයේ සුන්දරත්වය, නිසංසල බව සිතුවම විනිවිද ප්‍රේක්ෂකයා වෙත එන්නා සේය. දිය මත අනේකාකාර වූ ඉරියව් සහිත කොකුන්ගෙන් පරිසරය තව තවත් දර්ශනීයත්වයට පත්වේ. වම්පස කෙළවරේ සේවිකාව දෑතින් මල්දමක් රැගෙන සිටී. නැමදුම් මැදුරේ මුදුනේ ලෙළදෙන සුදු පැහැ කොඩියෙන් ජනිත වන්නේ ශෘන්ත භාවයකි. සිතුවම සඳහා උපයුක්ත කොටගෙන ඇති සුදු පැහැය, තේමාවෙන් කුළුගැන්වෙන ආගමික භක්තිය ඔප්නංවාලයි.

විභාස රාගිනී (මූගල් සම්ප්‍රදාය)

ක්‍රි.ව. 1630දී පමණ නිම වූවකි. ප්‍රසිද්ධ මූගල් පාසලට අයත් සම්ප්‍රදායෙන් නිම වූ මෙය නවදිල්ලි ජාත්ක කෞකුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙහි පෙම්වතුන් යුවලක්  හා සේවිකාවක් නිරූපිතය. පිරිමි රුව අලංකාර ජටාවකින් සරසා තිබේ. ඉදිරිපසින් ආහාරපාන අසුරා ඇති අතර පෙම්වතුන් දෙදෙනා පිළිසඳරක යෙදී සිටියි. වෙනත් රාගමාලා සිතුවම් සමග සන්සන්දනයේදී මෙම සිතුවමේ ඡලනමය ස්වරූපය ඉතා අවම බව දර්ශනය වේ.

විභාස රාගිනී (රාජ්පුට් සම්ප්‍රදාය)

පෙම්වතුන් යුවළක් නිරූපිතය. දුක්බර මෙන්ම යම් ත්‍රාසයක් දනවන සිතුවමක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. මෙහි නිරූපණය  සැලකූ කල්හි, පුරුෂයා විසිව් අසළ ඇති ගසක අත්තක් මත වසා ගී ගයමින් සිටින කුරුල්ලෙකුට විදීමට සැරසෙන ආකාරයකි. එනිසා මෙමගින් යම් ආකාරයක දුක්බර ස්වරූපයක් දැක්වෙන බවද කිව හැකිය. නිරූපිත රූප ද්විත්වයේම දෑස් යොමුවී තිබෙන්නේ ගස මත වසා සිටින කුරුල්ලා වෙතටයි. එමනිසා ප්‍රේක්ෂක දෑසද නිරායාසයෙන්ම එම දෑස් යොමුවූ දිශෘව වෙත යොමු වේ. මෙය සිකුවමක පවතින විශේෂ උපක්‍රමයක් ලෙස දැක්විය හැකිය.

ආසාවරී රාගිනී

රුදුරු සතුන්ගෙන් පිරි වන ගහනයක් දැක්වෙන කලබලකාරී දර්ශනයක් මෙහි නිරූපිතය. සිතුවමේ පහළ ස්තරයේ ගොරවමින් සිටින ව්‍යාග්‍රයන් දෙදෙනා කටින් මත්ස්‍යයින් ඩැහැගෙන සිටී. කලබලයෙන් යුතුව විමසිල්ලෙන් බලා සිටින මොනර රූ හතරක් සිතුවමේ සම්පිණ්ඩණය කර ඇත. මෙහි මධ්‍යයේ ඇඳි පිරිමි රූපය සිය දෑතින්, අසළ ගස් දෙකේ වෙළී සිටින නාගයින් දෙදෙනෙක් බඳ මැදින් අල්ලා සිටී. කලබලයෙන් දුව පනින වඳුරන් දෙදෙනෙක් ගස් මත දක්වා ඇත. කුතුහලය, වීර රසය, භයානක රසය මැනවින් නිරූපණය කරන අගනා නිර්මාණයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. ඒ අනුව රාජ්පුට් ශිල්පියා භාවමය හැඟීම් උද්දීපනයට දැක්වූ සක්‍යතාව සඳහා මෙය මනා නිදර්ශනයකි.

බිලාවල් රාග (රාජ්පුට් සම්ප්‍රදාය)

එකිනෙකා වැළඳගෙන නර්තනයේ යෙදෙන පෙම්වතුන් යුවළක් මෙහි නිරූපිතය. සේවිකාවන් දෙදෙනෙක් මාලයක් සහ බඳුනක් බැගින් දරා සිටී. තවත් කතුන් දෙදෙනෙක් වීනාවක් සහ බෙරයක් වාදනයේ නිරත වේ. එළිමහන් දර්ශනයකි. පසුබිමේ මලින් සහ කුරුල්ලන්ගෙන් සුසැදි ශෛලීගත වූ මනහර දර්ශනයකි. සිතුවමේ තේමාවෙන් නිරූපිත ලාලිත්‍ය ස්වභාවය උක්ත නිරූපණයෙන් මැනවින් විදහා දැක්වේ. මනහර පරිසරයක, දිවා කල ගතකරන තරුණ පෙම්වතුන් යුවළකගේ හදේ මැවෙන සිතිවිළිවල රූපමය පෙළහර ගීතවත් බවකින් යුතුව වර්ණ, රේකා, හැඩතල තුළින් මතුකළ විලාසය ච්ත්‍ර ශිල්පියාගේ සංයමය සහ දක්ෂතාව පිළිබිඹු කරන කැඩපතකි.

මේ ආකාර වූ තවත් රාග රාගිනී සිතුවම් රැසක් රාගමාලා සිතුවම් අතුරින් හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

උදාහරණ ලෙස,

  1. මධුමාධවී රාගිනී

  2. හින්දෝල රාග

  3. පංචම රාග

  4. ලලිත රාග

  5. ගුනකලී රාගිනී

  6. දේවගන්ධාරි රාගිනී

  7. ගන්ධාරි රාගිනී

  8. භාස්කර් රාග

  9. තේලංගි රාගිනී

  10. වසන්ති රාගිනී

  11. වසන්ත රාග

  12. දීපක රාග

  13. කාමෝදි රාගිනී

  14. ගුජරි රාගිනී

  15. කාලිංග රාග

  16. ගම්භීර රාග

  17. කුම්භ රාග

  18. සෝරතී රාගිනී

  19. දේවකාලි රාගිනී

  20. භයිරවී රාගිනී

  21. බාවරී රාගිනී


 

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: