RSS

ගෝත්‍රික කාසි

25 Nov

කාසි නැතහොත් මුදල් යනුවෙන් හඳුන්වන්නේ මානව ඉතිහාසයේ දියුණු ශිෂ්ටාචාර අවධියේදී මිනිසා විසින් තම වාණිජ අරමුණු පහසු සහ ක්‍රමවත් කරගනුවස් භාවිත කරන ලද එක් මාධායකි. විශේෂයෙන්ම මෙහි වැදගත්කම රඳා පැවතියේ වෙළඳාම මතයි. මෙම කාසිවල ආරම්භයේ සිටම එහි අන්තර්ගත විය යුතු වූ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් විය. එසේම එහි වර්ධනයේදීද ඒ සඳහා යම් යම් අංග ඇතුළත් වූ අයුරු දක්නට ලැබේ. මේවා අධ්‍යයනයෙන් කාසි පිළිබඳවද ආර්ථික සහ සංස්කෘතිකමය වටපිටාව පිළිබඳවද නන්විධ සාධක අනාවරණය කර ගැනීමේ හැකියාව පවතී. කාසි පිළිබඳ ඉතිහාසයේ වැදගත් තොරතුරු සනිටුහන් කරන උතුරු ඉන්දීය කාසි වර්ග අතුරින් එකක් ලෙස ගෝත්‍රික කාසි හඳුන්වා දිය හැකිය. ගණ හෙවත් සංඝ ලෙස හඳුන්වනු ලැබූ ගෝත්‍රික පිරිස් පිළිබඳ තොරතුරු ඉන්දීය පුරාවිද්‍යා සහ සාහිත්‍ය මූලාශ්‍ර රැසකින් අනාවරණය වේ. පෙර සිටම මෙලෙස නමි කෙරුණේ විශාල රාජ්‍යයන් ලෙස නොව කුඩා ප්‍රමාණයේ ප්‍රාදේශීය ඒකක පාලනය කරන ලද කුඩා කුඩා පිරිස්ය. බොහොමයක් අධිරාජ්‍යයන්ට පදනම දැමූ රාජවංශද ඇරඹුනේ මුලදී මෙලෙස ගෝත්‍ර වශයෙන් සිට පසුව සිය පාලන තන්ත්‍රය ව්‍යාප්ත කිරීමෙන් බව පලටු වන බහුවිධ මතවාදයන් සහ සාධක ඇත.

කෙසේ වුවත් ගෝත්‍රික කාසි ලෙස හඳුනා ගන්නා උක්ත කාසි විශේෂයෙන් එකී ගෝත්‍ර පිළිබඳව නොයෙක් සාධක අනාවරණය කරයි. එසේම මහා ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණයෙන් පසුව එළඹි උතුරු ඉන්දියාවේ විවිධ ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශීය වංශ පිළිබඳව මෙම කාසිවලින් මතු නොව ශිලා ලිපි මගින්ද පුරාණ ග්‍රන්ථවලින්ද විශ්වාසනීය දත්ත ලැබේ. යම් කිසි පුද්ගලයෙක් කාසි නිකුත් කරන්නේනම්, ඔහු යම් ප්‍රදේශයක ස්වාධීන පාලකයෙක් විය යුතුය. මෙම ගෝත්‍රික කාසිද එසේ ස්වාධීනව ප්‍රෙද්ශ පාලනය කළ ප්‍රාදේශීය නායකයන්ගේ කාසි බව උක්ත සාධකය පදනම් නකරගනිමින් පැවසිය හැකි වැදගත් කරුණකි. තවද මෙකී කාසිවල ගණ ලෙස යොදා ඇති පදයේ වචනාර්ථය “ගෝත්‍ර” වූ බව දැනට පිළිගැනේ. ඒ අනුව ශිලා ලේඛන සහ සාහිත්‍ය මූලාශ්‍රගත වාර්තාවලට අනුව හෙළි වන ගෝත්‍ර විසින් නිකුත් කරන ලද කාසි පිළිබඳ නිරවද්‍ය දත්ත ගණ ලෙස සඳහන් වන මෙම කාසි මගින් හෙළි වන බව පෙනී යයි.

ගෝත්‍රික කාසි විකාශනය

ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව රාජ්‍ය බල වර්ධනයේ විවිධ අවස්ථාවලදී මෙම ගෝත්‍ර ඒවාට මුහුණ දෙමින්, ඒවායේ ගැටුම් හා නිබඳවම ගැටෙමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ තම ගෝත්‍රෙය් අනන්‍යතාව රැකගෙන ආ බවට සාධක හමුවේ. මෙකී ගෝත්‍ර මගින් නිකුත් කළ කාසි ව්‍යාප්තව තිබූ ප්‍රෙද්ශ අනුව ඔවුන්ගේ බල වර්ධනයේ අවස්ථා පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය. එසේම සමහර ගෝත්‍රික කාසි ක්‍රි.පූ. 3-1 පමණ සියවස් දක්වා ඈත යුගයකට අයත් බවට ඒවායේ දැක්වෙන අක්ෂර සාධක සපයයි. මේ අනුව විවිධ ගෝත්‍ර පැවති වකවානු අධ්‍යයනයේදී ඔවුන් විසින් නිකුත් කරනු ලැබූ කාසි ඉවහල් කරගත හැකිය. විශේෂයෙන්ම මෙහිදී උපකාර වන්නේ තිරස් කාලනීර්ණයට අනුව සාපේක්ෂ වශයෙන් සන්සන්දනාත්මකව නීර්ණය කර ඇති, ඒවායේ දැක්වෙන අක්ෂරයි.

තවද ඉංදු ග්‍රීක පාලකයන් අනුව යමින්, පාලකයාගේ නමින් යුතු දේශීය කාසි මුල්ම වරට නිකුත් කරනු ලැබ ඇත්තේ ගෝත්‍රික කාසි මගින් වීමද ඉන්දීය නාණක විද්‍යා ඉතිහාසයේ වැදගත් තැනක් ගන්නා කරුණකි. මින් පෙනීයන තවත් වැදගත් සාධකයක් වන්නේ ඉන්දීය කාසි පිළිබඳ ඉතිහාසයේ මූලික වර්ධනීය අවස්ථාව ගෝත්‍රික කාසි තුළින් විද්‍යමාන වන බවයි. එනම් ස්වදේශීය වශයෙන් පළමුව නිපදවූ

බෙන්ට්බාර්

ඉන්ගොට්

හස් එබූ කාසි

ආදියට අමතරව, කාසි සඳහාම අනන්‍ය වූ විශේෂ ලක්ෂණ සහිත එනම්,

  1. පාලකයාගේ නම දැක්වීම

  2. අච්චුවක් මගින් හෝ වාත්තු කිරීමෙන් කාසි නිපදවීම

වැනි ලක්ෂණ සහිත දේශීය කාසි හමු වන්නේ ගෝත්‍රික කාසි අතරින් වීමයි. ඒ අනුව “පුරාණ” ලෙස හඳුන්වන හස් එබූ කාසිවලට පසුව දේශීය වශයෙන් ඇතිවු කාසි අතර ප්‍රමුඛත්වය ගන්නේ ගෝත්‍රික කාසි බව විචාරක මතයයි. එමෙන්ම මෙය පුරාවිද්‍යා සාධක මත තහවුරු වේ.

කාසි විකාශනය දෙස අවධානය යොමු කරන විට පෙනී යන් තවත් වැදගත් කරුණක් වන්නේ ගෝත්‍රික කාසි අතර හමු වන සංකේත අතරින් බහුතරය හස් එබූ කාසිවල අන්තර්ගත සංකේත ඇසුරින් විකාශනය වූ ඒවා බවයි. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මෙම සංකේත යම් යම් ගෝත්‍රවලට අනන්‍ය අනන්‍ය වූ ඒවාද, එසේ නැතහොත් මංගල සංකේත ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ ව්‍යවහාරයේ පැවති ඒවාද, එසේත් නැත්නම් වෙනයම් සලකුණු විශේෂයක්ද යන්න විමසා බැලීම වැදගත් වේ.

කාසි අනුව ගෝත්‍ර ව්‍යාප්තිය හඳුනා ගැනීම

 

අර්ජුනායන – රාජුපුතානාවේ අග්‍රා හා මථුරා නගරයන්ට නැගෙනහිරින්

මාලව – වත්මන් ජායිපූර් අසල ප්‍රෙද්ශය, රාජුපුතානාව (ක්‍රි.ව. 2-4 සියවස් අතර)

පඤ්චාල – අභිඡත්‍රෙය්, එනම් හිමාල පර්වත ප්‍රාන්තයේ සිට චම්බාල් නදී නිම්නය දක්වා. මිත්‍ර වංශික පාලකයන්ගේ නම් සඳහන් කාසි වේ. තඹ ලෝහයෙන් නිර්මිතය.

කුලුත – කුලුත නිම්නයේ

ඖදුම්බර – වයඹදිග ඉන්දියාව, සත්ලේජ් හා රාවි ගංගා නිම්න අතර තඹ, රිදී, තඹ සහ බිලන් මිශ්‍ර ලෝහ යන මාධ්‍යයන්ගෙන් තැනූ කාසි හමුවේ. පැරණිතම ඒවා වන්නේ ක්‍රි.පූ. 100ට අයත් හතරැස් තඹ කාසියි.

උජ්ජයිනි – මාල්වා ප්‍රදේශයට අයත්ය. තඹයෙන් නිපදවා ඇත. වටකුරු හැඩය ගනී.

එරාන් – මධ්‍ය ප්‍රදේශයට අයත් භිල්සා සිට ඊසාන දිගින් පිහිටා ඇත. විශාල හතරැස් හැඩැති තඹ කාසි වේ.

කෞශාම්බි –  වර්තමාන කෝසාම් ප්‍රදේශයයි. කාසි ලෝකඩ ලෝහයෙන් නිශ්පාදිතය.

තක්ෂිලා – වයඹදිග ඉන්දියාවේ හාරෝ නදී නිම්න ප්‍රදේශයයි. (ක්‍රි.පූ. 2-1 සියවස් අතර) මේවායේ පාලකයන් ගේ නම් බොහොමයක් අන්තර්ගත වේ.

 

වෙනත් ගෝත්‍රික කාසි වර්ග කිහිපයක්

 

පහත දැක්වෙන ගෝත්‍ර අතරින් කිහිපයක් පිළබඳව, බන්දියාවේ බිහි වූ බලවත් රජවරුන් විසින් යටත් කර ගන්නා ලද ප්‍රාදේශීය පාලකයන්ගේ විස්තර දැක්වෙන ඔවුන්ගේ ශීලා ලිපිවලද අන්තර්ගත වේ.

  • අච්‍යුත
  • අල්මෝරා
  • අපරන්ත
  • අයෝධ්‍යා
  • කාච
  • කනෞජ
  • කුණින්ද
  • පූරී
  • රාජන්‍ය
  • සිඛී
  • ත්‍රිගර්ත
  • ත්‍රිපූරි
  • උද්දේහික
  • උජ්ජයිනි
  • උපගොද
  • උපාතික්‍යා
  • වටාශ්වක
  • කෝසල
  • රාජ්ගිරි
  • නර්වාර්
  • පෞරව

කෞශාම්බි වර්ගය

 

හමුවන ප්‍රදේශය – කෝසාම්

ප්‍රදේශයේ පැරණී නම – කෝසම්බි

කාසි සොයා ගනු ලැබූ පුද්ගලයින් – ඇලෙක්සැන්ඩර් කනිංහැම් ඇතුළු පිරිස

කාසි නිශෟපාදිත මාධ්‍යය – ලෝකඩ

කාසිවල ස්වරූපය අනුව නිශ්පාදිත තාක්ෂණය –

  • වාත්තු කිරීම

  • මුද්‍රණය කිරීම

කෞශාම්බි කාසි පිළිබඳ විවිධ මත –

  • මේවා පැරණි වත්ස රජ පෙළපත සමග සබඳතා පවතින තරම් පෞරාණික යුගයකට අයත් බව

  • පාඨ රහිත කාසි ඒවායේ රූප අනුව වර්ග කිහිපයකව අයත් බව

වේදියක් සහ ඡත්‍රයක් සහිත මුද්‍රිත කාසි හමුවන බැවින් කනිංහැම් පවසන්නේ මෙයින් චෛත්‍යයක් නිරූපණය කිරීමක් විය හැකි බව

 

 

Tags: ,

ලිපිය ගැන ඔබේ අදහසට නිදහස......

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: