RSS

Category Archives: පුරාණ ශිෂ්ටාචාර / ancient civilizations

ඊජිප්තු ශිෂ්ටාචාරය 4……………. මස්ටාබා (ආරම්භක පිරමීඩ) සහ මළවුක්ගේ සුරක්ෂිතතාව

පළමු ලිපිය මෙතනින් ගන්න.

දෙවන ලිපිය මෙතනින් ගන්න.

තෙවන ලිපිය මෙතනින් ගන්න.

පිරමීඩයක ආරම්භක අවස්ථාව ලෙස මස්ටාබා නම් ගෘහ නිර්මාණාත්මක අංගය දැක්විය හැකිය. රාජවංශ යුගයේ ආරම්භයේ සිටම කුලීනයන් තම සොහොන් වලවල් ස්වභාවික විපත්වලින් ආරක්ෂා කර ගැනීම උදෙසා  මිණී වල මතුපිටින් ආවරණයක් ඉදිකර තිබෙනු දක්නට ලැබේ.

“මස්ටාබා නමින් හැඳින්වෙන්නේ පැරණි ඊජිප්තියානු සොහොන් ගැබ් වන ගලින් හෝ ගඩොලින් බඳින ලද ආනත බිත්ති සහිත සෘජුකෝණාස්‍රාකාර හැඩය ගත් ගොඩනැගිලි විශේෂයකි. ‘කා’‍ හෙවත්, මියගිය පුද්ගල ආත්මය උදෙසාවත් පිළිවෙත් පැවැත්වීම සඳහාද ඔහුගේ අනුරුව තැන්පත් කර තැබීම සඳහාද මස්ටාබාවෙහි ඇතුළත පිහිටි කුටිය භාවිත කෙරුණි….”   (අලුත්වත්ත, 2007, 38පි)

This slideshow requires JavaScript.

ඉහත දක්වන ලද කුටියේ ස්ථානගතවීම සලකන්නේ නම්, එය පහත පරිදි සවිස්තරාත්මකව දැක්විය හැකිය. මස්ටාබාව ආනත බිත්ති සහිත චතුරස්‍රාකාර හැඩැති ගොඩනැගිලි විශේෂයකි. වහළ ලෙස සැලකෙන තලය, පොළව මටිටමේ ක්ෂේත්‍ර වර්ගඵලයට වඩා අඩු වීම මත මෙම ආනත බිත්ති ඒ සඳහා ලැබී තිබේ. සරල වශයෙන් දක්වන්නේ නම්, එලෙස එකකින් එකක් කුඩා වෙමින් එක මක එක ගොඩ ගැසෙන මස්ටාබා රැසක එකතුවක් ලෙස පිරමීඩය නිර්මාණය වන බව පැවසිය හැකිය. මෙය වඩාත් පැහැදිලි කර ගැනීමට, පිරමීඩ සඳහා දාර යොදා සුමට කර නැති බවත්, ඉහළට යන පඩිපෙළක ආකාරයෙන් ඒවා නිර්මාණය කර ඇති ආකාරයත් අවධානයට ගත යුතුය. උක්ත සාධක මත පෙනී යන්නේ සංකීර්ණ නිර්මාණයක් වන පිරමීඩයේ ආරම්භක අවස්ථාව සරල මටිටමේ පැවති මස්ටාබාව වන බවයි. දෙවනුව, ඉහත විස්කර කළ කුටියේ ස්ථානගත වීම සලකන්නේ නම්, මෙලෙස ඉදි වුණු මස්ටාබා අභ්‍යන්තරයේ භූ ගර්භය තුළට වන පරිදි ඉදි කළ කුඩා කුටීරයක් වේ. මස්ටාබාව අයත් පුද්ගලයාගේ මෘත දේහය තැන්පත් කර ඇත්තේ උක්ත කුටිය තුළයි.

මේ අනුව කිව හැක්කේ  මරණින් මතු දිවියට අවශ්‍ය පරිදි සාධක සූදානම් කර තැබූ සොහොන් ගෙය සහ මෘත දේහය ආරක්ෂා කර තැබීම සඳහා ඔවුන් දැක්වූයේ දැඩි උනන්දුවක් වන බවයි. මෘත ශරීර මෙලෙස සුරක්ෂිත කිරීම පිණිස ඊජිප්තියානුවන් දැක්වූ දැඩි උනන්දුවට හේතු මීළඟට විමසා බැලිය යුතුය. මේ සඳහා ප්‍රධාන ලෙසම බලපෑවේ, මමිය විනාශ වී ගියහොත් අමරණීයත්වය ලබා ගැනීම උදෙසා එය කවර පුද්ගලයාගේදැයි හඳුනා ගැනීමට අපහසු වීම හේතුවෙනි. විශේෂයෙන්ම ඔවුන් විස්වාස කළේ මරණින් පසු එම මියගිය පුද්ගලයා යථා ස්වරූපයෙන්ම සිටියෝතින් රේ දෙවියා හට ඔහුව හෝ ඇයව හඳුනා ගැනීමට පහසු වන බවයි. මින් ඉහත ලිපියේදී “කා” නම් ආත්මය සහ “රේ” දෙවියා අතර දැක්වූ සම්බන්ධතාව මෙහිදී අවධානයට ගත යුතුය. කෙසේ වෙතත් මෙලෙස මස්ටාබා තුළ මමි ආරක්ෂිතව කල් තබා ගැනීම අවශ්‍යයික වූයේ මමිය විනාශ වී ගියහොත් අමරණීයත්වය ලබා ගැනීම උදෙසා මමිය හඳුනා ගැනීම අසීරු වන්නේයැයි ඔවුන් තුළ පැවති විශ්වාසය හේතුවෙනි.

මස්ටාබාවේ භාවිතය පිළිබඳ තව දුරටත් සඳහන් කිරීමට සාධක පවතී. පෙර දැක්වූ පරිදිම මෙහි අවශ්‍යතාව වූයේ මරණන් මතු සැපදායී ලොවක අපේක්ෂාව සපුරා ගැනීමයි. ඒ සඳහා ඔවුන්ගේ විශ්වාසයේ පරිදි, මියගිය පුද්ගලයා භාවිත කළ භාණ්ඩ මිණී පෙට්ටිය තැබූ කාමරයට යාබද කාමරවල තබන ලදී. මේවා අතර ආහාරපානද විය.

  • මිදි යුෂ

  • ආහාර

  • ධාන්‍ය

  • දඩයම් උපකරණ

  • එදිනෙදා භාවිත කළ ඇඳ, පුටු, මේස, පිහි

  • විසිතුරු භාණ්ඩ

  • ප්‍රථිමා

  • රන්, මැණික්

ආදී ද්‍රව්‍ය මේවායේ තැන්පත් කළ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ. එමතුද නොව, එක් මස්ටාබාවක ඔරුවක හැඩැති කුහරයක්ද හමු වීමෙන් ඔවුහු මතු ලෝකයට ප්‍රයෝජන පිණිස තැන්පත් කළ ලී ඔරුවක් එහි තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම මස්ටාබා කුලීන ජනයාගේ නිවාසයන්හි ස්වරූපය ගෙන තිබේ. එනිසා මියගිය පසු එළඹෙන ආත්මයේ වාසස්ථානය ලෙස මෙය සැකසුණු බව පැහැදිලිව පෙනී යයි. ඒ අනුව මස්ටාබා තුළින්, මරණින් මතු නව ජීවිතයක් පැරණි මිසර වැසියා අපේක්ෂා කළේ කෙසේද යන්න මැනවින් නිරූපණය වේ. මිසර වාසීන් මියගිය පුද්ගලයන්ට භාණ්ඩ, ද්‍රව්‍ය ආදිය හරහා වුවද අවහිරයක් නොමැතිව යාමට හැකි බව විශ්වාස කර ඇත. මෙනිසා මස්ටාබාවල ආලින්ද වුව නිර්මාණය කර නැති බව පෙනී යයි.

විශේෂිත සිදුවීමක් වන්නේ ගෘහපතියාගේ මස්ටාබාවට අමතරව වටේ පිහිටි කුඩා සොහොන් තුළ ඔහුගේ සේවකයන්ගේ සිරුරුද තැන්පත්කර තිබීමයි. මෙහිදී පැහැදිලි ලෙසම නිගමනය කළ හැකි වන්නේ “ස්වාමියාගේ මරණයත් සමගම සේවකයින්ටද මරණය” අත් වූ බවයි. හුදෙක් ඔවුන්ගේ විශ්වාසයේ පරිදි මතු දිවියේ සුඛිතවත් බව උදෙසාද තම සේවකයින් ලබා ගැනීම මෙමගින් අරමුණු කළ බව පෙනි යයි. ඒ අනුව පැරණි මිසරය තුළ සාමාන්‍ය ජනයාට තීරණ ගැනීමේ ස්වාධීනත්වයක් තිබුණිද යන කරුණ අතුරු සාධකයක් ලෙස මෙහිදී විමර්ශනයට ලක් කිරීමේ හැකියාව පවතී.

මස්ටාබාවක තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මියගිය තැනැත්තාට සිය ආගමික කටයුතු සිදු කර ගැනීම සඳහා කුඩා පූජා කාමරයක් සහිතව එය ඉදිකර තිබීමයි. මෙම පූජා කාමරයේ එක් බිත්තියක තිබුණු ව්‍යාජ දොරටුවක් යැයි කිව හැකි සිදුරක් වේ. “කා” නම් ආත්මයට සොහොනෙන් පිට වීමට හෝ පැමිණීමට හැකි වන ලෙසින් දමන ලද දොරටුවක් ලෙස මෙය සංකේතවත් වූවා විය හැකිය. මෙම කරුණු අනුව පැහැදිලි ලෙසම පෙනී යන්නේ මියගිය පුද්ගල ආත්මය මෙලොව සිටියදී භුක්ති විඳිනු ලැබූ සියලු සැපසම්පත්, අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන පරිදි මරණින් මතුවද සොහොන් ගෙය තුළ අවශ්‍ය සාධක සපුරා ඇති බවයි.

මීළඟ ලිපියෙන් පිරමීඩ පිළබඳ තොරතුරු බලාපොරොත්තු වන්න.

 

පැරණි ඊජිප්තුව 3……මිසර ශිෂ්ටාචාරයේ ආගම (දෙවිවරු, ඇදහිලි සහ මමි)

මිසර ශිෂ්ටාචාරයේ ආගම

පළමු ලිපිය මෙතනින් ගන්න.

දෙවන ලිපිය මෙතනින් ගන්න.

පෙර ලිපි මගින් පෙන්වා දුන් පරිදි පුරාණ ඊජිප්තුවේ ආගමික සංස්ථාවෙහිද අසහාය නායකයා වූයේ පාරාවෝ රජුය. මිසර වාසීන් දෙවිවරු බොහෝ ගණනක් ඇදහූ බවට සාධක විශාල වශයෙන් ලැබෙන අතර මේ අය අතුරින් බොහොමයකට පාහේ සත්ත්ව මුහුණු ආදේශ කර තිබුණි. (මෙලෙස අර්ධ මානව අර්ධ සත්ත්ව රූප වන්දනය හෝ දේවත්වයෙන් සැලකීම ඊජිප්තියානු මෙන්ම, මිනෝවානු, මයිසීනියානු, ක්‍රීට, ග්‍රීක, මෙසපොතේමියානු සහ ඉන්දුනිම්න ආදීවූ පැරණි ශිෂ්ටාචාර රුසකම පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයකි.) මිසර ශිෂ්ටාචාරයේ ඉතා සුලභව දක්නට ලැබුණු ලක්ෂණයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. එසේම මෙම දෙවිවරු අතර මව, පියා, සහෝදරයන්, දූ දරුවන් ලෙස ඥාති සබඳතාද ලොඩ නැගී තිබිම වෛශේෂික සාධකයකි.

තවද, මරණින් මතු ලෝකය පිළිබඳ සංකල්පයේදී මෙම ආගමික විශ්වාස සේම දෙවිවරුද ප්‍රධාන ලෙසම දායක වූ අංශයක් විය. මීට හේතු වූයේ ඔවුන්ගේ ආගමේ මුඛ්‍ය ලක්ෂණය, “සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසය” විමයි. මෙනිසා පැරණි මිසර ශිෂ්ටාචාරයේ මරණින් මතු ලෝකය පිළිබඳ අදහස් දක්වන කල්හි ඔවුන්ගේ ආගම අමතක කළ නොහැක.

 

මිසර ආගමික විශ්වාසයන්හි මුල් කාලීන එක් වැදගත්කමක් වන්නේ එවක දෙවිවරු අයත් වූයේ රජවරුන්ට පමණක්ය යන සංකල්පයයි. නමුත් පසු කාලීන දෙවිවරු සමාජයේ සියලු දෙනාට පොදු වුහ. මෙම බහුදේවවාදී තආගම තුළ මුලින්ම සතුන්ට දේවත්වය ආරෝපණය කර වන්දනය පැවතුණි. පසුව මිනිස් සිරුර සහ සත්ත්ව හිස සහිත දෙවිවරු ගණනාවක් දක්නට ලැබේ. මේ අතරින් බළලුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තවද බල්ලන්, කිඹුලන්, උරගයන් සහ රාජාලියන් වැනි සතුන්ද දේවත්වයෙන් පුදන්නට ඇති බවට සාධක සුසාන තුළින් ලැබේ. සුරතලයට ඇතිකළ හෝ දේව සංකල්පය ආරෝපණය කර වන්දනයට පාත්‍ර වූ මෙවන් සත්වයින්ගේ මමි බවට පත් කළ සිරුරු පිරමීඩ තුළින් හමුවීම, උක්ත උපකල්පය සාධක සහිතව යම්තාක් දුරකට හෝ ප්‍රත්‍යක්ෂ කරලිමට හේතු වේ. මෙහිදී විමසිය යුතු කරුණ වන්නේ සමාජයේ බහුතර නියෝජනය වූ මනුෂ්‍යයාට වඩා සත්ත්වයන් උසස් කොට සැලකූයේ මන්ද යන්නයි. නමුත් සමස්ථයක් ලෙස ගත් කල්හි මිසරයේ වහල් ශ්‍රමිකයන් හෝ සාමාන්‍ය ජනයා හෝ වේවා ඔවුන්ගේ සමාජ තත්වය ප්‍රභූන් සමග සසඳන කල්හි පැවතුණේ ඉතා පහත් මට්ටමකය. මෙකී සන්දර්භය මත අධික සුඛෝපභෝගී දිවියක් ගත කරන ලද පාරාවෝවරු බහුතර මනුෂ්‍ය ප්‍රජාවට වඩා සුරතලයට ඇති කළ සතුන් කෙරෙහි සුවිශේෂීත්වයක් දැක්වූවා විය හැකි යැයි උපකල්පනය කළ හැකිය. සොබාදහම තුළින්ම සතුන් අතර ඇති කරන ගද විවිධත්වය, මනුෂ්‍යයා අතර පවතින ඒකාකාරී සාම්‍යත්වයට වඩා ඔවුන් දුටු තවත් වෛශේෂික ලක්ෂණයක්ද වූවා විය හැකිය. එකී සාධක මත සතුත් නිතැතින්ම දේවත්වය තෙක් සමාජ පිළිගැනීමකට ලක් වූවායැයි උපකල්පනය කිරිමේ හැකියාව පවතී.

තවද මෙම පැරණි මිසර වැසියන් සිය දේව මණ්ඩලයේ එක් දෙවි කෙනෙකුට වැඩි විශේෂයක් දැක්වූ අතර අනෙක් දෙවිවරු ඔහුගේ දේව මණඩලයේ වැඩ වෙසෙන බවටත් විශ්වාස කළ බවට පවතින ප්‍රබලතම සාධක වන්නේ ඔවුන්ගේ සිතුවම්ය.

පුරාණ මිසර දෙවිවරු

අමන් රේ දෙවියා

මෙලෙස හඳුන්වන්නේ සූර්ය දෙවියායි. මුලින්ම මේ දෙවියා “රේ” පමින් පමණක් හැඳින්වූ අතර පසු කාලීනව “අමන්” යන්නද යෙදි ඇත. මිසර වැසියා විශ්වාස කරන පරිදි පිරමීඩ තුළ “කා” නම් ආත්මයකට රේ දෙවියා වෙත යාමට රහස් මගක් ඉදිකර ඇත. රේ දෙවියා සියලු දෙනා විසින්ම අදහනු ලබන ඉතා වැදගත් මෙන්ම ප්‍රධානම දෙවියායි.

ඔසිරිස් දෙවියා

උසස් පහත් සෑම ඊජිප්තු වැසියෙක්ම මෙම දෙවියා ඇදහීය. ඔසිරිස් දෙවියා පැරණි දේව කථාවන්හි මළවුන් පිළිබඳ විශ්වාසය සහ සම්බන්ධ පුධාන දෙවියායි. එකී හේතුව මතම සෑම ඊජිප්තියානු වැසියෙක්ම මෙම දෙවියාට ප්‍රමුඛතාවක් දුන්නේ ඇයිද යන්න උපකල්පනය කළ හැකි අතර “සදාකාලික පැවැත්ම” කෙරෙහි පැවති ඔවුන්ගේ විශ්වාසය සමග මෙම දෙවියා ඍජුව ආබද්ධ වන අයුරු හඳුනාගත හැකිය. ඔසිරිස් මිය යාමෙන් පසු ඔහු දෙවියන්ගේ රජු බවට පත්වී මියගිය ආත්ම විනිශ්චය කළ බව ජන කතාවන්හි කියැවේ.

“…..ආත්මයේ අමරණීයත්වය පිළීබඳව විශ්වාස කළ ඊජිප්තු වාසීහු පාරාවරුන් රේ දෙවියන්ගෙන් සහ ඔසිරිස් දෙවියන්ගෙන් පැවත එන්නන් බව විශ්වාස කළහ….”   (ඇඳගම, 2003, 23පි)

ඔසිරිස් දෙවියා පාතාල ලෝකයේ අධිපතිකම දරන අතර මළවුන්ගේ විනිශ්චයකරුද විය. මෙම දෙවියා ඇදහිමත් සමග මිසර වැසියෝ

  • මළවුන්ගෙන් නැගිටිම,

  • වළලන ලද මෘත දේහයට ප්‍රාණය ඇතිවීම

ආදිය සිදු වන බව විශ්වාස කිරීමට පෙළඹුණි. මෙනිසා මිසර වාසීන් මියගිය අයගේ සිරුරු “දුරු වර්ග කැවූ ලිනන් රෙදිවලින් සූක්ෂමව ඔතා” දිගු කල් ආරක්ෂා කිරීමටද පෙළඹුණි. තවද මෙනිසාම මියගිය පුද්ගලයාගේ මතු ප්‍රයෝජනය උදෙසා ආහාරපාන ආදියද සොහොන් තුළ තැන්පත් කළහ. එමතුද නොව පණ ඇති සේවකයන් පවා සුසාන තුළ මිය යන තුරු සිර කෙරුණේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

අනුබිස් දෙවියා

මොහුට තිබුණේ හිවල් හිසකි. ඔහු මුලදී පාරාවෝ රජවරුන්ගේ සොහොන් ආරක්ෂා කරන්නෙකු ලෙස පෙනී සිටියේය.

මිසර ආගමික සංකල්පයක් වූයේ මරණාසන්න වූවන්ගේ ආත්මය දෙවියන් ඉදිරියට යවන බවත්, එහිදී අසන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සිදුවන බවත්ය. “මළවුන්ගේ පොත” නම් කෘතිය සකසා තිබුණේ මෙම පැනයන්ට පිළිතුරු දීම සඳහායි. යම් ආත්මයකට මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු දිය නොහැකි වුවහොත් හම ආත්මය අයත් පුද්ගලයා අපායට යන බව ඔවුන්ගේ විශ්වාසය විය.

අනුබිස් දෙවියා, මියගිය පුද්ගලයෙකුගේ හදවතේ බර මනිනු ලබන සිතුවමක් මිසරයෙන් ලැබේ. තරාදියේ එක් පසෙක මියගිය තැනැත්තාගේ හදවතත් අනෙක් පස පිහාටුවකුත් ඇත. යම් හෙයකින් හදවතේ බර වැඩි වූයේ නම් එම පුද්ගලයාට සදාකාලින සැපත අහිමි වී අපාගත වන බව මිසර වාසීහු විශ්වාස කළහ.

මීළග ලිපියෙන් මස්ටාබා හෙවත් මුල් කාලීන සුසාන බලාපොරොත්තු වන්න.

 

පැරණි ඊජිප්තුව 2…………. පාරාවෝ රජවරු

(සංක්ෂිප්ත සටහනක් පමණි) මීට පෙර පලවූ “පැරණි ඊජිප්තුව 1” ලිපිය මෙතැනින්.

රාජ්‍යයේ පමණක් නොව මිසර ආගමික සංස්ථාවේද අසහාය නායකයා වන පුරාණ මිසර රජවරු හඳුන්වන්නේ ෆේරෝ හෙවත් පාරාවෝ නමිනි. ආදි මිසර ජන ජීවිතය මෙන්ම මෙහිදී සාකච්ඡාවට පාදක වන මිසර වැසියා තුළ පැවති මරණින් මතු ලෝකය පිළිබඳ ආකල්පයද ප්‍රධාන වශයෙන්ම ලැබෙනුයේ මෙම රජවරුන් විසින් ඉදි කරනු ලැබූ සුවුශේෂී නිර්මාණයක් වන පිරමීඩ තුළිනි. දැනට හඳුනා ගෙන ඇති පරිදි මෙකී පිරමීඩ ඔවුන් විසින් /බාවිත කරනු ලැබ ඇත්තේ රජවරුන්ගේ සුසාන වශයෙනි.

වංශෘධිපතිවරු, මධ්‍යම පංතියක්න් සහ වහල්ලුන්ගෙන් යුත් පැරණි ඊජිප්තු සමාජයේ පාරාවෝවරු, රදළයින් සහ පූජකවරු හට විශේෂ වරප්‍රසාද හිමි විය. ඒ අනුව අසීමිත බලයකින් යුක්ත වූ පාරාවෝවරු තමන් විසින්ම දේවත්වය ආරෝපණය කොටගෙන සමාජය හමුවේ දෙවිවරු මෙන් පෙනී සිටියහ.මෙම වංශාධිපති කොට්ඨාශය විශාල වතු, අලංකාර මන්දිර, වටිනා ආභරණ, ඇඳුම්, වහලුන් සහ සේවකයන් විශාල වශයෙන් සිය පරිභෝජනය උදෙසා තබා ගනිමින් සමාජයේ වරප්‍රසාද ලත්, බලයෙන් ආඩ්‍ය, ඉතා උසස් තත්වයෙන් වැජඹුණු පිරිසක් බව ඔවුන්ගේ පැපිරස් ලේඛණ සහ දේවස්ථාන, පිරමීඩ ආදියේ ඇඳි සිතුවම්වලින් පැහැදිලි වේ. තත්වාකාරයෙන් නැතත් ආරෝපණය කරගත් බලයේ ස්වභාවය මත ෆේරෝ යනු දිව්‍යමය බලයකින් යුක්ත වූවෙක්ය යන්න මෙම සාධක ඔස්සේ විවරණය වන ඉතිහාසය අනුව පැහැදිලිව පෙනී යයි.

This slideshow requires JavaScript.

මේ හේතුවෙන් සදාකාලික පැවැත්ම ප්‍රධානතම සහ එකම නිර්මාණවාදී සංකල්පය ලෙස විවරණය කරන පැරණි ඊජිප්තියානු ආගමට අනුව කියවෙන්නේ, වංශාධිපතිවරු සිය මරණින් පසුව වුවද තමන් මෙලෙව ගෙවන දිවියේ සුඛෝපභෝගීත්වය අපේක්ෂා කළ යුතු බවයි. උක්ත සංකල්පය, ආගම තුළින් ඔවුන් වෙත කිඳාබස්වන ලද නියතියක්ද වූ බව පැපිරස් ලේඛන සාක්ෂි දරයි. එම හේතුව මත සිය ජීවිත කාලය තුළදීම, තමන් විඳින සුවය මරණින් මතු ලොව වෙත ගෙනයාම සඳහා පාරාවෝ රජවරු කටයුතු කරන ලදී.

  • එය ඔවුන්ගේ ආගම තුළින් විවරණය කෙරුණු ප්‍රධානතම සාධකය වීමත්,

  • සාමාන්‍ය ජනයා අභිබවා ඉතා උසස් සමාජ මට්ටමක් පාලක පක්ෂය සතු 

    කරගෙන තිබීමත්,

  • බලවත්ම වූ සුළුතරයකින් යුත් රදළයින් කෙරෙහි විරුද්ධ වීමට තරම් බලයක් හෝ අයිතියක් බහුතර වහල් ශ්‍රමිකයන්ට නොතිබීමත්,

  • ආගම තුළින් නිරායාසයෙන්ම පාරාවෝවරු දේවත්වයට පත් කර තිබීමත්  

යන සාධක හේතුවෙන් පාලකයින්ට නිරායාසයෙන් සිය අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාව ලැබිණි.

“මිසර චින්තනය ප්‍රධාන වශයෙන්ම යොමු වූයේ මරණයෙන් පසුව ජීවිතය අඛණ්ඩ ලෙස ගෙන යාම කෙරෙහිය. මෙය දිව්‍යමය බලය පහළ වීම නැමති රාජාණ්ඩු සංකල්පය හා සංයෝජනය වීමකි. දේවරාජ ෆේරෝගේ පැවැත්ම මරණයේ ආගමනය සමග නැවතුනේ නැත. සෑම දෙයක්ම ආස්වාදනය කරමින් භූත ආකාරයකින් හිඳිමින් තම පැවැත්මේ ක්‍රියා විලාසය වෙනස් කළා පමණකි…..”     (පොන්නම්පෙරුම, 2002, 10)

තව දුරටත් සඳහන් කරන්නේ නම්, පාරාවෝ රජු පැරණි මිසරයේ රාජ්‍ය නායකයා පමණක් නොව ප්‍රධාන පූජකයා වශයෙන්ද කටයුතු කළ අතර ඔහු දෙවියන්ගෙන් වරම් ලැබූ මෙලොව නියෝජිතවරයා ලෙසද කටයුතු කළේය. මේ හේතුව නිසාම ඔහුගේ යටත් වැසියා ඔහුට දේවත්වය උදෙසා කළ යුතු සියලු පුද සිරිත් ඉටු කළ අතර යටහත් පහත් ලෙස ඔහුගේ අණට කීකරුව සිටියහ.

මෙම ආකල්ප හේතුවෙන්ම මියගිය පාරාවෝවරු යළිත් ප්‍රාණය ලැබ තමන් අතරට පැමිණෙන්නේයැයිමිසර වැසියා විශ්වාස කළෞය. පාරාවෝවරු පිරමීඩ තුළ මතු දිවියට අවශ්‍ය සායලු දෑ අසුරා තැබුවේද මෙසේ නැවත ඉපදීමේ අභාලාසය විශ්වාසය සහ සුඛවිහරණය ලබා ගැනීමේ අවශ්‍යතාව මතයි. මෙම සියලු විශ්වාස හේතුවෙන් මිසර වැසියා පාරාවෝ රජවරුන්ගේ මෘතදේහ දිගුකල් පවතින ලෙස සුරක්ෂිත කර මහා පිරමීඩයන්හි රහස් කුටිවල ආරක්ෂිතව තබා සියලු වතාවත් ඉටු කළහ.

මේ අනුව බලන කල්හි පෙනී යන්නේ මතු ලෝකයක සුඛදායී උපතක අභීලාශයක් පමණක් මිස පාරාවෝ වරුනට මරණය පිළිබඳ බියජනක අඳුරු ආකල්පයක් නොතිබි බවත් මතු දිවියේ සැපතම ප්‍රාර්ථනා කළ බවත්ය.

(මේ පිළිබඳ වැඩි තොරතුරු පසුවට මිසරයේ ආගම යවතේ සාකච්ඡෘවට ලක්වනු ඇත)

 

පැරණි ඊජිප්තුව 1…………. මූලාරම්භය සහ සමාජය

පුරාණ ශිෂ්වාචාර පිළිබඳව ලිවිමට අදහස් කරන ලිපි මාලාවක පළමුවැන්න ලෙස මෙම ලිපියෙන් පූර්වාරම්භයක් සටහන් කරමි.

හැඳින්වීම

පැරණි මිසරයේ ස්ථානගතවීම

ලොව පැවති අග්‍රගන්‍ය පැරණි ශිෂ්ටාචාර අතුරින් එකක් ලෙස නයිල් ගංගා නිම්නය ආශ්‍රිතව බිහිවී වර්ධනය වූ පැරණි මිසරය හඳුන්වා දිය හැකිය. මෙකී ශිෂ්ටාචාරය වඩ වඩාත් ලොව පුරා ප්‍රචලිත වීමට හේතු වූයේ එහි ගුප්තමය ස්වරූපය ඉස්මතු කරන ලද ඔවුන් විසින් නිර්මිත ඉතා පුදුම සහගත නිර්මාණයක් වූ පිරමිඩ හේතුවෙනි. පැරණි මිසරය පිළිබඳව, එනම් එහි ආයතනිකමය අංශයන්හි ඉතිහාසය ගොඩනැගිම කෙරෙහි දායක වන සුවිශේෂී අංගයක් වන්නේද  මෙම පිරමීඩයි.

ඒ හා බැඳුණු ඔවුන්ගේ සමස්ථ ඉතිහාසයම හෙළි කරන සාධක උක්ත පිරමීඩ ඇසුරෙන් අනාවරණය වේ. එහිදී අප අවධානය යොමු වන වැදගත්ම අංගයක් වන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ය. ඔවුන්ගේ ආගමේ ප්‍රධානතම ලක්ෂණය වූයේ සදාකාලික පැවැත්ම පිළිබඳ විශ්වාසයයි. ඒ අනුව මෙම පිරමීඩ මිසර වැසියා තුළ මුල් බැස පැවති මරණින් මතු ලෝකය උදෙසා එහි සාර්ථකත්වය උදෙසා ඉදිකළ දියුණු, සුවිශේෂී, අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස සැලකීමේ හැකියාව තිබේ.

නමුත් මේවා ඇසුරෙන් සාධක ලැබෙන්නේ සමාජයේ එක් සුවිශේෂී පංතියක් පිළිබඳ දත්ත පමණි. මිසරයේ ඈත අතීතයේ පැවති ආගමික විශ්වාස, පුද පූජා, දේව සංකල්ප ආදී වූ බොහෝ දෑ මෙම “මරණින් මතු ලෝකය” නම් සංකල්පය සමග ඉතාම පැහැදිලි ලෙස බැඳී තිබුණු බව මෙම සාධක උපනිශ්‍රයෙන් පිළිබිඹු වේ. තවද මේවායින් බොහෝ දුරට පැහැදිලි වන්නේ ඔවුන් අපේක්ෂා කළ මරණීන් මතු ලෝකය ඉතා සැපවත්, සුඛෝපභෝගී, සහනදායී එකක් වූ බවයි. එකී සදාකාලික සැපත ලබාගැන්ම උදෙසා අතීත මිසර වැසියා සිය මෙලොව ජීවිතය ඉතා ක්‍රමවත් ලෙස, දැහැමිව සහ සාමකාමීව පවත්වාගෙන ගිය අයුරු ඔවුන්ගේ ලිඛිත සටහන් මෙන්ම සිතුවම්, කැටයම් ආදියෙන්ද හෙළිවේ. මේ අනුව බලන කල්හි, මිසර වැසියා සිය ජීවිතය ගොඩනගාගෙන ඇත්තේ සදාකාලික පැවැත්ම සිය ආත්මයට ලබා දීමේ පරම අපේක්ෂාවෙන් බව හඳුන්වා දිය හැකිය.

නමුත් මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණක් ඇත. එනම්, පිරමීඩ හෝ වෙනත් එවන් මිසර ශිෂ්ටාචාරයේ අවශේෂයන් මගින් ගෙනහැර දැක්වෙන්නේ සමස්ථ මිසර වැසියාගේ ජීවන ක්‍රමයම නොවන බවයි. තවත් පැහැදිලි කර දක්වන්නේ නම්, පිරමීඩ හෝ ඊජිප්තුවේ පුරාණ දේවස්ථාන යනු එහි පරිපාලනය මෙහෙයවූ පාලක පංතිය වන පාරාවෝ වරුන්ගේ ඒකාධීපතිත්වය සහ සුඛෝපභෝගී ජීවන පිළිවෙත හෙළිකරලන ප්‍රතිබිම්භයක් වන බවයි. එසේ හෙයින් පිරමීඩ තුළින් හෙළිවන අධික සමෘධිමත් සාධක දුටු පමණින් සමස්ථ මිසර වැසියාම එවන් පසුබිමක් යටතේ සිටියේයැයි පිළිගැනීම යුක්ති යුක්ත නොවේ. මන්ද පුරාණ මිසර කැටයම්, මූර්ති, සිතුවම් හෝ වෙනත් පුරාවිද්‍යාත්මක සාධක වේවා ඒවායින් පිළිබිඹු වන්නේ රාජ්‍ය පාලකයන් වූ පාරාවෝ වරුන්ගේ ජීවිතය වන බැවිණි. උක්ත සාධකය මත මිසර ශිෂ්ටාචාරය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන් පිළිබිඹු වන ලක්ෂණ ව්‍යුක්ත වශයෙන් ගෙන සමස්ථ මිසර වැසියා කෙරෙහිම ආදේශ කළ හැකිද යන කාරණය කෙරෙහි අවධානයෙන් යුතුව මිසර ශිෂ්ටාචාරය අධ්‍යයනය කළ යුතුය.

මිසර ශිෂ්ටාචාරයේ යුග බෙදීම්

හෙරඩෝටස් විසින් මිසරය “නයිල් නදියේ ත්‍යාගයක්” ලෙස හඳුන්වා ඇත. අද්විතීය වූ නයිල් නිමින ශිෂ්ටාචාරය බිහිවන මෙය දීර්ඝ කාලයක් පුරා ක්‍රමික වර්ධනයට ලක්වී අද අප ඉතා විශිෂ්ටත්වයෙහිලා සලකන ශ්‍රේෂ්ට අවධීන් ක්‍රමක්‍රමයෙන් පසු කර ඉතා දියුණු මාවතක ගමන් කර ඇති බව පෙනී යයි.

පැරණි ඊජිප්තුවේ දීර්ඝ ඉතිහාසය ප්‍රධාන යුග තුනකට වර්ගකර දැක්වීමේ හැකියාව පවතී.

            පිරමීඩ අවධිය – පුරාතන රාජධානි යුගය (ක්‍රි.පූ. 3400-2700)

            වැඩවසම් අවධිය – මධ්‍යතන රාජධානි යුගය (ක්‍රි.පූ. 2500-2000)

            අධිරාජ්‍ය අවධිය – නූතන රාජධානි යුගය (ක්‍රි.පූ. 1600-1100)

මිසර වැසියා තුළ පැවති මරණින් මතු ලෝකය පිළිබඳව මෙම යුග බෙදීම් යටතේ දීර්ඝ ලෙස විස්තර කළ හැකි පුරාවිද්‍යා සාධක කැණීම් මගින් ලැබී ඇත. මීට අමතරව මිසරයේ පළමුවන රාජවංශය පිහිටුවීමට පෙර පැවති ප්‍රාග් රාජවංශික යුගය ක්‍රි.පූ. 3200 පමණ දක්වාම පැවති බවට සාධක හමුවී ඇත. මෙම අවධියේ විශේෂත්වය වන්නේ ලෝහ සොයා ගැනීමත්, මෘත දේහ වැළලීම වැනි චාරිත්‍ර තුළින් මෙසමය නව ආරම්භයක් මිසරයට ලබා දීමයි.

බැඩරියන් සමාජයේ අවමංගල චාරිත්‍ර

මිසරයේ ඓතිහාසික යුගයට පෙර පැවති සංස්කෘතික යුග කිහිපයක් පිළිබඳවම මහාචාර්ය ශ්‍රීමත් පෙට්‍රිගේ කැණීම්වලින් හෙළි විය. ඒ අනුව බැඩිරියන් වරුන්ගේ අවමංගල චාරිත්‍ර පිළිබඳවද සොයා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

“ලෝකයේ සෙසු සමකාලීන ශිෂ්ටාචාරවල සිටි සිරිස් මෙන්ම මොවුන්ද මළගිය තැනැත්තා පරිහරණය කළ භාණ්ඩ සහ ආභරණ සොහොනෙහි තැන්පත් කරන ලදී. මළ පුද්ගලයා නැවත උපදින බවට විශ්වාසයක් තිබීම මීට හේතුවයි….” (ඒකනායක, 2006, 9පි.)

මෙම සාධකය අනුව පෙනී යන්නේ මරණින් මතු නැවත ඉපදීමේ සංකල්පයේ ඇරඹුම ප්‍රාග් රාජවංශික යුගය දක්වාම ඈතදී හමුවන්නක් වන බවත්, සුසාන ද්‍රව්‍ය තැන්පත් කරනු ලැබූයේ මියගිය තැනත්තාගේ මරණින් මතු දිවියේ ප්‍රයෝජනය උදෙසා වන බවත්ය. බැඩරියන් වරු සිය සුසාන භූමි පිහිටුවා තිබුණේ ඔවුන්ගේ ගමට නැගෙනහිරින් වන අතර මින් ඔවුන් අදහස් කළේ මියගිය තැනැත්තාට ජීවත් වන්නවුන් හා ඔවුන් අතර සිදු වන දෑ දැනගැනීමට හැකියාව ඇති බව විය හැකිය.

උක්ත නිදර්ශන මත පිහිටා සඳහන් කළ හැකි වන්නේ එතරම් ඈත සමයකදීද මෙහි විසූ ගෝත්‍රික ජනයා මරණින් මතු පවතින ලෝකය දෙස බැලීමේ හා ඒ සමග සම්බන්ධ වීමේ හැකියාව පිළිබඳ විශ්වාස කළ බවත්, මියගිය පුද්ගලයින්ට ජීවත් වන්නවුන් කෙරෙහි බලපෑම් ඇතිකළ හැකි බව විශ්වාස කළ බවත්ය. මෙකී ගෝත්‍රික ජනයා නැතිවී ගියද ඔවුන්ගේ සංස්කෘතියේ යම් යම් අංග පසු කාලීනව මහා සමාජය වෙත සම්ප්‍රේශනය වූ බව පැවසීමට සාධක තිබේ.

ඓතිහාසික අවධිය

hierakonpolis සුසානයේ චිත්‍රය

මිට පූර්වයේ ලිපිවල සඳහන් කළ පරිදි පැහැදිලි ලෙසම ක්‍රි.පූ. 3200ට පමණ පසුව මිසර ශිෂ්ටාචාරයේ රාජවංශ ප්‍රභවය වීම පිළිබඳව සාකච්ඡා කළ හැකිය. මෙසමය වන විට ඔවුන් මරණය සහ මරණින් මතු ලෝකය පිළිබඳව පැවති සංකල්පයන්ගේ වර්ධනය වීමකුත් ඒ හා සමගාමිව සමාජ ජීවිතයේ සිදු වන සුවිශාල වෙනස්වීම් පිළිබඳවත් අවධානය යොමු කළ හැකිය.

ක්‍රි.පූ. 3200දී පමණ ඇඳි සිතුවමක් ඊජිප්තුවේ හයිරොකොන්පොලිස් ප්‍රදේශයේ සොහොන් ගැබකින් හමුවී තිබේ. මෙම සිතුවමේ සුදු පැහැ විශාල ජල යාත්‍රා මගින් නිරූපණය කර ඇත්තේ පසුකාලීනව ඊජිප්තියානු සොහොන් ගැබ්වලින් හමුවන චිත්‍රවල දක්නට ලැබෙන මළවුන්ගේ ආත්මයන් ගමන් ගන්නා යාත්‍රා පිළිබඳ සංකල්පයේ මුල්ම අවස්ථාවක්යැයි අනුමාන කළ හැකිය.මේ අනුවද නිගමනය කළ හැකි වන්නේ මිසරයේ පැවති මරණින් මතු දිවිය පිළිබඳ ආකල්පය හිටි හැටියේ ප්‍රභවය ලද්දක් නොව දීර්ඝ කාලීනව පැවති සංකල්ප අනුව ක්‍රමක්‍රමයෙන් ගොඩනැගුණු විශ්වාසයක් වන බවයි.

ඉදිරි ලිපිවලින්… පාරාවෝ රජවරු, මිසර ශිෂ්ටාචාරයේ ආගම, මස්ටාබා, පිරමීඩ, ශරීරයේ අමරණීයත්වය, ශරීරය ආත්මය සහ සෙවනැල්ල, මිසර සිතුවම්….. පිළිබඳව බලාපොරොත්තු වන්න.

දෙවන ලිපිය මෙතනින් ගන්න.

තුන්වන ලිපිය මෙතනින් ගන්න.

 
 
Follow

Get every new post delivered to your Inbox.

Join 34 other followers

%d bloggers like this: