RSS

Author Archives: සිත්තරී මං

About සිත්තරී මං

සුන්දරත්වයට........... අතීතයට........... කලාවට.......... ආදරය කරන කෙනෙක්........

නවමු ආකාරයේ චිත්‍රපටයක් අද ඔබට ‍ගෙන එමි the japanese wife

චිත්‍රපටය ‍මෙතැනින් ගන්න

 

ඔහු ස්‍‍නේහ‍මෝයි, ඉන්දියානු‍වෙකි. ඇය මියැගි, ජපන් කතකි. ඔව්හු ආදරවන්ත‍යෝ ‍වෙති. නමුදු කිසි දිනෙක එකි‍නෙකා මුන ගැසි නැත. ඔවුන්ගේ ආදරය ගලා යන්නේ ලිපි මගිනි. ඔහු සිය ‍බෙංගාල සංස්කාතිය වචනයක් නෑර ඇයට විස්තර කරයි. ඇයද එසේමය. ඒ අයුරින් ඔවුන් එකිනෙකාගේ හැඟීම් හුවමාරු වේ. චිත්‍රපටය ආරම්භ‍යේදී ඔහු විසින් පැව‍සෙන, ඔහුට ‍තෙවතාවක් මැලේරියාව සෑදී ඇතැයි යන්නත්, නමුත් ඔහු ඉන් මිය නොගි‍යේය යන්නත්, චිත්‍රපටයේ පසු අවස්ථාවන් පිළිබඳ ඉඟි සපයයි.

 

This slideshow requires JavaScript.

ඈ විසින් ඔහුට එවන ලද සරුංගල් පේට්ටිය විවර කරන අවස්ථාව, ඇය‍ගේ ලිපි කියවන අවස්ථා, ඔහු ඇය උදෙසා ඇති කරගන්නා හැඟීම් සමුදායන්, එකිනෙකා නොදුටු මෙම යුවළගේ චිත්තාභ්‍යන්තරය මැනවින් විදහා දක්වයි.

 

ඔහු‍ගේ දිවියේ යම් වෙනසක් ඇති කරලනු වස් නිව‍සේ නවාතැන්ගන්වනු ලබන වැන්දඹුව හේතු‍වෙන් ඔහු‍ගේත්, ඔහු‍ගේ ජපන් ‍පෙම්වතිය‍ගේත් සිත්හි ඇතිවන ‍වෙනස, ඒ සඳහා ඔවුන් ‍දෙ‍දෙනා දක්වන ප්‍රතිචාරයන්, ‍දෙදෙනාට එකි‍නෙකා හමුවී‍මෙහි මතුවන භාධා තුළින් ඉස්මතු වන අනු‍වේදනියත්වය චිත්‍රපටය පුරා ගලා යයි.

 

කෙසේ වුව ඔවුන් විවාහ ‍වේ.. එකි‍නෙකා ‍නොදැකම.. ඔවුන්‍ගේ විවාහය ඔවුන් දෙදෙනා අතර සිදු‍වේ. සමාජය හමු‍වේ එය ම‍නෝ විකාරයක් වුවද, අව‍බෝධයෙන් සිදුවන ඔවුන්ගේ විවාහය තුළ ඔවුන් තෘප්තිමත් බවට පත්වේ. මන්ද විවාහය යනු දෙදෙනෙකුගේ බාහිර ඒකාත්මිකවීමක් ‍නොව, චිත්‍යාභ්‍යන්තර‍යෙන් ඔවුනොවුන් තුළ සිදුවන අවබෝධයක් බව ඔවුන් වටහාගෙන සිටින නියාවෙනි.

 

සිය විවාහය පිළිබදව නැන්දනියට දන්වන අවස්ථා‍වේදී පැහැදිලිව නිරූපණය වන ඉන්දිය සංස්කෘතික ස්වරූපය තුළ ඔහු අතරමං වන ආකාරය, මෙහි මැනවින් රූපණය කර දැක්වේ.

 

දුරකථන සංවාදවලදී වුවද භාෂා උච්චාරන විෂමතාව මත ‍දෙදෙනාට දෙනෙතා ‍තේරුම් ගැනිමට අපහසු වීම ඉතා ‍ඛේදනීය හැඟීම් ජනිත කරවයි. ඇය‍ගේ සැමියා‍ගේ නම රිසිවරය තුළින් උච්චාරණය වන විටද, විවාහ සංවත්සරය උදෙසා ඔහු‍ගේ සුබපැතුම් පිරිනමන විටද ඔවුන් අසරණ වන්‍‍නේ සංස්කෘතීන් ද්වයක් තුළ භාෂා මාධ්‍ය දෙකක් තුළ විෂම වූ උච්චාරණයන් තුළ ඔවුන් හුදෙකලා වන බැවිනි.

 

ඔහු සිටින නිවසේම වාසය කරන වැන්දඹුවගේ ස්වරූපය ‍සෙසු සෑම විසුතරයක් ‍සේම ඔහු ඇයට විස්තර කර යවයි. සැමියා මිය ගිය පසු බිරිඳක් සිටිය යුතු ස්වභාවය එහිදී ඔහු විසින් ඇයට පැව‍සේ. එකී විස්තරය ‍කෙතරම් දුරට චිත්‍රපටය අ‍දෙසා අදාල වන්නේදැයි හැඟී යන්‍නේ ‍මෙහි පසුවට සිදුවන ඉතා සංවේදී අවස්ථානිරූපණයන් ‍දෙස බැලී‍මේදීය.

 

ඇය අසනීප වූ බව දැන ගත් කල්හි ඔහු බෙ‍හෙවින් සිතු තැවුලට පත් ‍වේ. ගුරු වෘති‍යෙන් දිවි ‍ගෙවූ ඔහුට සිය අසනීප බිරිද බැලීම සඳහා ජපානයට යාමට තරම් වත්කමක් නැත. ඔහු ඇ‍ගේ අසනිස‍යේ ස්වභාවය අසා ඇයට සුදුසු ‍බෙහෙත් සිය ප්‍රදේශ‍යෙන් සොයා යැවිමට කරන්නාවු කැපවිම නෙතට කඳුළු නංවයි.

 

අවසාන‍යේ එම කුණාටුව ඇති වේ. හාත්පස කළුකර ‍නොනවතින මහ වරුසා සමගින්… ඇය විසින් එනව ලද ඇයගේ වෛද්‍ය වාර්තා, එම සැඩ කුණාටුව මැදම ඔහු ‍වෛද්‍යවරයෙකු ‍වෙත ගෙන යයි. නමුත් පලක් වන්‍නේ නැත. මන්ද ප්‍රතිකාර කරනු වස් ඇය ඔහු ‍වෙත නැත.

 

කෙ‍සේ වුව අවසාන‍යේ සාර්ථක ලෙස දුරකථන සංවාදයක් ඇති කර ගැනිමට ඔවුනට හැකි වේ. නමුත් ඔවුන් ‍දෙ‍දෙනා සිය හඬ අසා සිටිනා අවසන් අවස්ථාව එය බව දෙදෙනාම ‍නොදැන ඉන්නට ඇත. දෙබ‍සේ ඇති සං‍වේදී වචන හුවමාරුව මත අප හමු‍වේ ගම්‍ය වන්නේ එයයි.

 

එදින රැයේ පෙර අවස්ථාවක දැක්වු ‍රෝගය නැවත ඔහු කරා ලං‍වේ. තෙවරක්ම වැළඳුනද, එහු මරණය ‍වෙත ලං නොකළ එම රෝගයෙන් සිවුවන වරටද ඔහු ඔත්පල ‍වේ. ඔහු අසල නිතර ඔහු‍ගේ අවතැන් සඳහා ගැවසෙන, එම නිවසේ වාසය කරන වැන්දඹු කතද ප්‍රේක්ෂක මන‍සේ ඇති කරන සංවේදීතාවය වදනට ‍නොනැගිය හැකි තරම්ය.

 

කෙ‍සේ වුව අවසාන‍යේ ඔහු…. ඔහුගේ නැන්දනිය, හිස් වූ ඔහු‍ගේ සයනය වෙත වැදි කදුළු සලයි.

 

සුදු සාරි‍යෙනුත්, මුඩු කරන ලද හිසෙනුත් යුතුව, ඔහුගේ ජපන් බිරිඳ ඔහු‍ගේ නිවස වෙත පැමිණේ.

 

චිත්‍රපටය ‍මෙතැනින් ගන්න

 

 

 

 
14 Comments

Posted by on September 1, 2012 in films

 

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප) 02

02. බෞද්ධ දේශපාලන සංස්ධාව ලද බ්‍රාහ්මණික බලපෑම.

 (පූර්ව ලිපිය මෙතැනින්)

සිදුහත් කුමරා ජන්ම ලාභය ලැබූයේ ක්ෂත්‍රිය කුලයේයි. තවද තත්කාලින සමාජ සම්ප්‍රදායට අනුව ඔහු ලද අධ්‍යාපනයේ පදනම දැමුණේ මතු රාජ්‍යත්වය අපේක්ෂිත රජ කුමරෙකුට උචිත අයුරින් බව පශ්චාත්කාලින සාහිත්‍ය විමර්ශනයෙන් උපකල්පනය කළ හැකිය. තවද එම ක්‍රි. පු. හය වන සියවස යනු බ්‍රාහ්මණික බල වර්ධනයේ උච්චතම අවස්ථාවක් බව පිළිගැනෙන සාධකයකි. බුද්ධත්වය හෝ බුද්ධ භාෂිතය පිළිබඳ ප්‍රචලිතතාවක් නොතිබුණු උක්ත යුගයේ,

  • රාජ්‍ය අනුශාසක ධූරය

  • අධ්‍යාපනික කාර්යය භාරය

  • ආගමික අංශය

ආදී වූ කාර්යයාංශ රැසක්ම පැවතුණේ බ්‍රාහ්මණයන් යටතේ බන පෙනි යයි. එසේ හෙයින් සිදුහත් කුමරු ලද මුලික අධ්‍යාපනය සැලකූ කල්හි එය තත්කාලිනව පැවති සාම්ප්‍රදායික රටාවට අනුකූල වන්නට ඇති බව සිතිය හැකිය. බෞද්ධ දේශපාලන සංකල්පයන්ට යම් තරමකින් හෝ බ්‍රාහ්මණික ආභාසය ලැබුණිද යන්න මෙනිසා අවධාරණය කළ යුතුය. ශ්‍රාස්ත්‍ර මෙන්ම, ශිල්ප යටතේ හැඩගැසුන එකී අධ්‍යාපන ක්‍රමය යටතේ ශාස්ත්‍රාවබෝධයෙන් පුළුල් වූද ධනු ශිල්පය, දුණු ශිල්පය ආදී කාය ශක්තිය පිළිබිඹු කරන අධ්‍යාපන ක්‍රමයක පුර්ණ අවබෝධයකින් යුක්ත වූද අධ්‍යාපනයකින් ක්ෂත්‍රියයන් සුසංයුක්ත කිරිම අනිවාර්ය අංගයක් වු බව පෙනේ. සිදුහත් කුමරා පැවිදි පදවියට ඇතුළත්විම වලක්වනු වස් ක්ෂත්‍රිය කුමරෙකුට ඖචිත්‍ය වූ අධ්‍යාපනයක් ඔහුට ලබා දිමට සුද්දෝධන රජු අනුගමනය කළ ක්‍රියා කලාපය පිළිබඳ බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍රයන්හි සාධක පරිශීලනයේදී කුමරු ලද අධ්‍යාපනය මුළුමනින්ම රාජ්‍ය පාලන තන්ත්‍රය පිළිබඳ වූවක් බව උපකල්පනය කළ හැකිය. ඒ අනුව සිදුහත් කුමරු තත්කාලීනව පැවති බ්‍රාහ්මණික දේශපාලන සංකල්පය පිළිබ පූර්ණ අවබෝධයකින් යුක්ත වන්නට ඇති අතර ඒ කෙරෙහි වූ මනා පරිකල්පනයකින්ද සමන්විත වන්නට ඇත. මෙකී සාධක පදනම් කර ගනිමින් උක්ත බ්‍රාහ්මණික දේශපාලන සංකල්ප,

  • බුද්ධත්වයෙන් පසු තම භාශිතයන් තුළට අන්තර්ගත කළේද?

  • එය පුර්ණ වශයෙන් එතුමන් තම දේශනාවන්ට ඇතුළත් කරන ලද්දේද?

  • නැතිනම් ඒ කවර ප්‍රමාණයකින්ද?

  • එසේත් නොමැතිනම් කිසිදු ලෙසකින් බ්‍රාහ්මණික ඉගැන්වීම් තම දර්ශනය උදෙසා පාදක කොට නොගත්තේද?

යන්න මෙහිදී අධ්‍යයනය කළ යුතුය.

 

බී. ආර්. අම්බෙඩ්කාර් සිය ‘පැරණි ඉන්දියාවේ විප්ලවය සහ ප්‍රති විප්ලවය‘ නම් කාතියෙන් විවරණය කරනුයේ ඉන්දියාවේ ඉතිහාසය යනු බුදුදහම සහ බමුණු දහම අතර පැවතියා වූ බලවත් විසංවාදයක් බවයි. (www.lakehouse.lk/budusarana/2008/12/12 ). බ්‍රාහ්මණික සාහිත්‍යෙය් සැම අවස්ථාවකම පාහේ සඳහන් වන්නේ පරමෝදාර රාජ්‍ය පාලකයෙකුගේ භූමිකාව වර්ණාශ්‍රම ධර්ම ආරක්ෂා කිරිම වන බවයි. නමුත් වර්ණාශ්‍රම ධර්ම මත පිහිටා කටයුතු නොකරන බෞද්ධ සම්ප්‍රදාය මෙහිදී විවරණය කිරිම වැදගත් වේ. බ්‍රාහ්මණ දේශපාලන චින්තනයට අනුව රාජ්‍ය පාලනයේ උපයුක්ත වූ ‘දණ්ඩ‘ සංකල්පය වෙනුවට බෞද්ධ ච්න්තනයේ ‘ධම්ම‘ සංකල්පයට ප්‍රමුඛස්ථානයක් හිමි විය (ධම්මතිලක 2003; 61). එමගින් ගම්‍ය වන්නේ බෞද්ධ චින්තනයට අනුව රටවැසියා රජුට අවනත වුයේ දණ්ඩනයට බියෙන් නොව සාධාරණත්වය, යුක්තිය, සාමය අපේක්ෂාවෙන් වන බවයි. බුදු දහමට අනුව ‘රජ‘ යනු චක්‍රවර්ති පාලකයෙකි. බෞද්ධ සංකල්පයට අනුවරජ තෙමේ තමා සදාචාරසම්පන්න විය යුතු වූ අතර එය චක්කවත්ති සිහනාද සූත්‍රයේ මැනවින් විස්තර කර දක්වයි. තවද දත්ෂිණ ඉන්දිය ද්‍රවිඩ සාහිත්‍යෙය් එන සිලප්පදිකාරම් මහා කාව්‍ය ලියා ඇත්තේ බෞද්ධ සහ ජෛන බලපැම යටතේ වන අතර එහිදී මධුරාපුරය ගින්නෙන් විනාශ විමටත්, රජු සිය පණ හානි කර ගැනිමටත් හේතුව රජුගේ අධාර්මිශ්ටත්වය බව අවධාරණය කර ඇත. රාජ්‍යය සදාචාර සම්පන්න පාලනයෙන් මිදිමේ ප්‍රතිඵලය මත හය අස්ථාවර ත්තවයකට නැඹුරු විමේ සම්භාවිතාව වැඩි බව බුද්ධ දේශනාවේ දැක්වේ. ඒ අනුව ගම්‍ය වන්නේ බ්‍රාහ්මණික වර්ණාශ්‍රම ධර්ම අභිබවා ගිය ගැඹුරු දර්ශනයක් මත පදනම්ව බෞද්ධ දේශපාලන න්‍යාය සකස් වූ බවයි.

 

තවද බෞද්ධ දේශපාලන න්‍යායේදී මුලික වැදගත්කමක් දක්වන ධම්ම සංකල්පය අර්ථ දැක්විමේදී එය ආගමික චාරිත්‍ර වාරිත්‍ර, ධර්මිෂ්ඨ බව, යුක්තිය, නිතියට අනුගත වීම, සමාජ නියාමයන්ට කිකරු විම ආදිය එයට අන්තර්ගත වන බව පැවසිය හැකිය. ඍග් වේදයේ සඳහන් ‘ඍත‘ සංකල්පයේ පශ්චාත්කාලීන වෙනස් විමක් ලෙස බෞද්ධ දර්ෂනය තුළ ”ධම්ම” සංකල්පය හඳුනා ගත හැකි බව මතයකි (එම, 02). එමතුද නොව, මෙකි ධම්ම සංකල්පය සමාජ, සංස්කෘතික, දේශපාලනික, ආර්ථික යනාදී චතුර්විධ ආයතනයන් උදෙසාම පොදු වු සාධකයක් බව වැඩිදුරටත් සදහන් කිරීමේ හැකියාව ලැබේ.

 

කෙසේ වෙතත් බුදුරදුන්ගේ ඉගැන්විම් පශ්චාත්කාලීන වන විට සමාජයට අචිත පරිදි, සමාජඅවශ්‍යතාවයන්ට සුදුසු පරිදි හැඩගැන්වුණු බව සඳහන් කළ හැකි අතර එකී සාධකය ගම්‍ය වන නිදර්ශනයක් වන්නේ බෞද්ධ අධ්‍යාපන ආයතනයන්හි වර්ධනයට සමගාමිව අධ්‍යාපනික ක්ෂේත්‍ර තුළ ‘ව්‍යවහාර’ එනම්, නිතිය විෂයක් ලෙස හැදෑරීමේ අවකාශය ලැබුණු සාධක ලැබිමයි. හුදෙක් මෙය නාලන්දාවේ ‘ලෞකික විෂය අධ්‍යයන විෂය ධාරාව’ යටතේ හදාරනු ලැබු බව දැක්වේ (www.dahamsayura.org). නමුත් මෙහිදී අවධානය යොමු කළ යුත්තේ එකී විෂය අධ්‍යයනය විවෘත වූයේ ගිහි හෝ පැවිදි ශිෂ්‍ය පිරිස් දෙකොට්ඨාසයටමද එසේ නොමැති නම් ගිහි ශිෂ්‍යයන් හට පමණක්ද යන්න පිළිබදවයි.

 

මේ පිළිබඳව තව දුරටත් විග්‍රහ කරන්නේ නම්, බෞද්ධ විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබූ පසු කාලීන යුගය වන විට දේශපාලන ක්ෂේත්‍රය උදෙසා බෞද්ධ භික්ෂූ මැදිහත්වීම පැහැදිලිව දක්නට ලැබෙන හෙයින් උක්ත විෂය, විශ්වවිද්‍යාලයීය සිසුන් පොදුවේ හදාරන්නට ඇති බවද උපකල්පනය කළ හැකිය. එමතුද නොව, එකම භූගෝලිය ප්‍රදේශයක සමකාලිනව පැවති විශම සංස්කෘතීන් අතර ස්වභාවිකව සිදුවන සංස්කෘතික විසරණ ක්‍රියාවලිය (කරුණාරත්න, ACL 303; 2010) හේතුවෙන් බ්‍රාහ්මණ පුජකයින් සේම බෞද්ධ භික්ෂූන්ද රාජ්‍ය පාලන තන්ත්‍රෙය්දී අනුශාසකත්වය මගින් පරිපාලන අංශයට යම් ආකාරයක දායකත්වයක් දැක්වු බවට සාධක ලැබෙන හෙයින් ව්‍යවහාර විද්‍යාව පිළිබඳව ඔවුන්ද යම් පරිචයක් ලද යුතු වු බව පෙනි යයි. මෙම උපකල්පිත ධාරිතාව පදනම් කර ගනිමින් උක්ත විශ්වවිද්‍යාලයන්හි බෞද්ධ භික්ෂූන්ද නිතිය හදාරන්නට ඇතැයි කිව හැකි වුවද, මෙය නිවැරදි යැයි නිත්‍ය ලෙසම දැක්විය නොහැක. මන්ද යත් ඒ පිළිබඳ මුලාශ්‍රගත සාධක නොලැබෙන හෙයිනි.

 

එසේම ලංකාව උදාහරණයට ගැනීමේදී අද දක්වාත් පාලකයා ඇතැම් අවස්ථාවන්හිදී සංඝයා වහන්සේ හමුවී රාජ්‍ය කටයුත් පිළිබඳව සාකච්ඡා කරනු දක්නට ලැබේ. මෙකි වාතාවරණය අධ්‍යතන සමාජයට වඩා ප්‍රබලව අතිතයේදී පැවති බව වංශකථා සාධක පදනම් කරගනිමින් පැවසිමේ හැකියාව ඇත. ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ මුල්ම විකාශන අවස්ථාව දෙස අවධානය යොමු කිරිමේදී දේවානම්පියතිස්ස රජුගේ දෙවන අභිශේකයේදිත්, පසුව සිදුවු රාජ්‍ය පාලන කටයුතු වලදිත් මූලිකත්වය ගනු ලැබුයේ මිහිදු මහ රහතන් වහන්සේ විසින් වන බවට සාධක ලැබේ. බ්‍රාහ්මණ ධර්මයන් අනුව රාජ්‍ය පාලනයේදී අර්ධයෙන් ධර්මයෙන් රජුට උපදෙස් දෙමින් බ්‍රාහ්මණික පුජකයන්ගෙන් වූ මෙහෙය බෞද්ධ පසුබිම තුළ ඉටු කෙරුණේ බෞද්ධ භික්ෂුවගේ මැදිහත්විමෙන් වන බවට මේ අනුව විද්‍යමාන වේ.  භික්ෂුව, රාජ්‍ය පාලනයේ කේන්ද්‍රස්ථානය වෙත මෙසේ සමිපස්ථ වුයේ මන්ද යන කරුණ අධ්‍යයනයේදී එළඹිය හැකි නිගමනය වන්නේ සමාජ පාලනයේ ප්‍රධාන කේන්ද්‍රය වන්නේ රජු වීමත්, පාලකයාගේ දැහැමි බව තුළින් සමාජයේ ධාර්මිකත්වය ආරක්ෂා කිරීම මෙහිදී මුඛ්‍ය පරමාර්ථය වන්නට ඇති බවත්ය.

 

(ඉදිරි ලිපියෙන්, රාජ්‍ය පාලනය උදෙසා රජවරු ලද බෞද්ධාගමික බලපෑම බලාපොරොත්තු වන්න)

 

මතක පොතේ අගුළු හරිමි

නැගේ මසිතට
දහස් දහස් වර
නුඹේ තෙළි තුඩ
රුගුම් පානා
ගලා ගලා යයි 
ලලිත රිද්මය
රිදි තුඩ අග
කෝළ පාලා
රැගුම වූවත්
නිසල දැහැනකි

සිත් සතන් තුළ
බවුන් වඩනා

 

මෙයයි ඔහු, ඔහු සිතේ මා පිළිබද උපන් හැඟීම පළමු වරට වදනට නතු කළ ආකාරය. එතැන් සිට ඔහු මා උදෙසා කවි හතලිස් එකක් ලියා ඇති බව මම දැනගත්තේ ඒ සියල්ල පිළිස්සීමට පළමුව කළ ගණන් කිරීමේදීයි. එයට තව කවියක් එකතු විය යුතුයි. ඒ ඔහුව මම සදහටම අත් හැර ගොස් මාස ගණනකට පසුව ඔහු මගේ ජංගම දුරකතනයට එවා තිබු දිගම දිග කවිය… මට එය හැඟුනේ හුදු යාං හෑල්ලක් ලෙස පමණක් වීම ගැන මම සතුටු වෙනවා. මන්ද, මම ඒ කෙරෙහි නැවත සංවේදී වුනානම් ජීවිතේ තෙවන වරටත් ඔහු වෙනුවෙන් ගින්දරට පැන පිළිස්සී පිළිස්සී සිටීමටත්, ඕජස් වෑහෙන හිතේ තුවාළ වලට ඔහුට දෝෂාරෝපණය කරන්නත් සිදු වෙන්න තිබුණා. ඔහු මවෙත ලියූ සැම කවියක්ම, කෙටි පණිවුඩ ලෙස සටහන් කර එවූ ඔහුගේ නිර්මාණ සියල්ලක්ම මම එකෙණෙහිම පොතක ලියා සටහන් තැබීම් සිදු කර නැවත නැවත, ඔහු කෙරෙහි උපන් ආදරණීය හැඟීම් සමග ඒකාත්මික වී එම නිර්මාණ රසවින්දනය කළ කාලයක් තිබුණා. ඒත්…. එක දවසක් ඒ පොතේ පිටු ඇඹරි ඇඹරී, දඟල දඟලා නැගෙන ගින්දර සමග සෙල්ලම් කළ දවසේ ඔහු කෙරෙහි මගේ හිතේ තිබුණ හැම ආකාරයකම හැඟීම් ඒ ගින්නත් එක්ක අළු වෙලා යන්න ඉඩ දීල මම බලන් හිටියා… කඳුලකුත් නොසලම…

 

කවි… කවි… කවි…. ජීවිතේ අන්ධකාදෙකට ඇදගෙන ගියා කියන්න බැ ඒ කවි. මම විහින් ඒ පාරෙ ගියා මිසක…. ආපසු හැරී බලද්දි තේරෙනව මමත් සෑහෙන්න වැරදි බව. ඔහු සිටි ගමත්, මා සිටි නගරයත් අතර දුර පැය හතකටත් වැඩි වුණා. මුලදි ඔහු මා හමුවන්නට එන දිනවලදි මමත් ඔහු සමගින් අවදි වුණේ මම ඔහුව අවදි කරවූ නිසා. කොහොම නමුත් ඊට පෙර දින රැයේ නම් මට නින්ද නොගිය තරම්… ඔරලෝසුව පාන්දර තුන කියාගෙන කෑ ගහන්න ගත් හැටියෙම මම කළේ ඔහුගේ ජංගම දුරකතනය හඬවාපු එක… නින්දක් නැතත්, තවත් පැය දෙකක් එහෙට මෙහෙට වෙවී සිතිවිල්ලේම හිත පුරවා යහන්ගත වි සිටිය මම පසුව ඔහු වෙනුවෙන්ම සෑදෙන ආහාර වේල හදන්නට පටන් ගන්නවා.. බොහෝ විට එහි තිබුණේ ඔහුගේ ප්‍රියතම ආකාරයට හැදෙන පරිප්පු, සම්බල්, සෝයාමීට් සමග තව යමක්.. ඒ කෑම වේල මම රස කළේ ඔහු වෙනුවෙන්ම උපන් ආදරයෙන් සහ ලෙන්ගතුකමින් බව ඔහු දැන සිටියාද කියන්න මම දන්නෙ නැහැ.. නමුත් මම උයා දෙන දෙයට අමතරව තව යමක් කඩයෙන් ගනිද්දී මට එහු කෙරෙහි ඇතිවූ කෝපය පාලනක කරන්නට බැරි තරම් වුණා. මට උවමනා වුනේ මම උයන දේ විතරක්ම ඔහු කනව බලා සිට සතුටු වෙන එකයි.. බොහෝ විට ඔහු එක දෙයක් සමග පමණක් කෑවා.. සමහරවිට ඒ ඔහු කන විදිහ වෙන්න ඇති. නමුත් මට වුවමනා වුණා ඔහු ලස්සනට පිළිවෙලට කනවා දකින්න. ඇතැම් විට බත් ඇටයක් ඔහුගේ තොලග රැඳී තිබෙන විට, ඔහුගේ නොසැලකිල්ල නිසා මම වෙව්ලුම් ගන්න තරම් කෝප වුණා. ඒ වගේ දවසක, මම සාදාගෙන ගිය නයි මිරිස් බැදුමක් ඔහු අතවත් නොතියා පැත්තක තියා තියෙන විට මම ඔහුට බැන වැදුණා. ඔහු එකවර ඒ නයි මිරිස් අහුරම බත් කටක් සමගින් කටේ දාගන්නව දැකලා මගේ නපුරුකම ගැන මට ලැජ්ජා හිතුණ වගේම ඔහුගේ කඳුළු පනින ඇස් දැකල මම මටම දෝශාරෝපණය කරගත්තා…

 

මාසයකට වරක් ඔහු එන පෙරමග බලා ඉන්න මට හරිම අසීරු වුණා. ඒ ඔහු එන තෙක් කාලය ගෙවා දමන්නේ කෙසේද කියා නොතේරෙන බැවින්.. ඔහු හා මා හමුවන දිනයට දින කිහිපයක සිටම මම ගත කළේ කියා ගත නොහැකි අසහනයකින්.. ගෙවෙන තත්පරයත් දැනෙන්නෙ කල්පයක් වගෙයි. අඳින ඇඳුම කුමක්දැයි නිගමනය කරන්නට මම දින ගණන් ගත කළා.. ඒත් ඔහුට මා වෙත තිබූ ආතතියෙන් සීයෙන් පංගුවක් හෝ නොතිබුණු බව මම දැනන් හිටියා. ඔහුට මා හමුවට ඒම ඉතා වෙහෙසකර ගමනක් වුණා. ඒ බස් ගණනාවක දුහුවිල්ල කාගෙන බස් පොලු වල එල්ලී ආයුතු දුශ්කරක්‍රියාවක් හේතුවෙන්.. පහු වන්නට වන්නට ඔහු නිරන්තරයෙන් මාව බොරුවෙන් වැහුවා. ඇතැම් දිනයක ඔහු එන්නේ යැයි පවසන හෙයින් මම ඔහු එන තෙක් බලා සිටියා.. දෑස් රිදෙන තුරු.. කදුළු මතුවන තුරු… හිත හෙම්බත් වන තුරු… මගේ වදය නිසාමදෝ අක්‍රිය කර තිබූ ඔහුගේ ජංගම දුරකතනය තුළින් කෑ ගසන සිම්පත අයත් සමාගමේ ගැහැණිය මා ළඟ සිටියේ නම් ඇගේ හක්ක පැන ලේ එන තුරු ඇයට ගැසීමේ තරම් සිතක් මා තුළ පහළ වුණා. පැය ගණනාවක බලාපොරොත්තු කඩමින් හිටිහැටියේ ඔහු ඇමතුමක් දී කීව අද නේන බවත්, වැඩක් වැටී ඇති බව හෝ බස් රථයක් නැති බව හෝ වෙනයම් හේතුවක්.. එවන් දිනෙක පාන්දර හතරේ සිට සවස තුන වන තුරුත් ඔහුගෙන් ඇමතුමක් නොමැතිව බලා සිට, දරන්නම බැරි වූ තැන මම මහ හයියෙන් හඬා වැටුණා.. මගේ යෙහෙළියන් නිරන්තරයෙන් මා අස්වසන්නට සිටියත්, මා අස්වැසිය යුතු පුද්ගලයා මාස දෙකකට වතාවක් හෝ මා හමුවේ නොසිටීමේ අඩුව මකාලන්නට මගේ ආදරණිය යෙහෙළියන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

 

ඔහු මා මනස ඇවුරූ අවස්ථා සිය දහසක් ඇතත් අමතක කර ඇති යටගියාව දැනට මා සිතට නොනැගෙනා තරමින් දුරස්තයි. එවන් එක් දිනෙක ඔහු එන තෙක් පැය දෙකකුත් විනාඩි ගණනක් මම නගරයේ ඔහු උදෙසා බලා සිටියා.. ඔහු පැවසූ විනාඩි පහ, පැය දෙකක් තරම් දිගු වෙද්දී මා සිටි බස් නැවතුම වටේ සිටි සළෙලුන්ගේ උකුසු ඇස් වල ග්‍රහනයට මා නතු වෙද්දී ඔහුගේ අක්‍රමවත් බව, බොරුව හමුවේ තව තවත් මා තුළ ඔහු රෝපණය කළ සැපින්න පෙනය පුප්පා නැගී සිටියා.. අවසන සියලු සබඳතා කෙළවර කරමියි සිතා මගේ ජංගමයාද අක්‍රිය කර යාමට සැරසෙද්දී ඔහු මා අභිමුව මා දැක්කා.. නමුත්.. අවාසනාවක… කරුමයක… පවුකාරකමක… අරුමය,,,,,, පැමිණ විනාඩි දහයකින් ඔහු වෙනයම් අයෙකු හමුවීමට යා යුතුයැයි කියා මගෙන් සමු ගත්තා… අහෝ දෙවියනි,,, ගෙවා නිම කළ නොහෙන මාගේ මේ අනන්ත පව කුමක්ද….. දින හැට එකකට අධික ආදරණීය හමුව වචනෙන් කිව නොහෙන ඛේදාන්තයක් වුණා.

 

මා වෙත ඔහුගේ ආදරය ප්‍රකාශිත කවෙහි සිටි සඳෙහි සාවිය වූ මම, ඔහු විසින්ම නරා වලකට ඇද දැමුණා. ඇතැම් විට එක දිගට දින තුන හතරක් වන තෙක්ම අක්‍රිය කර තිබූ ඔහුගේ ජංගම දුරකථනය නිසා මම තත්පරයක් ගෙවාගන්නට විදිහක් සොයමින් දුකේ, තනිකමේ ප්‍රපාතයට කිඳා බැස්සා. යෙහෙළියන්ගේ ආදරනීය සැමරුම් සවන වන් විට මගේ අභාග්‍ය සම්පන්න ඉරණම සහ එහි අදුරු ආගාධය දැක දැක හුල්ලමින් පෙරළූ පාඩම් පොත් අතර ඉබාගාතේ ඇස් යැව්වා.

 

ඔහුගෙන් ඈත් වන්නට කියා මසිත මුරගා යැදි සෑම අවස්ථාවකම, මවත් පියාත් තොමැති ඔහු, මවිසින්ද අත් හරිනු ලැබුවහොත් තනිවන ඔහු ගැන සිතා මගේ තනිකමේ වේදනාව මම උහුල ගත්තා. මම කරන්නේ කුමක්ද, ඉන්නේ කොහිද, කැවේද, බිවේද… කිසිදු විමසිල්ලක් ඔහුගෙන් නොලැබෙන විට මම එහුට බැන වැදුණා. ඔහු මට ආදරේ නොකරන බව පුන පුනා කියමින්, විටෙක් කදුලෙන්ද, විටෙක ආදරය අතුරා යන වදනින්ද, තවත් විටෙක පරුශ වදනින්ද ආයාචනා කළා සහ බැන වැදුණා.

 

ඔහුගේ උපන්දිනය, අප මුල් වරට හමුවූ දිනය, අප ආදරවන්තයින් ලෙස මුලින් හමුවූ දිනය වැනි විශේෂිත දින මම දින ගැන මතකයේ තබා සිටියත් ඔහුට ඒ පිළිබද කිසිදු හැඟීමක් නොමැතිව සිටිම පිළිබදව කියා ගත නොහැකි වේදනාවෙන් මම පිඩා වින්දා. ඔහු හා මා හමුවන සෑම දිනකම ඔහුට දීමට මම කොතෙකුත් දෑ සිතා තිළින මිලදීගත්තද ඔහු කිසි දිනෙක මා වෙනුවෙන් එවන් සුළු හෝ පුදුමකිරීමක් නොකළ විට කාටත් නොකියාම මම හොර රහසේ හඬා වැටුණා. උහුගේ මව මියගිය දිනට මා සමග විහාරයට යමු යැයි කීවද, මගේ ඒ පැතැමත් ඔහු පුරුදු නොසැලකිලිමත්කයින්ම මගහැර සිටියා. සොඳුරු අනාගතයක, පුංචි නිවහනක, අපේම ලොවක රස සිතිවිලි ගැන ඔහුගෙන් අදහස් ඇහුවද, ඒ සියල්ල පසුවට දමා ඔහුට පුරුදු ඔතෑනිකමේ, නොසැලකිලිමත්කමේ ඔහු තනිවුණා. ඒ වගේම මටත් කිව උවමනාවට වඩා ඒ ගැන නොහිත ඉන්න ලෙසට. ඔහුගේ ආකල්ප අනුව ඔහු සිතුවේ සැම දේම ඉබේ පහළ වනවා කියා විය යුතුයි. නමුත් මට උවමනා කළේ ඔහු සමයින් කෙලිදෙලෙන් ඉන්න, විනෝද වන්න, නිදහස් සිතිවිල්ලෙන් හිස් අහසක පියාඹන්න, ඔහුගේ තුරුලේ උණුසුමට දැවටි දැවටී ඉන්න, පුංචි කූඩුවක පුංචි පැටවු එක්ක ඉන්න දවසක් ගැන එහුත් එක්ක හින මවන්න… ඒත්,,,, හරිම කුරිරු විදිහට ඒ හැම දේකින්ම ඔහු මාව ඈත් කළා. හරියට, ‘මම උඹට කටුවලින් අනිනවා, උඹ විඳවපන් කියන්නා වගේ..‘

 

පළමු වරට මම ඔහුව අත් හැර ගියා.. ඒ ඉවසන්න බැරි තැන.. දවස් ගණනාවක් අක්‍රියව තිබූ ඔහුගේ ජංගමයා එක් මොහොතක ක්‍රියාත්මක කළ තත්පරයේම මගෙන් ඇමතුමක් ඔහුට ලැබිමත්, මගේ අදෝනා කෙරෙහි ඔහු උරන විමත්, මගේ යෙහෙළියන් අපගේ ආරවුල සමතයකට පත් කිරීමට මැදිහත් වීමත්,,,, කිසි දෙසකින් නොනැමුණු ඔහුට, මගේ වේදනාවේ අග්‍රඵලය ලෙස උපන් මගේ ඉවසිමේ සීමාවේ ඈත ඈත ඈතම අන්තයෙන් ජනිත වූ අසභ්‍ය වදනුත් හේතුවෙන්. මම තීරණයක් ගත්තා මම ඔහුගෙන් ඉවත් වන බවට.

 

එදා ඒ තීරණය ගත් දා රැය මම පුදුම සැනසිමෙන් නින්දක් ලැබුවා. මට හිතුණා මම මගේ හදවතට අවබෝධ කරවූ බව මම ඔහුව අනවශ්‍යයැයි කියා. මා ගැන නොසිතන, මා පතන ආදරය නොදෙන, හැඟීමක් නොමැති, අනාගතයක් නොමැති ඔහුව මගේ නිදහස් නිස්කලංක ලෝකෙට අනවශ්‍යයි කියා මගේ හිත සහතික කරගන්න ඇති ඒ රැයේදි. ඔහුගෙන් ආදරය බලාපොරොත්තු වන මොහොතේදිත් අප මුනගැසුණු ඒ පිට්ටනිය කෙළවරේ සිට කොහේවත් නැති රගර් හෝ ක්‍රිකට් තරඟක ඇස් රඳවා ගෙන සිටින ඔහු….., ඔහු අසල සිට ඔහුගේ දසුනෙන් සැනසෙමින්, ඔහුගේ නෙත් කැළුම් විදීමට පෙරුම් පුරමින් සිටින මා පසෙක ලා,, එම තරඟය ගැන පමනක්ම උද්දාම වන ඔහු…. මට අනවශ්‍යම වු රොඩ්ඩක් බව මගේ හිත සහතික කර ගන්නට ඇති.

 

ඉතිං, ඊට වසරකටත් පසුව, ඔහු මට එවූ අවසන් කවිය… අපගේ වෙන්වීමේ වරද කොහේවත් තියන හඳකට පැවරූ ඔහුගේ කවිය… පාළු අන්ධකාර වනයකට ඔහුව උපමා කළ ඒ කවිය… මා කිරි සයුරක විලසින් ගෙනහැර පෑ ඔහුගේ අවසන් කවිය… මම ගණන් නොතියු ඔහුගේ කවිය… එය මේ ළගදී දිනෙක මගේ කාමරය අස් කරන විට හමුවි මම කුණු ගොඩට විසි කළා. එය අනෙකුත් දහසක් ඉවතලු කඩදාසි සමග අළු වී යන්නට ඇති.

 

ඇයගේත් ඔහුගේත් එකතුව

 
1 Comment

Posted by on August 21, 2012 in කවි

 

විසිකරනලද හෘද සාක්ෂිය

 
Leave a comment

Posted by on August 21, 2012 in කවි

 

ඇරයුම

 
12 Comments

Posted by on August 21, 2012 in කවි

 

…හිරිකඩ…

 
Leave a comment

Posted by on August 21, 2012 in කවි

 

යාත්‍රිකයෝ…..

 
5 Comments

Posted by on August 21, 2012 in කවි

 

විලක්කු

 
Leave a comment

Posted by on August 21, 2012 in කවි

 

ජීවිතයේ මුල් වරට පොලිසියට ගියෙමි

සැබැවින්ම, ජීවිතයේ මුල් වරට පොලීසියේ ගේට්ටුවෙන් ඇතුළට පියවර තැබුවෙමි.

පොලිසිය, කෙල්ලෙකුට හෝ ගැහැණියකට තනිව නොයා යුතු තැනක් ලෙස මගේ මව්තුමියත්, පියතුමාත් යම් යම් අවස්ථා වලදී පවසනු අසා ඇත්තෙමි.

අද දිනයේ අප පොලිසිය වෙත ගියේ එම ආකල්පයද සිතේ යම් තැනක රදවා ගෙනය. එහෙත් මා හට හැගුනේ එම ආකල්පයට සපුරා වෙනස් අනෙකකි.

විශේෂයෙන්ම හද කම්පා කරවන සිදුවිම් අසන්නට දකින්නට විදින්නට ලැබුණේ කාන්තා කාර්යයාංශය තුළදීය.

අප ඒ අසළ මදක් රැදී සිටිනා විට වයස 15ත් 20ත් පමණ පරාසයක යැයි සිකිය හැකි ගැහැණියක් කොරිඩෝම අසල එහා මෙහා යමින් සිටියායය. ශරීරයෙන් කිව හැකි වූයේ ඇය ලාබාල මවක් බවයි. කතා බහේදිත් හැසිරීමේදිත් ඉතා ගැමි අව්‍යාජත්මයක් සේම සමාජාවබෝධයෙන් හිනම වු තැනැත්තියක් බව පෙනී ගියේ ඇය කෙරෙහි අප තුළ අනුකම්පාවක් ජනනය කරමිනි.

සුළු වේලාවකින් ඇය අසල බිත්තියේ වූ දැන්විමක් අකුරෙන් අකුර හඩ නගා කියවන්නට වූවාය. සැබැවින්ම ඇය කෙරෙහි, ‘පවු‘ යන සිතිවිල්ල අප සිත්හි නිතැතින් ඇති විය.

පසුව අප දුටු දෙයින් පෙනි ගියේ ඇය ඇගේ කුඩා බිළිදා නැවත රැගෙන යාමට පැමිණ සිටි බවයි. ඈ අත කුඩා ෆැනල් රෙද්දක් සහ බිළිදු හිස් වැස්මක් විය.

අප අදාල කාරණය සදහා කාන්තා කාර්යයාංශය තුළට ගිය විට සවන වැකුණේ ස්වාමියාගේ පහරකැමට පත්වූ කාන්තාවකගේ පැමිණිල්ලකි. ඇය ඉතා හොදින් ඇද පැළද සිටි කාන්තාවකි.

ඉතාම කටුක වූත්, වේදනාසහගත වුත් සිදුවිම වන්නේ එය නොවේ.

අදාල ප්‍රෙද්ශයේ සිදුව ඇති අපචාර, අපයෝජන, අනතුරු ආදීවූ බොහෝ දෑහි සංඛාලේණන ලබා ගැනීම මෙදින අප සතු කාර්යය වූ බැවින් අප මෙහි පිවිසියේ කාන්තා සහ ළමා අපයෝජනයන් පිළිබද දත්ත ලබා ගැනිම සදහායි.වයස අවුරුදු 8 සිට ඉහළට කුඩා පාසැල් දැරියන්ට සිදුව තිබූ ලිංගික අපයෝජනයන් මෙහිදී නෙත ගැටුණේ අප සිත් කම්පා කරවමිනි.

වෙව්ලන දැතින් පිටු පෙරලමින්, හිරිවැටී යන සර්වාංගයට වාරු ගනිමින් එකී සිද්ධීන් එකින් එක අපි කියැවිමු.

පොලිස් වාර්තාවේ එවන් එක් දැරියකගේ ජීවිතයම අදුරු කරමින් ලියැවි තිබූ පේළි ගණනක් මම ඡායාරූපගත කළද එය මෙහි දැමිම සුදුසු නොවේ යැයි සිතන හෙයින් නොදමමි.

පියවරුන්, කාම සේවනයේ ලෝලී අමනුෂ්‍යයන්, ගැබ්ගත් බිරිද නිසාවෙන් තම ආශා සන්තර්පනයට අහිංසක දැරියන් බිළිගත් කාමාතුරයන් විසින් අදුරු කරන ලද නොදරුවන්ගේ ජීවිත පිළිබද ලියැවුණු ඇග කිළිපොලායන වාර්තා එකින් එක අපි කියැවිමු.ලිංගික අපයෝජනයන් සිදු වූ ආකාරය අයන්නේ සිට ලියැවී තිබුණු එම වාර්තා කියවිමේදී මොවුන් මනුෂ්‍යයන්දැයි මම මාගෙන්ම අසා ගතිමි.

පොලීසිය…

එය නොයා යුතු තැනත්ද? මම කනගාටු වෙමි

මෙවන් දෑ කොතෙකුත් සමාජයේ එදිනෙදා අසන්නට ලැබුණද අද මෙන් ඒ කෙරෙහි සංවේදි වු දවසක් මට තවනම් මතක නැත.

පෙලිසිය කෙරෙහි මා සිත්හි පැවති යම් යම් අසුබවාදී දෑ යම් තරමකින් හෝ දුරු වු බව කියනු කැමැත්තෙමි.අහිංසක නොදරුවන් මෙවන් දුෂකයන්ගෙන් රැකගැනීම ඔබේත් අපේත් කාගේත් වගකිම වනවා සේම, මෙවන් අකාරුණික ඉරණමකට ඔව්න් ඇද වැටීමට ප්‍රථම, ඒ කෙරෙහි සමාජය දැණුවත් කිරිම පොලිසියේ පමණක් නොව තනි වශයෙන් ගත් කල්හි අප කාගේත් වගකීමක් සේ මම දකිමි. හදිසියේ ආ සිතිවිල්ලක් මත සේයාරුවක් දමමි…

 
2 Comments

Posted by on August 21, 2012 in සමාජ

 
 
Follow

Get every new post delivered to your Inbox.

Join 29 other followers

%d bloggers like this: