RSS

මතක පොතේ අගුළු හරිමි

30 Aug

නැගේ මසිතට
දහස් දහස් වර
නුඹේ තෙළි තුඩ
රුගුම් පානා
ගලා ගලා යයි 
ලලිත රිද්මය
රිදි තුඩ අග
කෝළ පාලා
රැගුම වූවත්
නිසල දැහැනකි

සිත් සතන් තුළ
බවුන් වඩනා

 

මෙයයි ඔහු, ඔහු සිතේ මා පිළිබද උපන් හැඟීම පළමු වරට වදනට නතු කළ ආකාරය. එතැන් සිට ඔහු මා උදෙසා කවි හතලිස් එකක් ලියා ඇති බව මම දැනගත්තේ ඒ සියල්ල පිළිස්සීමට පළමුව කළ ගණන් කිරීමේදීයි. එයට තව කවියක් එකතු විය යුතුයි. ඒ ඔහුව මම සදහටම අත් හැර ගොස් මාස ගණනකට පසුව ඔහු මගේ ජංගම දුරකතනයට එවා තිබු දිගම දිග කවිය… මට එය හැඟුනේ හුදු යාං හෑල්ලක් ලෙස පමණක් වීම ගැන මම සතුටු වෙනවා. මන්ද, මම ඒ කෙරෙහි නැවත සංවේදී වුනානම් ජීවිතේ තෙවන වරටත් ඔහු වෙනුවෙන් ගින්දරට පැන පිළිස්සී පිළිස්සී සිටීමටත්, ඕජස් වෑහෙන හිතේ තුවාළ වලට ඔහුට දෝෂාරෝපණය කරන්නත් සිදු වෙන්න තිබුණා. ඔහු මවෙත ලියූ සැම කවියක්ම, කෙටි පණිවුඩ ලෙස සටහන් කර එවූ ඔහුගේ නිර්මාණ සියල්ලක්ම මම එකෙණෙහිම පොතක ලියා සටහන් තැබීම් සිදු කර නැවත නැවත, ඔහු කෙරෙහි උපන් ආදරණීය හැඟීම් සමග ඒකාත්මික වී එම නිර්මාණ රසවින්දනය කළ කාලයක් තිබුණා. ඒත්…. එක දවසක් ඒ පොතේ පිටු ඇඹරි ඇඹරී, දඟල දඟලා නැගෙන ගින්දර සමග සෙල්ලම් කළ දවසේ ඔහු කෙරෙහි මගේ හිතේ තිබුණ හැම ආකාරයකම හැඟීම් ඒ ගින්නත් එක්ක අළු වෙලා යන්න ඉඩ දීල මම බලන් හිටියා… කඳුලකුත් නොසලම…

 

කවි… කවි… කවි…. ජීවිතේ අන්ධකාදෙකට ඇදගෙන ගියා කියන්න බැ ඒ කවි. මම විහින් ඒ පාරෙ ගියා මිසක…. ආපසු හැරී බලද්දි තේරෙනව මමත් සෑහෙන්න වැරදි බව. ඔහු සිටි ගමත්, මා සිටි නගරයත් අතර දුර පැය හතකටත් වැඩි වුණා. මුලදි ඔහු මා හමුවන්නට එන දිනවලදි මමත් ඔහු සමගින් අවදි වුණේ මම ඔහුව අවදි කරවූ නිසා. කොහොම නමුත් ඊට පෙර දින රැයේ නම් මට නින්ද නොගිය තරම්… ඔරලෝසුව පාන්දර තුන කියාගෙන කෑ ගහන්න ගත් හැටියෙම මම කළේ ඔහුගේ ජංගම දුරකතනය හඬවාපු එක… නින්දක් නැතත්, තවත් පැය දෙකක් එහෙට මෙහෙට වෙවී සිතිවිල්ලේම හිත පුරවා යහන්ගත වි සිටිය මම පසුව ඔහු වෙනුවෙන්ම සෑදෙන ආහාර වේල හදන්නට පටන් ගන්නවා.. බොහෝ විට එහි තිබුණේ ඔහුගේ ප්‍රියතම ආකාරයට හැදෙන පරිප්පු, සම්බල්, සෝයාමීට් සමග තව යමක්.. ඒ කෑම වේල මම රස කළේ ඔහු වෙනුවෙන්ම උපන් ආදරයෙන් සහ ලෙන්ගතුකමින් බව ඔහු දැන සිටියාද කියන්න මම දන්නෙ නැහැ.. නමුත් මම උයා දෙන දෙයට අමතරව තව යමක් කඩයෙන් ගනිද්දී මට එහු කෙරෙහි ඇතිවූ කෝපය පාලනක කරන්නට බැරි තරම් වුණා. මට උවමනා වුනේ මම උයන දේ විතරක්ම ඔහු කනව බලා සිට සතුටු වෙන එකයි.. බොහෝ විට ඔහු එක දෙයක් සමග පමණක් කෑවා.. සමහරවිට ඒ ඔහු කන විදිහ වෙන්න ඇති. නමුත් මට වුවමනා වුණා ඔහු ලස්සනට පිළිවෙලට කනවා දකින්න. ඇතැම් විට බත් ඇටයක් ඔහුගේ තොලග රැඳී තිබෙන විට, ඔහුගේ නොසැලකිල්ල නිසා මම වෙව්ලුම් ගන්න තරම් කෝප වුණා. ඒ වගේ දවසක, මම සාදාගෙන ගිය නයි මිරිස් බැදුමක් ඔහු අතවත් නොතියා පැත්තක තියා තියෙන විට මම ඔහුට බැන වැදුණා. ඔහු එකවර ඒ නයි මිරිස් අහුරම බත් කටක් සමගින් කටේ දාගන්නව දැකලා මගේ නපුරුකම ගැන මට ලැජ්ජා හිතුණ වගේම ඔහුගේ කඳුළු පනින ඇස් දැකල මම මටම දෝශාරෝපණය කරගත්තා…

 

මාසයකට වරක් ඔහු එන පෙරමග බලා ඉන්න මට හරිම අසීරු වුණා. ඒ ඔහු එන තෙක් කාලය ගෙවා දමන්නේ කෙසේද කියා නොතේරෙන බැවින්.. ඔහු හා මා හමුවන දිනයට දින කිහිපයක සිටම මම ගත කළේ කියා ගත නොහැකි අසහනයකින්.. ගෙවෙන තත්පරයත් දැනෙන්නෙ කල්පයක් වගෙයි. අඳින ඇඳුම කුමක්දැයි නිගමනය කරන්නට මම දින ගණන් ගත කළා.. ඒත් ඔහුට මා වෙත තිබූ ආතතියෙන් සීයෙන් පංගුවක් හෝ නොතිබුණු බව මම දැනන් හිටියා. ඔහුට මා හමුවට ඒම ඉතා වෙහෙසකර ගමනක් වුණා. ඒ බස් ගණනාවක දුහුවිල්ල කාගෙන බස් පොලු වල එල්ලී ආයුතු දුශ්කරක්‍රියාවක් හේතුවෙන්.. පහු වන්නට වන්නට ඔහු නිරන්තරයෙන් මාව බොරුවෙන් වැහුවා. ඇතැම් දිනයක ඔහු එන්නේ යැයි පවසන හෙයින් මම ඔහු එන තෙක් බලා සිටියා.. දෑස් රිදෙන තුරු.. කදුළු මතුවන තුරු… හිත හෙම්බත් වන තුරු… මගේ වදය නිසාමදෝ අක්‍රිය කර තිබූ ඔහුගේ ජංගම දුරකතනය තුළින් කෑ ගසන සිම්පත අයත් සමාගමේ ගැහැණිය මා ළඟ සිටියේ නම් ඇගේ හක්ක පැන ලේ එන තුරු ඇයට ගැසීමේ තරම් සිතක් මා තුළ පහළ වුණා. පැය ගණනාවක බලාපොරොත්තු කඩමින් හිටිහැටියේ ඔහු ඇමතුමක් දී කීව අද නේන බවත්, වැඩක් වැටී ඇති බව හෝ බස් රථයක් නැති බව හෝ වෙනයම් හේතුවක්.. එවන් දිනෙක පාන්දර හතරේ සිට සවස තුන වන තුරුත් ඔහුගෙන් ඇමතුමක් නොමැතිව බලා සිට, දරන්නම බැරි වූ තැන මම මහ හයියෙන් හඬා වැටුණා.. මගේ යෙහෙළියන් නිරන්තරයෙන් මා අස්වසන්නට සිටියත්, මා අස්වැසිය යුතු පුද්ගලයා මාස දෙකකට වතාවක් හෝ මා හමුවේ නොසිටීමේ අඩුව මකාලන්නට මගේ ආදරණිය යෙහෙළියන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

 

ඔහු මා මනස ඇවුරූ අවස්ථා සිය දහසක් ඇතත් අමතක කර ඇති යටගියාව දැනට මා සිතට නොනැගෙනා තරමින් දුරස්තයි. එවන් එක් දිනෙක ඔහු එන තෙක් පැය දෙකකුත් විනාඩි ගණනක් මම නගරයේ ඔහු උදෙසා බලා සිටියා.. ඔහු පැවසූ විනාඩි පහ, පැය දෙකක් තරම් දිගු වෙද්දී මා සිටි බස් නැවතුම වටේ සිටි සළෙලුන්ගේ උකුසු ඇස් වල ග්‍රහනයට මා නතු වෙද්දී ඔහුගේ අක්‍රමවත් බව, බොරුව හමුවේ තව තවත් මා තුළ ඔහු රෝපණය කළ සැපින්න පෙනය පුප්පා නැගී සිටියා.. අවසන සියලු සබඳතා කෙළවර කරමියි සිතා මගේ ජංගමයාද අක්‍රිය කර යාමට සැරසෙද්දී ඔහු මා අභිමුව මා දැක්කා.. නමුත්.. අවාසනාවක… කරුමයක… පවුකාරකමක… අරුමය,,,,,, පැමිණ විනාඩි දහයකින් ඔහු වෙනයම් අයෙකු හමුවීමට යා යුතුයැයි කියා මගෙන් සමු ගත්තා… අහෝ දෙවියනි,,, ගෙවා නිම කළ නොහෙන මාගේ මේ අනන්ත පව කුමක්ද….. දින හැට එකකට අධික ආදරණීය හමුව වචනෙන් කිව නොහෙන ඛේදාන්තයක් වුණා.

 

මා වෙත ඔහුගේ ආදරය ප්‍රකාශිත කවෙහි සිටි සඳෙහි සාවිය වූ මම, ඔහු විසින්ම නරා වලකට ඇද දැමුණා. ඇතැම් විට එක දිගට දින තුන හතරක් වන තෙක්ම අක්‍රිය කර තිබූ ඔහුගේ ජංගම දුරකථනය නිසා මම තත්පරයක් ගෙවාගන්නට විදිහක් සොයමින් දුකේ, තනිකමේ ප්‍රපාතයට කිඳා බැස්සා. යෙහෙළියන්ගේ ආදරනීය සැමරුම් සවන වන් විට මගේ අභාග්‍ය සම්පන්න ඉරණම සහ එහි අදුරු ආගාධය දැක දැක හුල්ලමින් පෙරළූ පාඩම් පොත් අතර ඉබාගාතේ ඇස් යැව්වා.

 

ඔහුගෙන් ඈත් වන්නට කියා මසිත මුරගා යැදි සෑම අවස්ථාවකම, මවත් පියාත් තොමැති ඔහු, මවිසින්ද අත් හරිනු ලැබුවහොත් තනිවන ඔහු ගැන සිතා මගේ තනිකමේ වේදනාව මම උහුල ගත්තා. මම කරන්නේ කුමක්ද, ඉන්නේ කොහිද, කැවේද, බිවේද… කිසිදු විමසිල්ලක් ඔහුගෙන් නොලැබෙන විට මම එහුට බැන වැදුණා. ඔහු මට ආදරේ නොකරන බව පුන පුනා කියමින්, විටෙක් කදුලෙන්ද, විටෙක ආදරය අතුරා යන වදනින්ද, තවත් විටෙක පරුශ වදනින්ද ආයාචනා කළා සහ බැන වැදුණා.

 

ඔහුගේ උපන්දිනය, අප මුල් වරට හමුවූ දිනය, අප ආදරවන්තයින් ලෙස මුලින් හමුවූ දිනය වැනි විශේෂිත දින මම දින ගැන මතකයේ තබා සිටියත් ඔහුට ඒ පිළිබද කිසිදු හැඟීමක් නොමැතිව සිටිම පිළිබදව කියා ගත නොහැකි වේදනාවෙන් මම පිඩා වින්දා. ඔහු හා මා හමුවන සෑම දිනකම ඔහුට දීමට මම කොතෙකුත් දෑ සිතා තිළින මිලදීගත්තද ඔහු කිසි දිනෙක මා වෙනුවෙන් එවන් සුළු හෝ පුදුමකිරීමක් නොකළ විට කාටත් නොකියාම මම හොර රහසේ හඬා වැටුණා. උහුගේ මව මියගිය දිනට මා සමග විහාරයට යමු යැයි කීවද, මගේ ඒ පැතැමත් ඔහු පුරුදු නොසැලකිලිමත්කයින්ම මගහැර සිටියා. සොඳුරු අනාගතයක, පුංචි නිවහනක, අපේම ලොවක රස සිතිවිලි ගැන ඔහුගෙන් අදහස් ඇහුවද, ඒ සියල්ල පසුවට දමා ඔහුට පුරුදු ඔතෑනිකමේ, නොසැලකිලිමත්කමේ ඔහු තනිවුණා. ඒ වගේම මටත් කිව උවමනාවට වඩා ඒ ගැන නොහිත ඉන්න ලෙසට. ඔහුගේ ආකල්ප අනුව ඔහු සිතුවේ සැම දේම ඉබේ පහළ වනවා කියා විය යුතුයි. නමුත් මට උවමනා කළේ ඔහු සමයින් කෙලිදෙලෙන් ඉන්න, විනෝද වන්න, නිදහස් සිතිවිල්ලෙන් හිස් අහසක පියාඹන්න, ඔහුගේ තුරුලේ උණුසුමට දැවටි දැවටී ඉන්න, පුංචි කූඩුවක පුංචි පැටවු එක්ක ඉන්න දවසක් ගැන එහුත් එක්ක හින මවන්න… ඒත්,,,, හරිම කුරිරු විදිහට ඒ හැම දේකින්ම ඔහු මාව ඈත් කළා. හරියට, ‘මම උඹට කටුවලින් අනිනවා, උඹ විඳවපන් කියන්නා වගේ..‘

 

පළමු වරට මම ඔහුව අත් හැර ගියා.. ඒ ඉවසන්න බැරි තැන.. දවස් ගණනාවක් අක්‍රියව තිබූ ඔහුගේ ජංගමයා එක් මොහොතක ක්‍රියාත්මක කළ තත්පරයේම මගෙන් ඇමතුමක් ඔහුට ලැබිමත්, මගේ අදෝනා කෙරෙහි ඔහු උරන විමත්, මගේ යෙහෙළියන් අපගේ ආරවුල සමතයකට පත් කිරීමට මැදිහත් වීමත්,,,, කිසි දෙසකින් නොනැමුණු ඔහුට, මගේ වේදනාවේ අග්‍රඵලය ලෙස උපන් මගේ ඉවසිමේ සීමාවේ ඈත ඈත ඈතම අන්තයෙන් ජනිත වූ අසභ්‍ය වදනුත් හේතුවෙන්. මම තීරණයක් ගත්තා මම ඔහුගෙන් ඉවත් වන බවට.

 

එදා ඒ තීරණය ගත් දා රැය මම පුදුම සැනසිමෙන් නින්දක් ලැබුවා. මට හිතුණා මම මගේ හදවතට අවබෝධ කරවූ බව මම ඔහුව අනවශ්‍යයැයි කියා. මා ගැන නොසිතන, මා පතන ආදරය නොදෙන, හැඟීමක් නොමැති, අනාගතයක් නොමැති ඔහුව මගේ නිදහස් නිස්කලංක ලෝකෙට අනවශ්‍යයි කියා මගේ හිත සහතික කරගන්න ඇති ඒ රැයේදි. ඔහුගෙන් ආදරය බලාපොරොත්තු වන මොහොතේදිත් අප මුනගැසුණු ඒ පිට්ටනිය කෙළවරේ සිට කොහේවත් නැති රගර් හෝ ක්‍රිකට් තරඟක ඇස් රඳවා ගෙන සිටින ඔහු….., ඔහු අසල සිට ඔහුගේ දසුනෙන් සැනසෙමින්, ඔහුගේ නෙත් කැළුම් විදීමට පෙරුම් පුරමින් සිටින මා පසෙක ලා,, එම තරඟය ගැන පමනක්ම උද්දාම වන ඔහු…. මට අනවශ්‍යම වු රොඩ්ඩක් බව මගේ හිත සහතික කර ගන්නට ඇති.

 

ඉතිං, ඊට වසරකටත් පසුව, ඔහු මට එවූ අවසන් කවිය… අපගේ වෙන්වීමේ වරද කොහේවත් තියන හඳකට පැවරූ ඔහුගේ කවිය… පාළු අන්ධකාර වනයකට ඔහුව උපමා කළ ඒ කවිය… මා කිරි සයුරක විලසින් ගෙනහැර පෑ ඔහුගේ අවසන් කවිය… මම ගණන් නොතියු ඔහුගේ කවිය… එය මේ ළගදී දිනෙක මගේ කාමරය අස් කරන විට හමුවි මම කුණු ගොඩට විසි කළා. එය අනෙකුත් දහසක් ඉවතලු කඩදාසි සමග අළු වී යන්නට ඇති.

About these ads
 

10 Responses to මතක පොතේ අගුළු හරිමි

  1. ධම්මික සදරුවන්

    August 30, 2012 at 8:52 am

    ආදර හසුන්… මට ඔය ආදරේ ගැන නම් කියන්න ඉෑ.ඒත් මේ වචන සෙට් එකනම් ලස්සනයි

     
  2. Nipun Wijesundara

    August 30, 2012 at 9:13 am

    lassanai godk aththatama, digatama liyanna..

     
    • සිත්තරී මං

      August 31, 2012 at 2:36 am

      ස්තූතියි යාලුවා…
      අනිවාර්යයෙන්ම උත්සහ කරනවා…

       
  3. රෙප් මහත්තයා

    August 30, 2012 at 2:04 pm

    අමතක කරලා දාන්න හදපු අතීතයක් ආයෙමත් මතක් උනා. මමත් ඔය විදියට බස් ස්ටෑන්ඩ් එකකට වෙලා කාලයක් එක්කෙනෙක් එනකම් බලා හිටියා. අන්තිමට මටත් සිද්ද උනේ එයා වෙනුවෙන් ලියපු කවි පුච්චලා දාන්න. ඒ සිද්දියට අවුරුදු ගානකට පස්සේ බ්ලොග් ලියන්න පටන් ගන්න කම්ම කිසිම කවියක් කතාවක් ලියලම නෑ මම………..

     
    • සිත්තරී මං

      August 31, 2012 at 2:35 am

      ජීවිනේ ගලාගෙන යන විදිහ වෙනස් කරල,, අපට අවශ්‍ය විදිහට ගලන්න සැලැස්සුවොත්,, ඒකෙ තියන ලස්සන නැති වෙලා යාවි….
      පහුගිය හැලහැප්පිලි දුක වේදනාව කදුල සතුට තුළින් ජීවිතේ ගලන රටාවට එකතු කරන ලස්සන,, අපට ඕන විදිහට පෙළගස්වන ජීවන රටාවක නැති වෙන්න පුළුවනි..
      අනීතය දිහා බලද්දි සමහරවිට ඔයා දැන් ඒකෙන් සතුටක් ලබනවත් ඇති..
      දුක තුළින් වුනත් වින්දනීය දෙයක් හිතේ මැවෙනව ඇති…..

       
  4. දයානන්ද රත්නායක

    August 31, 2012 at 3:42 am

    ජීවිතකායේ යම් කෙනෙක් විඳින, විඳවන ලද අත්දැකීම්, හඹායෑම්, එහෙමත් නැත්නම් වැරදුනු තැන්, හිත් රිදුන, බිඳුන තැන් යළි පෑස්සීම් කළ නොහැකි නමුත්, බිඳුන බඳුනක යලි කිසිඳු වටිනාකමක් නැති වුවත්, ලේඛන කලාවේදි, ඇතැම් දේවල් උත්තම පුරුෂ දෘෂ්ඨියෙන් ඒ සිතුවිලි අදහස් බවට පත්කළාම ලැබෙන ආත්මීය ප්‍රකාශන ඉතාමත් රසවත් වගේම මධුර බවකින් යුක්තයි.

    ඒ රසවත් බව හෝ මධුර බව දැකිය හැක්කේ ඒ නිර්මාණය තුළ පොදු බව රැඳවීම තුළින්. මේකත් ඒවගේම රසවත් අතීත මතක සටහනකට යාවූ සිද්ධියක්. ඒත් මේ වගේ සටහන් සැබෑ ලෙසම සිදුවූවත් නැතත්, නිර්මානාත්මක ආත්මීය ප්‍රකාශන විදියට හරිම රසවත්. ඒ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ අපූර්ව වූ බස මෙහෙයවීමේ හැකියාව නිසා….

     
    • සිත්තරී මං

      August 31, 2012 at 4:15 am

      සිංහලය හෝ කෙටිකතා කලාව මා තුළ මනා ලෙස සුසර වි නැතත්, දිනෙන් දින උත්සහ කරනවා මගේ බස හසුරුවා ගන්න. එහිදි ඔබේත්, මා මිතුරු මිතුරියන්ගේත් මගපෙන්විම නිරන්තරයෙන් මට ශක්තියක් වෙනවා.

      ස්තූතිවන්ත වෙනවා මේ දිරිමත්කිරීම් වලට… මේ අදහස්, දිරිගැන්විම් මත තව තවත් නිර්මාණකරණයට පෙළඹීමේ නැමියාව මට ලැබෙනව වගේම, තව තවත් ඒ පිළිබද අධ්‍යයනයේ අවශ්‍යතාවයද තදින් දැනෙනවා…

       
  5. තහනම් වචන

    January 31, 2013 at 11:05 pm

    අමාරුවෙන් හදාගත්තු හිත ආයෙත් කැඩිලා ගියා සිත්තරියෝ..

     
    • සිත්තරී මං

      February 1, 2013 at 4:44 am

      ඕව ඔහොම තමයි ඉතිං…. විදුරු වලටත් වඩා හපන්… හිත්… හරිම සියුම්… මල්පෙත්තකටත් වඩා මෙලෙකයි

       

බලපු කවුරුත් මොන මොනවාහරි අදහසක් දෙකක් කියලම ගියානම් හිත සතුටුයි. නැතත් තරහක් නෑ. ආයෙත් ඇවිත් යන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

 
Follow

Get every new post delivered to your Inbox.

Join 29 other followers

%d bloggers like this: